Saturday, September 19, 2015

අපරාධ වැලකීමට නීතිය ප්‍රමාණවත්ද?

නීතිය අකුරටම ක්‍රියාත්මක කෙරෙනවා යැයි කියනු ලබන ඊනියා යහපාලන ආණ්ඩුවක් බලයේ සිටියදීත් මේ රටේ දරුණු අපරාධ සිදුකෙරෙයි. ආණ්ඩුවක් නිසා රටක අපරාධ සිදු නොවේ යැයි සිතීම තර්කාණුකුල නොවනුද මහින්ද රාජපක්‍ෂ රජය යටතේ අපරාධ වර්ධනය වුනු බවටත් යහපාලන ආණ්ඩුවක් යටතේ අපරාධ සිදුනොවෙන බවටත් මතයක් යහපාලන ක්‍ෂමාලාපකයෝ මෙරට ඇති කලහ. නමුත් එය හුදෙක් විශ්වාසයක් පමණක් බව දැන්වත් මෙරට ජනතාව අවබෝධ කරගත යුතුය. නීතියට ඉහලින් දේශපාලනයද දේශපාලනයට ඉහලින් සංස්කෘතියද ඇති කල මෙරට සංස්කෘතියට ගරුත්වයක් නැති රනිල්-මෛත්‍රී හවුල් රජයකට මෙරට සිදුවෙන සාපරාධී ක්‍රියා නැවැත්විය හැකියැයි සිතිය නොහැකිය. 

සේයා දියණියගේ ඝාතනය ඛේදවාචකයක් වනවා සේම ඒ අපරාධය සිදුකලවුන්ද පිළිබිඹු කරන්නේ පොදු සමාජය පිළිබඳ ඛේදවාචකයකි. මෙරට පුද්ගලයින් අපරාධ කිරීමට නැඹුරු වීමට මූලිකම හේතුව මෙරට සමාජය සංස්කෘතික වශයෙන් පිරිහීමය. අපේ සංස්කෘතිය පිරිහෙන්නේ බටහිර සංස්කෘතියේ බලපෑම මතය. එහි මූලික ඵලය පුද්ගලයා සමාජයෙන් වෙන් කිරීම සහ එසේ වෙන් කෙරුනු පුද්ගලයාට සමාජයට ඉහලින් අයිතීන් ලබාදීමත්ය. සමාජයෙන් වෙන් කෙරුනු පුද්ගලයා තම පුද්ගලික අයිතීන් භුක්ති විඳීමේ සීමාව ලෙස දකින්නේ නීතිමය රාමුවය. නීතියෙන් ගැලවිය හැකියැයි සිතන පුද්ගලයාට පුද්ගලික අයිතීන් භුක්ති විඳීමේ සීමාවක් නැත. නමුත් සමාජය හා බැඳී සිටින පුද්ගලයාට නීතියට අමතරව සමාජයෙන් පැටවෙන වගකීම් සහ යුතුකම්ද ඇත. 


බුදු දහමින් පෝශණයවුනු මෙරට සංස්කෘතිය පුද්ගලයින් සමාජයේ තනි වෙන්නට නොදී සමාජය හා බැඳ තබයි. ඒ බැඳීම තුලින් ඔවුන්ට අන්‍යයන් පිළිබඳ වගකීම් සහ යුතුකම් පැටවෙයි. එමඟින් ඔවුන්ගේ පුද්ගලිකත්වය සාමූහිකත්වයට ඉහලින් යන්නට නොදී රැක ගැනෙයි. එවැනි සමාජයක මෙවැනි අපාරධ වලට ඇති ඉඩ කඩ අවමය. නමුත් බටහිර සංස්කෘතියේ අරමුණ මේ බැඳීම් කඩා බිඳ දමා පුද්ගලයින් තනි කිරීමය. ඒ තනි කෙරුනු පුද්ගලයින්ට තමන්ගේ පුද්ගලිකත්වය ඔසවා ගැනීමට අනුබල ලැබෙයි. ලිංගිකත්වය පුද්ගලිකය. ලිංගිකත්වයට අනිසි වැදගත්කමක් ලබාදී එය ඉහලට ඔසවන ලිංගික සැප විඳීම පිළිබඳ තමන් උපදේශකයන් යැයි සිතන ඊනියා ලිබරල්වාදීන් සිටන සමාජයක ලිංගික අපරාධ වැලකිය හැකිද? ලිංගික අධ්‍යාපනයක් තරුණයින්ට මෙන්ම වැඩිහිටියන්ටද තිබීම වරදක් නොවේ. නමුත් ලිංගිකත්වය ගැන සාකච්චා විය යුත්තේ පුද්ගලයා සහ සමාජය අතර බැඳීමක් ඇති කල වටපිටාවකය. එසේ නොවුනොත් පුද්ගලික ලිංගික අයිතීන් පොදු සමාජයේ යහපත අභිභවා ක්‍රියාත්මකවීම වැලකිය නොහැකිය. 


