Tuesday, May 16, 2017

ජයග්‍රහණය කළේ අපි බව අමතක නොකරමු

යුරෝපීයයන් ඔවුන් ලෝක යුද්ධ නමින් හඳුන්වන යුද්ධ පිලිබඳ මතකය ඉන් වසර 70-80 ඉක්මවා යාමෙන් පසුවත් තවමත් බටහිර පමණක් නොවේ මුලු ලොවෙහිම ජන විඥාණයේ රඳවා ගැනීමට කටයුතු කරති. ඔවුන් එසේ කරන්නේ පැහැදිලි අරමුණක් ඇතිවය. ඒ යුධ ජයග්‍රහණය කලවුන්ගේ දේශපාලනය ලොව අධිපති දේශපාලනය වශයෙන් පවත්වාගෙන යාම සඳහාය.  ජර්මනියේ හෝ ජපානයේ ඊනියා දෙවන ලෝක යුද්ධ සමයේ හෝ ඊට පෙර තිබූ දේශපාලනය අද ලෝකයට වලංගු නැති කර ඇත. ඒ දේශපාලනය තර්කාණුකුල නොවෙන බවට පත් කර ඇත.  අඩුම තරමින් ජර්මනියේ හෝ ජපානයේවත් එහි පෙර තිබූ දේශපාලනයට හිස ඔසවන්නට ඉඩක් නැත. ඒ තත්වය පවත්වාගෙන යන එක ක්‍රමවේදයක් නම් ඊනියා ලෝක යුද්ධ පිළිබඳ ජයග්‍රාහකයින්ගේ කථාව නැවත නැවතත් ලෝකයට මතක් කර දීමය.

වසර තිහක කාලයක් තිස්සේ අපි ත්‍රස්තවාදය සමඟ පොර බදා ජයග්‍රහණය කලද, ලැබූ දේශපාලන ජයග්‍රහණය ආපසු හැරවීමට මේ රජය කටයුතු කරමින් සිටියි. මේ රජය පත් කරන ලද්දේ මේ රට ලද ජයග්‍රහණය ආපසු හැරවීමට මිස වෙන කිසිවකට නොවේ. ආපසු හැරවීමේ එක් ක්‍රමවේදයක් නම් අප කිසිවක් ජයග්‍රහණය නොකල බව අපට ඒත්තු ගැන්වීමය. ඊනියා යුද්ධයක් නිමා කලා මිස ජයග්‍රහණයක් නොලද බව මේ රජය පුන පුනා කියන්නේ එබැවිනි. නමුත් නිමාවේ වැදගත් ප්‍රතිඵලය ජයග්‍රහණයයි. 2009 මැයි මස 18 දා ප්‍රභාකරන් ඇතුළු දෙමළ බෙදුම්වාදීන්ද ඔවුන්ට පන පෙවූ විදේශ බලවේගද පරාජය ලැබීය. අපි ජය ගත්තෙමු.

වසර තිහක අතීතය මේ ජාතියට අමතක කල නොහැකිය. රට වෙනුවෙන් ජීවිතය කැප කල රණ විරුවන් අපට මතකය. ඝාතනය කෙරුනු සිවිල් වැසියන් අපට මතකය. ත්‍රස්තවාදයට දිවිදුන් සිවිල් වැසියන්ගේත් රණ විරුවන්ගේත් ඥාතීන් තවමත් අප අතර ජීවත් වෙති. මේ කිසිවෙක් අපේ මතකයෙන් ගිලිහීමට ඉඩ නොදිය යුතුය. නමුත් මේ කිසිවකටත් වඩා අපි ජයග්‍රහනය කල බව මතක තබා ගත යුතුය. අපි ඊනියා යුද්ධයක් නිමා කලා නොව දෙමළ බෙදුම්වාදය පරාජය කරමින් ජය ලදෙමු. අපි ජයග්‍රහණය සමැරිය යුතුය. ඒ දෙමළ ජනයාගේ හිත රිදවන්ටවත් අධිපතිවාදී වන්ටවත් නොවේ දෙමළ ජාතිවාදී බෙදුම්වාදී දේශපාලනයට මෙරට ඉඩක් නැති බව නැවත නැවතත් තහවුරු කිරීම සඳහාය.

Sunday, May 14, 2017

රාජපක්‍ෂ ඇතුළු වලල්ල

2015 ජනාධිපතිවරණය පරාජයේ සිටම සාමාන්‍ය ජනතාව මහින්ද රාජපක්‍ෂ වටා රොක් වන්නට විය. අද එය විශාල බලවේගයකි. නමුත් 2015 ජනවාරි 9 දා වෙනවිට රාජපක්‍ෂ කඳවුරේ ඇතුලු වලල්ලේ හිටියේ ඒ මහතා සහ පවුලේ උදවිය පමණක් යැයි පැවසේ. කලින් එහි හිටි සමහරු දුරකථනයෙන්වත් ලඟා කර ගත නොහැකිවීලු. නමුත් ජනප්‍රිය ආණ්ඩු විරෝධයත් සමඟ ක්‍රමයෙන් ඒ ඇතුළු වලල්ල රාජපක්‍ෂ සහෘදයන්ගෙන් පිරෙමින් පවතිනවා යැයි සිතිය හැකියි. මොවුන් අතරින් බහුතරයක් ඊලඟ මහ මැතිවරණයකදී හෝ පළාත් සභා මැතිවරණයකදී හෝ තමන්ට යමක් කර ගැනීමට බලාපොරොත්තුවෙන් සිටින අය බවට කිසිදු සැකයක් නැත. මොවුන්ගේ ජාතිකවාදී බවට එය බාධාවක් නොවේ. ජාතිකවාදී නොවන අයටද ඇතුළු වලල්ලට ඇතුළු වීමට බාධාවක් නොවේ. කෙසේ නමුත් ඇතුළු වලල්ල හිස් වලින් පිරෙනවිට ඉන් පිටත සිටින සාමාන්‍ය ජනතාව මහින්ද රාජපක්‍ෂට පෙනෙන්නේ නැත. ප්‍රශ්ණය එයයි.

රාජපක්‍ෂ ඇතුළු වලල්ල ඉන් පිට සිටින සාමාන්‍ය ජනතාවට සාපේක්‍ෂව අඩු වැඩියෙන් ආත්මාර්ථකාමීය. ඔවුන්ට රටේ දේශපාලන වෙනස්කම් වලට වඩා මැතිවරණ ජයග්‍රහණ සහ ඒ හරහා ලැබෙන තනතුරු සහ ප්‍රතිලාභ වැදගත්ය. ඔවුන් මේ ලාභ අන් අය සමඟ බෙදා ගැනීමට කිසිසේත් එකඟ වන්නේද නැත.  සිරිසේනගේ මිනිසුන් හෝ එජාපයේ මිනිසුන් හෝ රාජපක්‍ෂ බලවේගයට එකතු කර ගැනීමට එය බාධාවකි. අන් කිසිවකුගේ සහයක් නොමැතිව කුට්ටිය පිටින්ම තමන්ට අයිති කරගැනීමට හැකිනම් අන් කිසිවෙක් හා එය බෙදා ගැනීමට මේ ඇතුලු වලල්ල කැමති වන්නේ නැත. 2020ට පෙර ආණ්ඩු වෙනස් කිරීම් මොවුන්ට අදාල නැත. යම්කිසි දිනක නිශ්චය වශයෙන්ම තමන්ට ලැබෙන්නට නියමිත ප්‍රතිලාභ වලල්ලෙන් පිටත සිටින සාමාන්‍ය ජනතාවගේ දේශපාලන අරමුණු තකා කැප කිරීමට මොවුන් කිසිසේත් සූදානම් නැත. මහින්ද රාජපක්‍ෂ මහතා තීරණ තීන්දු ගන්නේ මෙවැනි පරිසරයකය. ඔහුද අවසාන වශයෙන් ගත්කල ඇතුළු වලල්ලේ කෙනෙකි. 

වලල්ලෙන් පිටත සිටින ජනතාවට කල හැකි දෙයක්ද නැත. ඔවුන්ගේ දේශපාලන අරමුණු ඉටු කර ගැනීමට රාජ්‍ය බලය අවශ්‍යය. නමුත් ඔවුන් රාජ්‍ය බලය ලබාදීමට බලාපොරොත්තු වෙන කඳවුරට බලපෑම් කිරීමට ඔවුන්ට හැකියාවක් නැත. මේ තත්වය 2005 මහින්ද රාජපක්‍ෂ මහතා බලයට පත්වූ අවස්ථාවේ තිබි තත්වය නොවේ. එකල එහෙව් ඇතුළු වලල්ලක් නොතිබිනි. ඇතුළු වලලු නිර්මාණය වූයේ රාජපක්‍ෂ ආණ්ඩු කාලයේ ක්‍රමයෙන් ඒ ආණ්ඩුවේම ක්‍රියාකාරිත්වය පදනම් කරගෙනය. අවසානයේ එය රාජපක්‍ෂ ආණ්ඩුව වැටීමටද හේතුවිය. අද ගොඩනැඟෙමින් පවතින රාජපක්‍ෂ කඳවුරේ ඇතුළු වලල්ලද ඒ ආරෙටම යන එකකි. මහින්ද රාජපක්‍ෂ මහතා  ඇතුළු වලල්ලෙන් පිට කන් යොමවන්නේ නැත්නම් 2020 පසුවත් රටට එතරම් සෙතක් බලාපොරොත්තු විය නොහැකිය.

Sunday, May 7, 2017

නූතන බෞද්ධ පුනුරුදය

මීට අවුරුදු විස්සකට පමණ ඉහත මේ රටේ සංස්කෘතිය පිළිබඳව යම් මිම්මක් ගෙන නැවත අවුරුදු විස්සකින් පසුව, එනම් අද දවසේද ඒ මිම්ම ගෙන ඒ මිමි දෙක සංසන්දනය කල හොත් මේ අවස්ථා දෙක අතර කැපී පෙනන සංස්කෘතික වෙනසක් දැකිය හැකිය. ඒ නම් එදාට වඩා අද බෞද්ධයින් පොදුවේ තම බෞද්ධකම ඉස්මතු කරගෙන සිටීමය. එය නූතන බෞද්ධ පුනුරුදයක් ලෙස හැඳින්වීය හැකිය.

පෙරට වඩා අද පොදුවේ බෞද්ධයින් ආගමික කටයුතු වලට නැඹුරුව සිටිති. බොහෝ දෙනා බණ පොත් කියවති. බණ පොත්ද බහුලය. ත්‍රිපිටකය කියවන එහි ඇති ගැඹුරු ධර්ම ගැන අවබෝධයක් ඇති පිරිස වැඩිය. දවස පුරා බණ ඇසිය හැකි රූපවාහිනී නාලිකා ඇත. දවස පුරා මේ නාලිකා නරඹන අයද සිටිති. බෞද්ධ සිද්ධස්ථාන වන්දනාවේ යන පිරිස වැඩිය. බෞද්ධයෝ පෙරට වඩා මහා පරිමාණ දානමය පිං කම් වල නිරත වෙති. දිවයිනේ ප්‍රධාන සිද්ධස්ථාන අළලා කෙරෙන මේ පිංකම් වල ලක්‍ෂ සංඛ්‍යාත මල් පහන් පූජා, ගුවනින් මල් ඉසීම්, දහස් ගණන් අටපිරිකර පිළිගැන්වීම් දුලබ නොවේ. ධර්ම කථනයේ දක්‍ෂ භික්‍ෂූන් වහන්සේලාට අද ඇති ඉල්ලුමද ඉහලය. සමහර භික්‍ෂූන් වහන්සේලා වටා ගිහියෝ රොක්ව සිටිති. ඒ සමහර කණ්ඩායම් කල්ලි ලෙස හැඳින්විය හැකිය. සමහර ගිහියෝද ධර්ම ප්‍රචාරනයේ යෙදෙති ඔවුන් වටාද කල්ලි ඇත. ආරණ්‍යගත භික්‍ෂූන් වහන්සේලාද බහුල වී ඇති සේය. පෙරට වඩා උන්වහන්සේලා ගිහියන්ට බණ දේශණා කරමින් ගිහියන් සමඟ ගණුදෙනු කිරීමට කැමත්තක් දක්වති. පෙරට වඩා බෞද්ධයේ භාවනාවෙහි යෙදෙති. ඒ සඳහා පුහුණුව ලබති. 

එපමණක් නොවේ. පසුගිය වසර විස්ස කාල පරතරය තුල තවත් කැපී පෙනෙන සංස්කෘතික වෙනසක් සිදුව ඇත. එනම් සංස්කෘතික පිරිහීමය. අද එදාට වඩා අප සමාජය බටහිර සංස්කෘතියේ ගිලී ගොස් ඇත. සාමූහිකත්වය පරයා පුද්ගලිකත්වය ඉස්මතු වී ඇත. 

නූතන බෞද්ධ පුනුරුදයත් සංස්කෘතික පිරිහීමත් එකිනෙක හා සමඟ අත්වැල් බැඳගෙන බිහිවුනු දේ මිස ඊට කලින් ඒ උදෙසා ක්‍රියාත්මක වුනු සමාජ ආර්ථික දේශපාලන ක්‍රියාදාමයක ප්‍රථිපලයක් නොවේ. වසර විස්ස කාල පරතරය සසඳනවිට පුනුරුදය සහ පිරිහීම අමුත්තක් ලෙස පෙනෙන්නේ එබැවිනි. 

පුනුරුදයත් පිරිහීමත් දෙකෙහිම ගාමක බලය නාගරික සිංහල බෞද්ධ උගතුන්ය. සමහර නූතන බෞද්ධ පුනුරුදයේ ලක්‍ෂණ බටහිර සංස්කෘතියේ ගිලීමෙහි ආනිසංසය. තවත් සමහර ලක්‍ෂණ සංස්කෘතිය පිරිහීමට එරෙහිව සමාජය විසින් දක්වන ප්‍රතිචාරය. ඒ අනුව සංස්කෘතික පිරිහීම නුතන බෞද්ධ පුනුරුදයට ධනාතමකවත් සෘණාත්මකවත් බලපායි. අනිත් අතට පුනුරුදයත් සංස්කෘතිය පිරිහීමට ධනාත්මකවත් සෘණාත්මකවත් බලපායි.  


සිංහලුන් සංස්කෘතියෙන් පිරිහෙන ගමන් බෞද්ධ කමක් පවත්වා ගෙන යන්නේ කෙසේද? නූතන බෞද්ධ පුනුරුදයේ ගාමක බලය වන වයස අවුරුදු තිහ පනහ අතර වෙන නාගරික උගත් බෞද්ධයින්ට එය කල හැකිය. ඔවුහු එක් පයක් බටහිර සංස්කෘතියේත් තව පයක් සිංහල බෞද්ධ සංස්කෘතියේත් තබාගෙන මේ ගමන යති. නමුත් වයස අවුරුදු හැට හැත්තෑවක් වන ඔවුන්ගේ දෙමව්පියන් බොහොමයකට මේ දෙබිඩි ජීවිතය සරිලන්නේ නැත. ඔවුහු බොහෝ දෙනා තම දරුවන්ගේ ලෝකවලින් ඈත්ව හුදෙකලාව ජීවිත් වීමට එක් හේතුවක් එයය. නමුත් ඔවුන්ටද පුනුරුදයේත් පිරිහීමේත් ආභාශය දැනේ. ඔවුන්ට කල හැක්කේ කරන්නේ බණ පොතටත් බෞද්ධ නාලිකාවලටත් අනුගතවීමය. 

තාත්තලාත් සීයලාත් ඔවුන්ට ආවේනික මං ගනිද්දී නූතන බෞද්ධ පුනුරුදය හා සංස්කෘතික පිරිහීම හමුවේ බාල පරම්පරාව එනම් පුත්තු කුමන මඟක් ගනීවිද?

තාත්තලා මෙන් නොව පුත්තු බොහෝ විට පුනුරුදය හා පිරිහීම අතර අන්‍යෝන්‍ය සම්බන්ධය ගැටුමක් ලෙස දකිනු ඇත. පුතුන්ට පය දෙතැනක තබාගෙන ජීවත්වීමේ හැකියාව නැත. ඔවුන්ට එය ගැටුමකි. එබැවින් පුත්තු කුමන මඟක් ගත්තද නූතන බෞද්ධ පුනුරුදය මෙලෙසම පවත්වාගෙන යාමට ඔවුන් දායක නොවෙනු ඇත.
එබැවින් නුදුරු අනාගතයේම අද අප අත් දකින බෞද්ධ පුනුරුදය දියවී යනු ඇත.

ගැටුම නිරාකරණය කරන වස්
පුත්තු බෞද්ධකම යම් අකාරයකට රැකගෙන බටහිර සංස්කෘතියට අනුගත වීමට ඉඩ ඇත. එසේ වුවහොත් එහි සිංහල බෞද්ධකමක් රැකෙන්නේ නැත. එසේ වුවහොත් අනාගත සිංහල බෞද්ධ පරම්පරාවල් හා බටහිර බෞද්ධයින් අතර වෙනසක් නැති වෙනු ඇත. පුද්ගලිකත්වය ඉස්මතු වී සාමූහිකත්වය යට යනු ඇත. අද දකින සමූහයක් වශයෙන් කෙරෙන මහා පිංකම් තාත්තලාගේ පරම්පරාවෙන් නවතිනු ඇත.

නමුත් පුතුන්ට මීට ඉඳුරාම වෙනස් මඟක් ගැනීමටද හැකියාවක් ඇත. ඒ සාමූහිකත්වය එලෙසම තබාගෙන බටහිර සංස්කෘතිය සහ එහි දැනුම අවශෝෂණය කර ගැනීමෙනි. තාත්තලාට වඩා පුතුන්ට එය ඉටු කර ගැනීමට විභවයක් ඇතැයි මට සිතේ. පුත්තු ඒ මඟ ගතහොත් ඔවුන් විසින් සිංහල බෞද්ධකමක් රැක ගනු ඇත. එය අද පවතින නූතන බෞද්ධ පුනුරුදයට වඩා වෙනස් ලක්‍ෂණ දරනු ඇත. එය සීයලාගේ සිංහල බෞද්ධ කමින්ද වෙනස්වනු ඇත. නමුත් තාත්තලා මෙන් දෙබිඩි ජීවතයක් නොව සීයලා මෙන් තමන්ටම ආවේනිකවූ සිංහල බෞද්ධ සංස්කෘතියක් ඔවුන් සහ අනාගත පරම්පරාවන් විසින් ගොඩනඟනු ඇත. අපේ පැතුම විය යුත්තේ එයයි.

Tuesday, May 2, 2017

දිනන ජනතාව සහ පරදින ආණ්ඩුව


 
 
කුඩා කාලේ අහපු කථාවක්. මතක නෑ කව්ද කථා නායකයා කියල. අන්දරේ වෙන්ඩ ඇති.

එකමත් එක කාලෙක ඉංදියාවෙ ඉඳල මල්ලව පොර කාරයෙක් එනව ලංකාවට. ඉංදියන් කාරයා පරද්දන්ඩ කාටවත් බෑ. මිනිහ හරි ශුරයා කියල රට පුරා කථාවක් යනව. රජ වාසලටත් ආරංචි වෙනවා.  අපේ මිනිහ රජතුමාට කියනව මට පුළුවන් මේ ඉංදියන් කාරයව පරදන්ඩ කියල. ඔන්න ඉතිං රජතුමාත් දෙන්න අතරෙ තරඟයක් සූදානම් කරනව.

තරඟෙට කලින් දවසෙ අපේ එකා ඉල්ලනව ඉංදියන් කාරයගේ අල්ලපු කාමරේ රෑට නිදිය ගන්ඩ. රෑ තිස්සේ අපේ එකා මේ කාමරේ ඉඳං අනිත් කාමරේ ඉන්න ඉංදියන් කාරයට කථා කරලා පම්පෝරි ගහනවා. ඌ කියනවා අරූට ගැහුව හැටි මූට ගැහුව හැටි. ඉංදියන් කාරයා ඒව අහල බය වෙනවා.

ඔය අතරේ අපේ එකා කාමර දෙක අතරෙ බිත්තිය හාරනවා. හාරල හාරල බදාම ලඟට එනකොට මූ ඉංදියන් කාරයට කථා කරලා අහනවා "මචං උඹ ලඟ විටක් නැද්ද?" කියල. ඉංදියන් කාරයා කියනවා තියෙනවා හැබැයි කොහොමද දෙන්නෙ කියල අහනවා. එක පාරටම අපේ එකා අර හාරපු බිත්ති කෑල්ලට මිට මොලවලා ගහල බිඳ දාල "මේං මෙතනින් දියංකො" කියල ඉංදියන් කාරයට කියනවා. ඉංදියන් කාරයා හිතුවා මූ බිත්තිය පසාරු වෙන්ඩ ගැහුවා නේද කියල. ඌ හොඳටම බයවුණා. පහුවදා තරඟ බිමට ඉංදියන් කාරයා යන්නේ පණ බයේ ඌට හොඳටම විශ්වාසයි ඌ පරදිනවා කියල. ඒත් කරන්ඩ දෙයක් නෑ තරඟ වදින්ඩ වෙනවා.

දැන් මිනිස්සු වට වෙලා ඉන්නවා. දෙන්න මැද්දෙ. තරඟෙ පටං ගන්ඩ රජතුමා අණ දුන්නම අපේ එකා රවුමෙ තැනක් පෙන්නලා මිනිස්සුන්ට කියනවා ඔය ඔතනින් පොඩ්ඩක් ඈත් වෙන්ඩ කියලා. රවුමට හිටිය මිනිස්සු රවුම කඩලා ඉඩක් දෙනවා. මේක දැකපු පණ බයේ හිටිය ඉංදියන් කාරයා අවස්ථාවෙන් ප්‍රයෝජනය අරගෙන ඒ හිඩසින් පැනලා දුවනවා.

