Sunday, June 21, 2015

ඡන්දානාතය

ඡන්දානාතය නම් ලොවක් විය. එහි වැස්සෝ ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කලහ. ඒ කෙතරම්ද යත් අන්තර් ලෝක සමීක්‍ෂණ වලදී ප්‍රජාතන්ත්‍රවාදය ඉහලින්ම ක්‍රියාත්මක කෙරුනු ලොව ලෙස සැමවිටම නම් කෙරුනේ ඡන්දානාතයය. නමුත් ඡන්දානාතයින්ට ඔවුන්ගේ ඡන්ද ක්‍රමය ගැන යම් කලකිරීමක් කාලාන්තරයක් තිස්සේ තිබිනි. ඡන්දානාතයේ විද්වත් සභාව ඊට පිළිතුරු සොයමින් සිටියේය. වරක් නාථට ඡන්දානාතයට පැමිණෙන ලෙස ඇරයුමක් ලැබුනේ ඔවුන්ගේ ප්‍රශ්ණය සම්බන්ධයෙන් නාථගේ අදහස් විමසා බැලීමටය. 


නාථ සිය දරු පවුලත් සමඟ ඡන්දානාතයට ගියේ රාජකාරි අහවර වී පවුලත් සමඟ එරට දිග නිවාඩුවක්ද ගැනීමට සිතාගෙනය. බඩු මුට්ටුද ළමයිද අතින් කටින් එල්ලාගෙන නාථ ඡන්දානාතයට ගොඩ බැස්සා පමණි මහත්මයා! මහත්මයා!! යැයි කියමින් ඡන්දානාතයෙක් හති හලමින් පිටු පසින් පැමිණ ඔහු නවතා ගත්තේය. මහත්මයා මේ දරුවට අසනීපයක් වද්ද? නෑ.. නාථ පිළිතුරු දිනි. ඇයි මහත්මයා එහෙනං ඔය දෙන්න මේ ළමයගෙ අතිං අල්ලං යන්නේ? නෑ ඉතිං නිකං.. ඇයි අවුල්ද? ඊට පිළිතුරු නොදුන් ඡන්දානාතයා දරුවගේ වයස විමසීය. පහ හමාරයි නාථ පිළිතුරු දුනි. ළමයගේ කැමැත්ත ගත්තද? ඒ මොකටද? නාථ නොරුස්සන ගතියෙන් ඇසුවේය. අතිං අල්ලං යන්ඩ.. ඡන්දානාතයා පිළිතුරු දුනි. 



ආගන්තුකයාගේ නොදැනුවත්කම තේරුම්ගත් ඡන්දානාතයා දිගටම විස්තර කරන්ඩ පටන් ගත්තේය. මහත්මයා මේ රටේ වයස පහට වැඩි හැම කෙනෙකුම ස්වාධීන පුද්ගලයෙක් හැටියටයි සලකන්නේ. තමන්ගේ ළමයාගේ උනත් පුද්ගලිකත්වයට අපි ගරු කරන්ඩ ඕනෙනෙ... ඒකයි මම මහත්මයා ගෙන් ඇහුවෙ. නාථට එරට සංස්කෘතිය ගැන ක්‍ෂණික පාඩමක් ලැබිනි. අකමැත්තෙන් වුවද නාථ දෙපල දරුවාගෙ අත අත්හලේය. ඔන්න ඕක මෙහෙට දෙන්න කියමින් හාමිනේද මෙතෙක් වෙලා නාථගේ කරේ තිබුනු ඇගේ පං මල්ල අතට ගත්තේ හාමිනේද කතන්දර අහන්ට අකමැති නිසාය. පැහැදිලිවම නාථගේ ලෝකය මෙන් නොව ඡන්දානාතය පුද්ගලිකත්වය උසස් කොට සැලකු ලොවක් බව නාථටත් හාමිනේටත් අවබෝධ විය. නමුත් වවුලගේ මඟුල් ගෙට ගියවිට එල්ලී සිටීම සිරිත නිසා නාථ මුවින් නොබැණ සිටියේය.



