Wednesday, February 8, 2017

ශ්‍රී ලංකාව දුර්වල රාජ්‍යයක් බවට පත් කෙරීම

මෑත කාලෙදී සංවිධානාත්මකව සිදුකෙරුනු විශාලතම දේශපාලන වෙනස මහින්ද රාජපක්‍ෂ මහතා බලයෙන් පහ කිරීමයි. ඒ සඳහා යොදා ගැනුනු ගිහි පැවිදි දේශපාලන ක්‍රියාකාරීන්ට තනි තනිව හෝ එක්ව හෝ එවැනි වෙනසක් තබා ඊට ලඟින් යන දේශපාලන විපර්යාසයක්වත් කර ගැනීමට ශක්තියක් තිබුනේ නැත. අදටත් මේ අයට පවතින ආණ්ඩුවේ සහය සඳහා හෝ ආණ්ඩුවේ ගමන වෙනස් කිරීම සඳහා හෝ තනිව හෝ එක්ව කල හැකි දෙයක් නැති බව පැහැදිලියි. එසේනම් මේ දේශපාලන ක්‍රියාකාරීන් හරහා මහින්ද රාජපක්‍ෂ මහතා ඉවත් කෙරුනේ කෙසේද? පැහැදිලිවම ඔවුන්ට වඩා ඉහලින් තිබි දේශපාලන බලවේග මඟින් මේ ක්‍ර්‍රියාකාරීන්ව සමස්ථයක් ලෙස මෙහෙයවුනු නිසාවෙනි. අදත් අවශ්‍ය විටෙක මහින්ද රාජපක්‍ෂ මහතා ඉවත් කෙරුනු බලවේග වලට එලෙසම ක්‍රියාකාරී විය හැකිය.

එසේනම් අපි ඇසිය යුතු වැදගත් ප්‍රශ්ණය මේ බලවේග වලට මහින්ද රාජපක්‍ෂ මහතා බලයෙන් ඉවත් කිරීමට උවමණ් වූයේ ඇයි කියාය. 

දූශණ වංචා නිසාද? ආර්ථිකය නිවැරදිව කළමණාකරණය නොකල නිසාද? අද බොහෝ දෙනාට අමතකමුත් මහින්ද රාජපක්‍ෂ මහතා බලයෙන් පහ කල යුතුයැයි පැවසුනේ මේ හේතු නිසාය. නමුත් මේ හේතු ඇත්ත හේතු විය නොහැකි බව දැන්වත් පෙනී යායුතුය. ඒ යහපාලන රජයද දූශණ වංචා සිදුකරන නිසාවත් ආර්ථිකය නිවැරදිව කළමණාකරණය නොකරන නිසාවත් පමණක් නොවේ. රාජපක්‍ෂ සහ රනිල්-මෛත්‍රී අතර මේ කරුණු සම්බන්ධයෙන් සංසන්ඳනය කිරීමට එකලද පදනමක් නොතිබුනු නිසාය. වෙනත් ආකාරයකට කියන්නේ නම් රනිල්-මෛත්‍රී රජයක් රාජපක්‍ෂ රජය තරම් දූශණ වංචා නොකරාවි යැයි හෝ ආර්ථිකය වැරදිව කළමණාකරණය නොකරාවි යැයි හෝ පුරෝකථනය කිරීමට පදනමක් මීට වසර දෙකකට ඉහතදීවත් නොතිබිනි. එබැවින් දූශණ වංචා සහ ආර්ථිකය එකල මවා පාන ලද බොරු හේතුය. 

ඇත්තටම මහින්ද රාජපක්‍ෂ මහතා පහ කෙරුනේ මේ කිසි හේතුවකටවත් නොව ශ්‍රී ලංකාවේ රාජ්‍යය බලය දුර්වල කර දැමීම සඳහා ඉඩ ලබා ගැනීමටය.
හපාලන රජය හරහා එය ඉටු කෙරෙනු ඇත. රාජ්‍යය බලය දුර්වල කෙරෙනු ඇත්තේ පාර්ලිමේන්තුවට ඇති බලය දියාරු කර පළාත් සභා බලවත් කිරීම මඟිනි. මේ රජය මඟින් නව ව්‍යවස්ථාවක් සම්පාදනය කෙරෙන්නේ ඒ සඳහාය. ඒ අනුව පළාත් සභාවලට නීති කෙටුම්පත් කිරීමට හැකියාව ලැබෙනු ඇත, පාරලිමේන්තුවට වග කියූ අග්‍රාණ්ඩුකාරයාගේ බලය බිඳ දැමෙනු ඇත, ඉඩම් හා පොලිස් බලතල ඊට හිමිවෙනු ඇත. මෙසේ දියාරු කෙරෙන පාර්ලිමේන්තුව සතු රාජ්‍ය බලය වර්ගවාදීව ක්‍රියාකරන උතුරු සහ නැඟෙනහිර පළාත් අතට පත්වෙනු ඇත. එවිට මෙරට රාජ්‍යයේ ඒකීය බව වර්ගවාදී දෙමළ සහ මුස්ලිම් දේශපාලකයින් මත රැඳෙනු ඇත. නමුත් ඔවුන්ටද සැබෑ බලයක් හිමි නොවෙනු ඇත. බලය බෙදීම හරහා සැබෑ බලය හිමිවෙනු ඇත්තේ සිංහලුන්ටවත් දෙමළුන්ටවත් මුසල්මානුවන්ටවත් නොව මේ සියල්ලන් සමඟ රාජ්‍ය බලය කේවල් කරන ඉංදියාවට හෝ බටහිර ආණ්ඩුවලට හෝ වෙනයම් විදේශ බලවේගකයටය. මොවුන් මේ රටේ දේශපාලකයින් එකිනෙකා අතර කොටවමින් සදාකාලික ලෙස මෙරට දුර්වල රාජ්‍යයක්ව පවත්වාගෙන යන්නට කටයුතු කරනු ඇත. එයින් මෙරට කිසිම ජන කොටසකට අත්වෙන සෙතක් නැත. මේ බල කෙළිය හරහා සිංහලුන්ට නම් රටක් නැතිවෙනු ඇත.

