Sunday, April 16, 2017

රටේ කුණු


මීතොටමුල්ල ඛේදවාචකයක්. ජනාකීර්ණ ප්‍රදේශයකට අවුරුදු ගාණක් තිස්සේ කුණු ගෙනත්දාලා ගෙනත්දාලා රටේ කුණු ප්‍රශ්ණය එ අවට ජීවත්වුනු මිනිස්සුන්ගේ පුද්ගලික ප්‍රශ්ණයක් බවට පත් කෙරුනා. දැන් ප්‍රශ්ණය පුපුරා ගිහින් ඒ මිනිස්සු ජීවිත වලින් වන්දි ගෙවලා. ඒකේ වගකීම රටම නැත්තම් අඩු තරමින් කොළඹ ජීවත්වෙන සහ කොළඹට යන එන මිනිස්සු භාර ගන්ඩ ඕනෙ. මේ රජය නම් කිසි දෙයක වගකීම් භාර ගන්න රජයක් නෙවෙයි. භාර ගත්තත් විසඳන්ඩ හැකියාවකුත් නෑ. මහින්ද රාජපක්‍ෂ රජය නම් යම් යම් විසඳුම් සොයන්ඩ පටන් ගත්තා සමහර විසඳුම් ක්‍රියාත්මක කරමින් හිටියා. නමුත් ඊට සම්පූර්ණ විසඳුමක් ලබෙුනේ නැහැ. අවුරුදු ගාණක් තිස්සේ ඔඩු දුවපු ප්‍රශ්ණයක් එක වරම විසඳන්ඩ බැහැ කියලයි කියවුනේ. ඒකෙ ඇත්තක් තියෙනවා.

නමුත් මේ කාටත් කුණු ප්‍රශ්ණය විසඳන්ඩ බැහැ. බැරි සමස්ථ ප්‍රශ්ණය තේරුම් නොගන්නා නිසයි.

ප්‍රශ්ණය කුණු ඉවත්කිරීමේ විදිමත් ක්‍රමයක් නැතිවීම විතරක් නෙවෙයි. කුණු එකතු වීමත් ප්‍රශ්ණයක්. කුණු කියන්නේ අපි පරිභෝජනය කරලා ඉතුරු කරන අපද්‍රව්‍යය. ඉතුරු වෙන්නේ ඇයි? ඉතුරු වෙන්නේ අපි වැඩියෙන් අත්පත් කරගන්න නිසයි. අපි නංගිටයි මටයි ගෙඩි දෙකක් ඇතියි කියන සමාජයක් නෙවෙයි පැණි දොඩම් වැඩියෙන් කඩන සමාජයක් බවට පත්වෙලා. වැඩියෙන් කඩනවා කියන්නේ කඩේට ගිහින් කන කෑම අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩියෙන් ගන්නවා කියන එක විතරක් නෙවෙයි. අපි ජීවත් වෙන්ඩ අවශ්‍ය ප්‍රමාණයට වඩා හැම දෙයක්ම වැඩියෙන් අත්පත් කරගන්න සමාජයක් බවට පත්වෙලා. වැඩියෙන් අත්පත් කරගන්නකොට වැඩියෙන් අහක දාන්ඩ වෙනවා. ජංගම දුරකථන අළුත් වෙන්ඩ අළුත් වෙන්ඩ කුණු බවට පත් වෙන දුරකථන වැඩිවෙනවා. කුණු එකතුවීම පරිභෝජන ජීවන රටාවත් එක්ක බැඳිල තියෙන දෙයක්. අපේ ජීවන රටාව ඉතා බරපතල ලෙස වෙනස් නොකර කුණු ප්‍රශ්ණය විසඳන්ඩ බැහැ. පැලැස්තර අලවන්ඩ පුළුවන් නමුත් විසඳන්ඩ බැහැ.

