Thursday, November 19, 2015

රුපියල් සත වලින් මැනිය නොහැකි ආර්ථිකය


 A+Saudi+Court+orders+a+Sri+Lankan+woman+be+stoned+to+death

 A Saudi Court orders a Sri Lankan woman be stoned to death

බටහිර ආර්ථික විද්‍යාවට රටක ආර්ථිකය මැනීම සඳහා නොයෙකුත් දර්ශක ඇත. සාමාන්‍යයෙන් ඒ දර්ශක ගණනය කෙරෙන්නේ මිනිස් ශ්‍රමයට හා භෞතික සම්පත් වලට මිළක් නියම කිරීම තුලිනි. එය පිළිගත හැකි ක්‍රමයකට කල හැකි යැයි සිතමු. නමුත් රටක ආර්ථික ක්‍රියාවලිය හුදෙක් මිනිස් ශ්‍රමය සහ භෞතික සම්පත් අතර කෙරෙන ගණුදෙනුවකට ඌණනය කල නොහැකි සංකීර්ණ ක්‍රියාවලියකි. උදාහරණයක් වශයෙන් ආර්ථික ක්‍රියාවලිය නිසා මිනිසුන් අතර ගැටුම් ඇතිවේ, මිනිසුන් සහ පරිසරය අතරද ගැටුම් ඇතිවේ. මේ ගැටුම් තුලින් රටක ආර්ථිකයට කෙරෙන බලපෑම නොගිනිය හැකි නොවේ. රටක ආර්ථිකය පිළිබඳ නිවැරදි මිනුමක් ලබා ගැනීමට නම් එවැනි වක්‍ර බලපෑම්ද අර්ථික සමීකරණයට ඈඳා ගත යුතුය.

යමකට අගයක් ලබාදීමට නම් ඊට අදාල සියළු විචල්‍යයන් එකම මිනුමෙන් මැනගත හැකි විය යුතුය. එසේ නැතිව ඒ සියළු විචල්‍යයන් එකම සමීකරණයකට ඇඳාගත නොහැකිය. ආර්ථිකය මැනීමේදී රුපියල් සත භාවිතා වන්නේ ඒ හේතුව නිසාය. ඒ අනුච ආර්ථිකය මැනීමේදී බටහිර ආර්ථික විද්‍යාව කරන්නට උත්සාහ දරන්නේ ආර්ථික ක්‍රියාවලිය විශ්ලේශණය කර එහි සංඝටක වෙන් වෙන්ව හඳුනා ගෙන ඒවාට යම් මුල්‍යමය වටිනාකමක් නියම කිරීමටය. මෙහිදී ගැටළු කීපයක් මතුවේ. එක, ආර්ථික ක්‍රියාවලියක සියළු සංඝටක දැනගත හැකිද යන්නය. දෙක, ඒ සියළු සංඝටකවලට වාස්ථවික අර්ථයෙන් මිළක් ලබා දිය හැකිද යන්නය. තුන, සංඝටක වලට නියම කෙරෙන මිළෙහි එකතුව සමස්ථ ක්‍රියාවලියට නියම කල හැකිද යන්නය. 


