Thursday, October 29, 2015

නොකෙරෙන සිසු සටන් සහ ඊනියා රාජ්‍ය මර්ධනය

පසුගියදා ශිෂ්‍ය පෙළපාලියකට පොලිසිය මඟින් බැටන් සහ ජල ප්‍රහාර දීල විසුරුවා හැරපු හැටි මාධ්‍ය හරහා අපි හැමෝටම හොඳින් විඳගන්ඩ ලැබුන. ගුටි කාපු දරුවන්ට කෙසේ වෙතත් මාධ්‍ය සංදර්ශණය බලං හිටපු අයට ඒක තවත් ත්‍රාසජනක රියැලිටි ෂෝ එකක් බව කී දෙනෙක් තේරුම් ගත්තද මන්ද. මේ ෂෝ එකෙන් එහා යමක් මෙතන තියෙනවද?

මේ ළමයි සටන් කරන්නෙ උසස් අධ්‍යාපන ඩිප්ලෝමා පාඨමාලාවක් උපාධියක් බවට පරිවර්තනය කරන්ඩ කියල. මේක සාධාරනද? මේකෙන් මේ පාඨමාලාව හදාරන ළමයින්ගේ පුද්ගලික උවමණාවක් සැපිරුනත් ඩිප්ලෝමා උපාධි දක්වා උසස් කිරීම ජාතික වශයෙන් අධ්‍යාපන අර්බුදයට දිය හැකි එක් පොදු විසඳුමක්ද යන්න සලකා බැලිය යුතුයි. 

ඒ කෙසේ වෙතත් මෙතන සමහරු පෙන්නන්ඩ හදන ආකාරයේ රාජ්‍ය මර්ධනයක් නැහැ. සරසවි ශිෂ්‍යයෝ හැටියට 80 දශකයේ ජේ ආර් රජීව් ගිවිසුමට විරුද්ධව පිටකොටුවෙ තිබ්බ උද්ඝෝශණයකට ගිහින් දුවල පන බේරා ගත්ත හැටි සමහරුන්ට මතක ඇති. එදා සිය ගාණක් පොලිසියෙන් වෙඩි කාල මළා. මම කියන්නේ නැහැ මැරුවෙ නැත්තම් එතන මර්ධණයක් නැහැ කියල. නමුත් මර්ධනයත් සාපේක්‍ෂයි.

හැබැයි මෙතන ඊටත් වඩා වැදගත් දෙයක් තියෙනවා.

එදා සරසවි ශිෂ්‍යයෝ පාරට බැස්සෙ ජාතික ප්‍රශ්ණයක් වෙනුවෙන්. අද ඊටත් වඩා දරුණු ජාතික ප්‍රශ්ණයක් තියෙනවා. ඒ තමයි ජිනීවා හරහා කෙරෙන රට පාවාදීම. එක ජේආර් රජීව් ගිවිසුමට වඩා සිය වාරයකින් රටේ ෙසේවරීය භාවය පාවා දෙනවා. නමුත් ඊට විරෝධය දක්වලා පෙළපාලි තියා පෝස්ටර් එකක්වත් සරසවි වල වදින්නේ නැහැ. ඒ ඇයි? සරසවි සිසුන්ට තමන්ගේ පුද්ගලික අනාගතයෙන් එහා රට ගැන දැක්මක් නැත්ද?

Tuesday, October 27, 2015

බොලිවුඩ් හරහා හොලිවුඩ් යන අපේ ප්‍රසාංගික කලාව

දැන් කාලේ ජනප්‍රිය පිරිමි ගායකයින්ගෙ සිංදු බොහොමයක් සිහින් හඬින් (හයි පිච්) ගයන අඳෝනා කිව්වොත් අතිශෝක්තියක් නෙවෙයි. මේ ලක්‍ෂණ ලැබිල තියෙන්නෙ බොලිවුඩ් අණුකරණයෙන් වෙන්ඩ ඇති. සංගීතය පමණක් නොවෙයි පොදුවේ අපේ ප්‍රසාංගික කලා ක්‍ෂේත්‍රයම ඉංදියාව පසු පසින් යනවා කිව්වොත් නිවැරදියි. පසු පසින් යනවා කියන්නෙ ඉංදියානු කලාව උසස් යැයි සලකා ඒ මට්ටමට අපේ කලාවන් ගෙන ඒමට උත්සාහ කිරීමයි.

නමුත් මේ අතර ඉංදියාවේ ප්‍රසාංගික කලා ක්‍ෂේත්‍රය බටහිර කලාවන් පසු පසින් යනවා. ඊනියා සම්මිශ්‍රණ (ෆියුශන්) සංගීතය ලෙස හැඳින්වෙන සංගීත ශෛලිය පොදුවේ බටහිර සංස්කෘතියේ කලා රුචිකත්වයට ගැලපෙන පරිදි වෙනස් කරගත් බටහිර නොවන සංගීත සම්ප්‍රදා කියල හඳුන්වන්න පුළුවන්. ඉංදියානු ශිල්පීන් සම්මිශ්‍රණ සංගීතයේ ඉහලින්ම ඉන්නවා. ඒ කියන්නෙ ඉංදියානු ශෛල්‍ය බටහිරුන්ගේ රුචිකත්වයට ගැලපෙන පරිදි සකස් කිරීමට ඉංදියානු ශිල්පීන්ට හැකිවෙලා තියෙනවා. ඒ ආර් රහ්මාන් වැනි ශිල්පීන් ඉංදියාවේ මෙන්ම බටහිරුනගේත් ගෞරවයට පාත්‍ර වෙන්නේ ඒ නිසයි. මේ සම්මිශ්‍රණ සංගීතයේ මෙන්ම නර්තනයේත් දැක ගන්න පුළුවන්.

