Thursday, August 27, 2015

සිංහලුන්ගේ ජාතික විඤ්ඥාණය

සිංහලුන් කොටි ත්‍රස්තවාදය පරාජය කිරීම සඳහා ජාතික හැඟීමෙන් යුතුව කටයුතු කලද ඒ හැඟීම් වැඩිකල් පැවතුනේ නැත. පසුගිය සමයේ බොදු බලසේනාවත් චම්පක රණවකවත් රටේ මුස්ලිම් බියක් ඇතිකරමින් සිංහලුන්ගේ හැඟීම් ඇවිස්සීමට කල උත්සාහය බලාපොරොත්තුවූ පරදිම මහින්ද විරෝධයක් නිර්මාණය කිරීමට සමත් වුනද බහුතරයක් සිංහලුන්ගේ ජාතික හැඟීම් ඇවිස්සීමට තරම් ප්‍රමාණවත් නොවිනි. එමෙන්ම 2015දී මහින්ද රාජපක්‍ෂ නැවත බලයට ගෙන ඒමටද සිංහලුන්ගේ ජාතික විඤ්ඥාණය ප්‍රමාණවත් නොවිනි. ඒ අනුව බලන කල 1956න් පසු සිංහලුන් ජාතික හැඟීමකින් යුතුව එක්වුනු එකම අවස්ථාව කොටි ත්‍රස්තවාදය පරාජය කිරීමටය. ඉන් කරුණු දෙකක් කියවෙයි. 

සිංහලුන්ගේ ජාතික විඤ්ඥාණය ලෙහෙසියෙන් මිය යන්නේද උණුසුම් වන්නේද නැත. 

ඊට හේතුව විමසීම වැදගත්ය. විඤ්ඥාණයක් ඇතිවන්නේ පැවැත්ම මුල් කරගෙනය. පැවැත්ම පිළිබඳ එක් විශ්වාසයක් නම් තමන් සෙසු ලෝකයට සපේක්‍ෂව පවතින්නේ යැයි සිතීමය. ඒ විශ්වාසයට අනුව ජාතිය පිළිබඳව විඤ්ඥාණයක් ඇතිවන්නේ සමූහයක අනන්‍යතාව පදනම්වය. පැවැත්ම පිළිබඳ තවත් විශ්වාසයක් නම් තමන්ට නිරපේක්‍ෂ පැවැත්මක් ඇතැයි සිතීමය. ඒ විශ්වාසයට අනුව ජාතිය පිළිබඳව විඤ්ඥාණයක් ඇතිවන්නේ පුද්ගලයාගේ අනන්‍යතාව පදනම්වය. නමුත් සිංහලුන් මේ විශ්වාස දෙකම අන්තවාදී යැයි සලකමින් ප්‍රතික්‍ෂේප කරති. ඒ බෞද්ධ සංස්කෘතියේ ආභාශය නිසාය. 

බෞද්ධයෝ උච්චේදවාදයත් ශාශ්වතවාදයත් දෙකම ප්‍රතික්‍ෂේප කරති. උච්චේදවාදයට අනුව පැවැත්ම මේ භවයෙන් අවසන් වෙයි. එනම් යමෙක් පවතින්නේ යම් ක්‍රියාවලියකට සාපේක්‍ෂවය. එය නැතිවිට පැවැත්මක් නැත. ශාශ්වතවාදයට අනුව භවයෙන් භවයට පවතින යමක් ඇත. ඒ අනුව ශාශ්වතවාදය නිරපේක්‍ෂ පැවැත්මක් පිළිබඳ වාදයක් යැයි ගැනිය හැකිය. බෞද්ධයෝ සාපේක්‍ෂ පැවැත්මත් නිරපේක්‍ෂ පැවැත්මත් යන දෙකම අන්තවාද ලෙස සලකමින් ප්‍රතික්‍ෂේප කරති. මේ ආකල්පය සිංහලුන්ගේ ජාතික විඤ්ඥාණයට සෘජුවම බලපායි.

තමුන්ට ඇත්තේ සමූහයට සාපේක්‍ෂ පැවැත්මක් යැයි නොසිතන බැවින් සිංහලුන්ට සමූහයේ අනන්‍යතාව මත පමණක් පදනම්ව ජාතික විඤ්ඥාණයක් අති වන්නේ නැත. තමුන්ට ඇත්තේ නිරපේක්‍ෂ පැවැත්මක් යැයි නොසිතන නිසා සිංහලුන්ට පුද්ගල අනන්‍යතාව මත පමණක් පදනම්වද ජාතික විඤ්ඥාණයක් අති වන්නේ නැත. වෙනත් ආකාරයකට කිවහොත් යම් දේශපාලනික කාරණයක් තම සමූහයේ පැවැත්මට වැදගත්වූ පමණින් එය සිංහලුන් තුල ජාතික හැඟීමක් ජනිත කරවන්නේ නැත. එමෙන්ම යම් කාරණයක් තම පුද්ගලික පැවැත්මට වැදගත්වූ පමණින්ද එය සිංහලුන් තුල ජාතික හැඟීමක් ජනිිත කරවන්නේ නැත. සිංහලුන්ට ජාතික හැඟීමක් ජනිත කරවන්නට නම් යම් කාරණයක් පුද්ගලයාටත් සමූහයටත් යන දෙකටම වැදගත්විය යුතුය. මේ ආකල්පය සිංහලුන්ට ආවේනික සිංහල බෞද්ධ සංස්කෘතියේ ලක්‍ෂණයකි.

ඊට හාතපසින්ම වෙනස් ලෙස බටහිර සමාජ තුල හුදෙක් පුද්ගල පැවැත්ම පමණක් පදනම් කරගෙන ජාතික විඤ්ඥාණ ගොඩනැඟෙයි. ඊට ප්‍රතිවිරුද්ධ ලෙස මැද පෙරදිග මුස්ලිම් සමාජ තුල සමූහයේ පැවැත්ම පමණක් පදනම් කරගෙන ජාතික විඤ්ඥාණ ගොඩනැඟෙයි. සිංහලුන්ට අනුව මේ ස්ථාවර දෙකම අන්තයන්ය. 