උදාහරණයක් වශයෙන් පරිසර දූශණය නිසා සිදුවන හානිය රුපියල් සත වලින් මැණිය හැකිද? ඒ සඳහා බටහිර විද්‍යාව උත්සාහයක් නොගන්නවා නොවේ. අවශ්‍යනම් යම් කරමාන්ත ශාලාවකින් වායුගෝලයට නිකුත්වන කාබන් ප්‍රමාණය මැනිය හැකිය (ඒ මිනුම එම කර්මාන්තශාලවට කෙතරම් අනූනද යන්න ප්‍රශ්ණයක් මුත් එය අමතක කරමු). ඊලඟට ගෝලීය උණුසුම්කරණයට එම කාබන් ප්‍රමාණය (කාබන් පා සලකුන) කෙතරම් දායකවෙයිදැයි යම් ආකෘතියක් භාවිතා කරමින් තක්සේරු කල හැකිය. ඊ ලඟට කෙයොතෝ සම්මුතිය වැනි ජාත්‍යාන්තර සම්මුතීන් පදනම් කරගෙන යම් කර්මාන්ත ශාලාවක් සම්බන්ධයෙන් මැණ ගන්නාවූ කාබන් පා සලකුනට යම් මුල්‍යමය අගයක් ලබා දිය හැකිය. මේ නීති රාමුවට ගෝලීය උණුසුම්කරන ආකෘතිය සමඟ ඇත්තේ ලිහිල් සම්බන්ධයක් පමණි. කෙසේ වෙතත් ඒ ලැබෙන මුල්‍යමය අගයද වාස්ථවිකවූ මිළක් නොවේ. උදාහරණයක් වශයෙන් යම් කර්මාන්ත ශාලාවක් තම සීමාවෙන් ඇතුලත කාබන් නිකුත් කරන්නේ නම් ඊට නීතියෙන් හිමි අතිරික්තය තවත් කර්මාන්ත ශාලාවකට විකිනිය හැකිය. ඒ සංදර්භය තුල කාබන් පා සලකුන වෙළද භාන්ඩයක් බවට පත්වේ. එවිට ඊට ලැබෙන්නේ ඒ සදහා නිර්මිත වෙලඳ පොළක මිළකි (එවැනි වෙළද පොල දැනටමත් නිර්මාණය වෙමින් පවතී) මේ ආකාරයට ගත්විට කාබන් වායුගෝලයට නිකුත්වීම නිසා සිදුවිය හැකි ආර්ථික අලාභය මැණ ගැනෙන්නේ ඒ සදහා වූ විද්‍යාත්මක ක්‍රමය එනම් ගෝලීය උණුසුම්කරණ ආකෘතියට සෘජු සම්බන්ධයක් නැති අවශේෂ ක්‍රියාවලියක් තුලිනි. මේ නිසා කාබන් පා සලකුනට ලැබෙන මුල්‍යමය වටිනාකම නිවැරදි යැයි බටහිර ආර්ථික විද්‍යාත්මක ක්‍රමය තුලවත් සාධාරණය කල නොහැකිය. 


ප්‍රශ්ණය එතැනින් නිම වන්නේ නැත. පරිසර විනාශ වන්නේ කාබන් වායුගෝලයට මුදා හැරීමෙන් පමණක් නොවේ නොදිරන අපද්‍රව්‍ය මුදා හැරීම, ජලය අපවිත්‍ර කිරීම, ගස් කැපීම ආදී නොයකුත් ක්‍රම හරහා පරිසරය විනාශ වේ. මේ සියලු ආකාර අපට දැනගත හැකිද? එසේ දැනගත්තත් මේ සියලු ආකාර වෙන වෙනම සලකා ඒවාට නියම කෙරෙන මිළෙහි එකතුව ඒ සියළු ක්‍රම හරහා සිදුවන පරිසර දූශණයට දිය හැකි මුල්‍යමය අගය ලෙස ගැනීම නිවැරදිද?


අපි ශ්‍රී ලාංකිකයින් වඩා සංවේදීවන ආර්ථික ක්‍රියාවලියක් සලකමු. මැද පෙරදිග යන ගෘහ සේවිකාවන්ගේ ශ්‍රමය රටේ ප්‍රධාන විදේශ විනිමය උපයන මාර්ගයක් ලෙස සැලකෙයි. ඔවුන් මෙරටට එවන මුදලට නිශ්චිත මුල්‍යමය වටිනාකමක් ගණනය කල හැකිය. නමුත් මේ ක්‍රියාවලිය නිසා ඇතිවන සමාජීය ප්‍රශ්ණ වලට නිවැරදි මුල්‍යමය අගයක් ලබා දිය හැකිද? වඩා වැදගත් ලෙසට සමාජීය ප්‍රශ්ණයට එසේ මුල්‍යමය අගයක් දිය නොහැකි නම් මැද පෙරදිගින් එන විදේශ විනිමය සම්බන්ධ සමස්ථ ආර්ථික ක්‍රියාවලිය නිවැරදි ලෙස ඇගයිය හැකිද?


