Saturday, October 29, 2016

බටහිර සංස්කෘතියේ ස්වාමියා කවුද?

ඇමෙරිකා එක්සත් ජනපදය බටහිර සංස්කෘතිය ලෝකයට ගෙනයන ඒජන්තයා කිව්වොත් වරදක් නැහැ. හොලිවුඩ් චිත්‍රපටි, සංගීතය, තාක්‍ෂණික මෙවලම් සහ ඒවට හරියන මෘදුකාංග හරහා බටහිර සංස්කෘතිය ලෝකය පුරා ප්‍රචලිත කරන්ඩ මූලිකත්වය ගන්නේ ඇමෙරිකා එක්සත් ජනපදය. ඔවුන් තමන් සතු යුධමය ශක්තියත් ආර්ථික ශක්තියත් ඒ සඳහා යොදා ගන්නවා. ඔවුන්ට මේ ආකාරයට ලෝකය මත ඇතිකල හැකි බලපෑම දිහා බැලුවහම බටහිර සංස්කෘතියේ ස්වාමියත් ඇම. එක්. ජනපදය වෙන්ඩ ඕනෙ නේද කියල හිතෙනවා. ස්ටීව් ජොබ්ස්, සකර්බර්ග් සහ බිල් ගේට්ස් යන තිදෙනා පමණක් ඇති කරන සංස්කෘතික බලපෑම සුළු පටුද? නමුත් ඇත්තටම බටහිර සංස්කෘතියේ ස්වාමියා ඇමඑක් ජනපදයද?

ඇමඑක් ජනපදයේ රූපවාහිනී සේවාවක් තියෙනවා පීබීඑස් කියල. ඒක රජයේ ආධාර ලබන, අඩු වැඩි වශයෙන් ගත්තොත් ලාභ උපයන්නේ නැති ආයතනයක්. ඒකෙන් බෙදා හරින වැඩසටහන් බොහොමයක් ප්‍රවෘත්ති හෝ අධ්‍යාපනික වැඩසටහන්. ඒ අතර ටෙලි වෘත්තාන්තත් තියෙනවා. මේවා ඇමඑක් ජනපදික සමාජය විසින් පොදුවේ ප්‍රබුද්ධයි කියල සලකන ඒවා. නමුත් වැදගත් දේ තමයි මේ ප්‍රබුද්ධයි කියන ටෙලි වෘත්තාන්ත හොලිවුඩයේ නිර්මාණය වෙන ඒව නෙවෙයි. ඒව ආනයනය කරන්නේ එංගලන්තයෙන්. එංගලන්තයට වඩා දියුණු (අඩුතරමින් තාක්‍ෂණික අතින්) චිත්‍රපට කර්මාන්තයක් ඇමඑක් ජනපදයට තිබුනත් ඔවුන් ප්‍රබුද්ධ කෘති ගෙන්න ගන්නෙ එංගලන්තයෙන්. මේ ගැන ඇමඑක් ජනපදයේ කවුරුවත් මැසිවිලි නගන්නෙත් නැහැ. ඇමඑක් ජනපදය තමන්ගේ සංස්කෘතික ස්වාමියා එංගලන්තය බව පිළිගන්නවා කියල මේකෙන් කෙලින්ම ඔප්පු වුනේ නැතත් පීබීඑස් ආයතනයේ ප්‍රතිපත්ති වලට හේතුව ඔවුන් හිත යටින් දරන එවැනි ආකල්පයක් වෙන්ඩ පුළුවන්.