ඉහත සඳහන් දෑ හුදෙක් බිය වැද්දීමක් පමණක් යැයි යමෙක් සිතයි නම් ඔහු විසින් කල යුත්තේ ඉංදියාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිරික්සීම පමණය. යෝජිත යහපාලන ව්‍යවස්ථාවෙන් ලංකාණ්ඩුවට ලැබෙන බලයට වඩා අතිශයෙන් වැඩි බලයක් ඉංදියාවේ ව්‍යවස්ථාවෙන් එහි මධ්‍යම ආණ්ඩුව ලබා දී ඇත. ඉංදියාවේ ශක්තිමත් මධ්‍යම ආණ්ඩුවකුත් ලංකාවේ දුර්වල මධ්‍යම ආණ්ඩුවකුත් තිබීමට පදනමක් තිබේද? ඊට හේතුව පරිපාලන පහසුකමද? ප්‍රශ්ණය පරිපාලනය නම් ලංකාව මෙන් පනස් ගණයකටත් වඩා විශාල හැට ගුණයකට වඩා ජනගහණයක් සිටින ඉංදියාව නොවේද බලය වඩාත් විමධ්‍යගත කල යුත්තේ? ලංකාවේ බලය බෙදෙන්නේ වෙන කිසිවකටත් නොව රාජ්‍යය දුර්වල කිරීමටය. සංවිධානාත්මකව මෙරට සතුරන් විසින් මහින්ද රාජපක්‍ෂ මහතා බලයෙන් පහ කෙරුනේ දුර්වල රාජ්‍යයක ව්‍යවස්ථාව සම්පාදනය කර ගැනීම සඳහා අවශ්‍ය ගැති ආණ්ඩුවක් පත් කර ගැනීමටය.

මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ධූරයට පත්වූ තැන සිට මේ දක්වා මෙරට දේශපාලනයේ සිදුවෙන වැදගත් සිදුවීම් සලකා බැලුවොත් පෙනෙනු ඇත්තේ ඒ සියල්ලම කෙරුනේ මේ සිංහල විරෝධී ව්‍යවස්ථාව සම්පාදනය කිරීම උදෙසා බවය. ව්‍යවස්ථාවක් සම්මත කර ගැනීම සඳහා පාර්ලිමේන්තුව තුල ප්‍රධාන පක්‍ෂ දෙක එකමුතු කල යුතු විනි. කල් තියාම 19 ව්‍යවස්ථා සංශෝධනයෙන් ඊනියා ජාතික රජයක් සඳහා නීති සකස් කෙරුනේ එබැවිනි. පොරොන්දු වුවත් ඡන්ද ක්‍රමය වෙනස් කිරීම සඳහා ව්‍යවස්ථාව සංශෝධනය නොකලේද නිදහස් පක්‍ෂය බහුතරය ආසන ප්‍රමාණයක් ලැබීම වැලකීම සඳහාය. ඊ ළඟට නිදහස් පක්‍ෂයේ නායකායා ලෙස ජනාධිපතිවරයා විසින් මැතිවරණය දූශණය කලේය. කෙරෙන චෝදනා  සත්‍ය නම් බැඳුම්කර වංචාව හරහා රනිල් වික්‍රමසිංහ සිය මැතිවරණ ව්‍යාපාරයට අරමුදල් ලබා ගත්තේය. මැතිවරණයෙන් පසු පරාජය කරන ලද මන්ත්‍රීවරුන් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ගෙන ඊනියා ජාතික රජය පිහිටුවිනි. පාර්ලිමේන්තු විපක්‍ෂ නායකත්වය ආණ්ඩුවට විරුද්ධ සැබෑ විපක්‍ෂ මන්ත්‍රීවරුන්ගෙන් උදුරාගෙන පාර්ලිමේන්තුවේ ඔවුන්ට හිමිවිය යුතු වරප්‍රසාද කොල්ල කන ලදී. අවසානයේ පවතින ව්‍යවස්ථාවට පටහැණිව මුළු පාර්ලිමේන්තුවම ව්‍යවස්ථාදායක මංඩලයක් බවට පත් කර එහි මෙහෙයුම් කමිටුවේ සභාපතිවරයා වශයෙන් අගමැතිතුමා පත් කෙරිනි. රටේ අනිකුත් ප්‍රශ්ණ නොවිසඳෙද්දී ආර්ථිකය වලපල්ලට යද්දී මේ අසමත් ආණ්ඩුව ව්‍යවස්ථා ව්‍යාපෘතිය අධි වේගයෙන් ඉදිරියට ගෙන ගියේය. ඊට ජවයක් ලැබුනේ කෙසේද?

