Sunday, April 23, 2017

තාරුණ්‍යයට දේශපාලනමය සෙවනක්

සංස්කෘතිය වෙනස් වෙනකොට එක ළඟ පරම්පරා දෙකක් අතර සංස්කෘතික වෙනසක් ඇති වෙන්ඩ පුළුවන්. ඒ වෙනස නිසා දෙමව්පියන් සහ දරුවන් අතර අන්‍යෝන්‍ය අවබෝධය අඩු වෙන්ඩ පුළුවන්. සංස්කෘතියක් නිරන්තරයෙන්ම වෙනස් වෙන නිසා ඕනෑම පරම්පරා දෙකක් අතර මෙහෙම වෙනසක් තියෙන්ඩ පුළුවන් වුනත් අද අපේ රටේ තරුණ සහ වැඩිහිටි පරම්පරා අතර ඇති සංස්කෘතික පරතරය අද දවසේ බටහිර රටක ඇති එම පරතරයට වඩා වැඩියි. ඒකට හේතුව අපේ සංස්කෘතිය වෙනස් වෙන වේගය වැඩි නිසයි.

මේ තරුණ-වැඩිහිටි සංස්කෘතික පරතරය නිසා ඇති වෙන දේශපාලන ප්‍රශ්ණයක් තියෙනවා.

සාමාන්‍යයෙන් රටක දේශපාලන නායකත්වය වගේම දේශපාලන මතවාද වලත් ආධිපත්‍යය හිමිවන්නේ රටේ වැඩිහිටි පරම්පරාවට. දේශපලනයේ මුහුකුරා යන්නේ වයසත් එක්ක. ඒ නිසා දේශපාලන සෙවන අනිත් සාමාජීය කරුනු මෙන් නොව ඉහල පරම්පරාවකින් තරුණයින්ට දායාද වෙන එකක්. තරුණ-වැඩිහිටි සංස්කෘතික පරතරය වැඩිවෙනකොට වැඩිහිටියන්ගේ දේශපාලනය තරුණයන්ට යාදෙන්නේ නැතිවෙන්ඩ පුළුවන්. අද අපේ රටේ එහෙම තත්වයක් තියෙනවා.


අපි තරුණයෝ කාලෙ ඒ කියන්නේ අසූව දශකයේ, එහෙම ප්‍රශ්ණයක් තිබුනේ නෑ. අපි දේශපාලනය ගැන උනන්දුවක් ඇති වෙන වයස එනකොට මේ රටේ පිහිටුවා තිබුනු කිසියම් දේශපාලන ප්‍රවාහයකට අනුගත වෙන්ඩ අපට එතරම් ප්‍රශ්ණයක් වුනේ නෑ. අපට සංස්කෘත හෝ දේශපාලන පරතරයක් ඇඟට දැනුනේ නෑ. නමුත් පවතින දේශපාලන ප්‍රවාහයන් වලට එකතු වෙන්ඩ කුමක් හෝ හේතුවක් නිසා අද ඉන්න තරුණයින් මැලි කමක් දක්වනවා.

තරුණයන්ට දේශපාලන හව් හරණක් නැති වීම යහපාලන ව්‍යාපෘතිය විසින් ඉතා කුට විදිහට ප්‍රයෝජනයට ගත්තා. අරං මේ රටේ තරුණයින්ව නොමඟ යැවුවා. යහපාලන ව්‍යාපෘතිය කලේ වෙන දෙයක් නෙවෙයි තරුණයින් ඉල්ලන දේශපාලන මාලිගාව ඔවුන්ට හදල දීල ඔවුන්ගේ ඡන්දය මංකොල්ල කාපු එකයි. නමුත් ඒක වැල්ලේ තනපු මාලිගාවක් බව ඔවුන් අද තේරුම් අරගෙන ඉන්නවා. නමුත් ඒකට තරුණයින්ට දොස් කියන්ඩ බැහැ.