පසුගිය දා ශ්‍රී ලාංකීය කාන්තාවක් විවාහයෙන් පිට සම්බන්ධකමක් පැවැත්වීමේ වරදට සවුදි අධිකරණය මඟින් ගල් ගසා මරා දැමීමට නියම කෙරී ඇත. දැන් මේ කාන්තාවගේත් සිද්ධියට සම්බන්ධ පිරිමියාගේත් පවුල්වල ඥාතීන්ට සහ දරුවන් සිටීනම් ඔවුන් මුහුණ පාන සමාජ ආර්ථික ප්‍රශ්ණවලට මුල්‍යමය අගයක් නියම කල හැකිද? එය කල නොහැකිය (අවශ්‍යනම් මේ පවුල් වලට රජයෙන් ලබා දෙන යම් සහණාධාර, මානසික වෛද්‍ය ප්‍රතිකාර සඳහා යන වියදම ආදී වශයෙන් සමාජීය ප්‍රශ්ණයට මුල්‍යමය අගයක් ගණනය කල හැකි වුවද එය ප්‍රමාණවත් යැයි සිතිය නොහැකිය). පොදුවේ මැදපෙරදිග යන ගෘහ සේවිකාවන්ගේ සමාජ ආර්ථික ප්‍රශ්ණවලට මුල්‍යමය අගයක් නියම කිරීමට නොහැකි නම් ඒ ශ්‍රමිකයින් සම්බන්ධ සමස්ථ ආර්ථික ක්‍රියාවලියේ වටිනාකම නිවැරදිව ගණනය කල නොහැකි යැයි පිළිගත යුතුය. 

බටහිර විද්‍යාවේ ක්‍රමවේදය විශ්ලේශණයය. අන් සියළු බටහිර විද්‍යාවන් සේම බටහිර ආර්ථික විද්‍යාවේත් අසමත් කම ඊට සමස්ථ ක්‍රියාවලියක් දැක ගත නොහැකිවීමය. නමුත් බටහිර භෞතික විද්‍යාවට නැති ගැටළුවක් ආර්ථික විද්‍යාව මුහුණ දෙයි. එනම් ආර්ථික ක්‍රියාවලියක සියළු සංඝටක සැහීමකට පත්විය හැකි අයුරින් එකම මිණුම් දණ්ඩකින් (මෙහිදී රුපියල් සත මඟින්) මැනීමට නොහැකි වීමය. ආර්ථික විද්‍යාවකට ආර්ථික ක්‍රියාවලියක සියළු විචල්‍යයයන් නිවැරදිව මැණගත නොහැකි නම් එම විද්‍යාවෙන් ආර්ථිකය පිළිබඳව විශ්වාසවන්ත ලෙස පුරෝකථනයන් කල නොහැකිය. ඇමෙරිකානු ආර්ථික විශේෂඥයෙකුවූ ඇලන් ග්‍රීන්ස්පෑන් පසුගිය දශකයේ මැද භාගයේදී පමණ ඇමෙරිකාව ඇතුළු බටහිර ලෝකයේ ආර්ථිකය කඩා වැවෙන බව තමන්ට කලින් දැනගත නොහැකිවූ බව පිළිගැනීමෙන් ඒ බව සනාථවේ. 


මීට විකල්ප විසඳුම සමස්ථ ක්‍රියාවලියම මැණ ගත හැකි විද්‍යාවක් ගොඩනඟා ගැනීමය. අපට එවැනි විධිමත් ක්‍රමයක් නැතිවුනද වසර දහස් ගණනක පුහුණවක් සහ ප්‍රායෝගික දැනුමක් අප සතුය. අපි අපේ ආර්ථික ක්‍රියාවලිය තුල පරිසරය මෙන්ම සතා සිව්පාවුන්ද විනාශ නොකිරීමට වග බලාගත්තේ අපට සමස්ථය මැණ ගත හැකිවූ බැවිනි. අපේ කාන්තාවන් මැද පෙරදිග රැකියාවන්ට නොයැවිය යුතුයැයි සිතෙන්නේද රටින් එන සල්ලි සේම සමාජයේ ඇති වන ප්‍රශ්ණද සමස්ථයක් ලෙස දැක ගත හැකි නිසාය. කඳුකරයේ කෙරෙන තේ වගාව වෙනුවට එහි දේශීය ක්‍රමයකට දේශීය භෝග වගා කෙරෙන්නේ නම් සමස්ථයක් වශයෙන් රටට ඵලදායී විය හැකියැයි සිතෙන්නේද එවැනි පදනමකිනි. නමුත් අවාසනාවකට මෙවැනි දැනුම් සහ ආකල්ප ඉවත දැමෙන්නේ බටහිර ආර්ථික විද්‍යාවේ යම් උසස් බවක් නිසා නොව ඊට ඇති දේශපාලන හයිය නිසාය. මේ පාරම්පරික දැනුම් ප්‍රශ්ණ කරන්නේද බටහිර විද්‍යාවේ නොහැකියාව පිළිබඳ හරි අවබෝධයක් නැති නමුත් ඒ දැනුමට වහල්වූ නූගතුන්වීම ඊටත් වඩා අවාසනාවකි.

