Tuesday, May 16, 2017

ජයග්‍රහණය කළේ අපි බව අමතක නොකරමු

යුරෝපීයයන් ඔවුන් ලෝක යුද්ධ නමින් හඳුන්වන යුද්ධ පිලිබඳ මතකය ඉන් වසර 70-80 ඉක්මවා යාමෙන් පසුවත් තවමත් බටහිර පමණක් නොවේ මුලු ලොවෙහිම ජන විඥාණයේ රඳවා ගැනීමට කටයුතු කරති. ඔවුන් එසේ කරන්නේ පැහැදිලි අරමුණක් ඇතිවය. ඒ යුධ ජයග්‍රහණය කලවුන්ගේ දේශපාලනය ලොව අධිපති දේශපාලනය වශයෙන් පවත්වාගෙන යාම සඳහාය.  ජර්මනියේ හෝ ජපානයේ ඊනියා දෙවන ලෝක යුද්ධ සමයේ හෝ ඊට පෙර තිබූ දේශපාලනය අද ලෝකයට වලංගු නැති කර ඇත. ඒ දේශපාලනය තර්කාණුකුල නොවෙන බවට පත් කර ඇත.  අඩුම තරමින් ජර්මනියේ හෝ ජපානයේවත් එහි පෙර තිබූ දේශපාලනයට හිස ඔසවන්නට ඉඩක් නැත. ඒ තත්වය පවත්වාගෙන යන එක ක්‍රමවේදයක් නම් ඊනියා ලෝක යුද්ධ පිළිබඳ ජයග්‍රාහකයින්ගේ කථාව නැවත නැවතත් ලෝකයට මතක් කර දීමය.

වසර තිහක කාලයක් තිස්සේ අපි ත්‍රස්තවාදය සමඟ පොර බදා ජයග්‍රහණය කලද, ලැබූ දේශපාලන ජයග්‍රහණය ආපසු හැරවීමට මේ රජය කටයුතු කරමින් සිටියි. මේ රජය පත් කරන ලද්දේ මේ රට ලද ජයග්‍රහණය ආපසු හැරවීමට මිස වෙන කිසිවකට නොවේ. ආපසු හැරවීමේ එක් ක්‍රමවේදයක් නම් අප කිසිවක් ජයග්‍රහණය නොකල බව අපට ඒත්තු ගැන්වීමය. ඊනියා යුද්ධයක් නිමා කලා මිස ජයග්‍රහණයක් නොලද බව මේ රජය පුන පුනා කියන්නේ එබැවිනි. නමුත් නිමාවේ වැදගත් ප්‍රතිඵලය ජයග්‍රහණයයි. 2009 මැයි මස 18 දා ප්‍රභාකරන් ඇතුළු දෙමළ බෙදුම්වාදීන්ද ඔවුන්ට පන පෙවූ විදේශ බලවේගද පරාජය ලැබීය. අපි ජය ගත්තෙමු.

වසර තිහක අතීතය මේ ජාතියට අමතක කල නොහැකිය. රට වෙනුවෙන් ජීවිතය කැප කල රණ විරුවන් අපට මතකය. ඝාතනය කෙරුනු සිවිල් වැසියන් අපට මතකය. ත්‍රස්තවාදයට දිවිදුන් සිවිල් වැසියන්ගේත් රණ විරුවන්ගේත් ඥාතීන් තවමත් අප අතර ජීවත් වෙති. මේ කිසිවෙක් අපේ මතකයෙන් ගිලිහීමට ඉඩ නොදිය යුතුය. නමුත් මේ කිසිවකටත් වඩා අපි ජයග්‍රහනය කල බව මතක තබා ගත යුතුය. අපි ඊනියා යුද්ධයක් නිමා කලා නොව දෙමළ බෙදුම්වාදය පරාජය කරමින් ජය ලදෙමු. අපි ජයග්‍රහණය සමැරිය යුතුය. ඒ දෙමළ ජනයාගේ හිත රිදවන්ටවත් අධිපතිවාදී වන්ටවත් නොවේ දෙමළ ජාතිවාදී බෙදුම්වාදී දේශපාලනයට මෙරට ඉඩක් නැති බව නැවත නැවතත් තහවුරු කිරීම සඳහාය.

