Monday, November 9, 2015

තාත්තලාගේ සංස්කෘතික වඳබව

පුතාලාගේ පරම්පරාව, තාත්තලාගේ පරම්පරාව සහ සීයලාගේ පරම්පරාව ආදී වශයෙන් මෙරට අද ජීවත්වන ජනතාව වයස අනුව පරම්පරා තුනකට බෙදිය හැකිය (අවශ්‍යනම් දුවලා, අම්මලා සහ ආච්චිලාගේ පරම්පරා ලෙසද නම් කල හැකිය). මෙහි තාත්තලාගේ පරම්පරාව ලෙස හැඳින්වෙන්නේ මෙකල මැදි වයස ඉක්මවමින් සිටින දෙමව්පියන්ය. අනිත් පරම්පරා ඊට අනුකුලව වයසින් බාලත් වැඩිමහලුත් වේ. යම් පොදු බවක් තිබියද මේ පරම්පරා තුනේ සංස්කෘති සාපේක්‍ෂ වශයෙන් එකිනෙකට වෙනස්ය. සැම කල්හිම එය එසේ වන්නට ඇත නමුත් පෙරට වඩා අද ඒ ඒ පරම්පරා අතර ඇති පරතරය වැඩි යැයි මට සිතේ. අප ජාතියක් වශයෙන් මුලුමනින්ම යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියේ ගිලෙන්නට යෙදුන හොත් මතු දිනක මේ පරම්පරා තුන අතර පරතරය යලිත් අඩු වීමටද ඉඩ ඇත. ඒ අර්ථයෙන් අද අප ගෙවමින් සිටින්නේ ඉහත පරම්පරා තුන අතර සංස්කෘතික පරතරය උපරිමවූ අවස්ථාවක් විය හැකිය. 

පරම්පරා අතර සංස්කෘතික පරතරයක් ඇතිවන්නේ සංස්කෘතියක් එක පරම්පරාවකින් තව පරම්පරාවකට දායාද කිරීමේදී ඇතිවන බිඳ වැටීම් නිසා යැයි සිතිය හැකිය. නැත්නම් සංස්කෘතික ගලා යෑම අවහිර වීම හේතුකොට ගෙනය. එවැනි බිඳ වැටීමක් අද ජීවත්වන සීයලා, තාත්තලා සහ පුතාලා අතර ඇත. මෙහිදී ගලායන සංස්කෘතිය (එහි අනන්‍යතාව) කුමක්ද යන්න ප්‍රශ්ණයක් නොවේ. ප්‍රශ්ණය කිනම් හෝ සංස්කෘතියක් පරම්පරාවෙන් පරම්පරාවට ගලා යන්නේද යන්නය.


මා සිතන ආකාරයට, සීයලාට තමන්ගේ වූ සංස්කෘතියක් ඇඟේ තිබිනි. ඒ නිසා සීයලා සංස්කෘතිකව සරු පරම්පරාවක් ලෙස හැඳින්විය හැකිය. එනම් සීයලාගේ සංස්කෘතිය ඔවුන් ගේ මතු පරම්පරාවට එනම් අද ජීවත්වන තාත්තලාගේ පරම්පරාවට, සම්ප්‍රේශණය කිරීමට හැකිවිනි. නමුත් තාත්තලාට තමන්ගේම වූ සංස්කෘතියක් ඇඟේ නැත. ඒ නිසා තාත්තලා සංස්කෘතිකව වඳය. ඔවුන්ට තමන්ගේම වූ සංස්කෘතියක් (එය කුමක් වුවත්) තමන්ගේ මතු පරම්පරාවට, එනම් අද ජීවත්වන පුතාලාගේ පරම්පරාවට, සම්ප්‍රේශණය කිරීමට නොහැකි වී ඇත. නමුත් පුතාලා එසේ නොවේ ඔවුන් තමන්ගේම වූ සංස්කෘතියක් ගොඩනඟමින් සිටිති. ඔවුන් තාත්තලා මෙන් නොව සංස්කෘතිකව සරු වනු ඇත.


