Saturday, December 3, 2016

කුල සහ කාස්ට්

කමලිකා පීරිස් මේ සතියේ අයිලන්ඩ් පුවත් පතට බෙරවා කුලය ගැන ලිපියක් ලියමින් පාරම්පරිකව උඩරට නැටුම් වැයුම් ශිල්පය පවත්වාගෙන ආපු පරම්පරාවල මිනිස්සුන් ගැන මේ රටේ මිනිස්සු දරන දරපු ආකල්ප ගැන විස්තරයක් කරනවා. මෙහිදී කමලිකා පීරිස් ඉස්මතු කරන්නේ නුවර ජීවත්වුනු මිනිස්සු බෙරවා කුලයේ මිනිස්සුන් පහත් යැයි සැලකුවත් කොළඹ නගරයේ ජීවත්වුනු උගත් යැයි සම්මත මිනිස්සු ඔවුන්ට සමසේ සැලකු බවයි. උදාහරණයක් හැටියට 1950 ගණන්වල නුවර හිල්වුඩ් බාලිකා විද්‍යාලයේ උඩරට නැටුම් උගන්වන්ඩ යන පාරම්පරික ශිල්පිණියකට එහි දැරියන් විසින් පහත් ලෙස සැලකු බවත් උගතෙකු යැයි සිතිය හැකි චිත්‍රසේනගේ පියා සිය පුත්‍රයාට නැටුම් ඉගැන්වීම සඳහා ගෙදරට කැඳවාගත් නැටුම් ගුරුවරුන්ට ගෞරවයෙන් සැලකු බවත් එහි සඳහන්. ඒ කියන්නේ ඊනියා උගත්කම හරහා කුල වාදය පිටු දැකෙන බවයි. මේක සාමාන්‍යයෙන් අද රටේ උගත්තු පිලිගන්න කැමති කථාවක්. බොහෝ උගත්තු කුලය සාධාරන සමාජ මට්ටමක් ලෙස පිලිගන්නේ නැතිව ඇති නමුත් මටනම් මේ සම්බන්ධයෙන් නුවර මිනිස්සුන්ගේ විශේෂ නරකක්වත් ඊනියා උගතුන්ගේ විශේෂ හොඳක්වත් දකින්ඩ බැහැ. මේ දෙගොල්ලොන්ම මේ රටේ කුල ගැන දරන ආකල්ප බටහිර අධිරාජ්‍යවාදය විසිනුත් විශේෂයෙන් ඉංග්‍රීසි අධ්‍යාපනය හරහාත් ලබා ගත්ත ඒවා මිස මේ රටේ ඒ හටියටම තිබුනු දේවල් නෙවෙයි. 

විවිධ ශිල්ප සහ ශාස්ත්‍ර පාරම්පරිකව උරුමකර ගත් පිරිස් අපේ රටේ ඉන්ඩ ඇති. බටහිර නූතනත්වයේ මෙන් ඒ දැනුම් සියලු දෙනාටම එක සේ ලබා ගැනීමට නොහැකි වන්නට ඇති. ඒ නිසා මේ දැනුම් ඒ ඒ පවුල් වලට සීමා වෙන්නට ඇති. ඒක තරමක ආරක්‍ෂාකාරී පියවරක්. නමුත් ශිල්ප සහ ශාස්ත්‍ර දැනුම මතම පදනම් වෙලා ඔය කුල උස් පහත් කියන ආකාරයට ඔය පවුල්වල මිනිස්සුන්ගේ සමාජ මට්ටම නිර්ණය වුනා යැයි කීම පිලිගත නොහැකියි. හේතුව මේකයි.

අද සමාජය ගත්තත් ශිල්ප සහ ශාස්ත්‍ර ප්‍රගුණ කල මිනිස්සු තමයි සමාජයේ ඉහල මට්ටමක ඉන්නවයි කියල සලකන්නෙ. ඒ ඉහල මට්ටමට යන්ඩ නෙවෙයිද අපි අවුරුදු දොලහක් හෝ ඊට වැඩි ගණනක් ඉස්කොලෙත් ඊට පස්සෙ විශ්ව විද්‍යාලවලටත් ගිහින් ශිල්ප සහ ශාස්ත්‍ර ඉගෙන ගන්නෙ. දැන් කිසියම් සමාජයක් තියෙන්ඩ පුළුවන්ද මේ ශිල්ප ශාස්ත්‍ර ප්‍රගුණ කල මිනිස්සු පහත් යැයි සලකන? ලොවෙත් තියෙන්ඩ බැහැ නේද?

