Monday, April 10, 2017

රහසින් පව් කිරීම

දිනක් හවස් වරුවේ ඇල වී සිටින අතරතුරේ නාථට දුරකථන ඇමතුමක් ලැබිනි. 

හලෝ නාථ මේ ජාත්‍යන්තර මානසිකෙන් කතා කරන්නෙ.
කව්ද…? නාථට නිච්චියක් නැත.
අපි මේ ජාත්‍යන්තර මානසික හිමිකම් සුරැකීමේ සංවිධානයෙන්, ඔබතුමාට අපේ සම්මන්ත්‍රණයකට ආරාධනය කරන්ඩයි කතා කලේ අනිත් පැත්තෙන් පිළිතුරු දිනි.
ඔය කිව්වෙ ජාත්‍යන්තර මානුශීය හිමිකම් සංවිධානයද? නාථට තවමත් අපැහැදිලිය.
නෑ නෑ මේ මානසිකේ. 
ඔබතුමා එන්ඩකො හෙට අපේ සම්න්ත්‍රනේට හෙතෙම කීවේය.
හා හා හරි හරි හරි..හරි. නාථ දුරකථනය තැබුවේය.

පසුවදා නාථ සම්මන්ත්‍රණ ශාලාවට ගියේ ඉමහත් කුතුහලයෙනි. ශාලාව මාධ්‍ය වේදීන්ගෙන් නමගිය විද්වතුන්ගෙන් දේශපාලඥයින්ගෙන් පිරී ඉතිරී ගොස් තිබිනි. මාතෘකාව වූයේ රටේ මිනිසුන්ගේ මානසික ආතතිය පිළිබඳවය. විවිධ දත්ත ප්‍රස්තාර අතරින් කියවුනේ රටේ මානසික ආතතිය වැඩි වී ඇති බවත් මිනිස්සු ඒ නිසා දුක් විඳින බවත්ය. අන්තිම දේශනය පැවැත්වූයේ ජා.මා.ස යේ සභාපති වරයා විසිනි. ඒ මානසික ආතතියට හේතු පිළිබඳවය. හෙතෙමද විවිධ දත්ත ප්‍රස්තාර යොදාගෙන මානසික ආතතියට හේතුව පැහැදිලි කලේය. හේතුව මේකයි කථාව අවසානයේ සංශිප්ත වශයෙන් ඔහු දැක්වූයේය. 

මේ රටේ මිනිස්සු කුහකයි. ඒකයි මූලික හේතුව. කුහකයි කියන්නේ මේකයි. බොහෝ මිනිස්සු පව් කරනවා නමුත් පව් කරන්නේ රහසින්. කරනවා නමුත් ප්‍රසිද්ධියේ පිළිගන්නේ නෑ. ලැජ්ජයි. බයයි. මේක කුහක කම. මේ කුහක කම නිසා තමයි මිනිස්සුන්ට මානසික ආතතියක් ඇතිවෙන්නේ. තමන්ගේ හැඟීම් නිදහසේ ප්‍රකාශ කරගන්ඩ බැරි වුනාම එහෙම තමයි. ඒ නිසා අපි නිර්දේශ කරනවා රහසින් පව් කරන එක අධෛර්මත් කරන්ඩ කියල. 

කරන්ඩ හොඳනම් කියන්ඩ ලැජ්ජා වෙන්නේ ඇයි? 

කරනවා නම් රහසින් කරන්නේ ඇයි? කුහක වෙන්නේ ඇයි? මේ කුහක කම අත් හැර ගන්ඩ හැකිනම් රටේ මානසික ආතතිය අවම කරගන්ඩ පුළුවන්. අපි ඒ සඳහා පාසල් මට්ටමෙන් ක්‍රියාත්මක කල හැකි වැඩපිළිවෙලක් රජයට යෝජනා කරනවා. සභභාවේ ඔල්වරසන් මධ්‍යයේ ජා.මා.ස යේ සභාපති වරයා පැවසීය.

හපොයි! නාථට ඉබේටම කියැවිනි නමුත් ඔහු හඬක් නොනගා සිටියේ වටේම සිටිවුන් ජාත්‍යන්තර මානසිකේ නිර්දේශය පිළිගත් බව පෙනුන නිසාය. කාලෙකට පස්සේ වැදගත් ශාස්ත්‍රීය වැඩක් කෙරුනා කෙනෙකු පවසනු නාථට ඇසිනි. නාථ ශාලාවෙන් නික්ම යන්නට හැරිනි.