5 comments:

  1. //මීට විකල්ප විසඳුම සමස්ථ ක්‍රියාවලියම මැණ ගත හැකි විද්‍යාවක් ගොඩනඟා ගැනීමය// මෙම කරුණ සම්බන්ධව එකගවිය හැකි අතර අප විසින් සිදුකල යුත්තේ සියලුම සිද්ධින් සම්බන්ධව මුල්‍යමය, සමාජමය හා අනෙකුත් අවශේෂ සියලු කරුණු සම්බන්ධවන පරිදි ව්ශ්ලේෂනයන් කිරීමය. අද දවසේ එය 100%ක් නිවරදිව සිදු නොවන බව සියලු දෙනාම විශ්වාස කරයි. 100%ක් නිවරදි නොවිම යනු එය වැරදිය යන්න නොවේ. එය අපට 50%ක ප්‍රමාණයක් දක්වාවත් විශ්වාස කල හැකිය

    //අපි අපේ ආර්ථික ක්‍රියාවලිය තුල පරිසරය මෙන්ම සතා සිව්පාවුන්ද විනාශ නොකිරීමට වග බලාගත්තේ අපට සමස්ථය මැණ ගත හැකිවූ බැවිනි. //

    අපිට අතීතයෙදි ආර්ථික ක්‍රියාවලියක් තිබුනද එය අද මෙන් සෘජුවම ප්‍රග්ධනය, ලාභය හා සම්බන්ධ නොවුනි. අපට අතීතයේදී තිබුනේ ශ්‍රම විභජනයක් සහිත ආර්ථික ක්‍රමයකි. එම ක්‍රමය අනුව සමාජය විසින් පහත්යැයි සලකණු ලබන කුලවල ජනතාවට මුලික අයිතිවාසිකම් පවා තිබුනේ නැත. මා දන්නා පරිදි මාගේ බාල කාලයේදිදි සියම් නිකායේ පන්සල් වලට පහත්යැයි සලකණු ලබන කුලවල ජනතාව දානය ලබා දීමේදි පිසින ලද ආහාර භාර ගත්තේ නැත.

    එදවස අපිට සමස්ථය පිලිබද සිතන ආර්ථිකයක් තිබුනේනම් තමන් කරණු ලබන කාර්ය අනුව සමාජය තුල පිඩනයන්ට ලක්වන්නේ නැත. පැවති ශ්‍රම විභජනයක් සහිත සමාජ ක්‍රමය නිසා අද දිනයටත් වැඩි සමාජ ප්‍රශ්න විශාල ප්‍රමාණයක් අපගේ සමාජයේ තිබුනේය. එදවස අද මැද පෙරදිගදි මෙන් වලව් වලදි සාමාන්‍ය ජනතාව පිඩාවට පත්විය.

    ReplyDelete
    Replies
    1. බටහිර විද්‍යාවේ ක්‍රමය විශ්ලේශණය තුලින් සමස්ථය ගොඩනඟා ගැනීමය. මේ ලිපියේ මූලික අරමුණ ආර්ථිකය පිළිබඳ දැනුම ගොඩනැඟීමේදී එම ක්‍රමය අසාර්ථක බව ඒත්තු ගැන්වීමය. ඒ බව ඔබට වැටහුනාදැයි නොදනිමි.

