Tuesday, September 29, 2015

ජීනීවා කෝළම

අගමැතිතුමාට අනුව බටහිර රටවල් මෙරටට ආර්ථික සම්බාධක නොපනවන්නේ වත්මන් රජය විසින් කරන ලද කිසියම් දෙයක් නිසාය. එය එසේ නම් ඊනියා මානව හිමිකම් කොමිසමේ ක්‍රියාකාරිත්වය ගැන නිශ්චිතවම යමක් කිව හැකිය. එනම් මේ කොමිසම හරහා බටහිර රජයන් විසින් පසුගිය රජයට ප්‍රබල බලපෑමක් කර තිබිනි. ඉහත කොමිසමෙන් මෙරටට කිසිම තර්ජනයක් නොතිබුන බවක් මැතිවරණ සමයේදී යහපාලනවාදීන් විසින් පෙන්නුවේ ජනතාව රැවටීමටය. ඒ බොරු මෙන්ම වෙනත් බොරුවලටත් සිංහලුන් රැවටිනි. දැන් සිංහලුන්ට කල හැක්කේ රනිල්-මෛත්‍රී හවුල් රජය බටහිරුන් සහ ඉංදියාව සමඟ එකතුවී මෙරටට කරනදේ බලා හිඳීමය.

මානව හිමිකම් කොමිසම හරහා දියත් කෙරී ඇති දේශපාලණ මෙහෙයුම සාධාරණීකරණය කිරීම සඳහා රජයේ විවිධ පාර්ශවයන් විසින් වමාරන කතන්දර ඒ ඒ බනිස් වලට ඒ ඒ කෙසෙල් ගෙඩි වැනිය. රනිල් වික්‍රමසිංහ මෙරට ව්‍යාපාරික ජනයා හමුවී පවසන්නේ දැන් මෙරටට ආර්ථික සම්බාධක පැනවීමේ තර්ජනයක් නැති බවය. චම්පක රණවකට අනුව පිහිටවීමට යෙදී ඇති දේශීය අධිකරණය හමුවට ඇමෙරිකාවේ රුද්‍රා කුමාරන් මෙන්ම එංගලන්තයේ අදේල් බාලසිංහම්ද කැඳවිය හැකිවා පමණක් නොව මෙරට හමුදාවේ ආත්මගරුත්වය රැකීමට නම් එවැනි යාන්ත්‍රණයක් අත්‍යාවශ්‍යමය. ඒ අතර දෙමළ ගෝලීය සංසදයද දේශීය අධිකරණයට ආශිර්වාද කරමින් කියා සිටින්නේ අතුරුදහන්වූ සිංහල හමුදා භටයින්ටද ඒ හරහා සාධාරනයක් ඉටුකල හැකි බවය. මේ සියල්ල පවසන අතරේ මේ යෝජිත යාන්ත්‍රණයෙන් රණ විරුවන්ට කිසිදු අපහාසයක් හෝ දඬුවමක් හෝ නොකෙරන බවද ඇඟවෙයි.

මේ නන්දෙඩිවිලි වලින් සිතා ගත හැකි එකම කාරණය නම් යුධ අපරාධ විමර්ශණය කෙසේ වෙතත් මෙරට විශාල දේශපාලන වෙනසක් සිදු කිරීම සඳහා රනිල්-මෛත්‍රී හවුල් රජය ඉංදියාව සහ බටහිර ආණ්ඩුවලට සහය දෙමින් සිටින බවය.
 

ඒ බව තහවුරු වන්නේ මානව හිමිකම් කොමිසමට ඇමරිකාව විසින් ගෙනෙන යෝජනාවේ අනුග්‍රාහකයෙකු ලෙස ශ්‍රී ලංකාව ඉදිරිපත්වීමෙනි. දැන් කොමිසමේ කිසි සාමාජිකයෙකුට ඇමෙරිකානු මෙහෙයුමට විරුද්ධ වීමට පදනමක් නැත.

රනිල්-මෛත්‍රී හවුල් රජයත් බටහිරුනුත් තද බල උවමණාවකින් යුතුව මෙරට කරන්නට සැරසෙන දේශපාලන විපර්යාසය කුමක්ද?

