Tuesday, February 21, 2017

නව දේශපාලන ලෝකය


රුසියාවේ පුටිනුත්, කියුබාවේ කැස්ත්‍රෝත්, වෙනිසියුලාවේ ශාවේසුත්, ඉරානයේ අහමදිනජාතුත්, සිම්බාබ්වේහි මුගාබේත් ලෝක ආධිපත්‍යයේ (world order) බලපෑම් මධ්‍යයේ ජාතිකත්වය මත පදනම්ව තම රාජ්‍යයන් පවත්වාගෙන යන්නට උත්සාහ කල නායකයින්ය. මේ අතරින් මහින්ද රාජපක්‍ෂ සුවිශේෂී වන්නේ ඔහු ලෝක ආධිපත්‍යයට සෘජුවම බලපෑමක් කර ජයග්‍රහණයක් අත් කරගත් නිසාය. මහින්ද බටහිර බලපෑම් නොතකා කොටි සහමුලින් විනාශ කර දැමුවේය. ඒ හරහා ඔහු කොටි ත්‍රස්තවාදය නඩත්තු කල බටහිර රාජ්‍යයන්ට කණේ පහරක් ගැසීය. ලෝක ආධිපත්‍යය සමඟ හැප්පී ජයගෙන තවමත් ජනතාව අතර ජීවමානව සිටින එකම රාජ්‍ය නායකයා මහින්ද රාජපක්‍ෂ විය යුතුය. ලිබියාවේ ගඩාපිටත් යුගෝස්ලාවියාවේ මිලසොවිච්ටත් ඒ හැකියාව නොතිබිනි. 

ලෝක ආධිපත්‍යය සහ ජාතිකවාදී නායකයින් අතර කාලයක් තිස්සේ පැවතෙන ගැටුම් මෑත ඉතිහාසයේ ලෝක දේශපාලනය තුල සිදුවූ වැදගත්ම සිදුවීම්ය. නමුත් බටහිර අධ්‍යාපනයත් ජන මාධ්‍යත් අපට කියා දෙන්නේ මේ ගැටුම් අතුරු කථා ලෙස සැලකීමටය. දැනුම් ආධිපත්‍යය සියල්ලටම ඉහල බව බටහිරුන් දනී. බටහිරුන්ගේ ඉගැන්වීමට අනුව මෙරට උගත්තුද මහින්ද රාජපක්‍ෂ ඇතුළු රණවිරුවන් කල දේශපාලන වෙනස අවතක්සේරු කරති. නමුත් පොදුවේ ගත්විට ලෝක ආධිපත්‍යය සහ ජාතිකවාදී නායකයින් අතර ගැටුම අතුරු කථා නොව ලෝක දේශපාලන කථාවේ අරටුවය. වර්තමාන ලෝක දේශපාලන ගමන තේරුම් ගත හැක්කේ ඒ ගැටුම තේරුම් ගැනීම තුලිනි. මෙරට වාමාංසිකයින්ට අද ලෝකයේ සිදුවෙමින් පවතින දේශපාලන වෙනස්කම් තේරුම්ගත නොහැක්කේ ඔවුන්ද බටහිරුන්ගේ ඉගැන්වීමට අනුව යමින් ජාතිකවාදීන් විසින් ලෝක ආධිපත්‍යයට එල්ල කරමින් සිටින තර්ජනය තේරුම් නොගන්නා බැවිනි.

කෙසේ වෙතත් බලපෑම් කලද අතැම් විට ජය ගත්තද ලෝකයේ මහින්දලාට ලෝක ආධිපත්‍යයේ සුසමාදර්ශීය වෙනසක් කිරීමට නොහැකිවිය. එය කල හැකිව තිබුනේ බටහිර රටවල සාමාන්‍ය ජනයාටය. පසුගිය වසරේ බ්‍රිතාන්‍යය යුරෝපීය ආර්ථික හවුලෙන් ඉවත් වීමට තීරණය කිරීමෙනුත්, ඒ වසරේම ඇමෙරිකාවේ ට්‍රම්ප් ජනාධිපතිවරණය ජය ගැනීමෙනුත්, පෙන්නුම් කරන්නේ ලෝක ආධිපත්‍යයේ සුසමාදර්ශීය වෙනසක් සිදුවෙමින් පවතින බවය. මේ අතර ලබන මැයි මාසයේ ප්‍රංශයේ පවත්වන්නට යෙදෙන මැතිවරණයෙන් ලෙ පෙන් ගේ ප්‍රංශ ජාතිකත්ව පක්‍ෂය ජය ගනිතැයි විශ්වාස කෙරේ. මේ සියලු දේශපාලන වෙනස්කම් වල ප්‍රතිඵලයක් ලෙස ඉදිරියේදී නව දේශපාලන ලෝකයක් නිර්මාණය වෙනු ඇත.