Sunday, May 14, 2017

රාජපක්‍ෂ ඇතුළු වලල්ල

2015 ජනාධිපතිවරණය පරාජයේ සිටම සාමාන්‍ය ජනතාව මහින්ද රාජපක්‍ෂ වටා රොක් වන්නට විය. අද එය විශාල බලවේගයකි. නමුත් 2015 ජනවාරි 9 දා වෙනවිට රාජපක්‍ෂ කඳවුරේ ඇතුලු වලල්ලේ හිටියේ ඒ මහතා සහ පවුලේ උදවිය පමණක් යැයි පැවසේ. කලින් එහි හිටි සමහරු දුරකථනයෙන්වත් ලඟා කර ගත නොහැකිවීලු. නමුත් ජනප්‍රිය ආණ්ඩු විරෝධයත් සමඟ ක්‍රමයෙන් ඒ ඇතුළු වලල්ල රාජපක්‍ෂ සහෘදයන්ගෙන් පිරෙමින් පවතිනවා යැයි සිතිය හැකියි. මොවුන් අතරින් බහුතරයක් ඊලඟ මහ මැතිවරණයකදී හෝ පළාත් සභා මැතිවරණයකදී හෝ තමන්ට යමක් කර ගැනීමට බලාපොරොත්තුවෙන් සිටින අය බවට කිසිදු සැකයක් නැත. මොවුන්ගේ ජාතිකවාදී බවට එය බාධාවක් නොවේ. ජාතිකවාදී නොවන අයටද ඇතුළු වලල්ලට ඇතුළු වීමට බාධාවක් නොවේ. කෙසේ නමුත් ඇතුළු වලල්ල හිස් වලින් පිරෙනවිට ඉන් පිටත සිටින සාමාන්‍ය ජනතාව මහින්ද රාජපක්‍ෂට පෙනෙන්නේ නැත. ප්‍රශ්ණය එයයි.

රාජපක්‍ෂ ඇතුළු වලල්ල ඉන් පිට සිටින සාමාන්‍ය ජනතාවට සාපේක්‍ෂව අඩු වැඩියෙන් ආත්මාර්ථකාමීය. ඔවුන්ට රටේ දේශපාලන වෙනස්කම් වලට වඩා මැතිවරණ ජයග්‍රහණ සහ ඒ හරහා ලැබෙන තනතුරු සහ ප්‍රතිලාභ වැදගත්ය. ඔවුන් මේ ලාභ අන් අය සමඟ බෙදා ගැනීමට කිසිසේත් එකඟ වන්නේද නැත.  සිරිසේනගේ මිනිසුන් හෝ එජාපයේ මිනිසුන් හෝ රාජපක්‍ෂ බලවේගයට එකතු කර ගැනීමට එය බාධාවකි. අන් කිසිවකුගේ සහයක් නොමැතිව කුට්ටිය පිටින්ම තමන්ට අයිති කරගැනීමට හැකිනම් අන් කිසිවෙක් හා එය බෙදා ගැනීමට මේ ඇතුලු වලල්ල කැමති වන්නේ නැත. 2020ට පෙර ආණ්ඩු වෙනස් කිරීම් මොවුන්ට අදාල නැත. යම්කිසි දිනක නිශ්චය වශයෙන්ම තමන්ට ලැබෙන්නට නියමිත ප්‍රතිලාභ වලල්ලෙන් පිටත සිටින සාමාන්‍ය ජනතාවගේ දේශපාලන අරමුණු තකා කැප කිරීමට මොවුන් කිසිසේත් සූදානම් නැත. මහින්ද රාජපක්‍ෂ මහතා තීරණ තීන්දු ගන්නේ මෙවැනි පරිසරයකය. ඔහුද අවසාන වශයෙන් ගත්කල ඇතුළු වලල්ලේ කෙනෙකි. 

වලල්ලෙන් පිටත සිටින ජනතාවට කල හැකි දෙයක්ද නැත. ඔවුන්ගේ දේශපාලන අරමුණු ඉටු කර ගැනීමට රාජ්‍ය බලය අවශ්‍යය. නමුත් ඔවුන් රාජ්‍ය බලය ලබාදීමට බලාපොරොත්තු වෙන කඳවුරට බලපෑම් කිරීමට ඔවුන්ට හැකියාවක් නැත. මේ තත්වය 2005 මහින්ද රාජපක්‍ෂ මහතා බලයට පත්වූ අවස්ථාවේ තිබි තත්වය නොවේ. එකල එහෙව් ඇතුළු වලල්ලක් නොතිබිනි. ඇතුළු වලලු නිර්මාණය වූයේ රාජපක්‍ෂ ආණ්ඩු කාලයේ ක්‍රමයෙන් ඒ ආණ්ඩුවේම ක්‍රියාකාරිත්වය පදනම් කරගෙනය. අවසානයේ එය රාජපක්‍ෂ ආණ්ඩුව වැටීමටද හේතුවිය. අද ගොඩනැඟෙමින් පවතින රාජපක්‍ෂ කඳවුරේ ඇතුළු වලල්ලද ඒ ආරෙටම යන එකකි. මහින්ද රාජපක්‍ෂ මහතා  ඇතුළු වලල්ලෙන් පිට කන් යොමවන්නේ නැත්නම් 2020 පසුවත් රටට එතරම් සෙතක් බලාපොරොත්තු විය නොහැකිය.

