Thursday, December 22, 2016

වංසේ

තාත්තාගේ මිතුරන් ඔහු ඇමතුවේ වංසේ කියාය. තාත්තා ඉපදුනේ කුරුණෑගල වේරවැල්ල කියන ගමේය. වේරවැල්ල ඇත්තේ ඉඳුල්ගොඩ කන්ද පාමුලය. කන්දේ අනිත් පැත්තේ ඇත්තේ කටුපිටියය. අපේ අම්මා කටුපිටියේය. මේ දෙන්නා මුණ ගැහී තිබුනේ ඉඳුල්ගොඩ කන්ද මුදුනේ තිබුනු පාසැලේදීය. ඔවුන්ගේ ආදර කථාව මා නොදන්නේ එවැනි දේ ගැන අපි දෙමව්පියන් සමඟ කථා බස් නොකල නිසාය. පාසල් නිවාඩුවට ගමේ ගිය විටකදී මා ඉඳුල්ගොඩ කන්ද නැග ඇත්තෙමි. දිනපතා එහි ඉහල පහල යෑම ලේසි පාසු නැත. 

අපේ සීයලා ජීවත්වුනේ ගොවිතැනින් කරලාය. තාත්තලාගේ නිවස කටු මැටියෙන් තැනූ බිම ගොම ඇතිරවූ පොල් අතු සෙවිලි කල ගෙයක් විනි. සාමාන්‍යයෙන් මේවා දුප්පත් බවේ සංකේත ලෙස සැලකුනත් තාත්තලා දුප්පත්තු නොවිනි. ඔවුන් කවදාවත් තමන් දුප්පත් යැයි සිතුවේත් නැත. 

තාත්තා වැඩි දුර ඉගෙන ගත්තේ නැත. මා නවේ පංතියේ පමණ සිටින කාලේ වරක් ජ්‍යාමිතිය ගැටළුවක් විසඳාගත නොහැකිව තාත්තාගෙන් විමසුවෙමි. තාත්තා පාසලේදී ජ්‍යාමිතිය ඉගෙන ගත්තාදැයි මම නොදනිමි. ඒත් ඔහු දස අතේ කල්පනා කරමින් පැයක් පමණ ඒ සමඟ ඔට්ටු වුනේය. අවසානයේ විසඳුමක් ලැබුනේ නැත. මට කියාදීමට නොහැකි වීම ගැන තාත්තා දුක් වුනි. ඒ හැරෙන්නට සාමාන්‍යයෙන් උගතෙක් නොවීම ගැන
තාත්තා දුක් වුනේ නැත. 

අපේ තාත්තා උගතෙක් නොවේ. තාත්තා කිසිවෙටකත් උගතෙක් ලෙස පෙනී සිටියේවත් එලෙස හැසිරුනේවත් නැත. ඔහු බොහෝවිට සමාජයේ හැසිරුනේ කථා බහ කලේ නූගත් තාලෙටය. සමහරවිට මේ හැසිරීම් කුඩා කල මගේ මවත් අපවත් අපහසු තාවට පත් කෙරිනි. නමුත් වයසට යනවිට මා තේරුම් ගත්තේ මටද ඒ නූගත් හැසිරීම් රටාවම පිහිටා ඇති බවය. වෙනස තාත්තා මෙන් නොව මා උගතෙකු ලෙස පෙනී සිටීමය. 

තාත්තා නූගතෙක් වූයේ බටහිර දැනුමෙහිය. ඒ නූගත්කම හා අන්‍යෝන්‍ය වශයෙන් බැඳුනු තවත් ලක්‍ෂණයක් විය. ඒ තාත්තාගේ නිහතමානීකමය. තාත්තාගේ නොයෙකුත් වැරදි තිබිනි. ඔහුට නිතර තරහ ගියේය. තරහ ගිය විට ඔහු බැණ වැදිනි. නමුත් ඔහු එසේ කලේ තමන් පිළිබඳ මානයකින් නොවේ. තාත්තාට හීනමානයක්වත් අධිමානයක්වත් නොතිබිනි. කොටින්ම මට සාපේක්‍ෂව ඔහු නිහතමානී විය. 

මා විශ්ව විද්‍යාලයෙන් පිටවී පශ්චාත් උපාධිය සඳහා රට යෑමට උත්සාහ කරමින් සිටියදී තාත්තා මට ඔහු වැඩ කල ආයතනයේ රස්සාවක් සොයා දෙන්නදැයි විමසීය. එකල මගේ මාන්නේ තරමට එවැනි රස්සාවක් මට තරම් නොවිනි. නමුත් තාත්තාට එහි වගක් නොතිබිනි. 

තාත්තා ජනප්‍රිය සමාජශීලී පුද්ගලයෙක් නොවිනි. මිතුරන් ඔහුට කිට්ටුවූයේ ඔහු අලි වංසයෙන් නොසිටි නිසා විය යුතුය. ඔහුට මාන්නයක් නැතිවීමත් ඔහුගේ නූගත්කමත් අතර සම්බන්ධයක් තිබිනි.  මා කියන්නේ උගත්කම නිසා ලැබෙන සමාජ තත්වය නිසා ඇති වෙන මාන්නයක් ඔහුට නොතිබුනා කියා නොවේ. මේ වෙන එකකි. 


බටහිර දැනුමෙහි උගත්කමම මාන්නයක් ගෙන දෙයි. බටහිර දැනුම අපට කියා දෙන්නේ වාස්ථවික අර්ථයෙන් ලෝකයක් ඇති බවය. උගත්තු සිතන්නේ ඒ වාස්ථවික ලෝකයේ වැඩ වෙන විදිහ ගැන ඔහුන් දැනුවත් යැයි කියාය. එය මාන්නයකි. ඒ මාන්නය නිසා උගත්තු අනිත්‍යය දුක අනාත්මය අවබෝධ කරගැනීමෙන් ඈත් කරවයි. තාත්තාට එවැනි මාන්නයක් නොතිබිනි. තාත්තාට පමණක් නොවේ ඔහුගේ පරම්පරාවේ බොහෝ දෙනෙකුට එවැනි මාන්නයක් නොතිබිනි. කලකට ඉහතදී මෙරට සමාජයම පොදුවේ ගත්විට නිහතමානී වන්නට ඇත. අවාසනාවකට අද සමාජයේ ඒ නිහතමානී කම නැත.

පසුගිය දා තාත්තා අප අතහැර ගියේය. තාත්තේ නුඹට නිවන් සුව අත්වේවා!

Sunday, December 18, 2016

මැරපාලනය ජාතිවාදය උදෙසායි

 මේ රටේ ජාතිකත්වය අඩුතරමින් ගැමුණු රජතුමා කාලෙ ඉඳං ආධ්‍යාත්මිකව පැවතගෙන එන එකක්. ප්‍රදර්ශණය නොකරට සිංහල බෞද්ධ ජාතිකත්වය තවමත් මේ රටේ නොමැරී තියෙන්නේ මේක මේ රටේ මිනිස්සුන්ගේ ඇඟේ තියෙන නිසයි. ඒ නිසා අපිත් ජාතිකත්වය උදෙසා තමයි කියල ඕනෙ ගොනෙකුට කියන්ඩ පුළුවන් වුනත් ජාතිකත්වය ඇඟේ නැත්තම් ඒක ආරෝපනය කරගන්ඩ බැහැ. 