ඉංග්‍රීසීන්ගෙන් නිදහස ලබපු පළමුවෙනි කොලනිය ඇමඑක් ජනපදයයි. මේ නිසා හෝ වෙන හේතුවක් නිසා හෝ ඇමඑක් ජනපදිකයන් මුල සිටම ඒංගලන්තයේ ආධිපත්‍යයෙන් ගැලවෙන්ඩ කටයුතු කලා. මේ සඳහා ඇමඑක් ජනපදිකයින් හිතාමතා කරන එක දෙයක් තමයි ඉංග්‍රීසීන් ලොකුවට ගන්න දේවල් මායිම් නොකර සිටීම. උදාහරණයක් වශයෙන් ගත්තොත් ඉංග්‍රීසීන් තමන්ගේ රජාට (දැන් නම් රැජිනට) දක්වන ගරු බුහුමන් ඇමඑක් ජනපදිකයින් එතරම් ගණන් ගන්නේ නැහැ. කලකට ඉහතදී ඔබාමා ඉංග්‍රීසි රැජින හමුවුනු අවස්ථාවේ ඇගේ පිටට තට්ටු කරලා යමක් කිව්වලු. සාමාන්‍යයෙන් ඉංග්‍රීසින් එහෙම කරන්නේ නැහැ. නමුත් ඇමඑක් ජනපදිකයෝ ඔබාමාට ඒ ගැන දොස් කියන්ඩ ගියේ නැහැ. ඔබාමා වගේම බොහෝ ඇමඑක් ජනපදිකයෝ ඉංග්‍රීසීන් ලොකුවට ගන්න දේවල් එතරම් ගනන් ගන්නේ නැහැ. ඉංග්‍රීසීන් ඒ ඒ වයින් වර්ග බොන්ඩ ඒ ඒ වීදුරු පාවිච්චි කරනකොට ඇමඑක් ජනපදිකයෝ හිතුනොත් ප්ලාස්ටික් කෝප්ප වලත් වයින් බොනවා. ඉංග්‍රීසීන් ටයි කෝට් ඇඳගෙන යන්ඩ ඕනෙ කියල හිතන තැනකට ඇමඑක් ජනපදිකයෝ හිතුනොත් ටී ශර්ට් ඇඳගෙන කොට කලිසම් ඇඳගෙන යනවා. නමුත් වැදගත් ඒ බව නෙවෙයි. 

වැදගත් ප්‍රශ්ණෙ ඇමඑක් ජනපදිකයින්ට ඔවුන්ගේ යම් සංස්කෘතික ලක්‍ෂණයක් ඉංග්‍රීසීන් ලවා ප්‍රබුද්ධ ලෙස සලකව ගන්ඩ පුළුවන්ද?

ඉංග්‍රීසීන් හොලිවුඩ් චිත්‍රපටි වලට ආකර්ශණය වෙනව ඇති නමුත් ඔවුන් ඇමඑක් ජනපදිකයින් අනුකරණය කරමින් ටයි කෝට් අඳින තැනට කොට කලිසම් ටී ශර්ට් ඇඳං යන්නේ නෑ. ඉංග්‍රීසීන් හොලිවුඩ් චිත්‍රපට ඔවුන්ගේ සම්භාව්‍යය කෘතිවලට ඉහලින් තියාගන්නෙත් නැහැ. එහෙම නම් සංස්කෘතික ස්වාමියා වෙන්නෙ කව්ද?

නමුත් බටහිර සංස්කෘතියේ ස්වාමියා කව්ද කියන එක ඔප්පුවෙන්නේ ඉංග්‍රීසින් සහ ඇමඑක් ජනපදිකයින් අතර කෙරෙන සංසන්ඳනයකින් පමණක් නෙවෙයි ඉංග්‍රීසිනුත් ඇමඑක් ජනපදිකයොත් නොවෙන බටහිර සංස්කෘතියේ හෝ වෙන්ඩ-බටහිර සංස්කෘතියේ ඉන්න අනිත් රටවල් ආදර්ශයට ගන්නේ කව්ද කියන එකෙනුයි. කොටින්ම බටහිර සංස්කෘතිය පස්සෙන් බඩ ගාමින් යන ලංකාවේ අපි සංස්කෘතික ස්වාමියා හැටියට සලකන්නේ ඇමඑක් ජනපදයද එංගලන්තයද? අපි වැඩියෙන් බය පක්‍ෂපාතකමක් දක්වන්නේ ටයි කෝට් අන්ඳන එංගලන්තයටද කොට කලිසම් ටී ශර්ට් අන්ඳන ඇමඑක් ජනපදයටද? 

අපි ටයි කෝට් අඳින තැනකට කොට කලිසම් ටී ශර්ට් අඳින්ඩ බය වෙන්නේ ඇයි? අපි ඉංග්‍රීසීන්ට වැඩියෙන් බය හිංද නේද? ඒ කියන්නේ අපේත් ඇමඑක් ජනපදයේත් සංස්කෘතික ස්වාමියා ඉංග්‍රීසින් කියල නේද?

No comments:

Post a Comment