Monday, May 18, 2015

කොටි පැරදුවේ ත්‍රස්තවිරෝධී දේශපාලනය නොවේ

කොටි ත්‍රස්තවාදය පරාජය කිරීම පිළිබඳව අසතුටු වෙන කෙනෙකු දේශපාලනයේ අද වෙනවිට සොයාගත නොහැකිය. 2009ට පෙර නම් කොටින්ගේ පරාජයක් නොපැතු විකල්ප දේශපාලන ක්‍රියාකාරකයින් කොතෙකුත් මෙරට සිටියහ. අද ඔවුන් වෙනත් දේශපාලන මතවාද වලට තල්ලුවී කොටි ත්‍රස්තවාදය පරාජය කිරීම හොඳායි යැයි පවසති. එසේ නොකියා දැන් බැරිය. යම් හෙයකින් කොටි පරාජය කිරීමට නොහැකිවී දෙමළ ජාතිවාදීන් විසින් වෙනම රාජ්‍යයක් පිහිටුවා ගත්තේ නම් ඉහත කී දේශපාලන ක්‍රියාකාරකයින් අද සිටිනු ඇත්තේ කොටින් එදා ගෙනගිය ත්‍රස්තවාදය අනුමත කරන දේශපාලන මතවාදයකය. නමුත් අද සියල්ලෝම පාහේ කොටි ත්‍රස්තවාදය පිටුදකිති. ප්‍රභාකරන් බේරා ගැනීමට සැරසුනු බටහිර ආණ්ඩුද තමන් කොටි ත්‍රස්තවාදය පිටුදකින්නේ යැයි කියයි. බටහිරුන් එසේ කියද්දී කොටි ත්‍රස්තවාදය හොඳා යැයි කීමට මෙරට කිසි දේශපාලන ක්‍රියාකාරිකයෙකුට ඉඩක් නැත.

කොටි ත්‍රස්තවාදය පිටුදකිනවුන් අතර කොටි පරදා ලබාගත් නිදහස විජයග්‍රහණයක් ලෙස සැමරීමට විරුද්ධ වන දේශපාලන ක්‍රියාකාරකයින්ද වෙති. මැයි 18දා විජයග්‍රහන දිනයක් ලෙස සැමරුවේ නැතිවුනද ඔවුහු ත්‍රස්තවාදය පිටුදකිති. ඒ ඔවුන් පොදුවේ ත්‍රස්තවාදය පිටුදකින නිසාය (ත්‍රස්තවාදය හොඳ නෑනෙ ත්‍රස්තවාදය හොඳ වෙන්නෙ කොහොමද). ඒ නිසා අපි ඔවුන්ගේ දේශපාලනය ත්‍රස්තවිරෝධී දේශපාලනය ලෙස හඳුන්වමු. නමුත් මැයි 18 විජයග්‍රහණ දිනයක් ලෙස සැමරිය යුතු යැයි කියන පිරිසක්ද වෙති. ඔවුහුද කොටි ත්‍රස්තවාදය පිටුදකිති. ඔවුන්ගේ දේශපාලනය ජාතිකත්වයයි. මම අසන ප්‍රශ්ණය මෙයයි. කොටි ත්‍රස්තවාදය පරාජය කිරීමට හේතුවුනු එහි පිටුපස තිබුනු දේශපාලනය ත්‍රස්තවිරෝධී දේශපාලනයද ජාතිකත්ව දේශපාලනයද?

පැහැදිලිවම කොටි ත්‍රස්තවාදය පරාජය කිරීම පිටුපස තිබුනු දේශපාලනය ජාතිකත්ව දේශපාලනයයි. එය හුදෙක් ත්‍රස්තවිරෝධී දේශපාලනයක් වී නම් අදත් තැන තැන කොටි බෝම්බ පිිපිරවෙනු ඇත. ඊනියා මයිම් ගම් වල සිංහලුන් කැලෑවේ රැය පහන් කරනු ඇත. ආණ්ඩුවේ පිරිසක් නොර්වේ හෝ වෙනයම් රටක කොටි සමඟ සාකච්ඡා පවත්වනු ඇත.