යහපාලන ව්‍යාපෘතිය දේශ ද්‍රෝහී එකක් බව කාටත් පැහැදිලියි. දේශපාලනයෙන් මුහුකුරා නොගියත් මේ රටේ තරුණයෝ රට දැයට ආදරෙයි. මේ ආණ්ඩුවේ අනන්‍යතාව බවට පත්වෙලා තියෙන දේශ ද්‍රෝහය, වෛරය, අදක්‍ෂකම, සමඟ මේ රටේ තරුණයෝ එකතු වෙන්නේ නෑ. නමුත් තරුණයින්ට එකතු වෙන්ඩ පුළුවන් දේශපාලන ප්‍රවාහයකුත් අද මේ රටේ නැහැ. තරුණයින් ගේ දේශපාලනය කියන්නේ තරුණ දේශපාලඥයින්ගේ දේශපාලනය නෙවෙයි තරුණයින්ගේ ආකල්ප සහ මතවාද සමඟ ගැලපෙන දේශපාලනයකුයි. තරුණයෝ එකතු කරගන්ඩ නම් පවතින වැඩිහිටියන්ගේ දේශපාලන ප්‍රවාහයන් වෙනස් වෙන්ඩ ඕනෙ.

2020 බලාගෙන ඉන්න දේශපාලඥයින් මේ තරුණයින්ට දේශපාලන සෙවනක් සැදිය යුතුයි. ඒ සෙවනේ දේශ ද්‍රෝහය වෙනුවට දේශප්‍රේමයත් වෛරය වෙනුවට උපේක්‍ෂාවත් අදක්‍ෂකම වෙනුවට දක්‍ෂයින්ට තැන දීම ආදේශ කල යුතුයි. තරුණයින්ට බොරු නොකියා ඇත්ත කිව යුතුයි. අත් කරගන්ඩ බැරි අහස් මාලිගා ගැන නෙවෙයි වීර්යයෙන් ජය ගන්ඩ පුළුවන් අනාගතයක් ගැන ඔවුන් සමඟ කථා කල යුතුයි. බොරු සංහිඳියාවක් ගැන නෙවෙයි ජාතිය ගොඩනැඟීමක් ගැන කථා කල යුතුයි. මේ හැම තැනකදීම තව අවුරුදු පහකින් දහයකින් රට ගෙනගිය යුතු තැන ගැන ආටෝප විච්චූරන නැතිව අවංකව කථා කල යුතුයි. ඩීල් දේශපාලනයට ප්‍රතිවිරුද්ධ තැනක ඉඳං තරුණයින්ට කථා කලොත් ඔවුන් ඒ දේශපාලනය තමන්ගේ සෙවන කර ගනීවි.

Sunday, April 16, 2017

රටේ කුණු


මීතොටමුල්ල ඛේදවාචකයක්. ජනාකීර්ණ ප්‍රදේශයකට අවුරුදු ගාණක් තිස්සේ කුණු ගෙනත්දාලා ගෙනත්දාලා රටේ කුණු ප්‍රශ්ණය එ අවට ජීවත්වුනු මිනිස්සුන්ගේ පුද්ගලික ප්‍රශ්ණයක් බවට පත් කෙරුනා. දැන් ප්‍රශ්ණය පුපුරා ගිහින් ඒ මිනිස්සු ජීවිත වලින් වන්දි ගෙවලා. ඒකේ වගකීම රටම නැත්තම් අඩු තරමින් කොළඹ ජීවත්වෙන සහ කොළඹට යන එන මිනිස්සු භාර ගන්ඩ ඕනෙ. මේ රජය නම් කිසි දෙයක වගකීම් භාර ගන්න රජයක් නෙවෙයි. භාර ගත්තත් විසඳන්ඩ හැකියාවකුත් නෑ. මහින්ද රාජපක්‍ෂ රජය නම් යම් යම් විසඳුම් සොයන්ඩ පටන් ගත්තා සමහර විසඳුම් ක්‍රියාත්මක කරමින් හිටියා. නමුත් ඊට සම්පූර්ණ විසඳුමක් ලබෙුනේ නැහැ. අවුරුදු ගාණක් තිස්සේ ඔඩු දුවපු ප්‍රශ්ණයක් එක වරම විසඳන්ඩ බැහැ කියලයි කියවුනේ. ඒකෙ ඇත්තක් තියෙනවා.