මේ අනුව මගේ මතයට අනුව සංස්කෘතික ගලායෑම බිඳ වැටී ඇත්තේ අද ජීවත්වන තාත්තලාගේ පරම්පරාවේ සංස්කෘතික වඳබව නිසාය. ඔවුන්ට ඔවුන්ගේමවූ සංස්කෘතියක් ඇඟේ නැත. මමද අයත් වන්නේ මේ පරම්පරාවට බැවින් ඒ පිළිබඳ යම් අත්දැකීමක් මටද ඇත. අපේ දෙමව්පියන්ගෙන් අපට සිංහල බෞද්ධ සංස්කෘතියක් දායාද කෙරිනි. එය අපට නිරායාසයෙන් ලැබුනකි මන්ද ඒ සංස්කෘතිය අපේ දෙම්පියන්ගේ ඇඟේ තිබුනු බැවිනි. නමුත් අපි වැඩුනේ බටහිර සංස්කෘතිය විසින් සිංහල බෞද්ධ සංස්කෘතිය පරාජය කර ඇති පරිසරයකය. ඒ පරාජය නිසා අපි අපේ දෙමව්පියන්ගෙන් දායාද ලත් සංස්කෘතිය පිළිබඳ අප තුල ඇත්තේ හීනමානයකි. සමහරුන්ට සංකල්පීය වශයෙන් මේ හීනමානය තුනී කරගැනීමට හැකිවුනද
හීනමානය තාත්තලාගේ පරම්පරාවට පොදු ලක්‍ෂණයක් යැයි මම සිතමි. මේ හීනමානය නිසාම තාත්තලාගේ පරම්පරාවට බටහිර සංස්කෘතිය අවශෝෂණය කරගැනීමටද ශක්තියක් නැත. ඒ හේතුව නිසා ඔවුන්ගේම වූ සංස්කෘතියක් තාත්තලාගේ ඇඟේ නැත. ඇඟේ නැති නිසා ඔවුන් සංස්කෘතිකව වඳය. එනම් ඔවුන්ගේ මතු පරම්පරාවට දායාද කීරීමට සංස්කෘතියක් ඔවුන් ලඟ නැත.

මේ ප්‍රශ්ණය සීයලාට තිබුනේ නැත. පුතාලාටද ඒ ප්‍රශ්ණය නැතිවනු ඇත මන්ද ඔවුන්ද අධිපති බටහිර සංස්කෘතියට යම් ප්‍රමාණයකට අවශෝෂණයවී එය තමන්ගේ කර ගැනීමට ඔවුන්ට හැකිවන නිසාය. ඔවුන්ද ඔවුන්ගේම සංස්කෘතියක් ඇඟට ගනු ඇතැයි සිතිය හැකිය.


තාත්තලාගේ පරම්පරාවේ සංස්කෘතික වඳබව බලපාන්නේ හුදෙක් පරම්පරා අතර පරතරයට පමණක් නොවේ. නොබෝ කලකින් සීයලාගේ පරම්පරාව චිශ්‍රාම ගොස් (හෝ මිය ගොස්) තාත්තලාගේ පරම්පරාව මෙරටේ දේශපාලන නායකත්වය අරක් ගනු ඇත. ඔවුන්ට තමන්ගේමවූ සංස්කෘතියක් ඇඟේ නැතිවීම දේශපාලනිකව මෙරට රාජ්‍යය දුබල කරවීමට හේතු විය හැකිය. තාත්තලා අඩු තරමින් සංකල්පීය වශයෙන් හෝ තමන්ගේ හීනමානය දුරු කර ගත යුතුය.

8 comments:

  1. සංස්කෘතිය රාජ්‍ය ශක්තිමත් කරන්නේ කෙසේද? කෙටියෙන් පැහැදිලි කරන්නේ නම් මැනවි!

    ReplyDelete
    Replies
    1. සංස්කෘතිය නොව සංස්කෘතිකව සරු දේශපාලනික සත්වයන් රාජ්‍යයක් ශක්තිමත් කිරීමට දායකවේ යැයි සිතිය හැකියි. ශක්තිමත් යනුවෙන් මෙහි අදහස් කෙරෙන්නේ තමන්ට අවශ්‍ය පරිදි සංස්කෘතික සාමාජයික හා දේශපාලනික චෙනස්කම් කිරීමට ඇති ශක්තියයි. (එවැනි ශක්තියක් නැතිවුන්ට බාහිර බල වලට යටත්වීමට සිදුවෙයි). තමන්ට අවශ්‍ය පරිදි වෙනස්කම් කල හැක්කේ (නිර්මානශීලී විය හැක්කේ) වෙනස් කරන පදනම තමන්ගේ ඇඟේ ඇති විටය. එනම් තමන්ගේමවූ දැනුමක් ඇඟේ ඇති විටය. ඔවුහු අර්ථදැක්වීමෙන් සංස්කෘතිකව සරු පුද්ගලයෝ වෙති.

      Delete
  2. අද අපේ රටේ අද්‍යාපනයෙන් ඉතිහාසය ඉවත් වෙලා. එය තාමත් හරියට ඉගැන්වෙන්නේ නෑ. අනික මේ සංස්කෘතික පරතරය වගේ දේවල් වල ප්‍රතිඵල රටේ අනන්‍යතාවය පැත්තේ ඉඳන් තේරුම් ගන්න පුළුවන් පිරිස අඩුයි. හිටියනම් ඇතැම් විට ඔබ කියන සීයලාගේ පරම්පරාවේ ඉන්න ඇති. අපිත් ඉපදිලා තියෙන්නේ යටත්විජිත වාදයෙන් අපේ රටේ ජාතික අනන්‍යතාවය පවා මර්ධනය කරපු කාලයකට පසුවයි.

