Monday, December 21, 2015

පුද්ගලික අනන්‍යතාව ඉස්මතු නොකර සාමූහිකත්වයක් ගොඩනඟමු

සිංහ ලේ කියන්නේ ලේබලයක්. ඒක වටා දේශපාලනයක් ගොඩනැඟෙනවා නම් ඒ දේශපාලනය රඳා පවතින්නේ ඊට එකතුවෙන අයගේ මතවාද මතයි, එ් දේශපාලනය ලේබලයෙන් එහාට යන එකක් වෙන්ඩ පුළුවන්. එහෙම වෙනවා නම් අපි මේ ස්ටිකර් එකක් අල්ලගෙන කියන කථාවලින් තේරුමක් නැහැ.

නමුත් හුදෙක් ලේබලයකත් දේශපාලනයක් තියෙනවා. ලේබලයකින් කරන්නේ පුද්ගලික අනන්‍යතාවක් ප්‍රකාශ කිරීම. මගේ මතයට අනුව හුදෙක් පුද්ගලික අනන්‍යතාවක් ප්‍රකාශ කරන දේශපාලනයක් සිංහල ජාතිකත්ව දේශපාලනයකට ගැලපෙන්නේ නැහැ කියලයි. ලේබලයකින් කරන්නේ මම කව්ද කියල උලුප්පවන එක. ක්‍රිකට් මැච් චල මුණෙ සිංහ කොඩිය අඳිනකොටත් තියෙන්නෙ ඒක. මම ඉලිප්පීම අපේ සංස්කෘතියට ගැලපෙන්නේ නැහැ. ඒ නිසා මම ඉලිප්පීම මත තවමත් මේ රටේ ප්‍රබල ජාතිකත්ව දේශපාලනයක් ගොඩනඟන්න බැහැ කියල මම හිතනවා.

ජාතිකත්වය කියන්නෙ ජාතික අනන්‍යතාව මත ගොඩනඟන සාමූහිකත්වයක් බව ඇත්ත. ඒ වගේම සාමූහිකත්වයක් ගොඩනඟන්න අපිට ලාංඡන අවශ්‍යයි, හැබැයි ඒ ලාංඡන මගේ පුද්ගලික අනන්‍යතාවයේ ලාංඡනයක් කරගන්නෙ නැතිව. උදාහරණයක් වශයෙන් අපි වෙසක් එකට වෙසක් කුඩූ එල්ලනව. බුදු දහමට කිසිම සම්බන්ධයක් නැතිවුනත් ඒක වැදගත් වැඩක් මොකද ඒ ක්‍රියාව තුල අපි සිංහල බෞද්ධයෝ වශයෙන් සාමූහිකත්වයක් ඇති කරගන්නවා. වෙසක් සැරසිලි සිංහල බෞද්ධකමේ ලාංඡනයක්. අපි ඒව පවත්වාගෙන යන්ඩ ඕනෙ. නමුත් සිංහල බෞද්ධයෝ බකට් බෙල්ලෙ එල්ලං යන්ඩ එතරම් උනන්දුවක් දක්වන්නේ නැහැ. ඒ කියන්නෙ අපිට බෞද්ධයෝ වශයෙන් සාමූහිකත්වයක් වැදගත් වුනත් මම බෞද්ධයෙක්මි කියන ලේබලය ඒ තරමටම වැදගත් නැහැ. මේක තමයි අපේ සංස්කෘතිය. 

යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතිය තුල සාමූහිකත්වය ගොඩනැඟෙන්නේ එහෙම නෙවෙයි. ඔවුන්ට පුද්ගලික අනන්‍යතාව වැදගත්. සමස්ථ සමාජය කියන්නේ පුද්ගල එකතුවක් ලෙස දකිනවා. ඔවුන්ගේ සාමූහිකත්වය ගොඩනැඟෙන්නේ සමජාතීයවූ පුද්ගල අනන්‍යතාවන් පදනම් කරගෙන. එතන සාමූහිකත්වය සඳහා සමජාතීයවීම අත්‍යාවශයි. අපි එහෙම නෙවෙයි සමාජය සමස්ථයක් ලෙසම දකිනවා. එතන පුද්ගලයින්ගේ එකතුව අවශ්‍ය නැහැ. ඒ නිසා පුද්ගල අනන්‍යතා වැදගත් නැහැ. අපි සාමූහිකත්වය ගොඩනැඟිය යුත්තේ සමාජය සමස්ථයක් ලෙස දකින ගමන්. 

