Thursday, August 27, 2015

සිංහලුන්ගේ ජාතික විඤ්ඥාණය

සිංහලුන් කොටි ත්‍රස්තවාදය පරාජය කිරීම සඳහා ජාතික හැඟීමෙන් යුතුව කටයුතු කලද ඒ හැඟීම් වැඩිකල් පැවතුනේ නැත. පසුගිය සමයේ බොදු බලසේනාවත් චම්පක රණවකවත් රටේ මුස්ලිම් බියක් ඇතිකරමින් සිංහලුන්ගේ හැඟීම් ඇවිස්සීමට කල උත්සාහය බලාපොරොත්තුවූ පරදිම මහින්ද විරෝධයක් නිර්මාණය කිරීමට සමත් වුනද බහුතරයක් සිංහලුන්ගේ ජාතික හැඟීම් ඇවිස්සීමට තරම් ප්‍රමාණවත් නොවිනි. එමෙන්ම 2015දී මහින්ද රාජපක්‍ෂ නැවත බලයට ගෙන ඒමටද සිංහලුන්ගේ ජාතික විඤ්ඥාණය ප්‍රමාණවත් නොවිනි. ඒ අනුව බලන කල 1956න් පසු සිංහලුන් ජාතික හැඟීමකින් යුතුව එක්වුනු එකම අවස්ථාව කොටි ත්‍රස්තවාදය පරාජය කිරීමටය. ඉන් කරුණු දෙකක් කියවෙයි. 

සිංහලුන්ගේ ජාතික විඤ්ඥාණය ලෙහෙසියෙන් මිය යන්නේද උණුසුම් වන්නේද නැත. 

ඊට හේතුව විමසීම වැදගත්ය. විඤ්ඥාණයක් ඇතිවන්නේ පැවැත්ම මුල් කරගෙනය. පැවැත්ම පිළිබඳ එක් විශ්වාසයක් නම් තමන් සෙසු ලෝකයට සපේක්‍ෂව පවතින්නේ යැයි සිතීමය. ඒ විශ්වාසයට අනුව ජාතිය පිළිබඳව විඤ්ඥාණයක් ඇතිවන්නේ සමූහයක අනන්‍යතාව පදනම්වය. පැවැත්ම පිළිබඳ තවත් විශ්වාසයක් නම් තමන්ට නිරපේක්‍ෂ පැවැත්මක් ඇතැයි සිතීමය. ඒ විශ්වාසයට අනුව ජාතිය පිළිබඳව විඤ්ඥාණයක් ඇතිවන්නේ පුද්ගලයාගේ අනන්‍යතාව පදනම්වය. නමුත් සිංහලුන් මේ විශ්වාස දෙකම අන්තවාදී යැයි සලකමින් ප්‍රතික්‍ෂේප කරති. ඒ බෞද්ධ සංස්කෘතියේ ආභාශය නිසාය. 

බෞද්ධයෝ උච්චේදවාදයත් ශාශ්වතවාදයත් දෙකම ප්‍රතික්‍ෂේප කරති. උච්චේදවාදයට අනුව පැවැත්ම මේ භවයෙන් අවසන් වෙයි. එනම් යමෙක් පවතින්නේ යම් ක්‍රියාවලියකට සාපේක්‍ෂවය. එය නැතිවිට පැවැත්මක් නැත. ශාශ්වතවාදයට අනුව භවයෙන් භවයට පවතින යමක් ඇත. ඒ අනුව ශාශ්වතවාදය නිරපේක්‍ෂ පැවැත්මක් පිළිබඳ වාදයක් යැයි ගැනිය හැකිය. බෞද්ධයෝ සාපේක්‍ෂ පැවැත්මත් නිරපේක්‍ෂ පැවැත්මත් යන දෙකම අන්තවාද ලෙස සලකමින් ප්‍රතික්‍ෂේප කරති. මේ ආකල්පය සිංහලුන්ගේ ජාතික විඤ්ඥාණයට සෘජුවම බලපායි.