ජාතියේ නිදහස වෙනුවෙන් සටන් කරපු රණ විරුවන්ව තමන්ගේ පැවත්තම වෙනුවෙන් දං ගෙඩියට බිලි දෙන්ඩ සූදානම්වුනු ආණ්ඩුවක් ජාතිකත්වය වෙනුවෙන් පෙනී සිටින බව පිළිගන්ඩ බෑ. නමුත් කපටිකමට මේ මැරපාලන ආණ්ඩුව එහෙම අඟවන්ඩ ඉඩ තියෙනවා. හැබැයි මේ ආණ්ඩුව ඇත්තටම පෙනී සිටින්නේ ජාතිකත්වයක් වෙනුවෙන් නෙවෙයි ජාතිවාදය වෙනුවෙනුයි.

ජාතිකවාදයයි ජාතිවාදයයි අතර වෙනස පැහැදිලියි. ජාතිකවාදයේ කෙරෙන්නේ එකතු කිරීමක්. ජාතිවාදයේ කෙරෙන්නේ වෙන් කෙරීමක්. 

ජාතිකවාදයේ එකතු කෙරෙන්නේ සාමූහිකත්වය පදනම් කරගෙනයි. ජාතිවාදයේ බෙදෙන්නේ පුද්ගලිකත්වය පදනම් කරගෙනයි.

ජාතිකවාදයේ පුද්ගලයා පවුල් වලටත් පවුල් ඊට වඩා ලොකු කුලක වෙන ගම් වලටත් ගම් පලාත් වලටත් ආදී වශයෙන් අනුක්‍රමණයෙන් විශාල කුලක වලට එකතු කෙරෙනවා. සාමූහිකත්වය පදනම් කරගෙන එකතුවිය හැකි විශාලම කුලකය ජාතියයි. ජාතියක් ගොඩනඟමින් පවත්වාගෙන යාම ජාතිකවාදයේ අරමුණයි.




ජාතිවාදයේ කෙරෙන්නේ මේකෙ අනිත් පැත්ත. ඒ අනුව ජාතියක් ජන වාර්ගිකවත් පළාත් බදවත් අනුක්‍රමණයෙන් බෙදනවා. අන්තිමේදී පුද්ගලයාත් ස්ත්‍රී පුරුශ භාවය මත හෝ ලිංගිකත්වය මත හෝ බෙදනවා. මෙතන අරමුණ පුද්ගලයාගේ පැවැත්මයි.   

රනිල් වික්‍රමසිංහ ප්‍රධාන මේ ආණ්ඩුවත් මේ ආණ්ඩුවට මතවාදීව සහාය දෙන ඊනියා උගත්තුත් අවසානයේ පෙනී සිටින්නේ වෙන් කෙරීම උදෙසා මිස එකතු කිරීමක් වෙනුවෙන් නොවෙයි. මොවුන් ජනවාර්ගික පදනමක් මත හෝ ස්ත්‍රී පුරුශ භාවය මත හෝ ලිංගිකත්වය මත හෝ පදනම් වෙන බෙදීම් ගැන මිස මේවා එකතු කිරීමක් ගැන කිසි විටෙකත් කථා කරනවාද? ජනවාර්ගික පදනමක් මත රටේ බලය බෙදලා ආපහු එකතු කරන්නේ කොහොමද කියා මොවුන් පහදා දී තියෙනවාද?  

රනිල් වික්‍රමසිංහ ප්‍රධාන මේ ආණ්ඩුව ජාතිවාදීයි. ආණ්ඩුව මැර බලය පාවිච්චි කරන්නේ බෙදා වෙන් කෙරීමටයි.

Saturday, December 10, 2016

අයියෝ වරාය! අයියෝ රට!!

එජාප රජයක් බලයට ආපු හැම අවස්ථාවකම රටේ සම්පත් විකුණුවා, ප්‍රාග්ධනය හොයන්ඩ. නමුත් එහෙම විකුනල හොයපු ප්‍රාග්ධනයෙන් වැඩක් ගන්ඩ සමත් කමක් එජාපෙට කවදාවත් තිබිල නැහැ. ආණ්ඩුවේ ධූර කාලය ඇතුලෙම ඔවුන් ඒ සල්ලි කබාසීනියා කරලා දැම්මා. ඒකට මූලික හේතුව නායකයින්ගේ අසමත්කම. සාමාන්‍යයෙන් එජාප ආණ්ඩුවක තීරණ ගැනීමේ බලය තියෙන දෙතුන් දෙනා කොළඹ නගරයේ ප්‍රසිද්ධ පාසලක අධ්‍යාපනය ලැබීම පමණක් සුදුසුකම කරගත් අදක්‍ෂයින්. මේ රටේ මෙවැනි පුද්ගලයින්ට වැඩ කාරයෝ හැටියට ප්‍රතිරූපයක් ගොඩනඟා ගන්ඩ අපහසු නෑ. නමුත් ඇත්තටම මේ අයට වැඩ බෑ. රටේ ප්‍රධාන ආර්ථික මර්මස්ථානයක සියයට 80ක් අවුරුදු 198කට විදේශ රටකට බදු දෙන්ඩ දක්‍ෂයෙක් වෙන්ඩ ඕනෙද?

මේ රටේ ලොකුම ප්‍රාග්ධනය මේ රටේ මිනිස්සු. වෙනත් බොහෝ රටවලට වඩා මේ රටේ මේ ප්‍රාග්ධනය එකතු කරගන්ඩත් පුළුවන්. අපිට ඒ පුරුද්ද තියෙනවා. අපි ගොවිතැන් කලේ තනි තනිව නෙවෙයි ගමක් හැටියට අඩු තරමින් යායක් හැටියට. සාමුහිකත්වය ගොඩනඟමින් සිදු කෙරෙන මහා පරිමාණ ආර්ථික ක්‍රියාවලි හරහා මේ රට දියුණු කරන්ඩ පුළුවන්. අද රට යන විදිහට තමන්ගේ මඩි තරකරනවුන් වීම හැරෙන්ඩ මිනිස්සුන්ගෙන් වෙන වැදගත් කාර්යයක් නැහැ. මේ රටේ මිනිස්සුන්ට මේ විදිහට තනියෙන් යන්ඩ දීලා ආර්ථිකය දියුණු වෙන්නේ නෑ සාමූහිකත්වය පදනම් කරගෙන මිනිස්සු ආර්ථික ක්‍රියාවලි වලට සහභාගී කරවා ගන්ඩ ඕනෙ. මේ රටේ තියෙන විශාලම ප්‍රාග්ධනය රට වෙනුවෙන් යොදවා ගන්ඩ හරි හමන් දැක්මක් තියෙන හරි හමන් නායකයෙක් අවශ්‍යයි. 

හරිහමන් නායකයෙක් ගොඩනඟා ගන්නකන් තව තවත් රටේ සම්පත් විකිණේවි. රට විකිනීමට එරෙහිව ජනතාව අවදි කලයුතුයි. ඒකාබද්ධ විපක්‍ෂයේ වගකීම එයයි. හම්බන්තොට වරායේ අභ්‍යාසලාභීන්ගේ රැකියාව පිළිබඳ ප්‍රශ්ණයයි වරාය විකිනීමයි දෙකක්. වරාය සහ හම්බන්තොට ඉඩම් විදේශිකයින්ට මේ සා කාලයකට දෙනවා කියන්නේ පරම්පරා ගණනකට මේ සම්පත් අපට අහිමි වෙන බවයි. රටේ වෙනත් වරායනුත් මේ වගේ විකිනෙයිද? තිරිකුණාමලේ කාටද? වරායවල් වෙලඳ වටිනාකමකින් යුතු වුනත් ඒවාට යුධමය වටිනාකමකුත් තියෙනවා නේද? වරායවල් විදේශයන්ට විකිනීම ගැන නාවික හමුදාපතිතුමාට කීමට ඇත්තේ කුමක්ද?