අපි දැන් මීට දෙතුන් සීයකට ඉහත ලංකාවේ ගිහි සමාජය සැලකුවොත් එහි ශිල්ප ශාස්ත්‍ර ඉහලටම ප්‍රගුණ කල මිනිස්සු කවුරුන් විය හැකිද? පැහැදිලිවම එතන ඉන්නෙ නැටුම් වැයුම් ශිල්පීන්, නැකත් ශිල්පීන්, වෙද්දු, ආචාරියො, ගනිතයෝ. චිත්‍රසේනගේ නැටුම් ගුරුවරයාවුනේ අල්ගම කිරි ගණිතයා. සමහරවිට ඔහුගේ පරම්පරාව නැටුම් ශිල්පීන් වුනාට අමතරව ගණිතයින්ද වෙන්ඩ ඇති. මේ ශිල්ප ශාස්ත්‍ර තමයි ඒ අවධියේ අපේ රටේ උසස් දැනුම් ලෙස සැලකුනේ. වෙන දැනුමක් මේ රටේ තිබුනේ නැහැනේ? එහෙම නම් අද අපි ශිල්ප ශාස්ත්‍ර ප්‍රගුණ කල මිනිස්සුන්ට ලබා දෙන සමාජ මට්ටම දිහා බැලුවහම මේ පරම්පරාවල මිනිස්සුන්ට ඒ හා සමාන උසස් මට්ටමක් එදා සිංහල සමාජයේ නොතිබුනා යැයි කියන්ඩ පදනමක් තියෙනවාද? අඩුම තරමින් ඔවුන් සමාජයේ පහත් යැයි සැලකීමට පදනමක් තිබුනාද? කිසිම පදනමක් නැහැ. උගත් මිනිස්සු පහත් වෙන්නෙ කොහොමද?

නමුත් ශිල්ප ශාස්ත්‍ර ප්‍රගුණ කල මිනිස්සු පහත් කරන්ඩ පුළුවන් විදිහක් තියෙනවා. ඒ තමයි ඔවුන්ගේ ශිල්ප ශාස්ත්‍ර පහත් කිරීම හරහා. ඉංග්‍රීසීන් කලේ ඒකයි. ඉංග්‍රීසීන්ට අපේ දැනුම් පහත් කරන්ඩ උවමනා වුනා. ඒ අනුව දේශීය දැනුම පහස් ලෙස සලකන්ඩත් බටහිර දැනුම උසස් ලෙස සලකන්ඩත් ඔවුන් අපට ඉගැන්නුවා. ඒ හරහා දේශීය දැනුම වගේම දැනුම ප්‍රගුණ කල මිනිස්සුන් පහත් තත්වයට ඇද දැමුනා. උඩරට නැටුම් කරපු බෙරවා කුලේ අයත් නැකත් බලපු නැකති කුලේ අයත් පහත් කුල ලෙස සැලකුනේ ඒ ආකාරයට. අවාසනාවකට ඒක ලේසියෙන් ඔවුන්ට කරන්ඩ පුළුවන් වුනේ අපි ශිල්ප ශාස්ත්‍ර පවත්වාගෙන ගියේ පවුලේ උරුමයන් හැටියට නිසයි. ඒ නිසා දැනුම පහත් කරනකොට දැනුම් ප්‍රගුණ කල පරම්පරාවම පහත් කෙරුනා ඒ වගේම චක්‍රීය වශයෙන් පරම්පරාව පහත් කෙරෙනකොට දැනුම් පද්ධතියම පහත් කෙරුනා. අද අපි පිලිගන්න ලංකාවේ කුල මට්ටම් සකස් කෙරුනේ ඉංග්‍රීසීන්ට අපේ දැනුම් පද්ධතිය පහතට ඇද දමන්ට තිබුනු මේ උවමණාවත් නිසයි. 1950 ගණන් වෙනකොට අපි පරම්පරා පහක් හයක් ඉංග්‍රීසීන් උගන්වපු විදිහට කුල ගැන හිතන්ඩ පුරුදුවෙලා ඉවරයි. නමුත් ඉංග්‍රීසීන්ට කලින් මේ රටේ කුල ගැන තිබුනු ආකල්ප අද තියෙන ආකල්පමයි කියන්ඩ තාර්කික පදනමක් නැහැ.