එහෙම නොවී අපි පුද්ගල අනන්‍යතා ඉස්මතු කරගන්න ගියොත් බටහිර අධිරාජ්‍යවාදයට යටත්වෙලා ඉන්න අපට ඔවුන් මෙහෙම කියයිඃ හරි සිංහල මිනිස්සුන්ට තමන් සිංහලයෝ කියල ප්‍රකාශ කරන්න අයිතියක් තියෙනවා. ඒක ඔවුන්ගේ පුද්ගලික අයිතියක්. නමුත් ඒ පුද්ගලික අයිතිය වෙනත් අයෙකුගේ පුද්ගලික අයිතිය උල්ලංඝනය කරන්න බැහැ. ඒ කියන්නේ අන්‍ය ජාතිකයන්ටත් ඒ අයිතිය තියෙන්න ඕනෙ. ඒ විතරක් නෙවෙයි වෙනත් ජාතියකට තියන අයිතියත් සිංහලයාට තියෙන අයිතියත් එක සමානයි. දැන් බටහිර උගත්තු මෙහෙම කිව්වහම ඒ සංදර්භය තුල ඊට විරුද්ධ තර්කයක් තියෙනවද? නැහැ. අන්තිමේට මොකද වෙන්නෙ? අපි බටහිර සංස්කෘතියට අවශෝෂණය වෙලා ඔවුන්ගේ දේශපාලනයට යටත් වෙනවා. අපිට ඉතුරු වෙන්නේ සිංහයාගේ ස්ටිකර් එක විතරයි.

අපි සිංහලයන් වශයෙන් හෝ අවශ්‍යනම් ශ්‍රී ලාංකිකයින් වශයෙන් හෝ සාමූහිකත්වයක් ගොඩනැඟිය යුතුයි. ඒ සාමූහිකත්වය පුද්ගලික අනන්‍යතා මත නොවෙයි සමාජය සමස්ථයක් ලෙස දකිමින් ගොඩනැඟිය යුතුයි. එවැනි සාමූහිකත්වයක් සිංහල බෞද්ධ සංස්කෘතිය පදනම් කරගෙන ගොඩනැඟිය හැකියි.

Friday, December 18, 2015

අපි සිංහල ඩෝ.....(ද?)

අද වෙනවිට වයස හැත්තෑව පමණ ඉක්මවා ගොස් සිටින මගේ වැඩිහිටි පරම්පරාවේ සිංහලයින් මෙවැනි හැඟීම් ප්‍රකාශ කරනු කවදාවත් මා අත්දැක නැත. ඔවුන් තුලවූ සිංහලකම ඒ පරම්පරාවත් සමඟම ඉතා වේගයෙන් අපෙන් නික්ම යමින් පවතී. මගේ මතයට අනුව අපි පරමාදර්ශීය කොට සැලකිය යුත්තේ නැත්නම් අප විසින් හඳුනාගැනීමට උත්සාහ කල යුත්තේ මේ වයෝවෘද පරම්පරාවේ ඇති යම් සිංහලකමකි.