එක් වැදගත් දෙයක් අපි තේරුම් ගත යුතුය. එනම් මහින්දවාදීන් ඇතුළු ලෝකයේ අනිකුත් ජාතිකවාදීන් මුහුණ දුන්නෙත් ඇමෙරිකාවේ ට්‍රම්ප්වාදීන් මුහුණ දුන්නෙත් පොදු සතුරෙකුට බවය.

මෙතෙක් පැවති ලෝක ආධිපත්‍යය පැනවූයේ ජාත්‍යන්තර සුපිරිව්‍යුහය විසිනි. සුපිරිව්‍යුහය යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතිය පදනම්ව ඊට ඉහලින් පවතින ව්‍යුහයකි. දැනුම එහි ප්‍රධාන අවියයි. බටහිර උගත්තු එහි ප්‍රධාන මඟ පෙන්වන්නෝය. සුපිරිව්‍යුහය බටහිර උගතුන්ට ආධිපත්‍යයක් අත්කර දීමටත් බටහිර උගත්තු සුපිරිව්‍යුහයට ආධිපත්‍යයක් අත්කර දීමටත් චක්‍රීය වශයෙන් ක්‍රියා කරයි. බටහිර ආණ්ඩු, ඊනියා බහු ජාතික සමාගම් සහ මුල්‍ය ආයතන, විශ්වවිද්‍යාල, තානාපති කාර්යාල, බටහිර ජන මාධ්‍ය, ඔත්තු සේවා, එක්සත් ජාතීන්ගේ සංවිධානය, ලෝක බැංකුව ආදීන් ජාත්‍යන්තර සුපිරිව්‍යුහයේ ඒජන්තයෝය. සුපිරිව්‍යුහය ක්‍රියාත්මක වන්නේ මේ ඒජන්තයින් හරහාය. ඉන් කියැවෙන්නේ මේ සියල්ල යම් කේන්ද්‍රයකින් මෙහෙයවෙන බව නොවේ. නමුත් ඒ සියල්ලටම පදනම යුදෙව් ක්‍රිස්තියානි දැනුමය. 

දහ අටවෙනි සියවස පමණ වෙනතෙක් විවිධ යුරෝපීය රටවල් අතර බෙදී තිබුන ලෝක ආධිපත්‍ය, ජාත්‍යන්තර සුපිරිව්‍යුහයට මාරු චෙන්නේ දහනව වන සියවස මුල් භාගයේ පමණය. සුපිරිව්‍යුහය විසින් සංස්කෘතික දේශපාලනික සහ ආර්ථික ආධිපත්‍ය උදෙසා, විශේෂයෙන්ම බහු ජාතික සමාගම් වල ලාභය උදෙසා, ඊනියා තුන්වෙනි ලෝකයේ රටවල් ආක්‍රමණය කෙරිනි, එහි රාජ්‍යයන් බිඳ දැමිනි, ආර්ථික සම්බාධක පැනවිනි, ත්‍රස්තවාදීන් නඩත්තු කෙරිනි. ඒ සඳහා ප්‍රජාතන්ත්‍රවාදය, ගෝලීය ආර්ථිකය, මානුශීය අයිතිවාසිකම්, සම ලිංගික අයිතිවාසිකම්, පරිසර සංරක්‍ෂණය, තිරසර සංවර්ධනය වැනි සංකල්ප සුපිරිව්‍යුහය විසින් යොදා ගැනිනි. සුපිරිව්‍යුහයේ ආධිපත්‍යය මුලින් බටහිර සමාජයේ ඇඟට නොදැනුනද මේ සංකල්ප මතම පදනම්ව ක්‍රමයෙන් තමන්ගේම ආර්ථික දේශපාලන සහ සංස්කෘතික සුරක්‍ෂිත බවට තර්ජන එල්ල වෙනවිට විශේෂයෙන්ම බටහිර නූගත් ජනතාවගේ ඇඟට දැනෙන්නට විනි. සුපිරිව්‍යුහයට එරෙහිව බටහිර රටවල ජාතිකත්ව රැල්ල ගොඩනැඟෙන්නේ ඒ නිසාය.