කුල ගැන කථා කරනකොට සමාන්‍යයෙන් ඉංදියාව මතක් වුනත් කාස්ට් කියන වචනය බිඳී එන්නේ කස්ටා කියන ස්පාඥ්ඥ වචනයෙන්. ස්පාඥ්ඥ ජාතිකයින් ඉතා තද බල ලෙස ඔවුන්ගේ ජාන වල පිරිසුදු බව ගැන තැකුවා. ඒ මත ගොඩනැඟුනු කුල ඔවුන්ට තිබුනා. ඒ කුල ආකල්ප ඔවුන් තමන්ගේ අධිරාජ්‍ය දකුණු ඇමෙරිකාව තුල වර්ධනය කරද්දී ක්‍රියාත්මක කලා. ඉංග්‍රීසීන්ද මේ ආකල්ප අනුකරණය කලා විය හැකියි. රොබට් නොක්ස්ද උඩරට සිරකරුවෙක් වෙන්නට පෙට කාස්ට් ගැන දැන සිටියා විය හැකියි. 

කොහොම වුනත් ඉංග්‍රීසීන්ගේ කාස්ට් අපේ කුල නෙවෙයි. ඊනියා උගත්තු කුලවාදය පිටුදැක්කත් ඔවුන් එය කරන්නේ බටහිර නූතනත්වය අනුකරණය කරමින් මිසක් මේ රටේ සංස්කෘතිය ගැන අවබෝධයකින් නෙවෙයි. අපි දේශීය දැනුම පහත් කරල සලකනතාක් කල් ඉංග්‍රීසීන්ගේ කාස්ටින් තියේවි.

6 comments:

  1. බෙරවා මහප්පරාන කියලා දෙයක් අහලා තියද?

    ReplyDelete
  2. පාරම්පරික ශිල්ප ශාස්ත්‍ර අභාවයට යාමේ ලා වැදගත්ම හේතුව ඔබ විග්‍රහ කරන බව මගේ හැඟිමයි

    ReplyDelete
  3. ඉන්දියාවේ උනත් කුල ක්‍රමය අතීතයේ උපතින් තීරණය වූ දෙයක් බවට අපිට නිර්ණය කරන්න බැහැ. කොටින්ම උපතින් නිර්ණය වෙන කුල ක්‍රමය කිසිම විදියකට තේරුම් ගන්න බැරි, "ඒක එහෙම තමා" විදියට හිතාගෙන සිටින ක්‍රමයක්.
    අවුරුදු 2500කටත් කලින් ඉදන් දියුණු ශාස්තෘ වරුන් හිටපු දඹදිව සමාජයේ " ඒක එහෙම තමා " ක්‍රමයට හිතපු බවක් විශ්වාස කරන්න අමාරුයි.
    සුබ්‍රමනියම් ස්වාමි සහ ඔහුගේ අනුගාමිකයින් මේ මතය නැවත ඉන්දියාවේ ව්‍යාප්ත කරමින් සිටිනවා. ඔවුන් සාර්ථක වේවිද කියා බලමු .

