Sunday, May 3, 2015

වෙසක් සිරි

වසර ගණනාවකට පසු පවුලත් සමඟ කොළඹ වෙසක් සිරි නැරඹීමට ගියෙමි. දැන් වෙසක් සරුය. පෙරට වඩා අලංකාරය ක්‍රමවත්ය බලන්ට එන මිනිස්සු කන්දරාවද වැඩිය.  ලයිට් බකට් කූඩු කොඩි දන්සැල් තොරණ් බැලූ බැලූ අතය. අසිරිමත්ය. එහෙත් වෙසක් සමයේ දැන් මෙන් තොරණ් නොතිබුනු අද මෙන් මිනිස්සු එලියට බැස්සේ නැති කාලයක් මෙරට තිබිනි. ඒ මරණය බිය නිසාය. එකල මිනිස්සු ගැවසෙන තැන් වල කොටි බෝම්බ පත්තු කලහ. ඒ මරණ බිය නම් නැති කලේ රනිල් වික්‍රමසිංහ නොවේ. ඔහුටත් පොදුවේ එජාපයටවත් මෙරට මිනිසුන්ගේ මරණ බිය නැති කිරීමට හැකියාවක් වත් උවමණාවක්වත් නොතිබුනු බව මතක් කර දිය යුතුය. ඉදිරියේදීද එය එසේම වනු ඇත.

පුද්ගලිකව මම මේ අවුරුදු සමයේත් වෙසක් සමයේත් අපමණ වින්ඳනයක් ලබමින් සිටිමි. ඒ මා අවට පරිසරයත් මගේ ක්‍රියාකාරකමුත් අතර ඇති ගැලපීම නිසාය. ඇමෙරිකාවේ සීත සෘතුවේ අවට පරිසරයේ හිම වටී ඇති සීතල දිනක වාහනයේ ගමන් කර අතර අමරදේවගේ සිංදුවකට සවන් දෙනවිට යම් කාලකන්නි කමක් සිතට දැනිනි. මගේ සිතුවිලිත් අවට පරිසරයත් අතර තිබුනු නොගැලපීම ඊට හේතුවන්නට ඇත. ඇමෙරිකාවේ වාසය කරද්දී අවුරුදු සමයේත් වෙසක් සමයේත් ක්‍රිකට් ලෝක කූසලාන තරඟ සමයේත් ඒ නොගැලපීම යම් යම් ප්‍රමාණයකට දැනිනි. යම් තොරාගත් සංඛ්‍යාතවල ශබ්ද තරංග එකට නාද වෙනවිට කණට මිහිරිය (හාමොනයිස්ඩ්).


මා අතිශයෙන් ප්‍රිය කරන සිංදු කුලකයක් ඇත්නම් ඒ භක්ති ගීතය. එකල ගුවන් විදුලියේ සරල සංගීත ශිල්පීන් සියල්ලන්ම තමන්ගේ ගීත එකතුවට භක්ති ගී ඇතුලත් කර ගැනීමට වග බලා ගත්හ. මා රසිකයෙක් මිසක් සාහිත්‍ය හෝ සංගීත විචාරකයෙක් වීමට සුදුසු කමක් ඇත්තෙක් නොවන නිසා භක්ති ගී පිළිබඳව සිතට එන සියල්ල කීමට මැලි වෙමි. නමුත් බෝසතුන් නෙරන්ජනා නදිය තරණය කිරීම කෙලෙස් නේරංජාව.. තරණය… කලේ අප මහ බෝසතා …ලෙස ගැයෙන විට සිතට දැනෙන්න විස්තර කල නොහැක්කේ මගේ භාෂාවේ දුර්වල කම නිසා බව නොකියා බැරිය.


අර අවුරුදු වලට වෙස් ගැන්වුනු සුපිරි වෙලඳසැල් වෙසක් සැමරුවේ කෙලෙසදැයි දැන ගැනීමට නොහැකිවිනි. නමුත් දවස පුරා රූපවාහිණි නාලිකාවලත් ගුවන් විදුලියේත් භක්ති ගී අසන්නට ලැබීම ගැන සතුටු වෙමි. භක්ති ගී ශාන්ත සුන්දර පරිසරයක් නිර්මාණය කරන බව මගේ හැඟීමය. නමුත් රෑ දෙගොඩ හරිය වෙනතෙක් ශබ්ද විකාශණ යන්ත්‍රයකින් අපේ නිවස අසලවූ දන්සැලේ භක්ති ගී වැයීම මට එතරම්ම අවුලක් නොවුනද අන් අයටද එසේම වීයැයි කිව නොහැකිය.


ඊයේ එනම් වෙසක් දින රාත්‍රියේ වෙනදාටත් වඩා පාරේ වාහන වැඩිය. කොළඹ ගංගාරාම විහාරය අසන්නයේ වාහන තදබදය තවත් වැඩිය. නමුත් එය හිතු තරම් වදයක් නොවිනි. වෙසක්දා එය එසේ නොවීම වැදගත්ය. කාර් පැදීම තවමත් අපට නුහුරු බටහිර සංස්කෘතික චර්යාවකි. මහ මඟ වාහන ධාවනය සඳහා යම් පිළිවෙලක් (ඕඩර්) තිබිය යුතුය. බටහිර සංස්කෘතිය තුල ඒ ඕඩරය නිර්මාණය වෙන්නේ එකිනෙකාගේ පුද්ගලික (වාහනයද ඇතුලුව) අවකාශයට ගරු කිරීම පදනම් කරගෙනය. නමුත් ඕඩරයක් ඇති කල හැකි එකම ක්‍රමය එය නොවේ. අනුන්ගේ පුද්ගලික අවකාශ ඉවසා වැදෑරීම තුලද ඕඩරයක් නිර්මාණය කල හැකිය. වෙසක්දා වාහන තද බදය වදයක් නොවුනේ කවුරු කවුරුත් අනුන්ගේ පුද්ගලික අවකාශ තමන්ගේ අවකාශ මත පතිතවීම ඉවසා සිටි නිසා විය හැකිය. එය එසේ නම් කාර් පැදීම අපේ සංස්කෘතියට අවශෝෂණය කල යුත්තේ ඒ ආකාරයට මිස පුද්ගල අයිතීන් ඉලිප්පීම පදනම් කරගෙන නොවේ.


තොරණ් මඟින් කියාදෙන්නේ ජාතක කථාය. නමුත් අද දවසේ තොරණ කාර්යක්‍ෂම අධ්‍යාපන මෙවලමක්දැයි සැක සහිතය. මා පුද්ගලිකව තොරණක් ආශ්‍රයෙන් ජාතක කථාවක් ඉගෙනගෙන නැත. බොහෝවිට මා ඇදී යන්නේ එහි චිත්‍ර කලාවටය. නමුත් නිර්මාණශීලී බව කප්පාදු නොකොට වෙසක් සමයේ ජාතක කථා මීටත් වඩා හොඳින් ඉගැන්වීමට ක්‍රමයක් ඇත්නම් හොඳය. කිව යුත්තේ වඩාත් වැදගත් වන්නේ ජාතක කථාව බවය.


ජාතක කථා ගැන කථා කරනවිට සේරි වාණීජ සහ කච්ඡපුට යන දෙදනා අමතක කල නොහැකිය. එකෙක් කපටියෙකි අනිකා බෝසතෙකි. නූතන දේශපාලණයේද මෙවැනි ප්‍රතිවිරුද්ධ චාරයන් ඇති දේශපාලන චරිත හමුවේ. ජනාධිපතිකම ලැබූදා හිටං මෛත්‍රීපාල සිරිසේන මහතාගේ කථාවලට සවන්දුනහොත් එහි ඇත්තේ එකම තේමාවක් බව කාට වුනත් වැටහෙනු ඇත. ඒ තේමාව තමා ගැනය. මම කෙතරම් දුක් වින්ඳේද, මට මේ ලැබුනු පදවිය, මම කෙතරම් පරිත්‍යාගශීලීද ආදී වශයෙන් මෛත්‍රීපාල සිරිසේන නිතර කථාකරන්නේ තමා ගැනය. විශේෂයෙන් මෙරට දේශපාලකයින් ගේ චාරය එය නොවේ. කෙසේ වෙතත් හෙතෙම තමන්ගේ ගොඩ වැඩි කරගනිමින් සිටියි. අනිත් අතට දිනේශ් ගුණවර්ධන මහතා තමන් ගැන නොව පොදු ජාතික ව්‍යාපාරය වෙනුවෙන් තනිව සටනක් කරමින් සිටියි. විමල් සහ ගම්මන්පිලට තිබිය හැකි (තිබිය යුතු) පුද්ගලික දේශපාලන අරමුණු පවා දිනේශ් ගුණවර්ධන මහතාට ඇතැයි සිතිය නොහැකිය. ඒ නිසා ඔහු නූතන කච්චපුටයකු යැයි කිව හැකිය. මේ වෙසක් සමයේ මෙරට සංස්කෘතියට ගරු කරන්නන්ගේ ආශිර්වාදය ඔහුට හිමි වෙනවා ඇති

14 comments:

  1. වෙසක් එකට මුවා වෙලා තම දේශපාලන අදහස් වැපිරීම මහත් පවකි. අරක තියෙද්දී අරකෙන් කෙලින්න යාම නපුන්සක කමකි. මේ ආවඩන්නේ කාටද කියා දන්නෝ දනිති. නමුත් යථාර්ථය වන්නේ එයා දැන් දේශපාලන වශයෙන් මැරිලා කියන එකයි. නාඬා ඉන්න. තවත් හොඳ නායකයන් අනාගතයේදී එනවා.