අපට දිනන්ඩ නම් සමහර වෙලාවට ප්‍රතිවාදියාට වුනත් පරදින්ඩ ක්‍රමයක් හදලා දෙන්ඩ වෙනවා.

Sunday, April 23, 2017

තාරුණ්‍යයට දේශපාලනමය සෙවනක්

සංස්කෘතිය වෙනස් වෙනකොට එක ළඟ පරම්පරා දෙකක් අතර සංස්කෘතික වෙනසක් ඇති වෙන්ඩ පුළුවන්. ඒ වෙනස නිසා දෙමව්පියන් සහ දරුවන් අතර අන්‍යෝන්‍ය අවබෝධය අඩු වෙන්ඩ පුළුවන්. සංස්කෘතියක් නිරන්තරයෙන්ම වෙනස් වෙන නිසා ඕනෑම පරම්පරා දෙකක් අතර මෙහෙම වෙනසක් තියෙන්ඩ පුළුවන් වුනත් අද අපේ රටේ තරුණ සහ වැඩිහිටි පරම්පරා අතර ඇති සංස්කෘතික පරතරය අද දවසේ බටහිර රටක ඇති එම පරතරයට වඩා වැඩියි. ඒකට හේතුව අපේ සංස්කෘතිය වෙනස් වෙන වේගය වැඩි නිසයි.

මේ තරුණ-වැඩිහිටි සංස්කෘතික පරතරය නිසා ඇති වෙන දේශපාලන ප්‍රශ්ණයක් තියෙනවා.

සාමාන්‍යයෙන් රටක දේශපාලන නායකත්වය වගේම දේශපාලන මතවාද වලත් ආධිපත්‍යය හිමිවන්නේ රටේ වැඩිහිටි පරම්පරාවට. දේශපලනයේ මුහුකුරා යන්නේ වයසත් එක්ක. ඒ නිසා දේශපාලන සෙවන අනිත් සාමාජීය කරුනු මෙන් නොව ඉහල පරම්පරාවකින් තරුණයින්ට දායාද වෙන එකක්. තරුණ-වැඩිහිටි සංස්කෘතික පරතරය වැඩිවෙනකොට වැඩිහිටියන්ගේ දේශපාලනය තරුණයන්ට යාදෙන්නේ නැතිවෙන්ඩ පුළුවන්. අද අපේ රටේ එහෙම තත්වයක් තියෙනවා.


අපි තරුණයෝ කාලෙ ඒ කියන්නේ අසූව දශකයේ, එහෙම ප්‍රශ්ණයක් තිබුනේ නෑ. අපි දේශපාලනය ගැන උනන්දුවක් ඇති වෙන වයස එනකොට මේ රටේ පිහිටුවා තිබුනු කිසියම් දේශපාලන ප්‍රවාහයකට අනුගත වෙන්ඩ අපට එතරම් ප්‍රශ්ණයක් වුනේ නෑ. අපට සංස්කෘත හෝ දේශපාලන පරතරයක් ඇඟට දැනුනේ නෑ. නමුත් පවතින දේශපාලන ප්‍රවාහයන් වලට එකතු වෙන්ඩ කුමක් හෝ හේතුවක් නිසා අද ඉන්න තරුණයින් මැලි කමක් දක්වනවා.

තරුණයන්ට දේශපාලන හව් හරණක් නැති වීම යහපාලන ව්‍යාපෘතිය විසින් ඉතා කුට විදිහට ප්‍රයෝජනයට ගත්තා. අරං මේ රටේ තරුණයින්ව නොමඟ යැවුවා. යහපාලන ව්‍යාපෘතිය කලේ වෙන දෙයක් නෙවෙයි තරුණයින් ඉල්ලන දේශපාලන මාලිගාව ඔවුන්ට හදල දීල ඔවුන්ගේ ඡන්දය මංකොල්ල කාපු එකයි. නමුත් ඒක වැල්ලේ තනපු මාලිගාවක් බව ඔවුන් අද තේරුම් අරගෙන ඉන්නවා. නමුත් ඒකට තරුණයින්ට දොස් කියන්ඩ බැහැ.

යහපාලන ව්‍යාපෘතිය දේශ ද්‍රෝහී එකක් බව කාටත් පැහැදිලියි. දේශපාලනයෙන් මුහුකුරා නොගියත් මේ රටේ තරුණයෝ රට දැයට ආදරෙයි. මේ ආණ්ඩුවේ අනන්‍යතාව බවට පත්වෙලා තියෙන දේශ ද්‍රෝහය, වෛරය, අදක්‍ෂකම, සමඟ මේ රටේ තරුණයෝ එකතු වෙන්නේ නෑ. නමුත් තරුණයින්ට එකතු වෙන්ඩ පුළුවන් දේශපාලන ප්‍රවාහයකුත් අද මේ රටේ නැහැ. තරුණයින් ගේ දේශපාලනය කියන්නේ තරුණ දේශපාලඥයින්ගේ දේශපාලනය නෙවෙයි තරුණයින්ගේ ආකල්ප සහ මතවාද සමඟ ගැලපෙන දේශපාලනයකුයි. තරුණයෝ එකතු කරගන්ඩ නම් පවතින වැඩිහිටියන්ගේ දේශපාලන ප්‍රවාහයන් වෙනස් වෙන්ඩ ඕනෙ.

2020 බලාගෙන ඉන්න දේශපාලඥයින් මේ තරුණයින්ට දේශපාලන සෙවනක් සැදිය යුතුයි. ඒ සෙවනේ දේශ ද්‍රෝහය වෙනුවට දේශප්‍රේමයත් වෛරය වෙනුවට උපේක්‍ෂාවත් අදක්‍ෂකම වෙනුවට දක්‍ෂයින්ට තැන දීම ආදේශ කල යුතුයි. තරුණයින්ට බොරු නොකියා ඇත්ත කිව යුතුයි. අත් කරගන්ඩ බැරි අහස් මාලිගා ගැන නෙවෙයි වීර්යයෙන් ජය ගන්ඩ පුළුවන් අනාගතයක් ගැන ඔවුන් සමඟ කථා කල යුතුයි. බොරු සංහිඳියාවක් ගැන නෙවෙයි ජාතිය ගොඩනැඟීමක් ගැන කථා කල යුතුයි. මේ හැම තැනකදීම තව අවුරුදු පහකින් දහයකින් රට ගෙනගිය යුතු තැන ගැන ආටෝප විච්චූරන නැතිව අවංකව කථා කල යුතුයි. ඩීල් දේශපාලනයට ප්‍රතිවිරුද්ධ තැනක ඉඳං තරුණයින්ට කථා කලොත් ඔවුන් ඒ දේශපාලනය තමන්ගේ සෙවන කර ගනීවි.

Sunday, April 16, 2017

රටේ කුණු


මීතොටමුල්ල ඛේදවාචකයක්. ජනාකීර්ණ ප්‍රදේශයකට අවුරුදු ගාණක් තිස්සේ කුණු ගෙනත්දාලා ගෙනත්දාලා රටේ කුණු ප්‍රශ්ණය එ අවට ජීවත්වුනු මිනිස්සුන්ගේ පුද්ගලික ප්‍රශ්ණයක් බවට පත් කෙරුනා. දැන් ප්‍රශ්ණය පුපුරා ගිහින් ඒ මිනිස්සු ජීවිත වලින් වන්දි ගෙවලා. ඒකේ වගකීම රටම නැත්තම් අඩු තරමින් කොළඹ ජීවත්වෙන සහ කොළඹට යන එන මිනිස්සු භාර ගන්ඩ ඕනෙ. මේ රජය නම් කිසි දෙයක වගකීම් භාර ගන්න රජයක් නෙවෙයි. භාර ගත්තත් විසඳන්ඩ හැකියාවකුත් නෑ. මහින්ද රාජපක්‍ෂ රජය නම් යම් යම් විසඳුම් සොයන්ඩ පටන් ගත්තා සමහර විසඳුම් ක්‍රියාත්මක කරමින් හිටියා. නමුත් ඊට සම්පූර්ණ විසඳුමක් ලබෙුනේ නැහැ. අවුරුදු ගාණක් තිස්සේ ඔඩු දුවපු ප්‍රශ්ණයක් එක වරම විසඳන්ඩ බැහැ කියලයි කියවුනේ. ඒකෙ ඇත්තක් තියෙනවා.

නමුත් මේ කාටත් කුණු ප්‍රශ්ණය විසඳන්ඩ බැහැ. බැරි සමස්ථ ප්‍රශ්ණය තේරුම් නොගන්නා නිසයි.

ප්‍රශ්ණය කුණු ඉවත්කිරීමේ විදිමත් ක්‍රමයක් නැතිවීම විතරක් නෙවෙයි. කුණු එකතු වීමත් ප්‍රශ්ණයක්. කුණු කියන්නේ අපි පරිභෝජනය කරලා ඉතුරු කරන අපද්‍රව්‍යය. ඉතුරු වෙන්නේ ඇයි? ඉතුරු වෙන්නේ අපි වැඩියෙන් අත්පත් කරගන්න නිසයි. අපි නංගිටයි මටයි ගෙඩි දෙකක් ඇතියි කියන සමාජයක් නෙවෙයි පැණි දොඩම් වැඩියෙන් කඩන සමාජයක් බවට පත්වෙලා. වැඩියෙන් කඩනවා කියන්නේ කඩේට ගිහින් කන කෑම අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩියෙන් ගන්නවා කියන එක විතරක් නෙවෙයි. අපි ජීවත් වෙන්ඩ අවශ්‍ය ප්‍රමාණයට වඩා හැම දෙයක්ම වැඩියෙන් අත්පත් කරගන්න සමාජයක් බවට පත්වෙලා. වැඩියෙන් අත්පත් කරගන්නකොට වැඩියෙන් අහක දාන්ඩ වෙනවා. ජංගම දුරකථන අළුත් වෙන්ඩ අළුත් වෙන්ඩ කුණු බවට පත් වෙන දුරකථන වැඩිවෙනවා. කුණු එකතුවීම පරිභෝජන ජීවන රටාවත් එක්ක බැඳිල තියෙන දෙයක්. අපේ ජීවන රටාව ඉතා බරපතල ලෙස වෙනස් නොකර කුණු ප්‍රශ්ණය විසඳන්ඩ බැහැ. පැලැස්තර අලවන්ඩ පුළුවන් නමුත් විසඳන්ඩ බැහැ.

ජීවන රටාව වෙනස් කරගන්ඩ නම් අපේ ආකල්ප වෙනස් කරගන්ඩ වෙනවා. අපට ඕන නම් ප්ලාස්ටික් මලු වෙනුවට පං මලු පාවිච්චි කරන්ඩ පුළුවන්. ඒක හොඳයි ඒකෙන් යහපත් ප්‍රතිඵලයක් තියේවි. නමුත් ඒක කරනවා නම් ආණ්ඩුවෙන් ප්ලාස්ටික් මලු භාවිතය තහනම් කරන්ඩ ඕනෙ. එහෙම නැතිව ප්ලාස්ටික් මලු නිපදවන ආයතන වලටත් වෙලඳ පොල අවහිර නොකරගෙන අපි පං මලු පාවිච්චි කරමු කියලා සංහිඳියා වර්ගයේ ප්‍රචාරක ව්‍යාපෘති කරලා වැඩක් වෙන්නේ නෑ. වැඩක් වෙන්ඩ නම් ආකල්පීය වශයෙන් වෙනසක් සිදුවිය යුතුයි. ඒ ආකල්ප මත පදනම් වෙලා දේශපාලන වෙනස්කම් සිදුවිය යුතුයි. මේ ආණ්ඩුවට එහෙම දේවල් කරන්ඩ කොන්දක් නැහැ. 

බටහිර ජීවන ක්‍රමයේ වෙලඳපොල ආර්ථික රටාව එලෙසම තබාගන්නවාද නැත්තම් ඊට බරපතල වෙනසකම් කරනවාද? 

අද අපි අනුකරණය කරමින් යන බටහිර සංස්කෘතික ජීවන රටාව වෙනුවට නිවන අරමුණ කරගත්ත සිංහල බෞද්ධ ජීවන රටාවකට යොමුවිය යුතුය යන ආකල්පය අපි වර්ධනය කරන්ඩ ඕනෙ. ඒ ආකල්පය මත හිඳගෙන ක්‍රමයෙන් කෙරෙන සමාජීය හා දේශපාලන වෙනස් කම් වලින් අපට පුළුවන් කුණු විතරක් නෙවෙයි අකුසලුත් එකතු වෙන එක නැති කරගන්ඩ. එහෙම නැතිව බටහිර ජීවන රටාවේ තව දුරටත් බඩ ගාන ගමන් කුණු එකතුවීම නවත්තන්ඩ ගෙනෙන එකම විසඳුමක්වත් කිසිදාක සමස්ථ ප්‍රශ්ණයට විසඳුමක් වෙන්නේ නැහැ.

Monday, April 10, 2017

රහසින් පව් කිරීම

දිනක් හවස් වරුවේ ඇල වී සිටින අතරතුරේ නාථට දුරකථන ඇමතුමක් ලැබිනි. 

හලෝ නාථ මේ ජාත්‍යන්තර මානසිකෙන් කතා කරන්නෙ.
කව්ද…? නාථට නිච්චියක් නැත.
අපි මේ ජාත්‍යන්තර මානසික හිමිකම් සුරැකීමේ සංවිධානයෙන්, ඔබතුමාට අපේ සම්මන්ත්‍රණයකට ආරාධනය කරන්ඩයි කතා කලේ අනිත් පැත්තෙන් පිළිතුරු දිනි.
ඔය කිව්වෙ ජාත්‍යන්තර මානුශීය හිමිකම් සංවිධානයද? නාථට තවමත් අපැහැදිලිය.
නෑ නෑ මේ මානසිකේ. 
ඔබතුමා එන්ඩකො හෙට අපේ සම්න්ත්‍රනේට හෙතෙම කීවේය.
හා හා හරි හරි හරි..හරි. නාථ දුරකථනය තැබුවේය.

පසුවදා නාථ සම්මන්ත්‍රණ ශාලාවට ගියේ ඉමහත් කුතුහලයෙනි. ශාලාව මාධ්‍ය වේදීන්ගෙන් නමගිය විද්වතුන්ගෙන් දේශපාලඥයින්ගෙන් පිරී ඉතිරී ගොස් තිබිනි. මාතෘකාව වූයේ රටේ මිනිසුන්ගේ මානසික ආතතිය පිළිබඳවය. විවිධ දත්ත ප්‍රස්තාර අතරින් කියවුනේ රටේ මානසික ආතතිය වැඩි වී ඇති බවත් මිනිස්සු ඒ නිසා දුක් විඳින බවත්ය. අන්තිම දේශනය පැවැත්වූයේ ජා.මා.ස යේ සභාපති වරයා විසිනි. ඒ මානසික ආතතියට හේතු පිළිබඳවය. හෙතෙමද විවිධ දත්ත ප්‍රස්තාර යොදාගෙන මානසික ආතතියට හේතුව පැහැදිලි කලේය. හේතුව මේකයි කථාව අවසානයේ සංශිප්ත වශයෙන් ඔහු දැක්වූයේය. 

මේ රටේ මිනිස්සු කුහකයි. ඒකයි මූලික හේතුව. කුහකයි කියන්නේ මේකයි. බොහෝ මිනිස්සු පව් කරනවා නමුත් පව් කරන්නේ රහසින්. කරනවා නමුත් ප්‍රසිද්ධියේ පිළිගන්නේ නෑ. ලැජ්ජයි. බයයි. මේක කුහක කම. මේ කුහක කම නිසා තමයි මිනිස්සුන්ට මානසික ආතතියක් ඇතිවෙන්නේ. තමන්ගේ හැඟීම් නිදහසේ ප්‍රකාශ කරගන්ඩ බැරි වුනාම එහෙම තමයි. ඒ නිසා අපි නිර්දේශ කරනවා රහසින් පව් කරන එක අධෛර්මත් කරන්ඩ කියල. 

කරන්ඩ හොඳනම් කියන්ඩ ලැජ්ජා වෙන්නේ ඇයි? 

කරනවා නම් රහසින් කරන්නේ ඇයි? කුහක වෙන්නේ ඇයි? මේ කුහක කම අත් හැර ගන්ඩ හැකිනම් රටේ මානසික ආතතිය අවම කරගන්ඩ පුළුවන්. අපි ඒ සඳහා පාසල් මට්ටමෙන් ක්‍රියාත්මක කල හැකි වැඩපිළිවෙලක් රජයට යෝජනා කරනවා. සභභාවේ ඔල්වරසන් මධ්‍යයේ ජා.මා.ස යේ සභාපති වරයා පැවසීය.

හපොයි! නාථට ඉබේටම කියැවිනි නමුත් ඔහු හඬක් නොනගා සිටියේ වටේම සිටිවුන් ජාත්‍යන්තර මානසිකේ නිර්දේශය පිළිගත් බව පෙනුන නිසාය. කාලෙකට පස්සේ වැදගත් ශාස්ත්‍රීය වැඩක් කෙරුනා කෙනෙකු පවසනු නාථට ඇසිනි. නාථ ශාලාවෙන් නික්ම යන්නට හැරිනි.

නාථ අයිසේ පොඩ්ඩක් ඉන්නවා. කව්දෝ පිටුපසින් පැමිණ නාථට තට්ටු කලේය.

බැලින්නම් නාථ හඳුනන මාධ්‍යවේදියෙකි.
නාථ මොකද හිතන්නේ? ඔහු ඇසීය. කිව්වත් වැඩක් නැති බව දැන ගත්තද නාථ තමන්ගේ අදහස මාධ්‍යවේදියාට කියා දැමීය.

මේකනෙ මහත්මයා. බුදුහාමුදුරුවෝ අපට උගන්වලා තියෙන්නේ අකුසල් අකුසල් බව ප්‍රත්‍යක්‍ෂයෙන් දැන ගන්ඩ කියලයි. ඔය විදර්ශණා භාවනා වඩන්නේ ඒකටනෙ. ප්‍රත්‍යක්‍ෂයෙන් දැන ගත්තහම මිනිස්සු ආයේ ඒ පව් කරන්නේ නෑ. නමුත් ඕක හැමෝටම බෑනෙ. බැරි වෙනකොට ඉතිං ඊලඟට අපි උත්සාහ කරන්නේ පව් තවන්ඩ. ඒ කියන්නේ පව් කරන එක වීර්යයෙන් නවත්ත ගන්ඩ. ඕකත් බැරිකොට තමයි මිනිස්සු රහසින් පව් කරන්නේ. රහසින් කිව්වට ඔතන වෙන්නේ අපි පව් කරන්නෙත් නෑ නොකරන්නෙත් නෑ වගේ ඉන්න එකනෙ. ද්විකෝටිකයෙන් තර්ක කරනකොට ඕක කුහක කමක් කියල හිතුවට ඒක කුහක කමක් නෙවෙයි. අපට පව් කරන්නෙත් නෑ නොකරන්නෙත් නෑ වගේ ඉන්න පුළුවන්. එතන ආතතියක් නෑ. එහෙම කලාය කියලා අපි නිවන් මඟට විරුද්ධ දිශාවකට යන්ඩ පෙලඹෙන්නේ නෑ. රහසින් පව් කලත් අපි එහෙම කරන්නේ නිවන් මඟ පිළිගන්න නිසයි. ඒක වැදගත්. කරන්ඩ ඕනෙ මිනිස්සු පව් කරන එක වලක්වන එක මිසක් මිනිස්සු රහසින් පව් කරන එක නවත්තන එක නෙවෙයි.

හ්ම් හ්ම් මාධ්‍ය වේදියා හූමිටි දෙමින් අසා සිටියද එක්කෝ ඔහු තේරුම් ගත්තේ නැත නැත්නම් ඔහු නාථ කී දේ පිළිගත්තේ නැත. කෙසේ නමුත් මම මේක හෙට පත්තරේ දාන්නම් කියමින් ඔහු යන්ට ගියේය. පසුවදා පත්තරේ මුල් පිටුවේ ජා.මා.සයේ සම්මන්ත්‍රණය පිළිබඳ දිගු ලිපියකි. මුල් ඡායාරූපයේ නාථද සභාවේ සිටිනු පැහැදිලිවම දකින්නට තිබුනු නමුත් ඔහු කී කිසිවක් ලිපියේ නොවිනි. 

කාලය ගෙවිනි. පව් කරන්ඩ හොඳනම් කියන්ඩ ලැජ්ජාවෙන්නේ ඇයි යන ආකල්පය පාසල් වලින් පටන්ගෙන සමාජය පුරා පැතිරවිනි. තරුණ පරපුර ඊට තදින් ආකර්ශණය විය. සමාජ ජාල පුරා ඒ ආකල්ප ආදර්ශයට ගැනිනි. මිනිස්සු තමන්ගේ බිත්තිවල තමන් කල පව් ගැන උජාරුවෙන් ස්ටේටස් දැමූහ. පව් වැඩ පිළිබඳ සංඝණන පැවත්වූහ. තරඟ පැවැත්වූහ. 

ඒ අතර පිරිසක් මේ සමාජ විපර්යාසයන්ට තදින්ම විරුද්ධ වූහ. ඔවුහු පිං කිරීම සහ තමන් පිං කිරීම ගැන ප්‍රසිද්ධියේ කිව යුතුය යන ආකල්පය ප්‍රවර්ධනය කලහ. ඔවුහු තමන් කල පිං ගැන උජාරුවෙන් ස්ටේටස් දැමූහ. පිං වැඩ පිළිබඳ සංඝණන පැවත්වූහ. තරඟ පැවැත්වූහ. අවසානයේ සමාජය ප්‍රසිද්ධියේ පිං කරන්නන් සහ පව් කරන්නන් වශයෙන් බෙදී ගියේය. 