කොටි ත්‍රස්තවාදය ලියැලෙමින් පවතින සමයේ මෙරට තිබුනේ කොටි බියකි. කොටි බිය බලපෑමක් කලේ හුදෙක් පුද්ගල පැවත්මටය. එය සෘජුවම කොටි භීශණය, එනම් බෝම්බ, ඝාතන ආදිය, නිසා ඇතිවූවකි. නමුත් අනූව දශකයේ මැද භාගය පමණ වෙනවිට කොටි ත්‍රස්තවාදය පිටුපස සිංහල බෞද්ධ විරෝධයක් ඇතිබවත් ඊට විදේශ බලවේග සහ මෙරට අනුකාරක නූගතුන් උරදෙන බවත් ජනතාව විසින් හඳුනාගෙන තිබිනි. ඒ හඳුනාගැනීමත් සමඟම කොටි ත්‍රස්තවාදය හුදෙක් පුද්ගල පැවැත්ම සඳහා පමණක් නොව සමූහයේ, එනම් සිංහල ජාතියේ පැවැත්ම සඳහාද, බලපාන බව සිංහලුන් අවබෝධ කරගත්හ. පුද්ගලයාගේ මෙන්ම සමූහයේද පැවැත්ම අනතුරට පත්වීම සිංහලුන්ගේ ජාතික විඤ්ඥානය උණුසුම් කරන්නට සමත් විය. අවසානයේ කොටි ත්‍රස්තවාදය පරාජය කිරීම සඳහා ඒ උණුසුම අතිශයෙන් වැදගත්විය. යම් හෙයකින් කොටි ත්‍රස්තවාදය හුදෙක් පුද්ගලික කොටි බියකට සීමාවී තිබිනි නම් මහින්ද රාජපක්‍ෂ රජයටවත් එය පරාජය කිරීමට නොහැකි වනු ඇත.

බොදු බල සේනාව සහ චම්පක රණවක (එක්සත් ජාතික පක්‍ෂ ඡන්ද දායකයින් ලක්‍ෂයකට අධික සංඛ්‍යාවක් මනාපය ලබා දුන්) විසින් කලකට ඉහතදී මෙරට ඇති කල මුස්ලිම් බිය බලපෑමක් කලේද සිංහලුන්ගේ පුද්ගල පැවත්මට පමණි. සිංහලුන් එය තම සමූහයේ පැවැත්මට වැදගත්යැයි නොසිතූහ. ඒ නිසා මුස්ලිම් බිය සිංහලුන්ගේ ජාතික විඤ්ඥාණය උණුසුම් කිරීමට සමත් නොවිනි. බොදුබල සේනාවට එක් මන්ත්‍රීධූරයක්වත් දිනා ගැනීමට නොහැකිවීමෙන් ඔප්පු වන්නේ එයය. 

අනිත් අතට විදේශ බලවේග සහ මෙරට අනුකාරක නූගතුන් නැවතත් රට බෙදීමට ක්‍රියාකරමින් සිටින බව මෙවර මැතිවරණයේදී ජාතික ව්‍යාපාරය විසින් ජනතාවට ඒත්තු ගැන්වීමට හැකිවිනි. ඒ නිසා සමූහයේ පැවැත්මට තර්ජනයක් ඇතැයි සිංහලුන්ට අවබෝධයක් තිබිනි. නමුත් එය පුද්ගල පැවැත්මට බලපාන අයුරු ජනතාව තේරුම් නොගත්හ. මේ මැතිවරණයේදී සිංහලුන්ගේ ජාතික විඤ්ඥාණය උණුසුම් නොවුනේ එබැවිනි.

සිංහල බෞද්ධයාගේ පැවැත්ම

Thursday, August 20, 2015

මහින්දවාදීන්ගේ අපේක්‍ෂාව

සංධානයේ මහින්දගේ පිළට සිය ඡන්දය පාවිච්චි කල මෙරට ජනතාව නුගේගොඩ රැලියේ සිට මැතිවරණය දක්වාම සිටියේ එකම මතවාදයකය. එනම් දෙමළ ත්‍රස්තවාදය පරදවා දිනාගත් නිදහස යලි පාවා නොදිය යුතුය යන තැනය. තමන්ට දේශපාලන නායකත්වය දීම සඳහා ඔවුන් මහින්ද රාජපක්‍ෂ මහතාට ආරාධනා කලේද තමන්ගේ මතවාදය වෙනුවෙන් ක්‍රියාත්මකවේ යැයි අපේක්‍ෂාකල හැකි එකම නායකයා ඔහු වීම නිසාය.

මැතිවරණයේදී මේ ඡන්ද දායකයෝ තමන්ගේ අරමුණ වෙනුවෙන් කල්පණාකාරීව ඡන්දය පාවිච්චි කලහ. මැතිවරණයෙන් පසු මෛත්‍රීපාල සිරිසේනට අවශ්‍ය පරිදි පිල් මාරුකරතැයි ජනතාව විසින් හඳුනාගත් අපේක්‍ෂකයින්ට මනාප ලැබුනේ නැත. ඒ නිසා ජනතාව සංධානයෙන් මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවට යැවුවේ මෛත්‍රීපාල සිරිසේනට අවශ්‍ය පරිදි එක්සත් ජාතික පක්‍ෂය සමඟ හවුල් ආණ්ඩුවක් සැදීමට නොවේ. ඊට එක හෙලාම විරුද්ධවය. එක්සත් ජාතික පක්‍ෂය සමඟ හවුල් ආණ්ඩුවක් නොගැසීමෙන් සංධානයේ ඡන්ද දායකයන් බලාපොරොත්තු වූයේ එජාපයට අවශ්‍ය පරිදි රට බෙදීමට ඉඩ නොදීමටය. 

අගමැති වශයෙන් දිවුරුම් දුන් සැනින් රනිල් වික්‍රමසිංහ විසින් නැගෙනහිර සහ උතුරු පලාත්වලට රාජ්‍ය බලය බෙදා දීමට ක්‍රියාකරනු ඇත. හවුල් ආණ්ඩුවකට යන සංධානයේ මන්ත්‍රීවරුන්ට ඒ ගැන කිසිවක් කල නොහැකි වනුඇත. 