    ReplyDelete
    Replies
    1. මේව මතක් කරල දෙනකොට ඇඬෙන්නේ ඔබට නේද?

      Delete
    2. බේදුම්වාදයට විරුද්දවීම කියන්නේ දෑන් මහින්දලාගේ ජාවාරම් කල්ලියේ හෙලුව වහන පිරුවටය අනිත් පෑත්තෙන් මෝඩ චන්දදායකයන් ඈදගෑනීමේ උපක්‍රමය.ඵච්චරයි.

      ඔනම තක්කඩියෙකුගේ අවසාන නෑවතුම්පොල ජාතියයි ආගමයි නේ.
      දෑන් අපේ තක්කඩි ටික ඔක්කොම ඵතන.

      Delete
    3. මෝඩ චන්ද දායකයින් ඈදෑගැනීමේ උපක්‍රමය ඒක නෙවෙයිනෙ. මෝඩ චන්ද දායකයින් ඈදෑගැනීමේ උපක්‍රමය අලි මංකඩ යනවා කියල පාමංකඩ යන එක. බඩුමිල අඩු කරනවා කියල කොත්තමල්ලි මිල අඩු කිරීම, ලැම්බෝගිනි හොරු පෙන්නලා ඇත්ත හොරුන්ට ඇමති පට්ටම් දීිම.

      Delete
    4. Chamara TharangaMay 4, 2015 at 1:43 PM

      සමහර අපතයන්ට මෙරට 2009 ට කලින් තිබුන ආකාරය මතක නැතිවා නොව කුපාඩිකම නිසා සගවයි. මහින්ද ඇතුළු කල්ලිය ජාවාරමුන් නම් රනිල්ගේ කල්ලියට කුමක් කිව යුතුද ? 83 දෙමළුන් පණ පිටින් පුළුස්සා දැමුවේත්, 88/89 සිංහල මිණී හන්දියක් ගානේ ටයර් උඩ පිලිස්සුවේත්, 700 පොලිස් භටයන් කොටින්ට බිලි දුන්නේත්, ගිවිසුම් ගසා උතුර කොටින්ට දී , මුර කපොලු ඇර රට පුරා බෝම්බ හා ඝාතකයන් ස්ථානගත කලේත්, දුගු දුර මෙහෙයුම් බලකාය සමුල ඝාතනයට පහසුකම් සැලසුවේත්, යුද්දයට අකුල් හෙළුවේත් ඔය යහපාලන නඩයේ සිටින රනිල් ප්‍රමුඛ කල්ලියයයි.

      මහින්ද දේශපාලනිකව මැරිල කියන අමනයන්ට මතක් කර දිය යුතුව ඇති දෙයනම් ඒ ලෙසින් බැලුවිට රනිල් මීට අවුරුදු 25කට කලින් දේශපාලනිකව මියගිය අයෙකු බවයි.

      දේශපාලනය බිහිවන්නේම ජාතිය ආගම පදනම් වු හේතුමත මිස වෙනකිසිවක් මත නෙමෙයි. මේකට විරුද්ධ අදහස් තියන සමාජවාදීන්ට කියන්න තියෙන්නෙ ලෙනින්ගේ සෝවියට් දේශයේ ජීවත් උන මධ්‍යම ආසියානු ගෝත්‍රික ජනයාට මොකද කලේ කියල සොයා බැලීමයි

      Delete
  2. ඕඩරයක් යන වචනය වෙනුවට පිළිවෙල යන්නම පාවිච්චි කළ නම් හොඳයි කියා සිතුණි. නිසි පිළිවෙල යන්න වඩාත් හොඳයි.

    ReplyDelete
    Replies
    1. වෙන්න පුළුවන් මට මෙහි උවමණා වුනේ බටහිර විද්‍යාවේ එන order / chaos සංකල්ප මේ කථාවට එහි එන අර්ථයෙන් සම්බන්ධ කිරීමටයි.

      Delete
  3. මහින්දව මට පෙනෙන්නේ දේවදත්තයෙක් හෝ අජාසත්තයෙක් හෝ යැයි මා කීවොත් ඔබ කියන්නේ කුමක්ද?

    මට නම් මහින්ද සහ මෛත්‍රීපාල ගැන කියවෙන විට සිහිවෙන්නේ අර වටු කුරුළු කතාවයි. මහින්ද එහි මස් වැද්දාය. මෛත්‍රීපාල යනු දැළ රැගෙන ඉගිල යාමට ජනතාව නම් වටු කුරුළු රැණ පොළඹවා ගත් කුරුළු නායකයා ය!

    ReplyDelete
    Replies
    1. මෛත්‍රීපාල පොදු අපේක්‍ෂක වශයෙන් තෝරාගත්තේ රනිල්ට ඡන්ද දිනන්න බැරි නිසා පමණයි. මහින්ද මෛත්‍රීපාලට අගමැතිකමක් දී තිබුණි නම් ඔහු අදටත් මහින්දගේ වන්දිභට්ටයෙකි.

      Delete
    2. මහින්ද වැනි මස් වැද්දෙකුට අහු නොවීමට තරම් බුද්ධිමත් වටු කුරුල්ලෙකුවීමම තමා මෛත්‍රීගේ ඇති අපූර්වත්වය.

      දැන් මහින්ද දේශපාලන වශයෙන් මියයමින් සිටින්නේ තවත් වටු කුරුල්ලන් අල්ලගන්න බැරි නිසා.

      Delete
    3. මෛත්‍රීපාල සිරිසේන ඔය කථාවේ වටු කුරුල්ලෙකු වුනා නම් ඔහු කරන්නේ මස් වැද්දාත් සමඟ ඩීල් එකක් දා තමන් බේරී අනිත් වටු කුරුල්ලන් ටික වැද්දාගේ උගුලට හසු කරදීමයි.

      Delete
  4. සාදු සාදු සාදු............................

    ඊළග පාර දිනේෂ් ගුණවර්ධන අගමැති කරමු.. ඒතකොට දිනේෂ් කඩේ යන අර තමන් ගැන වචනයක්වත් කතා කරන්නැති ජනතාවාදී හිටපු ලොක්කාට කාගේ සරණක්ද??? ඒයා සේරිවාණිජද?????

    ReplyDelete
    Replies
    1. නෑ මෙතන සේරි වාණිජ මෛත්‍රීපාල සිරිසේන මහතායි.

      Delete
  5. 'මහ මඟ වාහන ධාවනය සඳහා යම් පිළිවෙලක් (ඕඩර්) තිබිය යුතුය. බටහිර සංස්කෘතිය තුල ඒ ඕඩරය නිර්මාණය වෙන්නේ එකිනෙකාගේ පුද්ගලික (වාහනයද ඇතුලුව) අවකාශයට ගරු කිරීම පදනම් කරගෙනය. නමුත් ඕඩරයක් ඇති කල හැකි එකම ක්‍රමය එය නොවේ. අනුන්ගේ පුද්ගලික අවකාශ ඉවසා වැදෑරීම තුලද ඕඩරයක් නිර්මාණය කල හැකිය'
    බටහිර රටවල අනුන්ගේ පුද්ගලික අවකාශය ඉවසා වැදෑරීම ඉතාම හීනය. තමන්ගේ අවකාශයට කඩා වදින හෝ පුද්ගල අවකාශයට ගරු කිරීම බිඳෙන තැන්වලදී බටහිරයන් හෝන් ගහන්නෙ ස්ටියරින් වීල් එක උඩ නැගගෙනය. ඒක අනතුරක් වලකා ගැනීමට වඩා 'උඹ ඕඩර් එක අච්චාරු කරනව' හෝ අපි වැඩ රාජකාරි අධික වැදගත් මිනිස්සු' කියල පෙන්වීම විය හැකිය. බටහිර රටවල අනෙකාගේ පුද්ගලික අවකාශයට ඇතුල්වීම ඉතාමත් අනතුරුදායකය.
    අපේ මිනිස්සු තවත් කෙනෙකු දෙස ඇසිපිය නොහෙලා බලා සිටීමට මැලි නොවේ. නිරීක්ෂනයට හසුවන්නාට තරහ ගියොත් ඔහු 'ඇයි යකෝ මගේ මූනෙ පෙරහැරක් යනවද' වගේ දෙයක් කීවත් එය එතනින් නිම වෙයි. නමුත් බටහිරදී නිරීක්ෂකයා මානසික රෝගියෙකු ලෙස සමාජයෙන් කොන් කිරීම පවා සිදුවේ. ලංකාවේ ඉතාමත් පොෂ් අය පවා තවමත් බටහිර පුද්ගලිකත්වය ඇඟෙන්ම අත්විඳිනවයි කිව නොහැක.

    ReplyDelete