තමුන්ට ඇත්තේ සමූහයට සාපේක්‍ෂ පැවැත්මක් යැයි නොසිතන බැවින් සිංහලුන්ට සමූහයේ අනන්‍යතාව මත පමණක් පදනම්ව ජාතික විඤ්ඥාණයක් අති වන්නේ නැත. තමුන්ට ඇත්තේ නිරපේක්‍ෂ පැවැත්මක් යැයි නොසිතන නිසා සිංහලුන්ට පුද්ගල අනන්‍යතාව මත පමණක් පදනම්වද ජාතික විඤ්ඥාණයක් අති වන්නේ නැත. වෙනත් ආකාරයකට කිවහොත් යම් දේශපාලනික කාරණයක් තම සමූහයේ පැවැත්මට වැදගත්වූ පමණින් එය සිංහලුන් තුල ජාතික හැඟීමක් ජනිත කරවන්නේ නැත. එමෙන්ම යම් කාරණයක් තම පුද්ගලික පැවැත්මට වැදගත්වූ පමණින්ද එය සිංහලුන් තුල ජාතික හැඟීමක් ජනිිත කරවන්නේ නැත. සිංහලුන්ට ජාතික හැඟීමක් ජනිත කරවන්නට නම් යම් කාරණයක් පුද්ගලයාටත් සමූහයටත් යන දෙකටම වැදගත්විය යුතුය. මේ ආකල්පය සිංහලුන්ට ආවේනික සිංහල බෞද්ධ සංස්කෘතියේ ලක්‍ෂණයකි.

ඊට හාතපසින්ම වෙනස් ලෙස බටහිර සමාජ තුල හුදෙක් පුද්ගල පැවැත්ම පමණක් පදනම් කරගෙන ජාතික විඤ්ඥාණ ගොඩනැඟෙයි. ඊට ප්‍රතිවිරුද්ධ ලෙස මැද පෙරදිග මුස්ලිම් සමාජ තුල සමූහයේ පැවැත්ම පමණක් පදනම් කරගෙන ජාතික විඤ්ඥාණ ගොඩනැඟෙයි. සිංහලුන්ට අනුව මේ ස්ථාවර දෙකම අන්තයන්ය. 

කොටි ත්‍රස්තවාදය ලියැලෙමින් පවතින සමයේ මෙරට තිබුනේ කොටි බියකි. කොටි බිය බලපෑමක් කලේ හුදෙක් පුද්ගල පැවත්මටය. එය සෘජුවම කොටි භීශණය, එනම් බෝම්බ, ඝාතන ආදිය, නිසා ඇතිවූවකි. නමුත් අනූව දශකයේ මැද භාගය පමණ වෙනවිට කොටි ත්‍රස්තවාදය පිටුපස සිංහල බෞද්ධ විරෝධයක් ඇතිබවත් ඊට විදේශ බලවේග සහ මෙරට අනුකාරක නූගතුන් උරදෙන බවත් ජනතාව විසින් හඳුනාගෙන තිබිනි. ඒ හඳුනාගැනීමත් සමඟම කොටි ත්‍රස්තවාදය හුදෙක් පුද්ගල පැවැත්ම සඳහා පමණක් නොව සමූහයේ, එනම් සිංහල ජාතියේ පැවැත්ම සඳහාද, බලපාන බව සිංහලුන් අවබෝධ කරගත්හ. පුද්ගලයාගේ මෙන්ම සමූහයේද පැවැත්ම අනතුරට පත්වීම සිංහලුන්ගේ ජාතික විඤ්ඥානය උණුසුම් කරන්නට සමත් විය. අවසානයේ කොටි ත්‍රස්තවාදය පරාජය කිරීම සඳහා ඒ උණුසුම අතිශයෙන් වැදගත්විය. යම් හෙයකින් කොටි ත්‍රස්තවාදය හුදෙක් පුද්ගලික කොටි බියකට සීමාවී තිබිනි නම් මහින්ද රාජපක්‍ෂ රජයටවත් එය පරාජය කිරීමට නොහැකි වනු ඇත.