මහින්ද නායකයා ලෙස පත් කර ගැනීම, මෛත්‍රීපාල සිරිසේනගේ හෙංචයියන්ට මනාප නොදීම, එජාපය සමඟ හවුල් (කැමතිනම් ජාතික) ආණ්ඩුකට නොයාම යන දේශපාලන ස්ථාවර මහින්දවාදීන් විසින් ගනු ලැබුවේ ඒ තීරණ තමන්ගේ මූලික පදනමවූ බෙදුම්වාදයට විරුද්ධවීම හා සංගතවූ බැවිනි.

ඒ නිසා සංධානයෙන් පත්වූ මන්ත්‍රීවරුන්ට එක්සත් ජාතික පක්‍ෂය හා හවුල් (ජාතික) ආණ්ඩුවකට යාමට ජන වරමක් නැත. එමෙන්ම සංධානයෙන් මනාප නොලැබ පැරදුනු අපේක්‍ෂකයින් ජාතික ලැයිස්තුවක් හරහා පාර්ලිමේන්තුවට යැවීමද ජනතාවගේ අපේක්‍ෂාවන්ට විරුද්ධව ක්‍රියා කිරීමකි. 

නමුත් මේ දෙකම සිදුවනු ඇත. එහිදී මෛත්‍රීපාල සිරිසේන පක්‍ෂ නායකයෙකු වශයෙන් නොව විධායක ජනාධිපතිවරයා වශයෙන් තමන්ට ඇති බලය පාවිච්චි කරනු ඇත. ඒ බලපෑම ප්‍රජාතන්ත්‍රවිරෝධී යැයි කිසිවෙකු නොකියනු ඇත. සංධානයට ඡන්දය දුන් මහින්දවාදීන්ට කලහැක්කේ එය තමන්ගේ අපේක්‍ෂාව නොවන බව හඬනගා ප්‍රකාශ කිරීමය.

Monday, August 17, 2015

ජාතික ව්‍යාපාරයට කරන්නට වැඩ ඇත

මැතිවරණයක ඡන්දය සෘජුවම මන්ත්‍රී කෙනෙකු පත් කිරීම සඳහාත් වක්‍රව අගමැති වරයෙකු පත් කිරීම සඳහාත් බලපායි. මහින්ද අගමැති නොකරන බව ඡන්දයට කලින් ජනාධිපතිවරයා විසින් කල ප්‍රකාශය සංධානයට ඡන්දය දෙන්නට බලාපොරොත්තුවී සිටි ඡන්ද දායකයෙකු තේරුම් ගන්නේ තමන්ගේ ඡන්දය අගමැති කෙනෙකු පත් කිරීම සඳහා වලංගු නොවන බවයි. බලයක් නැති ඡන්දයක් පාවිව්චි කිරීම සඳහා ඡන්ද දායකයෙකුට ඇති උනන්දුව කුමක්ද?

ජනාධිපතිවරණයේදී සංධානයට ඡන්දයදුන් ජනතාවගේ උද්‍යෝගය මැතිවරනයේදී දකින්නට නැති එක් හේතුවක් ජනාධිපතිවරයාගේ ප්‍රකාශය ලෙස දැක්විය හැකිය. එජාපය සහ ජවිපෙය ජනතාව සංධානයෙන් ඉවතට ගැනීම සඳහා මේ ප්‍රකාශය යොදාගත්හ. මෙය මෛත්‍රීපාල සිරිසේන පක්‍ෂයක සභාපති වශයෙන් කරන බලපෑමක් නොව (සභාපතිට අගමැති පත් කල නොහැක) ජනාධිපතිවරයා තම විධායකබලය යොදා ගනිමින් මැතිවරණයට කරන බලපෑමකි. පරාජය ලද තමන්ගේ හිතවතුන් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ගෙන එමින් ආණ්ඩුවක් පිහිටූවීම සඳහාද ජනාධිපතිවරයා විසින් සෘජුවම බලපෑම් කරනු ඇත.

අවශ්‍යව ඇත්තේ මහින්ද පිලේ සංවිධානාත්මක ව්‍යුහය යලි ගොඩනැඟීමය. ජනාධිපතිවරයා තම විධායක බලය පාවිච්චි කරමින් එය විනාශ කරමින් සිටියි. එය නව පක්‍ෂයක් වශයෙන් හෝ සංධානය වශයෙන් හෝ ශ්‍රීලනිපය වශයෙන් හෝ යලි ගොඩනඟා ගැනීම ජාතික ව්‍යාපාරයේ පළමු කාර්යය වනු ඇත. එහි අරමුණ විපක්‍ෂය ජනාධිපතිවරයාට නතු නොකිරීමය. එසේ වූවිට මහින්දගේ පිල විපක්‍ෂයේ සිටියත් එය මතවාදීව මෙතෙක් යහපාලන ආණ්ඩුවේ තිබි විපක්‍ෂයට වඩා බලවත් වනු ඇත. එය ජයග්‍රහනයකි. අවශ්‍ය විටෙකදී එය ජාතික ප්‍රශ්ණවලට තීරණාත්මක ලෙස යොදාගැනීමට ජාතික ව්‍යාපාරයට හැකිය.

Sunday, August 16, 2015

දුෂිතම මැතිවරණය

මෑත කාලයේ මෙරට පවත්වන්නට යෙදෙන දූෂිතම මැතිවරණය සඳුදා පැවැත්වීමට නියමිතය. මැතිවරණය පවත්වන්නටද ප්‍රථමයෙන් ජනාධිපතිවරයා විසින් එක්සත් ජනතා නිදහස් සංධානයට ඡන්දය ප්‍රකාශ කිරීමට බලාපොරොත්තු වෙන ඡන්ද දායකයින්ගේ ඡන්ද අයිතිය උදුරාගෙන ඇත. නමුත් කොළඹ නගරයේ මැතිවරණ පෝස්ටර් නැතිවීම උගතුන් වැදගත් කොට සලකන බැවින් ඒ බව මේ මැතිවරණය සාධාරන මැතිවරණයක් ලෙස පෙන්නුම් කිරීමට යොදා ගෙන ඇත. 