නාථ අයිසේ පොඩ්ඩක් ඉන්නවා. කව්දෝ පිටුපසින් පැමිණ නාථට තට්ටු කලේය.

බැලින්නම් නාථ හඳුනන මාධ්‍යවේදියෙකි.
නාථ මොකද හිතන්නේ? ඔහු ඇසීය. කිව්වත් වැඩක් නැති බව දැන ගත්තද නාථ තමන්ගේ අදහස මාධ්‍යවේදියාට කියා දැමීය.

මේකනෙ මහත්මයා. බුදුහාමුදුරුවෝ අපට උගන්වලා තියෙන්නේ අකුසල් අකුසල් බව ප්‍රත්‍යක්‍ෂයෙන් දැන ගන්ඩ කියලයි. ඔය විදර්ශණා භාවනා වඩන්නේ ඒකටනෙ. ප්‍රත්‍යක්‍ෂයෙන් දැන ගත්තහම මිනිස්සු ආයේ ඒ පව් කරන්නේ නෑ. නමුත් ඕක හැමෝටම බෑනෙ. බැරි වෙනකොට ඉතිං ඊලඟට අපි උත්සාහ කරන්නේ පව් තවන්ඩ. ඒ කියන්නේ පව් කරන එක වීර්යයෙන් නවත්ත ගන්ඩ. ඕකත් බැරිකොට තමයි මිනිස්සු රහසින් පව් කරන්නේ. රහසින් කිව්වට ඔතන වෙන්නේ අපි පව් කරන්නෙත් නෑ නොකරන්නෙත් නෑ වගේ ඉන්න එකනෙ. ද්විකෝටිකයෙන් තර්ක කරනකොට ඕක කුහක කමක් කියල හිතුවට ඒක කුහක කමක් නෙවෙයි. අපට පව් කරන්නෙත් නෑ නොකරන්නෙත් නෑ වගේ ඉන්න පුළුවන්. එතන ආතතියක් නෑ. එහෙම කලාය කියලා අපි නිවන් මඟට විරුද්ධ දිශාවකට යන්ඩ පෙලඹෙන්නේ නෑ. රහසින් පව් කලත් අපි එහෙම කරන්නේ නිවන් මඟ පිළිගන්න නිසයි. ඒක වැදගත්. කරන්ඩ ඕනෙ මිනිස්සු පව් කරන එක වලක්වන එක මිසක් මිනිස්සු රහසින් පව් කරන එක නවත්තන එක නෙවෙයි.

හ්ම් හ්ම් මාධ්‍ය වේදියා හූමිටි දෙමින් අසා සිටියද එක්කෝ ඔහු තේරුම් ගත්තේ නැත නැත්නම් ඔහු නාථ කී දේ පිළිගත්තේ නැත. කෙසේ නමුත් මම මේක හෙට පත්තරේ දාන්නම් කියමින් ඔහු යන්ට ගියේය. පසුවදා පත්තරේ මුල් පිටුවේ ජා.මා.සයේ සම්මන්ත්‍රණය පිළිබඳ දිගු ලිපියකි. මුල් ඡායාරූපයේ නාථද සභාවේ සිටිනු පැහැදිලිවම දකින්නට තිබුනු නමුත් ඔහු කී කිසිවක් ලිපියේ නොවිනි. 

කාලය ගෙවිනි. පව් කරන්ඩ හොඳනම් කියන්ඩ ලැජ්ජාවෙන්නේ ඇයි යන ආකල්පය පාසල් වලින් පටන්ගෙන සමාජය පුරා පැතිරවිනි. තරුණ පරපුර ඊට තදින් ආකර්ශණය විය. සමාජ ජාල පුරා ඒ ආකල්ප ආදර්ශයට ගැනිනි. මිනිස්සු තමන්ගේ බිත්තිවල තමන් කල පව් ගැන උජාරුවෙන් ස්ටේටස් දැමූහ. පව් වැඩ පිළිබඳ සංඝණන පැවත්වූහ. තරඟ පැවැත්වූහ. 