හාමිනේ සහ දරුවා විශ්‍රාම ශාලාව වෙත යවා නාථ කෙලින්ම ගියේ විද්වත් සභාවේ කාර්යාලය වෙතය. මග දිගට විශාල ප්‍රාසාද පෙලක් පසුකෙරිනි. ඒ හැම එකකම එක් කොඩියක් ඔසවා තිබිනි. මුල්ම ගොඩනැඟිල්ලේ කොඩිය රතු පැහැ විය දෙවැන්නේ කොඩිය තැඹිලි පැහැවිය, ඊලඟට කහ, කොල, නිල්, ආදී වශයෙන් කොඩි දේදුන්නේ පැහැ ගත්තේය. මහත්මයා අපේ ප්‍රධාන දේශපාලන පක්‍ෂ හතක් තියෙනවා ඒවායෙ කාර්යාල තමයි ඔය පෙනෙන ගොඩනැඟිලි  අශ්වාරෝහකයා පැහැදිලි කරදුනි. පක්‍ෂ කාර්යාල අවසන්වූ තැන වූයේ විද්වත් සභාවේ කාර්යාලය. 



විද්වත් සභාව එවනවිටත් රැස්වී සිටියහ. සභාපති අචාර්යතුමා කෙලින්ම ප්‍රශ්ණයට බැස්සේය. නාථ අපේ දේශපාලන පක්‍ෂ හතක් තියෙනවා. ඒවාට එකිනෙකින් වෙනස්වූ මතවාද තියෙනවා. නමුත් එ සමහර මතවාද අතර සමානකම්ද නැත්තෙත් නැහැ. නමුත් යම් ඡන්ද විමසීමකින් පසුව එහි ප්‍රතිඵලයට අනුව රටේ පොදු දේශපාලන වෙනසක් ඇති කලහම ඊට එකඟ නොවෙන පක්‍ෂ කිහිපයක් සැමවිටම ඉතිරිවෙනවා.  මේ අයට හැඟෙන්නේ ඡන්ද ප්‍රතිඵලයට අනුව සිදු කෙරුනු පොදු දේශපාලන වෙනස නිසා තමන්ගේ පුද්ගලික අයිතීන් උල්ලංඝනය වී ඇති බවයි. පුද්ගලික අයිතීන් උල්ලංඝනය කිරීම අපේ සදාචාරයට විරුද්ධයි. ඒ නිසා අපට මේක ප්‍රශ්ණයක්. 



අපි අපේ ඡන්ද පවත්වන්නේ ඉතාම ප්‍රජාතන්ත්‍රවාදී විදිහටයි. ඒ නිසා අපි හිතනවා මේක ඡන්ද ක්‍රමයේ ප්‍රශ්ණයක් කියලා. නමුත් අපි ඡන්ද ක්‍රමය නොයෙක් ආකාරයට වෙනස් කරලත් බැලුවා. කේවල ක්‍රමය, මනාප ක්‍රමය ඒ දෙකේ මිශණය ආදී වශයෙන්. නමුත් ඒ එකකින්වත් තවම සියල්ලම සෑහීමකට පත්වෙන ප්‍රතිඵලයක් ලැබිල නැහැ. මේ සමුළුවේත් නව ඡන්ද ක්‍රම කිහිපයක් ඉදිරිපත් කෙරෙනවා. නාථ ඔබට පුලුවන්ද මේ යෝජනා ගැන විමසා බලා අපට තීරණයක් ලබා දෙන්ඩ?



නාථට පිළිතුර අතැඹුලක් සේ පැහැදිලිවිය. නමුත් යමක් කීමට පෙර ශාලාවේ දොරටුව කොහේ ඇතැදැයි පුරුද්දට මෙන් සොයා බැලුවේ තම පිළිතුර ඒ විද්වත් සභාවට දිරවාගත නොහැකි යැයි නාථට සිතුනු නිසාය. මෙහෙමයි අචාර්යතුමා....ඔය කිසි ඡන්ද ක්‍රමයකින් ඔබලාගේ ප්‍රශ්ණය විසඳෙන්නේ නැහැ. ඔබලා සංස්කෘතියෙන් වෙනස් වෙන්ඩ ඕනෙ එහෙම නැතුව ඕක හරියන්නෙ නැහැ..එසැනින් මුලු සභාවම නිහඬ විනි. ගෙවී ගිය තප්පර දෙක තුන නාථට දැනුනේ කල්පයක් මෙනි. අවසානයේ නිහඬතාව බිඳමින් අචාර්යතුමා කථා කලේය. ඔබ නිවැරදියැයි මට හිතෙනවා..හොඳයි අපි අපේ සංස්කෘතිය වෙනස් කර ගන්ඩ බලන්නම්…. අතක් පයක් නොකැඩී බේරීමට හැකිවීම ගැන ස්තූතිවන්ත වෙමින් නාථ සභාවෙන් පිටව ගියේය.