බොදු බල සේනාව සහ චම්පක රණවක (එක්සත් ජාතික පක්‍ෂ ඡන්ද දායකයින් ලක්‍ෂයකට අධික සංඛ්‍යාවක් මනාපය ලබා දුන්) විසින් කලකට ඉහතදී මෙරට ඇති කල මුස්ලිම් බිය බලපෑමක් කලේද සිංහලුන්ගේ පුද්ගල පැවත්මට පමණි. සිංහලුන් එය තම සමූහයේ පැවැත්මට වැදගත්යැයි නොසිතූහ. ඒ නිසා මුස්ලිම් බිය සිංහලුන්ගේ ජාතික විඤ්ඥාණය උණුසුම් කිරීමට සමත් නොවිනි. බොදුබල සේනාවට එක් මන්ත්‍රීධූරයක්වත් දිනා ගැනීමට නොහැකිවීමෙන් ඔප්පු වන්නේ එයය. 

අනිත් අතට විදේශ බලවේග සහ මෙරට අනුකාරක නූගතුන් නැවතත් රට බෙදීමට ක්‍රියාකරමින් සිටින බව මෙවර මැතිවරණයේදී ජාතික ව්‍යාපාරය විසින් ජනතාවට ඒත්තු ගැන්වීමට හැකිවිනි. ඒ නිසා සමූහයේ පැවැත්මට තර්ජනයක් ඇතැයි සිංහලුන්ට අවබෝධයක් තිබිනි. නමුත් එය පුද්ගල පැවැත්මට බලපාන අයුරු ජනතාව තේරුම් නොගත්හ. මේ මැතිවරණයේදී සිංහලුන්ගේ ජාතික විඤ්ඥාණය උණුසුම් නොවුනේ එබැවිනි.

සිංහල බෞද්ධයාගේ පැවැත්ම

1 comment:

  1. මටනම් හිතෙන්නෙ සමූහයේ පැවැත්මට වඩා මෙතැනදී ඉස්මතු උනේ උච්චේදවාදය මුල් කරගත් පුද්ගලික පැවැත්මයි. නමුත් එය ජාතික තලයෙන් නොව හුදෙක් පුද්ගලික මට්ටමෙන් ඇතිවූවා. ගොඩක් අය හිතුවෙ මගේ සල්ලි මහින්ද රජය හොරකම් කලා, මගේ අර්ථසධාකේ හොරකම් කලා, මට ලාභෙට පෙට්‍රල් හම්බවෙනවා වගේ දේවල්.

    සමූහයක් වශයෙන් හිතල චන්දෙ දෙන්න නම් ඊට පරාර්ථකාමීකම, කරුණාව වගේ සිතුවිලි මුල් වෙන්න ඕන, නමුත් ස්ව ලාභය මුල් කරගත් පුද්ගලානුබද්ධව තීරණයක් ගන්න කොට මුල්වෙන්නේ ආතමාර්ථකමීත්වය, ලෝභය, ඊර්ෂ්‍යාව වැනි සිතුවිලි. බහුතරයකට මෙවැනි සිතුවිලි බහුල වීම මෙගා ඩීල් වැනි බොරු වලට හසුවීමට හේතුවක් උනා. මට නම් හිතෙන්නේ රාජපක්ෂවරුන්ගේ (විශේෂයෙන්ම නාමල් වැන්නවුන්ගේ ක්‍රියාකාරකම්) පාලනයත් බහුතර ජනතාවකට රජයට එරෙහිව පෙර කියූ ලාමක සිතුවිලි ඇතිවීමට හේතුවක් උනා.

    ReplyDelete