මෙරට යුධ හමුදාව අපරාධ සිදුකලේ යැයි බටහිර ආණ්ඩු සිතන්නේ නම් ඔවුන්ට අනුව අපරාධ කරුවන්ට දඬුවම් කිරීම හැර වෙන විසඳුමක් සාධාරණීය නොවේ. නමුත් මේ රජය අඟවන්නේ රණවිරුවන්ට මේ යාන්ත්‍රණයෙන් අගතියක් සිදු නොවන බවය. උදාහරණයක් ලෙසට  අර්ජුන රණතුංග පවසන්නේ වත්මන් රජයේ යම් ක්‍රියාකාරකමක් නිසා මහින්ද රාජපක්‍ෂ සහ ගෝඨාභය රාජපක්‍ෂ යුධ අපරාධ කරුවන් ලෙස නම් නොකෙරෙන බවය. එසේ නම් එම චෝදනා ගෙන ආ බටහිර ආණ්ඩු දැන් මේ යුවල එම චෝදනා වලින් නිදහස් කිරීම සාධාරණීය කරගන්නේ කෙසේද? පැහැදිලිවම බටහිර ආණ්ඩුවල සැබෑ අරමුණ ඊනියා වරද කරුවන්ට දඬුවම් කිරීමටත් එහා යන එකක් විය යුතුය.

අප දකින ආකාරයට ඒ වෙන කිසිවක් නොව  ෆෙඩරල් ක්‍රමයක් මඟින් හෝ වෙනයම් ක්‍රමයක් හරහා ජන වාර්ගික පදනමක් මත මෙරට රාජ්‍ය බලය බෙදා දැමීමය. යුධ අපරාධ විමර්ශණය සිංහලුන්ගේ බලය බිඳීම සඳහා යොදා ගන්න ට්‍රෝජන් අස්වයෙකි.

බලය බෙදීම ව්‍යවස්ථාව වෙනස් කිරීම තුලින් මෙරට නීතියටම අනුව සිදු කෙරෙනු ඇත. ව්‍යවස්ථාව වෙනස් කෙරෙනු ඇත්තේ දෙමුහුන් අධිකරණයක නියායෙන් බටහිර ආණ්ඩු වලට මෙරට නීතිමය කටයුතුවලට මැදිහත්වීමට ලබා දී ඇති ඉඩ කඩ හරහාය. ඊට විරුද්ධ විය හැකි අධිවිනිශ්චය කරුවන් මෙන්ම නීතිපතිවරයාද පළවා හැරෙනු ඇත. බලය බෙදීම හරහා මේ රට සිංහලුන්ගේ රට යැයි තව දුරටත් කිව නොහැකි වන ලෙස සිංහලුන්ගේ දේශපාලන බලය බිඳ දැමෙනු ඇත.  ඉංදියාව හිංදුන්ගේ රට වන පරිදි, ඒංගලන්තය සහ ඇමෙරිකාව ක්‍රිස්තියානි ඇන්ග්ලෝ සැක්සන් වරුන්ගේ රට වන පරිදි ලංකාව සිංහලුන්ගේ රට වීමට බටහිරුනුත් ඉංදියාවත් ඉඩ නොදෙයි. රනිල්-මෛත්‍රී හවුල් රජය බටහිර ආණ්ඩුවලට සහය දක්වන්නේ ඉංදියාවේත් බටහිරුන්ගේත් ඒ උවමණාව ඉටු කරදීම සඳහාය.

මේ ව්‍යාපෘතිය මෙරට ජනතාවට නොදැනී සාර්ථක කර ගැනීමට නම් රණ විරුවන්ට අත නොතැබිය යුතුයැයි රනිල්-මෛත්‍රී හවුල් රජය විසින් බටහිරුන්ට දන්වන්නට ඇති. සමහරවිට බටහිර ආණ්ඩුද රනිල් වික්‍රමසිංහට එසේ නොකරන බවට පොරොන්දුවක් දී ඇති. නමුත් බටහිරුන් ඒ පොරොන්දුවද කඩ කරනු ඇත.

