Saturday, November 12, 2016

වියුක්ත ප්‍රවාද වෙනුවට සංයුක්ත ප්‍රවාද

ගුරුත්වාකර්ශනය කියන්නේ මොකක්ද? වස්තු දෙකක් එක ලඟ තියලා ඒවාට නිදහසේ චලනය වෙන්ඩ ඇති බධා (ඝර්ශණය වගේ) ඉවත් කරන්ඩ පුළුවන් නම් මේ දෙක එකිනෙකා දෙසට ඇදෙනවා දැක ගන්ඩ පුළුවන්. පොල් ගෙඩි බිමට වැටෙනකොටත් වෙන්නේ මේ සිද්ධියමයි. පොල් ගෙඩිය පොළව දෙසටත් පොළව පොල් ගෙඩිය දෙසටත් ඇදෙනවා. එකම වෙනස අපි පොළවේ ඉන්න නිසා අපට පෙනෙන්නේ පොල් ගෙඩිය අප වෙත එනවා කියල විතරයි. පොල් ගෙඩියේ ඉන්න කුරුමිණියෙක්ට පොළව පොල් ගෙඩිය වෙත එනවා වගේ දැනෙන්ඩ පුළුවන්. නිව්ටන් ඕක ඔහොම වෙන්නේ ඇයි කියලා හේතුවක් හැදුවා. ඊට වඩා හොඳ හේතුවක් අයින්ස්ටයින් හැදුවා. නමුත් අයින්ස්ටයින්ට අවුරුදු සීයකටත් පස්සේ අපි තාමත් නිව්ටන්ගේ හේතුව ගැන කියවන නිසා කැවන්ඩිෂ් ගේ පරීක්‍ෂණය ගැන දැන තියෙන එක හොඳයි. 

කැවෙන්ඩිෂ් කියන්නෙ 18 වන සියවසේ එංගලන්තෙ හිටිය විද්‍යාඥයෙක්. එයා නිව්ටන්ගේ ගුරුත්වාකර්ශණ නියමය සම්බන්ධයෙන් පරීක්‍ෂණයක් නිර්මාණය කලා. නිව්ටන් කිව්වෙ අර වස්තු දෙක එකිනෙකා වෙත ඇදෙන්නේ ඒ ඒ වස්තුවෙන් අනිත් වස්තුව මත ආකර්ශණ බලයක් ක්‍රියාත්මක වෙන නිසයි කියල. මේ කථාව වියුක්ත ප්‍රවාදයක් ලෙසට හඳුන්වන්ඩ පුළුවන්. කැවෙන්ඩිෂ් පරීක්‍ෂණය සකස් කරන්නේ ඔය නිව්ටන් කියන බලය මැන ගන්ඩ.

කැවෙන්ඩිෂ්ගේ පරීක්‍ෂණය යූ ටියබ් එකෙන් බලා ගන්ඩ පුළුවන්.  කෙටියෙන් මෙහෙමයි. දිග දන්ඩක කෙලවරවල් දෙකේ බර වස්තු දෙකක් අමුණනවා. ඊට පස්සේ දන්ඩ මැද්දෙන් කඹයක් ගැට ගහලා ඒක වහලේ එල්ලනවා. දැන් මේ වස්තු දෙක සහිත දණ්ඩට ලණුවේ අක්‍ෂය වටේ නිදහසේ කැරකෙන්ඩ පුළුවන්. ඊලඟට ඊටත් වඩා බර වස්තු දෙකක් අර දන්ඩේ තියෙන වස්තු දෙක ලඟින් පොලොවේ හයි කරනවා. ඒවට හෙල වෙන්ඩ බැහැ. ටික වෙලාවක් ඔහොම තියෙනකොට හෙමින් හෙමින් දන්ඩ කැරකෙනවා දකින්ඩ ලැබෙනවා. දන්ඩේ තියෙන වස්තු ඒ ඒ ලඟ හයි කරල තියෙන ලොකු වස්තුව දිහාට ඇදෙනවා එකේ ප්‍රතිථලයක් හැටියට දන්ඩ කැරකෙනවා. දණ්ඩ කැරකෙනකොට ඒක වහලේ එල්ලලා තියෙන ලණුව ඇඹරෙනවා. ඕක තමයි අපට පෙනෙන්ඩ තියෙන්නෙ.