Sunday, May 7, 2017

නූතන බෞද්ධ පුනුරුදය

මීට අවුරුදු විස්සකට පමණ ඉහත මේ රටේ සංස්කෘතිය පිළිබඳව යම් මිම්මක් ගෙන නැවත අවුරුදු විස්සකින් පසුව, එනම් අද දවසේද ඒ මිම්ම ගෙන ඒ මිමි දෙක සංසන්දනය කල හොත් මේ අවස්ථා දෙක අතර කැපී පෙනන සංස්කෘතික වෙනසක් දැකිය හැකිය. ඒ නම් එදාට වඩා අද බෞද්ධයින් පොදුවේ තම බෞද්ධකම ඉස්මතු කරගෙන සිටීමය. එය නූතන බෞද්ධ පුනුරුදයක් ලෙස හැඳින්වීය හැකිය.

පෙරට වඩා අද පොදුවේ බෞද්ධයින් ආගමික කටයුතු වලට නැඹුරුව සිටිති. බොහෝ දෙනා බණ පොත් කියවති. බණ පොත්ද බහුලය. ත්‍රිපිටකය කියවන එහි ඇති ගැඹුරු ධර්ම ගැන අවබෝධයක් ඇති පිරිස වැඩිය. දවස පුරා බණ ඇසිය හැකි රූපවාහිනී නාලිකා ඇත. දවස පුරා මේ නාලිකා නරඹන අයද සිටිති. බෞද්ධ සිද්ධස්ථාන වන්දනාවේ යන පිරිස වැඩිය. බෞද්ධයෝ පෙරට වඩා මහා පරිමාණ දානමය පිං කම් වල නිරත වෙති. දිවයිනේ ප්‍රධාන සිද්ධස්ථාන අළලා කෙරෙන මේ පිංකම් වල ලක්‍ෂ සංඛ්‍යාත මල් පහන් පූජා, ගුවනින් මල් ඉසීම්, දහස් ගණන් අටපිරිකර පිළිගැන්වීම් දුලබ නොවේ. ධර්ම කථනයේ දක්‍ෂ භික්‍ෂූන් වහන්සේලාට අද ඇති ඉල්ලුමද ඉහලය. සමහර භික්‍ෂූන් වහන්සේලා වටා ගිහියෝ රොක්ව සිටිති. ඒ සමහර කණ්ඩායම් කල්ලි ලෙස හැඳින්විය හැකිය. සමහර ගිහියෝද ධර්ම ප්‍රචාරනයේ යෙදෙති ඔවුන් වටාද කල්ලි ඇත. ආරණ්‍යගත භික්‍ෂූන් වහන්සේලාද බහුල වී ඇති සේය. පෙරට වඩා උන්වහන්සේලා ගිහියන්ට බණ දේශණා කරමින් ගිහියන් සමඟ ගණුදෙනු කිරීමට කැමත්තක් දක්වති. පෙරට වඩා බෞද්ධයේ භාවනාවෙහි යෙදෙති. ඒ සඳහා පුහුණුව ලබති. 

එපමණක් නොවේ. පසුගිය වසර විස්ස කාල පරතරය තුල තවත් කැපී පෙනෙන සංස්කෘතික වෙනසක් සිදුව ඇත. එනම් සංස්කෘතික පිරිහීමය. අද එදාට වඩා අප සමාජය බටහිර සංස්කෘතියේ ගිලී ගොස් ඇත. සාමූහිකත්වය පරයා පුද්ගලිකත්වය ඉස්මතු වී ඇත. 

නූතන බෞද්ධ පුනුරුදයත් සංස්කෘතික පිරිහීමත් එකිනෙක හා සමඟ අත්වැල් බැඳගෙන බිහිවුනු දේ මිස ඊට කලින් ඒ උදෙසා ක්‍රියාත්මක වුනු සමාජ ආර්ථික දේශපාලන ක්‍රියාදාමයක ප්‍රථිපලයක් නොවේ. වසර විස්ස කාල පරතරය සසඳනවිට පුනුරුදය සහ පිරිහීම අමුත්තක් ලෙස පෙනෙන්නේ එබැවිනි. 