දළ වශයෙන් සැලකුවහොත් බටහිර උගත්තු සුපිරිව්‍යුහයට පක්‍ෂ වන අතර නූගත්තු ඊට විරුද්ධ වෙති. මහින්දවාදීන් සහ ට්‍රම්ප්වාදීන් ගේ ජාතිකත්ව අතර සමානකමක් නැතත් ඔවුහු සුපිරිව්‍යුහයට විරුද්ධය. පොදුවේ මේ දෙපිරිසටම අයත්වන්නේ බටහිර දැනුමෙහි නූගත්තුය. මෙහිදී මාකස්වාදීන්, ලිබරල්වාදීන්, පශ්වාත් නූතනවාදීන් ආදී උගතුන්ගේ කල්ලි සියල්ලම වැටෙන්නේ සුපිරිව්‍යුහයට පක්‍ෂ ඝනයටය. මොවුහු මතවාදීව යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියේ දැනුම මත පදනම් වෙති. ඔවුන් කෙතරම් සුපිරිව්‍යුහයට එරෙහිවන්නට තැත් කලද සුපිරිව්‍යුහය නොමැතිව ඔවුන්ට පැවැත්මක් නැත. සුපිරිව්‍යුහයට සැබෑ බලපෑමක් කල හැක්කේ බටහිර දැනුම පදනම් කරගෙන නොව ඊට පිටින් සිටගෙනය.

උගතුන් මෙන්ම ලොව ප්‍රධාන මාධ්‍ය ජාලාද පෙනී සිටින්නේ සුපිරිව්‍යුහය වෙනුවෙනි. චැනල් ෆෝ නමින් ක්‍රියාත්මකවුනු බීබීසී ආයතනයේ නාලිකාව පච ප්‍රචාරය කරමින් මෙරට ජාතික ව්‍යාපාරයට තර්ජනය කල බව අපි දනිමු. මහින්ද රාජපක්‍ෂ සමය අවසාන කාලයේ බටහිර තානාපති කාර්යාල මඟින් මෙරට මාධ්‍යවේදීන්ට තොග ගණනින් තම රටවල ශිෂ්‍යත්ව ලබා දුන්නේ මාධ්‍යවේදයට ඇති ආදරයක් නිසා විය නොහැකිය. මෑත කාලයේ කිසිම ඇමෙරිකානු ජනාධිපතිවරයෙකුට නොතිබුනු තරම් විරෝධයක් ට්‍රම්ප්ට ඇමෙරිකාවේ ජනමාධ්‍ය වලින් එල්ල වීමද පෙන්නුම් කරන්නේ ජාතිකත්වය සහ ජාත්‍යන්තර සුපිරිව්‍යුහය අතර ගැටුමය.

අද ලෝකයේ සිදුවෙමින් පවතින දේශපාලන වෙනස්කම් හරහා අපි තේරුම් ගත යුතු කරුණු දෙකක් ඇත. එකක් නම් මහින්ද රාජපක්‍ෂ නායකත්වය දුන් මෙරට සිංහල බෞද්ධ ජාතික ව්‍යාපාරයත් ඇමෙරිකාවේ සහ යුරෝපයේ ඇතුළු ලොව නැගඑන අනිකුත් ජාතික ව්‍යාපාරත් අතර පොදු බවක් ඇති බවය. පොදුවේ ලොව සියලු ජාතික ව්‍යාපාර ජාත්‍යන්තර සුපිරිව්‍යුහයට එරෙහිය. අනිත් කරුණ බටහිර සාමාන්‍ය ජනයාගේ නැගිටීමත් සමඟ සුපිරිව්‍යුහය බිඳ වැටෙමින් පවතින බවත් එ හරහා පැවති ලෝක ආධිපත්‍ය සුසමාදර්ශීය ලෙස වෙනස් වන බවත්ය.