මහින්ද රාජපක්‍ෂ මහතා අගමැති නොකරන බව ජනාධිපතිවරයා ප්‍රකාශ කලේ මීට මසකට පමණ පෙරය. අන් සියලුම පක්‍ෂ තම මැතිවරණ රැලි වල දී ජනාධිපතිවරයාගේ මේ ප්‍රකාශය එක්සත් ජනතා නිදහස් සංධානයට ඡන්දය නොදිය යුතු හේතුවක් ලෙස ජනතාවට පෙන්වා දුන්හ. ඔවුන්ගේ තර්කය වූයේ මෙයයි. “ඔබලා මහින්ද අගමැති කිරීම සඳහා සංධානයට ඡන්දය දුන්නත් මහින්ද අගමැති වෙන්නේ නැත. ඒ නිසා ඔබේ ඡන්දයෙන් වැඩක් නැත”. වැඩක් නැති ඡන්දයක් වැඩක් නැත. 

ව්‍යවස්ථාවට අනුව අගමැති ධූරයට පත්වෙන්නේ ජනාධිපතිගේ මතයට අනුව පාර්ලිමේන්තුවේ බහුතරයක් බලය ඇති මන්ත්‍රීවරයාය. මැතිවරණයට කලින් පාර්ලිමේන්තුවේ බහුතරයක් බලයක් හිමිවෙන මන්ත්‍රීවරයා කවුදැයි නිගමණය කල නොහැකිය. ඒ නිසා මැතිවරණයට පෙර අහවල් අපේක්‍ෂකයාට අගමැතිකම දෙන්නේ යැයි හෝ අහවල් අපේක්‍ෂකයාට අගමැතිකම නොදෙන්නේ යැයි නිගමණය කිරීමට ජනාධිපතිවරයාට සාධක නැත. නමුත් ඔහු එසේ ප්‍රකාශ කරයි නම් ඉන් සිදුවෙන්නේ මැතිවරණය පැවැත්වීමට පෙර ඡන්ද දායකයින්ගේ ඡන්දයට අසමමිතික ලෙස වටිනාකම් දීමය. ඒ අනුව ජනාධිපතිවරයා විසින් අගමැති නොකරන බවට ප්‍රකාශ කරන ඡන්ද අපේක්‍ෂයාට ලැබෙන ඡන්දයේ වටිනාකම මැතිවරණයට පෙර ශුන්‍ය වෙන අතර ඔහුගේ ප්‍රතිවාදීන්ට ලැබෙන ඡන්දයේ වටිනාකම මැතිවරණයට පෙර ඉහල දැමෙයි. මැතිවරණයක් පැවැත්වීමට පෙර සියලු ඡන්ද දායකයින්ගේ ඡන්දයට එකම වටිනාකමක් හිමිවිය යුතුය. එසේ නොවේ නම් මැතිවරණ පවත්වන්නේ කුමටද? ජනාධිපතිවරයාගේ ප්‍රකාශය ජනතාවගේ ඡන්ද අයිතිය උදුරා ගැනීමක් නොවන්නේ කෙසේද?

නමුත් ප්‍රශ්ණය ජනාධිපතිවරයා තම ප්‍රකාශය මැතිවරණයට කලින් කිරීම පමණක් නොවේ ඔහු ගෙන ඇති තීරණයද ව්‍යවස්ථාවට පටහැනිය. ජනාධිපතිවරයා මහින්ද රාජපක්‍ෂට අගමැතිකම නොදෙන බව කියයි. යම් හෙයකින් පාර්ලිමේන්තුවේ බහුතර බලයක් මහින්දට නොලැබුනහොත් මහින්දට අගමැතිකම නොලැබෙන බව කිව යුතු නැත. ඒ නිසා මෙහි කියවෙන්නේ පාර්ලිමේන්තුවේ බහුතර බලයක් මහින්දට හිමි වුනද මහින්ද අගමැති නොකරන බවය. 

ව්‍යවස්ථාවේ ඇත්තේ අගමැති ධූරයට පත් කල යුත්තේ ජනාධිපතිගේ මතයට අනුව පාර්ලිමේන්තුවේ බහුතරයක් බලය ඇති මන්ත්‍රීවරයා බවය. ඒ අනුව යම් කෙනෙකුට අගමැතිධූරය හිමි නොවන්නේ නම් එසේ හිමි නොවිය යුත්තේ ජනාධිපතිවරයාගේ මතයට අනුව ඔහුට පාර්ලිමේන්තුවේ බහුතර බලයක් හිමි නොවන නිසා සහ ඒ නිසා පමණය. ඒ පිළිබඳව සැකයක් තිබිය නොහැකිය.

ඉන් කියැවෙන්නේ පාර්ලිමේන්තුවේ බහුතරය පිළිබඳව ජනාධිපතිවරයා දරන මතය හැර ජනාධිපතිවරයා දරන වෙන මතයක් මත පදනම්ව (පක්‍ෂයේ ජේෂ්ඨයෙක් නොවීමේ සිට හුදු පුද්ගලික වෛරය දක්වා) ඔහුට කෙනෙකුට අගැමති ධූරය හිමිකල හෝ අහිමිකල නොහැකි බවය. ජනාධිපතිවරයා එසේ කරයි නම් එය ව්‍යවස්ථාවට පටහැනිය. මහින්ද රාජපක්‍ෂ මහතා අගමැති නොකරන බව ජනාධිපතිවරයා ප්‍රකාශ කරනවිට ජනාධිපතිවරයා ඒ තීරණය ගෙන ඇත්තේ පාර්ලිමේන්තුවේ බහුතරය පදනම්ව නොවේ. මන්ද මැතිවරණයක් නොපවත්වා බහුතරය තීරණය කල නොහැකි බැවිනි. ඒ නිසා ජනාධිපතිවරයාගේ තීරණය ව්‍යවස්ථාවට පටහැනිය.