ත්‍රස්තවිරෝධී දේශපාලනයට කොටි ත්‍රස්තවාදය පැරදවිය නොහැක්කේ ඇයි? මුලින්ම ඒ දේශපාලනය ලොවේ ඕනෑම රටකට පොදුයැයි සැලකෙන ත්‍රස්තවාදයකියන් කොටි ත්‍රස්තවාදය වෙන්කර හඳුනාගන්නේ නැති බැවිනි. දෙවනුව කොටි ත්‍රස්තවාදයට මුල්වූ දෙමල ජාතිවාදය ඔවුන් හඳුනාගන්නේ නැති බැවිනි. මෙරට සිංහල බෞද්ධ සංස්කෘතියට හිමිවිය යුතු සුවිශේෂ තැන අහිමි කිරීම දෙමළ ජාතිවාදයේ අරමුණයි. නැගෙනහිර සහ උතුරු පළාත් දෙමළ නිජබිම්  (දෙමළ ජාතියට පමණක් උරුම යන අර්ථයෙන්) ලෙස සැලකීම එහි ක්‍රමවේදයයි. මේ දෙමළ ජාතිවාදය හඳුනා නොගෙන  ඊට පිළිතුරු නොදී හුදෙක් ත්‍රස්තවාදය යුධ බලයෙන් පරාජය කිරීමට ගියේ නම් අදත් මේ රට ලේ විලකි.

90 දශකයේ සිට චන්ද්‍රිකා සහ රනිල් සුදු නෙලුම් තවලම් බැඳගෙන කලේ හුදෙක් ත්‍රස්තවිරෝධී දේශපාලනයකි. එය සාර්ථක වුනේ නැති බව කවුරුත් දනිති. තවමත් පැවතියේ නම් රනිල්ටවත් චන්ද්‍රිකාටවත් මේ කපේ දීවත් කොටි ත්‍රස්තවාදය පරාජය කිරීමට නොහැකිය. එලෙසම මැයි 18දා විජයග්‍රහන දිනයක් ලෙස සැමරීම පිටු දකින දේශපාලනයටද මොනවා කීවත් කොටි ත්‍රස්තවාදය නම් පරාජය කල නොහැකිය.

කොටි ත්‍රස්තවාදය පරාජය කෙරුනේ දේශපාලනික වශයෙන් ඒ පිටුපසවූ දෙමළ ජාතිවාදය නිවැරදිව හඳුනාගැනැනු නිසාය. දෙමළ ජාතිවාදය හරහා තමන්ගේ නිදහස අහිමි වෙන බව සිංහලුන් දැනගත්හ. ඒ හරහා කොටි ත්‍රස්තවාදයට එරෙහි හමුදා මෙහෙයම් සාධාරණය කෙරිනි. ඒ නිසා තරුණයෝ යුධ හමුදාවට බැඳුනහ. සටනේ දිවිදුන් සෙබළුන් ජාතිය විසින් වීරයන් බවට පත් කෙරිනි. කොටි ත්‍රස්තවාදය නිදහස් සටනක් ලෙස සිංහලුන් නොදූටුවේ නම් කෙරුනු ආකාරයට සාර්ථකව දිනනතාක් හමුදා මෙහෙයම් කිරීමට ශක්තියක් ජාතියට හිමි නොවෙනු ඇත.

සිංහලුන්ගේ නිදහස් සටන නිදහස් සටනක්ම මිස ආක්‍රමණකාරී සටනක්වත් ජාතිවාදී සටනක්වත් නොවිනි. කොටින් මිනිස් පලිහක් නිර්මාණය කර සිටිද්දී තම ජීවිත පුදමින් මානූශීය මෙහෙයුමක් කිරීමට අප හමුදාවන්ට හැකිවූනේ ඔවුන් එය ජාතිවාදී සටනක් හෝ ආක්‍රමණකාරී සටනක් ලෙස නොදුටු නිසාය. පොදුවේ මෙරට සාමාන්‍ය සිංහලුන්ටද තිබුනේ එවැනි හැඟීමක් බව සැඟවීමට ඉඩ නොදිය යුතුය. ඒ නිසා රණ විරුවන්ගේ සටනට සහ එහි පිටුපස වූ ජාතිකත්ව දේශපාලනයට අමුතුවෙන් මානුශීය බවක් කැවීමට අවශ්‍ය නැත. එය ස්වභාවයෙන්ම දෙමළ ජාතියට එරෙහිවූ එකක් නොව සිංහලුන්ගේ නිදහස සඳහාවූ එකකි.