Friday, December 9, 2016

කොටි සංහාර වෙනුවෙන් වගකිය යුත්තෙක් නැද්ද?

1990 ජූනි මාසෙ දවසක එවකට ජනාධිපතිවරයාවූ ආර් ප්‍රේමදාස ගේ අණ පරිදි අවි බිම තැබූ පොලිස් නිළධාරීන් හයසිය ගණනක් ජීවග්‍රහයෙන් අල්ලා ගෙන ගොස් කොටි ත්‍රස්තවාදීන් විසින් ඝාතනය කරනවා. මිනිස්සු හයසීයක් කියන්නෙ කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරය වගේ දෙකක් පුරවන්ඩ පුළුවන් මිනිස්සු තොගයක්. මොවුන් ඝාතනය කරපු හැටි අවශ්‍යනම් අයිසිස් ත්‍රස්තවාදීන්ගේ ජනප්‍රිය වීඩීයෝ පට වලින් හිතා ගන්ඩ පුළුවන්. මොවුන් මිය යන්නේ සාමාන්‍ය අවි සටනකදී නෙවෙයි. මොවුන් ඝාතනය කෙරෙන්නේ යටත්වූ පසුයි. නමුත් ඊටත් වඩා වැදගත් මොවුන් යටත් වෙන්නේ සටනකින් පැරදුන නිසා නොවෙයි. මොවුන් යටත් වෙන්නේ රටේ ජනාධිපතිවරයා ඔවුන්ට යටත් වෙන ලෙස අණ දුන් නිසයි. 

මේ අවධියේ කොටි ත්‍රස්තවාදීන් සමඟ ප්‍රේමදාස සාම ගිවිසුමක් ගහගෙන හිටිය. මේ පොළිස් නිළධාරීන්ගෙන් අඩක් හිටියෙ මඩකලපුවෙ පොළීසියෙ ඔවුන්ට දීල තිබුන ස්ථාවර නියෝගය තමයි කිසිම අවස්ථාවක කොටින්ට එරෙහිව ගිනි අවි භාවිතා නොකරන ලෙස. ඒ සාමය කැඩෙයි කියන බයට. කොටි ඇවිත් මඩකලපුවෙ පොළීසියෙ අයට යටත් වෙන ලෙස නියෝග කලාම ප්‍රේමදාසගේ අන පරිදි මේ අය අවි කොටින්ට දීල යටත් වෙනවා. නමුත් කල්මුණේ පොළීසියේ හිටපු තවත් තුන්සීයක් පමණ දෙනා ඒඑස්පී බොතේජු යටතේ ඒ අන නොතකා සටන් කරනවා. බොතේජු ගුවන් ප්‍රහාරක යානා සහාය තමන්ට ලබා දෙන ඉල්ලුවත් ඔහුට එය ලැබෙන්නේ නෑ. ඔවුන් කොටින්ට දරුණු ප්‍රහාරයක් දීල ඔවුන් දුබල කරවනවා. සටන යන අතරේ ප්‍රේමදාස පොළිස්පති අර්නස්ට් පෙරේරාව මඩකලපුවට ගුවණින් යවලා බොතේජුට යටත් වෙන ලෙස බල කරවනවා. යටත්වුනොත් මරණය අත්වෙන බව දැන දැනත් යටත් වෙන්ඩ නියෝග කිරීම නීති විරෝධී බව පසු කලෙක මේ සිද්ධිය උගත් පාඩම් සහ ප්‍රතිසන්ධාන කොමිසමට සාක්‍ෂි සපයන ටාසි සෙනවිරත්න පවසනවා. කෙසේ නමුත් අර්නස්ට් පෙරේරාගේ බලපෑම මත බොතේජුයි ඔහුගේ පිරිසයි සටන නවත්වනවා. අවසානයේ බොතේජුගෙ රණ විරුවනුත් ඇතුළු නැඟෙනහිර පළාතේ සේවය කල පොළිස් නිළධාරීන් හයසියයට වඩා වැඩි ගණනක් තිරිකුණාමලේ වන ලැහැබක ඝාතනය කෙරෙනවා.

නමුත් ප්‍රේමදාස මේ විරුවන්ගේ ජීවිත ගැන වගකීමක් ඒ අවස්ථාවෙදිවත් ඊට පසුවවත් ගත්තේ නෑ. ඒ අකුසල කර්මයට දායකවීමේ ආනිසංස ප්‍රේමදාස මේ භවයේම විඳෙව්වා විය හැකියි. පව් සමාවීමක් බුදුදහමේ නැති නිසා කරපු පව් වලට සමාව ඉල්ලීමත් තේරුමක් නැති වැඩක්. බෞද්ධයැයි කියන වත්මන් අගමැති වරයා ඒ බව දන්නවාදැයි කිව නොහැකියි. නමුත් බෞද්ධයින්ට කල හැකි දේවල් තියෙනවා ඒතමයි වගකීම භාර ගැනීම, එවැනි වැරදි අනාගතයේදී නොකෙරීමට පොරොන්දුවීම සහ අගතියට පත් අයට යුතුකම් ඉශ්ඨ කිරීම. මඩකලපුවේ නිරපාදේ ඝාතනය කෙරුනු පොළිස් විරුවන්ගේ ජීවිතවල වගකීම ප්‍රේමදාස හෝ එකල එක්සත් ජාතික පක්‍ෂ ආණ්ඩුව නොගත් නිසා අඩුම වශයෙන් එම පක්‍ෂයේ වත්මන් නායකයා වන අගමැති වරයා ඒ වගකීම දැන්වත් භාරගත යුතුයි. 

දැන් එල්ටීටීය මේ සංහාරයෙන් සහ වෙනත් නිරායුධ සිවිල් වැසියන් ඝාතනය කෙරීම් වල වගකීමෙන් නිදහස්ද? ඔවුන්ගේ නායකයින් මිය ගොස් ඇති නිසාත් එම සංවිධානය දැන් නැතැයි කියන නිසාත් එල්ටීටියට ඒ වගකීම හිමි වන්නේ නැද්ද? එමෙන්ම යුධ අපරාධ චෝදනා රජයේ ආරක්‍ෂක අංශවලට පමණක් එල්ල වන්නේ එල්ටීටියට චෝදනා එල්ල කිරීමට එල්ටීටියක් නැති නිසාද? ඒ කියන්නේ වසර තිහක් තිස්සේ කොටි මේ රටේ කරපු සංහාරයන් වලට වගකීමක් ගන්ඩ කිසි කෙනෙක් නැති බවද?