නමුත් මේ කාටත් කුණු ප්‍රශ්ණය විසඳන්ඩ බැහැ. බැරි සමස්ථ ප්‍රශ්ණය තේරුම් නොගන්නා නිසයි.

ප්‍රශ්ණය කුණු ඉවත්කිරීමේ විදිමත් ක්‍රමයක් නැතිවීම විතරක් නෙවෙයි. කුණු එකතු වීමත් ප්‍රශ්ණයක්. කුණු කියන්නේ අපි පරිභෝජනය කරලා ඉතුරු කරන අපද්‍රව්‍යය. ඉතුරු වෙන්නේ ඇයි? ඉතුරු වෙන්නේ අපි වැඩියෙන් අත්පත් කරගන්න නිසයි. අපි නංගිටයි මටයි ගෙඩි දෙකක් ඇතියි කියන සමාජයක් නෙවෙයි පැණි දොඩම් වැඩියෙන් කඩන සමාජයක් බවට පත්වෙලා. වැඩියෙන් කඩනවා කියන්නේ කඩේට ගිහින් කන කෑම අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩියෙන් ගන්නවා කියන එක විතරක් නෙවෙයි. අපි ජීවත් වෙන්ඩ අවශ්‍ය ප්‍රමාණයට වඩා හැම දෙයක්ම වැඩියෙන් අත්පත් කරගන්න සමාජයක් බවට පත්වෙලා. වැඩියෙන් අත්පත් කරගන්නකොට වැඩියෙන් අහක දාන්ඩ වෙනවා. ජංගම දුරකථන අළුත් වෙන්ඩ අළුත් වෙන්ඩ කුණු බවට පත් වෙන දුරකථන වැඩිවෙනවා. කුණු එකතුවීම පරිභෝජන ජීවන රටාවත් එක්ක බැඳිල තියෙන දෙයක්. අපේ ජීවන රටාව ඉතා බරපතල ලෙස වෙනස් නොකර කුණු ප්‍රශ්ණය විසඳන්ඩ බැහැ. පැලැස්තර අලවන්ඩ පුළුවන් නමුත් විසඳන්ඩ බැහැ.

ජීවන රටාව වෙනස් කරගන්ඩ නම් අපේ ආකල්ප වෙනස් කරගන්ඩ වෙනවා. අපට ඕන නම් ප්ලාස්ටික් මලු වෙනුවට පං මලු පාවිච්චි කරන්ඩ පුළුවන්. ඒක හොඳයි ඒකෙන් යහපත් ප්‍රතිඵලයක් තියේවි. නමුත් ඒක කරනවා නම් ආණ්ඩුවෙන් ප්ලාස්ටික් මලු භාවිතය තහනම් කරන්ඩ ඕනෙ. එහෙම නැතිව ප්ලාස්ටික් මලු නිපදවන ආයතන වලටත් වෙලඳ පොල අවහිර නොකරගෙන අපි පං මලු පාවිච්චි කරමු කියලා සංහිඳියා වර්ගයේ ප්‍රචාරක ව්‍යාපෘති කරලා වැඩක් වෙන්නේ නෑ. වැඩක් වෙන්ඩ නම් ආකල්පීය වශයෙන් වෙනසක් සිදුවිය යුතුයි. ඒ ආකල්ප මත පදනම් වෙලා දේශපාලන වෙනස්කම් සිදුවිය යුතුයි. මේ ආණ්ඩුවට එහෙම දේවල් කරන්ඩ කොන්දක් නැහැ. 

බටහිර ජීවන ක්‍රමයේ වෙලඳපොල ආර්ථික රටාව එලෙසම තබාගන්නවාද නැත්තම් ඊට බරපතල වෙනසකම් කරනවාද? 

අද අපි අනුකරණය කරමින් යන බටහිර සංස්කෘතික ජීවන රටාව වෙනුවට නිවන අරමුණ කරගත්ත සිංහල බෞද්ධ ජීවන රටාවකට යොමුවිය යුතුය යන ආකල්පය අපි වර්ධනය කරන්ඩ ඕනෙ. ඒ ආකල්පය මත හිඳගෙන ක්‍රමයෙන් කෙරෙන සමාජීය හා දේශපාලන වෙනස් කම් වලින් අපට පුළුවන් කුණු විතරක් නෙවෙයි අකුසලුත් එකතු වෙන එක නැති කරගන්ඩ. එහෙම නැතිව බටහිර ජීවන රටාවේ තව දුරටත් බඩ ගාන ගමන් කුණු එකතුවීම නවත්තන්ඩ ගෙනෙන එකම විසඳුමක්වත් කිසිදාක සමස්ථ ප්‍රශ්ණයට විසඳුමක් වෙන්නේ නැහැ.