ලිංගික අධ්‍යාපනයට වඩා අද මෙරටට වැදගත් වන්නේ පුද්ගල-සමාජ බැඳීම උගැන්වීමය. ඒ අධ්‍යාපනය නිවසේදීත් පාසලේදීත් වැඩපලේදීත් රූපවාහිනියේත් ජනතාවට විශේෂයෙන්ම අපේ දරුවන්ට ලබාදිය යුතුය. අද සේයා දැරියගේ ඝාතනය පිළිබඳව කම්පා වෙමින් වීදි බැස සිටින මෙරට වැඩිහිටියන් රජයෙන් ඉල්ලා සිටින්නේ අපරාධ කරුවන්ට නිසි දඬුවම් දෙන ලෙස පමණක් නොවේ. දරුවන්ටත් ඔවුන්ගේ දෙමව්පියන්ටත් බියෙන් සැකෙන් තොරව ජීවත්වීමට හැකි සමාජයක් මෙරට තනන ලෙසටය. මරණ දණ්ඩනය ස්ථාපිත කර එය කල නොහැකිය. කොටින්ම නීතිය ක්‍රියාත්මක කිරීමෙන් පමණක් අපරාධ වැලකිය නොහැකිය. ඇමෙරිකාවේ මරණ දණ්ඩනය ක්‍රියාත්මක වෙයි, ජනගහණයෙන් වැඩිම ප්‍රතිශතයක් සිරබත් කන රටද ඇමෙරිකාවය. නමුත් එහි සිරකරු ජනගහණය නවසිය හැත්තෑ ගනන්වල සිට සීඝ්‍රයෙන් වැඩිවෙමින් පවතී. ඉන් කියවෙන්නේ නීතිය ක්‍රියාත්මක කෙරෙන නමුත් අපරාධ අඩුවෙමින් නොයන බව නොවේද?


බටහිර සංස්කෘතිය විසින් ඇති කරන ප්‍රශ්ණ වලට එම සංස්කෘතියට පිළිතුරු නැත. මෙරට සිදුවෙන ලිංගික අපරාධ පමණක් නොවේ අලි මිනිස් ගැටුමටද, වකුගඩු රෝගයටද, පරිසර හානියටද බටහිර සංස්කෘතියට හෝ එහි ව්‍යුත්පන්යක්වූ ලිබරල් ආර්ථික ක්‍රමයට හෝ කිසිම විසඳුමක් නැත. ඒ වෙන කිසි හේතුවක් නිසා නොව මේ ව්‍යසනයන්ට නියම විසඳුම් බටහිර සංස්කෘතියේ සදාචාරයට එරෙහි වන බැවිනි. එනම් ඒ විසඳුම් බටහිර සංස්කෘතියේ පුද්ගලිකත්වය සාමූහිකත්වයට ඉහලින් ඔසවන න්‍යායට විරුද්ධ වන බැවිනි.
අපි අපෙන් ගිලිහී යන පුද්ගල-සමාජ බැඳීම නැවත ස්ථාපිත කරගන්නේ කෙසේද යැයි සොයා බැලිය යුතුය. විශේෂයෙන්ම එය අධ්‍යාපනයට ඈඳා ගන්නේ කෙසේදැයි විමසිය යුතුය. මෙය පුද්ගලයා සාමූහිකත්වය තුල සිර කිරීමක් යැයි අනිසි බිය ඇති කර ගත යුතු නොවේ. සිංහල බෞද්ධ සංස්කෘතිය හිංදු සහ මුස්ලිම් සංස්කෘතීන්ටත් වඩා පුද්ගලිකත්වයට තැන දෙන සංස්කෘතියකි. අපට අවශ්‍යය එය එලෙසම තබා ගැනීමය. 


ලිංගිකත්වය සම්බන්ධයෙන් ඊනියා වික්ටෝරියානු සංස්කෘතියක් මෙහි තිබී නැත. අද බටහිර අනුකාරක උගත්තු බටහිර රටක ඇතැයි තමන් සිතන යමක් අනුකරනය කරන ලෙසටම මෙරට උගතුන් පිරිසක් කලකට ඉහතදී වික්ටෝරියානු යැයි ඔවුන් සිතූ සංස්කෘතියක් අනුකරණය කලහ. අද සිටින ලිබරල්වාදීහු එකල ඊනියා වික්ටෝරියානු සංස්කෘතියක් අනුකරනය කලවුන්ගේ සංස්කෘතික දූ පුත්තුය. අපට ඇති මූලික ප්‍රශ්ණය ලිංගික හෝ ලිංගික අපරාධ පිළිබඳ ප්‍රශ්ණයක් නොව සංස්කෘතිය පිරීහීම පිළිබඳ ප්‍රශ්ණයකි. ඊට විසඳුම වික්ටෝරියානු සංස්කෘතියවත් ලිබරල් සංස්කෘතියවත් නොව පුද්ගලයාත් සමාජයත් අතර අන්‍යෝන්‍ය සම්බන්ධය නැවත ස්ථාපිත කිරීමය.

1 comment: