Sunday, May 7, 2017

නූතන බෞද්ධ පුනුරුදය

මීට අවුරුදු විස්සකට පමණ ඉහත මේ රටේ සංස්කෘතිය පිළිබඳව යම් මිම්මක් ගෙන නැවත අවුරුදු විස්සකින් පසුව, එනම් අද දවසේද ඒ මිම්ම ගෙන ඒ මිමි දෙක සංසන්දනය කල හොත් මේ අවස්ථා දෙක අතර කැපී පෙනන සංස්කෘතික වෙනසක් දැකිය හැකිය. ඒ නම් එදාට වඩා අද බෞද්ධයින් පොදුවේ තම බෞද්ධකම ඉස්මතු කරගෙන සිටීමය. එය නූතන බෞද්ධ පුනුරුදයක් ලෙස හැඳින්වීය හැකිය.

පෙරට වඩා අද පොදුවේ බෞද්ධයින් ආගමික කටයුතු වලට නැඹුරුව සිටිති. බොහෝ දෙනා බණ පොත් කියවති. බණ පොත්ද බහුලය. ත්‍රිපිටකය කියවන එහි ඇති ගැඹුරු ධර්ම ගැන අවබෝධයක් ඇති පිරිස වැඩිය. දවස පුරා බණ ඇසිය හැකි රූපවාහිනී නාලිකා ඇත. දවස පුරා මේ නාලිකා නරඹන අයද සිටිති. බෞද්ධ සිද්ධස්ථාන වන්දනාවේ යන පිරිස වැඩිය. බෞද්ධයෝ පෙරට වඩා මහා පරිමාණ දානමය පිං කම් වල නිරත වෙති. දිවයිනේ ප්‍රධාන සිද්ධස්ථාන අළලා කෙරෙන මේ පිංකම් වල ලක්‍ෂ සංඛ්‍යාත මල් පහන් පූජා, ගුවනින් මල් ඉසීම්, දහස් ගණන් අටපිරිකර පිළිගැන්වීම් දුලබ නොවේ. ධර්ම කථනයේ දක්‍ෂ භික්‍ෂූන් වහන්සේලාට අද ඇති ඉල්ලුමද ඉහලය. සමහර භික්‍ෂූන් වහන්සේලා වටා ගිහියෝ රොක්ව සිටිති. ඒ සමහර කණ්ඩායම් කල්ලි ලෙස හැඳින්විය හැකිය. සමහර ගිහියෝද ධර්ම ප්‍රචාරනයේ යෙදෙති ඔවුන් වටාද කල්ලි ඇත. ආරණ්‍යගත භික්‍ෂූන් වහන්සේලාද බහුල වී ඇති සේය. පෙරට වඩා උන්වහන්සේලා ගිහියන්ට බණ දේශණා කරමින් ගිහියන් සමඟ ගණුදෙනු කිරීමට කැමත්තක් දක්වති. පෙරට වඩා බෞද්ධයේ භාවනාවෙහි යෙදෙති. ඒ සඳහා පුහුණුව ලබති. 

එපමණක් නොවේ. පසුගිය වසර විස්ස කාල පරතරය තුල තවත් කැපී පෙනෙන සංස්කෘතික වෙනසක් සිදුව ඇත. එනම් සංස්කෘතික පිරිහීමය. අද එදාට වඩා අප සමාජය බටහිර සංස්කෘතියේ ගිලී ගොස් ඇත. සාමූහිකත්වය පරයා පුද්ගලිකත්වය ඉස්මතු වී ඇත. 

නූතන බෞද්ධ පුනුරුදයත් සංස්කෘතික පිරිහීමත් එකිනෙක හා සමඟ අත්වැල් බැඳගෙන බිහිවුනු දේ මිස ඊට කලින් ඒ උදෙසා ක්‍රියාත්මක වුනු සමාජ ආර්ථික දේශපාලන ක්‍රියාදාමයක ප්‍රථිපලයක් නොවේ. වසර විස්ස කාල පරතරය සසඳනවිට පුනුරුදය සහ පිරිහීම අමුත්තක් ලෙස පෙනෙන්නේ එබැවිනි. 

පුනුරුදයත් පිරිහීමත් දෙකෙහිම ගාමක බලය නාගරික සිංහල බෞද්ධ උගතුන්ය. සමහර නූතන බෞද්ධ පුනුරුදයේ ලක්‍ෂණ බටහිර සංස්කෘතියේ ගිලීමෙහි ආනිසංසය. තවත් සමහර ලක්‍ෂණ සංස්කෘතිය පිරිහීමට එරෙහිව සමාජය විසින් දක්වන ප්‍රතිචාරය. ඒ අනුව සංස්කෘතික පිරිහීම නුතන බෞද්ධ පුනුරුදයට ධනාතමකවත් සෘණාත්මකවත් බලපායි. අනිත් අතට පුනුරුදයත් සංස්කෘතිය පිරිහීමට ධනාත්මකවත් සෘණාත්මකවත් බලපායි.  