18 දා විජයග්‍රහණ දිනයක් ලෙස සැලකීමට විරුද්ධවන ඊනියා විකල්ප දේශපාලන ක්‍රියාකාරීන් උත්සාහ දරන්නේ කොටි ත්‍රස්තවාදය පරාජය පිටුපසවූ දේශපාලනය මානුශීය නොවූවත් තමන් මානුශීය බව පෙන්වීමටය. මොවුන් මානුශීය නොවෙනවා පමණක් නොවේ ඔවුන් ත්‍රස්තවිරෝධී යැයි කීවත් අදටත් පැවතියේ නම් ඔවුන්ට කොටි ත්‍රස්තවාදය පරාජය කිරීමටද නොහැකිය.

3 comments:

  1. හරියටම හරි

    ReplyDelete
  2. මේකනේ වැඩේ . අපේ රටේ වැඩිපුරම ඉන්නේ කුහකයෝ. උන් ආසා නෑ වර්ණනා කලයුතු තැන වර්ණනා කරන්න. උන්ට ඕන එතනත් දේසපාලනය ගාවගන්න. උන්ට මතක නෑ උන් වලිගේ පුකේ ගහගෙන, ගෙදර එන්නේ කොයි වේලාවේද කිය කියා සිතපු හැටි. මරදානේ කොටි ගහනවා කියා මිනිස්සු දුවපු හැටි මට තවම මතකයි. වෙලාව උදේ 11 ට පමණ ඇති. හිතා ගන්න කොහොම සෙනගක්ද ඒ වෙලාවට. එතන මිනිස්සු සැහෙන්න තුවාල උනා දුවන්නන් වාලේ දුවල. ගහපු කොටියෙක් නැහැ. බොරු ආරංචියක් . මමත් බේරුනේ 99 යෙන්. මේ හැතිකරයට උගන්වන්න ඕන ජාතිකත්වය කියන්නේ කුමක්ද කියනවග. කොහේ උගන්වන්නද . පන්සලේ (සම හරක්) එකා දන්නෙත් නැනේ. අනිත් දේ අපේ පාවාදීපු "gene" එක තවම වැඩ.

    ReplyDelete
  3. සිංහලුන්ගේ නිදහස් සටන නිදහස් සටනක්ම මිස ආක්‍රමණකාරී සටනක්වත් ජාතිවාදී සටනක්වත් නොවිනි. කොටින් මිනිස් පලිහක් නිර්මාණය කර සිටිද්දී තම ජීවිත පුදමින් මානූශීය මෙහෙයුමක් කිරීමට අප හමුදාවන්ට හැකිවූනේ ඔවුන් එය ජාතිවාදී සටනක් හෝ ආක්‍රමණකාරී සටනක් ලෙස නොදුටු නිසාය. පොදුවේ මෙරට සාමාන්‍ය සිංහලුන්ටද තිබුනේ එවැනි හැඟීමක් බව සැඟවීමට ඉඩ නොදිය යුතුය. ඒ නිසා රණ විරුවන්ගේ සටනට සහ එහි පිටුපස වූ ජාතිකත්ව දේශපාලනයට අමුතුවෙන් මානුශීය බවක් කැවීමට අවශ්‍ය නැත. එය ස්වභාවයෙන්ම දෙමළ ජාතියට එරෙහිවූ එකක් නොව සිංහලුන්ගේ නිදහස සඳහාවූ එකකි. +++++++++++++++++

    ReplyDelete