Monday, April 10, 2017

රහසින් පව් කිරීම

දිනක් හවස් වරුවේ ඇල වී සිටින අතරතුරේ නාථට දුරකථන ඇමතුමක් ලැබිනි. 

හලෝ නාථ මේ ජාත්‍යන්තර මානසිකෙන් කතා කරන්නෙ.
කව්ද…? නාථට නිච්චියක් නැත.
අපි මේ ජාත්‍යන්තර මානසික හිමිකම් සුරැකීමේ සංවිධානයෙන්, ඔබතුමාට අපේ සම්මන්ත්‍රණයකට ආරාධනය කරන්ඩයි කතා කලේ අනිත් පැත්තෙන් පිළිතුරු දිනි.
ඔය කිව්වෙ ජාත්‍යන්තර මානුශීය හිමිකම් සංවිධානයද? නාථට තවමත් අපැහැදිලිය.
නෑ නෑ මේ මානසිකේ. 
ඔබතුමා එන්ඩකො හෙට අපේ සම්න්ත්‍රනේට හෙතෙම කීවේය.
හා හා හරි හරි හරි..හරි. නාථ දුරකථනය තැබුවේය.

පසුවදා නාථ සම්මන්ත්‍රණ ශාලාවට ගියේ ඉමහත් කුතුහලයෙනි. ශාලාව මාධ්‍ය වේදීන්ගෙන් නමගිය විද්වතුන්ගෙන් දේශපාලඥයින්ගෙන් පිරී ඉතිරී ගොස් තිබිනි. මාතෘකාව වූයේ රටේ මිනිසුන්ගේ මානසික ආතතිය පිළිබඳවය. විවිධ දත්ත ප්‍රස්තාර අතරින් කියවුනේ රටේ මානසික ආතතිය වැඩි වී ඇති බවත් මිනිස්සු ඒ නිසා දුක් විඳින බවත්ය. අන්තිම දේශනය පැවැත්වූයේ ජා.මා.ස යේ සභාපති වරයා විසිනි. ඒ මානසික ආතතියට හේතු පිළිබඳවය. හෙතෙමද විවිධ දත්ත ප්‍රස්තාර යොදාගෙන මානසික ආතතියට හේතුව පැහැදිලි කලේය. හේතුව මේකයි කථාව අවසානයේ සංශිප්ත වශයෙන් ඔහු දැක්වූයේය. 

මේ රටේ මිනිස්සු කුහකයි. ඒකයි මූලික හේතුව. කුහකයි කියන්නේ මේකයි. බොහෝ මිනිස්සු පව් කරනවා නමුත් පව් කරන්නේ රහසින්. කරනවා නමුත් ප්‍රසිද්ධියේ පිළිගන්නේ නෑ. ලැජ්ජයි. බයයි. මේක කුහක කම. මේ කුහක කම නිසා තමයි මිනිස්සුන්ට මානසික ආතතියක් ඇතිවෙන්නේ. තමන්ගේ හැඟීම් නිදහසේ ප්‍රකාශ කරගන්ඩ බැරි වුනාම එහෙම තමයි. ඒ නිසා අපි නිර්දේශ කරනවා රහසින් පව් කරන එක අධෛර්මත් කරන්ඩ කියල. 

කරන්ඩ හොඳනම් කියන්ඩ ලැජ්ජා වෙන්නේ ඇයි? 

කරනවා නම් රහසින් කරන්නේ ඇයි? කුහක වෙන්නේ ඇයි? මේ කුහක කම අත් හැර ගන්ඩ හැකිනම් රටේ මානසික ආතතිය අවම කරගන්ඩ පුළුවන්. අපි ඒ සඳහා පාසල් මට්ටමෙන් ක්‍රියාත්මක කල හැකි වැඩපිළිවෙලක් රජයට යෝජනා කරනවා. සභභාවේ ඔල්වරසන් මධ්‍යයේ ජා.මා.ස යේ සභාපති වරයා පැවසීය.

