Saturday, June 6, 2015

දැන් කාලේ හැදෙන උන්

අලි මන්තර මතුරා අලින් පලවා හැරිය හැකිය. නමුත් දැන් කාලේ ඉන්න අලින් ඒ මන්තර අහන්නේ නැතැයි අලින්ගෙන් කරදර ඇති ගමක වැසියෙකු පවසනු මා අසා සිටියෙමි. ලංකාවේ අලිද සංස්කෘතිකව වෙනස් වී ඇති හැඩය. නමුත් උන් වෙනස් කරන්නේ මිනිස්සුය. මිනිස්සුන්ගේ උවමණාවටය.

මිනිසුන්ගේ සංස්කෘතියද නොවෙනස්ව තබා ගත නොහැකිය. පසුගිය සිය වස් දෙක කාලය තුල සිංහලුන්ගේ සංස්කෘතිය වෙනස් කලේ බටහිර සංස්කෘතියය. බටහිර සංස්කෘතියේ උවමණාවටය. අද අපේ සංස්කෘතිය වෙනස්වන වේගය පෙරට වඩා වැඩිය. 

බටහිර බලපෑමට යටත්ව සංස්කෘතිය වෙනස්වන වේගය සමාජයේ ඒ වනවිට බටහිර සංස්කෘතිය වැලඳගෙන සිටින ප්‍රතිශතයට සමානුපාතික යැයි මම සිතමි. එය එසේ නම් සිංහලුන්ගේ සංස්කෘතිය ඝාතීයව (exponentially) වෙනස් වෙමින් පවතියි. 

සංස්කෘතිය වෙනස් වන වේගය වැඩි වෙන විට තව වැදගත් වෙනසක් සිදුවෙයි. ඒ පරම්පරා දෙකක් අතර සංස්කෘතික පරතරය වැඩි වීමය. පරම්පරා පරතරයක් හැමදාම තිබෙන්නට ඇත. එහි විවාදයක් නැත. නමුත් අද වනවිට දරු-මව්පිය පරතරය අප සමාජයට දරාගත නොහැකි තරම් වැඩිවී ඇතැයි මට හැඟේ. 

මා කථා කරන්නේ අවුරුදු තිස්පහත් පනස්පහත් අතර වෙන දෙමව්පියන් සහ ඔවුන්ගේ දරුවන් ගැනය. විශේෂයෙන්ම මෙරට නගරබදව වෙසෙන මධ්‍යම පංතියට වැටෙන මිනිසුන් ගැනය. මේ දරු-මව්පිය පරම්පරා දෙක අතර සංස්කෘතික පරතරය ඒ දෙමව්පියනුත් අද ජීවීතයේ සැඳෑ සමය ගෙවමින් සිටින ඔවුන්ගේ දෙමව්පියනුත් අතරවූ පරතරයට වඩා වැඩි යැයි අවිවාදයෙන් පිලිගැනෙනු ඇතැයි සිතමි. 

පුද්ගලයා සමාජයෙන් වෙන් කෙරීම බටහිර සංස්කෘතියේ විශේෂ ලක්‍ෂණයකි. බටහිර බලපෑම මත සංස්කෘතික වශයෙන් වෙනස් වීමත් සමඟම සිංහල සමාජයේ සිදුවූ මූලික වෙනස ක්‍රමයෙන් පුද්ගලයා සමාජයෙන් වෙන්වීමය. සංස්කෘතිය වෙනස්වීමේ වේගය වැඩි වන විට වෙන් කිරීම නිසා ඇති වන බලපෑමද සමාජයට දරාගත නොහැකි තරම් වැඩි විය හැකිය. අද අපි එහි සුවිශේෂ හැරවුම් ලක්‍ෂයකට පැමින සිටින්නෙමු.