Monday, September 21, 2015

මරණීය දණ්ඩනය විසඳුමක් නොවේ

අද රටේ සිදුකෙරෙන අපරාධ උසුලා සිටීමට අපහසුය. විශේෂයෙන්ම දරුවන්ට කෙරෙන අපරාධ කුඩා දරුවන් සිටින දෙමව්පියන්ට තදින්ම දැනෙයි. වරද කරුවන්ට දැඩි දඬුවම් පැමිණිය යුතුයැයි ඔවුන් උද්ඝෝෂණය කරන්නේ ඒ නිසා විය හැකිය. නමුත් මානසික අසහන සිට සාපරාධී ක්‍රියා දක්වා සියලු සමාජමය ව්‍යාධි නීතිය ක්‍රියාත්මක කිරීමෙන් පමණක් සමනය කල නොහැකිය. නීතිය සහ දණ්ඩනය ඉහලින්ම ක්‍රියාත්මක කෙරෙන රටවලද එය සමනය වී නැත. නීතිය සහ දණ්ඩනය ක්‍රියාත්මක කිරීම යනු වතුර කාන්දුවන ටැංකියක පිටතින් පැලැස්තර දැමීමක් වැනිය.

අපි ප්‍රශ්ණයේ මුලට යා යුතුය. මිනිසුන්ගේ හැඟීම් උපරිමයෙන් අවුස්සන ඔවුන් අපරාධ වලට පොළඹවන සමාජ වටපිටාවක් වර්ධනය කරමින් නීති හා දණ්ඩනයෙන් මිනිසුන් මෙල්ල කිරීමට කරන උත්සාහය සාර්ථක නොවේ.

අප නිර්මාණය කල යුත්තේ අපරාධ වලට නැඹුරු නමුත් නීතියට හා දඬුවමට බිය සමාජයක් නොව. පිං පව් දන්න අන්‍යනයන්ට ගරු කරන සමාජයට වගකීමක් දරන යුතුකම් උසුලන මිනිසුන්ගෙන් සැදි සමාජයකි. එය නීති ක්‍රියාත්මක කරනවාට වඩා දුශ්කර කාර්යයක් බව ඇත්තකි. නමුත් ඊට උත්සාහ නොකර හිඳීමට හේතුවක් තිබේද? අඩු තරමින් සමාජය එවැනි තැනකින් ඈත් කෙරෙන බලපෑම් නිශ්ක්‍රිය කිරීම සඳහා රාජ්‍ය බලය යොදාගත යුතු නොවේද? එවැනි රාජ්‍ය මැදිහත්වීම් පුද්ගලික අයිතීන් වලට හරස් කැපීමක් ලෙස සැලකීම සාධාරණද?

ව්‍යවස්ථාවෙන් බෞද්ධාගමට විශේෂ තැනක් ලබාදීමට බැඳී සිටින රාජ්‍යයකට බුදු දහමේ ඉගැන්වෙන ආකාරයට සමාජය යහමඟට ගැනීම සඳහා මැදිහත්වීමට වගකීමක් තිබෙනවා නේද? එසේත් නැත්නම් බෞද්ධාගමට විශේෂ තැනක් ලබා දීම යනු බෞද්ධයින්ගේ පුද්ගලික අයිතියක් ආරක්‍ෂා කිරීම පිළිබඳවද?

Saturday, September 19, 2015

අපරාධ වැලකීමට නීතිය ප්‍රමාණවත්ද?

නීතිය අකුරටම ක්‍රියාත්මක කෙරෙනවා යැයි කියනු ලබන ඊනියා යහපාලන ආණ්ඩුවක් බලයේ සිටියදීත් මේ රටේ දරුණු අපරාධ සිදුකෙරෙයි. ආණ්ඩුවක් නිසා රටක අපරාධ සිදු නොවේ යැයි සිතීම තර්කාණුකුල නොවනුද මහින්ද රාජපක්‍ෂ රජය යටතේ අපරාධ වර්ධනය වුනු බවටත් යහපාලන ආණ්ඩුවක් යටතේ අපරාධ සිදුනොවෙන බවටත් මතයක් යහපාලන ක්‍ෂමාලාපකයෝ මෙරට ඇති කලහ. නමුත් එය හුදෙක් විශ්වාසයක් පමණක් බව දැන්වත් මෙරට ජනතාව අවබෝධ කරගත යුතුය. නීතියට ඉහලින් දේශපාලනයද දේශපාලනයට ඉහලින් සංස්කෘතියද ඇති කල මෙරට සංස්කෘතියට ගරුත්වයක් නැති රනිල්-මෛත්‍රී හවුල් රජයකට මෙරට සිදුවෙන සාපරාධී ක්‍රියා නැවැත්විය හැකියැයි සිතිය නොහැකිය. 

