Wednesday, November 11, 2015

සුළු ජාතීන් හා සෝභිත හාමුදුරුවෝ

මීට මාස කිහිපයකට උඩදී මෙරට බෞද්ධයින්ටත් භික්‍ෂූන් වහන්සේලාටත් පොදුවේ සිංහල බෞද්ධ සංස්කෘතියටත් නින්දා අපහාස කිරීමට ඉදිරිපත්වූ දේශපාලන ක්‍රියාකාරීන්ට සෝභිත හිමියන්ගේ අපවත් වීමත් සමඟම මෙරට බෞද්ධ සංස්කෘතියක් ගැන අමුතු සද්ධාවක් ඇතිවී තිබීමෙන් පිළිබිඹු වන්නේ ඔවුන්ගේ කුහකත්වය පමණය. එසේවුවද   සමහර සුළු ජාතීන්ගෙන්, විශේෂයෙන්ම සාමාන්‍ය මුස්ලිම් ජනතාවගෙන් ලැබෙන ගරු සරු නම් හුදෙක් දේශපාලන ආටෝපයන් ලෙස ඉවත දැමිය  නොහැකියි. එය ඔවුන්ගේ හදවතින් එන අවංක ප්‍රතිචාරයක් යැයි මම සිතන්නට කැමැත්තෙමි.

අතීතයේ සෝභිත හාමුදූරුවෝ 13 සංශෝධනයටත් පොදුවේ බෙදුම්වාදයටත් විරුද්ධ වෙමින් ඒකීය රාජ්‍යයක් සඳහා පෙනී සිටි අයෙකි. ඒ පිළිබඳව උන්වහන්සේ තමන්ගේ ස්ථාවරය යහපාලනය සමඟ දීග කෑ සමයේ වෙනස් කරගත්තේ යැයි නිශ්චිතව කිව නොහැකි නමුත් පැහැදිලිවම ඒ සමයේදී සෝභිත හාමුදුරුවෝ සුළු ජාතීන් කෙරෙහි ප්‍රසිද්ධියේ උපේක්‍ෂාවෙන් කටයුතු කලහ. බොහෝවිට ඒ ගතිය උන්වහන්සේගේ සහජ ලක්‍ෂණයක් වන්නට ඇති. එබැවින් සුළු ජාතීන් උන්වහන්සේට මේ අවස්ථාවේ දක්වන ලෙන්ගතුකම දේශපාලනයෙන් ඔබ්බට ගිය මූල ධර්මවූ අන්‍යෝන්‍ය මිනිස්කමක් ප්‍රදර්ශනය කිරීමක් ලෙස සැලකිය හැකිය. විශේෂයෙන්ම මෙහිදී උන්වහන්සේ සිංහලුන් නියෝජනය කරන බෞද්ධ භික්‍ෂුවක් වීම සුළු ජාතීන් කෙරෙහි ධනාත්මකව බලපානවා විය හැකියි.

මේ කරුනු සාධාරණීකරණය කල හැකි නම් ඇතමුන් පෙන්වා දෙන්නට උත්සාහ කරන පරිදි ඒකීය රාජ්‍ය සංකල්පය මෙරට සුළු ජාතීන්ට එතරන්ම අරහන් නැත. මෙරට සංස්කෘතියට අනුව යමින් අන්‍යෝන්‍ය සම්බන්ධකම් පදනම් කරගෙන ජාතිය සහ ජාතික රාජ්‍යය ගොඩනැඟිය හැකිය. අවශ්‍යවන්නේ එවැනි සම්බන්ධකම් ගොඩනැඟිය හැකි නායකයින්ය.

ත්‍රස්තවාදය පරාජය කිරීමෙන් පසුව ඒකීය රාජ්‍ය සංකල්පය වටා සුළු ජාතීන් දේශපාලනිකව සංවිධානය කිරීමට සෝභිත හිමියන්ගේ සහය ලබා ගැනීමට තිබිනි යැයි දැන් ආපසු බලන විට සිතේ. එවැනි දේශපාලන මෙහෙයුමක් මහින්ද රාජපක්‍ෂ රජයෙන් ක්‍රියාත්මක නොවුනු බව මෙහිදී කිව යුතුයි. එවැන්නක් තිබුනි නම් සෝභිත හිමියෝ එහි ප්‍රකාශකයා වීමට සුදුසුම පුද්ගලයාය. රාජපක්‍ෂ රජය යටතේ එවැනි දේශපාලන ව්‍යාපාරයක් සෝභිත හිමි මුල් කරගෙන ක්‍රියාත්මක වුයේ නම් ඒ රජය පෙරලීමට ගෙන ආ මුස්ලිම් බියටද සාර්ථකව මුහුණ දීමට හැකි වන්නට තිබිනි. සමහර විට එවැනි බියක් ඇති කිරීමට පවා ඉඩක් නොලැබෙන්නට ඉඩ තිබිනි. උපක්‍රමශීලීව කටයුතු කලේ නම් ඊටත් වඩා වැදගත් ලෙසට සෝභිත හිමියන් පෙරදැරි කරගෙන එවැනි ව්‍යාපාරයක් ඔස්සේ බෙදුම්වාදී දේශපාලනය පරාජය කිරීම සඳහා සෑහෙන දුරක් ජාතික ව්‍යාපාරයට යන්නට තිබුනා දැයි සිතේ.

අද අපි ජාතියක් වශයෙන් සංස්කෘතිකව පරිහානියට පත්වෙමින් සිටියි. සාමූහිකත්වය ඉවත ලමින් පුද්ගලත්වය දේවත්වයට සමාන කිරීම පරිහානියේ ලක්‍ෂණයයි. සමාජයෙන් වෙන් කෙරුනු පුද්ගලයින්ට අනුන් සමඟ ඇති කරගත හැක්කේ පුහු අටෝප සම්බන්ධකම් පමණය. ඒ සම්බන්ධකම් උඩ විවිධ ජාතීන් එක් කල නොහැකිය. මෙරට ජාතීන් එක් කර ඒකීය රාජ්‍යයක් ගොඩනඟන්නට නම් එකිනෙකා අතර අවංක මිනිස් සම්බන්ධතා ගොඩනඟා ගත යුතුය. එවැනි සම්බන්ධකම් අපට ගොඩනැඟිය හැක්කේ පුද්ගලිකත්වයත් සාමූහිකත්වයත් එකලෙස සලකන අපේ සංස්කෘතියේ අපි පිහිටියොත් පමණි. අවාසනාවකට ඒ සංස්කෘතිය ඇඟේ පිහිටි සෝභිත හිමියෝ මෙන්ම ඒ පරම්පරාවම කෙමින් අපෙන් වියෝවෙමින් සිටියි.

No comments:

Post a Comment