    දැනුම ගොඩ නගන පිරිස , පාලක සහ අවි දරන පිරිස, වෙළදුන් , ශ්‍රමිකයන් , විදියට ඔවුන්ගේ කොටස් හතරක් ලෙස අතීතයේ වෙන් කෙරුණ නමුත් එය උපත්තියෙන් තීරණය වීම මෑතක ඇති වී, බලය ඇති පිරිස සහ දැනුම ගොඩනගන අය සහ අතර තිබුන සම්බන්දය වෙනස් වීම නිසා අද පවතින උපතින් තීරණය වුන ක්‍රමයක් බවට පරිවතනය වුන බව තමා මට නම් හිතෙන්නේ.
    කොහොමත් අද වෙනවිට අපේ සංස්කෘති වල දැනුම , මතවාද හැදෙන් නැති නිසාත්, ඒ හැදුනත් ආර්ථික ක්‍රමය සම්පුර්ණයෙන්ම බටහිර 'බ්‍රාහ්මණයන් ' විසින් නිපදවන මතවාද උඩ දුවන නිසා අපි මේ දුවන විදියෙන්ම දුවනවා මිසක්, තේරුමක් ඇති ක්‍රමයකට හැරෙන බවක් නම් පෙන්න නැහැ මොකද ලෝක පරිමාණයේ ගත්තහම අපි ඉතින් ශුද්‍ර කුලයේ .


    https://www.youtube.com/watch?v=Il4V1ssHnNQ

    මේ සාකච්චාව අහන්න වටිනවා, වෙලාවකට සුද්දා අහන්නේ හතරබීරි ප්‍රශ්න ,ජානක කියන විදියට සුද්දා අහන්නේ "Caste" එකක් ගැන , සුබ්‍රමනියම් කියන්න හදන්නේ "වර්ණ" ක්‍රමයක් ගැන සහ හින්දු ආගම ගැන.

    ReplyDelete
  4. කුලවල උස පහත් කම් තුච්ච විදියට මතු වෙන්න හේතුව සුද්දෝ කියලම කියන්න බැහැ, සමහර විට නායක්කර් රජ පවුල් වල සහ නෑදෑයන්ගේ ඉන්ෆ්ලුවන්ස් වෙන්නත් පුළුවන්. නුවර යුගයේ මුල් කාලවල (මතක හැටියට) කර්මාන්ත වල යෙදුනු කුල සමහර විට උසස් යයි සම්මත කුලවල උදවියට සියුම්ලෙස තමන්ගේ බලපුළුවන්කාරකම් පෙන්නපු අවස්ථාත් තිබිල තියෙනවා. (මම මේවා කියව්වේ වික්ටර් අයිවන් ලියපු පොතකින්, නම මත නැහැ) උදා .. පිහියක් සාදා ගැනීමට ආචාරියෙක් (නවන්දන්න කුලය) ගාවට යන රදලයාට සියලු බැර වැඩ (මයින හැම ඇදීම, මිටියෙන් තැලීම) කරන්නට සිදුවෙලා තියෙනවා ආචාරියා කරන්නේ ෆිනිෂින් වැඩේ විතරයිලු. රදල නිවසේදී කටවල් දෙකේ පැන් කොතලෙන් වතුර බිම තහනම් කලවිට කුඹල් කුලයේ අය කටවල් දෙකේ කොතල හැදීම නතර කරලා, පස්සේ රදලයින්ට සිද්ද වෙනවා ආයෙත් ඒ අයිතිය ලබා දෙන්න

    ReplyDelete
  5. එතකොට දුටුගැමුුණුගෙන් පස්සේ රජකම සාලියට නොගියේ කුල කේස් එක නිසා නොවේද?

    ඒ සුද්දෝ කොල අතු ඇන්ද කාලේ!

    ReplyDelete
  6. කුල ක්‍රමය පැරණි රජ කාලෙත් තිබුණා. නමුත් ශිල්පීන්ට ඉතා උසස් සමාජ තත්වයක් තිබුණු බව පැරණි සෙල්ලිපි වල සඳහන්.යටත් විජිත යුගයේ (1600 සිට) අපරටේ සිදුවුනු සමාජ වෙනස්කම් නිසා තමයි මෙබඳු තත්වයක් දක්නට ලැබෙන්නේ.යටත් විජිත යුගය අවසන් වෙලත් තවමත් සමහරු යටත් විජිත මානසිකත්වයෙන් දේශීය ශිල්පීන්ට ගැරහීම නින්දිත ක්‍රියාවක්.

    ReplyDelete