සේයා දියණියගේ ඝාතනය ඛේදවාචකයක් වනවා සේම ඒ අපරාධය සිදුකලවුන්ද පිළිබිඹු කරන්නේ පොදු සමාජය පිළිබඳ ඛේදවාචකයකි. මෙරට පුද්ගලයින් අපරාධ කිරීමට නැඹුරු වීමට මූලිකම හේතුව මෙරට සමාජය සංස්කෘතික වශයෙන් පිරිහීමය. අපේ සංස්කෘතිය පිරිහෙන්නේ බටහිර සංස්කෘතියේ බලපෑම මතය. එහි මූලික ඵලය පුද්ගලයා සමාජයෙන් වෙන් කිරීම සහ එසේ වෙන් කෙරුනු පුද්ගලයාට සමාජයට ඉහලින් අයිතීන් ලබාදීමත්ය. සමාජයෙන් වෙන් කෙරුනු පුද්ගලයා තම පුද්ගලික අයිතීන් භුක්ති විඳීමේ සීමාව ලෙස දකින්නේ නීතිමය රාමුවය. නීතියෙන් ගැලවිය හැකියැයි සිතන පුද්ගලයාට පුද්ගලික අයිතීන් භුක්ති විඳීමේ සීමාවක් නැත. නමුත් සමාජය හා බැඳී සිටින පුද්ගලයාට නීතියට අමතරව සමාජයෙන් පැටවෙන වගකීම් සහ යුතුකම්ද ඇත. 


බුදු දහමින් පෝශණයවුනු මෙරට සංස්කෘතිය පුද්ගලයින් සමාජයේ තනි වෙන්නට නොදී සමාජය හා බැඳ තබයි. ඒ බැඳීම තුලින් ඔවුන්ට අන්‍යයන් පිළිබඳ වගකීම් සහ යුතුකම් පැටවෙයි. එමඟින් ඔවුන්ගේ පුද්ගලිකත්වය සාමූහිකත්වයට ඉහලින් යන්නට නොදී රැක ගැනෙයි. එවැනි සමාජයක මෙවැනි අපාරධ වලට ඇති ඉඩ කඩ අවමය. නමුත් බටහිර සංස්කෘතියේ අරමුණ මේ බැඳීම් කඩා බිඳ දමා පුද්ගලයින් තනි කිරීමය. ඒ තනි කෙරුනු පුද්ගලයින්ට තමන්ගේ පුද්ගලිකත්වය ඔසවා ගැනීමට අනුබල ලැබෙයි. ලිංගිකත්වය පුද්ගලිකය. ලිංගිකත්වයට අනිසි වැදගත්කමක් ලබාදී එය ඉහලට ඔසවන ලිංගික සැප විඳීම පිළිබඳ තමන් උපදේශකයන් යැයි සිතන ඊනියා ලිබරල්වාදීන් සිටන සමාජයක ලිංගික අපරාධ වැලකිය හැකිද? ලිංගික අධ්‍යාපනයක් තරුණයින්ට මෙන්ම වැඩිහිටියන්ටද තිබීම වරදක් නොවේ. නමුත් ලිංගිකත්වය ගැන සාකච්චා විය යුත්තේ පුද්ගලයා සහ සමාජය අතර බැඳීමක් ඇති කල වටපිටාවකය. එසේ නොවුනොත් පුද්ගලික ලිංගික අයිතීන් පොදු සමාජයේ යහපත අභිභවා ක්‍රියාත්මකවීම වැලකිය නොහැකිය. 


