Tuesday, January 24, 2017

අපේ කලාව ජාත්‍යන්තරයට ගෙනයාම

ඉඳලා හිටලා අපේ තරුණ කලාකාරුවෙක් තමන්ගේ ශිල්පය ජාත්‍යන්තරයට ගෙනියාමක් ගැන කියනවා.

තරුණ විය ඉක්මවා ගිහින් ඉන්න නන්දා මාලිනීලා වගේ කලා කරුවෝ නම් මෙහෙම කිව්වත් ඉන් අදහස් වෙන්නේ බටහිර රටකට ගිහින් අපේ ඈයොන්ට සාජ්ජයක් පවත්වන එක වෙන්ඩ ඕනෙ. තරුණ අය කෙසේ වෙතත් නන්දා මාලිනීට නම් තවමත් රට යන්ඩ ඇරයුම් ලැබෙනවා ඇති. නමුත් තරුණ අය තමන්ගේ ශිල්පය ජාත්‍යන්තරයට ගෙනියනවා කීමෙන් අදහස් කරන්නේ ඊනියා ජාත්‍යන්තරයක අවධානයට ලක්වීමට ගන්නා උත්සාහයකටයි. ඊනියා ජාත්‍යන්තරයක අවධානයට ලක්වීමට අවශ්‍ය අයට ඒ සඳහා ව්‍යුහයකුත් සකස්වෙලා තියෙනවා. කරන්ඩ තියෙන්නේ ඒ ව්‍යුහයට අහුවෙන මානයට තමන්ගේ කලා කෘතිය මුදා හරින එකයි. අහුවුනොත් සල්ලි තමයි.

මේ ව්‍යුහයට පොදුවේ කියන්නේ සුපිරිව්‍යුහය කියලයි. මේක ආර්ථික ක්‍රියාකාරකම් මත අර්ථ දැක්වුනු ලොවෙත් නැති කාල් මාකස්ගේ සුපිරිව්‍යුහය නෙවෙයි අපි කථා කරන්නේ සංස්කෘතියකට ඉහලින් ඇති එකක් ගැන. මේ සුපිරිව්‍යුහය තියෙන්නේ බටහිර සංස්කෘතියට ඉහලින්. ඒක විධායකයක් වත් සංවිධානයක්වත් නෙවෙයි නමුත් නොයෙකුත් සංවිධාන සහ විධායකයින් දැන හෝ නොදැන හෝ සුපිරිව්‍යුහයේ අඩංගු වෙනවා. මේ සුපිරිව්‍යුහයෙන් තමයි අද ලෝකයේ බොහෝ දේවල් තීරණය වෙන්නේ. යම් කලා කෘතියක් වැදගත්ද නැද්ද කියල තීරණය වෙන්නෙත් ඒකෙන්මයි. වැදගත් නැති සිංදුවක් රසවත් වෙන්ඩ පුළුවන්ද?

මේ සුපිරිව්‍යුහයට නන්දා මාලිනීගේ සාරි පොඩිත්තක්, රුක් අත්තන මල මුදුනේ වගේ ගීත අහුවෙයි කියල හිතන්ඩ අමාරුයි. මගෙ හිතේ ඒ ගීත ඒ අරමුණෙන් නිර්මාණය වුන ඒවත් නෙවෙයි. අපේ පාරම්පරික නැටුම් කලාව නම් මේ සම්මතේට ඕකට අහුවෙන්නේ නෑ. නමුත් ඊයේ පෙරේදා ගැහුණු පවා නොනටන කැළණි පෙරහැරේ නටපු පිරිමි නාටිකාංඟනාවන්ගේ අනඟ රැඟූම් නම් සුපිරිව්‍යුහයට හොඳහැටි අහුවෙන්ඩ අවස්ථාවක් තියෙනවා. ඉදිරියේදී කැළණි පෙරහැර එවැනි නැටුම් සඳහාම වෙන්වෙන්ඩත් ඉඩ නැත්තේ නැහැ.