පුනුරුදයත් පිරිහීමත් දෙකෙහිම ගාමක බලය නාගරික සිංහල බෞද්ධ උගතුන්ය. සමහර නූතන බෞද්ධ පුනුරුදයේ ලක්‍ෂණ බටහිර සංස්කෘතියේ ගිලීමෙහි ආනිසංසය. තවත් සමහර ලක්‍ෂණ සංස්කෘතිය පිරිහීමට එරෙහිව සමාජය විසින් දක්වන ප්‍රතිචාරය. ඒ අනුව සංස්කෘතික පිරිහීම නුතන බෞද්ධ පුනුරුදයට ධනාතමකවත් සෘණාත්මකවත් බලපායි. අනිත් අතට පුනුරුදයත් සංස්කෘතිය පිරිහීමට ධනාත්මකවත් සෘණාත්මකවත් බලපායි.  


සිංහලුන් සංස්කෘතියෙන් පිරිහෙන ගමන් බෞද්ධ කමක් පවත්වා ගෙන යන්නේ කෙසේද? නූතන බෞද්ධ පුනුරුදයේ ගාමක බලය වන වයස අවුරුදු තිහ පනහ අතර වෙන නාගරික උගත් බෞද්ධයින්ට එය කල හැකිය. ඔවුහු එක් පයක් බටහිර සංස්කෘතියේත් තව පයක් සිංහල බෞද්ධ සංස්කෘතියේත් තබාගෙන මේ ගමන යති. නමුත් වයස අවුරුදු හැට හැත්තෑවක් වන ඔවුන්ගේ දෙමව්පියන් බොහොමයකට මේ දෙබිඩි ජීවිතය සරිලන්නේ නැත. ඔවුහු බොහෝ දෙනා තම දරුවන්ගේ ලෝකවලින් ඈත්ව හුදෙකලාව ජීවිත් වීමට එක් හේතුවක් එයය. නමුත් ඔවුන්ටද පුනුරුදයේත් පිරිහීමේත් ආභාශය දැනේ. ඔවුන්ට කල හැක්කේ කරන්නේ බණ පොතටත් බෞද්ධ නාලිකාවලටත් අනුගතවීමය. 

තාත්තලාත් සීයලාත් ඔවුන්ට ආවේනික මං ගනිද්දී නූතන බෞද්ධ පුනුරුදය හා සංස්කෘතික පිරිහීම හමුවේ බාල පරම්පරාව එනම් පුත්තු කුමන මඟක් ගනීවිද?

තාත්තලා මෙන් නොව පුත්තු බොහෝ විට පුනුරුදය හා පිරිහීම අතර අන්‍යෝන්‍ය සම්බන්ධය ගැටුමක් ලෙස දකිනු ඇත. පුතුන්ට පය දෙතැනක තබාගෙන ජීවත්වීමේ හැකියාව නැත. ඔවුන්ට එය ගැටුමකි. එබැවින් පුත්තු කුමන මඟක් ගත්තද නූතන බෞද්ධ පුනුරුදය මෙලෙසම පවත්වාගෙන යාමට ඔවුන් දායක නොවෙනු ඇත.
එබැවින් නුදුරු අනාගතයේම අද අප අත් දකින බෞද්ධ පුනුරුදය දියවී යනු ඇත.

ගැටුම නිරාකරණය කරන වස්
පුත්තු බෞද්ධකම යම් අකාරයකට රැකගෙන බටහිර සංස්කෘතියට අනුගත වීමට ඉඩ ඇත. එසේ වුවහොත් එහි සිංහල බෞද්ධකමක් රැකෙන්නේ නැත. එසේ වුවහොත් අනාගත සිංහල බෞද්ධ පරම්පරාවල් හා බටහිර බෞද්ධයින් අතර වෙනසක් නැති වෙනු ඇත. පුද්ගලිකත්වය ඉස්මතු වී සාමූහිකත්වය යට යනු ඇත. අද දකින සමූහයක් වශයෙන් කෙරෙන මහා පිංකම් තාත්තලාගේ පරම්පරාවෙන් නවතිනු ඇත.