අතීතයේද දෙමව්පියන් සහ දරුවන් අතර සංස්කෘතික පරතරයක් තිබුනද සාපේක්‍ෂ වශයෙන් ගත් විට ඒ දෙපක්‍ෂයම අන්‍යෝන්‍ය වශයෙන් එකිනෙකාටත් සමාජයටත් බැඳී සිටියහ. නමුත් අද දරුවෝ හැදෙන්නේ සාපේක්‍ෂ වශයෙන් සමාජයෙන් වෙන්වීය. එහෙත් මේ දරුවන්ගේ දෙමව්පියෝ හැදුනේ සාපේක්‍ෂ වශයෙන් සමාජයත් සමඟ බැඳෙමින්ය. මේ බැඳී සිටීම සහ වෙන්වී සිටීම අද අවුරුදු තිස්පහත් පනස්පහත් අතර වෙන දෙමව්පියන් සහ ඔවුන්ගේ දරුවන් අතර ඇති පරතරයට සුවිශේෂත්වයක් ලබාදේයැයි මම සිතමි. මේ සංස්කෘතික නොගැලපීම හුදෙක් බටහිර විලාසිතා අනුකරණය කිරීමෙන් ඇති කෙරෙන පරම්පරා පරතරයට වඩා ගැඹුරුය. එය ගැටුම්කාරී විය හැකිය. 

මීට වසර විසි පහකට තිහකට පමණ පෙර දරුවන් සිය දිවි හානි කර ගන්නවා අසා තිබුනේ නැත. නමුත් අද එය එතරම් දුර්ලභ සිද්ධියක් නොවේ. දරුවන් කිහිප දෙනෙකු හෝ එවැනි මානසික පීඩාකාරී තත්වයකට පැමිණ සිටී නම් සිය දිවි හානි කර නොගන්නා නමුත් ඒ ආසන්නයටම පැමිණි තව කොපමණ දෙනෙකු ඇත්දැයි සිතා ගත හැකිය. 

දරුවන් පත්වී ඇති මේ තත්වයට විවිධ හේතු තිබිය හැකිය. නමුත් දරුවන් ජීවත්වන්නේ දෙමව්පියන් සෙවනේය. පරම්පරා පරතරය වැදගත් වන්නේ මේ සන්දර්භය තුලය. එහිදී දරුවන් සාපේක්‍ෂ වශයෙන් සමාජයෙන් වෙන්ව පුද්ගලිකත්වය ඉස්මතු කරගෙන කටයුතු කිරීමත් දෙමව්පියන් පොදුවේ සමාජය සමඟ බැඳී සිටීමත් නිසා ඇතිවෙන නොගැලපීම ඊට විශාල වශයෙන් දායක වනු ඇතැයි සිතේ. මේ නොගැලපීම හේතුවෙන් දෙමව්පියන් ලබා දෙන සෙනෙහස දරුවන්ට අත්විඳීමට නොහැකිවනවා විය හැකිද?

නාගරිකව ජීවත්වෙන උගත් මධ්‍යම පංතික අවුරුදු තිස්පහත් පනස්පහත් අතර දෙමව්පියන් මේ විශේෂ පරම්පරා පරතරය හඳුනාගෙන සිටියද ඔවුන්ට ඒ සඳහා පිළිතුරක් ඇත්දැයි සැක සහිතය. පැහැදිලිවම දෙමව්පියන්ට  තනියෙන් කල හැකි දෙයක් නැත. බොහෝවිට වර්තමාන දරුවන් දෙමව්පියන් බවට පත්වන විට ඔවුන්ට එවැනි අර්බුදයක් මතු නොවනු ඇත මන්ද ඒ වනවිට දරුවන්ද දෙමව්පියන්ද සමාජයෙන් වෙන්ව පුද්ගලිකත්වය ඉස්මතු කරගෙන කටයුතු කිරීමට හුරුපුරුදු වී සිටිය හැකි බැවිනි. 

1 comment:

  1. වෙනස් වුනත් වෙනස දරන්න පුළුවන් සමාජයක් තාම අපිට නෑ නේද

    ReplyDelete