කෙසේ නමුත් සුපිරිව්‍යුහයට අහුවෙන විදිහට නිර්මාණ කරන්ඩ අපේ තරුණ කලා කරුවෝ නම් උත්සාහ කරනවා. ඒ කාලේ මාටින් වික්‍රමසිංහ වගේ ගත් කරුවොත්, වත්මන් පාර්ලිමේන්තුව සැකසුම් කරපු ජෙෆ්රි බාවා වගේ ගෘහ නිර්මාණ ශිල්පියොත්, එස් එච් සරත් වගේ ඇබ්ස්ට්‍රෑක්ට් චිත්‍ර අඳින චිත්‍ර ශිල්පියොත්, බටහිර කාටූන් ශිල්පීන් අනුකරණය කරන සමහර අපේ කාටූන් ශිල්පියොත්, ප්‍රසන්න විතානගේලා වගේ චිත්‍රපට අධ්‍යක්‍ෂක වරුත් කරන්නේ සුපිරිව්‍යුහයට අහුවෙන විදිහට නිර්මාණ කිරීමයි. ඒත් අපි ඉන්නෙ ඉංදියාවේ කලා කරුවන්ට බොහෝ පිටිපස්සෙන්. ඉංදියාවේ රවි ශංකර්ට, සත්‍යජිත් රායිට විතරක් නෙවෙයි තාගෝර්ටත් උඩට එන්න ඒ කාලේ වැඩෙමින් පැවතුනු සුපිරිව්‍යුහය අත දුන්නා. අද රවි ශංකර්ගේ දුවටත් ඒ ජේ රහුමාන්ටත් ඒ අතම ලැබෙනවා. මේකෙන් කියන්ඩ බැහැ මේ කලාකරුවන්ගේ කෘති නිරපේක්‍ෂ වශයෙන් උසස් හෝ පහත් යැයි කියා. කලා කෘති ගැන එහෙම කථා කරන්ඩ බැහැ. නමුත් සුපිරිව්‍යුහය ගැන සංවේදී කලාකාරයෝ ඊට සරිලන විදිහට නිර්මාණය කිරීමටත් සුපිරිව්‍යුහය එවැනි කලා කෘති වලට සංවේදී වීමත් චක්‍රීයව සිදුවෙනවා. දකුණු කොරියාවේ සයි ගේ ගැන්ග්නම් ස්ටයිල් සිංදුව මේකට හොඳ උදාහරණයක්.


 හැබැයි වැඩේ කියන්නේ අපට ඔය සුපිරිව්‍යුහයට ආසා වෙන විදිහේ සිංදු හදන්ඩ අවස්ථාවක් තිබුනත් සුපිරිව්‍යුහයේ කණ වෙනස් කරන්ඩ අපට ශක්තියක් නැහැ. සුපිරිව්‍යුහයට ආසා වෙන විදිහේ චිත්‍ර අඳින්න ගෘහ නිර්මාණය කරන්ඩ අවස්ථාවක් තිබුනත් සුපිරිව්‍යුහයේ ඇස වෙනස් කරන්ඩ අපට ශක්තියක් නැහැ. ඒක කරන්නේ යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියේ ඉහලම උගත්තු.

ඒ උගත්තු තමයි සුපිරිව්‍යුහය නිර්මාණය කරල තියෙන්නෙත්. උගත්තු ජීවත් වෙන ලෝකයත් ඒක. ඒ නිසා උගත්තු සුපිරිව්‍යුහය වෙනුවෙන් පෙනී ඉන්නවා ඒවගේම සුපිරිව්‍යුහයත් උගත්තු වෙනුවෙන් පෙනී ඉන්නවා. ඒ ආනුභාවයෙන් තමයි සුපිරිව්‍යුහයේ කලා කාරයොත් උගත්තු වෙනුවෙන් පෙනී ඉන්නෙ. ඒ අනුව තමයි ඇමෙරිකාවේ කලා කාරයො අද ට්‍රම්ප් විරෝධීන් බවට පත් වෙලා ඉන්නෙ. අසීස් අන්සාරි කියන්නේ දෙවෙනි පරම්පරාවේ සංක්‍රමණිකයෙක් ඔහුට අද සුපිරිව්‍යුහය වෙනුවෙන් පෙනී නොසිට පැවැත්මක් නැහැ. ෆැරන්හයිට් 9/11 හදපු මයිකල් මෝ තමන්ගේ චිත්‍රපටයෙන් ඇමෙරිකානු ජනමාධ්‍යයට පහර දුන්නා. ඊට සුපිරිව්‍යුහයෙන් ඉහල ප්‍රතිචාරයක් ලැබුනා. නමුත් ඒකම තමයි ප්‍රශ්ණය වුනෙත්. සුපිරිව්‍යුහය ඇතුලේ ඉඳං ඒකට ගහන්ඩ බැහැ (රතන හාමුදුරුවන්ට පුළුවන් වුනත්). අන්තිමේදී මයිකල් මෝට ඇමෙරිකානු ජනමාධ්‍යයත් එක්ක හැප්පෙන්ඩ බැරිවුනා. ඒක කරන්ඩ පුළුවන් වුනේ ට්‍රම්ප්ටයි.

අපේ කලාකාරයොන්ටත් පුළුවන් නම් කරන්ඩ තියෙන්නේ සුපිරිව්‍යුහයෙන් පිට නිර්මාණය කරලා ජනප්‍රිය වෙන්ඩ බලන එකයි. ඒවට කොහේ තැනක් නැතිවුනත් අඩු ගානේ ලංකාවේ හරි තැනක් ලැබේවි.

No comments:

Post a Comment