Tuesday, April 7, 2015

පරණ කණ්නාඩියෙන් අළුත් ලෝකය බැලීම

වර්ෂ එක් දහස් නවසිය අනූතුනේ සැප්තැම්බර මස දිනක මම විදේශගත වුනෙමි. දශක දෙකක් පමණ කාලයක් එහි ගත කර පසුගිය නොවැම්බරයේ මා නැවත ශ්‍රී ලංකාවට පැමිණියේ මෙහි ස්ථිරව පදිංචිවීමට ඉටා ගෙනය. ගෙවී ගිය කාලය තුල නිතර ලංකාවට ආ ගිය බැවින් ඒ දශක දෙක තුල මෙරට සිදුවුනු සමාජ සංස්කෘතික විපර්යාසය පිළිබඳව මට යම් අවබෝධයක් නැතුවා නොවේ. නමුත් මට එය ප්‍රත්‍යක්‍ෂයෙන් දැනගත නොහැකිය. කෙසේ වෙතත් අද මම ලංකාවේ ජීවත් වෙමින් එහි ජීවිතය අත්දකිමි. නමුත් පසුගිය මාස තුන හතර තුල මා ලද අත්දැකීම ඉදිරි ජීවිත කාලය තුලම (මෙහි ඉන්නට ලැබුනොත්) ලබන අත්දැකීමට වඩා වෙනස් සුවිශේෂ එකක් වනු ඇත. ඊට හේතුව වර්තමානයේ මා සතුව ඇති මා ලොව දකින පරණ කණ්නාඩියය.

මා ලංකාවෙන් නික්මවෙන විට ප්‍රත්‍යක්‍ෂයෙන් දැන සිටියේ එක් දහස් නවසිය අනූතුනේ ලාංකික සමාජය සහ එහි සංස්කෘතියය. විදේශගතවීමත් සමඟම මගේ ඒ දැනුම ගල් විය. එනම් මගේ මනසට සාපේක්‍ෂවූ ලාංකික සමාජය කාලයත් සමඟ වෙනස් නොවිනි. මන්ද මා එතැන් සිට ජීවත්වූයේ එය වෙනස් කරලීමට අවශ්‍යය (සමත්) ලංකාවේ සංස්කෘතිය තුල නොවුනු බැවිනි. ඒ නිසා දෙදහස් පහලොවේත් මා මේ සමාජය දෙස බලන්නේ සුළු වෙනස්කම් සහිතව වුවද අනූ තුනේ කණ්නාඩිය පැලඳගෙනය. මේ කණ්නාඩිය කෙටි කලක් මා සතුව පවතිනු ඇත. කාලයාගේ ඇවෑමෙන් වැඩිකල් නොගොස් අනූ තුනේ කණ්නාඩි පසෙකලා නව කණ්නාඩි යුවලක් පලඳිනු ඇත. පසුගිය මාස කිහිපය තුල මා ලද අත්දැකීම විශේෂ වන්නේ අනූ තුනේ කණ්නාඩියකින් දෙදහස් පහලොවේ ශ්‍රී ලාංකික සමාජය දෙස බැලුනු නිසාය. එය ඕනෑම අයෙකුට කල හැකියැයි මම නොසිතමි.


පරණ කණ්නාඩියෙන් අළුත් ලංකාව දිහා බලද්දී මට පෙනෙන්නේ මේ කාලය තුල අපි කෙතරම් පුද්ගලිකත්වය උතුම් කොට සලකන සමාජයක් බවට පත්වී ඇත්ද යන්නය. පසුගිය දශක දෙක තුල ලාංකික සමාජයේ ඇතිවී ඇති මා දකින වැදගත්ම වෙනස එයයි. මේ බව නොයෙක් දෙනා පවසා ඇති බව මම දනිමි. මා ද මේ ගැන යම් පමණින් දැන ගෙන සිටි අතර මීට පෙර ඒ පිළිබඳව ලිපි ලියා ඇත. එසේ තිබියදීත් මෙරට සමාජයේ ඇතිවී තිබෙන වෙනස ප්‍රායෝගිකව අත්දකිද්දී ඒ වෙනස මා මවිතයටත් දුකටත් පත් කරවයි.