සිංහලුන් සංස්කෘතියෙන් පිරිහෙන ගමන් බෞද්ධ කමක් පවත්වා ගෙන යන්නේ කෙසේද? නූතන බෞද්ධ පුනුරුදයේ ගාමක බලය වන වයස අවුරුදු තිහ පනහ අතර වෙන නාගරික උගත් බෞද්ධයින්ට එය කල හැකිය. ඔවුහු එක් පයක් බටහිර සංස්කෘතියේත් තව පයක් සිංහල බෞද්ධ සංස්කෘතියේත් තබාගෙන මේ ගමන යති. නමුත් වයස අවුරුදු හැට හැත්තෑවක් වන ඔවුන්ගේ දෙමව්පියන් බොහොමයකට මේ දෙබිඩි ජීවිතය සරිලන්නේ නැත. ඔවුහු බොහෝ දෙනා තම දරුවන්ගේ ලෝකවලින් ඈත්ව හුදෙකලාව ජීවිත් වීමට එක් හේතුවක් එයය. නමුත් ඔවුන්ටද පුනුරුදයේත් පිරිහීමේත් ආභාශය දැනේ. ඔවුන්ට කල හැක්කේ කරන්නේ බණ පොතටත් බෞද්ධ නාලිකාවලටත් අනුගතවීමය. 

තාත්තලාත් සීයලාත් ඔවුන්ට ආවේනික මං ගනිද්දී නූතන බෞද්ධ පුනුරුදය හා සංස්කෘතික පිරිහීම හමුවේ බාල පරම්පරාව එනම් පුත්තු කුමන මඟක් ගනීවිද?

තාත්තලා මෙන් නොව පුත්තු බොහෝ විට පුනුරුදය හා පිරිහීම අතර අන්‍යෝන්‍ය සම්බන්ධය ගැටුමක් ලෙස දකිනු ඇත. පුතුන්ට පය දෙතැනක තබාගෙන ජීවත්වීමේ හැකියාව නැත. ඔවුන්ට එය ගැටුමකි. එබැවින් පුත්තු කුමන මඟක් ගත්තද නූතන බෞද්ධ පුනුරුදය මෙලෙසම පවත්වාගෙන යාමට ඔවුන් දායක නොවෙනු ඇත.
එබැවින් නුදුරු අනාගතයේම අද අප අත් දකින බෞද්ධ පුනුරුදය දියවී යනු ඇත.

ගැටුම නිරාකරණය කරන වස්
පුත්තු බෞද්ධකම යම් අකාරයකට රැකගෙන බටහිර සංස්කෘතියට අනුගත වීමට ඉඩ ඇත. එසේ වුවහොත් එහි සිංහල බෞද්ධකමක් රැකෙන්නේ නැත. එසේ වුවහොත් අනාගත සිංහල බෞද්ධ පරම්පරාවල් හා බටහිර බෞද්ධයින් අතර වෙනසක් නැති වෙනු ඇත. පුද්ගලිකත්වය ඉස්මතු වී සාමූහිකත්වය යට යනු ඇත. අද දකින සමූහයක් වශයෙන් කෙරෙන මහා පිංකම් තාත්තලාගේ පරම්පරාවෙන් නවතිනු ඇත.

නමුත් පුතුන්ට මීට ඉඳුරාම වෙනස් මඟක් ගැනීමටද හැකියාවක් ඇත. ඒ සාමූහිකත්වය එලෙසම තබාගෙන බටහිර සංස්කෘතිය සහ එහි දැනුම අවශෝෂණය කර ගැනීමෙනි. තාත්තලාට වඩා පුතුන්ට එය ඉටු කර ගැනීමට විභවයක් ඇතැයි මට සිතේ. පුත්තු ඒ මඟ ගතහොත් ඔවුන් විසින් සිංහල බෞද්ධකමක් රැක ගනු ඇත. එය අද පවතින නූතන බෞද්ධ පුනුරුදයට වඩා වෙනස් ලක්‍ෂණ දරනු ඇත. එය සීයලාගේ සිංහල බෞද්ධ කමින්ද වෙනස්වනු ඇත. නමුත් තාත්තලා මෙන් දෙබිඩි ජීවතයක් නොව සීයලා මෙන් තමන්ටම ආවේනිකවූ සිංහල බෞද්ධ සංස්කෘතියක් ඔවුන් සහ අනාගත පරම්පරාවන් විසින් ගොඩනඟනු ඇත. අපේ පැතුම විය යුත්තේ එයයි.

No comments:

Post a Comment