ලිංගික අධ්‍යාපනයට වඩා අද මෙරටට වැදගත් වන්නේ පුද්ගල-සමාජ බැඳීම උගැන්වීමය. ඒ අධ්‍යාපනය නිවසේදීත් පාසලේදීත් වැඩපලේදීත් රූපවාහිනියේත් ජනතාවට විශේෂයෙන්ම අපේ දරුවන්ට ලබාදිය යුතුය. අද සේයා දැරියගේ ඝාතනය පිළිබඳව කම්පා වෙමින් වීදි බැස සිටින මෙරට වැඩිහිටියන් රජයෙන් ඉල්ලා සිටින්නේ අපරාධ කරුවන්ට නිසි දඬුවම් දෙන ලෙස පමණක් නොවේ. දරුවන්ටත් ඔවුන්ගේ දෙමව්පියන්ටත් බියෙන් සැකෙන් තොරව ජීවත්වීමට හැකි සමාජයක් මෙරට තනන ලෙසටය. මරණ දණ්ඩනය ස්ථාපිත කර එය කල නොහැකිය. කොටින්ම නීතිය ක්‍රියාත්මක කිරීමෙන් පමණක් අපරාධ වැලකිය නොහැකිය. ඇමෙරිකාවේ මරණ දණ්ඩනය ක්‍රියාත්මක වෙයි, ජනගහණයෙන් වැඩිම ප්‍රතිශතයක් සිරබත් කන රටද ඇමෙරිකාවය. නමුත් එහි සිරකරු ජනගහණය නවසිය හැත්තෑ ගනන්වල සිට සීඝ්‍රයෙන් වැඩිවෙමින් පවතී. ඉන් කියවෙන්නේ නීතිය ක්‍රියාත්මක කෙරෙන නමුත් අපරාධ අඩුවෙමින් නොයන බව නොවේද?


බටහිර සංස්කෘතිය විසින් ඇති කරන ප්‍රශ්ණ වලට එම සංස්කෘතියට පිළිතුරු නැත. මෙරට සිදුවෙන ලිංගික අපරාධ පමණක් නොවේ අලි මිනිස් ගැටුමටද, වකුගඩු රෝගයටද, පරිසර හානියටද බටහිර සංස්කෘතියට හෝ එහි ව්‍යුත්පන්යක්වූ ලිබරල් ආර්ථික ක්‍රමයට හෝ කිසිම විසඳුමක් නැත. ඒ වෙන කිසි හේතුවක් නිසා නොව මේ ව්‍යසනයන්ට නියම විසඳුම් බටහිර සංස්කෘතියේ සදාචාරයට එරෙහි වන බැවිනි. එනම් ඒ විසඳුම් බටහිර සංස්කෘතියේ පුද්ගලිකත්වය සාමූහිකත්වයට ඉහලින් ඔසවන න්‍යායට විරුද්ධ වන බැවිනි.
අපි අපෙන් ගිලිහී යන පුද්ගල-සමාජ බැඳීම නැවත ස්ථාපිත කරගන්නේ කෙසේද යැයි සොයා බැලිය යුතුය. විශේෂයෙන්ම එය අධ්‍යාපනයට ඈඳා ගන්නේ කෙසේදැයි විමසිය යුතුය. මෙය පුද්ගලයා සාමූහිකත්වය තුල සිර කිරීමක් යැයි අනිසි බිය ඇති කර ගත යුතු නොවේ. සිංහල බෞද්ධ සංස්කෘතිය හිංදු සහ මුස්ලිම් සංස්කෘතීන්ටත් වඩා පුද්ගලිකත්වයට තැන දෙන සංස්කෘතියකි. අපට අවශ්‍යය එය එලෙසම තබා ගැනීමය. 


ලිංගිකත්වය සම්බන්ධයෙන් ඊනියා වික්ටෝරියානු සංස්කෘතියක් මෙහි තිබී නැත. අද බටහිර අනුකාරක උගත්තු බටහිර රටක ඇතැයි තමන් සිතන යමක් අනුකරනය කරන ලෙසටම මෙරට උගතුන් පිරිසක් කලකට ඉහතදී වික්ටෝරියානු යැයි ඔවුන් සිතූ සංස්කෘතියක් අනුකරණය කලහ. අද සිටින ලිබරල්වාදීහු එකල ඊනියා වික්ටෝරියානු සංස්කෘතියක් අනුකරනය කලවුන්ගේ සංස්කෘතික දූ පුත්තුය. අපට ඇති මූලික ප්‍රශ්ණය ලිංගික හෝ ලිංගික අපරාධ පිළිබඳ ප්‍රශ්ණයක් නොව සංස්කෘතිය පිරීහීම පිළිබඳ ප්‍රශ්ණයකි. ඊට විසඳුම වික්ටෝරියානු සංස්කෘතියවත් ලිබරල් සංස්කෘතියවත් නොව පුද්ගලයාත් සමාජයත් අතර අන්‍යෝන්‍ය සම්බන්ධය නැවත ස්ථාපිත කිරීමය.