නමුත් පුතුන්ට මීට ඉඳුරාම වෙනස් මඟක් ගැනීමටද හැකියාවක් ඇත. ඒ සාමූහිකත්වය එලෙසම තබාගෙන බටහිර සංස්කෘතිය සහ එහි දැනුම අවශෝෂණය කර ගැනීමෙනි. තාත්තලාට වඩා පුතුන්ට එය ඉටු කර ගැනීමට විභවයක් ඇතැයි මට සිතේ. පුත්තු ඒ මඟ ගතහොත් ඔවුන් විසින් සිංහල බෞද්ධකමක් රැක ගනු ඇත. එය අද පවතින නූතන බෞද්ධ පුනුරුදයට වඩා වෙනස් ලක්‍ෂණ දරනු ඇත. එය සීයලාගේ සිංහල බෞද්ධ කමින්ද වෙනස්වනු ඇත. නමුත් තාත්තලා මෙන් දෙබිඩි ජීවතයක් නොව සීයලා මෙන් තමන්ටම ආවේනිකවූ සිංහල බෞද්ධ සංස්කෘතියක් ඔවුන් සහ අනාගත පරම්පරාවන් විසින් ගොඩනඟනු ඇත. අපේ පැතුම විය යුත්තේ එයයි.

Tuesday, May 2, 2017

දිනන ජනතාව සහ පරදින ආණ්ඩුව


 
 
කුඩා කාලේ අහපු කථාවක්. මතක නෑ කව්ද කථා නායකයා කියල. අන්දරේ වෙන්ඩ ඇති.

එකමත් එක කාලෙක ඉංදියාවෙ ඉඳල මල්ලව පොර කාරයෙක් එනව ලංකාවට. ඉංදියන් කාරයා පරද්දන්ඩ කාටවත් බෑ. මිනිහ හරි ශුරයා කියල රට පුරා කථාවක් යනව. රජ වාසලටත් ආරංචි වෙනවා.  අපේ මිනිහ රජතුමාට කියනව මට පුළුවන් මේ ඉංදියන් කාරයව පරදන්ඩ කියල. ඔන්න ඉතිං රජතුමාත් දෙන්න අතරෙ තරඟයක් සූදානම් කරනව.

තරඟෙට කලින් දවසෙ අපේ එකා ඉල්ලනව ඉංදියන් කාරයගේ අල්ලපු කාමරේ රෑට නිදිය ගන්ඩ. රෑ තිස්සේ අපේ එකා මේ කාමරේ ඉඳං අනිත් කාමරේ ඉන්න ඉංදියන් කාරයට කථා කරලා පම්පෝරි ගහනවා. ඌ කියනවා අරූට ගැහුව හැටි මූට ගැහුව හැටි. ඉංදියන් කාරයා ඒව අහල බය වෙනවා.

ඔය අතරේ අපේ එකා කාමර දෙක අතරෙ බිත්තිය හාරනවා. හාරල හාරල බදාම ලඟට එනකොට මූ ඉංදියන් කාරයට කථා කරලා අහනවා "මචං උඹ ලඟ විටක් නැද්ද?" කියල. ඉංදියන් කාරයා කියනවා තියෙනවා හැබැයි කොහොමද දෙන්නෙ කියල අහනවා. එක පාරටම අපේ එකා අර හාරපු බිත්ති කෑල්ලට මිට මොලවලා ගහල බිඳ දාල "මේං මෙතනින් දියංකො" කියල ඉංදියන් කාරයට කියනවා. ඉංදියන් කාරයා හිතුවා මූ බිත්තිය පසාරු වෙන්ඩ ගැහුවා නේද කියල. ඌ හොඳටම බයවුණා. පහුවදා තරඟ බිමට ඉංදියන් කාරයා යන්නේ පණ බයේ ඌට හොඳටම විශ්වාසයි ඌ පරදිනවා කියල. ඒත් කරන්ඩ දෙයක් නෑ තරඟ වදින්ඩ වෙනවා.

දැන් මිනිස්සු වට වෙලා ඉන්නවා. දෙන්න මැද්දෙ. තරඟෙ පටං ගන්ඩ රජතුමා අණ දුන්නම අපේ එකා රවුමෙ තැනක් පෙන්නලා මිනිස්සුන්ට කියනවා ඔය ඔතනින් පොඩ්ඩක් ඈත් වෙන්ඩ කියලා. රවුමට හිටිය මිනිස්සු රවුම කඩලා ඉඩක් දෙනවා. මේක දැකපු පණ බයේ හිටිය ඉංදියන් කාරයා අවස්ථාවෙන් ප්‍රයෝජනය අරගෙන ඒ හිඩසින් පැනලා දුවනවා.

අපට දිනන්ඩ නම් සමහර වෙලාවට ප්‍රතිවාදියාට වුනත් පරදින්ඩ ක්‍රමයක් හදලා දෙන්ඩ වෙනවා.