කලක් ගතවුනි. නාථට නැවතත් ඡන්දානාතයට පැමිණෙන ලෙස ආරාධනයක් ලැබිනි. යමුද? නාථ හාමිනේගෙන් ඇසීය..ඔයාට ඕනනම් යන්ඩ ඉතිං!.. හාමිනේගේ ප්‍රතිචාරය විය. නාථ තනියම ඡන්දානාතයට ගියේය. කලින් තිබූ පක්‍ෂ ගොඩනැඟිලි එහි නොවිනි. ඒ වෙනුවට එක් ගොඩනැඟිල්ලක් පමණක් විය. ඒ ඉදිරිපිට සියලු දේදුනු වර්ණ රැගත් එක් කොඩියක් විය. මහත්මයා මේ අපේ පක්‍ෂ කේනද්‍රස්ථානය ඔය තියෙන්නේ අපේ අළුත් ජාතික කොඩිය. අශ්වාරෝහකයා නාථට දැනුම් දුනි. පැහැදිලිවම විශාල වෙනසක් එලොව සිදුවී ඇති බව නාථට පෙනෙනි.



විද්වත් සභාව රැස්ව සිටියේ එහි ඉහල මාලයේය. අචාර්යතුමා නාථව සුහද ලෙස පිලිගෙන කථාව ඇරඹීය. අපි නාථගේ උපදෙස අනුව ඡන්දානාතයේ සංස්කෘතිය වෙනස් කලා. ඒ වෙනස නිසා අපි දැන් ප්‍රජාතන්ත්‍රවාදය ඉහලින්ම ක්‍රියාත්මක කරනවා පමණක් නොවෙයි එය කිසි කෙනෙකුගේ පුද්ගලික අයිතිය උල්ලංඝණය නොවෙන අයුරින්ද ක්‍රියාත්මක ක්‍රියාත්මක කිරීමට අපට හැකිවී තිබෙනවා. ඒ අනුව අපිට සියළු දේශපාලන පක්‍ෂ එකතුවී ජාතික ආණ්ඩුවක් පිහිටුවා ගැනීමට හැකිවී තිබෙනවා. එතකොට අර ඉස්සර තිබුනු විවිධ දේශපාලන මතවාද ඒවට මොකද වුනේ? නාථ හරස් ප්‍රශ්ණයක් ඇසීය. අහා!! වැදගත් ප්‍රශ්ණයක් අචාර්යතුමා කීවේය. අපි සංස්කෘතික වශයෙන් කල වෙනස තමයි සියළු ඡන්දානාතයින් එකම දේශපාලන මතවාදයකට ගෙන ඒම. ඒ කියන්නේ දැන් අර ඉස්සර තිබුනු පක්‍ෂ හත නැද්ද? නාථ ඇසීය. නෑ නෑ නාථ ඒවා ඔක්කොම තියෙනවා නමුත් මතවාදීව ඒවගේ වෙනසක් නැහැ. එහෙනම් ඒව තියෙන්නේ මොකටදැයි අසන්ටත් සිතා නොඅසාම නාථ නිහඬ විය.



පුද්ගලික අයිතීන් උල්ලංඝනය නොවී එකිනෙකට වෙනස් දේශපාලන මතවාද පවත්වාගැනීමට ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක් නොවීම ඡන්දානාතයින්ට වූ ප්‍රශ්නයයි. එය මතුවූයේ පුද්ගලිකත්වය සාමූහිකත්වයට ඉහලින් තැබීම සදාචාරාත්මක යැයි සැලකූ බැවිනි. ඔවුන්ගේ විසඳුම වූයේ ඡන්දානාතය දේශපාලණික වශයෙන් සමජාතීය කෙරීමය. ඔවුන්ගේ ඊනියා සංස්කෘතික විප්ලවය ඒ සඳහා විය. ඡන්දානාතයින් එකම දේශපාලන මතවාදයකට පමුණුවා ගත්තේ කෙසේදැයි අදටත් නාථට ඇති ප්‍රශ්ණයකි. කෙසේ නමුත් නාථ බලාපොරොත්තුවූයේ පුද්ගලිකත්වයත් සාමූහිකත්වයත් එක හා සමාන ලෙස සැලකීම සඳහා වූ විප්ලවයකි. ඒතුලින් විවිධ දේශපාලනික මතවාද ඉවසූ සමාජයක් පවත්වාගත හැකිවේ යැයි නාථ සිතුවේය.