මහින්ද රාජපක්‍ෂ මහතා අගමැති නොකරන බවට ජනාධිපතිවරයා විසින් කල ප්‍රකාශය එක් අතකින් මෙරට ජනතාවගේ ඡන්ද අයිතිය උදුරා ගැනීමකි අනිත් අතින් ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමකි. පැහැදිලිවම මේ මැතිවරණය දූෂිතය. ජනාධිපතිවරයා විසින් කරන ලද මැතිවරණ දූෂණය හොර ඡන්ද දැමීමටත් මැතිවරණ ප්‍රචන්ඩ ක්‍රියාවන්ටත් තාප්පවල පොස්ටර ඇලවීමටත් අන්තය. නමුත් මේ කිසිවක් සාධාරන මැතිවරණයක් වෙනුවෙන් පෙනී සිටිනවා යැයි කියන කිිසිම පාර්ශවයක් විසින් මේ වනතුරු විවේචනයට ලක් කර නැත.

Wednesday, August 12, 2015

රනිල්ට තවත් සැඟවී සිටිය නොහැකිය

සඳුදා පැවැත්වෙන මැතිවරණ තරඟය මහින්ද රාජපක්‍ෂ සහ රනිල් වික්‍රමසිංහ අතරය. රනිල් වික්‍රමසිංහ වසර දහයක් මහින්දට මුහුණ නොදී හැංඟි හැංඟී සිටියේය. සඳුදා පැවැත්වෙන තරඟයද රනිල් පැතු තරඟයක් නොවේ. නියමිතව තිබුනේ ජනාධිපතිවරනයෙන් මහින්ද ගෙදර යවා දින සියය තුල විපක්‍ෂයේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් නැති කර රනිල්ට ජය ගැනීම සඳහා දේශපාලන පිටිය සකස් කිරීමය. නමුත් සුපුරුදු පරිදි රනිල්ට බලාපොරොත්තුවූ පරිදි වැඩේ කරගන්නට බැරිවුනා පමණක් නොව රනිල්ට වැඩද වැරදුනි. අවසානයේ මෛත්‍රීපාල සිරිසේන රනිල්ගේ සහයට පැමිණ පාර්ලිමේන්තුව විසුරුවා හැරියේ නැතිනම් රනිල් වික්‍රමසිංහ මේ වෙනවිට එජාපයේ මැතිවරණ වේදිකාවල නොව මහ බැංකු බැඳුම්කර වංචාවට උත්තර දෙමින් උසාවි ගානේ රස්තියාදු වෙමින් සිටිනු ජනතාවට දකින්නට හැකිවනු ඇත. 

උසාවියෙන් තාවකාලිකව බේරුනද රනිල්ට මහින්දට මුහුණ නොදී සිටිය නොහැකිය. වසර දහයකට පසු නැවතත් රනිල් තමන්ගේ පෞරෂයටත් දේශපාලන ශක්තියටත් නොගැලපෙන පතාක යෝදයෙකු ඉදිරියට තල්ලු කෙරී ඇත. රනිල් මේ සටනින් මහින්දට පරදිනු ඇත. ඒ බව කාටත් වඩා හොඳින් දන්නේ රනිල් වික්‍රමසිංහය. 


පුද්ගලිකව මේ දෙදෙනා අතරින් පරාජය දැරිය නොහැක්කේද රනිල් වික්‍රමසිංහටය. මහින්ද රාජපක්‍ෂට පුද්ගලිකව නැතිවෙන්නට දෙයක් නැත. දිනුවත් පැරදුනත් මහින්ද රාජපක්‍ෂගේ නාමය රට නිදහස් කල නායකයා වශයෙන් ඉතිහාසගත වනු ඇත. නමුත් රනිල් වික්‍රමසිංහ රටටවත් පුද්ගලිකවත් අත්කර ගත් ගෞරවයක් නැත. පරාජයත් සමඟම රනිල් වික්‍රමසිංහ දේශපාලනයේ කුනු කුඩයට විසිවෙනු ඇත. ඒ බවට වග බලාගනු ඇත්තේ එජාප නායකතුමාගේ පුටුව ගැනීමට සූදනම්ව සිටින සජිත් ප්‍රේමදාස සහ චම්පක රණවකය. 


නමුත් කුණු කූඩයට විසිවීමට වඩා බරපතල ප්‍රශ්ණයක් පුද්ගලිකව රනිල්ට ඇත. ඒ බැඳුම්කර වංචා චෝදනාවය. ඉන් රටටවූ පාඩුව රුපියල් කෝටි 7200කි. දකුණු ආසියාවේ එවැනි වංචාවක් මින් පෙර සිදුවී නැත. රනිල් දින්නොත් ඊනියා යහපාලනය නිසා ඔහු බේරෙනු ඇත නමුත් පැරදුනොත් අනිවාර්යයෙන්ම රනිල්ට දඬුවම් විඳීමට සිදුවනු ඇත. ඒ නිසා රනිල්ට පැරදිය නොහැකිය. රනිල්ගේ ප්‍රචාරක යාන්ත්‍රනය චාරයක් නැතිව අද ක්‍රියාකරන ආකාරයෙන් දිස්වෙන්නේ රනිල්ට පැරදීමට ඇති බියය. 

නමුත් කෙතරම් සාහසික වුවත් එක්සත් ජාතික පක්‍ෂයේ ප්‍රචාරක යාන්ත්‍රනය මහින්දත් රනිලුත් සංසන්දනය කරන්නට යන්නේ නැත. එසේ කලහොත් රනිල්ට තමන්ගේ ප්‍රචාරක යාන්ත්‍රනය විසින්ම පරාජය අත්කර දෙනු ඇත. එජාපයේ ප්‍රචාරක මූලෝපාය ජනතාවගේ අවධානය කෙසේ හෝ රනිල් වික්‍රමසිංහගෙන් ඉවතට ගැනීමය. අද එය පැයෙන් පැයට බොරු ගොතන්නේ රනිල් වික්‍රමසිංහ නම් පුද්ගලයා සැඟවීමටය. රනිල් වික්‍රමසිංහගේ වාර්තා පොත එක්සත් ජාතික පක්‍ෂයට බරකි. නමුත් රනිල් වික්‍රමසිංහ රටට ඊටත් වඩා බරකි. ලබන සඳුදා මෙරට ජනතාව අවසන් වරට ඒ බර බිම තබා අස්වැසිල්ලක් ගනු ඇත.


