Friday, December 9, 2016

කොටි සංහාර වෙනුවෙන් වගකිය යුත්තෙක් නැද්ද?

1990 ජූනි මාසෙ දවසක එවකට ජනාධිපතිවරයාවූ ආර් ප්‍රේමදාස ගේ අණ පරිදි අවි බිම තැබූ පොලිස් නිළධාරීන් හයසිය ගණනක් ජීවග්‍රහයෙන් අල්ලා ගෙන ගොස් කොටි ත්‍රස්තවාදීන් විසින් ඝාතනය කරනවා. මිනිස්සු හයසීයක් කියන්නෙ කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරය වගේ දෙකක් පුරවන්ඩ පුළුවන් මිනිස්සු තොගයක්. මොවුන් ඝාතනය කරපු හැටි අවශ්‍යනම් අයිසිස් ත්‍රස්තවාදීන්ගේ ජනප්‍රිය වීඩීයෝ පට වලින් හිතා ගන්ඩ පුළුවන්. මොවුන් මිය යන්නේ සාමාන්‍ය අවි සටනකදී නෙවෙයි. මොවුන් ඝාතනය කෙරෙන්නේ යටත්වූ පසුයි. නමුත් ඊටත් වඩා වැදගත් මොවුන් යටත් වෙන්නේ සටනකින් පැරදුන නිසා නොවෙයි. මොවුන් යටත් වෙන්නේ රටේ ජනාධිපතිවරයා ඔවුන්ට යටත් වෙන ලෙස අණ දුන් නිසයි. 

මේ අවධියේ කොටි ත්‍රස්තවාදීන් සමඟ ප්‍රේමදාස සාම ගිවිසුමක් ගහගෙන හිටිය. මේ පොළිස් නිළධාරීන්ගෙන් අඩක් හිටියෙ මඩකලපුවෙ පොළීසියෙ ඔවුන්ට දීල තිබුන ස්ථාවර නියෝගය තමයි කිසිම අවස්ථාවක කොටින්ට එරෙහිව ගිනි අවි භාවිතා නොකරන ලෙස. ඒ සාමය කැඩෙයි කියන බයට. කොටි ඇවිත් මඩකලපුවෙ පොළීසියෙ අයට යටත් වෙන ලෙස නියෝග කලාම ප්‍රේමදාසගේ අන පරිදි මේ අය අවි කොටින්ට දීල යටත් වෙනවා. නමුත් කල්මුණේ පොළීසියේ හිටපු තවත් තුන්සීයක් පමණ දෙනා ඒඑස්පී බොතේජු යටතේ ඒ අන නොතකා සටන් කරනවා. බොතේජු ගුවන් ප්‍රහාරක යානා සහාය තමන්ට ලබා දෙන ඉල්ලුවත් ඔහුට එය ලැබෙන්නේ නෑ. ඔවුන් කොටින්ට දරුණු ප්‍රහාරයක් දීල ඔවුන් දුබල කරවනවා. සටන යන අතරේ ප්‍රේමදාස පොළිස්පති අර්නස්ට් පෙරේරාව මඩකලපුවට ගුවණින් යවලා බොතේජුට යටත් වෙන ලෙස බල කරවනවා. යටත්වුනොත් මරණය අත්වෙන බව දැන දැනත් යටත් වෙන්ඩ නියෝග කිරීම නීති විරෝධී බව පසු කලෙක මේ සිද්ධිය උගත් පාඩම් සහ ප්‍රතිසන්ධාන කොමිසමට සාක්‍ෂි සපයන ටාසි සෙනවිරත්න පවසනවා. කෙසේ නමුත් අර්නස්ට් පෙරේරාගේ බලපෑම මත බොතේජුයි ඔහුගේ පිරිසයි සටන නවත්වනවා. අවසානයේ බොතේජුගෙ රණ විරුවනුත් ඇතුළු නැඟෙනහිර පළාතේ සේවය කල පොළිස් නිළධාරීන් හයසියයට වඩා වැඩි ගණනක් තිරිකුණාමලේ වන ලැහැබක ඝාතනය කෙරෙනවා.