ඔවුන්ගේ සිංහලකම තුල මා දකින වැදගත්ම පදනම කිසියම් ජෛවීය (ලේ) තබා සංස්කෘතික අනන්‍යතාවක් වත් නොව තමන්ගේ මෙන්ම ලෝකයේද පැවැත්ම පිළිබඳව බුදු දහමේ ආභාශයෙන් අත් කරගත් ආකල්පයකි. සිංහලුන් ජාතියක් ලෙස එක්වන්නේ පැවැත්ම පිළිබඳව මේ පොදු ආකල්පය මත පදනම්වය. සිංහල වෙදකමේත් ගොවිකමේත් ඇත්තේ ඒ ආකල්පය. ඒ හරහා අනූනවූ සංස්කෘතියකින් හෙබි ජාතියක් ගොඩනඟා ගෙන ඇති බව සත්‍යය. නමුත් ඒ ජාතියේ පදනම නොසලකා මතු පිටින් ඇති යම් අනන්‍යතාවක් වැදගත් කොට සැලකීම අභාග්‍යයකි. එය දේශපාලණිකව බොළද ක්‍රියාවකි. වඩා වැදගත් ලෙසට අනන්‍යතාවක එල්බ ගැනීම සිංහල ජාතියේ සතුරන්ගේ උවමණාවන් ඉටු කිරීමක්ද ඒ හරහා සිංහල ජාතියේ අවසන ඉක්මන් කිරීමක්ද විය හැකිය. අපි වඩා වැදගත් කොට සැලකිය යුත්තේ අපි සිංහල බව නොව අපේ සිංහලකමය.

Friday, December 11, 2015

මරා නොමරා මැරීම


පත්වී මෙතරම් කෙටි කලකින්ම ජනතාවට එපා වූ ආණ්ඩුවක් මීට පෙර තිබුනේදැයි සැක සහිතය. අද මේ ආණ්ඩුවට බලයක් ඇත්තේ පාර්ලිමේන්තුව තුල පමණි. එයද පවත්වාගෙන යන්නේ බලහත්කාරයෙනි. නමුත් විශේෂයෙන් සිංහලුන් බලහත්කාරයෙන් ආණ්ඩුව කෙරෙහි බැඳ තබා ගත නොහැකිය. සිංහලුන් එක් කල හැකි ප්‍රබල විපක්‍ෂ දේශපාලන බලවේගයක් අද නැතිවුනද විවිධ වෘත්තීය සමිති හරහා ඔවුහු තමන්ගේ අප්‍රසාදය පල කරමින් සිටිති. නමුත් මේ විරෝධතාවන්වල විසිරුණු ස්වභාවයක් ඇත. මේ ආණ්ඩුවට අවශ්‍ය ඒ විසිරුණු තත්වය එලෙසම තබා ගැනීමටය. තවමත් මෙරට ඒ විසිරුණු බලවේග කේන්ද්‍රගත කල හැක්කේ මහින්ද රාජපක්‍ෂටය. මහින්ද රාජපක්‍ෂ දේශපාලනයෙන් ඉවත් කිරීම මේ රජයේ මූලෝපාය වන්නේ එබැවිනි. 

මූල්‍ය අපරාධ කොට්ඨාශය පිහිටුවා ඇත්තේ මහින්ද රාජපක්‍ෂ දඩයම් කිරීම සඳහා මිස වෙන කිසිවක් සඳහා නොවේ. මූල්‍ය අපරාධ කොට්ඨාශය මෙහෙයවන්නේ පාර්ලිමේන්තුවෙනි. නමුත් නීතිය ක්‍රියාත්මක කිරීමේ වගකීමක් ව්‍යවස්ථාවෙන් පාර්ලිමේන්තුවට ලබා දී නැත. ඒ නිසා මූල්‍ය අපරාධ කොට්ඨාශය නීති විරෝධීය. නමුත් යමපාලනයට එය අදාල නැත.

රාජපක්‍ෂ දඩයමේ අරමුණු දෙකක් ඇත. එකක් ඒ හරහා රජය යහපාලනය ක්‍රියාත්මක කරනවා යැයි ජනතාවට ඇඟවිය හැකිය. අනික ඒ හරහා රාජපක්‍ෂවරුන් දේශපාලනයෙන් ඉවත් කර හැකිය. නමුත් මේ රජයට මහින්ද රාජපක්‍ෂ ගොදුරු කර දඩයම කෙලවර කිරීමටද නොහැකිය. මන්ද ඉන් පසුව රජය කිසියම් වැඩක් කරන බව ජනතාවට ඒත්තු ගැන්වීමට ක්‍රමයක් නැතිවන බැවිනි. අනිත් අතට මහින්ද රාජපක්‍ෂ අත් අඩංගුවට ගැනුනොත් ඒ මත පදනම්ව ආණ්ඩු විරෝධී දේශපාලන බලවේගයක් ගොඩනැඟෙන බැවිනි. එබැවින් මේ රජයට සිදුව ඇත්තේ මහින්ද රාජපක්‍ෂ නොමරා මැරීමටය. මැතිවරණයෙන් පසු කලක් වල දමා සිටි තාජුඩීන් නැවතත් ගොඩ ගෙන ඇත්තේ ඒ නිසාය. ඇවන්ගාඩ් සිද්ධිය රබර් මෙන් ඇදෙන්නේද ඒ නිසාය.  