වසර ගණනක් ගෙවුනු පසු ජාමාසයෙන් පසු විපරම් පර්යේශණයක් පැවැත්විනි. එහි ප්‍රතිඵල නිකුත් කිරීම සඳහා මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වුනු නමුදු නාථට ආරාධනයක් නොලැබිනි. කෙසේ නමුත් ඒ ගැන කන වැකුණු නාථ එහි ගියේය. එතරම් උත්සවාකාරයක් නොපෙනුනු අතර එතරම් සෙනඟක්ද එහි සිටියේ නැත.
දැන් මිනිස්සුන්ගේ ආතතිය අඩුවෙලාද? මාධ්‍යවේදියෙක් ජමාසයේ සභාපතිගෙන් ඇසීය. මෙහෙමයි, දැන් මිනිස්සුන්ගේ කුහක කම නම් නැත්තටම වගේ නැතිවෙලා කියලනම් කියන්ඩ පුළුවන්. ඒ කියන්නේ ආතතිය අඩුද? කටකාර මාධ්‍යවේදීයා නැවත ඇසීය. මෙහෙමනෙ අපි ගිය පාර හොයා ගත්තේ කුහක කම නිසා ආතතිය ඇතිවුනු බවයි ඉතිං ඒ නිගමණයට අනුව දැන් කුහක කම අඩු නම් ආතතිය අඩු වෙලා කියලා අපෝහණය කරන්ඩ පුළුවන් නේද? පෙරලා ඔහු මාධ්‍යවේදියාටම ප්‍රශ්ණය භාර දුන්නේය.

දැන් මිනිස්සු පව් කරනවා අඩුද? තවත් එකෙක් ඇසීය. මෙහෙමයි පව් පිං කියන දේ ජාත්‍යන්තර මානසික හිමිකම් සුරුකීමේ සංවිධානයේ විශයට අයත් වෙන්නේ නෑ. ඒ නිසා අපි ඒ ගැන අවධානයක් යොමු කරන්නේ නෑ. කෙසේ නමුත් අපේ දත්ත පවසන්නේ පිං කරන අයත් පව් කරන අයත් ගණනින් වෙනස් වී නැති බවයි. ජමාසයේ සභාපති වරයා පැවසීය. මාධ්‍ය හමුව නිමවිය. සියල්ලෝ සතුටින් විසර ගියහ. ශාලාවෙන් පිටවෙන අතරේ කෙනෙකු පිටුපසින් පැමිණ නාථ ඇමතීය.

අයිසේ නාථ ඔහොම ඉන්නවා.
ආ මේ හසන්තනෙ කොහොමද? නාථ මාධ්‍යවේදියා හඳුනාගත්තේය. මොකද හිතන්නේ මාධ්‍ය වේදියා නාථගෙන් විමසා සිටියේය.
මොනව ගැනද? 

නෑ මං කියන්නේ පිං කරන අයයි පව් කරන අයයි ගණනින් වෙනස් වෙලාත් නෑ මිනිස්සු කුහකත් නැති නිසා අවුලක් නෑනේද? හසන්ත මන්ද ස්වරයෙන් පෙරලා අසා සිටියේ නාථ කලින් වාරයේ කල ප්‍රකාශය පත්තරේට නොදැමු නිසා තමා සමඟ අමනාපයෙන් සිටින්නේ යැයි සැක කල බැවිනි. 

පිං කලත් වැඩක් නෑ හසන්ත දැන් ඔය කවුරුත් එදාට වඩා අද නිවන් මඟින් ඈත් වෙලා.


ඒ කියන්නේ රහසින් පව් කරන්ඩ ඉඩ දෙන්ඩ ඕනෙද? හසන්ත ඇසුවේය.
නාථ කිසිවක් නොකියා යන්ට ගියේය.


Wednesday, April 5, 2017

Classical Science කඩා වැටිලා කියන්නේ මොකක්ද?

ක්වොන්ටම් නීරීක්‍ෂණ වලිනුයි විවරණ වලිනුයි ගර්ඩල් ප්‍රමේයෙනුයි කියවෙන්නේ බටහිර සම්භාව්‍ය විද්‍යාව කඩා වැටී ඇති බවයි. මේකෙන් තේරුම් යන්නේ මොකක්ද? මේ කියන්නේ නිව්ටන්ගේ නියම භාවිතා කරලා රොකට් යවන්ඩ බැහැ කියවත් බෝම්බ හදන්ඩ බැහැ කියලවත් වඩා සුපිරි පරිගණක හදන්ඩ බැහැ කියලවත් නෙවෙයි. මේක දැනුම ගැන ප්‍රශ්ණයක්. සම්පූර්ණ දැනුම් පද්ධති තියෙන්ඩ බැහැ කියලයි මේ කියන්නෙ. වෙනත් වචනයකින් කියනව නම් ස්වසිද්ධි වලින් පටන්ගෙන රේඛීයව ඇරිස්ටෝටල් න්‍යාය පදනම් කරගෙන ගන්න නිගමණ පමණක් තියෙන දැනුම් පද්ධති සම්පූර්ණ නැහැ කියල. මේබව බටහිර විද්‍යාවම තමයි මේ කියන්නේ නමුත් අපි මේක පිළිගන්නේ බටහිර විද්‍යාවෙන් “හොයාගත්ත” හින්ද නෙවෙයි. අපේ දැනුම් පද්ධති කොහොමටත් ස්වසිද්ධි වලින් පටන්ගෙන රේඛීයව ගොඩනැඟෙන ඒවා නෙවෙයි. අපේ දැනුම් පද්ධති චක්‍රීයයි. පටිච්ච සමුප්පාදයේ තියෙන්නෙ චක්‍රයක්. ඒවායේ ස්වසිද්ධි නෑ. බටහිර විද්‍යාවේ ඔය ස්වසිද්ධි තියෙන්නේ ඒ සංස්කෘතිය තුල මුලක්, නැත්තම් මැවුම්කාර දෙවිකෙනෙක් ගැන විශ්වාස තියෙන නිසයි.

දැන් මේ බටහිර විද්‍යාවෙන්ම “හොයාගෙන” තියෙන්නේ එහෙම මුලක් ඇතැයි කියල උපකල්පණය කරගෙන ගොඩනඟන දැනුම් පද්ධති සම්පූර්ණ නැහැ කියලයි. ඒ කියන්නේ එහෙම දැනුම් පද්ධතියකින් මුළු කථාවම දැනගන්ඩ බැහැ කියන එකයි. වෙනත් වචනයකින් කියනව නම් අපට මැන ගන්ඩ පුළුවන් එහෙමත් නැත්තම් පංචේන්ද්‍රියන්ට ගෝචර කරගන්ඩ පුළුවන් සියළු දේවල් විස්තර කරන්ඩ හැකි සංගත කතන්දරයක් ස්වසිද්ධි සහ ඇරිස්ටෝටල් න්‍යාය භාවිතා කරල හදාගන්ඩ බැහැ කියන එකයි. එහෙම බැරි නම් ඒකෙ ලොකුම ප්‍රශ්ණය එන්නෙ බටහිර ගණිතයටයි, ඊලඟට බටහිර භෞතික විද්‍යාවටයි ඊලඟට බටහිර ජීව විද්‍යාවටයි ඊටත් පස්සේ සමාජ විද්‍යාවලටයි.

දැන් කතන්දර හදන්ඩ බටහිර සංස්කෘතිය දන්න එකම ක්‍රමය තමයි ස්වසිද්ධි ඇරිස්ටෝටල් රේඛීය ක්‍රමය. දැන් මේකෙන් හදන කතන්දර වලින් පංචේන්ද්‍රියන්ට ගෝචර වෙනදේවල් සම්පූර්ණයෙන් විස්තර කරගන්ඩ බැරි නම් ඇති වැඩේ මොකක්ද? තියරි හරියන්නේ නැත්නම් ඒවායෙන් ඇති වැඩේ මොකක්ද? මේකයි බටහිර විද්‍යාවට තියෙන ප්‍රශ්ණය. දැන් බෝල උඩ දැම්මම බිම වැටෙන එක ගැන නිවැරදිව පුරෝකථනය කරන්ඩ නිව්ටන්ගේ නියම වලට හැකිවුනාට ඊට වඩා සංකීර්ණ දේවල් ගැන කියන්ඩ ගියාම වරදිනවා. එහෙම වරදින බව ක්වොන්ටම් යාන්ත්‍රනයයි ගර්ඩල්ගේ ප්‍රමේයයි එන්ඩ කලිනුත් බටහිරුන් දැනගෙන හිටියා නමුත් බටහිර විද්‍යාවට ඕකට විසඳුමක් නැහැ.

බටහිර තාක්‍ෂණය තවත් වර්ධනය වේවි. ඒකට ඔය කියන තියරි අවශ්‍යම නැහැ. මැක්ස්වෙල්ගේ විද්‍යුත් චුම්භක ප්‍රවාද නැතුවත් ෆැරඩේ ගේ පරීක්‍ෂණ අල්ලගෙන විද්‍යුත්-චුම්භක තාක්‍ෂණය දියුනු කරගන්ඩ ඉඩ තිබුනා. නමුත් බටහිර විද්‍යාවට සම්පූර්ණ කතන්දර හදාගන්ඩ බැරිවෙනවා. ඒක දැනටමත් සමාජ විද්‍යාවල පේනවා සියලු කරුණු විස්තර කරගන්ඩ පුළුවන් ආර්ථික හෝ දේශපාලන තියරි තියෙනවද? ජීව විද්‍යාවටත් ඒක ප්‍රශ්ණයක්. ජාන වලින් සියලු දේ විස්තර කරගන්ඩ පුළුවන්ද? භෞතික විද්‍යාවටත් ඒ ප්‍රශ්ණෙ තියෙනවා. ක්වොන්ටම් තාක්‍ෂණය භාවිතා කරලා වේගවත් පරිඝනක හැදුවත් නව ක්වොන්ටම්  ප්‍රවාද බිහිවෙන්නේ නැහැ. සම්පූර්ණ ප්‍රවාද හදන්ඩ බැරි බව බටහිර විද්‍යාවට වැටහෙමින් පවතිනවා. ස්වසිද්ධි/ඇරිස්ටෝටල්/රේඛීය ක්‍රමය තුල දැනුම කොච්චර පුළුල් කරගත්තත් සම්පූර්ණ කතන්දර හදාගන්ඩ බැහැ. ඒක තමයි කඩා වැටිලා කියන්නේ. නමුත් බටහිර විද්‍යාවට ඒකට විසඳුමක් නැහැ.

ඒකට විසඳුම තියරි පළල් කිරීම නෙවෙයි මනස පළල් කරගැනීමයි. නැත්තම් මනස දියුණු කරගැනීමයි. ඒක බටහිර සංස්කෘතියට වඩා හොඳින් අපට කරගන්ඩ පුළුවන්.

Wednesday, March 15, 2017

බටහිර දැනුමේ උගත්කම සහ සමාජ අසාධාරණය

සමාජ බෙදීම් නිසා සිදුවෙන අසාධාරණකම් සැලකුවොත් අපේ රටේ කුලය පදනම් කරගෙන සිදුවෙන අසාධාරණකම් තියෙන්නේ ඉතාම පහලින්. ඉදිරියේදී ඒ බෙදීම් තවත් අවම වෙනවා මිසක් වර්ධනය වීමේ තර්ජනයක් නැහැ. අද සමාජයේ කුලය නිසා මම පොරක්ය කියන අයට වඩා උගත්කම නිසා මම පොරක්ය කියන අය කෙතරම් වැඩිද?

කුලයට වඩා බටහිර දැනුමේ උගත්කම පදනම්ව (උසස් පෙල සමත්ද අසමත්ද, උපාධියක් ඇත්ද නැද්ද) කෙරෙන බෙදීමෙන් සිදුවෙන සමාජ අසාධාරණකම ඉහලයි. අපි ඒ සමාජ අසාධාරණය ගණන් නොගන්නවා පමණක් නෙවෙයි ඒ බෙදීම පවත්වාගෙන යාම වෙනුවෙන් සටන් කරනවා. එහෙම කරන්නේ බටහිර දැනුම ඉහලටම උගත් අයට සමාජයේ ඉහලම වරප්‍රසාද හිමිවිය යුතුය යන පදනම උඩ. අපි අධ්‍යාපන අයිතීන් පිළිබඳව සටන් කරන්නේ මේ බෙදීම එලෙසම පවත්වාගෙන යෑම සඳහා මිසක් වෙන එහෙකට නෙවෙයි. නමුත් එහෙම බෙදීමක් පවත්වාගෙන යාම සාධාරණද?

මේ බෙදීම යටතේ ගොවිකම වෙදකම ආදී දේශීය දැනුම උගතුන්ට සමාජයේ පහල මට්ටමක් හිමිවීම සාධාරනය කල හැකිද? සමහර භික්‍ෂූන් වහන්සේලා අද කුලයක් ගැන වද වුනත් සමස්ථයක් වශයෙන් උන්වහන්සේලා සමාජයේ පහතට ඇද දමන්නේ බටහිර දැනුමේ උගත්කම මත කෙරෙන බෙදීම නිසයි.

බටහිර දැනුමේ උගත්කම අනුව බෙදීම සාධාරනය කෙරෙන විදිහක් තමයි අවශ්‍යනම් ඕනෑම කෙනෙකුට බටහිර දැනුම ලබාගෙන සමාජයේ ඉහලට යන්ඩ පුළුවන් කියන එක. නමුත් ඒක එහෙම නෙවෙයි. අද අවශ්‍යනම් කෙනෙකුට තමන්ගේ වත්කමකට සමාන්තරව ඉහල බටහිර දැනුමක් ලබා ගැනීමට හැකියාවක් තියෙනවා. නගරෙන් ඈත වෙසෙන දුප්පත් පවුලක දරුවෙක්ට ඉහලම බටහිර දැනුමක් ලබා ගැනීමේ හැකියාව අඩු බව කියන්ඩ ඕනෙ නෑ. නමුත් මෙතන අහන්ඩ ඕනෙ ප්‍රශ්ණෙ මුදලට බටහිර දැනුම ලබා ගැනීමට අයිතියක් තිබිය යුතුද නැද්ද යන්න නෙවෙයි බටහිර දැනුමේ උගත්කම මත සමාජයේ බෙදීමක් ඇති කිරීම සාධාරනද කියලයි. ඒක තමයි සියල්ලම ආවරණය වෙන මූලික ප්‍රශ්ණය.

ඕනෑම කෙනෙකුට බටහිර දැනුම ලබාගෙන සමාජයේ ඉහලට යන්ඩ පුළුවන් නිසා එය සාධාරණ බෙදීමක් කියන තර්කයට ප්‍රති තර්කයක් වශයෙන් අපට මෙහෙමත් අහන්ඩ පුළුවන්. ඕනෑම කෙනෙකුට ලබා ගන්ඩ හැකිවුනත් වෙද මහත්මයෙකුට හිමිවිය යුතු සමාජයේ තැන ලබා ගැනීම සඳහා ඔහු බටහිර දැනුමේත් උගතෙකු වශයෙන් පිළිගැනෙන්ඩ උවමණාද? භික්‍ෂූන් වහන්සේට පිළිගැනීමක් ඇතිවීම සඳහා  උන්වහන්සේලා බටහිර විශ්ව විද්‍යාලයකින් උපාධි ලබාගෙන තිබිය යුතුද?

භික්‍ෂූන් වහන්සේලාට, ගොවි මහත්වරුන්ට, වෙද මහත්වරුන්ට දේශීය කලා ශිල්පීන්ට ඔවුන් බටහිර දැනුම නූගත් නිසා ඔවුන්ට පුද්ගලිකවත් කණ්ඩායමක් හැටියටත් සමාජයේ හිමිවන්නේ පහත් තැනක්. උසස් පෙල අසමත් අයටත් උපාධි නොලත් අයටත් බෙදෙන්නේත් මේ හැන්ඳෙන්ම තමයි. මේ අසාධාරණය කෙරෙන්නේ රාජ්‍යය මට්ටමෙන්මයි. දේශීය වෛද්‍යවරුන්ගේ උවමණා එපාකම් කිසිම රජයක් ඇහුම්කම් දී ඇත්ද?  විශ්වවිද්‍යාලයේ අචාර්ය වරුන්ගේ උවමණා එපාකම් වලට තරම් තැනක් ගොවීන්ගේ උවමණා එපාකම් වලට ලැබෙනවාද? කෘෂිකර්ම උපාධිදාරියෙක්ට තරම් සැලකීමක් ගොවි මහත්මයෙකුට අද සමාජයේ තිබෙනවාද?

මේ අසාධාරණය සාධාරණය කෙරෙන්නේ බටහිර දැනුමේ උගත්කම උසස් කොට සලකන නිසයි.  අපේ රටේ වැඩිම සමාජ අසාධාරනයක් සිදුවෙන්නේ බටහිර දැනුමේ උගත්කම පදනම් කරගෙනයි. වඩා ඉහලින්ම සාධාරණය කෙරෙන්නේත් ඒ අසාධාරණයයි.

Saturday, March 11, 2017

සිංහල නැව්













ඇතැම් චීන ඉතිහාසඥයින්ට අනුව පුරාණ චීනෙට විදෙස් වලින් ආපු නැව් අතරින් විශාලම නැව් ආවෙ ලංකාවෙන්. ඒ අනුරාධපුර යුගයෙ. මේක මාර කථාවක්. මාර කථාවක් වෙන්නෙ අපිට එහෙම හැකියාවක් තිබුනද කියල අද ජීවත් වෙන අපට හැඟීමක් නැති නිසා. ඇත්තටම අපි දක්‍ෂ නාවිකයින් නොවෙන්ඩ හේතුවකුත් නැහැ. රට වටේටම මුහුද. ඒ වගේම තොටවල්. මේ තොටවල් හැදුනේ විදෙස් නැව්වලට මෙහෙ ගොඩ බහින්ඩ විතරක් කියල කියන්ඩ හේතුවක් තියෙනවද? බැමිනිටියා සාය සමයේ භාරතයට පැන ගිය හාමුදුරුවරු ගමන් කල තට්ටු තුණකින් සැදි නැව් නිපදුවේ මෙහෙ නෙවෙයිද? අපේ රජවරු සේනා අරං දකුණ ඉංදියාවට ගියේ නැව් වලින් නොවෙයිද? කොහොම නමුත් අනුරාධපුර යුගයේ එච්චර දියුණුවට තිබුනැයි කියන අපේ නාවික හැකියාවන් (නැව් තාක්‍ෂණය වගේම නාවික ශිල්පය) පහු කාලෙදි නැතිවුනේ කොහොමද?


චීනෙටත් තිබුණා දියුණු නැව් කර්මාන්තයක්. ලෝකෙ වටා ගියැයි කියන වස්කෝද ගාමා (කොස් කාලා) මැරෙන්ඩ අවුරුදු පන්සීයකටත් වැඩිය උඩදි වස්කෝ ද ගාමගේ නැව (බෝට්ටුව) වගේ නැවි දහයක් දාගෙන යන්ඩ පුළුවන් තරම් විශාල නැව් චීනෙට තිබිලා තියෙනවා. නමුත් චීනෙ නැව් කාර්මාන්තයත් පසු කාලෙකදි බිඳ වැටුනා. බිඳ වැටුනා නෙවෙයි බිඳ දැමුනා. ඒක දේශපාලන තීරණයක්. චීන්නු ඔවුන්ගේ නැව් හදපු තටාංගන ඔවුන් විසින්ම විනාශ කලා ඒ විතරක් නෙවෙයි ඔවුන්ගේ තමන්ගේ නාවික ආධිපත්‍යය ඉතිහාස පොතෙනුත් වසං කරන්ඩ උත්සාහ ගත්තා. හේතුව ඇයි කියල දන්නේ නෑ සමහරවිට ට්‍රම්ප්වාදී චීනෙක් රජකම ගත්තද දන්නේ නෑ. කොහොම නමුත් අපේ නැව් කර්මාන්තය නැතිවුනෙත් ඒ වගේ දේශපාලන තීරණයකින්ද එහෙම නැත්තම් ඒක සතුරන් අතින් විනාශ කෙරුනද එහෙමත් නැත්තම් නැව් කර්මාන්තයේ දක්‍ෂ හෙලයෝ සිංහල ජාතිය නිර්මාණය වෙද්දී ක්‍රමයෙන් හැලිලා ගියාද? නැත්තම් බලෙන් හැලුවද?

කොහොම නමුත් පෘතුගීසීන් ලංදේසින් මෙහෙට එනකොට අපට නාවික හමුදාවක් තිබුනෙ නැහැ. එහෙම තිබුනානම් රට ආරක්‍ෂා කරගන්ඩ තිබුනා එහෙම වුනානම් අපේ ඉතිහාසය වෙනස්.

අපේ නාවික තාක්‍ෂණය හා නාවික ශිල්ප නැවත නඟා සිටුවන එක දේශපාලනික සහ ආර්ථික වශයෙන් වැදගත් වෙන්ඩ පුළුවන්. අපට ඒක කරන්ඩ හැකියාව තියෙනවා. (මේ ආණ්ඩුවට ඒක තියා කිසි දෙයක් කරන්ඩ බැහැ. රනිල්-සිරිසේන කරන්නේ තියෙන දේවලුත් නැති කරන එකයි නමුත් විනාශ නොවී යමක් ඉතිරිවුනොත් අපිට රනිල්-සිරිසේනගෙන් පස්සෙ ලංකාවක් ගැන හිතන්ඩ වෙනවා).