හතලිස් ගණන් වලත් අපි දේශීය කලාවන් ඉංදියානුකරණය කරගන්න වලිකෑවා. චිත්‍රසේන අමරදේව වගේ ශිල්පීන්ට ඒ උවමණාව තිබ්බා. එදිරීවීර සරචන්ද්‍ර වගේ උගතුන් ඒ සඳහා මතවාද නිර්මාණය කලා. නමුත් 70 දශකය වෙනකොට ඉංදීය අභාශය ඇති නමුත් ඒ මිම්මෙන් ස්වාධීනවූ දේශීය සංගීතයක් බිහි කරගන්ඩ අපට හැකිවුනා. ඉංදීය පුහුණුව තිබුනු ප්‍රතිභාපූර්ණ කලා කාරයෙක්වූ අමරදේවම ඒ සඳහා විශාල කාර්යයක් ඉටු කලා. (ඒ අතරේ සුනිල් ශාන්තගේ දේශීය සංගීත ආර යටයෑම වෙනම කථාවක්). නමුත් මේ කාලයේ ඉංදියාවේ මට්ටමකින් අපේ කලා මැනීමේ අවශ්‍යතාවක් පොදුවේ කලා ක්‍ෂේත්‍රය තුල තිබුනේ නැහැ (ගුවන් විදුලි සංස්ථාවේ ශිල්පීන් ශ්‍රේණිගත කිරීමේදී හැර). ඒ නිසා අපට අපේ අනන්‍යතාවක් ගොඩනඟා ගැනීමට හැකිවුනා. මේ තත්වය 90 දශකය වෙනකම්ම තිබුන බවයි මගේ හැඟීම. නමුත් අද අපි බොලිවුඩ් මට්ටමිනුත් බොලිවුඩ් හොලිවුඩ් මට්ටමිනුත් මැණෙනවා.

පොදුවේ අපි කරන්නේ බොලිවුඩ් හරහා බටහිර අනුකරණය කිරීමයි. ඒ නිසා මේ කලා දූරාවළියේ අපි ඉන්නෙ බොහෝ පිටු පසින්. එහි ඉහලට එන්න කරන අරගලය නිසා අපි අපේ අනන්‍යතාව නැති කරගන්නවා පමණක් නෙවෙයි කලා කාරයින්ටත් පොදුවේ දේශීය ප්‍රසාංගික කලා ක්‍ෂේත්‍රයටත් යම් හීනමානයක් අත් කර දෙනවා. මේක අභාග්‍යයක්.

අපේ කාලාකරුවො අපේ කලාවන් ජාත්‍යන්තරයට ගෙනියනවා කියල කියන්නේ බොලිවුඩ්-හොලිවුඩ් පාරේ බඩ ගාගෙන යන්ඩ දරන උත්සාහයටයි. දැන් මේක බටහිර රටක කරන්ඩ යනවා නම් තව කමක් නැහැ. මොකද ඒ මිනිස්සුන්ගේ රුචිකත්වය තියෙන්නෙ හොලිවුඩ් මට්ටමේනෙ. නමුත් පොදුවේ ලංකාවේ මිනිස්සුන්ගේ රුචිකත්වය තියෙන්නෙ හොලිවුඩ් තැනම නෙවෙයි ඉතිං අපේ කලාවන් ජාත්‍යාන්තරයට ගෙනියන වැඩේ ලංකාවේ රසිකයොත් එක්ක කරන්ඩ අමාරුයි. ඒක එහෙම වෙන්ඩ එපැයි?

මීට වඩා නරකද තමන්ගෙ මට්ටම් තම්මැට්ටම් කියල හිටං අපේ ප්‍රසාංගික කලාවට අපේ මට්ටමක් නිර්මාණය කරගෙන හිටය නං?

Sunday, October 25, 2015

ආණ්ඩුව ස්වෛරිභාවය පාවා දෙයි

-ආචාර්ය නලින් ද සිල්වා


(ඉරිදා රිවිර පත්‍රයේ පළවූ ලිපියකි)