Thursday, September 17, 2015

එක් මසක් මෙසේ නම් මාස 60ක් කෙසේ වෙයිද?

මෛත්‍රී-රනිල් හවුල් රජය පත්වී මසක් ගතවන්නට වන්නට මතතෙන්ම පාවාදීම ආරම්භ කර ඇත. එක් අතකින් මෙරට ආර්ථික වශයෙන් ඉංදියාවේ යටත් විජිතයක් කරවීම සඳහා රනිල් ඉංදියාව සමඟ ගිවිසුම් ගසමින් සිටියි. සාමාන්‍යයෙන් රනිල් වික්‍රමසිංහ ගිවිසුම් ගසන්නේ මෙරට ජනතාවට තබා පාර්ලිමේන්තුවටවත් නොදන්වාය. අනිත් අතින් ඊනියා එක්සත් ජාතීන්ගේ කොමිසමක් මෙරට ආරක්‍ෂක හමුදාව සහ හිටපු නායකයින් අධිකරණයකට කැඳවීමට කරන නිර්දේශය රජය අනුමත කරයි. මෙහි ඇත්තේ යටත්විජිතවාදයක් නොවේ නම් ඇත්තේ කුමක්ද?

ප්‍රශ්ණය සීපා හෝ ඉංදියාව හා ලංකාව අතර පාලමකින් (හෝ උමගකින්) රටට යහපතක් හෝ අයහපත් සිදුවෙනවාවත් යම් හමුදා නිළධාරියෙක් නීතිය කඩ කලේද නැද්ද යන්න වග නොවේ ප්‍රශ්ණය ඉංදියාව සමඟ ගැසෙන ආර්ථික ගිවිසුම් මෙරට ජනතාවගේ පැතුමක්ද යන්නය. මෙරට මිනිස්සු ඉංදියාවට යන්න පාළමක් ඉල්ලා සිටියේද? අඩු තරමින් මෙරට වාසය කරන දෙමළ මිනිසුන්වත් ත්‍රස්තවාදය පරාජය කිරීම පිළිබඳව පසුගිය රජයට චෝදනා කලේද? ඊනියා මානව හිමිකම් චෝදනා නිර්මාණය කලේත් ප්‍රවර්ධනය කලේත් බටහිර ආණ්ඩු ආණ්ඩු අනුග්‍රහයෙන් ඊනියා එක්සත් ජාතික සංවිධානය නොවේද?

මෙරට කරවිය යුත්තේ මෙරටුන්ට ඕනෑ විදිහටය. ජාත්‍යන්තර හෝ දේශීය හෝ යුධ අපරාධ අධිකරණ මෙරටුන් ඉල්ලා සිටි දේ නොවේ. ඉංදියාව සමඟ ආර්ථික ගිවිසුම් සහ දෙරට අතර පාලම් මෙරටුන් ඉල්ලා සිටි දේ නොවේ. මේ සියල්ලක්ම යටත්විජිතවාදීන්ගේ උවමණාවන්ට අනුව සිදුකෙරෙන දේය. මෙවැනි බලපෑම් එදත් අදත් හෙටත් තිබෙනු ඇත. නමුත් රටේ ස්වාධිපත්‍යය රකිමින් ඒ බලපෑම් අවම කරගැනීම රටක නායකයින්ගේ වගකීමය.

මේ නායකයින් ඉටු කරන්නේ මෙරට ජනතාවගේ පැතුම නොවේ. එය ජනතා පැතුම වූයේ නම් මේ කිසිවක් රනිල්ගේ මැතිවරණ ප්‍රතිපත්තිවල සඳහන් නොවුනේ ඇයි? මැතිවරණ රැලි චල සීපා ගෙන එන බවවත් පාලම් ගසන බවවත් යුධ අපරාධ අධිකරණ ගෙන එන බවවත් ජනතාවට නොදැන්වූයේ ඇයි? ඊට ජනතාවගේ අනුමැතිය නොලැබෙන බව දන්නා නිසා නොවේද?