මෝනා කියන කාටුන් චිත්‍රපටයේ වගේ අපේ ඉපැරණි නැව් ගල් ගුහාවක සඟවලා තිබිලා දවසක හම්බ වෙන්නේ නැහැ. නමුත් අපේ මිනිස්සුන්ට ඒක නැවත ගොඩනඟා ගන්ඩ හැකියාව තියෙනවා. නීල් මැරයින් නැව් කර්මාන්ත ව්‍යාපාරය ගොඩනඟපු නීල් ප්‍රනාන්දු ඒ වගේ දක්‍ෂයෙක්. අපේ නාවික හමුදාව අපට ගැලපෙන විදිහට නව නාවික යාත්‍රා නිර්මාණය කරා. චන්ද්‍රිකාගේ බොල් සංහිඳියාව නැතිව හරි හමං සංහිඳියාවක් ඇති කරගත්තා නම් හිටපු මුහුදු කොටිත් රට ජාතියට සම්පතක් කරගන්ඩ තිබුනා. අපට අත්දැකීම් සහිත දක්‍ෂ නාවික හමුදාවක් තියෙනවා. දක්‍ෂ නැව් කප්පිත්තෝ ඉන්නවා, මේ රජයෙන් විනාශ කරල දාපු නාවික ආරක්‍ෂා ව්‍යාපාරය අපේ නාවික හැකියාවන් කියාපාන්නක්.

අපට අපේ නාවික ක්‍ෂේත්‍රයක් දියුණු කරගන්ඩ අවශ්‍ය සම්පත් තියෙනවා. ඒ සඳහා අතීතයේ ඉඳං එන ගැම්මකුත් අපට තියනවා කියල මම හිතනවා. ඒකට හරියන දේශපාලන සහ ආර්ථික වාතාවරණයකුත් ගෝලීය වශයෙන් සකස් වෙමින් පවතිනවා. චීනෙ එක පැත්තකින් මුහුදු සේද මාර්ගය නැවත නිර්මාණය කරමින් ඉන්නවා. මේ වටපිටාව තුල ලාංකික නාවික ක්‍ෂේත්‍රය දියුණු කරලා ඒකෙන් දේශපාලන සහ ආර්ථික දියුණුවකුත් ගොඩනඟන්ඩ උත්සාහ කරන්ඩ ඕනෙ. නමුත් මේ ආණ්ඩුව සීඝ්‍රයෙන් යන්නේ අපේ සම්පත් විනාශ කරමින් අපේ හැකියාවන් යටපත් කරමින් දේශ ද්‍රෝහී ගමනකයි. හෙට දවසේ දියුණුවක් ඇති කරගන්ඩ නම් මේ ආණ්ඩුවෙන් අපේ සම්පත් බේර ගන්ඩ ඕනෙ.

Thursday, March 9, 2017

මහින්දගෙ මිනිස්සු

මහින්දගෙ මිනිස්සු කිව්වෙ මහින්ද රාජපක්‍ෂ තමන්ගේ නායකයා හැටියට සලකන මිනිස්සු. පොදුවේ ගත්තම මේ රටේ නූගත් ගැමියො. මහින්ද රාජපක්‍ෂ නායකයෙක් කරන්නේ මහින්දගෙ මිනිස්සුයි. මහින්දත් මහින්දගෙ මිනිස්සුත් අතර සම්බන්දෙ විස්තර කරන්ඩ පුළුවන් හැඟීම්, බැඳීම්, විශ්වාස වගේ වචන වලින් මිසක් දේශපාලන ස්ථාවර, මතවාද වගේ වචන වලින් නෙවෙයි. කොටින්ම මහින්දගෙ මිනිස්සු ජාතිකවාදියෝ වෙන්නෙත් ඔවුන් අපි එහෙම නම් කරන නිසයි. මහින්දත් මහින්දගෙ මිනිස්සුත් අතර බැඳීමක් ඇතිවෙන්නේ මේ දෙගොල්ලොටම රට ජාතිය ආගම පිළිබඳ තියෙන බැඳීම නිසයි. වෙනත් විදිහකට කියනව නම් මහින්ද රාජපක්‍ෂට රට ජාතිය ආගම ගැන තිබුන හැඟීම ගැන අවබෝධයක් මහින්දගෙ මිනිස්සුන්ට තිබුනා ඒ වගේම අනිත් අතට මහින්දගෙ මිනිස්සුන්ට රට ජාතිය ආගම ගැන තිබුන හැඟීම ගැන අවබෝධයක් මහින්ද රාජපක්‍ෂට තිබුනා. මේ අන්‍යෝන්‍ය අවබෝධය තවමත් තියෙනව. නමුත් ඒ මත පදනම් වෙලා ගොඩනැඟුන දේශපාලන බලය අද නැහැ. ඒකට මූලික හේතුව විවිධ දේශපාලන චරිත මහින්දගෙ මිනිස්සු තමන්ගෙ මිනිස්සු කරගන්ඩ උත්සාහ කරපු නිසයි. නමුත් මහින්දත් මහින්දගෙ මිනිස්සුත් අතර තිබුන අන්‍යෝන්‍ය අවබෝධය වගේ අවබෝධයක් ඒ කාටවත් ගොඩනඟා ගන්ඩ බැරිවුනා. අවසානයේ ඒ දේශපාලන චරිතවල බලපෑම නිසා සිදුවුනේ මහින්ද වටා ගොනැඟුනු දේශපාලන බලය කඩා වැටීම පමණයි. මහින්ද රාජපක්‍ෂ පරාජය වීමට මූලික හේතුවක් ඒක.

අදටත් මහින්දත් මහින්දගෙ මිනිස්සුත් අතර අන්‍යෝන්‍ය අවබෝධය එහෙමම තියෙනවා. අර විවිධ දේශපාලන චරිතත් එහෙමම ඉන්නවා. ඒ තිබුන චරිතවලට අළුත් චරිත එකතු වෙමින් තියෙනවා ඒ අතරට විදේශ ඔත්තු කාරයිනුත් එකතු වෙලා ඇති. එදා වගේම ඒ හැමෝම උත්සාහ කරන්නේ මහින්දගෙ මිනිස්සු තමන්ගේ මිනිස්සු කරගන්ඩ. ඒකට හේතුවක් තියෙනවා. මේ රටේ නිදහස වෙනුවෙන් සටන් කරන්ඩ ශක්තියක්, උවමණාවක් සහ පුළුවන් කමක් තියෙන්නෙ මහින්දගෙ මිනිස්සුන්ට විතරයි. 

රටේ නිදහස පාවා දුන්න රනිල්-සිරිසේන ආණ්ඩුවේ බලය අද පිරිහෙමින් යනව. මාමට කලා වගේම බටහිරුන් අද බෑණාටත් සලකන බව පේනව. එය බලාපොරොත්තු විය යුතු දෙයක් වුනත් මේ රටේ රනිල් වික්‍රමසිංහලාට ගැති කමේ කෙලවරක් නැහැ. අද මෙරට විදේශ ඇමතිවරයා සිය ස්වාමීන්ට කසය භාරදී හැකි තරම් වෙරෙන් තමන්ට පහර දෙන ලෙස අයැද සිටින්නේ ඉන් තෘප්තියක් ලැබීමට හෝ ස්වාමියාගේ හිත දිනා ගැනීමට හෝ ඒ දෙකටම හෝ විය හැකියි. නමුත් රනිල් වික්‍රමසිංහලාට ඇති උවමණාව එලෙසම ඔවුන්ගේ ස්වාමීන්ටද ඇතැයි සැක සහිතයි. ඇමෙරිකා එක්සත් ජනපදය අද කල්පණා කරන්නේ එක්සත් රාජ්‍ය සංවිධානයෙන්ද ඉවත්වීම පිළිබඳවයි. රනිල්-මංගල-රාජිත-චන්ද්‍රිකා-සුමන්දිරන් ව්‍යාපෘතියට ඔවුන් බලාපොරොත්තු වෙන ආකාරයේ උදව්වක් ඔවුන්ගේ ස්වාමීන්ගෙන් ඉදිරියේදී ලැබෙන එකක් නැහැ. ඒ උදව් නැතිව රනිල්-සිරිසේන ආණ්ඩුවට පැවැත්මක් නැහැ. පාර්ලිමේන්තුවේ කලින් නටපු වඳුරු නැටුම් වෙනුවට අද පොලිස් තර්ජන ආදේශ වීමෙන් පෙන්නුම් කරන්නේ රනිල්-සිරිසේන ආණ්ඩුව අවසන් ගමන යන බව ආණ්ඩුවටත් අවබෝධ වෙලා තියෙන බවයි.

අද මේ රටට වැඩියෙන්ම බලපෑම් කරන්නේ බටහිරුන් නෙවෙයි ඉංදියාව. අර කලින් කීව දේශපාලන චරිතත් ඉංදියාවත් මහින්දගෙ මිනිස්සුන්ට ඇහැ ගහන්නේ රනිල්-සිරිසේන ආණ්ඩුව වැටෙන බව ඉව වැටිලයි. විග්නේශ්වරන්ට උතුරේ වෙනම රාජ්‍යයක් හදල දෙන්ඩ ඉංදියාවට උවමණාවක් තියෙනවා කියල හිතන්ඩ අමාරුයි. ඒ අපට ආදරයට නෙවෙයි ඉංදියාවේ ඒකීය බව තියාගෙන ඉන්නෙත් නූලෙන් නිසයි. දකුණේ ප්‍රාණ්තවලට වෙන් වෙන්ඩ උත්ප්‍රේරකයක් ලබා දෙන්ඩ උතුරු ඉංදියාවේ බමුණන්ට උවමණාවක් තියෙන්ඩ විදිහක් නෑ. ඒ නිසා බටහිර ආණ්ඩුවලට උවමණා වුනත් මේ රටේ වෙනම රාජ්‍යයක් හදන එකට ඉංදියාව විරුද්ධ වෙයි කියලා හිතන්ඩ පුළුවන්. ඒ නිසාම බටහිර ආණ්ඩු වලට ඉහලින් රනිල්-සිරිසේන ආණ්ඩුවට බලපෑම් කරන්ඩ ඉංදියාව උත්සාහ ගන්නවා වෙන්ඩ පුළුවන්. නමුත් ඉංදියාවට අවශ්‍යයි නේපාලය වගේ තමන්ට අවනත වෙන රාජ්‍යයක් මේ රටේ නිර්මාණය කරගන්ඩ. ඒක කරන්ඩ පුළුවන් ව්‍යවස්ථාවකින්. ඉංදියාවේ බලාපොරොත්තුව වෙන්ඩ ඕනෙ රනිල්-සිරිසේන ආණ්ඩුවෙන් බැරිනම් 2020 පත්වෙන ආණ්ඩුවෙන් හරි ඒ වැඩේ කරගන්ඩ. 

නමුත් ඉංදියාවට බැහැ මහින්දගෙ මිනිස්සුන්ව හසුරුවාගන්ඩ. හිංදි සිනාමාවේ නැටුම් සින්දු ඕනනම් අපේ ඈයො කොපි කරාවි නමුත් මෙගා සංගීත සංදර්ශණවලත් වැඩිම ඉල්ලුමක් තියෙන්නේ ඒවට නෙවෙයි. ඉතිං ඉංදියාවට කරන්ඩ පුළුවන් මහින්දගෙ මිනිස්සුන්ට ඇහැ ගහන අර කලින් කීව දේශපාලන චරිත වලට ඇහැ ගහන එකයි. රනිල්-සිරිසේනගෙන් බැරි නම් ඒ අය හරහා හරි 2020දී තමන්ට ඕන දේ කරගන්ඩ. ඒ දේශපාලන චරිත වලටත් අද තියෙන්නේ 2020 බලාගෙන මහින්දගේ මිනිස්සුන්ට ඇහැ ගහන එකයි. මේ ඩීල් දේශපාලනය ක්‍රියාත්මකවෙන අතරේ මහින්දගේ මිනිස්සුන්ට උදාවෙලා තියෙන්නේ දේශපාලන නොනගතයක්.

Tuesday, February 21, 2017

නව දේශපාලන ලෝකය


රුසියාවේ පුටිනුත්, කියුබාවේ කැස්ත්‍රෝත්, වෙනිසියුලාවේ ශාවේසුත්, ඉරානයේ අහමදිනජාතුත්, සිම්බාබ්වේහි මුගාබේත් ලෝක ආධිපත්‍යයේ (world order) බලපෑම් මධ්‍යයේ ජාතිකත්වය මත පදනම්ව තම රාජ්‍යයන් පවත්වාගෙන යන්නට උත්සාහ කල නායකයින්ය. මේ අතරින් මහින්ද රාජපක්‍ෂ සුවිශේෂී වන්නේ ඔහු ලෝක ආධිපත්‍යයට සෘජුවම බලපෑමක් කර ජයග්‍රහණයක් අත් කරගත් නිසාය. මහින්ද බටහිර බලපෑම් නොතකා කොටි සහමුලින් විනාශ කර දැමුවේය. ඒ හරහා ඔහු කොටි ත්‍රස්තවාදය නඩත්තු කල බටහිර රාජ්‍යයන්ට කණේ පහරක් ගැසීය. ලෝක ආධිපත්‍යය සමඟ හැප්පී ජයගෙන තවමත් ජනතාව අතර ජීවමානව සිටින එකම රාජ්‍ය නායකයා මහින්ද රාජපක්‍ෂ විය යුතුය. ලිබියාවේ ගඩාපිටත් යුගෝස්ලාවියාවේ මිලසොවිච්ටත් ඒ හැකියාව නොතිබිනි. 

ලෝක ආධිපත්‍යය සහ ජාතිකවාදී නායකයින් අතර කාලයක් තිස්සේ පැවතෙන ගැටුම් මෑත ඉතිහාසයේ ලෝක දේශපාලනය තුල සිදුවූ වැදගත්ම සිදුවීම්ය. නමුත් බටහිර අධ්‍යාපනයත් ජන මාධ්‍යත් අපට කියා දෙන්නේ මේ ගැටුම් අතුරු කථා ලෙස සැලකීමටය. දැනුම් ආධිපත්‍යය සියල්ලටම ඉහල බව බටහිරුන් දනී. බටහිරුන්ගේ ඉගැන්වීමට අනුව මෙරට උගත්තුද මහින්ද රාජපක්‍ෂ ඇතුළු රණවිරුවන් කල දේශපාලන වෙනස අවතක්සේරු කරති. නමුත් පොදුවේ ගත්විට ලෝක ආධිපත්‍යය සහ ජාතිකවාදී නායකයින් අතර ගැටුම අතුරු කථා නොව ලෝක දේශපාලන කථාවේ අරටුවය. වර්තමාන ලෝක දේශපාලන ගමන තේරුම් ගත හැක්කේ ඒ ගැටුම තේරුම් ගැනීම තුලිනි. මෙරට වාමාංසිකයින්ට අද ලෝකයේ සිදුවෙමින් පවතින දේශපාලන වෙනස්කම් තේරුම්ගත නොහැක්කේ ඔවුන්ද බටහිරුන්ගේ ඉගැන්වීමට අනුව යමින් ජාතිකවාදීන් විසින් ලෝක ආධිපත්‍යයට එල්ල කරමින් සිටින තර්ජනය තේරුම් නොගන්නා බැවිනි.

කෙසේ වෙතත් බලපෑම් කලද අතැම් විට ජය ගත්තද ලෝකයේ මහින්දලාට ලෝක ආධිපත්‍යයේ සුසමාදර්ශීය වෙනසක් කිරීමට නොහැකිවිය. එය කල හැකිව තිබුනේ බටහිර රටවල සාමාන්‍ය ජනයාටය. පසුගිය වසරේ බ්‍රිතාන්‍යය යුරෝපීය ආර්ථික හවුලෙන් ඉවත් වීමට තීරණය කිරීමෙනුත්, ඒ වසරේම ඇමෙරිකාවේ ට්‍රම්ප් ජනාධිපතිවරණය ජය ගැනීමෙනුත්, පෙන්නුම් කරන්නේ ලෝක ආධිපත්‍යයේ සුසමාදර්ශීය වෙනසක් සිදුවෙමින් පවතින බවය. මේ අතර ලබන මැයි මාසයේ ප්‍රංශයේ පවත්වන්නට යෙදෙන මැතිවරණයෙන් ලෙ පෙන් ගේ ප්‍රංශ ජාතිකත්ව පක්‍ෂය ජය ගනිතැයි විශ්වාස කෙරේ. මේ සියලු දේශපාලන වෙනස්කම් වල ප්‍රතිඵලයක් ලෙස ඉදිරියේදී නව දේශපාලන ලෝකයක් නිර්මාණය වෙනු ඇත.

එක් වැදගත් දෙයක් අපි තේරුම් ගත යුතුය. එනම් මහින්දවාදීන් ඇතුළු ලෝකයේ අනිකුත් ජාතිකවාදීන් මුහුණ දුන්නෙත් ඇමෙරිකාවේ ට්‍රම්ප්වාදීන් මුහුණ දුන්නෙත් පොදු සතුරෙකුට බවය.

මෙතෙක් පැවති ලෝක ආධිපත්‍යය පැනවූයේ ජාත්‍යන්තර සුපිරිව්‍යුහය විසිනි. සුපිරිව්‍යුහය යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතිය පදනම්ව ඊට ඉහලින් පවතින ව්‍යුහයකි. දැනුම එහි ප්‍රධාන අවියයි. බටහිර උගත්තු එහි ප්‍රධාන මඟ පෙන්වන්නෝය. සුපිරිව්‍යුහය බටහිර උගතුන්ට ආධිපත්‍යයක් අත්කර දීමටත් බටහිර උගත්තු සුපිරිව්‍යුහයට ආධිපත්‍යයක් අත්කර දීමටත් චක්‍රීය වශයෙන් ක්‍රියා කරයි. බටහිර ආණ්ඩු, ඊනියා බහු ජාතික සමාගම් සහ මුල්‍ය ආයතන, විශ්වවිද්‍යාල, තානාපති කාර්යාල, බටහිර ජන මාධ්‍ය, ඔත්තු සේවා, එක්සත් ජාතීන්ගේ සංවිධානය, ලෝක බැංකුව ආදීන් ජාත්‍යන්තර සුපිරිව්‍යුහයේ ඒජන්තයෝය. සුපිරිව්‍යුහය ක්‍රියාත්මක වන්නේ මේ ඒජන්තයින් හරහාය. ඉන් කියැවෙන්නේ මේ සියල්ල යම් කේන්ද්‍රයකින් මෙහෙයවෙන බව නොවේ. නමුත් ඒ සියල්ලටම පදනම යුදෙව් ක්‍රිස්තියානි දැනුමය. 

දහ අටවෙනි සියවස පමණ වෙනතෙක් විවිධ යුරෝපීය රටවල් අතර බෙදී තිබුන ලෝක ආධිපත්‍ය, ජාත්‍යන්තර සුපිරිව්‍යුහයට මාරු චෙන්නේ දහනව වන සියවස මුල් භාගයේ පමණය. සුපිරිව්‍යුහය විසින් සංස්කෘතික දේශපාලනික සහ ආර්ථික ආධිපත්‍ය උදෙසා, විශේෂයෙන්ම බහු ජාතික සමාගම් වල ලාභය උදෙසා, ඊනියා තුන්වෙනි ලෝකයේ රටවල් ආක්‍රමණය කෙරිනි, එහි රාජ්‍යයන් බිඳ දැමිනි, ආර්ථික සම්බාධක පැනවිනි, ත්‍රස්තවාදීන් නඩත්තු කෙරිනි. ඒ සඳහා ප්‍රජාතන්ත්‍රවාදය, ගෝලීය ආර්ථිකය, මානුශීය අයිතිවාසිකම්, සම ලිංගික අයිතිවාසිකම්, පරිසර සංරක්‍ෂණය, තිරසර සංවර්ධනය වැනි සංකල්ප සුපිරිව්‍යුහය විසින් යොදා ගැනිනි. සුපිරිව්‍යුහයේ ආධිපත්‍යය මුලින් බටහිර සමාජයේ ඇඟට නොදැනුනද මේ සංකල්ප මතම පදනම්ව ක්‍රමයෙන් තමන්ගේම ආර්ථික දේශපාලන සහ සංස්කෘතික සුරක්‍ෂිත බවට තර්ජන එල්ල වෙනවිට විශේෂයෙන්ම බටහිර නූගත් ජනතාවගේ ඇඟට දැනෙන්නට විනි. සුපිරිව්‍යුහයට එරෙහිව බටහිර රටවල ජාතිකත්ව රැල්ල ගොඩනැඟෙන්නේ ඒ නිසාය.

දළ වශයෙන් සැලකුවහොත් බටහිර උගත්තු සුපිරිව්‍යුහයට පක්‍ෂ වන අතර නූගත්තු ඊට විරුද්ධ වෙති. මහින්දවාදීන් සහ ට්‍රම්ප්වාදීන් ගේ ජාතිකත්ව අතර සමානකමක් නැතත් ඔවුහු සුපිරිව්‍යුහයට විරුද්ධය. පොදුවේ මේ දෙපිරිසටම අයත්වන්නේ බටහිර දැනුමෙහි නූගත්තුය. මෙහිදී මාකස්වාදීන්, ලිබරල්වාදීන්, පශ්වාත් නූතනවාදීන් ආදී උගතුන්ගේ කල්ලි සියල්ලම වැටෙන්නේ සුපිරිව්‍යුහයට පක්‍ෂ ඝනයටය. මොවුහු මතවාදීව යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියේ දැනුම මත පදනම් වෙති. ඔවුන් කෙතරම් සුපිරිව්‍යුහයට එරෙහිවන්නට තැත් කලද සුපිරිව්‍යුහය නොමැතිව ඔවුන්ට පැවැත්මක් නැත. සුපිරිව්‍යුහයට සැබෑ බලපෑමක් කල හැක්කේ බටහිර දැනුම පදනම් කරගෙන නොව ඊට පිටින් සිටගෙනය.

උගතුන් මෙන්ම ලොව ප්‍රධාන මාධ්‍ය ජාලාද පෙනී සිටින්නේ සුපිරිව්‍යුහය වෙනුවෙනි. චැනල් ෆෝ නමින් ක්‍රියාත්මකවුනු බීබීසී ආයතනයේ නාලිකාව පච ප්‍රචාරය කරමින් මෙරට ජාතික ව්‍යාපාරයට තර්ජනය කල බව අපි දනිමු. මහින්ද රාජපක්‍ෂ සමය අවසාන කාලයේ බටහිර තානාපති කාර්යාල මඟින් මෙරට මාධ්‍යවේදීන්ට තොග ගණනින් තම රටවල ශිෂ්‍යත්ව ලබා දුන්නේ මාධ්‍යවේදයට ඇති ආදරයක් නිසා විය නොහැකිය. මෑත කාලයේ කිසිම ඇමෙරිකානු ජනාධිපතිවරයෙකුට නොතිබුනු තරම් විරෝධයක් ට්‍රම්ප්ට ඇමෙරිකාවේ ජනමාධ්‍ය වලින් එල්ල වීමද පෙන්නුම් කරන්නේ ජාතිකත්වය සහ ජාත්‍යන්තර සුපිරිව්‍යුහය අතර ගැටුමය.

අද ලෝකයේ සිදුවෙමින් පවතින දේශපාලන වෙනස්කම් හරහා අපි තේරුම් ගත යුතු කරුණු දෙකක් ඇත. එකක් නම් මහින්ද රාජපක්‍ෂ නායකත්වය දුන් මෙරට සිංහල බෞද්ධ ජාතික ව්‍යාපාරයත් ඇමෙරිකාවේ සහ යුරෝපයේ ඇතුළු ලොව නැගඑන අනිකුත් ජාතික ව්‍යාපාරත් අතර පොදු බවක් ඇති බවය. පොදුවේ ලොව සියලු ජාතික ව්‍යාපාර ජාත්‍යන්තර සුපිරිව්‍යුහයට එරෙහිය. අනිත් කරුණ බටහිර සාමාන්‍ය ජනයාගේ නැගිටීමත් සමඟ සුපිරිව්‍යුහය බිඳ වැටෙමින් පවතින බවත් එ හරහා පැවති ලෝක ආධිපත්‍ය සුසමාදර්ශීය ලෙස වෙනස් වන බවත්ය.

පැහැදිලිවම වත්මන් යහපාලන ආණ්ඩුවට ඉදිවෙන නව දේශපාලන ලෝකයට මුහුණ දීමට
ශක්‍යතාවයක් නැත. යහපාලනය පත්වූයේම සුපිරිව්‍යුහයේත් ඉංදියාවෙත් පිහිටෙනි. මෙරට අගමැතිවරයා විවෘතවම සුපිරිව්‍යුහය වෙනුවෙන් පෙනී සිටින්නෙකි. එමෙන්ම ඔහු සිංහල බෞද්ධ විරෝධියෙකි. ඔහු සහ ඔහුගේ රජය අද පත්ව සිටින්නේ ඇමෙරිකාවේ අන්කල් ටොම් නමින් හැඳින්වුනු ස්වාමියාගේ ගෙදර වැඩ කල වහලාට අත්වුනු ඉරණමටය. අන්කල් ටොම් ස්වාමියා වෙනුවෙන් පෙනී සිටි, ස්වාමියා නිසා උසස් බවක් ආටෝප කරගත් වහලෙකි. ඔහු ස්වාමියාගේ හයියෙන් ස්වාමියාගේ වත්තේ වැඩකල අනිකුත් වහලුන්ට පහර දුන්නේය. වත්තේ වහලුන් පැතුවේ ස්වාමියාගෙන් නිදහස් වෙන්නටය. අන්කල් ටොම් පැතුවේ ස්වාමියාගේ සරණය. නමුත් යම් දිනක සියලු වහලුන් නිදහස් කෙරෙයි. ස්වාමියා නැති නිදහස් ලෝකයේ අන්කල් ටොම්ට පැවැත්මක් නැත ඔහුට අනිත් වහලුන්ගෙන් සමාවක්ද නැත. සුපිරිව්‍යුහය බිඳ වැටීම හමුවේ ඊට කඩේ ගිය යහපලාන ආණ්ඩුවද අද වැටී සිටින්නේ අන්කල් ටොම්ගේ තත්වයටය. 

ඉංදියාවටද නව දේශපාලන ලෝකයට හැඩ ගැසෙන්නට පහසු නැත. මෝදිද සුපිරිව්‍යුහය මත යැපුනෙකි. ඉංදියාවට ජාතිකත්ව මඟක් ගැනීමටද උද්යෝගයක් නැත. හිංදුත්වය ඉංදියාවේ විවිධ ජන වර්ග එක් කිරීමට තරම් බල සම්පන්න නැත. දකුණේ හිංදුන් උතුරේ හිංදුන්ගෙන් වෙන් කරන්නේම හිංදු ආගමය. ඒ නිසා ඉංදියාවේ ජනයා ජනවාර්ගිකව ප්‍රාදේශීය වශයෙන් සමූහගතවීමට ඇති ප්‍රවණතාව ජාතික වශයෙන් එක්වීමට ඇති ප්‍රවණතාවට වඩා වැඩිය. ඒ අතර ට්‍රම්ප්ගේ ඇමෙරිකාව හිලරිගේ ඇමෙරිකාව තරම් ඉංදියාව වෙනුවෙන් පෙනී නොසිටිනු ඇත. මේ හේතු නිසා ඉංදියාවද වත්මන් ලෝක දේශපාලන වෙනස්වීම් හමුවේ තමන් ගන්නා මඟ ගැන තවමත් එතරම් විශ්වාසයකින් පසුවෙතැයි සිතිය නොහැකිය. 


ලංකාවට ඉංදියාවේත් සුපිරිව්‍යුහයේත් යදම් වලින් ගැලවීමට හොඳම අවස්ථාව මෙයය. නමුත් මංගල සමරවීරත් රනිල් වික්‍රමසිංහත් සමඟ එය කල නොහැකිය.

Wednesday, February 15, 2017

රනිල් ඇන්ඳීම

රනිල් වික්‍රමසිංහ මහතාට ඔස්ටේ‍ර්ලියාවේ විශ්වවිිද්‍යාලයකින් ගෞරව ආචාර්ය උපාධියක් පිරිනැමෙන්නේ ඒ මහතා ලංකාවට අත්කර දුන්නා යැයි කියන දේවල් පදනම් කරගෙනය. ඒ අතරින් වැදගත් එකක් ලෙස මේ විශ්වවිද්‍යාලය දකින්නේ වික්‍රමසිංහ මහතා විසින් කාලයක් තිස්සේ මෙරට ඇදුනු ප්‍රචන්ඩ ගැටුමකින් රට ගලවාගෙන ප්‍රජාතන්ත්‍රවාදී මගට ගැනීමය ("transitioning Sri Lanka from a country traumatised by protracted, violent conflict toward a stable democracy").

අපි නම් අත්දැකීමෙන් දන්නේ මහින්ද රාජපක්‍ෂ රජය විසින් 2009 දෙමළ ජාතිවාදී ත්‍රස්තවාදය පරාජය කර රට නිදහස් කල බවය. නමුත් මේ ඔස්ටේ‍ර්ලියානු විශ්වවිද්‍යාලයට අනුව රනිල් වික්‍රමසිංහ මහතා බලයට පත්වෙන තුරු, එනම් 2015 තෙක්, මෙරට ගැටුමක් තිබී ඇත. 2009 න් පසු ප්‍රභාකරන් ජීවතුන් අතර නොසිටි බැවින් ඔවුන් පවසනවා ඇත්තේ මෙතෙක් කල් පොදුවේ සිංහලුන් සහ දෙමළුන් අතර ගැටුමක් තිබුනු බව විය හැකිය. ඔවුන්ට අනුව රනිල් වික්‍රමසිංහ මහතා නිරාකරණය කර ඇත්තේ හෝ නිරාකරණය කරමින් සිටින්නේ මේ ගැටුමය. 

මොවුන් මේ ඒත්තු ගන්වන්නට උත්සාහ කරන්නේ මහින්ද රාජපක්‍ෂ රජය විසින් කොටි ත්‍රස්තවාදය පරාජය කිරීම කිසි ප්‍රශ්ණයකට පිළිතුරක් නොවුනු බවය. එපමණක් නොවේ මහින්ද රාජපක්‍ෂ රජය කිසියම් ගැටුමකට පාර්ශව කරුවෙක්ද හේතුවද වූ බවය. ඔවුන්ට අනුව දැන් ඒ ඊනියා ගැටුම විසඳන්නේ රනිල් වික්‍රමසිංහ මහතාය. 

මේ කථාව මේ ඕස්ටේ‍ර්ලියානු විශ්වවිද්‍යාලය පමණක් නොවේ සමහර බටහිර ආණ්ඩුවලටත් දෙමළ ජාතිවාදීන්ටත් මෙරට වාමාංසිකයින්ටත් දේශපලනිකව නන්නත්තාරවූ සුළුතර පක්‍ෂ වලටත් අවශ්‍ය කරන කථාවය. බොහෝ විට මෛත්‍රීපාල සිරිසේන මහතාට කවුරුන් හෝ කියන කථාවද මෙය විය හැකිය. පොදුවේ සුපිරිව්‍යුහය අප වෙනුවෙන් ගොතන කථාව මෙයය. 

නමුත් මේ කථාව බොරුවක් බව අපි දනිමු. 2009 යේ මැයි මස 19 දා සිට අපි මේ රටේ කලින් නොතිබි නිදහසක් බුක්ති විඳින්නෙමු. එය නිදහසක් ලෙස අපට දැනෙන්නේ කොළඹ නගරයේ බෝම්බ පිපිරීම නැවතීම නිසා පමණක් නොව මෙහි අණසක පැතිරවූ මේ භුමියෙන් පිටැති බලවේගද එදා නවතනු ලැබූ නිසාවෙනි. අපි නිදහසක් ලැබූ බව අපි ප්‍රත්‍යක්‍ෂයෙන්ම දන්නෙමු. 2009 යේ මැයි මස 19 දායින් පසු වික්‍රමසිංහ මහතාට විසඳන්නට ප්‍රශ්ණයක් ඉතිරිව තිබුනේ නැත. දැන් මේ උත්සාහ කරන්නේ ප්‍රශ්ණයක් විසඳීමට නොව අප ලැබු නිදහස කණපිට පෙරලීමටය. නමුත් කණපිට පෙරලීමට අද ප්‍රභාකරන් මහතා නැත. ඉන්නේ වික්‍රමසිංහ මහතාය. වික්‍රමසිංහ මහතාට ප්‍රභාකරන් මහතා කල දේ කල නොහැකිය. වික්‍රමසිංහ මහතාට කල හැක්කේ ප්‍රශ්ණය නොවිසිඳුනා යැයි කියා එය විසඳන නියායෙන් සිංහලුන් ලත් නිදහස කණපිට පෙරලීමටය. 

සුපිරිව්‍යුහය රනිල් වික්‍රමසිංහ මහතාට ගෞරව ආචාර්ය උපාධියක් දීම මඟින් ස්ථාපිත කරන්නට උත්සාහ දරන්නේ මහින්ද රාජපක්‍ෂ මෙරට කිසි ප්‍රශ්ණයක් නොවිසඳූ බවය. ඊට අනුව එය විසඳන්නේ රනිල් වික්‍රමසිංහ මහතාය. විසඳුම නව ව්‍යවස්ථාවය. නමුත් මේ වනවිට රනිල් වික්‍රමසිංහ මහතා ගැන මෙරටේත් සුපිරිව්‍යුහය ගැන ලොවෙත් ඇත්තේ අඩු තක්සේරුවකි. සුපිරිව්‍යුහයට වික්‍රමසිංහ මහතාවත් වික්‍රමසිංහ මහතාට සුපිරිව්‍යුහයත් අන්‍යෝන්‍ය වශයෙන් ඇන්ඳීමට හැකිවුනත්
මේ දෙදෙනාටම මෙරට සාමාන්‍ය ජනයා  තවදුරටත් ඇන්ඳිය නොහැකිය.

Wednesday, February 8, 2017

ශ්‍රී ලංකාව දුර්වල රාජ්‍යයක් බවට පත් කෙරීම

මෑත කාලෙදී සංවිධානාත්මකව සිදුකෙරුනු විශාලතම දේශපාලන වෙනස මහින්ද රාජපක්‍ෂ මහතා බලයෙන් පහ කිරීමයි. ඒ සඳහා යොදා ගැනුනු ගිහි පැවිදි දේශපාලන ක්‍රියාකාරීන්ට තනි තනිව හෝ එක්ව හෝ එවැනි වෙනසක් තබා ඊට ලඟින් යන දේශපාලන විපර්යාසයක්වත් කර ගැනීමට ශක්තියක් තිබුනේ නැත. අදටත් මේ අයට පවතින ආණ්ඩුවේ සහය සඳහා හෝ ආණ්ඩුවේ ගමන වෙනස් කිරීම සඳහා හෝ තනිව හෝ එක්ව කල හැකි දෙයක් නැති බව පැහැදිලියි. එසේනම් මේ දේශපාලන ක්‍රියාකාරීන් හරහා මහින්ද රාජපක්‍ෂ මහතා ඉවත් කෙරුනේ කෙසේද? පැහැදිලිවම ඔවුන්ට වඩා ඉහලින් තිබි දේශපාලන බලවේග මඟින් මේ ක්‍ර්‍රියාකාරීන්ව සමස්ථයක් ලෙස මෙහෙයවුනු නිසාවෙනි. අදත් අවශ්‍ය විටෙක මහින්ද රාජපක්‍ෂ මහතා ඉවත් කෙරුනු බලවේග වලට එලෙසම ක්‍රියාකාරී විය හැකිය.

එසේනම් අපි ඇසිය යුතු වැදගත් ප්‍රශ්ණය මේ බලවේග වලට මහින්ද රාජපක්‍ෂ මහතා බලයෙන් ඉවත් කිරීමට උවමණ් වූයේ ඇයි කියාය. 

දූශණ වංචා නිසාද? ආර්ථිකය නිවැරදිව කළමණාකරණය නොකල නිසාද? අද බොහෝ දෙනාට අමතකමුත් මහින්ද රාජපක්‍ෂ මහතා බලයෙන් පහ කල යුතුයැයි පැවසුනේ මේ හේතු නිසාය. නමුත් මේ හේතු ඇත්ත හේතු විය නොහැකි බව දැන්වත් පෙනී යායුතුය. ඒ යහපාලන රජයද දූශණ වංචා සිදුකරන නිසාවත් ආර්ථිකය නිවැරදිව කළමණාකරණය නොකරන නිසාවත් පමණක් නොවේ. රාජපක්‍ෂ සහ රනිල්-මෛත්‍රී අතර මේ කරුණු සම්බන්ධයෙන් සංසන්ඳනය කිරීමට එකලද පදනමක් නොතිබුනු නිසාය. වෙනත් ආකාරයකට කියන්නේ නම් රනිල්-මෛත්‍රී රජයක් රාජපක්‍ෂ රජය තරම් දූශණ වංචා නොකරාවි යැයි හෝ ආර්ථිකය වැරදිව කළමණාකරණය නොකරාවි යැයි හෝ පුරෝකථනය කිරීමට පදනමක් මීට වසර දෙකකට ඉහතදීවත් නොතිබිනි. එබැවින් දූශණ වංචා සහ ආර්ථිකය එකල මවා පාන ලද බොරු හේතුය. 

ඇත්තටම මහින්ද රාජපක්‍ෂ මහතා පහ කෙරුනේ මේ කිසි හේතුවකටවත් නොව ශ්‍රී ලංකාවේ රාජ්‍යය බලය දුර්වල කර දැමීම සඳහා ඉඩ ලබා ගැනීමටය.
හපාලන රජය හරහා එය ඉටු කෙරෙනු ඇත. රාජ්‍යය බලය දුර්වල කෙරෙනු ඇත්තේ පාර්ලිමේන්තුවට ඇති බලය දියාරු කර පළාත් සභා බලවත් කිරීම මඟිනි. මේ රජය මඟින් නව ව්‍යවස්ථාවක් සම්පාදනය කෙරෙන්නේ ඒ සඳහාය. ඒ අනුව පළාත් සභාවලට නීති කෙටුම්පත් කිරීමට හැකියාව ලැබෙනු ඇත, පාරලිමේන්තුවට වග කියූ අග්‍රාණ්ඩුකාරයාගේ බලය බිඳ දැමෙනු ඇත, ඉඩම් හා පොලිස් බලතල ඊට හිමිවෙනු ඇත. මෙසේ දියාරු කෙරෙන පාර්ලිමේන්තුව සතු රාජ්‍ය බලය වර්ගවාදීව ක්‍රියාකරන උතුරු සහ නැඟෙනහිර පළාත් අතට පත්වෙනු ඇත. එවිට මෙරට රාජ්‍යයේ ඒකීය බව වර්ගවාදී දෙමළ සහ මුස්ලිම් දේශපාලකයින් මත රැඳෙනු ඇත. නමුත් ඔවුන්ටද සැබෑ බලයක් හිමි නොවෙනු ඇත. බලය බෙදීම හරහා සැබෑ බලය හිමිවෙනු ඇත්තේ සිංහලුන්ටවත් දෙමළුන්ටවත් මුසල්මානුවන්ටවත් නොව මේ සියල්ලන් සමඟ රාජ්‍ය බලය කේවල් කරන ඉංදියාවට හෝ බටහිර ආණ්ඩුවලට හෝ වෙනයම් විදේශ බලවේගකයටය. මොවුන් මේ රටේ දේශපාලකයින් එකිනෙකා අතර කොටවමින් සදාකාලික ලෙස මෙරට දුර්වල රාජ්‍යයක්ව පවත්වාගෙන යන්නට කටයුතු කරනු ඇත. එයින් මෙරට කිසිම ජන කොටසකට අත්වෙන සෙතක් නැත. මේ බල කෙළිය හරහා සිංහලුන්ට නම් රටක් නැතිවෙනු ඇත.

ඉහත සඳහන් දෑ හුදෙක් බිය වැද්දීමක් පමණක් යැයි යමෙක් සිතයි නම් ඔහු විසින් කල යුත්තේ ඉංදියාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිරික්සීම පමණය. යෝජිත යහපාලන ව්‍යවස්ථාවෙන් ලංකාණ්ඩුවට ලැබෙන බලයට වඩා අතිශයෙන් වැඩි බලයක් ඉංදියාවේ ව්‍යවස්ථාවෙන් එහි මධ්‍යම ආණ්ඩුව ලබා දී ඇත. ඉංදියාවේ ශක්තිමත් මධ්‍යම ආණ්ඩුවකුත් ලංකාවේ දුර්වල මධ්‍යම ආණ්ඩුවකුත් තිබීමට පදනමක් තිබේද? ඊට හේතුව පරිපාලන පහසුකමද? ප්‍රශ්ණය පරිපාලනය නම් ලංකාව මෙන් පනස් ගණයකටත් වඩා විශාල හැට ගුණයකට වඩා ජනගහණයක් සිටින ඉංදියාව නොවේද බලය වඩාත් විමධ්‍යගත කල යුත්තේ? ලංකාවේ බලය බෙදෙන්නේ වෙන කිසිවකටත් නොව රාජ්‍යය දුර්වල කිරීමටය. සංවිධානාත්මකව මෙරට සතුරන් විසින් මහින්ද රාජපක්‍ෂ මහතා බලයෙන් පහ කෙරුනේ දුර්වල රාජ්‍යයක ව්‍යවස්ථාව සම්පාදනය කර ගැනීම සඳහා අවශ්‍ය ගැති ආණ්ඩුවක් පත් කර ගැනීමටය.

මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ධූරයට පත්වූ තැන සිට මේ දක්වා මෙරට දේශපාලනයේ සිදුවෙන වැදගත් සිදුවීම් සලකා බැලුවොත් පෙනෙනු ඇත්තේ ඒ සියල්ලම කෙරුනේ මේ සිංහල විරෝධී ව්‍යවස්ථාව සම්පාදනය කිරීම උදෙසා බවය. ව්‍යවස්ථාවක් සම්මත කර ගැනීම සඳහා පාර්ලිමේන්තුව තුල ප්‍රධාන පක්‍ෂ දෙක එකමුතු කල යුතු විනි. කල් තියාම 19 ව්‍යවස්ථා සංශෝධනයෙන් ඊනියා ජාතික රජයක් සඳහා නීති සකස් කෙරුනේ එබැවිනි. පොරොන්දු වුවත් ඡන්ද ක්‍රමය වෙනස් කිරීම සඳහා ව්‍යවස්ථාව සංශෝධනය නොකලේද නිදහස් පක්‍ෂය බහුතරය ආසන ප්‍රමාණයක් ලැබීම වැලකීම සඳහාය. ඊ ළඟට නිදහස් පක්‍ෂයේ නායකායා ලෙස ජනාධිපතිවරයා විසින් මැතිවරණය දූශණය කලේය. කෙරෙන චෝදනා  සත්‍ය නම් බැඳුම්කර වංචාව හරහා රනිල් වික්‍රමසිංහ සිය මැතිවරණ ව්‍යාපාරයට අරමුදල් ලබා ගත්තේය. මැතිවරණයෙන් පසු පරාජය කරන ලද මන්ත්‍රීවරුන් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ගෙන ඊනියා ජාතික රජය පිහිටුවිනි. පාර්ලිමේන්තු විපක්‍ෂ නායකත්වය ආණ්ඩුවට විරුද්ධ සැබෑ විපක්‍ෂ මන්ත්‍රීවරුන්ගෙන් උදුරාගෙන පාර්ලිමේන්තුවේ ඔවුන්ට හිමිවිය යුතු වරප්‍රසාද කොල්ල කන ලදී. අවසානයේ පවතින ව්‍යවස්ථාවට පටහැණිව මුළු පාර්ලිමේන්තුවම ව්‍යවස්ථාදායක මංඩලයක් බවට පත් කර එහි මෙහෙයුම් කමිටුවේ සභාපතිවරයා වශයෙන් අගමැතිතුමා පත් කෙරිනි. රටේ අනිකුත් ප්‍රශ්ණ නොවිසඳෙද්දී ආර්ථිකය වලපල්ලට යද්දී මේ අසමත් ආණ්ඩුව ව්‍යවස්ථා ව්‍යාපෘතිය අධි වේගයෙන් ඉදිරියට ගෙන ගියේය. ඊට ජවයක් ලැබුනේ කෙසේද?

මහින්ද රාජපක්‍ෂ බලයෙන් පහ කෙරීමේ සිට මේතාක් මේ රජය නියැලී සිටින්නේ ශ්‍රී ලංකා රාජ්‍යය දුර්වල රාජ්‍යයක් බවට පත් කිරීමේ ව්‍යාපෘතියේය. ඒ සඳහා විදෙස් බලවේග වල අනුමැතිය සහ අනුග්‍රහය වත්මන් රජයට ලැබෙන බවට සාධාරනය සැකයක් ඇත. අද වන විට මේ ව්‍යාපෘතියේ අවසාන අදියරට පැමිණ ඇත. මේසා විශාල මෙහෙයුමක් කරගෙන ආ සංවිධානාත්මක බලවේගයක් විසින් සටන මේ මොහොතේ අත් හරී යැයි සිතිය නොහැකිය. නමුත් ඔවුන්ට බාධක ඇත. පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් ඔවුන්ට නැත. ජනමත විචාරණයකදීද ව්‍යවස්ථා ව්‍යාපෘතිය බොහෝවිට ජනතාව අතින් පරාජයට පත් වෙනු ඇත. මේ මොහොතේ රජය සහ රජය පවත්වාගෙන යන බලවේග සොයන්නේ වෙනත් උපක්‍රමයකින් සිංහල විරෝධී ව්‍යවස්ථාව රටේ නීතිය කරගැනීමටය. එය කුමක්දැයි අපි නොදනිමු. නමුත් ඒ සඳහා ඉඩක් රජයට ලබා නොදිය යුතුය.

යම් හෙයකින් රටේ කලබලකාරී තත්වයක් පැන නැගියහොත් එසේත් නැත්නම් ජනතාව සිවිල් නීතිය කඩ කරන තැනට පත්වුවහොත් ජනතාව සහ ජන මාධ්‍ය දැඩි ලෙස මර්ධනය කිරීමට රජය එය අස්වැසිල්ලක් කර ගනු නිසැකය. එපමණක් නොවේ රජයට සහය දෙන අදිසි බලවේග විසින් අරාජික තත්වය තවත් උත්සන්න කිරීමට කටයුතු කරනු ඇත. එතැන් සිට රජය කරන කියන දෑ පිළිබඳව ජනතාවට වග නොවෙනු ඇත. අසූවේ දශකයේ ජවිපෙ සහ රජය භීශණය පතුරවන අතරතුරේ ජනාධිපති ප්‍රේමදාස මහතා හිතේ හැටියට කොටි සමඟ ගිවිසුම් ගැසුවේය. ඒ පිළිබඳව විරෝධය දැක්වීමට සිංහලයින්ට අවකාශයක් නොලැබිනි. පසු කලෙක ප්‍රේමදාස මහතාගේ දේශපාලන පාවාදීම් (ඝාතනයවුනු හයසියයක් පමණ පොලිස් නිලධාරීන්ගේ ජීවිත නොවේ) ආපසු හැරවීමට හැකිවුවද වත්මන් රජය විසින් රටේ නීතිය වෙනස් කර බලය බෙදුවොත් එය ආපසු හරවුනු නොහැකිය. එබැවින් ජනතාව සහ ජනමාධ්‍ය මර්ධනය කරමින් එහි අවධානය වෙනතක තබා ගැනීමට අවස්ථාවක් රජයට ලබා නොදීම සාමාන්‍ය ජනතාවගේත් ආණ්ඩු විරෝධී දේශපාලන ක්‍රියාකාරීන්ගේත් වගකීමවේ. ශ්‍රී ලංකා රාජ්‍යය දුර්වල රාජ්‍යයක් බවට පත් කිරීමේ ව්‍යාපෘතිය පරදවමු.

Friday, February 3, 2017

හිතට ආඩම්බරද දැන්?




ආණ්ඩුව විසින් අද සමරන්නට යෙදෙන නිදහස වෙනුවෙන් අපි ලේ දන් දුන්නේ නැත. 1815 සහ 1848 නිදහස් සටන් වලින් පසු අපි නිදහස වෙනුවෙන් ලේ දන් දුන්නේ 2009දීය. අද සමරන නිදහස ඉංග්‍රීසීන් විසින් අපටට දන් දුන්නකි. අඩු තරමින් 1948 පෙබරවාරි හතර වෙනිදායින් පසුව ඉංග්‍රීසීන්ගේ රජා අපේ රජා නොවේ යැයි කීමටවත් අපට නිදහසක් නොතිබිනි. ඒ නිදහසද ලැබුනේ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ රජයෙන් නව ව්‍යවස්ථාවක් සම්පාදනය කර සම්මත කර ගත් 1972 මැයි මස 22 දාය. ඒ ජනරජ දිනයයි. අඩුතරමින් මැයි මාසේ අපි නිදහස සමරන්නේ නම් එය අර්ථවත් විය හැකිය. නිදහස ගැන හරි හැටි අවබෝධයක් නැතිව නිදහස ගැන හැඟීමක් ඇතිවිය හැකිද?

ගැමුණු කුමරුට නම් රටේ නිදහස හැඟීමක් තිබිනි. රටේ නිදහස නැතිවීම ඔහුට දැනුනේ උතුරින් සොලීන්ටත් දකුණින් ගොළු මුහුදටත් සිරවී සිටීමක් ලෙසිනි. පසු කළෙක රාජත්වයට පැමිණ එළාර සමඟ යුධවැදී රට නිදහස් කර ගත්තේ ඒ හැඟීම් ක්‍රියාවට නගමිනි. ගැමුණු කුමරුට එසේ හැඟුනද, රටේ නිදහස මෙකල අපේ සිත්වලට එතරම් වද දෙන කාරණයක් නොවේ.

නමුත් ඉඳ හිට අපි නිදහසක් ගැන කථා කරන්නෙමු. වරෙක ඒ නිදහස් අධ්‍යාපනයක් පිළිබඳවය. එහි මතුපිටින් ඇති ප්‍රශ්ණය මුදල් ගෙවා වෛද්‍ය අධ්‍යාපනයක් ලබා ගැනීමට අයිතියක් තිබිය යුතුද නැද්ද යන්නය. නමුත් එහි සැබෑ දැවෙන ප්‍රශ්ණය බටහිර දොස්තරවරයෙකු වීමට ඇති අයිතියක් පිළිබඳවය. තවත් විටෙක අපි ආර්ථික නිදහස ගැන වද වෙන්නෙමු. බඩු මිල සීග්‍රයෙන් වැඩිවෙමින් යයි, ඊට සමගාමීව වැටුප් වැඩි වෙන්නේ නැත, තව අතකින් රජයේ බදුය, ගොවි සහණාදාර කපා හැර ඇත, පහසුවෙන් බැංකුවකින් ණයක් ගත නොහැකිය, ගෙයක් දොරක් තනා ගැනීම, ඉඩමක් මිලදී ගැනීම සිතීමටවත් නොහැකිය. මේ ප්‍රශ්ණ හරහා පුද්ගලිකව අපේ ආර්ථික නිදහස නැතිවෙමින් පවතියි. ඒ බව අපට හොඳින් දැනේ. මේ රජය පෙරලිය යුතුයැයි සමහරු සිතන්නේ එබැවිනි. නමුත් එහිද අපි වද වෙන්නේ අපට නැතිවෙන පුද්ගලික නිදහසක් පිළිබඳවය.

පොදුවේ අද අපි නිදහස ගැන සිතන්නේ පුද්ගලික අයිතිවාසිකම් පදනම් කරගෙනය. අපට වැදගත් යැයි සිතෙන පුද්ගලික අයිතිවාසිකම් අපට හිමි වෙනතාක් කල් හෝ හිමි පමණින් ජීවත්වීමට හැඩ ගැසිය හැකි තාක් කල් අපි සෑහීමකට පත්වෙන්නෙමු. එසේ නොවෙනවිට අපි ඒ පිළිබඳව වද වෙන්නෙමු. උද්ඝෝෂණය කරන්නෙමු. අවාසනාවකට පුද්ගලයින්ට නිදහසක් තිබූ පමණින් සමූහයේ නිදහස ආරක්‍ෂා වන්නේ නැත. එහෙත් සමුූහයක් ගැන සිතීමට අපට ඉස්පාසුවක් නැත. මින් කියවෙන්නේ අපට සාමූහිකත්වයක් පිළිබඳ හැඟීමක් නැති ආත්මාර්ථකාමීන් පිරිසක් බව නොවේ. ජාතියක් පිළිබඳ හැඟීමක් තවමත් අප තුල ඇත. නමුත් ජාතියේ නිදහස පිළිබඳව අපට තැකීමක් නැත.

එක අතකින් ඊට දොස් නැගිය නොහැකිය. රටේ නිදහස පුද්ගලික නිදහස තරම් ඇඟට දැනෙන්නේ නැති බව ඇත්තය. කොටි ත්‍රස්තවාදය රටේ නිදහස පිළිබඳ ප්‍රශ්ණයක් බව අපට ඇඟට දැනෙන්නට කෙතරම් කල් ගියාද? භුටානයේ අගනුවරින් පටන්ගෙන කීවරක් අපි කොටි ත්‍රස්තවාදීන් සමඟ සාමය වෙනුවෙන් සාකච්ඡා පැවැත්වුවාද? සාම ගිවිසුම් ගැසුවාද? නමුත් දෙමළ ජාතිවාදීන් සමඟ සාකච්ඡා කිරීමම අපේ නිදහස නැතිකර ගැනීමක් බව අපට අවබෝධ වුනේ නැත. ඉංදියාවේ බලපෑම මත ජේ ආර් ජයවර්ධන විසින් වාර්ගික පදනම මත බලය බෙදීම සඳහා 13 වෙනි ව්‍යවස්ථා සංශෝධනය ගෙන එන විටද එමඟින් අපේ නිදහස නැතිවෙන බව අපට අවබෝධ වුනේ නැත. ඒ අනවබෝධයට තවත් හේතු තිබිනි. එකල අපේ රාජ්‍ය නායකයින්ද, උගතුන්ද, බටහිර රාජ්‍යවල මූල්‍යාධාර ලබා ගනිමින් මෙහි ක්‍රියාකාරී වුනු සංවිධානද අපට ඒත්තු ගැන්වූයේ සිංහලුන් විසින් දෙමළ ජනයාට වරදක් කර ඇති බවය. එබස් ඇසූ අපි දෙමළ ජාතිවාදීන්ට යමක් දිය යුතුය යන මතයේ සිටියෙමු. අදටත් සමහරු ඒ මතයේ සිටිති. නමුත් ඒ පදනමින් කටයුතු කල ආර් ප්‍රේමදාසටවත්, චන්ද්‍රිකා කුමාරතුංගටවත් රනිල් වික්‍රමසිංහටවත් දෙමළ ප්‍රශ්ණයට දේශපාලන විසඳුමක් දිය නොහැකිවිය. අදටත් කුමාරතුංග මහත්මිය හා වික්‍රමසිංහ මහතා බලෙන් ක්‍රියාත්මක කිරීමට උත්සාහ කරන්නේ එකල අසමත් වුනු විසඳුමමය.

ප්‍රශ්ණයට දේශපාලන විසඳුමක් ලැබුනේ දෙමළ ජාතිවාදය නිසා නිදහස අහිමි වෙන බව අපේ ඇඟට දැනුන විටය. 2009 වන විට සිංහලුන්ට තමන්ගේ පුද්ගලික නිදහස පිළිබඳ ප්‍රශ්ණ වලට ඉහලින් ජාතියේ නිදහස පිළිබඳ ප්‍රශ්ණය මතුවී තිබිනි. එකලද අපට ආර්ථික අපහසුකම් නොතිබුනා නොවේ නමුත් අපි ජාතියේ ප්‍රශ්ණ පුද්ගලික ප්‍රශ්ණ වලට ඉහලින් තැබුවෙමු. ඒ අනුව අප ලබා දුන් දේශපාලන විසඳුම කොටි විනාශ කර දැමීම විය. කොටි සටන හුදෙක් ත්‍රස්තවාදය මර්ධනය කිරීම සඳහාවූ මෙහෙයුමක් නොවිනි. එය දෙමළ ජාතිවාදයටත් ඊට අනුග්‍රහය දුන් බටහිර රාජ්‍යයන්ටත් එරෙහිව කෙරුනු නිදහස් සටනක් විය. සිංහලුන්ට තම නිදහස නැතිවෙන බව ඇඟට දැනී ඒ පිළිබඳව ක්‍රියාත්මක වනවිට ඉංග්‍රීසීන්ගේ අනුග්‍රහයෙන් ඇරඹි දෙමළ ජාතිවාදයට වසර එකසිය පනහකටත් වඩා ගෙවී ගොස් තිබිනි, ප්‍රභාකරන් නායකත්වය දුන් ත්‍රස්තවාදයට වසර තිහක් ගතවී තිබිණි. ඒ රටේ නිදහස නැතිවීම ඇඟට දැනෙන තෙක් සිටීමේ ප්‍රතිඵලයයි.

නමුත් මේ වෙනවිට 2009 දී අප ලබා ගත් නිදහස පාවා දෙමින් තිබේ. පොදුවේ සිංහලුන්ගේ ඇඟට තවමත් ඒ බව දැනෙන්නේ නැත. "සමහර විට දිනූ දේ රැක ගනිමු" යන ප්‍රෝඩාකාරී ප්‍රචාරක දැන්වීම තවමත් ඔවුන්ගේ මනසේ රැව් දෙනවා විය හැකිය. නැත්නම් ආර්ථික ප්‍රශ්ණ අපට ඊට වඩා ඇඟට දැනෙනවා විය හැකිය. බඩ ගැන සිතා පත්කර ගත් ආණ්ඩුව විසින් රට පාවා දෙද්දී බඩ ගැන සිතමින් රටේ නිදහස ගැන නොතකා සිටීමට සිදුවීම සරදමකි. කෙසේ නමුත් අපි ඉතිහාසයෙන් පාඩමක් ඉගෙන ගන්නවා නම් ඒ රටේ නිදහස පිළිබඳව කනස්සලුවීමට නිදහස නැතිවෙන තෙක් නොසිටිය යුතු බවය.

මේ රජය පත්වූ විගසම බටහිර රාජ්‍යයන්ගේ අනුදැනුම මත ඇමෙරිකා එක්සත් ජනපදය විසින් ලංකාවට එරෙහිව මානව හිමිකම් කොමිසමට ගෙන ආ යෝජනාවට සම අනුග්‍රාහකත්වය දැක්වීය. ඊට පෙර රජය විසින් වසරක් පාසා මෙවැනි යෝජනා පරාජය කිරීමට දැඩි උත්සාහයක් ගෙන තිබියදී තමන්ටම එරෙහිව කොටි ත්‍රස්තවාදීන්ට ආධාර කල සතුරන් සමඟ පෙළ ගැසීම කෙතරම් දීන කමක්ද? විවිධ පඬි වදන් වලින් සැඟවුනද මේ යෝජනාවල අරමුණ මහින්ද රාජපක්‍ෂ ඇතුළු රණ විරුවන් ඊනියා ජාත්‍යන්තර යුධ අධිකරණයකට කැඳවා දඬුවම් පැමිණවීම විය.

1999 මෙලෙසම මානව හිමිකම් චෝදනා මුවාවෙන් මිලසොවික්ගේ යුගෝස්ලාවියාවට එරෙහිව බටහිර රාජ්‍යයන්ගේ අනුග්‍රහයෙන් පවතින නේටෝ සංවිධානය යුධ වැදිනි. එහි අරමුණ වූයේ මිලසොවික් බලයෙන් පහ කිරීමය. චීනයත් රුසියාවත් ඊට විරුද්වූ බැවින් මේ ප්‍රහාරයට එක්සත් ජාතීන්ගේ ආරක්‍ෂක සමුළුවේ අනුමැතිය නොතිබිනි. කෙසේ නමුත් නේටෝ ප්‍රහාරයෙන් මිලසොවික්ගේ රජය බිඳ වැටුනු අතර ඉන් පසු නේටෝ අනුග්‍රහයෙන් බලයට පත් කෙරුනු රජය විසින් මිලසොවික්ට එරෙහිව මෙවැනිම ඊනියා ජාත්‍යන්තර යුධ අධිකරණයක් හමුවේ නඩු පවරා ඔහු සිරගත කෙරිනි. වසර ගණනාවක් සිරගතව ජීවත්වුනු මිලසොවික් සිරේදී මිය ගිය නමුත් ඉන් වසරකට පසුව ඔහුට එරෙහි චෝදනාවල සත්‍යතාවක් නැති බව අධිකරණය විසින්ම පිළිගැනිනි. මේ රජය විසින් යෝජනා කරන යුධ අපරාධ අධිකරණයේ අරමුණද මහින්ද රාජපක්‍ෂ ඇතුළු රණ විරුවන්ට මේ ඉරණම අත්කර දීම නොවේ යැයි විශ්වාස කල හැකිද? එසේ නම් එය පාවා දීමක් නොවේද?

වත්මන් රජය පත්වූ වහාම ඇරඹී අනිත් ව්‍යාපෘතිය වූයේ නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමය. ඒ සඳහා මුළු පාර්ලිමේන්තුවෙන්ම සමන්විත පූර්ණ කාරක සභා බලැති ව්‍යවස්ථා මංඩලයක් පත් කෙරිනි. නමුත් නව ව්‍යවස්ථාවක් සඳහා ඊට ජන වරමක් ලැබුනේ නැත. එපමණක් නොවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මංඩලයක් පිළිබඳව පවත්නා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කොතැනකවත් සඳහන් නොවේ. නීතිය වෙනස් කල යුතු වන්නේ පවත්නා නීතියට අනුව නොවේද? ව්‍යවස්ථා මංඩලය පාර්ලිමේන්තුව මඟ හැරයාම සඳහා යෙදුනු උපක්‍රමයක්ද?

නව ව්‍යවස්ථා යෝජනා වලට අනුව ආණ්ඩුකාරවරයාගේ විධායක බලය අහිමි කර ඇත, පළාත් සභාවලට පොළිස් සහ ඉඩම් බලය පවරා දී ඇත, සියලු ජාතික ප්‍රතිපත්ති නිර්ණය කිරීම සඳහා මාධ්‍යම ආණ්ඩුවට හිමි අයිතිය අහිමි කර ඇත. මෙය කුමණ නමකින් හැඳින්වුවද ඒකීය රජ්‍යයක ව්‍යවස්ථාවක් නොවේ. රටේ නීති නිර්මාණය කිරීමට බලයක් තිබිය යුත්තේ පාර්ලිමේන්තුවට පමණය. ඒ බලය විසිරවූ පමණින්ම තව දුරටත් ඒ රාජ්‍යය ඒකීය රාජ්‍යයක් ලෙස හැඳින්විය නොහැකිය. පැහැදිලිවම මේ රජයේ උත්සාහය මේ රට පාවාදීමය.

රණ විරුවන්ට දඬුවම් කිරීම, රටේ ඒකීය භාවය නැති කිරීම සඳහා නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම, ඉංදියාවට පක්‍ෂපාතී වෙන අයුරින් වෙළඳ ගිවිසුම් ගැසීම ආදී මේ රජය විසින් ලහි ලහියේ ක්‍රියාත්මක කිරීමට යෙදුනු ව්‍යාපෘති වල අවසන් ප්‍රතිඵලය රටේ නිදහස පාවා දීමය. මේ වෙනස්කම් මෙරට සිදුකෙරෙන්නේ ඇමෙරිකා එක්සත් ජනපදය, ඒංගලන්තය, ප්‍රංසය, චීනය සහ රුසියාව වැනි රටවල් ජාතිකත්වයට නැඹුරුවෙමින් තිබියදී බව අමතක කල නොහැක. ඇමෙරිකා එක්සත් ජනපදයේ ඩොනල්ඩ් ට්‍රම්ප් අද එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ඉවත් වීමට කල්පණා කරමින් සිටියි. එසේ නම් රණ විරුවන් පාවාදීම සඳහා ඇමෙරිකා එක්සත් ජනපදයත් සමඟ ගෙන ආ මානව හිමිකම් කොමිසම් යෝජනාවට තව දුරටත් බලයක් ඇත්ද? ඒ යෝජනා අනුව අප ක්‍රියාකල යුත්තේ කවුරුන් සනසන්නද? නුදුරු අනාගතයේදී බටහිර රාජ්‍යයන්හි ජාතිකත්ව රැල්ල, විශේෂයෙන්ම ට්‍රම්ප්ගේ ඇමෙරිකාව මෝදිගේ ඉංදියාවටද බලපෑම් ඇතිකරනු ඇත. එහිදී ඉංදියාවට නොවෙනස්ව සිටිය හැකිද? මේ රජය ඉංදීය සහ බටහිර බලවේග වලට යටත්ව අපේ නිදහස පාවා දෙමින් සිටින්නේ වත්මන් ගෝලීය දේශපාලන වටපිටාවටද පරස්පරවය. ඒ ගැන ආඩම්බර විය නොහැකිය.



Wednesday, February 1, 2017

අධ්‍යාපන කඩ

අපේ රටේ පෞද්ගලික අධ්‍යාපන ආයතන සියල්ලම අධ්‍යාපන කඩ. කඩ කියන්නේ තොග මිළට අරගෙන සිල්ලර මිළට බඩු විකුණන තැන්වලට. මිනිස්සු සල්ලි දීල බඩු අරගෙන ලාභය මුදලාලිට ගියහම කඩේට කියල වටිනාකමක් නැහැ. අපේ පෞද්ගලික අධ්‍යාපන ආයතනවලත් තත්චය එහෙමයි. පෞද්ගලික විශ්ව විද්‍යාලද අන්තර්ජාතික පාසල්ද මේ සියල්ලටම වෙලඳ ගනුදෙනුවට එහා යන වටිනාකමක් ආයතනයට නැහැ.

විශේෂයෙන්ම විිශ්ව විද්‍යාලයකට වටිනාකමක් එන්ඩ ඒකෙ දැනුම නිර්මාණය කරන විශ්ෂ්ඨ ගුරු මඬුල්ලක් ඉන්ඩ ඕනෙ. ඊලඟට ඔවුන්ට නිදහසේ තම කාර්ය කරගෙන යන්ඩ මුල්‍යමය සම්පත් තියෙන්ඩ ඕනෙ. බටහිර රටවල උසස් යැයි සැලකෙන පෞද්ගලික විශ්ව විද්‍යාලවල මේ දෙකම තියෙනවා. ඒවා පවත්වාගෙන යන්ඩ ඒ රටවල දානපතියෝ විශාල වශයෙන් මුදල් ආධාර කරනවා. සමහර අංශවල මහාචාර්ය පදවි වල වැටුප් ගෙවෙන්නෙ මේ මුදල් ආධාර වලින්. විශ්ව විද්‍යාලවල පර්යේශණ කරන්ඩ මෙලෙස ආධාර ලැබෙනවා. පුද්ගලිකව ලැබෙන මේ ආධාර නැතිව ශිෂ්‍යයන්ගෙන් අයකරන ගාස්තු වලින් පමණක් මේ විශ්ව විද්‍යාල ඒ ආකාරයට පවත්වාගෙන යන්ඩ බැහැ.

ඒ අතින් අපේ පෞද්ගලික විශ්ව විද්‍යාල රජයේ විශ්ව විද්‍යාලවලටත් වඩා දුප්පත්. අපේ රටේ දානපතියොත් දැන් නැහැ. හිටියත් ඉස්කෝල හදන්ඩ විශ්ව විද්‍යාල හදන්ඩ මිනිස්සු සල්ලි දෙන්නේ නෑ. සමහර ආදි ශිෂ්‍යයෝ ශිෂ්‍යාවියෝ ඉස්කෝලට උදව් කරනවා දරුවා දාගන්ඩ බලාගෙන. තවත් සමහරු නම් කරන්නේ පොඩි එකාගේ පංතියේ ටීචර්ට පගාවක් දෙන්ඩ උත්සාහ කරන එක. නමුත් අපි අධ්‍යාපන ආයතන නගා සිටුවීම බටහිරුන් හිතන ආකාරයේ සමාජීය යුතුකමක් හැටියට හිතන්නේ නෑ. පිරිවෙන් අධ්‍යාපනය අද තිබුනා නම් සමහරවිට අපි ඒවට මීට වඩා දන් දෙන්ඩ ඉඩ තිබුනා.

කොහාම හරි රටේ අධ්‍යාපනය (ඒක මොකක් වුනත්) දියුණු කරන එක ආණ්ඩුකට විතරක් කරන්ඩ බැහැ. පෞද්ගලික අධ්‍යාපන ආයතන තියෙන්ඩ ඕනෙ නමුත් එදා වේල හොයන කඩ නෙවෙයි සම්පත් ඇති ආයතන තියෙන්ඩ ඕනෙ.

Tuesday, January 31, 2017

සයිටම්

අධිකරණය බටහිර වෛද්‍ය අධ්‍යාපන ප්‍රමිතිය ගැන විනිශ්චයක් දීලා.

නමුත් අධිකරණයට ඒ පිළිබඳ විශේෂඥ දැනුමක්වත් මේ රටේ අධ්‍යාපනය පිළිබඳව වගකීමක්වත් නෑ. අධිකරණයට කරන්ඩ තිබුනේ ඕක නෙවෙයි. සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක් ලෙස ඉදිරියටත් පවත්වාගෙන යාම සඳහා සැපිරිය යුතු අවම සුදුසුකම් සපුරා ගැනීම සඳහා එක්ව කටයුතු කරන ලෙස සයිටම් ආයතනයටත් අදාල අනිකුත් රජයේ ආයතනවලටත් නිර්දේශ කිරීමයි. ඉන් පසුව අධිකරණයට නොයා එය විශ්ව විද්‍යාල පනතට අනුව පිළිගත් වෛද්‍ය විද්‍යාලයක් ලෙස පාර්ලිමේන්තුවේ සම්මත කර ගත යුතුයැයි නිර්දේශ කිරීමයි.

මුලින්ම ජවිපෙත් සයිටමයත් වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයත් මේ වැඩේ දේශපාලණීයකරනය කරා. දේශපාලනයට විසඳුම් නැතිවුනාම ඒ ප්‍රශ්ණය ඊටත් වඩා නොසුදුසු අධිකරණයට ගියා. දැන් සයිටම් විතරක් නෙවෙයි මුලු පෞද්ගලික විශ්වවිද්‍යාල සංකල්පයම අවුල්. මේවට ඇත්තෙන්ම මුල්ම වැරදිකාරයෝ මේ රටේ කිසිම දේශපාලන වගකීමක් නොගන්නා ජවිපෙ ඇතුළු පුහු වාමාංසිකයොයි. පහුගිය රජය සමයේත් මොවුන් ඉසෙඩ් ස්කෝ ප්‍රශ්ණය දේශපාලනීකරනය කරලා අන්තිමේදී ශිරාණි බණ්ඩාරණායක ඒක තවත් අවුල් කලා. මේක ඊට වඩා බරපතලයි.

පෞද්ගලික විශ්ව විද්‍යාල ප්‍රශ්ණයේ දේශපාලනයක් තියෙනවා අධ්‍යාපනය කියන්නේ තරුණයින්ට රැකියා ලබාදෙන ක්‍රමවේදයක් ලෙස සැලකුවොත්. නමුත් රටක අධ්‍යාපනය ගැන එහෙම බලන එක හරිද?

අධ්‍යාපනය දිහා බලන්ඩ ඕනෙ රටේ ජීවන තත්වය උසස් කරන ක්‍රමවේදයක් හැටියට. ජීවන තත්වය උසස් වෙනවායැයි කියන්නේ මොකක්ද කියන එක ප්‍රශ්ණයක් නමුත් ඒක උසස් රැකියා ලැබිය යුත්තේ කාටද කියන එකට වඩා උඩින් තියෙන එකක්. මේ රටට පෞද්ගලික අධ්‍යාපන ආයතන අවශ්‍යයි. දැනටමත් ශිෂ්‍ය ජනගහණය ගත්තහම බහුතරයක් යම් ආකාරයකට මුදල් ගෙවා අධ්‍යාපනය ලබා ගන්නවා. ඒ නිසා පෞද්ගලික අධ්‍යාපනය වඩා විධිමත් කල යුතුයි. ඒ කාර්යය පක්‍ෂ දේශපාලනයෙන් නොකල යුතුයි අධිකරණයෙන් කොහොමටත් නොකල යුතුයි.

Friday, January 27, 2017

සමලිංගික බව අයිතියක්ද?

සාමාන්‍යයෙන් ලංකාවේ දේශපාලකයින්ගේ ලිංගික ජීවිත ඔවුන්ගේ දේශපාලන වෘත්තියට බලපෑමක් ඇති කරන්නේ නෑ. ඒ නිසා කෙනෙක් සමලිංගිකද නැද්ද යන්න දේශපාලකයෙක් සම්බන්ධයෙන් අපේ රටේ මිනිස්සුන්ට එතරම් වැදගත් දෙයක් නෙවෙයි. එක වැදගත් නොවෙන්නේ මේ රටේ සාමාන්‍ය මිනිස්සු ඒක වැදගත් නොකරන නිසයි. මේ රටේ සාමාන්‍ය මිනිස්සු මේවගේ පුද්ගලික දේවල් පුද්ගලික දේවල් හැටියට මිසක් අයිතීන් හැටියට සලකන්නේ නෑ. ඒක තමයි අපේ ගතිය. නමුත් මේ ගතිය බටහිර රටවල ලිබරල් ගතිය නෙවෙයි.

බටහිර සංස්කෘතියේ සමලිංගික බව අයිතියක්. එතකොට ඒක වැදගත් දෙයක් තව දුරටත් පුද්ගලික දෙයක් නෙවෙයි. දැන් මේගොල්ලො හදනවා සමලිංගික අයිතියට සමතැන් ලබා ගන්ඩ. පහත ලින්ක් එකේ තියෙන්නෙ ඔවුන්ගේ ලිංගිකත්වය හෙලි වුනාට පස්සෙ මුහුණ දෙන්ඩ වුනු අඩම් තේට්ටම් හමුවේ වෘතිය අතහැරදාලා ගිය ඇමෙරිකාවේ සමලිංගික දේශපාලකයින්ගේ ලිස්ට් එකක්.

 17 Politicians Who’ve Faced Gay Rumors Or Sex Scandals

මේවගේ දේවල් ලංකාවේ වෙන්නේ නෑ. හැබැයි අපි ලිබරල් සංස්කෘතියෙත් නෙවෙයි ඉන්නෙ. එහෙනම් මේක තේරුම් ගන්නේ කොහොමද? පුද්ගලික අයිතීන් උලුප්පවා ගන්නේ නැතිවත් අපේ රටේ අයට පොදුවේ මීට වඩා සමාජ සාධාරණයක් ඉටුවෙන්නේ නැද්ද? බටහිර සමලිංගික අයිතීන් මෙහෙ පිහිටුවන්ඩ හදන අයගෙන් අපිට අහන්ඩ ඕන ප්‍රශ්ණය තමයි මේවා ගෙනැල්ලා තව අවුරුදු පනහකින් හැටකින් විතර අද ඇමෙරිකාව ඉන්න තැනට බඩ ගාන එකද වඩා නුවනට හුරු නැත්නම් අපේ ගති තවත් ස්ථාපනය කරන එකද?

මා දන්නා විදිහට සමලිංගික සේවනය වරදක් ලෙසට මෙරට දණ්ඩ නීති සංග්‍රහයට ඇතුලත් කරලා තියෙන්නේ එකල ඉංග්‍රීසින් විසින් ඔවුන්ගේ උවමණාවට. සිංහල සංස්කෘතිය තුල එහෙම උවමණාවක් අදටවත් තියෙනවැයි කියල හිතන්ඩ බැහැ. ඕක මෙතෙක් ක්‍රියාත්මක කරලත් නැත්තේ ඒ නිසා මිසක් අපේ සමාජයේ සිදුවුනු වෙනසක් නිසා නෙවෙයි. අවශ්‍යනම් කරන්ඩ තියෙන්නේ සංස්කෘතියට නොගැලපෙන නීතියක් වශයෙන් එය දණ්ඩ නීති සංග්‍රහයෙන් ඉවත් කිරීම මිස සමලිංගික සේවනයට නීතිමය තැනක් ලබා දීම නෙවෙයි. ඒක ඉවත් කරන අතරේ අපේ සංස්කෘතියට නොගැලපෙන වෙනත් නීති ඇත්නම් ඒවාද ඉවත් කිරීමට කටයුතු කල යුතුයි.

Tuesday, January 24, 2017

අපේ කලාව ජාත්‍යන්තරයට ගෙනයාම

ඉඳලා හිටලා අපේ තරුණ කලාකාරුවෙක් තමන්ගේ ශිල්පය ජාත්‍යන්තරයට ගෙනියාමක් ගැන කියනවා.

තරුණ විය ඉක්මවා ගිහින් ඉන්න නන්දා මාලිනීලා වගේ කලා කරුවෝ නම් මෙහෙම කිව්වත් ඉන් අදහස් වෙන්නේ බටහිර රටකට ගිහින් අපේ ඈයොන්ට සාජ්ජයක් පවත්වන එක වෙන්ඩ ඕනෙ. තරුණ අය කෙසේ වෙතත් නන්දා මාලිනීට නම් තවමත් රට යන්ඩ ඇරයුම් ලැබෙනවා ඇති. නමුත් තරුණ අය තමන්ගේ ශිල්පය ජාත්‍යන්තරයට ගෙනියනවා කීමෙන් අදහස් කරන්නේ ඊනියා ජාත්‍යන්තරයක අවධානයට ලක්වීමට ගන්නා උත්සාහයකටයි. ඊනියා ජාත්‍යන්තරයක අවධානයට ලක්වීමට අවශ්‍ය අයට ඒ සඳහා ව්‍යුහයකුත් සකස්වෙලා තියෙනවා. කරන්ඩ තියෙන්නේ ඒ ව්‍යුහයට අහුවෙන මානයට තමන්ගේ කලා කෘතිය මුදා හරින එකයි. අහුවුනොත් සල්ලි තමයි.

මේ ව්‍යුහයට පොදුවේ කියන්නේ සුපිරිව්‍යුහය කියලයි. මේක ආර්ථික ක්‍රියාකාරකම් මත අර්ථ දැක්වුනු ලොවෙත් නැති කාල් මාකස්ගේ සුපිරිව්‍යුහය නෙවෙයි අපි කථා කරන්නේ සංස්කෘතියකට ඉහලින් ඇති එකක් ගැන. මේ සුපිරිව්‍යුහය තියෙන්නේ බටහිර සංස්කෘතියට ඉහලින්. ඒක විධායකයක් වත් සංවිධානයක්වත් නෙවෙයි නමුත් නොයෙකුත් සංවිධාන සහ විධායකයින් දැන හෝ නොදැන හෝ සුපිරිව්‍යුහයේ අඩංගු වෙනවා. මේ සුපිරිව්‍යුහයෙන් තමයි අද ලෝකයේ බොහෝ දේවල් තීරණය වෙන්නේ. යම් කලා කෘතියක් වැදගත්ද නැද්ද කියල තීරණය වෙන්නෙත් ඒකෙන්මයි. වැදගත් නැති සිංදුවක් රසවත් වෙන්ඩ පුළුවන්ද?

මේ සුපිරිව්‍යුහයට නන්දා මාලිනීගේ සාරි පොඩිත්තක්, රුක් අත්තන මල මුදුනේ වගේ ගීත අහුවෙයි කියල හිතන්ඩ අමාරුයි. මගෙ හිතේ ඒ ගීත ඒ අරමුණෙන් නිර්මාණය වුන ඒවත් නෙවෙයි. අපේ පාරම්පරික නැටුම් කලාව නම් මේ සම්මතේට ඕකට අහුවෙන්නේ නෑ. නමුත් ඊයේ පෙරේදා ගැහුණු පවා නොනටන කැළණි පෙරහැරේ නටපු පිරිමි නාටිකාංඟනාවන්ගේ අනඟ රැඟූම් නම් සුපිරිව්‍යුහයට හොඳහැටි අහුවෙන්ඩ අවස්ථාවක් තියෙනවා. ඉදිරියේදී කැළණි පෙරහැර එවැනි නැටුම් සඳහාම වෙන්වෙන්ඩත් ඉඩ නැත්තේ නැහැ.

කෙසේ නමුත් සුපිරිව්‍යුහයට අහුවෙන විදිහට නිර්මාණ කරන්ඩ අපේ තරුණ කලා කරුවෝ නම් උත්සාහ කරනවා. ඒ කාලේ මාටින් වික්‍රමසිංහ වගේ ගත් කරුවොත්, වත්මන් පාර්ලිමේන්තුව සැකසුම් කරපු ජෙෆ්රි බාවා වගේ ගෘහ නිර්මාණ ශිල්පියොත්, එස් එච් සරත් වගේ ඇබ්ස්ට්‍රෑක්ට් චිත්‍ර අඳින චිත්‍ර ශිල්පියොත්, බටහිර කාටූන් ශිල්පීන් අනුකරණය කරන සමහර අපේ කාටූන් ශිල්පියොත්, ප්‍රසන්න විතානගේලා වගේ චිත්‍රපට අධ්‍යක්‍ෂක වරුත් කරන්නේ සුපිරිව්‍යුහයට අහුවෙන විදිහට නිර්මාණ කිරීමයි. ඒත් අපි ඉන්නෙ ඉංදියාවේ කලා කරුවන්ට බොහෝ පිටිපස්සෙන්. ඉංදියාවේ රවි ශංකර්ට, සත්‍යජිත් රායිට විතරක් නෙවෙයි තාගෝර්ටත් උඩට එන්න ඒ කාලේ වැඩෙමින් පැවතුනු සුපිරිව්‍යුහය අත දුන්නා. අද රවි ශංකර්ගේ දුවටත් ඒ ජේ රහුමාන්ටත් ඒ අතම ලැබෙනවා. මේකෙන් කියන්ඩ බැහැ මේ කලාකරුවන්ගේ කෘති නිරපේක්‍ෂ වශයෙන් උසස් හෝ පහත් යැයි කියා. කලා කෘති ගැන එහෙම කථා කරන්ඩ බැහැ. නමුත් සුපිරිව්‍යුහය ගැන සංවේදී කලාකාරයෝ ඊට සරිලන විදිහට නිර්මාණය කිරීමටත් සුපිරිව්‍යුහය එවැනි කලා කෘති වලට සංවේදී වීමත් චක්‍රීයව සිදුවෙනවා. දකුණු කොරියාවේ සයි ගේ ගැන්ග්නම් ස්ටයිල් සිංදුව මේකට හොඳ උදාහරණයක්.


 හැබැයි වැඩේ කියන්නේ අපට ඔය සුපිරිව්‍යුහයට ආසා වෙන විදිහේ සිංදු හදන්ඩ අවස්ථාවක් තිබුනත් සුපිරිව්‍යුහයේ කණ වෙනස් කරන්ඩ අපට ශක්තියක් නැහැ. සුපිරිව්‍යුහයට ආසා වෙන විදිහේ චිත්‍ර අඳින්න ගෘහ නිර්මාණය කරන්ඩ අවස්ථාවක් තිබුනත් සුපිරිව්‍යුහයේ ඇස වෙනස් කරන්ඩ අපට ශක්තියක් නැහැ. ඒක කරන්නේ යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියේ ඉහලම උගත්තු.

ඒ උගත්තු තමයි සුපිරිව්‍යුහය නිර්මාණය කරල තියෙන්නෙත්. උගත්තු ජීවත් වෙන ලෝකයත් ඒක. ඒ නිසා උගත්තු සුපිරිව්‍යුහය වෙනුවෙන් පෙනී ඉන්නවා ඒවගේම සුපිරිව්‍යුහයත් උගත්තු වෙනුවෙන් පෙනී ඉන්නවා. ඒ ආනුභාවයෙන් තමයි සුපිරිව්‍යුහයේ කලා කාරයොත් උගත්තු වෙනුවෙන් පෙනී ඉන්නෙ. ඒ අනුව තමයි ඇමෙරිකාවේ කලා කාරයො අද ට්‍රම්ප් විරෝධීන් බවට පත් වෙලා ඉන්නෙ. අසීස් අන්සාරි කියන්නේ දෙවෙනි පරම්පරාවේ සංක්‍රමණිකයෙක් ඔහුට අද සුපිරිව්‍යුහය වෙනුවෙන් පෙනී නොසිට පැවැත්මක් නැහැ. ෆැරන්හයිට් 9/11 හදපු මයිකල් මෝ තමන්ගේ චිත්‍රපටයෙන් ඇමෙරිකානු ජනමාධ්‍යයට පහර දුන්නා. ඊට සුපිරිව්‍යුහයෙන් ඉහල ප්‍රතිචාරයක් ලැබුනා. නමුත් ඒකම තමයි ප්‍රශ්ණය වුනෙත්. සුපිරිව්‍යුහය ඇතුලේ ඉඳං ඒකට ගහන්ඩ බැහැ (රතන හාමුදුරුවන්ට පුළුවන් වුනත්). අන්තිමේදී මයිකල් මෝට ඇමෙරිකානු ජනමාධ්‍යයත් එක්ක හැප්පෙන්ඩ බැරිවුනා. ඒක කරන්ඩ පුළුවන් වුනේ ට්‍රම්ප්ටයි.

අපේ කලාකාරයොන්ටත් පුළුවන් නම් කරන්ඩ තියෙන්නේ සුපිරිව්‍යුහයෙන් පිට නිර්මාණය කරලා ජනප්‍රිය වෙන්ඩ බලන එකයි. ඒවට කොහේ තැනක් නැතිවුනත් අඩු ගානේ ලංකාවේ හරි තැනක් ලැබේවි.

Saturday, January 21, 2017

ඇමෙරිකන් බයියෝ

මම ට්‍රම්ප්ගේ ජයග්‍රහණයට පසුදින මා දන්නා සුදු ජාතික ඇමෙරිකන් බයියෙකුට සුභ පැතුම් පණිවිඩයක් යවමින් ඇමෙරිකන් ජාතිකත්වය දිනුවා නේදැයි ඇසුවෙමි. "අනිවා.. හිලරි මේ මිනිහා මරා ගත්තේ නැත්තං දිවුරුම් දී ගන්ඩත් පුළුවන් වේවි" ඔහු පිළිතුරු දෙමින් පැවසීය. ට්‍රම්ප් මුහුණ දුන් අභියෝගය පිළිබඳව ඔහුට තිබුණු අවබෝධය එය විය. කෙසේ නමුත් මගේ මිතුරා අද සතුටු වෙනු ඇති. ඔහු එතරම් දුරට ඉගෙන නොගත් මැදිවිය පසුකල බොරු සෝබන නැති මධ්‍යම පංතික සාමාන්‍ය මිනිහෙකි. ට්‍රම්ප්ට ඡන්දය දුන්නේ මෙවැනි ඇමෙරිකන් බයියන්ය. 
https://www.adn.com/nation-world/2017/01/20/inauguration-day-2017-celebration-and-chaos-collide-as-trump-becomes-president/
අද ඇමෙරිකාවේ ජනමාධ්‍ය වලට සවන් දුනහොත් එහි විචාරකයෝ බොහෝ දෙනෙක් කියනු ඇත්තේ ට්‍රම්ප්ට ඡන්දය ලැබුනේ ඔහුගේ ජනප්‍රිය ප්‍රතිපත්ති නිසා බවය. විශේෂයෙන්ම ඔහුගේ ජනප්‍රිය ආර්ථික ප්‍රතිපත්ති නිසා බවය. ඇමෙරිකානු ජනමාධ්‍ය නොකියා කියන්නේ ඔහු ගැලරියට කථා කල බවය. මහින්ද රාජපක්‍ෂ ගැනද අපේ උගත්තු එලෙස කීහ. දෙරටේම ඔය කියන ගැලරිය ඒ රටවල සාමාන්‍ය මිනිස්සුය. 


ඇමෙරිකානු ජනමාධ්‍ය ඇමෙරිකානු බයියන් ගැන නොකියයි. එක අතකින් ඔවුන්ට වරදක් කිව නොහැකිය. පොදුවේ යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියේ ඉහලම උගතුන්ට ඇමෙරිකානු බයියන් ගැන තේරුම් ගැනීමට ප්‍රවාද නැත. ලංකාවේ වාමාංශිකයින්ගෙන් පිදුම් ලබන ජී ජැක්ටද ඇමෙරිකානු බයියන් තේරුම් ගැනීමට නොහැකිය. ඔහුද කෝකටත් තෛලය කියා ට්‍රම්ප්ට හේත්තු වී ඇත. ඇමෙරිකාවේ ජීවත්වන පළමු හා දෙවන පරම්පරාවේ සංක්‍රමණිකයෝද ජනමාධ්‍ය අනුව යමින් ට්‍රම්ප් මෝඩයෙකු ලෙස සලකති. ඔවුන්ද පොදුවේ සිතන්නේ ට්‍රම්ප්ට ඡන්දය දුන්නේ රස්සා චීනෙට ඇදී යාම නිසා කලකිරුනු ඇමෙරිකානුවන් බවය. ඇමෙරිකානු බයියන් ගැන මේ කාටවත් තියරියක් නැත. 


ඇමෙරිකානු බයියන් ජාතිකත්වය මත ට්‍රම්ප්ට ඡන්දය දුන් බව කවුරුත් දන්නා කරුණකි. නමුත් එහි බයින්ගේ ජාතිකත්වය මෙහි බයියන්ගේ ජාතිකත්වය හා සසැඳිය නොහැකිය. සිංහලුන්ට ඇත්තේ වසර දහස් ගණනක් තිස්සේ මෝදුවෙමින් එන ජාතික හැඟීමකි. ඇමෙරිකාවේ බයියන්ට හැඟෙන්නේ එවැන්නක් නොවේ. නමුත් ඔවුන්ටද සමූහික හැඟීමක් ඇත. ඒ සාමූහික හැඟීම ගෙන දෙන්නේ වෙන කිසිවකට නොව නලින් ද සිල්වා කියන සුපිරිව්‍යුහයට එරෙහිවය. ඇමෙරිකානු රස්සා චීනෙට යන්නේ සුපිරිව්‍යුහයට අනුවය. අයිසිස් ත්‍රස්තවාදීන්ට ඇමෙරිකාව අවි සපයන්නේද ඒ අනුවය. සුපිරිව්‍යුහය යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියේ උගතුන්ගේ නිර්මාණයකි. එය ඔවුන්ගේ ලෝකයද වේ. ඇමෙරිකාවේ බයියන්ට ඒ ලෝකයේ තැනක් නැත. ඔවුන් එහි කොන්වේ. සුපිරිව්‍යුහයට අනුගතවන චීනුන්ට පවා ඊට වඩා තැනක් එහි ඇත. ඇමෙරිකානු බයියන්ට අවශ්‍ය සුපිරිව්‍යුහයේ ග්‍රහණයෙන් මිදී තමන්ගේ ලෝකයක් නිර්මාණය කර ගැනීමටය.

Friday, January 20, 2017

ප්‍රත්‍යක්‍ෂ දැනුම්

ඇතැමුන් ප්‍රත්‍යක්‍ෂ දැනුම් වල සත්‍යාසත්‍ය බව ප්‍රශ්ණ කරනවා. 

මොවුන් එසේ නොකීවත් මේ ප්‍රශ්ණය නඟන්නේ බටහිර විද්‍යාව වෙනුවෙනුයි. නමුත් බටහිර විද්‍යාවට මෙතන ප්‍රශ්ණය ප්‍රත්‍යක්‍ෂයෙන් ලැබෙන දැනුම් සත්‍යයද අසත්‍යයද යන්න නෙවෙයි. ඊට වඩා මූලික ප්‍රශ්ණයක් බටහිර විද්‍යාවට තියෙනවා.


ප්‍රත්‍යක්‍ෂයෙන් දැනුම් ලබා ගත හැකිය යන්නම බටහිර විද්‍යාවට ප්‍රශ්ණයක්. මෙතන ප්‍රත්‍යක්‍ෂයක් කියන්නේ පංචේන්ද්‍රියක ආධාරයක් නැතිව දියුණුකල මනසින් පමණක් ලබාගන්නා දැනුමක්. ප්‍රධාන ධාරාවේ බටහිර විද්‍යාවට ප්‍රත්‍යක්‍ෂයෙන් දැනුම් ලබා ගැනීමට ක්‍රමයක් නැහැ. එවැන්නක් එහි ඉගැන්වෙන්නේවත් එවැනි දේවල් කලහැකි කියාවත් පිළිගැනෙන්නේ නැහැ. ඒ නිසා ප්‍රත්‍යක්‍ෂයෙන් දැනුම් ලබා ගත හැකිය යන්නම ප්‍රතික්‍ෂේප කිරීමට බටහිර විද්‍යාවට දේශපාලන අවශ්‍යතාවක් තියෙනවා. 

නමුත් බටහිර විද්‍යාව වෙනුවෙන් මේ දේශපාලන අවශ්‍යතාව ඉටු කරන්ඩ ඉදිරිපත් වෙන එහි අනුගාමිකයින්ට (ඔවුන් එසේ කරතැයි ඔවුන් පිළිගන්නේ නැතිවෙන්ඩ පුළුවන්) තමන් කරන දේ ගැන පැහැදිලි අවබෝධයක් නැහැ. ඔවුන් ප්‍රත්‍යක්‍ෂ දැනුම් වල සත්‍යාසත්‍ය බව සොයන්නට මනසින් බාහිර සුවාදීන ක්‍රමයක් ඉල්ලනවා. මනසින් තොර නම් ඔවුන්ට එය කල හැක්කේ පංචේන්ද්‍රියන්ට හසුවෙන ක්‍රමයකිනුයි. ඒ අනුව ඔවුන් ප්‍රත්‍යක්‍ෂ දැනුම් පිළිගත හැකි යැයි කියන්නේ ඒවා පංචේන්ද්‍රියන්ට හසුවුනොත් පමණයි. 

නමුත් ඔවුන් නොදන්නා දේ තමයි බටහිර භෞතික විද්‍යාවේ පංචේන්ද්‍රියන්ට තබා මනසටවත් හසුනොවෙන සංකල්ප ඇති බව. නමුත් ඒ හේතුව මත බටහිර භෞතික විද්‍යාවේ දැනුම් ප්‍රතික්‍ෂේප කිරීමට මොවුන් කිසිවෙක් ඉදිරිපත් වෙන්නේ නෑ. මෙතන තියෙන්නේ කුහක කමක් නෙවෙයි බටහිර දැනුමේ දේශපාලනයට යටවීමක්
අවාසනාවකට අපි බොහෝ දෙනා වැඩ කරන්නේ බටහිර විද්‍යා දැනුමේ දේශපාලන බලයට යටවෙලයි. අඩු තරමින් අපි එය පිළිගත යුතුයි.

Thursday, January 19, 2017

එක ගලෙන් කුරුල්ලෝ දෙන්නෙක්

සෝභිත, රතන සහ ඥාණසාර යන හිමිවරු තිදෙනාම අවසානයේ ජාතිකත්වයට එරෙහිව ගියහ. මේ හිමිවරු තිදෙනාම සිංහලුන්ගේ සතුරන් විසින් මෙහෙයවනු ලැබිනි. සංඝයා වහන්සේලා ජාතියට එරෙහිව යොදා ගැනීමට සතුරන්ට හේතු ඇත. සිංහලයෝ සංඝයා වහන්සේලාට සලකන්නේ ජාතියේ මුර දේවතාවුන් හැටියටය. එය අදටත් එසේමය. එය එසේම විය යුතුය. අපි මේ හිමිවරුන් තිදෙනාට පහසුවෙන් රැවටුනේ එබැවිනි. අපේ සතුරෝ අපි එසේ රැවටෙන බව දැනගෙන සිටියහ. නමුත් මේ පළමු කොටස පමණය...

ජාතිකත්වයට එරෙහිවෙන සංඝයා වහන්සේට අපිද එරෙහි වෙන්නෙමු. අපේ සතුරෝ මේ විරෝධය අර හිමි වරුන්ට පමණක් එල්ලවෙන විරෝධයක් ලෙස නොතකා පොදුවේ සියලු සංඝයාවහන්සේට පරිභව කිරීමට ඒ අස්වැසිල්ල යොදා ගනිති. අපි සෝභිත, රතන හෝ ඥාණසාර හිමිවරුන්ට විරුද්ධ වෙනවිට එය උපයෝගී කරගෙන අපේ සතුරෝ ඒ අතරේ මුලු සංඝ සමාජයටම පහර ගසති. මේ දෙවෙනි කොටසය. එක ගලෙන් කුරුල්ලෝ දෙදෙනෙකි. 


මංගල සමරවීරලා හාමුදුරුවරු චීවර දාරීන් ලෙස හඳුන්වන්නේ මේ ක්‍රමයට අනුවය. රනිල් වික්‍රමසිංහ නායක හාමුදුරුවරුන්ට පරිභව කරන්නේත් මේ ක්‍රමයට අනුවය. තවත් අය ඉදිරිපත් වෙනු ඇත. රතන හිමිට ඥාණසාර හිමිට උඩ පැන පැන ගසන්නන් අතර ලිබරල්වාදීන් වාමවාදීන් යහපාලන ක්‍ෂමාලාපකයින් ආදී නන්නත්තාරවූ සිංහල බෞද්ධ විරෝධීන් නැද්ද? මොවුන්ගේ අරමුණ හාමුදුරුවන්ට ගැසීම කැප දෙයක් සාමාන්‍ය දෙයක් බවට සමාජ ගත කිරීමටය.

අපි සතුරන් අතට පත්වී ජාතියට එරෙහිවන හිමිවරුන් එළිදරව් කලයුතුවෙමු. එපමණකින් නොනැවතී මංගලලා රනිල්ලාගේ ක්‍රමයද පරාජය කල යුතු වෙමු. අපි අවධියෙන් නොසිටියොත් අපේ විරෝධය පොදු බෞද්ධ විරෝධයක් තුල ගිල්වන්නට අපේ සතුරන් ක්‍රියාකරනු ඇත.

Monday, January 16, 2017

ඉඩම් කොල්ලය

අද එක අතකින් සංවිධානාත්මක ජාතිවාදී කල්ලි රටේ ඉඩම් කොල්ල කමින් ඉන්නවා. තව අතකින් ආණ්ඩුව අක්කර දහස් ගණන් ඉඩම් විදේශිකයින් අතට පත් කර දෙනවා. තවත් අතකින් දෙමළ මුස්ලිම් වර්ගවාදීන් විසින් රටේ ඇතැම් ප්‍රදේශ සිංහලුන්ට තහනම් කලාප කරමින් ඉන්නවා. ඊටත් එහා ගිහින් රනිල් වික්‍රමසිංහ ව්‍යවස්ථාව හරහා රාජ්‍යයේ ඉඩම් බලතල දිය කරල දාන්ඩ හදනව. මේ සියල්ලෙන්ම පුද්ගලිකතවත් ජාතියක් වශයෙනුත් බැට කන්නෙ සිංහලයින්. 

සිංහලුන්ගේ ඉඩම් කොල්ල කෑමට ලක්වුනේ අද ඊයේ විතරක් නෙවෙයි. ඉංග්‍රීසින් 1840 අනවසර ඉඩම් පනත ගෙනාවෙත් ඉඩම් කොල්ලකන්ඩ. මේ පනතින් කිව්වෙ අවුරුදු තිහකට වඩා භුක්ති විඳි බව ඔප්පු කරන්ඩ බැරි ඉඩම් ඉංග්‍රීසි ආණ්ඩුවට අයිති වෙන බවයි. සිංහල ආණ්ඩු ක්‍රමය යටතේ ඉඩම් වලට ලිය කියවිලි තිබුනේ නැති බව ඉංග්‍රීසින් දැන ගෙන තමයි මේ පනත ගෙනාවෙ. ඒ නිසා එතන සිද්ධවුනේ කොල්ලකෑමක් මිසක් වෙන දෙයක් නෙවෙයි. නීතිය කොල්ලකෑම සඳහා යොදාගැනීමක්. මේ පනතින් අක්කර දහස් ගණනක් රාජසන්තක වුනා. ඉංග්‍රීසින් එතනින් නැවතුනේ නැහැ මිනිස්සුන්ට දරා ගන්ඩ බැරිවෙන්ඩ බදු පැනෙවුවා. ඒවා ගෙවා ගන්ඩ බැරි සිංහල ගොවියෝ ඉඩම් අතහැර ගියා. නැවතත් ඉංග්‍රීසීන් 1897දී මුඩු ඉඩම් පනතක් ගෙනැල්ලා වගා නොකරපු ඉඩම් ඉංග්‍රීුසි ආණ්ඩුවට පවරා ගත්තා. මේ ආකාරයට ඉඩම් අහිමි වුණේ මේ රටේ සිංහලුන්ට මිසක් වෙන කාටවත් නෙවෙයි. මේ ඉඩම් කොල්ලය නිසා සිංහලුන්ට පුද්ගලිකවත් ජාතිය වශයෙනුත් සිදුවුනු අගතිය තවමත් කෙලවර වෙලා නැහැ.

සිංහලුන්ගෙන් කොල්ලකාපු ඉඩම් මුලින් කෝපි වවන්ඩත් පසුව තේ වවවන්ඩත් විදේශිකයින්ට ලබා දුන්නා. තේ වගාව නිසා කඳුකර ප්‍රදේශවල භූමියට පරිසරයට විතරක් නෙවෙයි රටේ දේශගුණයට වෙලා තියෙන හානිය ගැණිය හැකිද? 

සිංහලුන් හේන් වගා කල ඉඩම් වලට ඔවුන්ට ඔප්පු තිරප්පු තිබුනේ නෑ. ඉංග්‍රීසින්ගෙ පනත් නිසා සිංහලුන්ගේ
හේන් ඉංග්‍රීසින්ට අයිතිවුනා. හේන් වගාව අභාවයට ගියා. ඒත් එක්කම හේන් වල වවපු භෝග වර්ග සිංහලුන්ට අහිමිවුනා. ඒකෙන් සිංහලුන්ගේ ආහාරය බත් මතම පදනම්වුනු එකක් බවට පත්වුනා. එයින් වුනු හානිය ගැණිය හැකිද? 

ඉංග්‍රීසින්ගේ වතුවල වැඩ කරන්ඩ දකුණු ඉංදියාවෙන් කුලියට මිනිස්සු ගෙනාව. ලංකාවට ඊනියා නිදහස ලැබෙන කොට එක්කෝ මේ අය ඉංදියාවේ නැත්නම් බ්‍රිතාත්‍යයේ පුරවැසියන් බවට පත්වෙන්ඩ ඕනෙ. නමුත් ඔවුන්ට ලංකාවේ පුරවැසිකම ලැබුනා. ඇංග්ලිකන් සංස්කෘතියේ රටක පුරවැසිභාවය ලබා ගන්ඩ අඩු තරමින් ඉංග්‍රීසී භාශාව දැන ගෙන සිටිය යුතුයි. නමුත් මේ අයට සිංහල භාශාව කථා කරන්ඩ හරි මේ රටේ සංස්කෘතියට අවශෝෂණය වෙන්ඩ හරි බලපෑමක් තිබුනෙ නෑ. අදටත් වතු කරයේ දෙමළ ජනතාව දේශපාලණිකව යොදා ගැනෙන්නේ සිංහලුන්ට එරෙහිව. 

ඉඩම් අහිමි වෙච්ච සිංහලුන්ටයි ඔවුන්ගේ මතු පරම්පරාවලටයි වුනු හානිය ගැණිය හැකිද? අද ජීවත්වෙන මධ්‍යම පංතික පවුලක් සැලකුවොත් ඔවුන්ට ඒ තත්වයට එන්ඩ ඔවුන්ගේ ඉහත පරම්පරාවලට ඉඩම් සතු වීම කෙතරම් බලපෑවා යැයි සිතනවාද? එහෙනම් ඉඩම් කොල්ලකෑමට ලක්වුනු සිංහලුන්ගේ මතු පරම්පරාවලට අත්වුනු ඉරණම කෙතරම්ද සාහසික විය හැකිද?

ඉංග්‍රීසින් යටතේ ඉඩම් අහිමිවුනේ සිංහලුන්ට ඉන් අගතියට පත්වුනේ සිංහල ජාතිය. අදත් එවැනිම ඉඩම් කොල්ලයක් සිදුවෙමින් පවතිනවා. එයිනුත් අගතියට පත්වෙන්නේ සිංහල ජාතියයි.  ජාතියක් පවතින්ඩ ඔවුන්ට භුමියක හිමිකමක් තියෙන්ඩ ඕනෙ. ඒ හිමිකම වෙනුවෙන් පෙනී සිටින රාජ්‍යයක් තියෙන්ඩ ඕනෙ.

Thursday, January 5, 2017

ලොකුම මංකොල්ලය

මහ බැංකු හොරකම මේ රටේ සිදුවුනු ලොකුම මංකොල්ලය නෙවෙයි. මේ රටේ සිදුවුනු, සිදුවෙමින් පවතින ලොකුම මංකොල්ලය ජනතාවගේ ස්වාධිපත්‍යය කොල්ලකෑමයි. රජීව් විජේසිංහ කියන විදිහට එක්සත් ජාතික පක්‍ෂ නායකයා බැංකු හොරකමේ සල්ලි එජාප ඡන්ද ව්‍යාපාරයට යෙදෙවුවා නම් මහ බැංකු හොරකමත් ජනතා ස්වාධිපත්‍ය කොල්ලකෑමේම කොටසක් වෙනවා.

ජනතා ස්වාධිපත්‍යය කොල්ලකන්නේ ප්‍රජාතන්ත්‍රවාදයේ නමින්. අද රාජිත සේනාරත්න ඕන කෙනෙකුට පෙලපාලි යන්ඩ පුළුවන් කියා කියන්නේ මහින්ද රාජපක්‍ෂ යුගයේත් පෙලපාලි ගිය බව අමතක වෙලා නොවෙයි. අඩු තරමින් මහින්දගේ රජය පෙලපාලි වලින් පරාජය කරන්ඩ පුළුවන් වුනා. නමුත් අද ආණ්ඩු විරෝධී ජනතාවගේ හැඟීම් සම්බන්ධන්ගේ නිල විපක්‍ෂය මඟින් පාර්ලිමේන්තුව තුල නියෝජනය වෙන්නේ නැහැ. ආණ්ඩුවට විපක්‍ෂයෙන් බලපෑමක් නැත්නම් මිනිස්සු පාරට බැහැලා වැඩක් තියෙනවද? ප්‍රජාතන්ත්‍රවාදය නැති කරල තියෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදයෙන්මයි.

ජාතිකවාදී සිංහලුන්ගේ ස්වාධිපත්‍යය නැති කිරීම ප්‍රජාතන්ත්‍රවාදීයි කියන තැන තමයි රනිල්ලා රාජිතලා සුමන්දිරන්ලා විතරක් නෙවෙයි ජඩපාලනයට කඩේ යන ඊනියා උගත්තුත් ඉන්නෙ. මේ පදනම උඩ ඉඳන් තමයි රාජපක්‍ෂලා මොන විදිහකින් හරි දේශපාලනයෙන් අයින් කිරීමට කටයුතු කරන්නෙ. මහ මැතිවරණයට කලින් සිකුරාදා දවසක සංධානෙ ලේකම් අස් කලාම අනුර කුමාරට දැක්කද අපේ වැඩ කියල උදම් අනන්ඩ තරම් උන් හිටි තැන් අමතක වුනේ මේ අය සිංහලුන්ගේ ස්වාධිපත්‍යය නැති කිරීම සාධාරනීය කරන නිසයි. මේ ආණ්ඩුව පත්වුනෙත් පවත්වාගෙන යන්නෙත් සිංහලුන්ගේ ස්වාධිපත්‍යය මංකොල්ල කන්ඩ.

ජනතා ස්වාධිපත්‍ය නැති නොකර කරන්ඩ බැරි දෙයක් තියෙනවා. ඒ තමයි බලය බෙදීම. මොවුන් අපේ ස්වාධිපත්‍ය කොල්ලකන්නේ මේ රටේ බලය බෙදලා මේක දුර්වල රාජ්‍යයක් කරන්ඩ. බලය බෙදුවාට වෙල්ලාලයින් හිතන විදිහට ඔවුන්ට දෙමළ රාජ්‍යයක් මේකෙ හදන්ඩ ඉංදියාව ඉඩ දෙන්නේ නෑ. වැඩිම වුනොත් මේ මුලු රටම ඉංදියාවේ ආර්ථික දේශපාලනික සහ සංස්කෘතික කක්කුසිය වේවි. එදාට රනිල්ලා රාජිතලා සුමන්දිරන්ලාට ශතුටු වෙන්ඩ පුළුවන් මේක කක්කුස්සියක් වුනත් කමක් නෑ එකෙන් සිංහලුන්ට රටක් නැතිවුනානෙ කියලා.