අද සිදුවෙමින් පවතින්නේ කුමක් දැයි තේරුම් ගත හැක්කේ මේ ආණ්ඩුව බලයට පත්කිරීමට කටයුතු කෙළේ කවුදැයි දැනගැනීමෙනි. මහජනයා මැතිවරණයේ දී ඡන්දය දී ආණ්ඩු පිහිටුවන බව සැබෑ ය. එහෙත් මැතිවරණයට ඉදිරිපත්වන අපේක්‍ෂකයන් තෝරනු ලබන්නේ මහජනයා විසින් නො වේ. අඩුම තරමෙන් ඒ ඒ පක්‍ෂවල සම්මේලන මගින්වත් නො වේ. ආණ්ඩුව බලයට පත්වූයේ මෛත්‍රිපාල සිරිසේන මහතාගේ කරණම උඩිනි. සිරිසේන මහතා ඒ තැනට පොළඹවා ගනු ලැබුයේ කවුරුන් විසින් ද? ඒ ව්‍යායාමය පසුපස සිටියේ ඉන්දියාව ය. ඉන්දියාවට එංගලන්තය හා ඇමරිකාව සහාය දුන්නේ ය. මේ රටවල් තුනට ම එකම හේතුව නිසා නොවුණත් මහින්ද රාජපක්‍ෂ මහතා හා ඔහු වටා සිටිමින් ආණ්ඩුවට සැබවින් ම උපදෙස් දුන්නවුන් (රනිල් වික්‍රමසිංහ මහතා ඇමරිකවෙන් ණයට ගත් වහරට අනුව රාජපක්‍ෂ රෙජිමය) ඉවත්කිරීමට අවශ්‍ය විය. එමෙන්ම ඒ රටවල් තුනට ම දෙමළ ජාතිවාදයට යමක් දීමේ අවශ්‍යතාව විය. තුන්වැනුව අවුරුදු දහස් ගණනකට පසුව වර්ධනය වූ චීන ලංකා සබඳතා විය. මේ ආණ්ඩුව බලයට පත්කිරීමට ඒ රටවල් තුනට අවශ්‍ය වූයේ ප්‍රධාන වශයෙන් ම එකම ප්‍රමාණයට නොවුණ ද මේ කරුණු තුන නිසා ය.

මහින්ද රාජපක්‍ෂ මහතාගේ නායකත්වයෙන් පරාජය කරනු ලැබුයේ දෙමළ ත්‍රස්තවාදය ය. එහෙත් දෙමළ ජතිවාදය හා දෙමළ බෙදුම්වාදය එංගලන්තයේ හා ඉන්දියාවේ පිහිටෙන් නො නැසි පැවතුණි. දෙමළ ත්‍රස්තවාදය යනු දෙමළ ජාතිවාදයෙන් හා ඒ විසින් බිහි කෙරුණු දෙමළ බෙදුම්වාදයේ ඵලයක් පමණකි. ඉන්දියාවට එංගලන්තයට මෙන් නොව දෙමළ ත්‍රස්තවාදය පරාජය කිරීමේ අවශ්‍යතාව වුවත් ඔවුන්ට ද දෙමළ ජාතිවාදය හා යම් පමණකට දෙමළ බෙදුම්වාදය අවශ්‍ය වෙයි. මේ රටවල් තුන මෙන් ම බටහිරයන් විසින් බිහි කෙරී පෝෂණය කෙරෙන රාජ්‍ය නොවන සංවිධාන හා ඊනියා සිවිල ් සමාජය ද කිසිම ජාතිකත්වයක් නැති මාක්ස්වාදියෝ ද දෙමළ ජාතිවාදයට ආවඩති. ජෙනීවා යෝජනාවලට සහයෝගය දෙන්නෛ් ඒ පිරිස්, බටහිර ගැති එ ජා ප හා සිරිසේනවදී ශ්‍රී ල නි පක්‍ෂය ය.

ඉහත සඳහන් අයගෙන් එ ජා ප හා සිරිසේනවාදී ශ්‍රී ල නි ප හැරෙන්නට අනෙක් අය පිළිගත් පොදු මතයක් වූයේ දෙමළ ජනයාට යම් අසාධාරණයක් සිදු වී ඇති (මේ අසාධාරණය කුමක් දැයි ඔවුන්ට නිශ්චිත ව කිව නො හැකි ය) බවත් පසුගිය දශක කිහිපයක ඒ අසාධාරණයට යම් පිළියමක් සෙවීමට ආණ්ඩු පක්‍ෂය සූදානම් වන විට විරුද්ධ පක්‍ෂය එයට විරුද්ධ වන බවත් ය. ඒ හේතුව නිසා ඒ පක්‍ෂ දෙකෙන් ම සමන්විත ආණ්ඩුවක් පිහිටුවීමට එංගලන්තයට හා විශේෂයෙන් ම ඉන්දියාවට අවශ්‍ය විය. එමෙන් ම එංගලන්තයට හා ඇමරිකාවට ඊනියා සිවිල් සමාජයට වඩාත් නිදහසේ බටහිර ප්‍රතිපත්ති මෙරට ගෙන යෑමට අවකාශය ලබා දීමට අවශ්‍ය විය. පක්‍ෂ දෙකේ ම ආණ්ඩුවක් ඊනියා ජාතික ආණ්ඩුවක් ලෙස හඳුන්වමින් විරුද්ධ පක්‍ෂයක් නැතිව කටයුතු කරන බවට රනිල් වික්‍රමසිංහ මහතා කලක සිට කීවේ එවැනි ඊනියා ජාතික ආණ්ඩුවක අවශ්‍යතාව බටහිරයන්ට හා ඉනදියාවට තිබූ නිසා ය. ඊනියා ජාතික ආණ්ඩු සංකල්පය ම දෙමළ ජාතිවාදයේ මනදොළ පිනවීම සඳහා විය.