යටත්විජිතවාදීන්ගේ උවමණාවල් රාජ්‍ය බලය යොදවමින් රටේ ජනතාව මත පැටවීම තරම් නිවට කමක් තවත් තිබිය හැකිද? වහල් සමයේ ඇමෙරිකාවේ ගෙයි-වහලුන් තම ස්වාමියාගේ හයිකාරාකම් ගෙවත්තේ-වහලුන්ට දැමූ අයුරු සිහිගැන්වේ.

Thursday, September 3, 2015

රටක් විකිණීමට ඇත

ඉතිහාසයේ දූෂිතම මැතිවරණයෙන් බලයට පැමිනි මෛත්‍රී-චන්ද්‍රිකා-රනිල් හවුල් ආණ්ඩුව නිවට රජයක් වනු ඇත. එමෙන්ම එය ජනමතය නොඉවසන රජයක් වෙනු ඇත. ඊටත් වඩා එය අස්ථාවර රජයක් වනු ඇත. මේ සියලු කාරණා සැපිරුණු රජයක් 1948 න් පසු මෙරට පිහිටුවා නැත. මේ රජයට නියමිත කාර්යභාරය වනුයේ සිංහලුන්ගේ ස්වාධිපත්‍යය අහිමි කිරීමය. 


පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරයේ දී ගම්මන්පිල මහතා පෙන්වාදුන් පරිදි නිවටයින් සුළු පිරිසක් පාර්ලිමේන්තුව තුල කරන පාවාදීමට මැදිහත්වීමට මෙරට සාමාන්‍ය ජනතාවට දැන් ඉඩක් නැත. පැවති මැතිවරණය ජනතාවට ලැබුනු අවසාන අවස්ථාව විය. ගම්මන්පිල මහතාගේ ඒ ප්‍රකාශයට රනිල් වික්‍රමසිංහ මහතා විරෝධය පෑවේ එකල අන්කල් ටොම් නමින් හැඳින්වුනු ඇමෙරිකානු නිවෙස්-වහලුන් වත්තේ-වහලුන්ට සත්තම දැමූ ආකාරය සිහිගන්වමිනි.  ගම්මන්පිලලාට කරන්නට ඇත්තේ දේශප්‍රේමී මන්ත්‍රීවරුන් කණ්ඩායමක් ලෙස දැන්වත් පාර්ලිමේන්තුව තුල සංවිධානය වීමටය. සිංහලුන්ට කරුනු පැහැදිලි වෙන්නේ කල් ගතවීය. සිංහලුන්ගේ හතුරෝ ඔවුන්ට වඩා ඉක්මන්ය. සම්බන්ධන් මහතා විපක්‍ෂ නායකවරයා පත්කෙරීමට පළමුව දේශප්‍රේමීන් සංවිධානය වී සිටියේ නම් අඩුතරමින් ඔවුන්ට විපක්‍ෂ නායකධූරයට හිමිකම් කියන්නට තිබිනි. දැන් මැතිවරණ සමයේදී අනුර කුමාර මහතා ජනාධිපතිවරයාගේ සට කපටකම් ගැන උදම් ඇණුවාසේම යහපාලනවාදීන්ට උදම් ඇණිය හැකිය. කෙසේ වෙතත් සම්බන්ධන් මහතාට විපක්‍ෂ නායක ධූරය පිරිනැමීම මෛත්‍රී-චන්ද්‍රිකා-රනිල් හවුලේ යහපාලන ව්‍යාපෘතියට අනුකූලය. එක් අතකින් ඒ අරමුණු නොසඟවා ක්‍රියාත්මකවීම ගම්මන්පිලලාගේ ඉදිරි ගමනට පාර කැපීමකි.



අපේ රටට මුලින්ම මිළක් නියමවූයේ කලකට පෙරය ඒ විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ පඩිවැඩි කිරීම සඳහා කෙරුනු උද්ඝෝශණයක් රෙජිම වෙනස් කරන ව්‍යාපෘතියක් බවට පෙරලා ගැනීමත් සමඟය. එතැන් සිට අද දක්වා දැන හෝ නොදැන හෝ තමන්ගේ පුද්ගලිකත්වය වෙනුවෙන් මෙරට විකුනන්නට කැමතිවූවන් එකට ගොනු කෙරිනි. මෛත්‍රී-චන්ද්‍රිකා-රනිල් හවුල් ආණ්ඩුව එහි උච්චස්ථානයයි. ඒ අතරතුරේදී ජාතිකත්වයක් තිබි සිංහලුන්ගේ සිවිල් සහ රාජ්‍ය ආයතන මරා දැමින නැතිනම් අඩපන කෙරින.



ප්‍රබල රාජ්‍යයකට ජාතික ප්‍රතිපත්ති මත ක්‍රියාකරන ප්‍රබල රාජ්‍ය ආයතන තිබිය යුතුය. කොමිසන් සභා පිහිටුවීමේ ප්‍රතිපත්තිමය අරමුණ එයය. නමුත් ආයතන ශක්තිමත් කල හැක්කේ නීතිමය රාමු සැකසීමෙන් නොව දේශපාලනිකවය. ඉංග්‍රීසීන්ට යටත්වූ පසු සිංහලුන්ට ගොඩනැඟීමට හැකිවුනු එකම ප්‍රබල රාජ්‍ය ආයතනය ගොඩනැඟුනේ මහින්ද රාජපක්‍ෂ රජය යටතේය. ඒ රාජ්‍ය ආරක්‍ෂක අමාත්‍යංශයය. මහින්ද රාජපක්‍ෂ රජය නිර්මාණය කල සන්නද්ධ හමුදාව, ඔත්තු සේවාව ඇතුළු රාජ්‍ය ආරක්‍ෂාව පිළිබඳ රාජ්‍ය ආයතන ව්‍යුහය ජාතික ප්‍රතිපත්ති මත ක්‍රියාකරන ශක්තිමත් එමෙන්ම ස්වාධීන ආයතනයක් විය. එසේ නොවිනිනම් සරත් පොන්සේකාට නිසි පරිදි යුධ හමුදාව මෙහෙයවීමට අවකාශයක් නොලැබෙනු ඇත. අද මේ ශක්තිමත් රාජ්‍ය ආයතනය අඩපන කෙරීමට මෛත්‍රී-චන්ද්‍රිකා-රනිල් හවුල ක්‍රියාකරමින් සිටියි. එදා මිලෙනියම් සිටි පිහිටි දුර මෙහෙයුම් හමුදා ඛන්ඩය රනිල් වික්‍රමසිංහ විසින් පාවාදුන් ආකාරයටම අදද මේ රජය විසින් යුධ හමුදාවේ ඔත්තු සේවාව අනාවරණය කෙරෙයි. එහි අරමුණ සිංහල ජාතිකත්වයේ ආයතනයක් විනාශ කර දැමීමය.



ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය සිංහල ජාතිකත්වය සතුවූ සිවිල් ආයතනය විය. එහි මළගම ඊයේ පොළොන්නරුවේ පැවතුනු අතර පාංශුකූලය දෙනු ලැබුවේ ආචාර්ය සරත් විජේසූරිය මහතා විසිනි. ශ්‍රීලනිප පාක්‍ෂිකයින්ගේ ජාතිකත්වය නැති කොට ඔවුන් “ශිෂ්ඨ” කල යුතුයැයි එහි නායකයින් සිතනවා විය හැකිය. සිංහලුන් සංස්කෘතියෙන් වෙනස් වන්නට අකමැත්තක් නැත නමුත් ඔවුන් සරත් විජේසූරියලාට අවශ්‍ය පරිදි වෙනස් වේ යැයි සිතිය නොහැකිය. 



සතුරන් විසින් සිංහලුන් සතුවූ රාජ්‍ය සහ සිවිල් ආයතන අඩපන කර නැත්නම් විනාශ කර ඇත. දැන් මෙරට විකුණා දැමීමට නියමිතය. දේශප්‍රේමී සිංහලුන් ශ්‍රීලනිපයට විකල්පයක් ගොඩනඟා ගත යුතුය.  එහිදී 1818දී මෙන් සමූහ ඝාතනයට ලක් නොවී තමන් ගලවා ගැනීමට පැමිණෙන ඊනියා ගැලවුම් කරුවන්ගෙන්ද ගැලවී සීරුවෙන් ඉදිරියට යාමට සිංහලුන් වග බලාගත යුතුය.