හපොයි! නාථට ඉබේටම කියැවිනි නමුත් ඔහු හඬක් නොනගා සිටියේ වටේම සිටිවුන් ජාත්‍යන්තර මානසිකේ නිර්දේශය පිළිගත් බව පෙනුන නිසාය. කාලෙකට පස්සේ වැදගත් ශාස්ත්‍රීය වැඩක් කෙරුනා කෙනෙකු පවසනු නාථට ඇසිනි. නාථ ශාලාවෙන් නික්ම යන්නට හැරිනි.

නාථ අයිසේ පොඩ්ඩක් ඉන්නවා. කව්දෝ පිටුපසින් පැමිණ නාථට තට්ටු කලේය.

බැලින්නම් නාථ හඳුනන මාධ්‍යවේදියෙකි.
නාථ මොකද හිතන්නේ? ඔහු ඇසීය. කිව්වත් වැඩක් නැති බව දැන ගත්තද නාථ තමන්ගේ අදහස මාධ්‍යවේදියාට කියා දැමීය.

මේකනෙ මහත්මයා. බුදුහාමුදුරුවෝ අපට උගන්වලා තියෙන්නේ අකුසල් අකුසල් බව ප්‍රත්‍යක්‍ෂයෙන් දැන ගන්ඩ කියලයි. ඔය විදර්ශණා භාවනා වඩන්නේ ඒකටනෙ. ප්‍රත්‍යක්‍ෂයෙන් දැන ගත්තහම මිනිස්සු ආයේ ඒ පව් කරන්නේ නෑ. නමුත් ඕක හැමෝටම බෑනෙ. බැරි වෙනකොට ඉතිං ඊලඟට අපි උත්සාහ කරන්නේ පව් තවන්ඩ. ඒ කියන්නේ පව් කරන එක වීර්යයෙන් නවත්ත ගන්ඩ. ඕකත් බැරිකොට තමයි මිනිස්සු රහසින් පව් කරන්නේ. රහසින් කිව්වට ඔතන වෙන්නේ අපි පව් කරන්නෙත් නෑ නොකරන්නෙත් නෑ වගේ ඉන්න එකනෙ. ද්විකෝටිකයෙන් තර්ක කරනකොට ඕක කුහක කමක් කියල හිතුවට ඒක කුහක කමක් නෙවෙයි. අපට පව් කරන්නෙත් නෑ නොකරන්නෙත් නෑ වගේ ඉන්න පුළුවන්. එතන ආතතියක් නෑ. එහෙම කලාය කියලා අපි නිවන් මඟට විරුද්ධ දිශාවකට යන්ඩ පෙලඹෙන්නේ නෑ. රහසින් පව් කලත් අපි එහෙම කරන්නේ නිවන් මඟ පිළිගන්න නිසයි. ඒක වැදගත්. කරන්ඩ ඕනෙ මිනිස්සු පව් කරන එක වලක්වන එක මිසක් මිනිස්සු රහසින් පව් කරන එක නවත්තන එක නෙවෙයි.

හ්ම් හ්ම් මාධ්‍ය වේදියා හූමිටි දෙමින් අසා සිටියද එක්කෝ ඔහු තේරුම් ගත්තේ නැත නැත්නම් ඔහු නාථ කී දේ පිළිගත්තේ නැත. කෙසේ නමුත් මම මේක හෙට පත්තරේ දාන්නම් කියමින් ඔහු යන්ට ගියේය. පසුවදා පත්තරේ මුල් පිටුවේ ජා.මා.සයේ සම්මන්ත්‍රණය පිළිබඳ දිගු ලිපියකි. මුල් ඡායාරූපයේ නාථද සභාවේ සිටිනු පැහැදිලිවම දකින්නට තිබුනු නමුත් ඔහු කී කිසිවක් ලිපියේ නොවිනි. 