දැන් කැවෙන්ඩිෂ්ට පුළුවන් අර ලණුව අඹරන්ඩ (නැත්නම් දණ්ඩ කරකවන්ඩ) යෙදිය යුතු බලය ගණනය කරන්ඩ. මේ පරීක්‍ෂණයෙන් දැන ගන්ඩ පුළුවන් එකම බලය ඒක විතරයි. ලණුව මත බලයක් යෙදෙනවා කියල දැන ගත්තට අර වස්තු දෙක එකිනෙකා දෙසට ඇදෙන්නේ ඇයි කියන එක ඒකෙන් තේරුම් යන්නේ නැහැ. වෙන විදිහකට කියනවා නම් වස්තු එකිනෙකා දෙසට චලනය වෙනවා. ඒ චලනය වීම හේතුවෙන් අපේ උපකරණය මත යම් බලයක් යෙදෙනවා. ඒ බලය නම් මැන ගන්ඩ පුළුවන් නමුත් ඒකෙන් කියවෙන්නේ නැහැ අර වස්තු දෙක එකිනෙකා දෙසට චලනය වන්නේ මොන හේතුවක් නිසාද කියල. ඒ නිසා ඒ ගැන ඕන විදිහට කතන්දරයක් හදන්ඩ පුළුවන්. 

වැදගත් කාරණය කැවෙන්ඩිෂ් මණින්නේ අර නිව්ටන් වස්තු දෙකක් අතර තියෙනවා යැයි කියපු බලය නොවෙන බවයි. කොටින්ම නිව්ටන් කියන ජාතියේ බලයක් කැවෙන්ඩිෂ්ගේ පරීක්‍ෂණයෙන් තියා මොන පරීක්‍ෂණයකින්වත් මැන ගන්ඩ බැහැ. නිව්ටන් වස්තුවල චලනයට හේතුවක් දුන්නට ඒ හේතුව කාටවත් ප්‍රත්‍යක්‍ෂයෙන් දැන ගන්ඩ බැහැ. මොන ක්‍රමයකින්වත් මැන ගන්ඩ තියා හිතා ගන්ඩවත් බැරි නිව්ටන් කියන ආකර්ශණ බලය පට්ටපල් බොරුවක්. එහෙනම් ඒකෙන් ඇති වැඩේ මොකක්ද?

අවසානයේ අපි නිව්ටන්ගේ සූත්‍රය යොදා ගන්නේ වස්තු දෙක අතර චලනය සම්බන්ධයෙන් පංවේන්ද්‍රියන්ට හසුවෙන දේවල් ටිකක් තවත් පංවේන්ද්‍රියන්ට හසුවෙන දේවල් ටිකක් සමඟ සම්බන්ධ කර ගන්ඩ. නැත්තම් අතර මැදියෙක් හැටියට. උදාහරණයක් හැටියට කැවෙන්ඩිෂ්ගේ පරීක්‍ෂණයේ නම් වස්තු වල ස්කන්ධය, ඒ අතර දුර, දණ්ඩේ කරකැවීම, කඹයේ ඇඹරීම වගේ දේවල් අතර සම්බන්ධයක් ගොඩනැඟීමට. මේ සම්බන්ධකම් හරහා අපේ පංචේන්ද්‍රියන්ට හසුවෙන දේවල් එකිනෙකට සාපේක්‍ෂව වෙනස් වෙන්නේ කොහොමද කියල පුරෝකථනය කරන්ඩ පුළුවන්. මේක තමයි නිව්ටන්ගේ වියුක්ත ප්‍රවාදයෙන් නැත්නම් සූත්‍රයෙන් ගන්න වැඩේ.

හැබැයි අපිට පුරෝකථන ගැන විශ්වාසයක් ගොඩනඟා ගත හැක්කේ වස්තු එකිනෙකා දෙස ඇදෙන හේතුව ප්‍රත්‍යක්‍ෂයෙන් දැනගෙන හිටියොත් තමයි. ඒ වුනත් මෙතන කරන්ඩ වෙන්නේ පුරෝකථන හරියනවද බලලා එසේ හරියනවා නම් හේතුව ඇත්තක්ය කියල නිගමනය කරන එක. මොකද අපට නිව්ටන්හේ හේතුව ප්‍රත්‍යක්‍ෂයෙන් දැන ගන්ඩ බැහැ. එහෙම පුරෝකථනය හරිගියත් අපිට කියන්ඩ වෙන්නේ නිව්ටන්ගේ හේතුව (වස්තු එකිනෙකා දෙසට ඇදෙන්නේ එකිනෙකින් යෙදන ආකර්ශණීය බලයක් නිසාය) වෙන්ඩ පුළුවන් හේතුවලින් එකක් කියලා මිසක් ඒක එකම හේතුව කියලා නෙවෙයි. පුරෝකථනය හරියන තව හේතුත් නැතෙයි කියල කියන්ඩත් අපට බැහැ. ප්‍රශ්ණෙ තවත් බරපතල වෙන්නේ මේ පුරෝකථන එකක්වත් ප්‍රායෝගිකව හරියටම හරියන්නේත් නැතිවීමෙනුයි. 

