Wednesday, May 18, 2016

රණ විරු සැමරීම

සිංහලුන් අතර රණ විරු සැමරීමට විරුද්ධවන්නේ ඉතා සුළු කොටසක් පමණය. නමුත් රණ විරු සැමරීමට විරුද්ධවන ඉතා සුළු කොටසට මේ රජයෙන් රාජ්‍ය අනුග්‍රහය ලැබෙයි. ඔවුන්ගේ උත්සවය සහ ඒ මතවාදය ජන මාධ්‍ය ඔස්සේ අපට බඩ පුරා ලැබෙන්නේ ඒ නිසාය.

රාජ්‍ය අනුග්‍රහය ලැබුනත් නොලැබුනත් රණ විරු සැමරීමට විරුද්ධවන පිරිසක් දකුනේ සිටින බව අපි දනිමු. ඒ අනුව කොටි ත්‍රස්තවාදය විනාශ කිරීම පිළිබඳ ප්‍රතිවිරුද්ධ අදහස් දරන දෙපිරිසක් දකුනේ සිටිති. මගේ ප්‍රශ්ණය මේ ආකාරයටම උතුරේද කොටි ත්‍රස්තවාදය විනාශ කිරීම පිළිබඳ ප්‍රතිවිරුද්ධ අදහස් දරන දෙපිරිසක් සිටිය නොහැකිද? 

අද අපිට ආණ්ඩුවත් යහපාලන ක්‍ෂමාලාපකයිනුත් බටහිර ආණ්ඩුත් කියා දෙන්නේ උතුරේ ජනතාව පොදුවේ කොටි ත්‍රස්තවාදය පරාජය කිරීම පිළිබඳව කිසි සේත් සතුටු නොවන බවය. මෙයද ඇත්ත? අඩු තරමින් ඒ ගැන සතුටු වෙන සුළු පිරිසක්වත් උතුරේ දෙමළ ජනතාව අතර නැද්ද? සිටිනවා නම් ඔවුන්ගේ හඬ ඇසෙන්නේ නැත්තේ කිමද?

වසර තිහක් තිස්සේ පරම්පරා දෙකක් සයනයිඩ් කරලට වහල් කර තම ග්‍රහනයේ තබාගෙන අවසානයේ තමන්ගේත් තම සංවිධානයේත් ගැලවීම සඳහා දහස් ගණනින් එක් කර මිනිස් පවුරක් සදා නිවට ලෙස බේරෙන්නට සැදූ ම්ලේච්ඡ ත්‍රස්තවාදියෙක් සහ ඔහුගේ සංවිධානය විනාශ කෙරීම පිළිබඳව උතුරේ සුළු පිරිසක් හෝ සතුටු වෙතැයි අනුමාණ කල හැකිය. උතුරේ බහුතරයක් තමන්ගේ ඥාතීන් හමුදාව අතින් මිය යෑම පිළිබඳව දුක්වනවා විය යුතුය නමුත් ත්‍රස්තවාදය කෙලවරක් වීම පිළිබඳව යම්තම් හෝ සතුටක් සැනසීමක් ඔවුන් සමහරක් දෙනෙකුට තිබිය නොහැකිද? එසේ ඇත්නම් කොටි ත්‍රස්තවාදය නතර කිරීමේ ගෞරවය ඒ සමහර දෙනා ලබා දෙන්නේ කාටද? සිතා බැලුවොත් ඒ ගෞරවය ලබා දිය යුත්තේ මහින්ද රාජපක්‍ෂ ප්‍රමුඛ රණ විරුවන්ට මිස වෙන කිසිවෙකුට නොවේ.

පැහැදිලිවම උතුරේ දෙමළ ජනතාව අතරද කොටි ත්‍රස්තවාදීන් විනාශ කිරීම පිළිබඳව සතුටුවන ඒ විනාශ කිරීමේ ගෞරවය මහින්ද රාජපක්‍ෂ ඇතුළු රණ විරුවන්ට ලබා දෙන සුළු පිරිසක් හෝ සිටිය යුතුය. නමුත් දකුනේ සිටින රණ විරු සැමරුමට විරුද්ධ වන සුළු පිරිසට ඇති දේශපාලන හයිය ඔවුන්ට නැත. ඔවුන්ගේ හඬ ඇසෙන්නේ නැත. මේ අසමමිතික බවට හේතුව කුමක්ද?

මේ දෙමළ ජනතාවට දේශපාලන හයියක් නැත්තේ දෙමළ ජනයා අතර දේශපාලනය කරන වෙල්ලාල නායකයින් මේ පිරිසට අනුග්‍රහයක් නොදක්වන බැවිනි. වෙල්ලාල නයකයින්ගේත් රණ විරුවන් සැමරීමට විරුද්ධවන යහපාලකයින්ගේත් ඇජෙන්ඩාව එකම නෙවේද?