කාලය ගෙවිනි. පව් කරන්ඩ හොඳනම් කියන්ඩ ලැජ්ජාවෙන්නේ ඇයි යන ආකල්පය පාසල් වලින් පටන්ගෙන සමාජය පුරා පැතිරවිනි. තරුණ පරපුර ඊට තදින් ආකර්ශණය විය. සමාජ ජාල පුරා ඒ ආකල්ප ආදර්ශයට ගැනිනි. මිනිස්සු තමන්ගේ බිත්තිවල තමන් කල පව් ගැන උජාරුවෙන් ස්ටේටස් දැමූහ. පව් වැඩ පිළිබඳ සංඝණන පැවත්වූහ. තරඟ පැවැත්වූහ. 

ඒ අතර පිරිසක් මේ සමාජ විපර්යාසයන්ට තදින්ම විරුද්ධ වූහ. ඔවුහු පිං කිරීම සහ තමන් පිං කිරීම ගැන ප්‍රසිද්ධියේ කිව යුතුය යන ආකල්පය ප්‍රවර්ධනය කලහ. ඔවුහු තමන් කල පිං ගැන උජාරුවෙන් ස්ටේටස් දැමූහ. පිං වැඩ පිළිබඳ සංඝණන පැවත්වූහ. තරඟ පැවැත්වූහ. අවසානයේ සමාජය ප්‍රසිද්ධියේ පිං කරන්නන් සහ පව් කරන්නන් වශයෙන් බෙදී ගියේය. 

වසර ගණනක් ගෙවුනු පසු ජාමාසයෙන් පසු විපරම් පර්යේශණයක් පැවැත්විනි. එහි ප්‍රතිඵල නිකුත් කිරීම සඳහා මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වුනු නමුදු නාථට ආරාධනයක් නොලැබිනි. කෙසේ නමුත් ඒ ගැන කන වැකුණු නාථ එහි ගියේය. එතරම් උත්සවාකාරයක් නොපෙනුනු අතර එතරම් සෙනඟක්ද එහි සිටියේ නැත.
දැන් මිනිස්සුන්ගේ ආතතිය අඩුවෙලාද? මාධ්‍යවේදියෙක් ජමාසයේ සභාපතිගෙන් ඇසීය. මෙහෙමයි, දැන් මිනිස්සුන්ගේ කුහක කම නම් නැත්තටම වගේ නැතිවෙලා කියලනම් කියන්ඩ පුළුවන්. ඒ කියන්නේ ආතතිය අඩුද? කටකාර මාධ්‍යවේදීයා නැවත ඇසීය. මෙහෙමනෙ අපි ගිය පාර හොයා ගත්තේ කුහක කම නිසා ආතතිය ඇතිවුනු බවයි ඉතිං ඒ නිගමණයට අනුව දැන් කුහක කම අඩු නම් ආතතිය අඩු වෙලා කියලා අපෝහණය කරන්ඩ පුළුවන් නේද? පෙරලා ඔහු මාධ්‍යවේදියාටම ප්‍රශ්ණය භාර දුන්නේය.

දැන් මිනිස්සු පව් කරනවා අඩුද? තවත් එකෙක් ඇසීය. මෙහෙමයි පව් පිං කියන දේ ජාත්‍යන්තර මානසික හිමිකම් සුරුකීමේ සංවිධානයේ විශයට අයත් වෙන්නේ නෑ. ඒ නිසා අපි ඒ ගැන අවධානයක් යොමු කරන්නේ නෑ. කෙසේ නමුත් අපේ දත්ත පවසන්නේ පිං කරන අයත් පව් කරන අයත් ගණනින් වෙනස් වී නැති බවයි. ජමාසයේ සභාපති වරයා පැවසීය. මාධ්‍ය හමුව නිමවිය. සියල්ලෝ සතුටින් විසර ගියහ. ශාලාවෙන් පිටවෙන අතරේ කෙනෙකු පිටුපසින් පැමිණ නාථ ඇමතීය.

අයිසේ නාථ ඔහොම ඉන්නවා.
ආ මේ හසන්තනෙ කොහොමද? නාථ මාධ්‍යවේදියා හඳුනාගත්තේය. මොකද හිතන්නේ මාධ්‍ය වේදියා නාථගෙන් විමසා සිටියේය.
මොනව ගැනද? 