පසුගිය දිනක මා නගරයේ ප්‍රසිද්ධ සුපිරි වෙලඳ සැලකට ගියේ උදේ පාන්දරින්මය. ඒ වනවිට තවමත් වෙලඳ සැල විවෘත කර නොතිබිනි. මා ඇතුළු එහි පැමිණි දහ දොලොස් දෙනෙකු එතැන විය. වෙලාවට දොර හැරිනි ආරක්‍ෂක නිලධාරියා ගුඩ් මෝනින් කියා පිලිගන්නවාත් සමඟම අපි එහි ගොඩ වැදුනෙමු. සුළු මොහොතකින් එහි ඇති ශබ්ද විකාශන යන්ත්‍රවලින් ජාතික ගීය වාදනය වන්නට විය. එවැන්නක් බලාපොරොත්තු නොවූ නිසා මා ඊට එසැනින්ම සංවේදී නොවුනෙමි. මම දිගටම පියවර තැබීමි. වැයෙන්නේ ජාතික ගීය යැයි අවබෝධවූ විට මා සිත පහලවූයේ මේ මොන මඟුලක්ද යන හැඟීමය. ජාතික ගීය එහිදී බලාපොරොත්තු නොවූවා පමණක් නොවේ එය එහි වාදනය කිරීම වංචාවක් යැයිද මට සිතිනි. මම තරහින් නොනැවතී ඉදිරියට ගියෙමි. වෙලඳ සැල තුල මද දුරක් එසේ යනවිට මට කලින් එහි පිවිසි ඈයෝ සීරුවෙන් සිටිනු දැක්කෙමි. ඉන් එකෙක් දෙන්නෙක් තවමත් ඇවිදින මා දෙස ඔරවමින් බලනු පෙනිනි.  ඔවුන්ගේ ඔරොප්පුවට පාත්‍රවීමට අකැමැති වූ බැවින් මම නැවතිනිමි. ගීය නිම විය. ඊලඟට හිංදි සිංදුවක් වාදනයවිය. ඊලඟට සිංහල සිංදුවකි. සාමාන්‍යයෙන් එහි වැයෙන්නේ ඉංග්‍රීසි සිංදු පමණි. වෙනස ලඟ එන සිංහල අවුරුද්දය. වෙලඳ සේවිකාවෝ අවුරුද්දට රෙද්දයි හැට්ටයයි (ඒ වගේ යමක්) හැඳ සිටියහ. වෙලඳසැල තුල යම් තැනක කටුමැටි ගෙයක් යැයි පෙනෙන යමක් අටවා තිබිනි. මා අවශ්‍ය දේ රැගෙන කවුන්ටරයට ගියෙමි. රෙද්දයි හැට්ටය වැනි යමකුයි හැඳි සේවිකාව ගුඩ් මෝනින් සර් කියා ආවාර කලාය.


මා දකින විදිහට සේවිකාවන්ගේ ඇඳුමත්, කටු මැටි ගෙයත්, අමුම අමු වංචාවකි. ජාතික ගීය වැයීමද වංචාවක් වන්නේ ඒ සන්දර්භය තුලය. මේ සියළු දෙයින් කෙරෙන්නේ ඊනියා සිංහල සංස්කෘතියක් ආරූඪ කරගැනීමට අවස්ථාවක් සලසා දීමය. නමුත් එහි ජාතික ගීය වැයෙද්දී සීරුවෙන් සිටිමින් මා දෙස ඔරවා බැලූ මහත්වරුන්ට එය වංචාවක් නොවිනි. එසේ සිතුවත් අඩුතරමින් ඔවුන් මේ වනවිට එවැනි වංචා කරගැනීම් වලට හොඳින් පුරුදු වී සිටිනවා විය හැකිය. (මෙය කියවන යමෙකුට ජාතික ගීය වැයීමත් එය වැයෙන විට සීරුවෙන් සිටීමත් වංචාවක් වන්නේ කෙසේදැයි යන්න ප්‍රෙහේලිකාවක් නම් මම පුදුම නොවෙමි) ඒ කුමක් වුවත් ඔවුන්ට එය වංචාවක් ලෙස පෙනෙන්නේ නැත නමුත් මගේ පරණ කණ්නාඩියට එසේ පෙනේ. ඉන් පිලිඹිබු වන්නේ එක්දහස් නවසිය අනූතුනේ ලංකාවේ සමාජයත් දෙදහස් පහලොවේ ලංකාවේ සමාජයත් අතර වෙනසය.