එහෙම වගකීමක් නොගෙන ඉන්ඩ ඉඩ දෙන්ඩ තිබුනා නන්දිකඩාල් විසඳුම විසඳුමක් හැටියට පිළිගන්නවානම්. එහෙම නම් කොටි සංවිධානයත් නෑ කොටි පෙනී හිටිය දේශපාලනයත් නැහැ. අහවරයි. නමුත් කොටි පෙනී හිටිය බෙදුම්වාදී දේශපාලනය ඒ ආකාරයටම බලහත් කාරයෙන් සිදුකෙරෙනවා නම් කොටි ඝාතන පිළිබඳ වගකීමත් ඒ දේශපාලන ක්‍රියාකාරීන් භාරගත යුතුයි. 

රනිල්-සිරිසේන ආණ්ඩුව කොටි දේශපාලනය එලෙසම ඉදිරියට ගෙනයනවා. අද දෙමළ සහ මුස්ලිම් ජාතිවාදීන් උතුර සහ නැඟෙනහිර පළාත් සිංහලුන්ගෙන් මුක්ත කලාපයක් බවට පත් කරන්නේ මේ ආණ්ඩුවේ අනුදැනුම ඇතිව. ඊලඟට මේ ආණ්ඩුව නව ව්‍යවස්ථාවක් හදල රට දෙකඩ කරන්ඩ යනවා. ප්‍රභාකරන් පෙනී හිටියෙත් මේ දේශපාලනය වෙනුවෙන් මිසක් වෙන එකක් වෙනුවෙන් නෙවෙයි. අදත් උතුරු නැඟෙනහිර පළාත් වල සිංහලුන්ට වාසය කරන්ඩ බැරි කරන්නේ බලහත්කාරයෙන්. ව්‍යවස්ථාව වෙනස් කරලා රට බෙදන්ඩ යන්නෙත් බලහත්කාරයෙන්. ප්‍රභාකරන් කලෙත් බලහත්කාරයෙන් අද ඉන්න මධ්‍යස්ථයි ලිබරල් යැයි කියාගන්නා දේශපාලඥයින් කරන්නෙත් බලහත් කාරයෙන්. එහෙම නම් රනිල්-සිරිසේන ආණ්ඩුවත් එය වටා සිටින ඊනියා උගතුන් එන්ජීඕ ක්‍රියාකාරිකයින් ආදීනුත් ප්‍රභාකරන්ට වඩා වෙනස් වන්නේ කොහොමද? 


නන්දිකඩාල් විසඳුම පිලිනොගන්නවා කියන්නේ පහුගිය අවුරුදු තිහ එලෙසම ගලාගෙන යන්ඩ ඕනෙ කියල ඉල්ලන එකයි. නන්දිකඩාල් විසඳුම පිළිනොගන්නේ නම් මේ හැත්ත බුරුත්තම කොටි ත්‍රස්තවාදීන්ගේ සමූල ඝාතනවලට වගවිය යුතුයි.

Tuesday, December 6, 2016

ඉංදියාවේ අළුත් නේපාලය වෙන්ඩ කැමතිද?

මේ වෙනකොට ආණ්ඩුවට පක්‍ෂ විපක්‍ෂ සියලු දෙනාම පිළිගන්ඩ ඕන කාරනය තමයි මේ ආණ්ඩුව පත්කරල තියෙන්නේ වෙන කිසි හේතුවකට නොවෙයි බලය බෙදීමට බව. පත්වෙලා තියෙන්නේ ඒ වෙනුවෙන් වුනත් ජනතාව ආණ්ඩුවෙන් බලය බෙදන්ඩ කියල ඉල්ලුවෙ නෑ. මේක අපි අමතක නොකල යුතුයි. අඩුතරමින් මැතිවරණයට කලින් බලය බෙදන්ඩ යනවා කියල මේ කවුරුවත් සිංහලුන්ට එළිදරව් කලේ නෑ. ඇත්තටම ඒ බව ඔවුන් හිතාමතාම හැංගුවා. ව්‍යවස්ථාව වෙනස් කරන කථාවක් කියවුනා. නමුත් ව්‍යවස්ථාව වෙනස් කරන්ඩ ඕනෙ කිව්වෙ ජනාධිපතිකම අහෝසිකරන්ඩයි මැතිවරණ ක්‍රමය වෙනස් කරන්ඩයි මිසක් බලය බෙදන්ඩ නෙවෙයි. ඒ නිසා මේ ආණ්ඩුවට බලය බෙදන්ඩ ජන වරමක් නෑ. නමුත් මේ ආණ්ඩුව පත්වුනදා ඉඳං අනිත් සියලු කාරනා මඟ හරිමින් ඊතලයක් වගේ ඇදෙන්නේ බලය බෙදන ව්‍යවස්ථාව ගේන්ඩ. 

බලය බෙදීම මේ ආණ්ඩුව පවත්වාගෙන යන ඉංදියාවෙත් බටහිර රාජ්‍යයන්ගෙත් දෙමළ ජාතිවාදීන්ගේත් උවමණාව. ඒ අතරිනුත් රනිල්-සිරිසේන ආණ්ඩුවට වැඩිම බලපෑමක් කරන්ඩ පුළුවන් ඉංදියාව නිසා අවසානයේ වැඩ වෙන්නේ ඉංදියාවට අවශ්‍ය විදිහට කියල හිතන්ඩ පුළුවන්. 

උතුර නැඟෙනහිර දෙමළ රාජ්‍යයක් ඇති කිරීම ඉංදියාවේ අරමුණ වෙන්ඩ බැහැ. දකුණු ඉංදියාවේ බෙදුම්වාදයට උඩගෙඩි දෙන්ඩ උතුරු ඉංදියාවේ බමුණන්නට අවශ්‍ය නැහැ. ඒකෙන් කියන්නේ නැහැ උතුර නැඟෙනහිර දෙමළ රාජ්‍යයක් ඇතිවීමේ අවධානමක් නැහැ කියල. දෙමළ ජාතිවාදීන්ගේ උවමණාව ඒකයි. ඔවුන් ඒ වෙනුවෙන් වැඩ කරාවි. නමුත් ඉංදියාව එවැනි ප්‍රවණාතවකට මුලු මණින්ම විරුද්ධ වේවි. ඉංදියාවේ මූලික අරමුණ මේක දුර්වල රාජ්‍යයක් කරල තමන්ට අවනත කරගන්ඩ. නේපාලය වගේ. 

නේපාලය දුර්වල අස්ථායි දුප්පත් රටක්. පහුගිය වසර අට ඇතුලෙ නව පාරක් ආණ්ඩුව මාරුවුනා. ඉංදියාව වගේම චීනෙත් අභ්‍යන්තර කටයුතු වලට අතපොවනවා. ඉංදියානු-නේපාල වෙලඳ ගනුදෙනු අතිශයෙන් ඉංදියාවට වාසිදායකයි. එහි ආර්ථික වර්ධනය නොගිනිය හැකි තරම්. අපි අපෙන් අහන්ඩ ඕනෙ ප්‍රශ්ණය තමයි ඉංදියාවේ අළුත් නේපාලය වෙන්ඩ කැමතිද කියන එක. රනිල් වික්‍රමසිංහ බලහත්කාරයෙන් ගේන්ඩ හදන ව්‍යවස්ථාවේ අරමුණ මේ රට තවත් නේපාලයක් කරලා ඉංදියාවට පාවා දීම. 