මේ අනුව බැලුවාම නිව්ටන් හේතුවක් ගැන කථා කරාට අපිට දැනගන්ඩ අවශ්‍යත් අපට දැනගන්ඩ පුළුවනුත් අපි විශ්වාස කරන්නෙත් පංචේන්ද්‍රියන්ට හසුවෙන දේවල් එකිනෙකට සාපේක්‍ෂව වෙනස්වෙන ආකාරය විතරයි. පුරෝකථන හරියටම හරියන්නේ නැති නිසාත් හේතුව මැනගන්ඩවත් මවා ගන්ඩවත් බැරි නිසාත් හේතුව ඇත්තක්ද කියලත් එහෙම හේතුවක් කියල එකක් තියෙන්ඩ පුළුවන්ද කියලත් ප්‍රශ්ණයක්. ඊනියා හේතු වියුක්ත ප්‍රවාද වල පදනම නිසා මේක වියුක්ත ප්‍රවාදවලම තියෙන දුර්වලතාවක්.

අපට ඕනනම් හේතු පැත්තක දාල අපේ පංචේන්ද්‍රියන්ට හසුවෙන දේවල් එකිනෙකට සාපේක්‍ෂව වෙනස් වෙන ආකාරය ගැන විතරක් කථා කරන්ඩ පුළුවන්. මොකද අපි අවසානයේ විශ්වාස කරන්ඩ සූදානම් මේ ගැන විතරයි. හැබැයි හේතුව අයින් කරාම අපට ප්‍රවාදයක් නැතිව යනවා. ඒ කියන්නේ සූත්‍රයක් නැහැ. ඒ වගේම හේතුව අයින් කරාම අපට පොල් ගෙඩි වැටෙන එක ගැන එක කථාවකුත් ග්‍රහ වස්තු වල චලනය ගැන තව කථාවකුත් කියන්ඩ වෙනවා. ඒක අවාසියක් නමුත් අපට ඒ ඒ ප්‍රපංචයට අවස්ථාවට ගැලපෙන වඩා හොඳ කථාවක් නිර්මාණය කරගන්ඩ නිදහසක් එතන තියෙනවා. මෙහෙම කථා සංයුක්ත ප්‍රවාද කියල කියන්ඩ පුළුවන්. උදාහරණයක් හැටියට ඉහත කැවෙන්ඩිශ්ගේ පරීක්‍ෂණයේම අපට ඕනනම් වස්තුවල බර සහ ඒ අතර දුර වෙනස් වෙනකොට ලණුවේ ඇඹරීම අතර සම්බන්ධයක් අවස්ථා කිහිපයකදී මැණ ගන්ඩ පුළුවන්. මේ මැනගැනීම් පදනම් කරගෙන, වෙනස්වීම් සුමටව ඒකාකාරව වෙනස් වෙනවායැයි උපකල්පනය කරගෙන ඊලඟට අපට දී ඇති වෙනත් වස්තු දෙකක් චලනය වීමේදී ලණුවේ ඇඹරීම හෝ දණ්ඩේ කැරකීම කුමක් වේදැයි පුරෝකථනය කරන්ඩ පුළුවන්. දැන් මෙතනදී වස්තු එකිනෙකා දෙසට ඇදෙන හේතුවක් අවශ්‍ය වෙන්නේ නෑ. ඒ වගේම අපි කථා කරන්නේ දී ඇති එක්තරා කැවෙන්ඩිශ් උපකරණයක් ගැන මිසක් ඕනෑම එකක් නෙවෙයි. මේ නිසා අපි ගොතන්නේ සංයුක්ත ප්‍රවාදයක්.

