Monday, January 2, 2017

තණ අග පිණි බිඳු වැනි පණ

වීදාගම මෛත්‍රී හාමුදුරුවෝ ලෝවැඩ සඟරාවෙ පණ නම් තණ අග පිණි බිඳු වැන්නේ කියල ලිව්වෙ පාලි නොතේරෙන සාමාන්‍ය සිංහල ගැමියන්ව මැරෙන්ඩ කලින් පිං රැස් කර ගන්ඩ උනන්දු කරවන්ඩයි. 

ඇත්තටම පණ මේ තරම් අවිනිශ්චිතද? පණ හුදෙක් භෞතික ක්‍රියාවලියක් නම් එහෙම හිතන්ඩ හේතුවක් නැහැ. භෞතික ක්‍රියාවලිය පවතිනතාක් කල් අපට ඒ ගැන නිශ්චිතවම කියන්ඩ හැකියාවක් තියෙනවා. උදාහරණයක් හැටියට හොඳ සෞඛ්‍ය සම්පන්න මනුස්සයෙක් හදිසියේ මරණයට පත්වෙයි කියල අපි හිතන්නේ නෑ. ඒ අපි පණ භෞතික ක්‍රියාවලියක් හැටියට ගන්න නිසා. නමුත් පණ භෞතික ක්‍රියාවලියක් පමණක්ද? අපි රෝගී මනුස්සයෙක් ගනිමු, ඒ මනුස්සයාගේ පණ රැඳී තිබෙන්නේ භෞතික ක්‍රියාවලියක පැවැත්ම නිසාම පමණක්ද? තවත් ජීවත් වෙන්ඩ ඕනෙ කියල හිතන මනුස්සයෙකුට තමන්ගේ පණ රඳවාගැනීමට එය හේතුවක් විය නොහැකිද? ඒ වගේම තවත් ජීවත් වෙන්ඩ ඕනෙ නැහැ කියල හිතන රෝගී මනුස්සයෙකුට තමන්ගේ පණ හැර යෑමට එසේ සිතීම හේතුවක් විය නොහැකිද? ඒක එහෙම නම් පණ භෞතික ක්‍රියාවලියක් පමණක් නෙවෙයි භෞතික නොවන ක්‍රියාවලියක්ද වෙන බව කියන්ඩ පුළුවන්. පණ භෞතික සහ අභෞතික ක්‍රියාවලි වල එකතුවක් නම් පණ අවිනිශ්චිත ඇයි කියලත් හිතා ගන්ඩ පුළුවන්.

බටහිර වෛද්‍ය විද්‍යාවේ පණ කියල සංකල්පයක් නැහැ ඒ වෙනුවට තියෙන්නේ හුදෙක් භෞතික ක්‍රියාවලියක්. ඒ අනුව මොළේ ක්‍රියාකාරිත්වය නවතින කොට මිනිහෙක් මැරුණා කියල සැලකෙනවා. නමුත් මිනිහෙක්ට සිතුවිලි ඇතිවෙන්නේ කොහොමද කියන එක මොළේ ක්‍රියාවලියකින් පැහැදිලි කරන්ඩ බැහැ. එහෙම නම් මොළේ ක්‍රියාකාරිත්වය නවතිනකොට අර සිතුවිලි ඇතිවීම නතර වෙනවද නැද්ද කියල කියන්ඩ බටහිර විද්‍යාව දන්නේ නැහැ. සිතුවිලි ඇතිවීම/නැතිවීම ගැන හරියට කියන්ඩ බැරි නම් කෙනෙක් මැරුණද නැද්ද කියල කියන්නේ මොන පදනමකින්ද? නමුත් පණ කියන සංකල්පෙට භෞතික අභෞතික සියල්ලම හසුවෙනවා. 

ගොඩක් මහලු වියට පත්වුනු අඹු සැමි යුවලක එක් අයෙක් මිය ගිහින් ටික කලකට පස්සේ අනිත් කෙනාත් මිය ගිය කථා අපි අහල තියෙනවා. මේ සිදුවීම් අහඹුවක්ද? නැත්නම් ඉන් කියවෙන්නේ එකිනෙකාගේ පණ ඔවුන් අතර තිබුනු බැඳීම මතත් පදනම් වුනා කියලද?

බටහිර රටවල වැඩිම කලක් ජීවත් වෙන මිනිස්සු ජීවත් වෙන්නේ ප්‍රංශයේ යම් කිසි ප්‍රදේශයක කියල පර්යේශණයකින් හොයාගෙන තිබුනා. ඒ ඇයි කියල හොයල බැලුවහම ඔවුන්ට පෙනිලා තියෙන්නේ එහෙ වයසක මිනිස්සු ජීවත් වුනේ තමන්ගේ දූ දරුවන් සහ ඥාතී මිත්‍රාදීන් එක්ක නිසාලු. මීට සාපේක්‍ෂව සාමාන්‍යයෙන් බටහිර රටවල වයසක බොහෝ දෙනා ජීවත් වෙන්නේ තනියෙන්. ප්‍රංශයේ ඔය කී ප්‍රදේශයේ මිනිස්සු අතර තිබුනු අන්‍යෝන්‍ය බැඳීම ඒ අයගෙ ජීවිත කාලය දික් වීමට හේතුවක් වුනා කියලයි කියන්නෙ. මෙතන වෙලා තියෙන්නේ පණ දිග් ගැහීමක්. ඒ දිග් ගැහීමට අන්‍යෝන්‍ය බැඳීම් හේතුවෙලා. එහෙනම් මේ වගේ එකිනෙකා අතර ඇති බැඳීම් පණේ අභෞතික ක්‍රියාවලියේ කොටසක් කියල කියන්ඩ පුළුවන්.

පණ තියාගන්ඩ බැඳීම් පදනම් වීම මම පවත්වාගෙන යන්ඩ බැඳීම් පදනම් වෙනවා හා සමානයි. ඒ නිසා පණ සහ මම යන සංකල්ප දෙක අතර සමාන්තර බවක් හිතන්න පුළුවන්. මම නාම රූප දෙකේ එකතුවක් නැත්තම් සංස්කරණයක් හැටියට බුදුන්වහන්සේ දේශණා කරනවා. ඊට සමාන්තරව පණ භෞතික සහ අභෞතික ක්‍රියාවලි වල එකතුවක් ලෙස ගත හැකියි. නාම රූප සංස්කරණය නොකරන කොට මම අත්හැරෙනවා. ඒ වගේම භෞතික සහ අභෞතික ක්‍රියාවලි වල එකතුව නැතිවෙනකොට නැත්නම් ඒ ක්‍රියාවලි නවතින කොට පණ නැති වෙනවා. 


හැබැයි පණ නැති වුනත් මම නැති වෙන්නේ නෑ.

No comments:

Post a Comment