Thursday, November 24, 2016

යුදෙව් සංස්කෘතිය හැලෙයිද?

ට්‍රම්ප්ට විශාල වශයෙන් ඡන්දය ලබාදුන් ඇම. එක් ජනපදයේ දකුණේ ප්‍රාන්තවල සුදු ජාතිකයින් වැඩි දෙනෙක් අදහන්නේ ඉවැන්ජලික ක්‍රිස්තියානි ආගමය. බහුතරයක් ඇමඑක් ජනපදයේ ප්‍රොතෙස්තන්ත ක්‍රිස්තියානියෝ ඉවැන්ජලිකයින් වෙති. ප්‍රොතෙස්තන්ත ඝනයට වැටුනද අනිකුත් ප්‍රොතෙස්තන්ත ක්‍රිස්තියානින් අතර ඉවැන්ජලිකයින් සංස්කෘතියෙන් වඩා කිට්ටු වන්නේ කතෝලිකයින්ටය. මන්ද ඉවැන්ජලික පල්ලිය මිනිසුන් සාමූහිකත්වයට නැඹුරු කරවන බැවිනි. එය සිදුවෙන්නේ ඉවැන්ජලික පල්ලියේ පූජකවරුන් හරහාය. පූජකවරයා බැතිමතුන් තමා වටා රැස් කර ගැනීමට උත්සාහ ගනියි. ඒ අතර ඉවැන්ජලික බැතිමතුන් පූජකවරයා සංකේතයක් ලෙස සලකමින් ඔහු වටා රොක් වෙති. මේ චක්‍රීය ක්‍රියාවලිය නිසා වෙනත් ප්‍රෙතෙස්තන්ත ක්‍රිස්තියානි පල්ලි වල දැකිය නොහැකි සාමූහික බවක් ඉවැන්ජලික පල්ලියේ දැක ගත හැකිය. ඒ නිසාම සාපේක්‍ෂ වශයෙන් ඉවැන්ජලික පල්ලියේ පූජක තනතුරට හිමිවන්නේ විශේෂ තැනකි. එහි පූජකවරු බොහෝ විට මනා පෞරශවයක් ඇති දක්‍ෂ කථිකයෝද වෙති. ඇම එක් ජනපදයේ දකුණේ ප්‍රණ්ත පුරා පල්ලි වල මෙවැනි දේශකයින් දැක ගත හැකිය. වසර සියයකට ආසන්න වයසැති තවමත් ජීවතුන් අතර වෙසෙන බිලි ග්‍රැහැම් දශක ගණනාවක් තිස්සේ ඇම.එක ජනපද වැසියන්ට නොයෙකුත් මාධ්‍ය ඔස්සේ දේශනා කරමින් බිලියන ගණනක් තම ආනුගාමිකයින් බවට පත්කර ගත් මහත් ගෞරවයට පත්වූ ඉවැන්ජලික පූජකවරයෙකි.

යුදෙව්වන්ගේ දෙවියන්වහන්සේ ප්‍රත්‍යක්‍ෂයෙන් දැනගත නොහැකිය. පොදුවේ ප්‍රොතෙස්තන්ත පල්ලිවල විශ්වාසයද එයය. ඒ නිසා එහි දෙවියන්වහන්සේ ජීවමාන කරගැනීමට උත්සාහයක් නොගැනෙයි. නමුත් ඉවැන්ජලික පල්ලියේ පූජකවරයා හරහා දෙවියන්වහන්සේ ජීවමාන කෙරෙයි. පොදුවේ ගත්විට ඇම එක් ජනපදික සුදු ජාතිකයෝ ප්‍රත්‍යක්‍ෂයෙන් දැනගත නොහැකි දෙවියන්වහන්සේ කෙනෙකුට වඩා ඉවැන්ජලික පල්ලියෙන් පූජකවරයා හරහා ප්‍රත්‍යක්‍ෂ කෙරෙන දෙවියන්වහන්සේටත් ඒ වටා ගෙතෙන සාමූහිකත්වයටත් ඇලුම් කරන බව පෙනේ. කලක සිටම ඇමඑක් ජනපද සමාජය, විශේෂයෙන්ම දකුණේ ප්‍රාන්ත මේ ආරට යමින් තිබෙනු දැකිය හැකිවිනි. බිම් මට්ටමේ ටී පාටි සංවිධාන ඔස්සේ සංවිධානය වෙමින් ට්‍රම්ප් දිනවූවේ මේ මිනිසුන්ය. 

