Tuesday, December 1, 2015

පාදඩ මධ්‍යම පංතිය

පසුගිය දිනක නරි බෑණා නාටකය නැවතත් නැරඹීමට අවස්ථාවක් ලැබිනි. නරි බෑණාත් සිංහබාහුත් මනමේත් යන නාටක තුනම මා මුලින්ම නැරඹුවේ කුඩා කල එකම වකවානුවක. එකලද වඩාත් මගේ සිත්ගත්තේ නරි බෑණා නාටකයය. එහි එන ගීත වල කන්කළු බව ඊට හේතුවන්නට ඇති. මේ නාට්‍ය තුන අතරින් ඇඟට දැනෙන දේශීය ගතියක් වඩාත්ම ඇත්තේ නරි බෑණා තුල බව පසුව මට අවබෝධවිනි. එහි ඒ ගුණ තවමත් ඇත. 

කෙසේ වෙතත් නරි බෑණා නාටකයේ කියැවෙන්නේ තරමට වඩා ඉදිමෙන්නට ගොස් පීචං වෙන නරියෙකු ගැනය. මට ඒ නරියා සිහිගන්වන්නේ මෙරට වර්තමාන මධ්‍යම පංතියය. දශකයක පමණ කාලයක සිට මෙරට මධ්‍යම පංතිය ලෙස හඳුනාගන්නා සමාජ කොටසක් සීඝ්‍ර ලෙස ව්‍යාප්තවෙමින් පවතී. කොටි ත්‍රස්තවාදය පරාජය කිරීමෙන් පසු එහි වරධන වේගය තවත් වැඩිවී ඇතැයි සිතේ. මේ පංතිය සාපේක්‍ෂ වශයෙන් ආර්ථික ශක්තියෙන් ධනාත්මක වර්ධනයක් අත් කරගෙන ඇත. නමුත් ඒ සමඟම ඔවුන්ගේ අපේක්‍ෂාවන් වලට ඊට වඩා වර්ධනයක් ලැබී ඇත. පොදුවේ ගත්විට මේ මධ්‍යම පංතියට තමන්ගේ අපේක්‍ෂා මුදුන් පත් කර ගැනීමට තරම් ආර්ථික ශක්තියක් නැත. මා එය පාදඩ මධ්‍යම පංතියක් ලෙස හඳුන්වන්නේ ඒ අර්ථයෙනි. 


බටහිර රටවල මධ්‍යම පංතියේ තත්වය මෙතරම් සෝචනීය නැත. පොදුවේ ගත් විට ඒ මධ්‍යම පංතියට තමන්ගේ අපේක්‍ෂාවන් ඉටුකර ගැනීමට හැකි අතර ඒ නිසා ඔවුන්ට ආරථික නිදහසක්ද හිමිය. මේ හේතුවෙන් බටහිර මාධ්‍යම පංතිය, අවම වශයෙන්, ඇමෙරිකානු මධ්‍යම පංතිය අපට සාපේක්‍ෂව උසස් මධ්‍යම පංතියක් ලෙස හැඳින්විය හැකිය. මීට වසරකට ඉහත ඇමෙරිකාවේ සිට ශ්‍රී ලංකාවේ ස්ථිර පදිංචිය සඳහා පැමිණෙන විට උසස් මධ්‍යම පංතියකින් පාදඩ මධ්‍යම පංතියකට මාරුවෙන බව මම නොදැන සිටියෙමි. සංක්‍රමනය වීමට ගත් තීරණය ගැන පසු නොතැවුනද මෙරට ඇතිවී ඇති සමාජ විපර්යාසය ගැන මම දුක් වෙමි.


ඒ ඒ රටවල සංස්කෘතීන්ට අනුව ඒ ඒ සමාජවල අපේක්‍ෂාවන් වෙනස්ය. ප්‍රශ්ණය අපේක්‍ෂාවන්ට සරිලන ආර්ථික හැකියාවක් ඇත්ද යන්නය. එසේ නොවේ නම් කල යුත්තේ සමාජයක් වශයෙන් හික්මීමය. අපි මේ රට සංවර්ධනය කල යුත්තේ අපේක්‍ෂාවන් සහ ආර්ථික වර්ධනය අතර සැමවිටම ගතික සමතුලිත බවක් පවත්වා ගනිමින්ය. නමුත් සිදුවී ඇත්තේ හික්මීම බල්ලට දමා අපේක්‍ෂාවන්ට සරිලන ලෙස ආර්ථිකය වර්ධනය කරගැනීමට පුද්ගලයින් වශයෙනුත් සමාජයක් වශයෙනුත් අපි උත්සාහ කිරීමය. 


බටහිර රටවල් ඊනියා සංවර්ධනයක් අත් කර ගැනීමේදී ඔවුන්ට මේ ප්‍රශ්ණය නොතිබුනි. සංවර්ධනය වෙද්දී ඔවුන්ගේ අපේක්‍ෂාවන් ක්‍රමයෙන් වෙනස් වුනි. නමුත් අපේක්‍ෂාවන් මොනවාදැයි තීරණය කලේද ඔවුන්මය. ඒ නිසා ඔවුන්ට අපේක්‍ෂාවන් සහ වර්ධනය අතර ගතික සමතුලිත බවක් පවත්වාගැනීමට හැකිවිනි. නමුත් අපේ අපේක්‍ෂාවන් ගැන නිර්ණායකයන් අපට දී ඇත්තේ බටහිර සංස්කෘතිය විසිනි. ආර්ථික සංවර්ධනය දුවන්නේ ඒ පිටුපසය. අපේ මධ්‍යම පංතිය පාදඩ වෙන්නේ ඒ නිසාය.


සිඟාල ගෝත්‍රයේ වුනද නරි බෑණාහි නරියාට නරියෙකු වීම නිසා තමන් අපේක්‍ෂාකල මනුස්ස දුව නොලැබී යයි. නරියෙක් වූවා මදිවට නාටකයේ වත්මන් සංස්කරණයේදී නරියා නිරූපනය වෙන්නේ නපුංසකයෙකු ලෙසය. ඒ නරියාට නම් කොහොමටත් නොහැකිය. මෙරට මධ්‍යම පංතියටද එසේමය. කලාව ජීවිතය අනුකරණය කරනවා යැයි කියන්නේ මෙවැනි දේට විය හැකිය

5 comments:

  1. Does that fox represent Ranil, our current Prime Minster? Or was it just a coincidence?

    ReplyDelete
  2. Happy to hear now you are living in Sri Lanka.

    ReplyDelete
  3. මං රස්සාවේ වැඩවලට ලංකාවට නිතර යනෙනවා. ආවාම පහසුව නිසා ගමන බිමන පයින්, කෝච්චිවල, ත්‍රී වීල් නැත්නම් නැනෝ. අපේ මධ්‍යම පාන්තික දන්නා අඳුනන අයට මේක හරිම පශ්ණයක්. අහන්නෙම වාහනයක් නැද්ද, ඇයි පයින්, මොකද කෝච්චි වල කියලා. උත්තර දීලා ඉවරය්ක් නෑ.

    ReplyDelete