යමෙකුට ඊනියා සිංහල සංස්කෘතියක් ආරූඪ කරගැනීමට අවශ්‍ය වන්නේ ඇයි? ඊට ඇති මූලික අවශ්‍යතාව විය හැක්කේ තමන් ඒ සංස්කෘතියට, නැත්තම් ඒ සමූහයට, අයත් යැයි කීමටය නැත්නම් තමන්ටම එය කියා ගැනීමටය. යමෙක් ඒ සමූහයට අයත් නම් තවත් එහි කියාපාන්නට දෙයක් නැත. නමුත් අද නගරබදව වාසය කරන බහුතරයක් ඉන්නේ සමාජයෙන් වෙන්වය. තමන්ගේ පුද්ගලිකත්වයට ගොනුවීය. ඔවුන් සමාජයට සම්බන්ධ වන්නේ පුද්ගලිකත්වය මත එල්ලා ගත් (නැත්නම් ආරූඪ කරගත්) සංස්කෘතික කෑලි තුලිනි. ඔවුන් කෙතරම් පුද්ගලිකත්වයට ගොනුවී ඇත්දැයි කිවතොත් තමන් විසින්ම තමන්ට වංචා කරගන්නේ යැයි නොසිතති. ඔවුන් දෙස පරණ කණ්නාඩියෙන් බලන මට ඔවුන් කරන වංචාව පෙනේ. පසුගිය දශක දෙක තුල අප සමාජයට වී ඇති වින්නැහිය පුද්ගලයා සමාජයෙන් වෙන්වීමය. එය ඊනියා මානව වර්ධනයක් ලෙස දැකීම තරම් බුද්ධිමය වංචාවක් තවත් තිබිය නොහැකිය.

6 comments:

  1. තනිකරම වංචාව මිනිස්සු අන්දන්ඩ

    ReplyDelete
  2. ඔය කටුමැටි ගෙවල්, රෙද්ද වගේ දේවල් නොතිබුනානම්, ඒත් වෙන්නේ බැනුම් අහන්නයි. ඔබ නොබැන්නත් බනින කොටසක් ඉන්නවා. මුන් නත්තලට නම් තියෙන ඔක්කොම විච්චුර්ණ කලාට, සිංහල අවුරුද්ද ගැන ගානක්වත් නැතිය කියාවි.

    ReplyDelete
  3. ඔබ උදේට රජයේ කාර්යාලයකට ගොඩ වැදිලා බලන්න.එතනත් උදේට පළමුවෙන්ම ජාතික ගිය වාදනය වෙනවා.

    ReplyDelete
  4. පුද්ගලයා සමාජයෙන් වෙන් වන තරමට ම තව තවත් සමාජය වෙත බොරුව වංචාව වපුරන්නට දේශපාලකයාට පහසුයි.... නොවිය යුත්තේ මෙයයි

    ReplyDelete
  5. ෆුඩ් සිටිය කිසි දින මගේ ඉතුරු රුපියල නොදෙයි. ඉතිරියෙහි සත ගනන සත පනහට වැඩි වූ විට නිතරම ඉදිරි රුපියලට ගනන් බලා අය කර ගනියි.සත ගනන සත පනහට අඩු වූවා නම් මට ආසන්න පසු අගයට ගත යුතු වුවද කවදාවත් එය ලබා දෙන්නේ නැත.මෙය රුපියල පිළිබඳ ප්‍රශ්නයක් නොවෙයි.සාධාරනත්වය පිළිබඳ ප්‍රශ්නයකි.ලංකාවේ දුප්පත් මිනිස්සු පවා ඉතිරි රුපියල් පහ පවා කඩ වල අත හැර යනු මම දැක ඇත්තෙමි. මා සාධාරණව උපයන මුදල් වලට එසේ කිරීමට මට සිත් නොදෙයි.

    බ්‍රිතාන්‍ය වැනි රටක පැන්සය ඇත්තේ පවුමට සාපේක්ශව ඉතා කුඩා අගයක් වුවද එය නිවැරදිව කඩයෙන් ලබා දෙයි.කොතරම් ධනවත් වුවද කිසිවෙක් මට පැන්ස එපා කියා යන්නේ නැත. ඉතිරිය හරියට ගෙන යති.කඩවලට පිනට නොදෙති.

    ReplyDelete
    Replies
    1. මා හැකි සෑම විටම දුප්පත් මිනිසෙකුගේ කඩයකට ගොඩ වැදෙමි. පොඩි මිනිහා කවදාවත් ඉතුරු මුදල් අඩුවෙන් දෙන්නේ නැත. අසූ හතරයි ස', අසූවක් දෙන්න කියනු මිස රුපියල් 100 ගෙන 15 ඉතුරු දීම ඔහුගේ සිරිත නොවේ. මාරු කාසි තබාගෙන ඔහුගේ සාධාරණ මිල ඔහුට දීම පාරිභෝගික අපේ හැදියාවයි.

      අනෙක් අතින්, ෆුඩ් සිටි වැනි ලොකු සිල්ලර කඩ වලට ගොඩ වැදෙන විට කාඩ් පතින් ගෙවීම් කරමි. එවිට ඒ අයට අපට ඉතුරු නොදී දිනකට රුපියල් දස දහස් ගණනක අයුතු ලාභයක් ලබා ගැනීමේ අවස්ථාව සළසා දීමට මා දායක වී නැත.

      Delete