පැහැදිලිවම වත්මන් යහපාලන ආණ්ඩුවට ඉදිවෙන නව දේශපාලන ලෝකයට මුහුණ දීමට
ශක්‍යතාවයක් නැත. යහපාලනය පත්වූයේම සුපිරිව්‍යුහයේත් ඉංදියාවෙත් පිහිටෙනි. මෙරට අගමැතිවරයා විවෘතවම සුපිරිව්‍යුහය වෙනුවෙන් පෙනී සිටින්නෙකි. එමෙන්ම ඔහු සිංහල බෞද්ධ විරෝධියෙකි. ඔහු සහ ඔහුගේ රජය අද පත්ව සිටින්නේ ඇමෙරිකාවේ අන්කල් ටොම් නමින් හැඳින්වුනු ස්වාමියාගේ ගෙදර වැඩ කල වහලාට අත්වුනු ඉරණමටය. අන්කල් ටොම් ස්වාමියා වෙනුවෙන් පෙනී සිටි, ස්වාමියා නිසා උසස් බවක් ආටෝප කරගත් වහලෙකි. ඔහු ස්වාමියාගේ හයියෙන් ස්වාමියාගේ වත්තේ වැඩකල අනිකුත් වහලුන්ට පහර දුන්නේය. වත්තේ වහලුන් පැතුවේ ස්වාමියාගෙන් නිදහස් වෙන්නටය. අන්කල් ටොම් පැතුවේ ස්වාමියාගේ සරණය. නමුත් යම් දිනක සියලු වහලුන් නිදහස් කෙරෙයි. ස්වාමියා නැති නිදහස් ලෝකයේ අන්කල් ටොම්ට පැවැත්මක් නැත ඔහුට අනිත් වහලුන්ගෙන් සමාවක්ද නැත. සුපිරිව්‍යුහය බිඳ වැටීම හමුවේ ඊට කඩේ ගිය යහපලාන ආණ්ඩුවද අද වැටී සිටින්නේ අන්කල් ටොම්ගේ තත්වයටය. 

ඉංදියාවටද නව දේශපාලන ලෝකයට හැඩ ගැසෙන්නට පහසු නැත. මෝදිද සුපිරිව්‍යුහය මත යැපුනෙකි. ඉංදියාවට ජාතිකත්ව මඟක් ගැනීමටද උද්යෝගයක් නැත. හිංදුත්වය ඉංදියාවේ විවිධ ජන වර්ග එක් කිරීමට තරම් බල සම්පන්න නැත. දකුණේ හිංදුන් උතුරේ හිංදුන්ගෙන් වෙන් කරන්නේම හිංදු ආගමය. ඒ නිසා ඉංදියාවේ ජනයා ජනවාර්ගිකව ප්‍රාදේශීය වශයෙන් සමූහගතවීමට ඇති ප්‍රවණතාව ජාතික වශයෙන් එක්වීමට ඇති ප්‍රවණතාවට වඩා වැඩිය. ඒ අතර ට්‍රම්ප්ගේ ඇමෙරිකාව හිලරිගේ ඇමෙරිකාව තරම් ඉංදියාව වෙනුවෙන් පෙනී නොසිටිනු ඇත. මේ හේතු නිසා ඉංදියාවද වත්මන් ලෝක දේශපාලන වෙනස්වීම් හමුවේ තමන් ගන්නා මඟ ගැන තවමත් එතරම් විශ්වාසයකින් පසුවෙතැයි සිතිය නොහැකිය. 


ලංකාවට ඉංදියාවේත් සුපිරිව්‍යුහයේත් යදම් වලින් ගැලවීමට හොඳම අවස්ථාව මෙයය. නමුත් මංගල සමරවීරත් රනිල් වික්‍රමසිංහත් සමඟ එය කල නොහැකිය.

No comments:

Post a Comment