පොදුවේ මේ මිනිස්සු විශ්වයේ ආරම්භය ගැන බටහිර විද්‍යාඥයින් කියන මහා පිපුරුමේ කථාව විශ්වාස නොකරති ඒ වෙනුවට ඔවුන් විශ්වාස කරන්නේ එය දෙවියන්වහන්සේගේ නිමැවුමක් බවය. එමෙන්ම ඔවුහු බටහිර විද්‍යාඥයින් කියන ගෝලීය උණුසුම්කරන කථාවද විශ්වාස නොකරති. ට්‍රම්ප් ගෝලීය උණුසුම්කරනය පිළිබඳ ජාත්‍යන්තර සංවිධානවලට ආධාර නොකරන බව පවසන්නේ ඊනියා ගෝලීය උණුසුම්කරනයක් පිළිබඳව ඔහුගේ ඡන්ද දායකයින්ට විශ්වාසයක්ද නැති බැවිනි. එය හුදෙක් ආර්ථික පදනමක් මත ගොඩනැඟෙන විරෝධත්වයක් නොවේ. මහා පිපුරුමත් ගෝලීය උණුසුම්කරනයත් බටහිර විද්‍යාවේ එන වියුක්ත කතන්දරය. ට්‍රම්ප්-ජාතිකවාදීන්ට වියුක්ත කතන්දර වල එතරම් ආකර්ශණයක් නැත. ඔවුන්ට වැදගත් ඇසට කනට පෙනෙන ඇඟට දැනෙන දේය. ඊනියා ජාත්‍යන්තරයක් ගැන විශ්වාසයක් ඔවුන්ට නැත්තේද එබැවිනි.

ට්‍රම්ප් ජාතිකවාදීන් බහුතරයක් ඉහල අධ්‍යාපනයක් නැති සාමාන්‍ය මධ්‍යම පංතික ඉවැන්ජලික සුදු ජාතිකයින්ය. ඊට සාපේක්‍ෂව ට්‍රම්ප් විරෝධියෝ පොදුවේ උසස් අධ්‍යාපනයක් ලද උගතුන්ය, ලිබරල්වාදීන්ය, නිරාගමිකයින්ය නැත්නම් අඩුතරමින් වෙනත් ප්‍රොතෙස්තන්ත ක්‍රිස්තියානින්ය. පොදුවේ ඔවුහු මහා පිපුරුම ගෝලීය උණුසුම්කරන වැනි වියුක්ත කථා විශ්වාස කරති. වියුක්ත කතන්දර ගෙතීමේ සමත්තු යුදෙව්වෝය. 

ට්‍රම්ප් හිතවාදීන් සහ විරෝධීන් අතර සංස්කෘතික බෙදුම යුදෙව් සංස්කෘතියට ඇති බැඳීම සහ නොබැඳීමක් ලෙස දැකිය හැකිය. ට්‍රම්ප්ගේ ජේශ්ඨ උපදේශකයෙක් වන ස්ටීව් බැනන්ගේ මාධ්‍ය ජාලය යුදෙව් විරෝධී අදහස් වලට තැනක් දුන් බවද මෙහිදී වැදගත් ලෙස සැලකිය යුතුය. ඒ නිසා ඒ බෙදුමේ යුදෙව් දේශපාලනයද ඇති බව අමතක කල නොහැකිය. ඉන් කියැවෙන්නේ පොදුවේ ට්‍රම්ප්-ජාතිකවාදීන් යුදෙව් විරෝධීන් බව නොවේ නමුත්  ක්ලින්ටන්-ජාත්‍යන්තරවාදීන්ට යුදෙව් සංස්කෘතිය විශේෂයෙන්ම එහි දැනුම කෙරෙහි තිබි ඇලීම ට්‍රම්ප්-ජාතිකවාදීන්ට නැති බවය. ඒ අනුව ට්‍රම්ප්ගේ ජයග්‍රහණය පෙන්නුම් කරන්නේ ඇමඑක් සමාජය යුදෙව් සංස්කෘතියෙන් ගැලවෙන්නට උත්සාහ දරමින් සිටින බව විය හැකිය. 

යුදෙව් ඊස්‍රායලයට ලොවපුරා සිය ආධිපත්‍ය පැතිරවීමට තරම් යුධමය හෝ ආර්ථිකමය ශක්තියක් නොතිබිනි. නමුත් වියුක්ත ප්‍රවාද ගෙතීම, විශ්ලේෂණය වැනි අංගයන්ගෙන් සමන්විත යුදෙව් දැනුම් පද්ධතිය ලොව පිළිගත් එකම දැනුම් පද්ධතිය බවට පත් කිරීමට හැකිවූයේ යුධමය හා ආර්ථිකමය ශක්තියක් හිමි ඇංග්ලිකන් ක්‍රිස්තියානි සංස්කෘතියේ ඉංග්‍රීසීනුත් පසු කලෙක ඇමඑක් ජනපදයටත් යුදෙව් සංස්කෘතිය වෙනුවෙන් පෙනී සිටි බැවිනි. ට්‍රම්ප්-ජාතිකවාදීන්  යුදෙව් සංස්කෘතියට කඩේ යතැයි සිතිය නොහැකිය. එය එසේ වුවහොත් අනාගත බටහිර සංස්කෘතියෙන් යුදෙව් සංස්කෘතික සංරචකය ලොප් වීමට ඉඩ තිබේ.