ජේ ආර් ගේ ව්‍යවස්ථාව සංශෝධන වලට අනුව පළාත් ආණ්ඩුකාරවරයා පත් කරන්නේ ආණ්ඩුව. ඒ අනුව පළාත් සභාවල අනපනත් අනුමත කිරීමේ බලය ආණ්ඩුකාරවරයාට හිමිවුනා. අවශ්‍යනම් පළාත් සභාව විසුරුවා හරින්ඩත් ආණ්ඩුවට පුළුවන්. නමුත් අළුත් යෝජනාවලට අනුව පළාත් සභාවල අනපනත් අනුමත කිරීමට ආණ්ඩුකාරවරයාට ඇති බලය අහෝසි කරලා. ආණ්ඩුකාරවරයා පත්කිරීම පළාතේ මහ ඇමතිවරයාගේ (උදා: විග්නේශ්වරන්) අනුමැතියට යටත්ව සිදු කල යුතුයි. ඒ විතරක් නෙවෙයි ආණ්ඩුකාරවරයා සැමවිටම පළාත් මහ ඇමතිවරයා සහ ඇමති මංඩලයේ උපදෙස් මත වැඩ කල යුතුයි. මේ අනුව ආණ්ඩුකාරවරයාට ආණ්ඩුව වෙනුවෙන් පළාත් සභාවට කිසිම බලපෑමක් කරන්ඩ බැහැ. මීට අමතරව පොලිස් සහ ඉඩම් බලතලත් පළාත් සභාවට ලබා දෙනවා. අන්තිමේදී හැදෙන්නේ ඉතා බලගතු පළාත් සභාවල් ටිකක්. මේවට ස්වාධීනව වැඩ කරන්ඩ පුළුවන්. මේවා පාලනය කරගන්න, එකතු කරගන්ඩ ආණ්ඩුවට නීතිමය අවකාශයක් නැහැ. එතකොට ඇත්තටම ආණ්ඩුවක් නැහැ වගේ. 

මේ ව්‍යවස්ථාව සම්මත වුනොත් අනාගතයේ ලංකාවට ආණ්ඩුවක් නැති අඩුව පිරිමහන්නේ ඉංදියාව. ඉංදියාව තමයි උතුර නැඟෙනහිර සහ සෙසු සිංහල පළාත් අතර බල තුලනය කරන්නෙ. එමඟින් ඉංදියාවට පුළුවන් වෙනවා අවශ්‍ය වෙලාවකට ඔවුන් හිතන පතන ලෙසට මේ රටේ දේශපාලනය හසුරුවන්ඩ. රනිල් වික්‍රමසිංහ යෝජනා කරන්නේ මේ රට සහමුලින්ම ඉංදියාවට පාවා දෙන්ඩ.

Saturday, December 3, 2016

කුල සහ කාස්ට්

කමලිකා පීරිස් මේ සතියේ අයිලන්ඩ් පුවත් පතට බෙරවා කුලය ගැන ලිපියක් ලියමින් පාරම්පරිකව උඩරට නැටුම් වැයුම් ශිල්පය පවත්වාගෙන ආපු පරම්පරාවල මිනිස්සුන් ගැන මේ රටේ මිනිස්සු දරන දරපු ආකල්ප ගැන විස්තරයක් කරනවා. මෙහිදී කමලිකා පීරිස් ඉස්මතු කරන්නේ නුවර ජීවත්වුනු මිනිස්සු බෙරවා කුලයේ මිනිස්සුන් පහත් යැයි සැලකුවත් කොළඹ නගරයේ ජීවත්වුනු උගත් යැයි සම්මත මිනිස්සු ඔවුන්ට සමසේ සැලකු බවයි. උදාහරණයක් හැටියට 1950 ගණන්වල නුවර හිල්වුඩ් බාලිකා විද්‍යාලයේ උඩරට නැටුම් උගන්වන්ඩ යන පාරම්පරික ශිල්පිණියකට එහි දැරියන් විසින් පහත් ලෙස සැලකු බවත් උගතෙකු යැයි සිතිය හැකි චිත්‍රසේනගේ පියා සිය පුත්‍රයාට නැටුම් ඉගැන්වීම සඳහා ගෙදරට කැඳවාගත් නැටුම් ගුරුවරුන්ට ගෞරවයෙන් සැලකු බවත් එහි සඳහන්. ඒ කියන්නේ ඊනියා උගත්කම හරහා කුල වාදය පිටු දැකෙන බවයි. මේක සාමාන්‍යයෙන් අද රටේ උගත්තු පිලිගන්න කැමති කථාවක්. බොහෝ උගත්තු කුලය සාධාරන සමාජ මට්ටමක් ලෙස පිලිගන්නේ නැතිව ඇති නමුත් මටනම් මේ සම්බන්ධයෙන් නුවර මිනිස්සුන්ගේ විශේෂ නරකක්වත් ඊනියා උගතුන්ගේ විශේෂ හොඳක්වත් දකින්ඩ බැහැ. මේ දෙගොල්ලොන්ම මේ රටේ කුල ගැන දරන ආකල්ප බටහිර අධිරාජ්‍යවාදය විසිනුත් විශේෂයෙන් ඉංග්‍රීසි අධ්‍යාපනය හරහාත් ලබා ගත්ත ඒවා මිස මේ රටේ ඒ හටියටම තිබුනු දේවල් නෙවෙයි. 

විවිධ ශිල්ප සහ ශාස්ත්‍ර පාරම්පරිකව උරුමකර ගත් පිරිස් අපේ රටේ ඉන්ඩ ඇති. බටහිර නූතනත්වයේ මෙන් ඒ දැනුම් සියලු දෙනාටම එක සේ ලබා ගැනීමට නොහැකි වන්නට ඇති. ඒ නිසා මේ දැනුම් ඒ ඒ පවුල් වලට සීමා වෙන්නට ඇති. ඒක තරමක ආරක්‍ෂාකාරී පියවරක්. නමුත් ශිල්ප සහ ශාස්ත්‍ර දැනුම මතම පදනම් වෙලා ඔය කුල උස් පහත් කියන ආකාරයට ඔය පවුල්වල මිනිස්සුන්ගේ සමාජ මට්ටම නිර්ණය වුනා යැයි කීම පිලිගත නොහැකියි. හේතුව මේකයි.

අද සමාජය ගත්තත් ශිල්ප සහ ශාස්ත්‍ර ප්‍රගුණ කල මිනිස්සු තමයි සමාජයේ ඉහල මට්ටමක ඉන්නවයි කියල සලකන්නෙ. ඒ ඉහල මට්ටමට යන්ඩ නෙවෙයිද අපි අවුරුදු දොලහක් හෝ ඊට වැඩි ගණනක් ඉස්කොලෙත් ඊට පස්සෙ විශ්ව විද්‍යාලවලටත් ගිහින් ශිල්ප සහ ශාස්ත්‍ර ඉගෙන ගන්නෙ. දැන් කිසියම් සමාජයක් තියෙන්ඩ පුළුවන්ද මේ ශිල්ප ශාස්ත්‍ර ප්‍රගුණ කල මිනිස්සු පහත් යැයි සලකන? ලොවෙත් තියෙන්ඩ බැහැ නේද?