නාථගේ ගමනින් බොහෝ කලකට පසු ඡන්දානාතයේ අගමැතිවරයාත් එක් ඇමතිවරයෙකුත් විද්වත් සභාවේ ආචාර්ය තුමාත් ජගත් මානව හිමිකම් කොමිසමක් මඟින් වධකාගාර පවත්වාගෙන යාම, මැර කල්ලි පවත්වාගෙන යාම සහ ඊට අනුබලදීම සම්බන්ධයෙන් වරද කරුවන් බවට පත් කෙරුනු බව නාථට දැන ගන්නට ලැබුනේ නැත.

Saturday, June 6, 2015

දැන් කාලේ හැදෙන උන්

අලි මන්තර මතුරා අලින් පලවා හැරිය හැකිය. නමුත් දැන් කාලේ ඉන්න අලින් ඒ මන්තර අහන්නේ නැතැයි අලින්ගෙන් කරදර ඇති ගමක වැසියෙකු පවසනු මා අසා සිටියෙමි. ලංකාවේ අලිද සංස්කෘතිකව වෙනස් වී ඇති හැඩය. නමුත් උන් වෙනස් කරන්නේ මිනිස්සුය. මිනිස්සුන්ගේ උවමණාවටය.

මිනිසුන්ගේ සංස්කෘතියද නොවෙනස්ව තබා ගත නොහැකිය. පසුගිය සිය වස් දෙක කාලය තුල සිංහලුන්ගේ සංස්කෘතිය වෙනස් කලේ බටහිර සංස්කෘතියය. බටහිර සංස්කෘතියේ උවමණාවටය. අද අපේ සංස්කෘතිය වෙනස්වන වේගය පෙරට වඩා වැඩිය. 

බටහිර බලපෑමට යටත්ව සංස්කෘතිය වෙනස්වන වේගය සමාජයේ ඒ වනවිට බටහිර සංස්කෘතිය වැලඳගෙන සිටින ප්‍රතිශතයට සමානුපාතික යැයි මම සිතමි. එය එසේ නම් සිංහලුන්ගේ සංස්කෘතිය ඝාතීයව (exponentially) වෙනස් වෙමින් පවතියි. 

සංස්කෘතිය වෙනස් වන වේගය වැඩි වෙන විට තව වැදගත් වෙනසක් සිදුවෙයි. ඒ පරම්පරා දෙකක් අතර සංස්කෘතික පරතරය වැඩි වීමය. පරම්පරා පරතරයක් හැමදාම තිබෙන්නට ඇත. එහි විවාදයක් නැත. නමුත් අද වනවිට දරු-මව්පිය පරතරය අප සමාජයට දරාගත නොහැකි තරම් වැඩිවී ඇතැයි මට හැඟේ. 

මා කථා කරන්නේ අවුරුදු තිස්පහත් පනස්පහත් අතර වෙන දෙමව්පියන් සහ ඔවුන්ගේ දරුවන් ගැනය. විශේෂයෙන්ම මෙරට නගරබදව වෙසෙන මධ්‍යම පංතියට වැටෙන මිනිසුන් ගැනය. මේ දරු-මව්පිය පරම්පරා දෙක අතර සංස්කෘතික පරතරය ඒ දෙමව්පියනුත් අද ජීවීතයේ සැඳෑ සමය ගෙවමින් සිටින ඔවුන්ගේ දෙමව්පියනුත් අතරවූ පරතරයට වඩා වැඩි යැයි අවිවාදයෙන් පිලිගැනෙනු ඇතැයි සිතමි. 