එහෙත් ශ්‍රී ල නි ප හා එ ජා ප එකතු කරන්නේ කෙසේ ද යන ප්‍රශ්නය බටහිරයන්ට හා ඉන්දියාවට විය. එහි දී ඔවුන්ගේ ආධාරයට පැමිණියේ මහින්ද විරෝධී ශ්‍රී ල නි පාක්‍ෂිකයන් ය. චන්ද්‍රිකා කුමාරතුංග කවදත් දෙමළ ජාතිවාදී මතයක සිටි මහින්ද විරෝධියකු විය. ඇයට යම් ප්‍රමාණයකට මහින්ද විරෝධී ශ්‍රී ල නි පාක්‍ෂිකයන් එකතු කිරීමට හැකිවිය. එවැන්නන් අතර නිමල් සිරිපාල හා මෛත්‍රිපාල සිරිසේන වූහ. අගමැතිකම බලාපොරොත්තුවෙන් සිටි දෙදෙනාම තම අභිමතර්ථ ඉටු කර ගැනීම සඳ පක්‍ෂය පාවාදීමට වුව ද සූදානමින් සිටියහ. ඉන්දියාව අවසානයේ දී මෛත්‍රිපාල තෝරාගත්තේ ය. එහෙත් එයට පළමුව මහින්ද රාජපක්‍ෂ මහතාගේ ජනප්‍රියතාව අඩුකිරීමට බටහිරයන්ට අවශ්‍ය විය. දෙමළ ජාතිවාදයට තැන දීම ඔවුන්ගේ අවශ්‍යතාවක් වූ නමුත් එය කරළියට නෙගැනීමට ඔවුහු වග බලාගත්හ. ඒ වෙනුවට දූෂණය, භීෂණය ඉදිරියට ගැනිණි. මහින්ද රාජපක්‍ෂ මහතා හා ඔහුට හිතවත් අය දූෂිතයන් බවත්, අධිකරණයට දේශපාලනය රිංගා ඇති බවත් සුදු වෑන් සංස්කෘතියක් මෙරට බිහි වී ඇති බවත් එ ජා පක්‍ෂය හා ඊනියා සිවිල් සමාජය මහජනතාාවට කීවේ ය. එයත් මදිවී සෝභිත හිමියන් ලවා ඊනියා සාධාරණ සමාජයක් පිහිටුවීම සඳහා සංවිධානයක් ද ඇටවූහ.

මෛත්‍රිපාල සිරිසේන මහතා ඊනියා සාධාරණ සමාජය බිහිකිරීම සඳහා ශ්‍රී ල නි පක්‍ෂයෙන් කැඩී වෙන්විය. ඔහුට තිබුණේ රාජපක්‍ෂලාගෙන් පළිගැනීම යන සිතුවිල්ල පමණ ය. රනිල් වික්‍රමසිංහ මහතාට බටහිරයන් මගින් රාජපක්‍ෂ රෙජිමයෙන් පළිගැනීමේ අවශ්‍යතාව වෙයි. ඔවුන්ට රට සංවර්ධනය කිරීමේ අවශ්‍යතාවක් නැත. මේ ආණ්ඩුව හා එහි පූර්වගාමියා පිහිටුවා මාස නවයකට වැඩි වුවත් පළිගැනීම හැර වෙනත් දෙයක් කර ඇත්නම් එ වැරදි මූල්‍ය ප්‍රතිපත්ති හේතුකොට ගෙන රුපියලඅවපාත කිරීම පමණ ය. එදා දූෂිතයන ලෙස හංවඩු ගැසුණු ඇතැම්හු අද ආණ්ඩුවේ ය. ඔවුහු දැන් නිදොස් පුද්ගලයෝ වෙති. එයින් ම පැහැදිළි වනුයේ දූෂිතයන් ගැන බොරු උද්ඝෝෂණයක් කෙරී ඇති බව ය. මේ උද්ඝෝෂණය තවම අවසන් වී නැත.

ඊනියා මූල්‍ය අපරාධ කොට්ඨාසය හරහා රාජපක්‍ෂ රෙජිමයේ ඇත්තන්ගෙන් පළිගැනීම දිගින් දිගට ම කෙරී ගෙන යයි. මේ ආණ්ඩුව බටහිරයන් හා ඉන්දියාව විසින් බලයට පත්රෙැණා පමණක් නොවේ. ඉන්දියාව හා බටහිරයෝ ආණ්ඩුව ආරක්‍ෂා කරති. ආණ්ඩුව ඔවුන් කියන ඕනෑම දෙයකට හිස නමයි. ජෙනීවා යෝජනාව ගෙනෙනු ලැබුයේ එවැනි වාතාවරණයක ය. එම යෝජනා බටහිරයන්ට හා ඉන්දියාවට අවශ්‍ය අන්දමට රට පාලනය කිරීමට ය. රටේ ස්වෛරිභාවය යෝජනා මගින් නැති කර වෙනත් පාර්ලිමේන්තුවෙන් පිට පාලන තන්ත්‍රයක් ඇති කර තිබේ. මේ යෝජනා තවමත් මෙරට පර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරී නැත. පාර්ලිමේන්තුවේ බලය නැතිකළ යෝජනා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නේ අහවල් දෙයකට දැයි ආණ්ඩුව සිතන්නේ දැයි නො දනිමි.

පහත පළවන්නේ යේජනා ගැන කෙටි විවරණයකි. මා පදනම් වන්නේ විදේශ කටයුතු අමාත්‍යංශයේ වෙබ් අඩවියේ සඳහන් යෝනාවල කෙටුම්පතක් මත ය. ආණ්ඩුව යෝජනා සම්බන්ධයෙන් කියන කතා සියල්ල පට්ටපල් බොරු ය. අපි එහි වගන්ති කිහිපයක් පමණක සලකමු.

