Thursday, December 22, 2016

වංසේ

තාත්තාගේ මිතුරන් ඔහු ඇමතුවේ වංසේ කියාය. තාත්තා ඉපදුනේ කුරුණෑගල වේරවැල්ල කියන ගමේය. වේරවැල්ල ඇත්තේ ඉඳුල්ගොඩ කන්ද පාමුලය. කන්දේ අනිත් පැත්තේ ඇත්තේ කටුපිටියය. අපේ අම්මා කටුපිටියේය. මේ දෙන්නා මුණ ගැහී තිබුනේ ඉඳුල්ගොඩ කන්ද මුදුනේ තිබුනු පාසැලේදීය. ඔවුන්ගේ ආදර කථාව මා නොදන්නේ එවැනි දේ ගැන අපි දෙමව්පියන් සමඟ කථා බස් නොකල නිසාය. පාසල් නිවාඩුවට ගමේ ගිය විටකදී මා ඉඳුල්ගොඩ කන්ද නැග ඇත්තෙමි. දිනපතා එහි ඉහල පහල යෑම ලේසි පාසු නැත. 

අපේ සීයලා ජීවත්වුනේ ගොවිතැනින් කරලාය. තාත්තලාගේ නිවස කටු මැටියෙන් තැනූ බිම ගොම ඇතිරවූ පොල් අතු සෙවිලි කල ගෙයක් විනි. සාමාන්‍යයෙන් මේවා දුප්පත් බවේ සංකේත ලෙස සැලකුනත් තාත්තලා දුප්පත්තු නොවිනි. ඔවුන් කවදාවත් තමන් දුප්පත් යැයි සිතුවේත් නැත. 

තාත්තා වැඩි දුර ඉගෙන ගත්තේ නැත. මා නවේ පංතියේ පමණ සිටින කාලේ වරක් ජ්‍යාමිතිය ගැටළුවක් විසඳාගත නොහැකිව තාත්තාගෙන් විමසුවෙමි. තාත්තා පාසලේදී ජ්‍යාමිතිය ඉගෙන ගත්තාදැයි මම නොදනිමි. ඒත් ඔහු දස අතේ කල්පනා කරමින් පැයක් පමණ ඒ සමඟ ඔට්ටු වුනේය. අවසානයේ විසඳුමක් ලැබුනේ නැත. මට කියාදීමට නොහැකි වීම ගැන තාත්තා දුක් වුනි. ඒ හැරෙන්නට සාමාන්‍යයෙන් උගතෙක් නොවීම ගැන
තාත්තා දුක් වුනේ නැත. 

අපේ තාත්තා උගතෙක් නොවේ. තාත්තා කිසිවෙටකත් උගතෙක් ලෙස පෙනී සිටියේවත් එලෙස හැසිරුනේවත් නැත. ඔහු බොහෝවිට සමාජයේ හැසිරුනේ කථා බහ කලේ නූගත් තාලෙටය. සමහරවිට මේ හැසිරීම් කුඩා කල මගේ මවත් අපවත් අපහසු තාවට පත් කෙරිනි. නමුත් වයසට යනවිට මා තේරුම් ගත්තේ මටද ඒ නූගත් හැසිරීම් රටාවම පිහිටා ඇති බවය. වෙනස තාත්තා මෙන් නොව මා උගතෙකු ලෙස පෙනී සිටීමය. 

තාත්තා නූගතෙක් වූයේ බටහිර දැනුමෙහිය. ඒ නූගත්කම හා අන්‍යෝන්‍ය වශයෙන් බැඳුනු තවත් ලක්‍ෂණයක් විය. ඒ තාත්තාගේ නිහතමානීකමය. තාත්තාගේ නොයෙකුත් වැරදි තිබිනි. ඔහුට නිතර තරහ ගියේය. තරහ ගිය විට ඔහු බැණ වැදිනි. නමුත් ඔහු එසේ කලේ තමන් පිළිබඳ මානයකින් නොවේ. තාත්තාට හීනමානයක්වත් අධිමානයක්වත් නොතිබිනි. කොටින්ම මට සාපේක්‍ෂව ඔහු නිහතමානී විය. 

මා විශ්ව විද්‍යාලයෙන් පිටවී පශ්චාත් උපාධිය සඳහා රට යෑමට උත්සාහ කරමින් සිටියදී තාත්තා මට ඔහු වැඩ කල ආයතනයේ රස්සාවක් සොයා දෙන්නදැයි විමසීය. එකල මගේ මාන්නේ තරමට එවැනි රස්සාවක් මට තරම් නොවිනි. නමුත් තාත්තාට එහි වගක් නොතිබිනි. 

තාත්තා ජනප්‍රිය සමාජශීලී පුද්ගලයෙක් නොවිනි. මිතුරන් ඔහුට කිට්ටුවූයේ ඔහු අලි වංසයෙන් නොසිටි නිසා විය යුතුය. ඔහුට මාන්නයක් නැතිවීමත් ඔහුගේ නූගත්කමත් අතර සම්බන්ධයක් තිබිනි.  මා කියන්නේ උගත්කම නිසා ලැබෙන සමාජ තත්වය නිසා ඇති වෙන මාන්නයක් ඔහුට නොතිබුනා කියා නොවේ. මේ වෙන එකකි. 


