Monday, September 21, 2015

මරණීය දණ්ඩනය විසඳුමක් නොවේ

අද රටේ සිදුකෙරෙන අපරාධ උසුලා සිටීමට අපහසුය. විශේෂයෙන්ම දරුවන්ට කෙරෙන අපරාධ කුඩා දරුවන් සිටින දෙමව්පියන්ට තදින්ම දැනෙයි. වරද කරුවන්ට දැඩි දඬුවම් පැමිණිය යුතුයැයි ඔවුන් උද්ඝෝෂණය කරන්නේ ඒ නිසා විය හැකිය. නමුත් මානසික අසහන සිට සාපරාධී ක්‍රියා දක්වා සියලු සමාජමය ව්‍යාධි නීතිය ක්‍රියාත්මක කිරීමෙන් පමණක් සමනය කල නොහැකිය. නීතිය සහ දණ්ඩනය ඉහලින්ම ක්‍රියාත්මක කෙරෙන රටවලද එය සමනය වී නැත. නීතිය සහ දණ්ඩනය ක්‍රියාත්මක කිරීම යනු වතුර කාන්දුවන ටැංකියක පිටතින් පැලැස්තර දැමීමක් වැනිය.

අපි ප්‍රශ්ණයේ මුලට යා යුතුය. මිනිසුන්ගේ හැඟීම් උපරිමයෙන් අවුස්සන ඔවුන් අපරාධ වලට පොළඹවන සමාජ වටපිටාවක් වර්ධනය කරමින් නීති හා දණ්ඩනයෙන් මිනිසුන් මෙල්ල කිරීමට කරන උත්සාහය සාර්ථක නොවේ.

අප නිර්මාණය කල යුත්තේ අපරාධ වලට නැඹුරු නමුත් නීතියට හා දඬුවමට බිය සමාජයක් නොව. පිං පව් දන්න අන්‍යනයන්ට ගරු කරන සමාජයට වගකීමක් දරන යුතුකම් උසුලන මිනිසුන්ගෙන් සැදි සමාජයකි. එය නීති ක්‍රියාත්මක කරනවාට වඩා දුශ්කර කාර්යයක් බව ඇත්තකි. නමුත් ඊට උත්සාහ නොකර හිඳීමට හේතුවක් තිබේද? අඩු තරමින් සමාජය එවැනි තැනකින් ඈත් කෙරෙන බලපෑම් නිශ්ක්‍රිය කිරීම සඳහා රාජ්‍ය බලය යොදාගත යුතු නොවේද? එවැනි රාජ්‍ය මැදිහත්වීම් පුද්ගලික අයිතීන් වලට හරස් කැපීමක් ලෙස සැලකීම සාධාරණද?

ව්‍යවස්ථාවෙන් බෞද්ධාගමට විශේෂ තැනක් ලබාදීමට බැඳී සිටින රාජ්‍යයකට බුදු දහමේ ඉගැන්වෙන ආකාරයට සමාජය යහමඟට ගැනීම සඳහා මැදිහත්වීමට වගකීමක් තිබෙනවා නේද? එසේත් නැත්නම් බෞද්ධාගමට විශේෂ තැනක් ලබා දීම යනු බෞද්ධයින්ගේ පුද්ගලික අයිතියක් ආරක්‍ෂා කිරීම පිළිබඳවද?

4 comments:

  1. මගේ රට අනේ කියලයි කියන්න තියෙන්නෙ. ඊනියා සිංහල බෞද්ධයො පාරට බැහැල කරන උද්ඝෝෂණ බැලුවම බුදු දහම අනුව ජීවත හැඩගසා ගන්න උත්සාහ කරන අයද කියල හිතන්න බෑ. අද රූපාවාහිනී නාලිකාවක හාමුදුරු කෙනෙක් කියාගත්තු කෙනෙකුත් උද්ඝෝෂණය කරනව දැක්ක. ඔබත් මාත් නොදන්නවා උනාට මරණ දඬුව පැන වීම තමයි මේකට හොඳම විසඳුම කියල ඒ අය දන්නව. අපේ මාධ්‍යයන් දකින්නේ මේ අපරාධ වලට මූලික හේතුව මරණ දඬුවම නැති කම කියලයි. මරණ දඬුවම දෙනවා කියන්නේ හොඳට සැලසුම් කරල කරන තවත් මිනී මැරීමක් කියල හිතන්නෙ ටික දෙනයි

    ReplyDelete
  2. ලිපියේ කරුනු සමග 100% ක් එකඟ වෙමි

    ReplyDelete
  3. මරණ දඬුවම ක්‍රියාත්මක කරන එකේ නරක පැත්ත වැඩියි කියන එකයි මගෙත් අදහස. ඒත් ඒ ආගමික පදනමකින් නෙමේ (සරලව කිව්වොත් පව් පිරෙන නිසා නෙමේ). මරණ දඬුවම ක්‍රියාත්මක කරන එකෙන් සමාජයකට රටකට ඇතිවන බලපෑම ගැන හිතලා, සහ අතීතයේ එහෙම මරණ දඬුවම ක්‍රියාත්මක කල රටවල් ගැන කියවල ඒ ගැන අධ්‍යනය කරල තියෙන නිසා.

    බෞද්ධ ආගමික පදනමකින් මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කරනවට විරුද්ධ වෙනවා නම්, යම් සමාජයක් ඉස්ලාම් ආගමික පදනමකින් මරණ දණ්ඩනය ක්‍රියාත්මක කරනවා නම් ඒක හරි වෙන්න එපැයි. මේ වගේ සමාජීය ගැටළු ගැන සාකච්ඡා කරද්දි ආගම් පැත්තකින් තියලා පොඩ්ඩක් තර්කානුකූලව ඔලුව පාවිච්චි කරලා තීරණ ගන්නවා නම් වඩා සුදුසුයි කියල මම හිතන්නෙ.

    ReplyDelete
  4. මරණ දඬුවම දීම වැරදි යයි නොකියමි. එය දිය යුතු අවස්ථා තිබෙන මුත්,
    ලංකාවේ වත්මන් තත්වයට නම් "මරණීය දණ්ඩනය කිසිසේත්ම විසඳුමක් නොවේ".
    මරණ දණ්ඩනයට පක්‍ෂව උද්ඝෝෂණය කරනවුන් ද රාජ්‍ය මර්ධනය (බටලන්ද ක්‍රමය නොව ජල ප්‍රහාර වැනි අහිංසක ක්‍රම යොදා ගැනීම) මගින් දුර්වල කළ යුතුය. අනෙකෙකු මරණ ලෙස සැහැසිව උද්ඝෝෂණය කරන කෙනෙක් ජල ප්‍රහාර දරා ගැනීමට තරම් වත් ශක්තිමත් විය නොයුතුද?

    ReplyDelete