ඒ අතර පිරිසක් මේ සමාජ විපර්යාසයන්ට තදින්ම විරුද්ධ වූහ. ඔවුහු පිං කිරීම සහ තමන් පිං කිරීම ගැන ප්‍රසිද්ධියේ කිව යුතුය යන ආකල්පය ප්‍රවර්ධනය කලහ. ඔවුහු තමන් කල පිං ගැන උජාරුවෙන් ස්ටේටස් දැමූහ. පිං වැඩ පිළිබඳ සංඝණන පැවත්වූහ. තරඟ පැවැත්වූහ. අවසානයේ සමාජය ප්‍රසිද්ධියේ පිං කරන්නන් සහ පව් කරන්නන් වශයෙන් බෙදී ගියේය. 

වසර ගණනක් ගෙවුනු පසු ජාමාසයෙන් පසු විපරම් පර්යේශණයක් පැවැත්විනි. එහි ප්‍රතිඵල නිකුත් කිරීම සඳහා මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වුනු නමුදු නාථට ආරාධනයක් නොලැබිනි. කෙසේ නමුත් ඒ ගැන කන වැකුණු නාථ එහි ගියේය. එතරම් උත්සවාකාරයක් නොපෙනුනු අතර එතරම් සෙනඟක්ද එහි සිටියේ නැත.
දැන් මිනිස්සුන්ගේ ආතතිය අඩුවෙලාද? මාධ්‍යවේදියෙක් ජමාසයේ සභාපතිගෙන් ඇසීය. මෙහෙමයි, දැන් මිනිස්සුන්ගේ කුහක කම නම් නැත්තටම වගේ නැතිවෙලා කියලනම් කියන්ඩ පුළුවන්. ඒ කියන්නේ ආතතිය අඩුද? කටකාර මාධ්‍යවේදීයා නැවත ඇසීය. මෙහෙමනෙ අපි ගිය පාර හොයා ගත්තේ කුහක කම නිසා ආතතිය ඇතිවුනු බවයි ඉතිං ඒ නිගමණයට අනුව දැන් කුහක කම අඩු නම් ආතතිය අඩු වෙලා කියලා අපෝහණය කරන්ඩ පුළුවන් නේද? පෙරලා ඔහු මාධ්‍යවේදියාටම ප්‍රශ්ණය භාර දුන්නේය.

දැන් මිනිස්සු පව් කරනවා අඩුද? තවත් එකෙක් ඇසීය. මෙහෙමයි පව් පිං කියන දේ ජාත්‍යන්තර මානසික හිමිකම් සුරුකීමේ සංවිධානයේ විශයට අයත් වෙන්නේ නෑ. ඒ නිසා අපි ඒ ගැන අවධානයක් යොමු කරන්නේ නෑ. කෙසේ නමුත් අපේ දත්ත පවසන්නේ පිං කරන අයත් පව් කරන අයත් ගණනින් වෙනස් වී නැති බවයි. ජමාසයේ සභාපති වරයා පැවසීය. මාධ්‍ය හමුව නිමවිය. සියල්ලෝ සතුටින් විසර ගියහ. ශාලාවෙන් පිටවෙන අතරේ කෙනෙකු පිටුපසින් පැමිණ නාථ ඇමතීය.

අයිසේ නාථ ඔහොම ඉන්නවා.
ආ මේ හසන්තනෙ කොහොමද? නාථ මාධ්‍යවේදියා හඳුනාගත්තේය. මොකද හිතන්නේ මාධ්‍ය වේදියා නාථගෙන් විමසා සිටියේය.
මොනව ගැනද? 

නෑ මං කියන්නේ පිං කරන අයයි පව් කරන අයයි ගණනින් වෙනස් වෙලාත් නෑ මිනිස්සු කුහකත් නැති නිසා අවුලක් නෑනේද? හසන්ත මන්ද ස්වරයෙන් පෙරලා අසා සිටියේ නාථ කලින් වාරයේ කල ප්‍රකාශය පත්තරේට නොදැමු නිසා තමා සමඟ අමනාපයෙන් සිටින්නේ යැයි සැක කල බැවිනි. 

පිං කලත් වැඩක් නෑ හසන්ත දැන් ඔය කවුරුත් එදාට වඩා අද නිවන් මඟින් ඈත් වෙලා.


ඒ කියන්නේ රහසින් පව් කරන්ඩ ඉඩ දෙන්ඩ ඕනෙද? හසන්ත ඇසුවේය.
නාථ කිසිවක් නොකියා යන්ට ගියේය.


No comments:

Post a Comment