යෝජනාවල දෙවැනි වගන්තියෙන් ම ඊනියා සත්‍යය හා යුක්තිය සඳහා ජාත්‍යන්තරයේ සහයෝගය හා මැදිහත්වීම පිළිගැනෙයි. මෙහි වැදගත් වචනය මැදිහත්විම යන්න ය. තුන්වැනි වගන්තියෙන් එහිදී ඊනියා සිවිල් සමාජය හ රාජ්‍ය නොවන සංවිධාන ඇතුළත් කිරීම ගැන සඳහන් වෙයි. හයවැනි වගන්තිය ඉතා භයානක ය. එමගින් ජාත්‍යන්තර විනිශ්චයකරුවන් නීතිඥයන් හා වෙනත් අය සහභාගි වන අධිකරණමය යාන්ත්‍රණයක් පිහිටුවීම තරයේ සහතික කරයි. මෙය කොමි සමක් නොව අධිකරණයකි. ඊනියා යුද අපාර්ධ ගැන විනිශ්වයක් දීමට අද අධිකරණයක් පිහිටුවීම ප්‍රත්‍යාවලෝකන වරදට හසුවන්නකි. වරදක් සිදුවී ඇත්නම් එය විභාග කළ යුත්තේ එවකට පවත්නා නීතිය යොදාගනිමිනි. ඒ සඳහා අළුතෙන් නීති සැකසීම වරදකි. ඒ අධිකරණය ක්‍රියා කළ යුතතේ ලංකාවේ නීතිය යටතේ බව හයවැනි යෝජනාවෙන් කියැවෙයි. එහෙත් ඒ යෝජනා මගින්ම ලංකාවේ නීතිය කඩා ඇත.

මෙරට ව්‍යවස්ථාවේ 4 (සී) වගන්තිය අනුව විනිශ්චය සභා පාර්ලිමේන්තුව විසින් පිහිටුවනු ලැබිය යුතු ය. එ විනිශ්චය සභා කවරේ දැයි ව්‍යවස්ථාවේ 105(1) වගන්තියෙන් දැක්වෙයි. මේ නව විනිශ්චය සභාව එහි ඇතුළත් නොවන අතර එය පිහිටුවා ඇත්තේ ජෙනීවාහි දී ය. පාර්ලිමේන්තුවට තුනෙන් දෙකක ඡන්දයකින්වත් 4 වැනි වගන්තිය වෙනස් කළ නො හැකි ය. එය රටේ ස්වෛරිභාවය ආරක්‍ෂා කිරීමට ඇති වගන්තියකි. ඒ උල්ලංඝනය කිරීමෙන් ආණ්ඩුව රටේ ස්වෛරීභාවය නැතිකර ඇත.

ජෙනීවා හත්වැනි වගන්තියෙන් පසුව ඇත්තේ දෙමළ ජාතිවාදය හා ඊනියා සිවිල් සමාජය පෝෂණය කරන වගන්තිය. අටවැනි වගන්තියෙන් රණවිරුවන් නීති විරෝධී අධිකරණයට ගෙන යෑමට අවසර ලැබෙයි. නවවැනි වගන්තියෙන් සාක්‍ෂිකරුවන් ආරක්‍ෂා කිරීම සිදුවෙයි. ඕනෑම අයකුට බොරු සාක්‍ෂි දීමට මෙයින් අවසර ලැබෙයි. චැනල් ෆෝ වීඩියෝ දරුස්මාන් වාර්තව පිළියෙළ කළ අයුරෙන් මේ නීති විරෝධී විනිශ්චය සභාව බොරු සාක්‍ෂි මත පදනම් වී රාජපක්‍ෂවරුන්, ඔවුන් සමීපයේ සිටි අය හා රණවිරුවන් වෑරදිකරුවන් කරනු ඇත. දහවැනි වගන්තියෙන් කඳවුරු වසා ඉඩම් ආපසු ලබා දීම යුක්තියුක්ත කෙරෙයි. දෙමළ ජාතිවාදයට දොළ පිදේනි දීමේදී රාජ්‍ය නොවන සංවිධාන අදිය යොදාගත යුතු යැයි ද කියැවෙයි. දොළොස්වැනි වගන්තියෙන් මහජන ආරක්‍ෂක පණත සංශෝධනය කිරීමත් ත්‍රස්තවාදය වැළැක්වීමේ පණත මුළුමනින් ම ඉවත්කිරීමත් සිදු වෙයි. දහසයවැනි වගන්තියෙන් ඊනියා දේශපාලන විසඳුමක් ගැන කියමින් දහතුන්වැනි ව්‍යවස්ථාා සංශෝධනය ක්‍රියාත්මක කළ යුතු බව හා පළාත්සභා සියළු බලතල සහිත ව ක්‍රියාත්මක විය යුතු බව පවසයි. ඉඩම් හා පොලිස් බලතල එමගින් පළාත්සභාවලට පැවරෙයි. දහහත්වැනි යෝනාවෙන් රණවිරුවන් නීති විරේධී අධිකරණයට ඉදිරිපත් කළ යුතු බවත් වරද කරුන්ට දඬුවම් දිය යුතු බවත් කියැවෙයි. මේ නැවතත් ප්‍රතා්‍යාවලෝකණය කිරීමකි. දහඅටවැනි හා විසිවැනි යෝජනාවලින් එක්සත් ජාතීනගේ මානව අයිතිවාසිකම් කොමිසම දිගින් දිගටම ලංකාව සම්බන්ධයෙන් මැදිහත් විය යුතු බව කියැවෙයි.