මහින්ද රාජපක්‍ෂ බලයෙන් පහ කෙරීමේ සිට මේතාක් මේ රජය නියැලී සිටින්නේ ශ්‍රී ලංකා රාජ්‍යය දුර්වල රාජ්‍යයක් බවට පත් කිරීමේ ව්‍යාපෘතියේය. ඒ සඳහා විදෙස් බලවේග වල අනුමැතිය සහ අනුග්‍රහය වත්මන් රජයට ලැබෙන බවට සාධාරනය සැකයක් ඇත. අද වන විට මේ ව්‍යාපෘතියේ අවසාන අදියරට පැමිණ ඇත. මේසා විශාල මෙහෙයුමක් කරගෙන ආ සංවිධානාත්මක බලවේගයක් විසින් සටන මේ මොහොතේ අත් හරී යැයි සිතිය නොහැකිය. නමුත් ඔවුන්ට බාධක ඇත. පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් ඔවුන්ට නැත. ජනමත විචාරණයකදීද ව්‍යවස්ථා ව්‍යාපෘතිය බොහෝවිට ජනතාව අතින් පරාජයට පත් වෙනු ඇත. මේ මොහොතේ රජය සහ රජය පවත්වාගෙන යන බලවේග සොයන්නේ වෙනත් උපක්‍රමයකින් සිංහල විරෝධී ව්‍යවස්ථාව රටේ නීතිය කරගැනීමටය. එය කුමක්දැයි අපි නොදනිමු. නමුත් ඒ සඳහා ඉඩක් රජයට ලබා නොදිය යුතුය.

යම් හෙයකින් රටේ කලබලකාරී තත්වයක් පැන නැගියහොත් එසේත් නැත්නම් ජනතාව සිවිල් නීතිය කඩ කරන තැනට පත්වුවහොත් ජනතාව සහ ජන මාධ්‍ය දැඩි ලෙස මර්ධනය කිරීමට රජය එය අස්වැසිල්ලක් කර ගනු නිසැකය. එපමණක් නොවේ රජයට සහය දෙන අදිසි බලවේග විසින් අරාජික තත්වය තවත් උත්සන්න කිරීමට කටයුතු කරනු ඇත. එතැන් සිට රජය කරන කියන දෑ පිළිබඳව ජනතාවට වග නොවෙනු ඇත. අසූවේ දශකයේ ජවිපෙ සහ රජය භීශණය පතුරවන අතරතුරේ ජනාධිපති ප්‍රේමදාස මහතා හිතේ හැටියට කොටි සමඟ ගිවිසුම් ගැසුවේය. ඒ පිළිබඳව විරෝධය දැක්වීමට සිංහලයින්ට අවකාශයක් නොලැබිනි. පසු කලෙක ප්‍රේමදාස මහතාගේ දේශපාලන පාවාදීම් (ඝාතනයවුනු හයසියයක් පමණ පොලිස් නිලධාරීන්ගේ ජීවිත නොවේ) ආපසු හැරවීමට හැකිවුවද වත්මන් රජය විසින් රටේ නීතිය වෙනස් කර බලය බෙදුවොත් එය ආපසු හරවුනු නොහැකිය. එබැවින් ජනතාව සහ ජනමාධ්‍ය මර්ධනය කරමින් එහි අවධානය වෙනතක තබා ගැනීමට අවස්ථාවක් රජයට ලබා නොදීම සාමාන්‍ය ජනතාවගේත් ආණ්ඩු විරෝධී දේශපාලන ක්‍රියාකාරීන්ගේත් වගකීමවේ. ශ්‍රී ලංකා රාජ්‍යය දුර්වල රාජ්‍යයක් බවට පත් කිරීමේ ව්‍යාපෘතිය පරදවමු.

No comments:

Post a Comment