මහින්ද රාජපක්‍ෂ මෙරට කොටි ත්‍රස්තාවාදයෙන් මුදවා ගන්නේ අසල්වැසි ඉංදියාව පමණක් නොවේ බලවත් ඇමරිකාවටවත් ත්‍රස්තවාදය මෙල්ල කල නොහැකිවිටකය. නමුත් ඔහු ත්‍රස්තවාදය සමඟ සටන් කලේ රටේ ආර්ථිකයද නංවමිනි. රනිල් වික්‍රමසිංහ එවැනි හපන්කමක් කර නැත. බඩු මිල පහත දැමුවේ යැයි කීවද පසුගිය මාස හත තුලම ජීවන වියදම වැඩිවුනු බව මෙරට බත් කන මිනිස්සුන්ට හංගන්නට නොහැකිය. රනිල්ට දක්‍ෂකමක් නැති බව වැඩි දෙනා නොදන්නේ ඔහු වැඩි කලක් බලයේ රුඳී නොසිටි බැවිනි. නමුත් රනිල් වික්‍රමසිංහ පිළිබඳව බොහෝ සිංහලුන්ට හැඟෙන දෙයක් ඇත. ඒ ඔහු වැදගත් මිනිහෙක් නොවන බවය.


ජාතික බැනියම වෙනුවට ඔහු නිතර අඳින්නේ කලිසම් සහ කෝට්ය, හාමුදුරුවන් ඉදිරියේ කකුලක් පිට කකුලක් දාගෙන හිඳගනියි, අන් අය නෙළුම් කොලේ බත් කන විට ඔහු කන්නේ පිඟාන නෙළුම් කොලේ මත තියාගෙනය. මේ චාරයන් හා ඔහුගේ දේශපාලනය අතර සබඳකමක් නැතැයි කෙනෙකුට කිව හැකි වුනද මෙරට සදාචාරය ගැන ඔහුට ඇති තැකීම ඔහුගේ චාරයෙන් පිලිඹිබු වන බව පිලිගත යුතුය. සිංහලුන්ගේ සදාචාරය ගැන තැකීමක් නැති අයෙකු වැදගත් මිනිහෙක් විය නොහැකිය. රනිල් වික්‍රමසිංහ චරිතයේ මීටත් වඩා හිරිකිත පැතිකඩක් දයාන් ජයතිලක ගෙනහැර දක්වයි. රනිල් වික්‍රමසිංහ බටලන්ද වධකාගාරයේ මීනීමැරූ බවට සාක්‍ෂි නැත. නමුත් බටලන්ද වධකාගාරයක් වූ බවට සාක්‍ෂි ඇත. දයාන් ජයතිලකට අනුව රනිල් වික්‍රමසිංහ එහි කාමරයක ලැගුම්ගත්තේය. ජවිපෙන් තර්ජන ඇති කලෙක ආරක්‍ෂා සහිත කොළඹ නිවසක් තිබූ රනිල් වික්‍රමසිංහ වධකාගාරයකට යාබද කාමරයක ජීවත්වූයේ ඇයි? වැදගත් මිනිහෙක් එසේ කරයිද?


නමුත් මේ කිසි එකකටත් වඩා රනිල් වික්‍රමසිංහ පරදින්නේ ඔහුගේ බටහිර ගැතිකම නිසාය. බොහෝ දෙනා සිතන්නේ රනිල් ප්‍රභාකරන් සමඟ රට බෙදන ගිවිසුමකට ගියේ ඔහු මතවාදීව දෙමළ ජනතාවගේ ස්වයං නිර්ණ අයිතිය හෝ එවැනි වෙන යමක් පිලිගන්නා නිසා කියාය. නමුත් එය එසේ නොවේ. රනිල් වික්‍රමසිංහ වචනාර්ථයෙන්ම බටහිර ගැත්තෙකි. ඒ නිසා ඔහු බටහිරුන්ට අවශ්‍යදේ කරයි. එපමණය.


අද ඇති එකම වැදගත් ප්‍රශ්ණය රට පාවාදෙන රනිල්ද රට නිදහස් කල මහින්දද යන්නය. මීට වසර දෙසීයකට පෙර එනම් 1815දී යුධයෙන් ජය ගත නොහැකිවූ සිංහලය මෙවැනිම යහපාලන කුමන්ත්‍රණයකින් ඩැහැ ගැනීමට ඉංග්‍රීසීන්ට හැකිවිනි. බටහිරුන් එය 2015 දී නැවතත් ඉටූ කරගැනීමට දරන උත්සාහය සිංහලුන් විසින් පරාජය කරනු ඇත්තේ ඔවුන්ගේ ගැත්තාටද පාඩමක් උගන්වමිනි.

Tuesday, August 11, 2015

අළුත් පරපුර

වයස අවුරුදු විස්ස තිහ පමණ වෙන තරුණ තරුණියන් වයස මත පදනම්ව අවශ්‍ය නම් අළුත් පරපුරක් ලෙස වෙන් කල හැකිය. මේ ඊනියා අළුත් පරපුරට ජනතා විමුක්ති පෙරමුණ සහ එක්සත් ජාතික පක්‍ෂය විසින් අසූවේ දශකයේ මෙරට ඇතිකල භීශණය පිළිබඳව පුද්ගලික අත්දැකීමක් නැත. ඔවුන්ට කොටි භීශණය පිළිබඳ යම් අත්දැකීමක් තිබුනද එය වර්ධනය වූ ආකාරය පිළිබඳවද පුද්ගලික අත්දැකීමක් නැත. නමුත් මේ කිසිවක් ඔවුන්ගේ වරද නොවේ. 

තනි පුද්ගලයින්ට නැතිවනුද ජාතියකට මතකයක් ඇත. පොදුවේ ගත්විට මෑත ඉතිහාසයේ ඉහත කී අත්දැකීම් පමණක් නොව ජාතියක් වශයෙන් අත්විඳි දෙදහස් වසරක දේශපාලන අත්දැකීම් සිංහල ජාතිය සතුව තිබේ. ජාතියේ මතකය නොමැරී පවතින්නේ එය පරම්පරාවෙන් පරම්පරාවට ගලායාම තුලය. නමුත් අද විජාතික බලවේග ඊනියා අළුත් පරපුරෙන් ඒ මතකය ඉවත් කිරීම සඳහා කටයුතු කරමින් සිටියි. එහි කාර්යය ජාතියේ ඓතිහාසික දේශපාලන මතකය අවැදගත් ලෙස සැලකීමට අළුත් පරපුරට ඉගැන්වීමය. එය එක් ආකාරයට කුඩු ගැහීමට පුරුදු කිරීමක් වැනිය. කුඩු ගැසූවා මෙන් රඟපාන තරුණයින් මැතිවරණ ප්‍රචාරක දැන්වීම් සඳහා යොදා ගැනීමෙන් පිළිබිඹු කෙරෙන්නේ එය විය හැකියි.