    ReplyDelete
    Replies
    1. අධ්‍යාපනයෙන් ඉතිහාසය ඉවත්වීම මහා ලොකු විනාශයක් කියන එක ජනප්‍රිය සටන් පාඨයක් විතරයි නේද. අද කාලේ තාක්ෂණ දියුනුවත් එක්ක උවමනාවක් තියෙන කෙනෙක්ට තනිවම වුනත් ඉතිහාසය හදාරන්න පුලුවන්. ඉතිහාසය වෙනුවට තාක්ෂණ විශයයක් හෝ වියුක්ත චින්තනය හුරුකරවන ගණිතය හැදෑරීම සිංහලයෙක්ට ඊට වඩා ප්‍රයෝජනවත්. අපිට එතකොට අලුත් ඉතිහාසයක් හදාගන්න පුලුවන්.

      Delete
    2. ජගත් සමඟ සෑහෙන දුරට එකඟයි. ඉතිහාසය හැදෑරීම වැදගත්. අප රටේ ඉතිහාසය පමණක් නෙමේ, ලෝකයේම. නමුත් ඉතිහාසය ඉගැන්වීමෙන් බලාපොරොත්තුවෙන අරමුණ වැදගත්. ඉතිහාසය ඉගෙනිය යුත්තේ අනාගත මිනිස් පරපුර ගොඬනැඟීම සඳහා ඉන් පාඩම් ඉගැනීමට විනා වෙන යම් දෙයකට නොවේ. ඒ හේතුවට අමතරව ඉතිහාසයෙන් අනාගතයට ගන්න පුළුවන් වෙනත් සුභවාදී යමක් තිබේද කියන එක සැකසහිතයි. අනාගතය සඳහා පාඩම් ඉගැනීමට අමතරව වෙනත් අරමුණු වලින් ඉතිහාසය ඉගනීමෙන් නම් අනාගත මිනිස් සංහතියේ යහපැවැත්මට සෘණාත්මක බලපෑමක් ඇතිවනවා මිසක වෙන ප්‍රයෝජනයක් නැහැ.

      Delete
  3. පුතාලා අධිපති බටහිර සංස්කෘතියට අවශෝෂණයවී ඇඟේ දාගන්න සංස්කෘතිය මෙරට අනාගතයට කෙසේ බලපායිද?

    ReplyDelete
  4. ඔබේ කතාව ඉදිරිපත් කෙරෙන්නේ සංස්කෘතික පරිනාමය පරම්පරා තුනක් ලෙස කොටස් කිරීමෙන්. සීයලාගේ පරපුරේ සංස්කෘතිය කියල ඔබ හඳුන්වන සංස්කෘතිකමය කාලසීමාව පිළිබඳව අදහස් දැක්වීමෙන් වැළකී ඉන්නව, මොකද මට ඒ ගැන පුද්ගලිකව අත්දැකීම් නැති නිසා. ඔබ තාත්තලාගේ පරපුරේ සංස්කෘතිය වඳය කියමින් ඉදිරිපත් කරන ප්‍රකාශය හේතු ඉදිරිපත් කරනකම් 'ප්‍රකාශයක්' විතරයි කියලයි මට හිතෙන්නෙ. මොනව වුනත් ඔය කියන තාත්තලාගේ සංස්කෘතිය සහ පුතාලාගේ සංස්කෘතිය අතර ගැටුමක් සහ ඒ ගැටුම අසාධාරණ සහ හානිකර ලෙස තාත්තලාගේ සංස්කෘතිය විසින් පාගාදමන්නට දැනට සෑහෙන දුරට සාර්ථක වුන උත්සාහයක යෙදෙන බව නම් පැහැදිළියි, මගේ නිරීක්ෂණයට අනුව. මම හිතන්නේ මේ වඳ හෝ නැති තාත්තලාගේ පරපුර විසින් වර්තමාන පරපුරේ සංස්කෘතික පරිනාමයට සෑහෙන වල කැපීමක් සිද්ධ කරන බව. සමහර විට ඔය ගැටුම සීයලාගේ පරපුර සහ තාත්තලාගේ පරපුර අතරත් තියෙන්න ඇති (මේ තරමටම නැතිවුනත්). මේ පරපුරෙන් පරපුරට කෙරෙන වලකැපීමේ සම්ප්‍රදාය නැවතුනොත් මීට වඩා පැහැදිළි සංස්කෘතිකමය දියුණුවක් දකින්නට පුළුවන් වේවි. මේක සැබෑ ලෝකය නිසා එහෙම දෙයක් අපේ ජීවිත කාලයේදී නම් අත්දකින්න වෙන්නෙ නෑ කියලා සහතික කරල කියන්න පුළුවන්.

    ReplyDelete
  5. ඕනෑම කාලයක ඕනෑම පරම්පරා දෙකක් අතර ස්වභාවයෙන්ම පැවතිය හැකි සංස්කෘතික වෙනසක් ගැන නෙවෙයි මම මෙහි කථා කරන්නේ ඊට ඔබ්බෙන් ඇති වරතමාන සමාජයට විශේෂවූ ලක්‍ෂණයක් පිළිබඳවයි.

    ReplyDelete