සිංහලුන්ගේ ජාතික විඤ්ඥාණය මැරී නොමැත. මේ රජය රට ආර්ථික වශයෙනුත් දේශපාලනික වශයෙනුත් පාවාදෙන බව ඇඟට දැනෙනවිට සිංහලුන් ජාතිකත්වය මත නැවත නැගිටිනු ඇත. සිංහල ජාතිකත්වය අනන්‍යතාවක් මත පදනම් වූවක් නොවේ එය මහින්ද රාජපක්‍ෂ පදනම් කරගෙන ගොඩනැඟුනක්ද නොවේ. රජයට විරුද්ධව නැඟී සිටින සාමාන්‍ය ජනතාව මහින්ද රාජපක්‍ෂ සිටියත් නොසිටියත් ඉදිරියේදී ක්‍රමයෙන් ජාතිකත්වය මත පදනම්ව විකල්ප බලවේගයක් ගොඩනඟනු ඇත. එමෙන්ම දැනටමත් රාජපක්‍ෂ දඩයම යහපාලනයේ අංගයක් යැයි සිතන්නේ සුළු පිරිසක් පමණි ක්‍රමයෙන් ඔවුන්ද යථා අවබෝධයට පත්වනු ඇත. එබැවින් ම. රා. නොමරා මැරීමේ වාසිය වැඩි කලක් නොගොස් රජයට අහිමි වනු ඇත.

Tuesday, December 1, 2015

පාදඩ මධ්‍යම පංතිය

පසුගිය දිනක නරි බෑණා නාටකය නැවතත් නැරඹීමට අවස්ථාවක් ලැබිනි. නරි බෑණාත් සිංහබාහුත් මනමේත් යන නාටක තුනම මා මුලින්ම නැරඹුවේ කුඩා කල එකම වකවානුවක. එකලද වඩාත් මගේ සිත්ගත්තේ නරි බෑණා නාටකයය. එහි එන ගීත වල කන්කළු බව ඊට හේතුවන්නට ඇති. මේ නාට්‍ය තුන අතරින් ඇඟට දැනෙන දේශීය ගතියක් වඩාත්ම ඇත්තේ නරි බෑණා තුල බව පසුව මට අවබෝධවිනි. එහි ඒ ගුණ තවමත් ඇත. 

කෙසේ වෙතත් නරි බෑණා නාටකයේ කියැවෙන්නේ තරමට වඩා ඉදිමෙන්නට ගොස් පීචං වෙන නරියෙකු ගැනය. මට ඒ නරියා සිහිගන්වන්නේ මෙරට වර්තමාන මධ්‍යම පංතියය. දශකයක පමණ කාලයක සිට මෙරට මධ්‍යම පංතිය ලෙස හඳුනාගන්නා සමාජ කොටසක් සීඝ්‍ර ලෙස ව්‍යාප්තවෙමින් පවතී. කොටි ත්‍රස්තවාදය පරාජය කිරීමෙන් පසු එහි වරධන වේගය තවත් වැඩිවී ඇතැයි සිතේ. මේ පංතිය සාපේක්‍ෂ වශයෙන් ආර්ථික ශක්තියෙන් ධනාත්මක වර්ධනයක් අත් කරගෙන ඇත. නමුත් ඒ සමඟම ඔවුන්ගේ අපේක්‍ෂාවන් වලට ඊට වඩා වර්ධනයක් ලැබී ඇත. පොදුවේ ගත්විට මේ මධ්‍යම පංතියට තමන්ගේ අපේක්‍ෂා මුදුන් පත් කර ගැනීමට තරම් ආර්ථික ශක්තියක් නැත. මා එය පාදඩ මධ්‍යම පංතියක් ලෙස හඳුන්වන්නේ ඒ අර්ථයෙනි. 