නෑ මං කියන්නේ පිං කරන අයයි පව් කරන අයයි ගණනින් වෙනස් වෙලාත් නෑ මිනිස්සු කුහකත් නැති නිසා අවුලක් නෑනේද? හසන්ත මන්ද ස්වරයෙන් පෙරලා අසා සිටියේ නාථ කලින් වාරයේ කල ප්‍රකාශය පත්තරේට නොදැමු නිසා තමා සමඟ අමනාපයෙන් සිටින්නේ යැයි සැක කල බැවිනි. 

පිං කලත් වැඩක් නෑ හසන්ත දැන් ඔය කවුරුත් එදාට වඩා අද නිවන් මඟින් ඈත් වෙලා.


ඒ කියන්නේ රහසින් පව් කරන්ඩ ඉඩ දෙන්ඩ ඕනෙද? හසන්ත ඇසුවේය.
නාථ කිසිවක් නොකියා යන්ට ගියේය.


Wednesday, April 5, 2017

Classical Science කඩා වැටිලා කියන්නේ මොකක්ද?

ක්වොන්ටම් නීරීක්‍ෂණ වලිනුයි විවරණ වලිනුයි ගර්ඩල් ප්‍රමේයෙනුයි කියවෙන්නේ බටහිර සම්භාව්‍ය විද්‍යාව කඩා වැටී ඇති බවයි. මේකෙන් තේරුම් යන්නේ මොකක්ද? මේ කියන්නේ නිව්ටන්ගේ නියම භාවිතා කරලා රොකට් යවන්ඩ බැහැ කියවත් බෝම්බ හදන්ඩ බැහැ කියලවත් වඩා සුපිරි පරිගණක හදන්ඩ බැහැ කියලවත් නෙවෙයි. මේක දැනුම ගැන ප්‍රශ්ණයක්. සම්පූර්ණ දැනුම් පද්ධති තියෙන්ඩ බැහැ කියලයි මේ කියන්නෙ. වෙනත් වචනයකින් කියනව නම් ස්වසිද්ධි වලින් පටන්ගෙන රේඛීයව ඇරිස්ටෝටල් න්‍යාය පදනම් කරගෙන ගන්න නිගමණ පමණක් තියෙන දැනුම් පද්ධති සම්පූර්ණ නැහැ කියල. මේබව බටහිර විද්‍යාවම තමයි මේ කියන්නේ නමුත් අපි මේක පිළිගන්නේ බටහිර විද්‍යාවෙන් “හොයාගත්ත” හින්ද නෙවෙයි. අපේ දැනුම් පද්ධති කොහොමටත් ස්වසිද්ධි වලින් පටන්ගෙන රේඛීයව ගොඩනැඟෙන ඒවා නෙවෙයි. අපේ දැනුම් පද්ධති චක්‍රීයයි. පටිච්ච සමුප්පාදයේ තියෙන්නෙ චක්‍රයක්. ඒවායේ ස්වසිද්ධි නෑ. බටහිර විද්‍යාවේ ඔය ස්වසිද්ධි තියෙන්නේ ඒ සංස්කෘතිය තුල මුලක්, නැත්තම් මැවුම්කාර දෙවිකෙනෙක් ගැන විශ්වාස තියෙන නිසයි.

දැන් මේ බටහිර විද්‍යාවෙන්ම “හොයාගෙන” තියෙන්නේ එහෙම මුලක් ඇතැයි කියල උපකල්පණය කරගෙන ගොඩනඟන දැනුම් පද්ධති සම්පූර්ණ නැහැ කියලයි. ඒ කියන්නේ එහෙම දැනුම් පද්ධතියකින් මුළු කථාවම දැනගන්ඩ බැහැ කියන එකයි. වෙනත් වචනයකින් කියනව නම් අපට මැන ගන්ඩ පුළුවන් එහෙමත් නැත්තම් පංචේන්ද්‍රියන්ට ගෝචර කරගන්ඩ පුළුවන් සියළු දේවල් විස්තර කරන්ඩ හැකි සංගත කතන්දරයක් ස්වසිද්ධි සහ ඇරිස්ටෝටල් න්‍යාය භාවිතා කරල හදාගන්ඩ බැහැ කියන එකයි. එහෙම බැරි නම් ඒකෙ ලොකුම ප්‍රශ්ණය එන්නෙ බටහිර ගණිතයටයි, ඊලඟට බටහිර භෞතික විද්‍යාවටයි ඊලඟට බටහිර ජීව විද්‍යාවටයි ඊටත් පස්සේ සමාජ විද්‍යාවලටයි.

