Tuesday, October 27, 2015

බොලිවුඩ් හරහා හොලිවුඩ් යන අපේ ප්‍රසාංගික කලාව

දැන් කාලේ ජනප්‍රිය පිරිමි ගායකයින්ගෙ සිංදු බොහොමයක් සිහින් හඬින් (හයි පිච්) ගයන අඳෝනා කිව්වොත් අතිශෝක්තියක් නෙවෙයි. මේ ලක්‍ෂණ ලැබිල තියෙන්නෙ බොලිවුඩ් අණුකරණයෙන් වෙන්ඩ ඇති. සංගීතය පමණක් නොවෙයි පොදුවේ අපේ ප්‍රසාංගික කලා ක්‍ෂේත්‍රයම ඉංදියාව පසු පසින් යනවා කිව්වොත් නිවැරදියි. පසු පසින් යනවා කියන්නෙ ඉංදියානු කලාව උසස් යැයි සලකා ඒ මට්ටමට අපේ කලාවන් ගෙන ඒමට උත්සාහ කිරීමයි.

නමුත් මේ අතර ඉංදියාවේ ප්‍රසාංගික කලා ක්‍ෂේත්‍රය බටහිර කලාවන් පසු පසින් යනවා. ඊනියා සම්මිශ්‍රණ (ෆියුශන්) සංගීතය ලෙස හැඳින්වෙන සංගීත ශෛලිය පොදුවේ බටහිර සංස්කෘතියේ කලා රුචිකත්වයට ගැලපෙන පරිදි වෙනස් කරගත් බටහිර නොවන සංගීත සම්ප්‍රදා කියල හඳුන්වන්න පුළුවන්. ඉංදියානු ශිල්පීන් සම්මිශ්‍රණ සංගීතයේ ඉහලින්ම ඉන්නවා. ඒ කියන්නෙ ඉංදියානු ශෛල්‍ය බටහිරුන්ගේ රුචිකත්වයට ගැලපෙන පරිදි සකස් කිරීමට ඉංදියානු ශිල්පීන්ට හැකිවෙලා තියෙනවා. ඒ ආර් රහ්මාන් වැනි ශිල්පීන් ඉංදියාවේ මෙන්ම බටහිරුනගේත් ගෞරවයට පාත්‍ර වෙන්නේ ඒ නිසයි. මේ සම්මිශ්‍රණ සංගීතයේ මෙන්ම නර්තනයේත් දැක ගන්න පුළුවන්.

හතලිස් ගණන් වලත් අපි දේශීය කලාවන් ඉංදියානුකරණය කරගන්න වලිකෑවා. චිත්‍රසේන අමරදේව වගේ ශිල්පීන්ට ඒ උවමණාව තිබ්බා. එදිරීවීර සරචන්ද්‍ර වගේ උගතුන් ඒ සඳහා මතවාද නිර්මාණය කලා. නමුත් 70 දශකය වෙනකොට ඉංදීය අභාශය ඇති නමුත් ඒ මිම්මෙන් ස්වාධීනවූ දේශීය සංගීතයක් බිහි කරගන්ඩ අපට හැකිවුනා. ඉංදීය පුහුණුව තිබුනු ප්‍රතිභාපූර්ණ කලා කාරයෙක්වූ අමරදේවම ඒ සඳහා විශාල කාර්යයක් ඉටු කලා. (ඒ අතරේ සුනිල් ශාන්තගේ දේශීය සංගීත ආර යටයෑම වෙනම කථාවක්). නමුත් මේ කාලයේ ඉංදියාවේ මට්ටමකින් අපේ කලා මැනීමේ අවශ්‍යතාවක් පොදුවේ කලා ක්‍ෂේත්‍රය තුල තිබුනේ නැහැ (ගුවන් විදුලි සංස්ථාවේ ශිල්පීන් ශ්‍රේණිගත කිරීමේදී හැර). ඒ නිසා අපට අපේ අනන්‍යතාවක් ගොඩනඟා ගැනීමට හැකිවුනා. මේ තත්වය 90 දශකය වෙනකම්ම තිබුන බවයි මගේ හැඟීම. නමුත් අද අපි බොලිවුඩ් මට්ටමිනුත් බොලිවුඩ් හොලිවුඩ් මට්ටමිනුත් මැණෙනවා.

පොදුවේ අපි කරන්නේ බොලිවුඩ් හරහා බටහිර අනුකරණය කිරීමයි. ඒ නිසා මේ කලා දූරාවළියේ අපි ඉන්නෙ බොහෝ පිටු පසින්. එහි ඉහලට එන්න කරන අරගලය නිසා අපි අපේ අනන්‍යතාව නැති කරගන්නවා පමණක් නෙවෙයි කලා කාරයින්ටත් පොදුවේ දේශීය ප්‍රසාංගික කලා ක්‍ෂේත්‍රයටත් යම් හීනමානයක් අත් කර දෙනවා. මේක අභාග්‍යයක්.

අපේ කාලාකරුවො අපේ කලාවන් ජාත්‍යන්තරයට ගෙනියනවා කියල කියන්නේ බොලිවුඩ්-හොලිවුඩ් පාරේ බඩ ගාගෙන යන්ඩ දරන උත්සාහයටයි. දැන් මේක බටහිර රටක කරන්ඩ යනවා නම් තව කමක් නැහැ. මොකද ඒ මිනිස්සුන්ගේ රුචිකත්වය තියෙන්නෙ හොලිවුඩ් මට්ටමේනෙ. නමුත් පොදුවේ ලංකාවේ මිනිස්සුන්ගේ රුචිකත්වය තියෙන්නෙ හොලිවුඩ් තැනම නෙවෙයි ඉතිං අපේ කලාවන් ජාත්‍යාන්තරයට ගෙනියන වැඩේ ලංකාවේ රසිකයොත් එක්ක කරන්ඩ අමාරුයි. ඒක එහෙම වෙන්ඩ එපැයි?

මීට වඩා නරකද තමන්ගෙ මට්ටම් තම්මැට්ටම් කියල හිටං අපේ ප්‍රසාංගික කලාවට අපේ මට්ටමක් නිර්මාණය කරගෙන හිටය නං?

1 comment:

  1. රංවල ල යම් මට්ටමකට නැගිටින්න හදනව.. ඒත් දැං මෑන්ස්ලත් වැල යන පැත්තට මැස්ස ගහනවද නැත්තං තියෙන මාකට් එකෙං අයුතු විද්යට ගෙඩි කඩනවද කියල හිතාගන්න බෑ...
    සුනිල් සාන්ත ට වල කැපුවෙ එයාගෙම සමකාලිනයො නේද..

    ReplyDelete