බටහිර රටවල මධ්‍යම පංතියේ තත්වය මෙතරම් සෝචනීය නැත. පොදුවේ ගත් විට ඒ මධ්‍යම පංතියට තමන්ගේ අපේක්‍ෂාවන් ඉටුකර ගැනීමට හැකි අතර ඒ නිසා ඔවුන්ට ආරථික නිදහසක්ද හිමිය. මේ හේතුවෙන් බටහිර මාධ්‍යම පංතිය, අවම වශයෙන්, ඇමෙරිකානු මධ්‍යම පංතිය අපට සාපේක්‍ෂව උසස් මධ්‍යම පංතියක් ලෙස හැඳින්විය හැකිය. මීට වසරකට ඉහත ඇමෙරිකාවේ සිට ශ්‍රී ලංකාවේ ස්ථිර පදිංචිය සඳහා පැමිණෙන විට උසස් මධ්‍යම පංතියකින් පාදඩ මධ්‍යම පංතියකට මාරුවෙන බව මම නොදැන සිටියෙමි. සංක්‍රමනය වීමට ගත් තීරණය ගැන පසු නොතැවුනද මෙරට ඇතිවී ඇති සමාජ විපර්යාසය ගැන මම දුක් වෙමි.


ඒ ඒ රටවල සංස්කෘතීන්ට අනුව ඒ ඒ සමාජවල අපේක්‍ෂාවන් වෙනස්ය. ප්‍රශ්ණය අපේක්‍ෂාවන්ට සරිලන ආර්ථික හැකියාවක් ඇත්ද යන්නය. එසේ නොවේ නම් කල යුත්තේ සමාජයක් වශයෙන් හික්මීමය. අපි මේ රට සංවර්ධනය කල යුත්තේ අපේක්‍ෂාවන් සහ ආර්ථික වර්ධනය අතර සැමවිටම ගතික සමතුලිත බවක් පවත්වා ගනිමින්ය. නමුත් සිදුවී ඇත්තේ හික්මීම බල්ලට දමා අපේක්‍ෂාවන්ට සරිලන ලෙස ආර්ථිකය වර්ධනය කරගැනීමට පුද්ගලයින් වශයෙනුත් සමාජයක් වශයෙනුත් අපි උත්සාහ කිරීමය. 


බටහිර රටවල් ඊනියා සංවර්ධනයක් අත් කර ගැනීමේදී ඔවුන්ට මේ ප්‍රශ්ණය නොතිබුනි. සංවර්ධනය වෙද්දී ඔවුන්ගේ අපේක්‍ෂාවන් ක්‍රමයෙන් වෙනස් වුනි. නමුත් අපේක්‍ෂාවන් මොනවාදැයි තීරණය කලේද ඔවුන්මය. ඒ නිසා ඔවුන්ට අපේක්‍ෂාවන් සහ වර්ධනය අතර ගතික සමතුලිත බවක් පවත්වාගැනීමට හැකිවිනි. නමුත් අපේ අපේක්‍ෂාවන් ගැන නිර්ණායකයන් අපට දී ඇත්තේ බටහිර සංස්කෘතිය විසිනි. ආර්ථික සංවර්ධනය දුවන්නේ ඒ පිටුපසය. අපේ මධ්‍යම පංතිය පාදඩ වෙන්නේ ඒ නිසාය.


සිඟාල ගෝත්‍රයේ වුනද නරි බෑණාහි නරියාට නරියෙකු වීම නිසා තමන් අපේක්‍ෂාකල මනුස්ස දුව නොලැබී යයි. නරියෙක් වූවා මදිවට නාටකයේ වත්මන් සංස්කරණයේදී නරියා නිරූපනය වෙන්නේ නපුංසකයෙකු ලෙසය. ඒ නරියාට නම් කොහොමටත් නොහැකිය. මෙරට මධ්‍යම පංතියටද එසේමය. කලාව ජීවිතය අනුකරණය කරනවා යැයි කියන්නේ මෙවැනි දේට විය හැකිය