පංචේන්ද්‍රියන්ට හසුවෙන දේවල් එකිනෙකට සාපේක්‍ෂව වෙනස් වෙන ආකාරය ගැන කතන්දර කියනවා කියන්නේ කලින් යම් යම් දේවල් එකිනෙකට සාපේක්‍ෂව වෙනස්වුනු ආකාරය දැනගෙන අනාගතයේදී කොහොම වෙයිද කියල නිගමණය කරන එක. කැවෙන්ඩිෂ්ගේ පරීක්‍ෂණය සම්බන්ධයෙන් මේක කරදරකාරී වැඩක් වගේ පෙනුනට සමහර සරල දේවල් සම්බන්ධයෙන් මේක කරන්නේ කිිසිම ගණනය කිරීමක් නැතිව මනසින්. උදාහරණයක් හැටියට අපි පාර පනිනකොට අපට වැදගත් වෙන්නේ අපේ පිහිටීමට සාපේක්‍ෂව වාහනවල පිහිටීම වෙනස් වෙන ආකාරය ගැන විතරයි. මේක අපි මනසින් දැනගන්නචා. ඒක මනසින් කරගන්නේ කොහොමද කියල අපට කියන්ඩ බැහැ. හැබැයි කොහොමටත් මෙතනදී මනස වියුක්ත ප්‍රවාදයක් භාවිතා කරන්නේ නම් නැහැ. වියුක්ත ප්‍රවාදයක් භාවිතා කරනවට වඩා මනසින් කරන වැඩේ කාර්යක්‍ෂම වෙන්ඩත් පුළුවන්. 

ප්‍රවාද මත රඳාපවතින්නේ නැතිව යම් යම් දේවල් අතීතයේ එකිනෙකට සාපේක්‍ෂව වෙනස්වුනු ආකාරය දැනගෙන අනාගතය ගැන පුරෝකථනය කරන්ඩ පුළුවන් පරිඝනක භාවිතයෙනුත්. එතනදී කරන්නේ අතීතයේ දත්ත පරිඝනකයට කවලා එය යාන්ත්‍රිකව පුහුණු කරනවා. ඊලඟට විවිධ ක්‍රම භාවිතා කරලා යම් දී ඇති විචල්‍යයන්ට සාපේක්‍ෂව වෙනත් විචල්‍යයන් වෙනස් වන්නේ කොහොමද කියලා ගණනය කරනවා. මේ විවිධ ක්‍රම අතරේ එක ක්‍රමයක් ස්නායු ජාල ක්‍රමයක් ලෙස හඳුන්වනවා. මේක මොළේ ස්නායු පද්ධතිය ක්‍රියාත්මක වෙන ආකාරය අනුකරණය කරමින් තනාගත්ත පරිඝනක ආකෘතියක්. බටහිර විද්‍යාව මෙතන කරන්නේ මොකක්ද? එයාලට මනසින් කරගන්ඩ බැරි දේ පරිඝනකයෙන් කරන්ඩ හදනවා. අපිට මනසින් දැන ගන්න දේ භාවිතා කරගෙන කොළඹ පාරක් පනින්ඩ පුළුවන් අනතුරක් නොවී නමුත් ස්නායු ජාල ක්‍රමයක් හෝ ප්‍රවාදයක් භාවිතා කරගෙන තීරණ ගන්නා රෝබෝවක් පාර පනින්ඩ හැදුවොත් බොහෝවිට ඒක සාර්ථක වෙන එකක් නැහැ.

පංචේන්ද්‍රියන්ට හසුවෙන දේවල් එකිනෙකට සාපේක්‍ෂව වෙනස් වෙන ආකාරය ගැන මනසින් දැන ගන්ඩ පුළුවන්. අපට මනස තව දියුණු කරගන්ඩ පුළුවන් නම් දැනට අපේ පංචේන්ද්‍රියන්ට හසුවෙන දේවල් වලට වඩා සියුම් දේවල් දැන ගන්ඩ පුළුවන්. එතනදී ගන්නා නිගමන වඩා නිවැරදිත් කාර්යක්‍ෂමත් වෙන්ඩ පුළුවන්. මෙතනදී වැදගත් ලෙස සලකන්නේ එකක් වෙනස් වෙනකොට අනිත්වා වෙනස් වෙන්නේ කොහොමද කියන එක විතරයි. ඇයි එහෙම වෙන්නේ කියල අපි අහන්නේ නෑ. බටහිර විද්‍යාවට ඕනෙ හේතු දැනගන්ඩ. හේතු පිටිපස්සෙ තියෙන්නෙ වාස්ථවික යථාර්තයක් ගැන විශ්වාසය. සිංහල බෞද්ධ චින්තනයේ ඒ විශ්වාසය නැහැ. අපේ ක්‍රමය විය යුත්තේ මනස දියුණු කරගනිමින් සංයුක්ත ප්‍රවාද තැනීමයි.

No comments:

Post a Comment