අපි දැන් මීට දෙතුන් සීයකට ඉහත ලංකාවේ ගිහි සමාජය සැලකුවොත් එහි ශිල්ප ශාස්ත්‍ර ඉහලටම ප්‍රගුණ කල මිනිස්සු කවුරුන් විය හැකිද? පැහැදිලිවම එතන ඉන්නෙ නැටුම් වැයුම් ශිල්පීන්, නැකත් ශිල්පීන්, වෙද්දු, ආචාරියො, ගනිතයෝ. චිත්‍රසේනගේ නැටුම් ගුරුවරයාවුනේ අල්ගම කිරි ගණිතයා. සමහරවිට ඔහුගේ පරම්පරාව නැටුම් ශිල්පීන් වුනාට අමතරව ගණිතයින්ද වෙන්ඩ ඇති. මේ ශිල්ප ශාස්ත්‍ර තමයි ඒ අවධියේ අපේ රටේ උසස් දැනුම් ලෙස සැලකුනේ. වෙන දැනුමක් මේ රටේ තිබුනේ නැහැනේ? එහෙම නම් අද අපි ශිල්ප ශාස්ත්‍ර ප්‍රගුණ කල මිනිස්සුන්ට ලබා දෙන සමාජ මට්ටම දිහා බැලුවහම මේ පරම්පරාවල මිනිස්සුන්ට ඒ හා සමාන උසස් මට්ටමක් එදා සිංහල සමාජයේ නොතිබුනා යැයි කියන්ඩ පදනමක් තියෙනවාද? අඩුම තරමින් ඔවුන් සමාජයේ පහත් යැයි සැලකීමට පදනමක් තිබුනාද? කිසිම පදනමක් නැහැ. උගත් මිනිස්සු පහත් වෙන්නෙ කොහොමද?

නමුත් ශිල්ප ශාස්ත්‍ර ප්‍රගුණ කල මිනිස්සු පහත් කරන්ඩ පුළුවන් විදිහක් තියෙනවා. ඒ තමයි ඔවුන්ගේ ශිල්ප ශාස්ත්‍ර පහත් කිරීම හරහා. ඉංග්‍රීසීන් කලේ ඒකයි. ඉංග්‍රීසීන්ට අපේ දැනුම් පහත් කරන්ඩ උවමනා වුනා. ඒ අනුව දේශීය දැනුම පහස් ලෙස සලකන්ඩත් බටහිර දැනුම උසස් ලෙස සලකන්ඩත් ඔවුන් අපට ඉගැන්නුවා. ඒ හරහා දේශීය දැනුම වගේම දැනුම ප්‍රගුණ කල මිනිස්සුන් පහත් තත්වයට ඇද දැමුනා. උඩරට නැටුම් කරපු බෙරවා කුලේ අයත් නැකත් බලපු නැකති කුලේ අයත් පහත් කුල ලෙස සැලකුනේ ඒ ආකාරයට. අවාසනාවකට ඒක ලේසියෙන් ඔවුන්ට කරන්ඩ පුළුවන් වුනේ අපි ශිල්ප ශාස්ත්‍ර පවත්වාගෙන ගියේ පවුලේ උරුමයන් හැටියට නිසයි. ඒ නිසා දැනුම පහත් කරනකොට දැනුම් ප්‍රගුණ කල පරම්පරාවම පහත් කෙරුනා ඒ වගේම චක්‍රීය වශයෙන් පරම්පරාව පහත් කෙරෙනකොට දැනුම් පද්ධතියම පහත් කෙරුනා. අද අපි පිලිගන්න ලංකාවේ කුල මට්ටම් සකස් කෙරුනේ ඉංග්‍රීසීන්ට අපේ දැනුම් පද්ධතිය පහතට ඇද දමන්ට තිබුනු මේ උවමණාවත් නිසයි. 1950 ගණන් වෙනකොට අපි පරම්පරා පහක් හයක් ඉංග්‍රීසීන් උගන්වපු විදිහට කුල ගැන හිතන්ඩ පුරුදුවෙලා ඉවරයි. නමුත් ඉංග්‍රීසීන්ට කලින් මේ රටේ කුල ගැන තිබුනු ආකල්ප අද තියෙන ආකල්පමයි කියන්ඩ තාර්කික පදනමක් නැහැ.

කුල ගැන කථා කරනකොට සමාන්‍යයෙන් ඉංදියාව මතක් වුනත් කාස්ට් කියන වචනය බිඳී එන්නේ කස්ටා කියන ස්පාඥ්ඥ වචනයෙන්. ස්පාඥ්ඥ ජාතිකයින් ඉතා තද බල ලෙස ඔවුන්ගේ ජාන වල පිරිසුදු බව ගැන තැකුවා. ඒ මත ගොඩනැඟුනු කුල ඔවුන්ට තිබුනා. ඒ කුල ආකල්ප ඔවුන් තමන්ගේ අධිරාජ්‍ය දකුණු ඇමෙරිකාව තුල වර්ධනය කරද්දී ක්‍රියාත්මක කලා. ඉංග්‍රීසීන්ද මේ ආකල්ප අනුකරණය කලා විය හැකියි. රොබට් නොක්ස්ද උඩරට සිරකරුවෙක් වෙන්නට පෙට කාස්ට් ගැන දැන සිටියා විය හැකියි. 

කොහොම වුනත් ඉංග්‍රීසීන්ගේ කාස්ට් අපේ කුල නෙවෙයි. ඊනියා උගත්තු කුලවාදය පිටුදැක්කත් ඔවුන් එය කරන්නේ බටහිර නූතනත්වය අනුකරණය කරමින් මිසක් මේ රටේ සංස්කෘතිය ගැන අවබෝධයකින් නෙවෙයි. අපි දේශීය දැනුම පහත් කරල සලකනතාක් කල් ඉංග්‍රීසීන්ගේ කාස්ටින් තියේවි.

Thursday, November 24, 2016

යුදෙව් සංස්කෘතිය හැලෙයිද?

ට්‍රම්ප්ට විශාල වශයෙන් ඡන්දය ලබාදුන් ඇම. එක් ජනපදයේ දකුණේ ප්‍රාන්තවල සුදු ජාතිකයින් වැඩි දෙනෙක් අදහන්නේ ඉවැන්ජලික ක්‍රිස්තියානි ආගමය. බහුතරයක් ඇමඑක් ජනපදයේ ප්‍රොතෙස්තන්ත ක්‍රිස්තියානියෝ ඉවැන්ජලිකයින් වෙති. ප්‍රොතෙස්තන්ත ඝනයට වැටුනද අනිකුත් ප්‍රොතෙස්තන්ත ක්‍රිස්තියානින් අතර ඉවැන්ජලිකයින් සංස්කෘතියෙන් වඩා කිට්ටු වන්නේ කතෝලිකයින්ටය. මන්ද ඉවැන්ජලික පල්ලිය මිනිසුන් සාමූහිකත්වයට නැඹුරු කරවන බැවිනි. එය සිදුවෙන්නේ ඉවැන්ජලික පල්ලියේ පූජකවරුන් හරහාය. පූජකවරයා බැතිමතුන් තමා වටා රැස් කර ගැනීමට උත්සාහ ගනියි. ඒ අතර ඉවැන්ජලික බැතිමතුන් පූජකවරයා සංකේතයක් ලෙස සලකමින් ඔහු වටා රොක් වෙති. මේ චක්‍රීය ක්‍රියාවලිය නිසා වෙනත් ප්‍රෙතෙස්තන්ත ක්‍රිස්තියානි පල්ලි වල දැකිය නොහැකි සාමූහික බවක් ඉවැන්ජලික පල්ලියේ දැක ගත හැකිය. ඒ නිසාම සාපේක්‍ෂ වශයෙන් ඉවැන්ජලික පල්ලියේ පූජක තනතුරට හිමිවන්නේ විශේෂ තැනකි. එහි පූජකවරු බොහෝ විට මනා පෞරශවයක් ඇති දක්‍ෂ කථිකයෝද වෙති. ඇම එක් ජනපදයේ දකුණේ ප්‍රණ්ත පුරා පල්ලි වල මෙවැනි දේශකයින් දැක ගත හැකිය. වසර සියයකට ආසන්න වයසැති තවමත් ජීවතුන් අතර වෙසෙන බිලි ග්‍රැහැම් දශක ගණනාවක් තිස්සේ ඇම.එක ජනපද වැසියන්ට නොයෙකුත් මාධ්‍ය ඔස්සේ දේශනා කරමින් බිලියන ගණනක් තම ආනුගාමිකයින් බවට පත්කර ගත් මහත් ගෞරවයට පත්වූ ඉවැන්ජලික පූජකවරයෙකි.