පුද්ගලයා සමාජයෙන් වෙන් කෙරීම බටහිර සංස්කෘතියේ විශේෂ ලක්‍ෂණයකි. බටහිර බලපෑම මත සංස්කෘතික වශයෙන් වෙනස් වීමත් සමඟම සිංහල සමාජයේ සිදුවූ මූලික වෙනස ක්‍රමයෙන් පුද්ගලයා සමාජයෙන් වෙන්වීමය. සංස්කෘතිය වෙනස්වීමේ වේගය වැඩි වන විට වෙන් කිරීම නිසා ඇති වන බලපෑමද සමාජයට දරාගත නොහැකි තරම් වැඩි විය හැකිය. අද අපි එහි සුවිශේෂ හැරවුම් ලක්‍ෂයකට පැමින සිටින්නෙමු.

අතීතයේද දෙමව්පියන් සහ දරුවන් අතර සංස්කෘතික පරතරයක් තිබුනද සාපේක්‍ෂ වශයෙන් ගත් විට ඒ දෙපක්‍ෂයම අන්‍යෝන්‍ය වශයෙන් එකිනෙකාටත් සමාජයටත් බැඳී සිටියහ. නමුත් අද දරුවෝ හැදෙන්නේ සාපේක්‍ෂ වශයෙන් සමාජයෙන් වෙන්වීය. එහෙත් මේ දරුවන්ගේ දෙමව්පියෝ හැදුනේ සාපේක්‍ෂ වශයෙන් සමාජයත් සමඟ බැඳෙමින්ය. මේ බැඳී සිටීම සහ වෙන්වී සිටීම අද අවුරුදු තිස්පහත් පනස්පහත් අතර වෙන දෙමව්පියන් සහ ඔවුන්ගේ දරුවන් අතර ඇති පරතරයට සුවිශේෂත්වයක් ලබාදේයැයි මම සිතමි. මේ සංස්කෘතික නොගැලපීම හුදෙක් බටහිර විලාසිතා අනුකරණය කිරීමෙන් ඇති කෙරෙන පරම්පරා පරතරයට වඩා ගැඹුරුය. එය ගැටුම්කාරී විය හැකිය. 

මීට වසර විසි පහකට තිහකට පමණ පෙර දරුවන් සිය දිවි හානි කර ගන්නවා අසා තිබුනේ නැත. නමුත් අද එය එතරම් දුර්ලභ සිද්ධියක් නොවේ. දරුවන් කිහිප දෙනෙකු හෝ එවැනි මානසික පීඩාකාරී තත්වයකට පැමිණ සිටී නම් සිය දිවි හානි කර නොගන්නා නමුත් ඒ ආසන්නයටම පැමිණි තව කොපමණ දෙනෙකු ඇත්දැයි සිතා ගත හැකිය. 

දරුවන් පත්වී ඇති මේ තත්වයට විවිධ හේතු තිබිය හැකිය. නමුත් දරුවන් ජීවත්වන්නේ දෙමව්පියන් සෙවනේය. පරම්පරා පරතරය වැදගත් වන්නේ මේ සන්දර්භය තුලය. එහිදී දරුවන් සාපේක්‍ෂ වශයෙන් සමාජයෙන් වෙන්ව පුද්ගලිකත්වය ඉස්මතු කරගෙන කටයුතු කිරීමත් දෙමව්පියන් පොදුවේ සමාජය සමඟ බැඳී සිටීමත් නිසා ඇතිවෙන නොගැලපීම ඊට විශාල වශයෙන් දායක වනු ඇතැයි සිතේ. මේ නොගැලපීම හේතුවෙන් දෙමව්පියන් ලබා දෙන සෙනෙහස දරුවන්ට අත්විඳීමට නොහැකිවනවා විය හැකිද?

නාගරිකව ජීවත්වෙන උගත් මධ්‍යම පංතික අවුරුදු තිස්පහත් පනස්පහත් අතර දෙමව්පියන් මේ විශේෂ පරම්පරා පරතරය හඳුනාගෙන සිටියද ඔවුන්ට ඒ සඳහා පිළිතුරක් ඇත්දැයි සැක සහිතය. පැහැදිලිවම දෙමව්පියන්ට  තනියෙන් කල හැකි දෙයක් නැත. බොහෝවිට වර්තමාන දරුවන් දෙමව්පියන් බවට පත්වන විට ඔවුන්ට එවැනි අර්බුදයක් මතු නොවනු ඇත මන්ද ඒ වනවිට දරුවන්ද දෙමව්පියන්ද සමාජයෙන් වෙන්ව පුද්ගලිකත්වය ඉස්මතු කරගෙන කටයුතු කිරීමට හුරුපුරුදු වී සිටිය හැකි බැවිනි. 