      මීට විකල්ප ක්‍රමය සමස්ථය එක හෙලා දැකීමය. ඒ සඳහා ප්‍රවාද අපට නැත නමුත් ගොවිතැනේදී අපේ පැරුන්නන් (විශ්ලේශනයකින් තොරව) සමස්ථය දුටු බව පැහැදිලිය.

      ආර්ථික ක්‍රමයක් තුල සමාජයක පීඩාවට පත්වන යම් කොටසක් සිටීද නැද්ද යන්න වග ඒ ක්‍රමය තුල සමස්ථය නිවැරදිව ග්‍රහණය වේද නොවෛ්ද යන්න මත රඳා පවතින්නේ නැත. සමහරවිට සමස්ථය දැකීමම යම් කොටසක් පීඩාවට පත් කිරීමට හේතු විය හැකියි.

      Delete
    2. දැනට භාවිතා කරනු ලබන විශ්ලේශණයන් සමස්ථයක් ලෙස බැහැර කල නොහැකි බව මාගේ අදහසය. දෙවැන්නනම් අපට අතීතයේදි එලෙස භාවිතයක් නොතිබුන බවයි. අපට එලෙස විශ්ලේෂණ ක්‍රමයක් පැවතියායැයි විශ්වාස කිරීම මගින් සිදු වන්නේ අප මුලාවේ වැටිමක්ය.

      අප ගමන ආරම්භකල යුත්තේ අපිට බොහෝ දේ තිබුනායැයි විශ්වාස කිරිමෙන් නොව අපි බොහෝ දේ නිර්මාණය කල යුතුව ඇතැයි සිතිමෙනි. එබැවින් අප සමස්ථ ක්‍රියාවලියම මැණ ගත හැකි විද්‍යාවක් ගොඩනඟා ගැනීමට කටයුතු කල යුතුය.

      දෙවැන්න අප විශ්වාස කල යුතුතේ අපිට දියුණු ක්‍රමයක් නොතිබුන බැවින් විදේශවලින් ආ දැනුමට අප යටකරගෙන යාමට හැකිවු බවයි. අපට බටහිරින් ආ දැනුම විශ්වාස කිරීමට සිදුවන්නේ අපට එම කලාපයන්වල විධිමත් දැනුමක් නොතිබුන බැවිනි.



      Delete
    3. අපට තිබුනු දේ හා නොතබුනු දේ (දැනුම්) පිළිබඳ සම්පුර්ණ විග්‍රහයක් නොවෙයි මේ ලිපියේ කෙරෙන්නේ. බටහිර විද්‍යාව සමස්ථය තේරුම් ගන්නේ විශ්ලේෂණය කර සංඝටක එකතු කිරීම තුලින් ඒ ක්‍රමය විශේෂයෙන්ම ආර්ථිකය විශයෙහි අසාර්ථකයි. මෙහි වැදගත් ක්‍රමය අසාර්ථක බවයි. ක්‍රමය අසාර්ථක නම් තව අවුරුදු සියයකින්වත් මීට වඩා දියුණු බටහිර ආර්ථික විද්‍යාවක් ඇතිවෙයි කියලා හිතන්න බැහැ. ඊට විකල්පය සමස්ථය සමස්ථයක් වශයෙන්ම දැන ගැනීම. හෙළ ගොවිකමේ සහ වෙදකමේ සමස්ථය දැක දැක ගත් බවක් පෙනෙනවා. අපි කල යුත්තේ ඒ ක්‍රමය නැවත ඉගෙන ගැනීමයි. අපට බොහෝ දේ කිරීමට ඇත කිසිසේත්ම අපි බොහෝ දේ දන්නවා යැයි මම නොසිතමි.

      Delete
  2. අපේ රටට ගැලපෙන ආර්ථික ප්‍රතිපත්තියි අපි අනුගමනය කරන්න ඕනේ. එතනදි ලෝකේ වෙනත් රටවල් අපිව මනින මිම්ම දිහා බලල අපි අපි ගැනම වැරදි චිත්ත රූපයක් මවා ගන්න අවශ්‍ය නෑ.

    ReplyDelete