කොටි භීශණය තිස් වසරක් තිස්සේ පැවතුනද විජාතික බලවේග වැදගත් කොට සලකන්නේ ත්‍රස්තවාදයට එරෙහි මානූශීය මෙහෙයුමේ අවසාන සති දෙකෙහි සිදුවීම් පමණය. ඉතිරි කොටස අමතක කරති. එසේ අමතක කරන්නේ අතීතය අත්හල විට අවසන් සති දෙක ඔවුන්ට වාසිදායක ලෙස යොදාගත හැකි නිසාය. එපරිදිම ඊනියා අළුත් පරපුරේ මතකයද විජාතික බලවේග විසින් අතුගා දමන්නට ක්‍රියා කරන්නේත් අළුත් පරපුරේ දේශපාලන විභවය විජාතික බලවේග වලට අවශ්‍ය පරිදි හසුරුවා ගැනීම සඳහාය. 


පැහැදිලිවම මේ මොළ සේදීමේ මෙහෙයුමේ කෙටි අරමුණ එන මැතිවරණයෙන් රනිල් වික්‍රමසිංහ දිනවීමය. ඒ හරහා රනිල් වික්‍රමසිංහ යනු කවුද? රනිල් වික්‍රමසිංහ සහ ජනතා විමුක්ති පෙරමුණ මෑත ඉතිහාසයේ මෙරටට කර ඇත්තේ කුමක්ද? ඔවුන්ට කල හැක්කේ කුමක්ද? වැනි ප්‍රශ්ණ ඇසීම වැලකෙයි. නමුත් මොළ සේදීමේ මෙහෙයුම එතැනින් නිම නොවේ.


සෞභාග්‍යමත් නිවහල් රටක් ගොඩනැඟිය හැක්කේ දේශපාලනමය වශයෙන් ස්ථාවර රාජ්‍යයකය. ස්ථාවර රාජ්‍යයක පදනම ආණ්ඩු වෙනස් වෙද්දීත් රාජ්‍යයේ දේශපාලන ගමන වෙනස් වෙමින් නමුත් කඩ නොවී ගලායාමය. ගලායාම දෙවිදිහකට අත්කරගත හැකිය. පළමු විදිහ නම් රටේ සාමාන්‍ය ජනතාව තමන්ගේ අතීත අත්දැකීම් පදනම් කරගෙන රටේ අනාගතය පිළිබඳව දේශපාලන තීරණ ගැනීමය. එවිට අතීතයත් අනාගතයත් අතර යම් ගලායාමක් ස්ථාපිත වේ. දෙවෙන ආකාරය රටේ වැදගත් ආයතන තුල (විදේශ කටයුතු අමාත්‍යාංශය, ආරක්‍ෂක අමාත්‍යාංශය, රජයේ ඔත්තු සේවාව, වෙනත් ආර්ථික වශයෙන් වැදගත් ආයතන) ප්‍රතිපත්තිමය වශයෙන් ස්ථාවර භාවයක් ඇති කිරීමය. එවිට ඒ ආයතන වලට කුමණ රජයක් යටතේ වුවද කෙටි කාලීන හැල හැප්පීම් වලට ඔරොත්තු දීමට හැකියාවක් ලැබෙනු ඇත. රාජ්‍යයක දේශපාලන ගමන ස්ථාවර කල හැක්කේ එහි ගලායාම පහල මට්ටමේත් ඉහල මට්ටමේත් මෙලෙස පවත්වාගැනීම තුලය. 


2009 දී බරක් ඔබාමා ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ධූරයට පත්වූයේ මෙවැනිම අළුත් පරපුරක් විසින් නිර්මාණය කරන ලද යුධ විරෝධී රැල්ලක් මතිනි. (රනිල් වික්‍රමසිංහට ඔබාමා රජයෙන් මැතිවරණ උපදෙස් ලැබෙන්නේද මේ අත්දැකීම මත විය යුතුය). නමුත් අවසානයේ බරක් ඔබාමාගේ රජය බුෂ් රජයටත් වඩා යුධකාමී විය. ඒ බවට එරට ප්‍රධාන රාජ්‍ය ආයතන වග බලා ගත්තේය. ඇමෙරිකා එක්සත් ජනපදය පැත්තෙන් සැලකුවිට ඔබාමාගේ අළුත් පරපුර විසින් දැරූ වැරදි දේශපාලන ආකල්ප එරට රාජ්‍ය ආයතන මඟින් නිවැරදි කර ඇමෙරිකානු රාජ්‍යයේ ගලායාම ස්ථාපිත කරන ලදී. 

නමුත් ඇමෙරිකාවට මෙන් අපට දේශපාලණික වශයෙන් ශක්තිමත් රාජ්‍ය ආයතන නොමැත. ඉංග්‍රීසීහු අපට තිබූ ආයතන මෙන්ම අපේ දේශපාලන ක්‍රමයද ආර්ථික රටාවද බිඳ හෙලූහ. ඉන් පසු ඒ ගොඩනඟා ගැනීමට තවමත් අපට හැකිවී නැත. අපට ඇති එකම ශක්තිය මෙරට සාමාන්‍ය සිංහල මිනිස්සු තමන්ගේ ඓතිහාසික දේශපාලන මතකය මත පිහිටමින් අනාගතය පිළිබඳව තීරණ ගැනීම පමණි. අද විජාතික බලවේග විසින් අළුත් පරපුර යොදවාගෙන කරන්නට උත්සාහ කරන්නේ ඒ ක්‍රියාදාමය බිඳ දැමීමටය. එහිදී මෙරට තරුණයින් ඊනියා අළුත් පරපුරක් යැයි වෙන් කර හඳුන්වාගෙන ඔවුන්ට මෙරට සංස්කෘතියට එරෙහි වන්නට උපදෙස් දෙයි. දැහමෙන් සෙමෙන් කෙරෙන පාලනය වෙනුවට ඊනියා යහපාලනයක් ගැන කියා දෙයි. යුතුකම් වෙනුවට අයිතීන් ගැන ඔවුන්ට කියා දෙයි. තමාට පෙර රට වෙනුවට රටට පෙර තමා වැදගත් යැයි කියා දෙයි. ඒ සියල්ලෙන්ම සිදු කෙරෙන්නේ මෙරට තරුණ පරපුර නොමඟ යවා සිංහලුන්ගේ දේශපාලන ගමන නැවතීමය. 


