Sunday, April 19, 2015

කාර් පැදීම

දැන් නගරයේ ජීවත්වන මිනිස්සු බොහොමයකට කාර් ඇත. නමුත් මිනිස්සුන්ට කාර් ගැනීමේ ආර්ථික හැකියාව පෙරට වඩා වැඩිවී ඇත්දැයි සැක සහිතය. මන්ද පුංචි කාරයක් වුවත් මිලදී ගැනීමට ලීසිං එකක් දැමුවොත් එහි මාසික වාරිකය ගෙවීමට විශ්ව විද්‍යාල ගුරුවරයෙකුගේ පඩියෙන් භාගයක් පමණ වැය වෙන බැවිනි. දශක දෙකකට පමණ ඉහතදී කොළඹ නගරයේ ජීවත්වුනු මධ්‍යම පංතියේ මිනිස්සු පඩියෙන් එතරම් ප්‍රතිශතයක් වාහනයක් ගැනීම සඳහා යෙදවීමට තරම් එඩිතර(?)වූයේ යැයි මම නොසිතමි. දැන් කාර් ගැනීම සඳහා පෙරට වඩා සාමාජයීය පෙලඹවීමකුත් ලේසියෙන් ලීසිං ගැනීමට හැකියාවකුත් ඇති බව නම් පෙනේ. නගරයට එන කාර් ගණන වැඩිවී තිබුනත් බස්වල යන මිනිසුන්ගේ අඩුවක් වී නැති බවත් කිව යුතුය.

නමුත් මගේ උනන්දුව කාර් ගැනීම ගැන නොව කාර් පැදීම ගැනය. පෙර දිනක නගර මධ්‍යයේ මම ත්‍රී වීලයක් අමුණා ගතිමි. මගේ වාහනයට වූ හානිය සුළු වුවද සාපේක්‍ෂ වශයෙන් ත්‍රී රෝද රථයට වූ හානියට වඩා වැඩිය. ත්‍රී රෝද රථ රියදුරා දැන් මොකක්ද කෙරෙන්න ඕනේ යැයි මගෙන් විමසීය. ඇත්තටම ගතහොත් කිසියම් මාර්ග නීතියක් ඒ සිදුවීමට බලපානවාදැයි හරියටම කීමට නොහැකිය. නමුත් මගේ මතයට අනුව අනිත් රියදුරා සිය වාහනය පැදවූයේ චාරයක් නැතිවය. ඔහුගේ හැදියාව ගැන වාද කිරීමට මට පදනමක් නැතිවූ නිසා මම පාඩූ විඳගෙන යන්ට ගියෙමි. ඒ අවසාන වතාවට විය හැකිය. 


මීට වසර විස්සකට පමණ පෙර කොළඹ නගරයේ වාහන තද බදයක් නොතිබිනි. නමුත් දැන් නිවසින් එලියට බැස්සොත් දවසෙන් වැඩි කාලයක් ගත කරන්නට සිදුවෙන්නේ මහ මගය. වාහන ප්‍රමාණය වැඩි වීම හැරුණු කොට වාහන තද බදයට දායකවන එක් වැදගත් කාරණයක් නම් රියදුරන්ගේ නො-හැදියාවය. නමුත් සියලු රියදුරන්ගේ හැදියාව එක හා සමාන නොවේ. උදාහරණයක් වශයෙන් සාමාන්‍යයෙන් උගත් යැයි සැලකෙන මිනිසුන් වැඩිපුර ගැවසෙන නැත්නම් එවැනි මිනිසුන් ජීවත්වන ප්‍රදේශ හරහා වැටී ඇති මර්ගවල රියැදුරන්ගේ හැදියාව අනිත් මාර්ගවල රියදුරන්ගේ හැදියාවට වඩා හොඳ බව පෙනේ. වාහන තදබදය වැඩියෙන්ම ඇත්තේ පාසල් සහ කාර්යාල ඇරෙන වැහෙන වේලාවලටය. වාහන තදබදය වැඩි වුවද උදේ හය හමාරට පමණ වාහනය පැදවීම එම මහා මාර්ගයේම දහවල් දොලහට පමණ පැදවීමට වඩා පහසු බවද මම අත්දැක ඇත්තෙමි. සමහරවිට උදේ හය හමාරට පදින රියදුරන්ගේ හැදියාව එම පාරේම දහවල් දොලහට පදින රියදුරන්ගේ හැදියාවට වඩා හොඳ නිසා විය හැකිය. හය හමාරේ රියදුරන් බහුතරයක් කාර්යාලවල සේවය කරන උගත් අය වීමත් දහවල් දොලහේ රියදුරන් බහුතරයක් රියදුරු කම රස්සාවට කරන සාපේක්‍ෂ වශයෙන් අඩු උගත් කමක් ඇති අයවීමත් ඊට හේතුවක් විය හැකිද?