නමුත් ප්‍රේමදාස මේ විරුවන්ගේ ජීවිත ගැන වගකීමක් ඒ අවස්ථාවෙදිවත් ඊට පසුවවත් ගත්තේ නෑ. ඒ අකුසල කර්මයට දායකවීමේ ආනිසංස ප්‍රේමදාස මේ භවයේම විඳෙව්වා විය හැකියි. පව් සමාවීමක් බුදුදහමේ නැති නිසා කරපු පව් වලට සමාව ඉල්ලීමත් තේරුමක් නැති වැඩක්. බෞද්ධයැයි කියන වත්මන් අගමැති වරයා ඒ බව දන්නවාදැයි කිව නොහැකියි. නමුත් බෞද්ධයින්ට කල හැකි දේවල් තියෙනවා ඒතමයි වගකීම භාර ගැනීම, එවැනි වැරදි අනාගතයේදී නොකෙරීමට පොරොන්දුවීම සහ අගතියට පත් අයට යුතුකම් ඉශ්ඨ කිරීම. මඩකලපුවේ නිරපාදේ ඝාතනය කෙරුනු පොළිස් විරුවන්ගේ ජීවිතවල වගකීම ප්‍රේමදාස හෝ එකල එක්සත් ජාතික පක්‍ෂ ආණ්ඩුව නොගත් නිසා අඩුම වශයෙන් එම පක්‍ෂයේ වත්මන් නායකයා වන අගමැති වරයා ඒ වගකීම දැන්වත් භාරගත යුතුයි. 

දැන් එල්ටීටීය මේ සංහාරයෙන් සහ වෙනත් නිරායුධ සිවිල් වැසියන් ඝාතනය කෙරීම් වල වගකීමෙන් නිදහස්ද? ඔවුන්ගේ නායකයින් මිය ගොස් ඇති නිසාත් එම සංවිධානය දැන් නැතැයි කියන නිසාත් එල්ටීටියට ඒ වගකීම හිමි වන්නේ නැද්ද? එමෙන්ම යුධ අපරාධ චෝදනා රජයේ ආරක්‍ෂක අංශවලට පමණක් එල්ල වන්නේ එල්ටීටියට චෝදනා එල්ල කිරීමට එල්ටීටියක් නැති නිසාද? ඒ කියන්නේ වසර තිහක් තිස්සේ කොටි මේ රටේ කරපු සංහාරයන් වලට වගකීමක් ගන්ඩ කිසි කෙනෙක් නැති බවද?

එහෙම වගකීමක් නොගෙන ඉන්ඩ ඉඩ දෙන්ඩ තිබුනා නන්දිකඩාල් විසඳුම විසඳුමක් හැටියට පිළිගන්නවානම්. එහෙම නම් කොටි සංවිධානයත් නෑ කොටි පෙනී හිටිය දේශපාලනයත් නැහැ. අහවරයි. නමුත් කොටි පෙනී හිටිය බෙදුම්වාදී දේශපාලනය ඒ ආකාරයටම බලහත් කාරයෙන් සිදුකෙරෙනවා නම් කොටි ඝාතන පිළිබඳ වගකීමත් ඒ දේශපාලන ක්‍රියාකාරීන් භාරගත යුතුයි. 

රනිල්-සිරිසේන ආණ්ඩුව කොටි දේශපාලනය එලෙසම ඉදිරියට ගෙනයනවා. අද දෙමළ සහ මුස්ලිම් ජාතිවාදීන් උතුර සහ නැඟෙනහිර පළාත් සිංහලුන්ගෙන් මුක්ත කලාපයක් බවට පත් කරන්නේ මේ ආණ්ඩුවේ අනුදැනුම ඇතිව. ඊලඟට මේ ආණ්ඩුව නව ව්‍යවස්ථාවක් හදල රට දෙකඩ කරන්ඩ යනවා. ප්‍රභාකරන් පෙනී හිටියෙත් මේ දේශපාලනය වෙනුවෙන් මිසක් වෙන එකක් වෙනුවෙන් නෙවෙයි. අදත් උතුරු නැඟෙනහිර පළාත් වල සිංහලුන්ට වාසය කරන්ඩ බැරි කරන්නේ බලහත්කාරයෙන්. ව්‍යවස්ථාව වෙනස් කරලා රට බෙදන්ඩ යන්නෙත් බලහත්කාරයෙන්. ප්‍රභාකරන් කලෙත් බලහත්කාරයෙන් අද ඉන්න මධ්‍යස්ථයි ලිබරල් යැයි කියාගන්නා දේශපාලඥයින් කරන්නෙත් බලහත් කාරයෙන්. එහෙම නම් රනිල්-සිරිසේන ආණ්ඩුවත් එය වටා සිටින ඊනියා උගතුන් එන්ජීඕ ක්‍රියාකාරිකයින් ආදීනුත් ප්‍රභාකරන්ට වඩා වෙනස් වන්නේ කොහොමද? 


නන්දිකඩාල් විසඳුම පිලිනොගන්නවා කියන්නේ පහුගිය අවුරුදු තිහ එලෙසම ගලාගෙන යන්ඩ ඕනෙ කියල ඉල්ලන එකයි. නන්දිකඩාල් විසඳුම පිළිනොගන්නේ නම් මේ හැත්ත බුරුත්තම කොටි ත්‍රස්තවාදීන්ගේ සමූල ඝාතනවලට වගවිය යුතුයි.

No comments:

Post a Comment