නමුත් අපේ රාජ්‍යය ප්‍රබල නොවේ. අපට ඇමෙරිකාවට මෙන් බලවත් නොසැලෙන රාජ්‍ය ආයතන නැත. ඒ නිසා අපේ අළුත් පරපුර විසින් ගනු ලබන වැරදි තීරණ නිවැරදි කල හැක්කේ අපටමය. එලඹෙන මැතිවරණයේදී මෙරට සිංහලුන් තමන්ගේ ඓතිහාසික වගකීම ඉටු කරමින් රට නැවතත් නිවැරදි මඟට ගනු ඇත.

Wednesday, August 5, 2015

බළලුන් ලවා කොස් ඇට බාවන්ඩ හදන සිංහල බෞද්ධ විරෝධීන් හඳුනාගනිමු

මහින්ද රාජපක්‍ෂ ප්‍රජාතන්ත්‍රවාදී ලෙස නැවත බලයට ගෙන ඒම ප්‍රජාතන්ත්‍රවාදී විරෝධී ලෙස වැලක්වීමට අවශ්‍ය සිංහල බෞද්ධ විරෝධීන්ටය. 

මොවුහු ඒ සඳහා එක්සත් ජාතික පාක්‍ෂිකයිනුත් ජනතා විමුක්ති පෙරමුනේ පාක්‍ෂිකයිනුත් යොදා ගන්නට උත්සාහ කරති. මේ පක්‍ෂ දෙකෙහිම නායකත්වය එක හෙලාම සිංහල බෞද්ධ විරෝධී විජාතික බලවේග වෙනුවෙන් පෙනී සිටිති. නමුත් ඒ පක්‍ෂ දෙකෙහිම සාමාන්‍ය ජනයා ගැන එසේ කිව නොහැකිය. කෙසේ නමුත් සිංහල බෞද්ධ විරෝධීන් (මහින්ද විරෝධීන්) මහින්ද පරාජය කිරීම සඳහා විවිධ සටන් පාඨ යොදා ගනිමින් ජනතාව එජාපයට හෝ ජවිපෙයට හෝ තල්ලු කිරීමට උත්සාහ දරති.


හරිනම් එජාපයට ජනතාව තල්ලු කෙරන සටන් පාඨත් ජවිපෙයට තල්ලු කෙරෙන සටන් පාඨත් එකිනෙකට ප්‍රතිවිරුද්ධ විය යුතුය මන්ද ඔවුන්ගේ ඊනියා දේශපාලන දර්ශණය වෙනස් බැවිනි. නමුත් අද එහි වෙනසක් දක්නට නැත. ඒ නැත්තේ ඇයි? අපි විමසිය යුත්තේ එයයි. ඒ නැත්තේ මේ ප්‍රවාහයන් දෙකම පිටුපස ඇත්තේ හුදු සිංහල බෞද්ධ විරෝධයක් පමණක් නිසාය.

ඔබ සිංහල බෞද්ධ විරෝධී පදනමක් මත එජාපයට හෝ ජවිපෙයට හෝ ඡන්දය දෙන්නට එකඟද?

Tuesday, August 4, 2015

යූ එන් පිය ජාතිවාදීයි!!!

දෙමළ ජනතා සංධානය දෙමළ ජනයාට ස්වයංනිර්ණ අයිතිය තිබිය යුතුයි යැයි කියද්දී එක්සත් ජාතික පක්‍ෂයේ ඡන්ද අපේක්‍ෂකයින් කියන්නේ එය දෙමළ සංධානයේ අපේක්‍ෂාව වුනද එය සිදු නොවන බවය. නමුත් එය ප්‍රමාණවත් ප්‍රතිචාරයක් නොවේ.ඊළාම් කොටි වසර 30ක් තිස්සේ මෙරට ලේ විලක් කලේද මේ අපේක්‍ෂාව උඩය. දෙමළ ජාතිවාදීන් යලිත් තමන්ගේ අපේක්‍ෂාවන් මුදුන් පත් කර ගැනීමට ක්‍රියා නොකරන බවට එජාපයට දිය හැකි සහතිකය කුමක්ද? ජනතාව මේ ප්‍රශ්ණය අසන්නේ රනිල් වික්‍රමසිංහ ෆෙඩරල් ක්‍රමයක් දෙමළ ජනතාවට ලබා දෙන බව ඉංදියාවේ මාධ්‍ය වලට පවසා ඇති වාතාවරණයකය. 

මැතිවරණයෙන් පසු රජයක් පිහිටුවීමට බලාපොරොත්තුවෙන පක්‍ෂයක් වශයෙන් එජාපයේ වගකීම තමන්ගේ රජයක් යටතේ දෙමළ ජනතා සංධානයට ඔවුන්ගේ අපේක්‍ෂාව ඉටු කර ගැනීමට ඉඩ දෙන්නේද නොදෙන්නේද නොදෙන්නේ නම් ඒ කෙසේද යැයි ජතාවට පැහැදිලි කර දීමය. නමුත් එජාපයට එය එසේ නොකර මඟහැරීමට තැත් කරයි. ඒ වෙන කිසි හේතුවක් නිසා නොව එජාපයට රාජ්‍ය බලය ලබා ගැනීමට නම් දෙමළ ජාතිවාදයට කප්පම් නොගෙවා එය කල නොහැකි නිසාය.

මේ ප්‍රතිපත්ති මත එජාපය ජාතිවාදී වෙන්නේ සිංහලුන්ට එරෙහිව නොවේද?