බටහිර දැනුමෙහි උගත්කමම මාන්නයක් ගෙන දෙයි. බටහිර දැනුම අපට කියා දෙන්නේ වාස්ථවික අර්ථයෙන් ලෝකයක් ඇති බවය. උගත්තු සිතන්නේ ඒ වාස්ථවික ලෝකයේ වැඩ වෙන විදිහ ගැන ඔහුන් දැනුවත් යැයි කියාය. එය මාන්නයකි. ඒ මාන්නය නිසා උගත්තු අනිත්‍යය දුක අනාත්මය අවබෝධ කරගැනීමෙන් ඈත් කරවයි. තාත්තාට එවැනි මාන්නයක් නොතිබිනි. තාත්තාට පමණක් නොවේ ඔහුගේ පරම්පරාවේ බොහෝ දෙනෙකුට එවැනි මාන්නයක් නොතිබිනි. කලකට ඉහතදී මෙරට සමාජයම පොදුවේ ගත්විට නිහතමානී වන්නට ඇත. අවාසනාවකට අද සමාජයේ ඒ නිහතමානී කම නැත.

පසුගිය දා තාත්තා අප අතහැර ගියේය. තාත්තේ නුඹට නිවන් සුව අත්වේවා!

8 comments:

  1. මේ බ්ලොග් එකට කමෙන්ට් නැත්තේ ඇයි

    ReplyDelete
  2. එතුමාට නිවන් සුව අත් වේවා කියල අපිත් ප්‍රාර්ථනා කරනව.

    ReplyDelete
  3. පියා මිය යාම පුතෙකුට ලොකු වේදනාවක් ගෙන දෙන කරුණක් බව මම මීට වසර හයකට කලින් දැන ගත්තා.

    ඊට කාලයකට පෙර තාත්තා ජීවත්ව සිටින කාලයේ මගේ මිතුරෙකු ගේ පියා ගේ අභාවය අසා මා ඔහුට ලියූ කවි පන්තියක් මෙතැනට අදාල නිසා යොදන්නම්!

    පියා මිය ගිය පුවත
    ලැබ සිත වුවද කම්පිත
    සඟවා කඳුළු නෙත
    මා කියන බස අසන් පිය මිත

    උපන්නොත් මෙලොවේ
    දිනක මරණය හිමිවේ
    මෙය බුදු දහම වේ
    සියළු දේ ලොව නැසෙන සුළු වේ

    ඔබ අද ලැබූ එම
    දුක් බරිත පණිවිඩයම
    මතු දිනයකදි මම
    ලබන්නෙමි නැත කිසි සැකක් හෙම

    එය අවසන නොවේ
    දුක එලෙස නිම නොමවේ
    අප පුතුනට ලොවේ
    දිනෙක මේ දුක් පුවත හිමි වේ

    අප කුඩා කල දී
    හොඳ නරක පහදා දී
    ගුණ දම් කියා දී
    පිය මෙහෙය දෙවි කමට පරදී

    අප උපන්දා සිට
    පියවරුන් කල සේවෙට
    ඇති ණය ගෙවන්නට
    කෙලෙස නම් හැකි වේද අප හට

    දුක් වන්නට එලෙස
    කාරණා නැත කිසි ලෙස
    මා කියන මේ බස
    අසා සැනසෙන් මා මිතුර යස

    ගත් ණය ගෙවන්නේ
    ආපස්සට නොවන්නේ
    පිය නම රැකෙන්නේ
    ඉදිරි පරපුර රැකුනොතින්නේ

    පිය ගුණ සිහි කරමු
    හොඳ දූ පුතුන් සාදමු
    හොඳ පියවරුන් වෙමු
    පියාණන් ණය එලෙස පියවමු!

    ReplyDelete
  4. අනිච්චා වත සංඛාරා. අපි ඔහුට නිවන් සුව පතමු.

    ReplyDelete
  5. මරණය ගැන දන්නේ නම් කෙසේ හෝ අවසාන ගෞරවයට හෝ පැමිණිය හැකිව තිබුණි. මා ඇසුරු කළ සුළු දින කීපයේදී ඔහු කෙතරම් නිහතමානී, විනෝදජනක පුද්ගලයෙකුදැයි මම හඳුනා ගතිමි...
    නිවන් සුව පතමි.

    ReplyDelete
    Replies
    1. 26 වෙනි සඳුදා මෘත දේහය බොරැල්ල ජයරත්න මල් ශාලාවේ තැබෙන අතර අදාහනය බොරැල්ල කනත්තේදී එදින පස්වරු 5ට සිදුකෙරේ

      Delete
  6. https://www.youtube.com/watch?v=DI8B4JbOnAo

    https://www.youtube.com/watch?v=quLdpMvDlhQ

    ReplyDelete
  7. https://www.youtube.com/watch?v=quLdpMvDlhQ

    ReplyDelete