යුදෙව්වන්ගේ දෙවියන්වහන්සේ ප්‍රත්‍යක්‍ෂයෙන් දැනගත නොහැකිය. පොදුවේ ප්‍රොතෙස්තන්ත පල්ලිවල විශ්වාසයද එයය. ඒ නිසා එහි දෙවියන්වහන්සේ ජීවමාන කරගැනීමට උත්සාහයක් නොගැනෙයි. නමුත් ඉවැන්ජලික පල්ලියේ පූජකවරයා හරහා දෙවියන්වහන්සේ ජීවමාන කෙරෙයි. පොදුවේ ගත්විට ඇම එක් ජනපදික සුදු ජාතිකයෝ ප්‍රත්‍යක්‍ෂයෙන් දැනගත නොහැකි දෙවියන්වහන්සේ කෙනෙකුට වඩා ඉවැන්ජලික පල්ලියෙන් පූජකවරයා හරහා ප්‍රත්‍යක්‍ෂ කෙරෙන දෙවියන්වහන්සේටත් ඒ වටා ගෙතෙන සාමූහිකත්වයටත් ඇලුම් කරන බව පෙනේ. කලක සිටම ඇමඑක් ජනපද සමාජය, විශේෂයෙන්ම දකුණේ ප්‍රාන්ත මේ ආරට යමින් තිබෙනු දැකිය හැකිවිනි. බිම් මට්ටමේ ටී පාටි සංවිධාන ඔස්සේ සංවිධානය වෙමින් ට්‍රම්ප් දිනවූවේ මේ මිනිසුන්ය. 

පොදුවේ මේ මිනිස්සු විශ්වයේ ආරම්භය ගැන බටහිර විද්‍යාඥයින් කියන මහා පිපුරුමේ කථාව විශ්වාස නොකරති ඒ වෙනුවට ඔවුන් විශ්වාස කරන්නේ එය දෙවියන්වහන්සේගේ නිමැවුමක් බවය. එමෙන්ම ඔවුහු බටහිර විද්‍යාඥයින් කියන ගෝලීය උණුසුම්කරන කථාවද විශ්වාස නොකරති. ට්‍රම්ප් ගෝලීය උණුසුම්කරනය පිළිබඳ ජාත්‍යන්තර සංවිධානවලට ආධාර නොකරන බව පවසන්නේ ඊනියා ගෝලීය උණුසුම්කරනයක් පිළිබඳව ඔහුගේ ඡන්ද දායකයින්ට විශ්වාසයක්ද නැති බැවිනි. එය හුදෙක් ආර්ථික පදනමක් මත ගොඩනැඟෙන විරෝධත්වයක් නොවේ. මහා පිපුරුමත් ගෝලීය උණුසුම්කරනයත් බටහිර විද්‍යාවේ එන වියුක්ත කතන්දරය. ට්‍රම්ප්-ජාතිකවාදීන්ට වියුක්ත කතන්දර වල එතරම් ආකර්ශණයක් නැත. ඔවුන්ට වැදගත් ඇසට කනට පෙනෙන ඇඟට දැනෙන දේය. ඊනියා ජාත්‍යන්තරයක් ගැන විශ්වාසයක් ඔවුන්ට නැත්තේද එබැවිනි.

ට්‍රම්ප් ජාතිකවාදීන් බහුතරයක් ඉහල අධ්‍යාපනයක් නැති සාමාන්‍ය මධ්‍යම පංතික ඉවැන්ජලික සුදු ජාතිකයින්ය. ඊට සාපේක්‍ෂව ට්‍රම්ප් විරෝධියෝ පොදුවේ උසස් අධ්‍යාපනයක් ලද උගතුන්ය, ලිබරල්වාදීන්ය, නිරාගමිකයින්ය නැත්නම් අඩුතරමින් වෙනත් ප්‍රොතෙස්තන්ත ක්‍රිස්තියානින්ය. පොදුවේ ඔවුහු මහා පිපුරුම ගෝලීය උණුසුම්කරන වැනි වියුක්ත කථා විශ්වාස කරති. වියුක්ත කතන්දර ගෙතීමේ සමත්තු යුදෙව්වෝය. 

ට්‍රම්ප් හිතවාදීන් සහ විරෝධීන් අතර සංස්කෘතික බෙදුම යුදෙව් සංස්කෘතියට ඇති බැඳීම සහ නොබැඳීමක් ලෙස දැකිය හැකිය. ට්‍රම්ප්ගේ ජේශ්ඨ උපදේශකයෙක් වන ස්ටීව් බැනන්ගේ මාධ්‍ය ජාලය යුදෙව් විරෝධී අදහස් වලට තැනක් දුන් බවද මෙහිදී වැදගත් ලෙස සැලකිය යුතුය. ඒ නිසා ඒ බෙදුමේ යුදෙව් දේශපාලනයද ඇති බව අමතක කල නොහැකිය. ඉන් කියැවෙන්නේ පොදුවේ ට්‍රම්ප්-ජාතිකවාදීන් යුදෙව් විරෝධීන් බව නොවේ නමුත්  ක්ලින්ටන්-ජාත්‍යන්තරවාදීන්ට යුදෙව් සංස්කෘතිය විශේෂයෙන්ම එහි දැනුම කෙරෙහි තිබි ඇලීම ට්‍රම්ප්-ජාතිකවාදීන්ට නැති බවය. ඒ අනුව ට්‍රම්ප්ගේ ජයග්‍රහණය පෙන්නුම් කරන්නේ ඇමඑක් සමාජය යුදෙව් සංස්කෘතියෙන් ගැලවෙන්නට උත්සාහ දරමින් සිටින බව විය හැකිය. 

යුදෙව් ඊස්‍රායලයට ලොවපුරා සිය ආධිපත්‍ය පැතිරවීමට තරම් යුධමය හෝ ආර්ථිකමය ශක්තියක් නොතිබිනි. නමුත් වියුක්ත ප්‍රවාද ගෙතීම, විශ්ලේෂණය වැනි අංගයන්ගෙන් සමන්විත යුදෙව් දැනුම් පද්ධතිය ලොව පිළිගත් එකම දැනුම් පද්ධතිය බවට පත් කිරීමට හැකිවූයේ යුධමය හා ආර්ථිකමය ශක්තියක් හිමි ඇංග්ලිකන් ක්‍රිස්තියානි සංස්කෘතියේ ඉංග්‍රීසීනුත් පසු කලෙක ඇමඑක් ජනපදයටත් යුදෙව් සංස්කෘතිය වෙනුවෙන් පෙනී සිටි බැවිනි. ට්‍රම්ප්-ජාතිකවාදීන්  යුදෙව් සංස්කෘතියට කඩේ යතැයි සිතිය නොහැකිය. එය එසේ වුවහොත් අනාගත බටහිර සංස්කෘතියෙන් යුදෙව් සංස්කෘතික සංරචකය ලොප් වීමට ඉඩ තිබේ.