ඉතා පැහැදිලිව මින් මතු අපේ නීති සම්පාදනය කෙරෙන්නේ පාර්ලිමේන්තුවෙන් නොව එකිසත් ජාතීන්ගෙ මානව හිමිකම් කොමිසම මගිනි. රනිල් මෛත්‍රිපාල ආණ්ඩුව අපේ ස්වෛරීභාවය නැතිකර ඇත. මේ ආණ්ඩුව දෙමළ ජාතිවාදයට දොළ පිදේනි දිමට, ඊනියා රාජපක්‍ෂ රෙජිමයට හා රණවිරුවන්ට දඬුවම් දීමටත් බටහිරයන්ට හා ඉන්දියාවට රට පාවාදීම සඳහාත් ය.

Tuesday, October 13, 2015

ජාතියට දඬුවම් දීමට ඉඩදිය නොහැකිය

ඇන්ඳීම සහ ඇඳගැනීම සාධනීය කිරීම, දැනුම පිළිබඳ පශ්චාත් නූතනත්වය දරන වැදගත් ආකල්පයකි. අසත්‍ය හෝ අසම්පූර්ණ තොරතුරු යොදාගනිමින් පාරිභෝගික භාන්ඩ ප්‍රවර්ධනය කිරීමේ සිට බටහිර ආණ්ඩු විසින් තම විරුද්ධවාදීන් විනාශ කිරීම සඳහා මානුශීයමය සංකල්ප කුට ලෙස යෙදා ගැනීම දක්වා ඇන්ඳීම සහ ඇඳගැනීම දැකිය හැකිය. මහින්ද රාජපක්‍ෂ දේශපාලනයෙන් ඉවත් කිරීමේ ව්‍යාපෘතියේද ප්‍රධාන ලක්‍ෂණයක්වූයේ අසත්‍ය හෝ අසම්පූර්ණ තොරතුරු යොදා ගනිමින් ජනතාව දේශපාලනිකව නොමඟ යැවීමය. එහි ප්‍රතිඵලයක් වශයෙන් ජනතාව දේශපාලනිකව ගොනාට ඇන්ඳීම මෙරට දේශපාලන ක්‍ෂේත්‍රයේ සාමාන්‍යයක් බවට පත්කෙරිනි. දැනටමත් නොකරන්නේනම් ඉදිරියේදී හෝ විපක්‍ෂයද මේ කුටෝපායන් භාවිතා කරනු ඇත. පශ්චාත් නූතනත්වයට ඊට විරුද්ධවීමට පදනමක් නැත.

මහින්ද රාජපක්‍ෂ දේශපාලනයෙන් ඉවත් කිරීමේ ව්‍යාපෘතිය මඟින් කල ඇන්ඳීම මඟින් එහි සැබෑ අරමුණු වසා දැමිනි නැතිනම් බොඳ කර හැරිනි. එම ව්‍යාපෘතියේ ප්‍රධාන ඇන්ඳීමක්වූයේ ඊනියා යහපාලනය සම්බන්ධයෙනි. පත්වූ රනිල්-මෛත්‍රී හවුල් ආණ්ඩුවද බටහිර සංස්කෘතියට අසමත් ලෙස අවශෝෂණයවූ අනුකාරික බයියන්ගේම ආණ්ඩුවක් වනබැවින් (ඒ ගැන අපට ඇත්තේ සතුටකි) මෛත්‍රීපාලගේ කහ ඉර මත රඟපෑමෙන් ඔබ්බට ඒ ඇන්ඳීම ගෙනයාමට මේ ආණ්ඩුවට නොහැකිවී ඇත. ඒ හේතුව නිසා යහපාලන පොරොන්දුව හුදෙක් ඇන්ඳීමක් පමණක් බව මේ වනවිට ජනතාවට ඒත්තු ගොස් ඇත.

මහින්ද රාජපක්‍ෂ ඊනියා සිංහල ස්වෝත්මවාදීන් නියෝජනය කරන්නේය යන්න එම ව්‍යාපෘතියේ තව ඇන්ඳවීමකි (ඇඳගැනීමකි). ඒ ඇන්ඳවීමද අද පච වී ඇත. වර්ගවාදී ලෙස දේශපාලනයේ නියැලුනු චම්පක රණවක අද සෙවණ ලබන්නේ යහපාලන ආණ්ඩුව තුල මිස ජාතික ව්‍යාපාරය තුල නොවේ. පසුගිය මැතිවරණයේදී බොදු බල සේනාවේ දේශපාලනයටද මෙරට ජනතාවගේ ඉල්ලුමක් නැති බව පැහැදිලි කෙරෙනි. මේ ව්‍යාපාර පිළිබඳ කරුණු ජනවාරි 8දා යින් පසු ඇතිවූ තත්වයක් නොව මේ කරුනු ජනවාරි 8දාට පෙරද එසේම විය. සිංහල අධිපතිවාදීන්යැයි කිව හැකි යම් පිරිසක් සිටියේනම් ඔවුන් ගොනුවී සිටියේ මහින්ද රාජපක්‍ෂ වටා නොවේ. එය හුදෙක් ඇන්ඳවීමක් පමණි.