5 comments:

  1. මේ ලිපිය ඉතා අගෙයි. පොඩි නිවැරදි කිරීමක් කළ යුතුයි. යුදෙව් සංස්කෘතික සංරචකය ලොප් වන්නේ ඇංග්ලිකන් සංස්කෘතියෙන් පමණයි.නුදුරු අනාගතයේදී බිරිතානි දූපත් හැරෙන්නට රෝම අධිරාජ්‍යයේ බලපෑම තිබූ අනෙක් යුරෝපා රටවල් එක්සත් යුරෝපයක් ලෙස නැඟී සිටීවි. එදිනට යුදෙව්වන් එය වටා රොක් වේවි. බටහිර නූතනත්වය කඩා වැටෙන තුරු යුදෙව් දැනුමෙන් අප ඇතුලු ලෝකයේ අන් ජාතීන් හට ගැලවීමක් නම් නොලැබෙනු ඇති. ඉහතින් සඳහන් කර ඇති දේ ගැන මඳක් විමසා බලන්න.

    මා හට ආචාර්ය නලින් ද සිල්වා මහතා හට තැපැල් ලිපිනයක් හෝ ඉ-ලිපිනයක් යැවිය හැකි ක්‍රමයක් අවශ්‍යයයි. හැකි කමක් තිබේ නම් කරුණා කර adikari.gunatilleke@gmail.com නමැති ඉ-ලිපිනයට එය දන්වා එවන්න.

    ReplyDelete
  2. යුරෝපය එක්සත් වෙනවාට වඩා ඒ ඒ රටවල්වල ජාතිකත්වය මත පදනම් වෙලා බෙදිලා යන බවයි පෙනෙන්නේ.

    ReplyDelete
  3. එය එසේ වන්නේ නැහැ.යුරෝපා සංගමය ඉබේ පහළ වූවක් නොවේ. ලොව පුරා ජාතිකත්වය නැගිටීම යන්න මෙයට අදාළ කරගන්න එපා.

    රෝමානු කතෝළික ආගම හා එම සභාව වනාහි ක්‍රිස්තු දර්ශනය අවශෝෂණය කරගෙන රෝමවරුන් ගොඩනැංවූ සංස්කෘතියයි. ක්‍රි.ව.5 සියවසේ රෝම අධිරාජ්‍යය බිඳ වැටීමෙන් පසු එම අධිරාජ්‍යයාට තිබූ බලය එකී සංස්කෘතියේ නායකයා වන පාප්තුමන්ට හිමි වුනා. ඉන්පසු යුරෝපයේ තැනින් තැන රාජධානි ඉදි කරගත් රජවරු අභිෂේක ලැබුවේ පාප්තුමන් වෙතින්.ක්‍රි.ව.800 දී තුන්වන ලියෝ පාප්තුමා බටහිර අධිරාජයා ලෙස චාලිමේන් රජු කිරුළු පැළැන්දුවා. ඒ අනුව ශුද්ධ රෝම අධිරාජ්‍යය බිහි වුනා. පාප්තුමන් සතුවූ මෙම දේශපාලන බලයට අමතරව ඍජුවම ආගම හරහා හිමිවු සංස්කෘතික බලයක් තිබුනා. මේ දෙකම සංරචක දෙකක් හැටියට ක්‍රියාත්මක වුනා. මෙයින් දේශපාලන සංරචකය ක්‍රි.ව. 1806 දී නැපෝලියන් විසින් රයින් සංයුක්තය පිහිටුවා අවසන් කළා. එනමුදු පෙරකි සංස්කෘතික සංරචකය දිගින් දිගටම පැවතුනා.1957 දී රෝම ගිවිසුම නම් ගිවිසුමකට ප්‍රංශය,බටහිර ජර්මනිය,බෙල්ජියම,ඉතාලිය,නෙදර්ලන්තය හා ලක්සම්බර්ග් යන රාජ්‍යයන් විසින් අත්සන් තැබුවා.බ්‍රිතාන්‍යය මුල් කාලයේදී එක් නොවීම සැලකිල්ලට ගත යුතුයි. මෙම ගිවිසුමේ ප්‍රතිඵලයක් ලෙස යුරෝපා ආර්ථික හවුල ගොඩ නැඟුනා.පසු කාලයේදි යුරෝපා සංගමය බවට පත් වුනේ මෙයයි.මෙය ඇත්තෙන්ම දේශපාලනික හා ආර්ථික අරමුණු සහිත සංගමයක්. නමුත් බොහෝ දෙනාට හසු නොවුනු කරුණ නම් රෝමානු කතෝළික සභාව සතුවු සංස්කෘතික සංරචකයට දේශපාලනික හා ආර්ථික ශක්තියක් ලැබීමයි. බ්‍රිතාන්‍යය වෙන්වූ නිසා මෙය වඩාත් ශක්තිමත් වෙයි.එක්සත් යුරෝපයක් ගොඩ නැගෙන්නේ ඒ ආකාරයෙනුයි. වත්මන් පාප්තුමාගේ ක්‍රියාකාරීත්වය හොඳින් නිරීක්ෂණය කරන්න.මේ සියළු දෑ විශ්ලේෂණයක් තුළින් පවසන දේ නොවෙයි.කිතුනු විශ්වාසයක් මත පදනම් වූ දෙවියෙකුගෙන් පණිවිඩ ලැබූ පුද්ගලයෙක් මත පදනම් වෙලයි මේ දේවල් පවසන්නේ.