දැන් කතන්දර හදන්ඩ බටහිර සංස්කෘතිය දන්න එකම ක්‍රමය තමයි ස්වසිද්ධි ඇරිස්ටෝටල් රේඛීය ක්‍රමය. දැන් මේකෙන් හදන කතන්දර වලින් පංචේන්ද්‍රියන්ට ගෝචර වෙනදේවල් සම්පූර්ණයෙන් විස්තර කරගන්ඩ බැරි නම් ඇති වැඩේ මොකක්ද? තියරි හරියන්නේ නැත්නම් ඒවායෙන් ඇති වැඩේ මොකක්ද? මේකයි බටහිර විද්‍යාවට තියෙන ප්‍රශ්ණය. දැන් බෝල උඩ දැම්මම බිම වැටෙන එක ගැන නිවැරදිව පුරෝකථනය කරන්ඩ නිව්ටන්ගේ නියම වලට හැකිවුනාට ඊට වඩා සංකීර්ණ දේවල් ගැන කියන්ඩ ගියාම වරදිනවා. එහෙම වරදින බව ක්වොන්ටම් යාන්ත්‍රනයයි ගර්ඩල්ගේ ප්‍රමේයයි එන්ඩ කලිනුත් බටහිරුන් දැනගෙන හිටියා නමුත් බටහිර විද්‍යාවට ඕකට විසඳුමක් නැහැ.

බටහිර තාක්‍ෂණය තවත් වර්ධනය වේවි. ඒකට ඔය කියන තියරි අවශ්‍යම නැහැ. මැක්ස්වෙල්ගේ විද්‍යුත් චුම්භක ප්‍රවාද නැතුවත් ෆැරඩේ ගේ පරීක්‍ෂණ අල්ලගෙන විද්‍යුත්-චුම්භක තාක්‍ෂණය දියුනු කරගන්ඩ ඉඩ තිබුනා. නමුත් බටහිර විද්‍යාවට සම්පූර්ණ කතන්දර හදාගන්ඩ බැරිවෙනවා. ඒක දැනටමත් සමාජ විද්‍යාවල පේනවා සියලු කරුණු විස්තර කරගන්ඩ පුළුවන් ආර්ථික හෝ දේශපාලන තියරි තියෙනවද? ජීව විද්‍යාවටත් ඒක ප්‍රශ්ණයක්. ජාන වලින් සියලු දේ විස්තර කරගන්ඩ පුළුවන්ද? භෞතික විද්‍යාවටත් ඒ ප්‍රශ්ණෙ තියෙනවා. ක්වොන්ටම් තාක්‍ෂණය භාවිතා කරලා වේගවත් පරිඝනක හැදුවත් නව ක්වොන්ටම්  ප්‍රවාද බිහිවෙන්නේ නැහැ. සම්පූර්ණ ප්‍රවාද හදන්ඩ බැරි බව බටහිර විද්‍යාවට වැටහෙමින් පවතිනවා. ස්වසිද්ධි/ඇරිස්ටෝටල්/රේඛීය ක්‍රමය තුල දැනුම කොච්චර පුළුල් කරගත්තත් සම්පූර්ණ කතන්දර හදාගන්ඩ බැහැ. ඒක තමයි කඩා වැටිලා කියන්නේ. නමුත් බටහිර විද්‍යාවට ඒකට විසඳුමක් නැහැ.

ඒකට විසඳුම තියරි පළල් කිරීම නෙවෙයි මනස පළල් කරගැනීමයි. නැත්තම් මනස දියුණු කරගැනීමයි. ඒක බටහිර සංස්කෘතියට වඩා හොඳින් අපට කරගන්ඩ පුළුවන්.