Tuesday, June 2, 2015

බටහිර සංස්කෘතියට පිළිතුර යක්‍ෂ සංස්කෘතියද?

සිංහල බෞද්ධ සංස්කෘතියේ පිහිටෙන් සිංහලයෝ වසර දෙදහස් ගණනකට ආසන්න කාලයක් මෙරට බුද දහම රැක ගනිමින් සිංහල බෞද්ධ රාජ්‍යයක් පවත්වාගෙන ආහ. අදටත් අපි පොසොන් පොහොය මිහිඳු රහතන් වහන්සේ බුදු දහම මෙරටට ගෙන ආ දින ලෙස සැමරීමෙන් පිළිබිඹු වන්නේ සිංහල බෞද්ධ රාජ්‍යයේ වසර දෙදහස් ගණනක පැවැත්මය. එමෙන්ම පොසොන් උත්සවය පිළිබිඹු කරන්නේ ඒ කාලාන්තරය තුල සිංහල බෞද්ධ සංස්කෘතියේ ගලා යාමය.

නමුත් යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතිය ඉදිරියේ අපි පසු බසිමින් සිටින්නෙමු. අද අප සමත් වී සිටින්නේ බටහිර සංස්කෘතිය මුළුමනින් අනුකරණය කිරීමට මිස එය සිංහල බෞද්ධ සංස්කෘතියට අවශෝෂණය කර ගැනීමට නොවේ. සංස්කෘතියක් යනු අවසානයේ ගත් කල දැනුම් පද්ධතියකි. බටහිර දැනුමේ වියුක්ත බවක් ඇත එය සිංහල බෞද්ධ සංස්කෘතියට නුහුරුය. නමුත් දැනුම අවශෝෂණය කර ගැනීමට මූලික වශයෙන් නිර්මාණශීලී බවක් තිබිය යුතුය. සිංහල බෞද්ධ සංස්කෘතියේ නිර්මාණශීලී බවෙහි පසුබෑමක් ඇතැයි මම සිතමි. එසේත් නැත්නම් නිර්මාණශීලී බව යට ගසන බවක් ඇතැයි මම සිතමි.

සිංහල බෞද්ධ සංස්කෘතිය බවට පෙරලුනේ හෙළ සංස්කෘතියය. මිහිදු හිමි මෙහි වැඩම කිරීමට පෙරද මෙරට බුද දහමක් පැලපදියම් වි තිබුනු බවට දැන් සාක්‍ෂි ඇත. හෙළ සංස්කෘතිය යක්‍ෂයින්ගේ සංස්කෘතිය ලෙසද සැලකිය හැකිය. නමුත් හෙළ සංස්කෘතිය බිඳ වැටී ක්‍රමයෙන් සිංහල බෞද්ධ සංස්කෘතිය මුල් බැස ගන්නවාත් සමඟම යක්‍ෂ සංස්කෘතියේ දායකත්වය හීන වී ගියේය.

යක්‍ෂ සංස්කෘතිය නිතැතින්ම සිංහල බෞද්ධ සංස්කෘතියට වඩා නිර්මාණශීලි වුවා විය හැකිය. මහා විහාරයේ හෙළ අටුවා වලට ගිනි තැබීම නිර්මාණශීලීබව යට ගැසීමට තැත් කල සංස්කෘතියක් විසින් නිර්මාණශීලී සංස්කෘතියක් පරාජය කිරීම ලෙස දැකිය හැකිය.

එසේ නමුත් යක්‍ෂ සංස්කෘතිය තවමත් අළුයට ගිනි මෙන් මෙරට සමාජය තුල ඇතැයි සිතීමට මම කැමතිය. විශ්ව විද්‍යාල නොගිය ගම්වල තරුණ තරුණියෝ කලින් කලට තාක්‍ෂණික හපන් කම් පෙන්නුම් කරන්නේ ඒ නිසා විය හැකිය. යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතිය මෙරට තුල මෙල්ල කල හැක්කේ සිංහල බෞද්ධ සංස්කෘතියට වඩා යක්‍ෂ සංස්කෘතියකටය. නිර්මාණශීලත්වයකින් හෙබි යක්‍ෂ සංස්කෘතියකට බටහිර දැනුම අවශෝෂණය කරගත හැකි වනු ඇත.