මහින්ද රාජපක්‍ෂ දේශපාලනයෙන් ඉවත් කිරීමේ ව්‍යාපෘතියේද පැවති ඊට පෙර සිටද පවත්වාගෙන ආ අනිත් ඇන්ඳවීම ඊනියා ජනවාර්ගික ප්‍රශ්ණය සම්බන්ධයෙනි. මූලික වශයෙන් ජාතිවාදී ගැටුම් ඇතිවන්නේ එක් ජනවර්ගයක් තවත් ජනවර්ගයක් සංස්කෘතික හා සාමජීය වශයෙන් නොඉවසන විටය. ඒ අර්ථයෙන් මෙරට දෙමළ සිංහල ජනවාර්ගික ගැටුමක් කිසි දිනක පැවතුනේ නැත. එවැනි ගැටුමක් මෙරට තිබිනි නම් දෙමළ ත්‍රස්තවාදය පරාජය කිරීමෙන් එවැන්නක් නැති කල නොහැකිය. මන්ද ජනවාර්ගික ගැටුමකට මුල සංස්කෘතික හා සාමාජීය හේතුන් වන බැවිනි. ඒ නිසා එවැනි ගැටුමක් තිබුනි නම් දෙමළ ත්‍රස්තවාදය පරාජය කිරීමෙන් පසු අදටත් එය කුමන අයුරකින් හෝ පැවැතිය යුතුය. නමුත් අද මෙරට ජනවාර්ගික ගැටුමක් ඇතැයි කිසිවෙකු නොකියයි. එය එසේනම් කිසි දිනක හෝ මෙරට සිංහල-දෙමළ ජනවාර්ගික ගැටුමක් තිබිනියැයි කීම තාර්කික නොවේ.

නමුත් සිංහලුන්ට සටනක් තිබුනි. එය අදටත් ඇත. ඒ සටන දේශපාලණික සටනකි. නමුත් ඒ දේශපාලණික සටන දෙමළ ජනයා සමඟ ඇති එකක් නොව පොදුවේ මෙරට සිංහලතාව නැසීමට උත්සාහ කරන දේශපාලන බලවේග සමඟ චිරාත් කාලයක සිට සිංහලුන්ට ඇති සටනකි. වර්තමානයේ මෙරට සාමාන්‍ය දෙමළ ජනයා සිංහලුන් සමඟ මේ සටනට වක්‍රාකාරව පැටලී සිටින්නේ දෙමළුන්ගේවත් සිංහලුන්ගේවත් සැකැස්මකට අනුව නොවේ. සිංහලුන්ට ඇති සටන අතීතයේ සොලීන්ගේ සිට මෑත කාලයේ ඉංග්‍රීසීන් දක්වා ගලා එන්නකි. සිංහලුන් දේශපාලනිකව සටන් කරන්නේ සිංහලතාව රැක ගැනීමේ අරමුණිනි. ඉංග්‍රීසීහු එංගලන්තය ක්‍රිස්තියානි ඇංග්ලෝ සැක්සන් සංස්කෘතියේ රටක් ලෙස පවත්වාගෙන යන්නාක් සේ මෙරට සිංහල බෞද්ධ සංස්කෘතියේ රටක් ලෙස මෙරට රාජ්‍යය පවත්වාගෙන යාමට සිංහලුන්ට අයිතියක් තිබිය යුතුය. 

නමුත් අද පශ්චාත්නූතනත්වය වෙසින් එන බටහිර සංස්කෘතිය ඒ සඳහා සිංහලුන්ට ඉඩ දෙන්නේ නැත. විවිධාකාර ඇන්ඳීම් හරහා මහින්ද රාජපක්‍ෂ දේශපාලනයෙන් ඉවත් කිරීමේ ව්‍යාපෘතිය මඟින් සැඟවූයේද බටහිරුන් විසින් සිංහලතාවට එල්ල කරන මේ බලපෑමය. කෙසේ නමුත් මහින්ද රාජපක්‍ෂ ඉවත් කිරීමෙන් මෙරට සිංහලතාවට මරු පහරක් වැදුනි. එහෙත් එම ව්‍යාපෘතිය තවමත් අවසන් නැත.

අද අධිරාජ්‍යවාදී බලවේග ඊනියා මානව හිමිකම් චෝදනාවක් පදනම් කරගනිමින් තමන්ට අවැසි පරිදි මෙරට අධිකරනය මෙහෙයවීමට උත්සාග ගනිමින් සිටියි. ඉඩ දුනහොත් එය රටේ ව්‍යවස්ථාව වෙනස් කිරීම හරහා සිංහලතාවට තවත් මරු පහරක් එල්ල කරනු ඇත. රටේ ආරක්‍ෂක හමුදාවන්ට සහ මහින්ද රාජපක්‍ෂ මහතාට දඬුවම් පැමිණවීමද එම ගමනේ වැදගත් අංග වෙනු ඇත. මේ දඬුවම් කිරීම් තුල ඇති දේශපාලනය අපි තේරුම්ගත යුතුය.