    ReplyDelete
  4. ඔබ කියන විදියට, ට්‍ර්ම්ප් ගෝලීය උණුසුම් වීම යන සංකල්පයට සහය නොදක්වන බව පවසා සිටියත්, ඔවුනට ඒ සංකල්පය පිටුපස පවතින ව්‍යාපාරික පැලැන්තියේ බලපෑම් වලට එරෙහිව යන්න අවශ්‍යතාවක් තියෙයි ද?
    ඔබ පවසන ඉවැන්ජලික ජනගහනයක් පවතින නමුත් ඔවුන් ප්‍රතිශතයක් ලෙස වැඩිහිටි සුදු ජාතිකයන් සහ කළු ජාතික සුළුතරයක් නේද?

    ට්‍රුම්ප් චන්ද ලබා ගැනීම සදහා යුදෙව් පවුල් වලට අයත් බැංකු සහ මුල්‍ය ආයෝජකයන් වෙත පහර ගැහුවත්, අද වෙනකොට ඔහු යුදෙව් ජාතිකයකු භාණ්ඩාගාර ලේකම් තනතුරට පත් කරලා නේද? ඉතින් ට්‍ර්ම්ප් කලින් කිව්වා වගේ කරයි කියල හිතන්න පුලුවන්ද?

    බටහිර ලෝකයට ත් , දියුණු ලෝකයට තියෙන ලොකුම් ප්‍රශ්නයක් ඔවුන්ගේ ජනගහන වර්ධන සීග්‍රතාව අඩු වීම. ඒ නිසා ඔවුන්ගේ වැඩිපුර පරිභෝජනය කරන ජනගහන ප්‍රතිශතය පහල යමින් තිබෙනවා. ඔවුන්ට ඔවුන්ගේ ආර්ථික ක්‍රමය අවුලකට වැගෙන එකෙන් බේරා ගන්න නම්, ඔවුන්ට සංක්‍රමණිකයන් මහා පරිමාණයෙන් අවශ්‍ය වෙනවා. ඉතින් සාමාන්‍ය මිනිසුන් මේ අලුත් සංක්‍රමණිකයන් ට කොපමණ අකමැති වුනත්, ට්‍රුම්ප් ඇතුළු මහා පරිමාණ ව්‍යාපාරිකයන් ට මේ සංක්‍රමණිකයන් අවශ්‍ය වෙනවා.
    එංගලන්තයත් දැන් බ්‍ර්රෙක්සිට් චන්දයට පස්ස ගහන්නේ මේ නිසා නේද?
    මේ අලුතෙන් එන සංක්‍රමණිකයන්ගෙන් සැහෙන කොටසක් ඉස්ලාම් ආගමිකයන් වෙන නිසා, සුපුරුදු යුදෙව් මුවහම වෙනුවට ඔවුනට අලුත් මුවහමක් ලැබෙනු ඇත, ට්‍රුම්ප් එයට තඩි බාමින් ඉරානයට පහර දුන්නොත් පුදුම වෙන්න දෙයක් නෙමේ.
    එහෙම වුනොත් ඊශ්‍රායල අභිලාෂ වෙනුවෙන් නේද පෙනී සිටිනු ඇත්තේ ?

    මට තිබෙන ප්‍රශ්නය යුදෙව් සංස්කෘතිය හලා දැමීමෙන් අලුතෙන් ලබා ගන්න දෙයක් බටහිර පාලනය කරන පැලැන්තියට තිබෙනවාද?

    ReplyDelete
    Replies
    1. ට්‍රම්ප්ගේ ජයග්‍රහණයෙන් එක වරම යුදෙව් සංස්කෘතිය හැලෙන්නේ නෑ ඊට තව වසර හැට හැත්තෑවක් යාවි.

      Delete