Wednesday, February 1, 2017

අධ්‍යාපන කඩ

අපේ රටේ පෞද්ගලික අධ්‍යාපන ආයතන සියල්ලම අධ්‍යාපන කඩ. කඩ කියන්නේ තොග මිළට අරගෙන සිල්ලර මිළට බඩු විකුණන තැන්වලට. මිනිස්සු සල්ලි දීල බඩු අරගෙන ලාභය මුදලාලිට ගියහම කඩේට කියල වටිනාකමක් නැහැ. අපේ පෞද්ගලික අධ්‍යාපන ආයතනවලත් තත්චය එහෙමයි. පෞද්ගලික විශ්ව විද්‍යාලද අන්තර්ජාතික පාසල්ද මේ සියල්ලටම වෙලඳ ගනුදෙනුවට එහා යන වටිනාකමක් ආයතනයට නැහැ.

විශේෂයෙන්ම විිශ්ව විද්‍යාලයකට වටිනාකමක් එන්ඩ ඒකෙ දැනුම නිර්මාණය කරන විශ්ෂ්ඨ ගුරු මඬුල්ලක් ඉන්ඩ ඕනෙ. ඊලඟට ඔවුන්ට නිදහසේ තම කාර්ය කරගෙන යන්ඩ මුල්‍යමය සම්පත් තියෙන්ඩ ඕනෙ. බටහිර රටවල උසස් යැයි සැලකෙන පෞද්ගලික විශ්ව විද්‍යාලවල මේ දෙකම තියෙනවා. ඒවා පවත්වාගෙන යන්ඩ ඒ රටවල දානපතියෝ විශාල වශයෙන් මුදල් ආධාර කරනවා. සමහර අංශවල මහාචාර්ය පදවි වල වැටුප් ගෙවෙන්නෙ මේ මුදල් ආධාර වලින්. විශ්ව විද්‍යාලවල පර්යේශණ කරන්ඩ මෙලෙස ආධාර ලැබෙනවා. පුද්ගලිකව ලැබෙන මේ ආධාර නැතිව ශිෂ්‍යයන්ගෙන් අයකරන ගාස්තු වලින් පමණක් මේ විශ්ව විද්‍යාල ඒ ආකාරයට පවත්වාගෙන යන්ඩ බැහැ.

ඒ අතින් අපේ පෞද්ගලික විශ්ව විද්‍යාල රජයේ විශ්ව විද්‍යාලවලටත් වඩා දුප්පත්. අපේ රටේ දානපතියොත් දැන් නැහැ. හිටියත් ඉස්කෝල හදන්ඩ විශ්ව විද්‍යාල හදන්ඩ මිනිස්සු සල්ලි දෙන්නේ නෑ. සමහර ආදි ශිෂ්‍යයෝ ශිෂ්‍යාවියෝ ඉස්කෝලට උදව් කරනවා දරුවා දාගන්ඩ බලාගෙන. තවත් සමහරු නම් කරන්නේ පොඩි එකාගේ පංතියේ ටීචර්ට පගාවක් දෙන්ඩ උත්සාහ කරන එක. නමුත් අපි අධ්‍යාපන ආයතන නගා සිටුවීම බටහිරුන් හිතන ආකාරයේ සමාජීය යුතුකමක් හැටියට හිතන්නේ නෑ. පිරිවෙන් අධ්‍යාපනය අද තිබුනා නම් සමහරවිට අපි ඒවට මීට වඩා දන් දෙන්ඩ ඉඩ තිබුනා.

කොහාම හරි රටේ අධ්‍යාපනය (ඒක මොකක් වුනත්) දියුණු කරන එක ආණ්ඩුකට විතරක් කරන්ඩ බැහැ. පෞද්ගලික අධ්‍යාපන ආයතන තියෙන්ඩ ඕනෙ නමුත් එදා වේල හොයන කඩ නෙවෙයි සම්පත් ඇති ආයතන තියෙන්ඩ ඕනෙ.

1 comment:

  1. අපේ විශ්වවිද්‍යාල වලට බටහිර ලෝකයේ තිබෙන තරම් මුල්‍ය පහසුකම් ලැබෙන්න තිබෙන සම්භාවිතාවට වඩා ලොකු සම්භාවිතාවක් බටහිර ලෝකය අපේ මට්ටමට දුප්පත් වීමට තිබෙනවා.

    කොහොම නමුත් සයිටම් දින්නොත් වෙන්නේ, හොරෙන් හොරෙන් තැනින් තැන ඇරලා විකුනපු උපාධි මහ දවාලේ, එන්න එන්න එකක් 100යි , දෙකක් 50යි ගානට විකුනන්න පටන් ගන්නවා.
    බුලත් පයියට හෙන ගැහුවා නම් හුණු කිල්ලොටේ ගැන කවර කතාද ?
    එකෙත් වරදක් නැ, අන්තිමට උපාධියෙන් තොරව රස්සාවට වෙනත් ක්‍රම වලින් සුදුසුකම් අනුව බලල තෝරා ගන්න ක්‍රමයක් හැදේවි.
    බොහෝ දුරට හදුනුම්කම්, රෙකමදාරු කම් , ජාතිය ,ආගම ,කුලේ අනුව. දැනටත් මේවා තියෙනවා නේ.
    කොහොමත් අධ්‍යාපනයෙන් සමාජයේ ඉහලට ඒමේ අවස්ථාවක් තිබෙනවා කියල තිබෙන්නේත් මිත්‍යාවක්, පහල ඉන්න කෙනා ඉහල එනකොට, ඉහල ඉන්න ය තව ඉහල ගිහින්.

    හැබැයි ඉතින් දොස්තර ඉංජිනේරු කළමනාකරණ උපාධි ඇරුනම අනෙකුත් විෂයන් වලට නම් අබසරණයි තමා.

    ReplyDelete