Tuesday, November 15, 2016

සාධාරන මානවයාගේ අභාවය

මෙතෙක් කල් ඇමෙරිකා එක්සත් ජනපදයේ වැසියන්ට පුරුදු කරල තිබුනෙ තමන්ට අයිති භුමි ප්‍රදේශය හෝම්ලෑන්ඩ් කියල හඳුන්වන්ඩ. මේක මාධ්‍යවල යන කෑල්ලක් විතරක් නෙවෙයි ඇමඑක් ජනපද රජයේ නිළ හඳුන්වාගැනීමක්. ලෝකෙ බොහෝ රටවල් වලට තියෙන්නේ හෝම්ලෑන්ඩ් විතරයි. ඒකට අමුතුවෙන් වචනයක් ඕනෙ නෑ තමන්ගේ රට ඒකයි. නමුත් ඇමඑක් ජනපදයට හෝම්ලෑන්ඩ් සහ වෙනත් ලෑන්ඩ් තියෙන බව අඟවන්ඩ උවමණාව තිබුනා. අඩුතරමින් ඔවුන්ගේ හමුදාව ලෝකයේ විවිධ තැන්වල ස්ථානගත කරලා තිබුනා. ඒකයි තමන් ජීවත්වුනු ප්‍රදේශයට වෙනම නමක් කියන්ඩ ඕනෙ වුනෙ. පැහැදිලිවම හෝම්ලෑන්ඩ් කියනකොට ඇමඑක් පනපදයේ අධිරාජ්‍යවාදී උවමණාවල් පැහැදිලි වෙනවා. ඒ අධිරාජ්‍යවාදයට මතවාද සපයන්නෙ ඊනියා ජාත්‍යන්තර වාදය. ඊනියා ජාත්‍යන්තරවාදය යොදාගෙන ඔක්කොම ලෑන්ඩ් හැමෝටම අයිතියි වගේ කතන්දරයක් කියන්ඩ හැදුවත් ඇත්තටම ඔක්කොම ලෑන්ඩ් එයාලගෙ ලෑන්ඩ් හැටියට තමයි වැඩ කෙරුනෙ.

ඊනියා ජාත්‍යන්තර වාදයක් වෙනුවෙන් අපේ රටේ ධනවාදීනුයි මාකස්වාදීනුයි අවස්ථාවාදීනුයි එකතු වෙනවා. මේ අය බටහිර රාජ්‍යවල අධිරාජ්‍යවාදයට ගොට්ට අල්ලනවා. මේ අය මෙච්චර කල් වැඩ කලේ වෙන වෙනම. රනිල් වික්‍රමසිංහ කලේ මේ අය එක තැනකට ගෙනෙන එක. අද චම්පක රණවකටත්, අනුර කුමාරටත් සරත් ෆොන්සේකාටත් විවිධ වර්ණවල වාමාවාදියොන්ටත් රනිල් වික්‍රමසිංහ නැතිව පැවැත්මක් නැහැ. හොරෙක් වුනත් ඒ අතින් රනිල් දක්‍ෂයි. මේ හැමෝම පෙනී හිටින්නේ ඊනියා ජාත්‍යන්තර වාදයක් වෙනුවෙන්. 

ඊනියා ජත්‍යන්තරවාදයේ පදනම යුදෙව් ක්‍රිස්තියානි චින්තනයේ එන සාධාරන මානවයා. ඔවුන්ට අනුව ලෝකයේ කොතැනටත් පොදු මානවයෙක් ඉන්නවා. ඊනියා ජත්‍යන්තරවාදයේ කථාකරන්නේ මේ ඊනියා මානවයාගේ අවශ්‍යතා සහ අයිතිවාසිකම්. බටහිරුන් තමන්ගේ දේශපාලණික ශක්තිය පාවිච්චි කරලා මානව අයිතිවාසිකම් තමන්ට අදාල කරගත්තේ නෑ නමුත් ඔවුන්ගේ දැනුම් ආධිපත්‍යය පාවිච්චි කරලා වාස්ථවික අර්ථයෙන් පොදු මානවයෙක් ඉන්නවාය කියන මතවාදය තහවුරු කලා. අපේ දුප්පත් ජාත්‍යන්තරවාදියොත් පිළිපදින්නේ මේ න්‍යාය. මේ අය අද ට්‍රම්ප්ට විරුද්ධව ඇමඑක් ජනපදයේ සුළු ජාතීන් වෙනුවෙන් පෙනී සිටිනවා. ජාතිකවාදය නිසා ජාතිවාදය ඇවිස්සෙනවලු. මේ අය මෙහෙම කියන්නේ සිංහල බෞද්ධ ජාතිකවාදයටත් මේක අදාල කරවන්ඩ. නමුත් මොවුන් දන්නේ නැහැ ඇමඑක් ජනපද රාජ්‍යයම පිහිටුවාගෙන තියෙන්නේ ඇංග්ලිකන් ක්‍රිස්තියානි සංස්කෘතියේ ආධිපත්‍යය පතුරවමින් බව. ක්ලින්ටන් ආවත් ඕකෙ වෙනසක් නැහැ.

හැබැයි බටහිර රටවල් ජාතිකවාදී වෙනකොට මේ සාධාරන මානවයාගේ පැවැත්ම බිඳවැටෙනවා. ජාතිකත්වයක් ගැන කියනකොට ඔවුන්ට කවදත් කොතැනත් ඉන්න මානවයෙක් ගැන කියන්ඩ බැහැ. ඒ වෙනුවට ඇංග්ලිකන් ක්‍රිස්තියානි සංස්කෘතියේ සුදු ජාතිකයෙක් ගැන කියන්ඩ වෙනවා. එතකොට අර වෙනත් ලෑන්ඩ් ගැන කථා එතරම් අදාල නැති වෙනවා. ට්‍රම්ප්ට වැදගත් ඇමඑක් ජනපදයේ දේශ සීමාව. වියුක්ත/සාධාරන මානවයගෙ සංකල්පය බිඳ වැටෙකොට ජාත්‍යන්තරවාදයට පැවැත්මක් නැහැ. අපට වැදගත් මේ කාරණයයි. බටහිර රාජ්‍ය ඉදිරියටත් අධිරාජ්‍යවාදී වෙයි. නමුත් සාධාරන මානවයා නැතිකරගැනීම හරහා ඔවුන්ගේ දැනුම් ආධිපත්‍යයේ විශාල සිදුරක් ඇතිකරගෙන ඉවරයි. මෙහෙ කට්ටිය සාධාරන මානවයෙක්ගෙ මානව අයිතිවාසිකම් ගැන කථා කරාට ඒ මානවයට පණ දෙන්ඩ ජාතිකවාදී බටහිරුන් ඉදිරියේදී ඉදිරිපත් වෙන එකක් නැහැ. එතකොට අපේ දුප්පත් ජාත්‍යන්තරවාදීන් තවත් අනාථ වෙනවා.