දඬුවමේ සංදර්භය කොටි ත්‍රස්තවාදයට එරෙහි ශ්‍රී ලංකා රාජ්‍යයේ මෙහෙයුමය. බටහිර ආණ්ඩු කොටි ත්‍රස්තවාදය පෝශණය කල අතර අවසානයේ ප්‍රභාකරන් ඇතුළු කොටි නායකයින් බේරා ගැනීමට උත්සාහ දැරූහ. එමඟින් ඔවුහු ශ්‍රී ලංකා රාජ්‍යයේ සහ මෙරට වැසියන්ගේ විශේෂයෙන්ම සිංහලුන්ගේ අවශ්‍යතා සහ අරමුණු වලට (ඇමෙරිකානු බසින් ලංකාවේ ඉන්ට්‍රස්ට්ස් වලට) විරුද්ධව කටයුතු කලහ. එසේනම් අද බටහිර ආණ්ඩු එම සංදර්භය මතම ආරක්‍ෂක හමුදාවන්ට සහ මහින්ද රාජපක්‍ෂ මහතාට දඬුවම් පැමිණවීමට උත්සාහ කරන්නේ සිංහලුන්ගේ ප්‍රතිවාදියා ලෙස මිස ඊනියා ස්වාධීන නිරීක්‍ෂකයෙකු ලෙස නම් නොවේ. එය අපි මුළින්ම හඳුනාගනිමු.

සිංහලුන්ගේ ප්‍රතිවාදියා ලෙස ක්‍රියාකරමින් හමුදාවට සහ මහින්ද රාජපක්‍ෂ මහතාට දඬුවම් කර බටහිර ආණ්ඩු අත් කරගැනීමට බලාපොරොත්තු වන්නේ කුමක්ද? පැහැදිලිවම එය හුදෙක් පුද්ගලික පලිගැනීමක් නොවේ. සංස්කෘතියක් වශයෙන් බටහිර සංස්කෘතියට සිංහලතාව සම්බන්ධයෙන් ඇත්තේ මෛත්‍රීපාල සිරිසේනට මහින්ද රාජපක්‍ෂ සම්බන්ධයෙන් ඇති අවශ්‍යතාව නොවේ. බටහිරුන්ගේ අරමුණ සිංහලුන්ගේ ජාතික විඤ්ඥාණයට පහරදීමටය. පහරදී හැකිනම් සිංහලුන් අධෛර්යමත් කිරීමය.

දෙදහස් දොලහ වසරේ කන්දහාරයේ සිවිල් වැසියන් දාසය දෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීම පිළිබඳ වරද පිලිගත් රොබර්ට් බේල්ස් නම් ඇමෙරිකානු සොල්දාදුවාට විරුද්ධව නඩු පැවරුනේ ජාත්‍යාන්තර උසාවියක් තබා එරට සිවිල් උසාවියකද නොව ඇමෙරිකානු හමුදා උසාවියක් මඟින් හමුදා නීතියට අනුවය. බේල්ස්ට පැවරුනේ මරණීය දඬුවම නොව ජීවිතාන්තය දක්වාවූ සිර දඬුවමකි. ඔහු දඬුවම් විඳින්නේ සාමාන්‍ය සිවිල් වැසියන් සඳහාවූ සිරමැදිරියක නොව හමුදා බැරැක්කයකය. ඇමෙරිකානු රජය මෙම ඝාතනය සම්බන්ධයෙන් එලෙස ක්‍රියාකලේ එම සංහාරය පොදුවේ ඇමෙරිකානු හමුදාවේ ක්‍රියාවක් නොව එක්තරා සොල්දාදුවෙකුගේ පුද්ගලික ක්‍රියාවක් ලෙස ලොවට ඒත්තු ගැන්වීමටය. නමුත් අපේ හමුදාව විමර්ශණයට ලක් කිරීමට අප ඉඩදී ඇත්තේ මෙරට හමුදාවට තබා මෙරට සිවිල් අධිකරණයටද නොව කොටින්ට එරෙහි යුදයේදී සිංහලුන්ගේ ප්‍රතිවාදියා ලෙස කටයුතු කල බටහිරුන් විසින් සම්පාදිත උසාවියකටය. පැහැදිලිවම එහි අරමුණ යම් සොල්දාදුවෙකුගේ පුද්ගලික ක්‍රියාවක් වරදට හසු කිරීම නොව මෙරට හමුදාව වරද කරු කිරීමය. එමඟින් සිංහල ජාතික විඤ්ඥාණයට පහරදීමටය.

මහින්ද රාජපක්‍ෂ මහතාට දඬුවම් කෙරෙන්නේද ඒ අරමුණිනි. මහින්ද රාජපක්‍ෂ යනු සිංහලුන්ගේ නිදහස් සටනේ වර්තමාන නායකයාය. රටට හතුරුවූවෝ මොනයම් හෝ පදනමක් මත ඔහුට දඬුවම් කරන්නේ නම් එය පුද්ගලික වරදකට දඬුවම් කිරීමක් ලෙස ගත හැකි නොවේ. එහිදී වැදගත් වන්නේ ඔහුට එල්ල කෙරෙන චෝදනා නොව චෝදනා එල්ල කරන්නේ කවුද යන්නත් මහින්ද රාජපක්‍ෂ යනු සිංහලුන්ගේ නිදහස් සටනේ වර්තමාන නායකයා යන්නත්ය. මොන හේතුවක් මතවත් රටේ හතුරන්ට මහින්ද රාජපක්‍ෂට දඬුවම් කිරීමට තබා අවමන් කිරීමටවත් ඉඩදිය යුතු නොවේ.