ජීවන රටාව වෙනස් කරගන්ඩ නම් අපේ ආකල්ප වෙනස් කරගන්ඩ වෙනවා. අපට ඕන නම් ප්ලාස්ටික් මලු වෙනුවට පං මලු පාවිච්චි කරන්ඩ පුළුවන්. ඒක හොඳයි ඒකෙන් යහපත් ප්‍රතිඵලයක් තියේවි. නමුත් ඒක කරනවා නම් ආණ්ඩුවෙන් ප්ලාස්ටික් මලු භාවිතය තහනම් කරන්ඩ ඕනෙ. එහෙම නැතිව ප්ලාස්ටික් මලු නිපදවන ආයතන වලටත් වෙලඳ පොල අවහිර නොකරගෙන අපි පං මලු පාවිච්චි කරමු කියලා සංහිඳියා වර්ගයේ ප්‍රචාරක ව්‍යාපෘති කරලා වැඩක් වෙන්නේ නෑ. වැඩක් වෙන්ඩ නම් ආකල්පීය වශයෙන් වෙනසක් සිදුවිය යුතුයි. ඒ ආකල්ප මත පදනම් වෙලා දේශපාලන වෙනස්කම් සිදුවිය යුතුයි. මේ ආණ්ඩුවට එහෙම දේවල් කරන්ඩ කොන්දක් නැහැ. 

බටහිර ජීවන ක්‍රමයේ වෙලඳපොල ආර්ථික රටාව එලෙසම තබාගන්නවාද නැත්තම් ඊට බරපතල වෙනසකම් කරනවාද? 

අද අපි අනුකරණය කරමින් යන බටහිර සංස්කෘතික ජීවන රටාව වෙනුවට නිවන අරමුණ කරගත්ත සිංහල බෞද්ධ ජීවන රටාවකට යොමුවිය යුතුය යන ආකල්පය අපි වර්ධනය කරන්ඩ ඕනෙ. ඒ ආකල්පය මත හිඳගෙන ක්‍රමයෙන් කෙරෙන සමාජීය හා දේශපාලන වෙනස් කම් වලින් අපට පුළුවන් කුණු විතරක් නෙවෙයි අකුසලුත් එකතු වෙන එක නැති කරගන්ඩ. එහෙම නැතිව බටහිර ජීවන රටාවේ තව දුරටත් බඩ ගාන ගමන් කුණු එකතුවීම නවත්තන්ඩ ගෙනෙන එකම විසඳුමක්වත් කිසිදාක සමස්ථ ප්‍රශ්ණයට විසඳුමක් වෙන්නේ නැහැ.

1 comment:

  1. අද ලෝකය පුරාම පවතින්නේ ධනවාදී ආර්ථිකයේ විවිධ ස්වරූපයි. අවශ්‍යය අනවශ්‍යය බේදයකින් තොරව වැඩි වැඩියෙන් පරිභෝජනයට පෙළඹවීම මෙම ක්‍රමයේ ආවේනික ලක්ෂණයක්. මිනිසුන්ගේ ඉන්ද්‍රියන් පිනවීමේ අසීමිත අශාවත් සමඟ මෙය ඉතා හොඳින් ගැලපේ.

    රජයක් විදිහට මේ ක්‍රමයට විරුද්ධ මඟක යන්න දැරූ එකම උත්සාහය 70-77 මැතිණියගේ ආණ්ඩුවයි. අපේ රටේ මිනිස්සු ඒ රජය පරදවලා 5/6 බලයක් දීලා ජේ. ආර්. පත්කලා. එදා මෙදා තුර දේශපාලකයින් විසින් මැතිණියගේ ආර්ථික ප්‍රථිපත්ති වල වැරදි කියනවා විනා එයින් ලැබූ කිසිම ප්‍රයෝජනයක් ගැන කියනවා මට ඇහිලා නැහැ. විශේෂයෙන් අද සමාජයේ සඟ වෙඳ ගුරු ගොවි කම්කරු කියන පංච මහා බලවේගයට හිමි තැනක් තිබේද? මේ අය කොන්වී නැත්ද? මෙහි ඇති ලොකුම විහිළුව අප විසින් නොසලකා හරින මේ කණ්ඩායම්, ආර්ථික දියුණුවේ හිණිපෙතේ ඉහළින්ම සිටින රටවල්වල රජයන්ගේ විශේෂ ප්‍රථිලාභ ලබන කණ්ඩායම් වීමයි. මෙහිදී සඟ යන වචනය පූජක ලෙස වෙනස් විය යුතුයි.

    ඔබ සඳහන් කර ඇති නිවන අරමුණ කරගත්ත සිංහල බෞද්ධ ජීවන රටාවකට යොමුවිය යුතුය යන අදහසට එකඟ වන අතර එය අපට අළුත් දෙයක් නොවන බවත් සඳහන් කලයුතුයි. දශක කීපයකට පෙර වෙනස් වන තුරු අපේ රටේ පැවතුනෙත් ඒ ක්‍රමය නොවේද? මෙවැනි දෑ පිලිබඳව සඳහන් කිරීම අතීත කාමයද?

    ReplyDelete