පැහැදිලිවම මෙහි කථා කරන්නේ ගමේ උපාසක මහත්තයෙකුට තිබිය හැකි හැදියාවක් ගැන නොව උගත්කම හා බැඳූනූ හැදියාවකි. කාර් පැදවීමට එතරම් උගත් කමක් අවශ්‍ය නැත. නමුත් අනුන්ට කරදරයක් නැතිව වාහන පැදවීමට ඇති හැදියාව උගත්කම හා බැඳුනු එකකි. අනුන්ට කරදරයක් නොවී වාහන පැදවීමට හැකිවුනද උගතාට අර උපාසක මහත්තයාගේ හැදියාව නැතිවෙන්නට පුළුවන. ඒ වගේම උපාසක මහත්තයාගේ හැදියාව අනුන්ට කරදරයක් නොවී වාහන පැදවීමට උදව් නොවෙන්නටද පුළුවන. 


කාර් පදවන හැදියාව අධ්‍යාපනයෙන් ලැබෙන්නේ කෙසේද?


බටහිර අධ්‍යාපනයෙන් කෙරෙන එක් වැදගත් කාර්යයක් නම් පුද්ගලයා සමාජයෙන් වෙන් කෙරීමය. එසේ වෙන් කෙරුනු පුද්ගලයාට පුද්ගල අයිතීන් ලබාදී අනිත් පුද්ගලයින්ගේ අයිතීන් උල්ලංඝනය නොවෙනසේ හැසිරීමට කියා දෙන්නේද ඒ අධ්‍යාපනයමය. භෞතිකමය වශයෙන් සැලකූවිට පුද්ගල අවකාශයද (පර්සනල් ස්පේස්) පුද්ගල අයිතියකි. කාර් පදවන හැදියාව තමන්ගේත් අනුන්ගේත් පුද්ගල අවකාශ වලට ගරු කිරීම හා සම්බන්ධය.


අපසමාජයේ කාරයක හිමි කරුවෙකු වීම මමත්වය වඩවන්නකි. කාරයේ සුක්කානම අතට ගත්විට කාරය මමත්වයේ දිගුවක් වෙයි. මිනිසුන් පංචි කාර් වලට වඩා ලොකු කාර් වලට කැමතිවීමට එයද හේතුවකි. කාරය පාරට දැමූවිට දැන් පාරේ සිටින්නේ කාර් නොව තමන්ගේ තරමට වඩා විශාල මිනිසුන් (බොහෝවිට පිරිමින්) පිරිසකි. එහිදී අවශ්‍ය වන්නේ ඒ ඒ අයගේ පුද්ගල අවකාශ ගරු කරමින් ගමන් කිරීමය. එසේ ගමන් කිරීමට බටහිර අධ්‍යාපනය හරහා පූරුදු කරවයි.


බුදු දහමින් පෝශණය වුනු අප සමාජයට අනෙක් මිනිසුන්ට පමණක් නොවේ සතා සිව්පාවන්ටත් පරිසරයටත් කරදරයක් නොවෙන සේ ජීවත්වීමට හැදියාවක් ඇත. ඒ හැදියාවට අනුව කාර් පැදීම උගතුන්ගේ පුද්ගල අවකාශයට ගරු කරමින් කාර් පැදීමට වඩා උසස් විය යුතුය. ප්‍රශ්ණය අපි කාර් පැදීම අපේ සංස්කෘතියට හරිහැටි අවශෝෂණය කරගෙන නොමැතිවීමය. එය හරිහැටි අවශෝෂණය කර ගත හැක්කේ උගතුන්ට නොව නූගතුන්ටය.


පසුගිය ලිපි කිහිපයේ මෙන්ම මේ ලිපියේද මම උත්සාහ කරන්නේ මෙරට නාගරික සමාජය පිළිබඳව විවරණයක් කිරීමටය. එහි යම් විශේෂත්වයක් ඇත්නම් ඒ මා සතු මගේ පරණ කණ්නාඩියය. කාලයක් විදේශගතව සිටි මා මෙහි පදිංචියට පැමිණියේ ලඟදීය. තවමත් මගේ සංස්කෘතිය මීට දශක දෙකකට පමණ ඉහතදී ලංකාවේ පැවති නාගරික සංස්කෘතියය. මා වත්මන් සමාජයට අනුගතවෙත්ම ඒ පරණ කණ්නාඩිය මට අහිමවන බැවින් ඒ දැක්ම මෙහි ලියා තැබීමට සිත්විනි.

3 comments:

  1. උගතා මිනිසුන්ට ගරු කරන්න, ඉවසන්න දන්නව. ගමය දහම් පාසලෙන් නොලද හික්මීම උගතට තියෙනව. සතර බඹ විහරන, සතර සංග්‍රහ වස්තු වලින් උගත ගමයට වඩා පොහොසත්. සමහරවිට උගත් වෙන්න ලෞකික සැප ලබන්න සසරෙදි ගුණ පුහුණු කරපු නිසා වෙන්නත් පුළුවන්, බෞද්ධ කියැවීම අනුව. රටේ වෙන අපරාධ බොහොමයක් කරන්නෙ නූගත් ගැමියො, උගත්තු නෙවෙයි. රට ගෙනියන්න වැඩියෙන්ම බදු ගෙවන්නෙ උගත් මධ්යම පංතිය. නූගත් ගැමියො සමුර්ධිය ගන්නෙ ඒ සල්ලි වලින්. ඒත් උගත් දැනුම බටහිරින් ආපු නිසා කොහොම හරි අන්තිමේට උගතා පරද්දල ගමය දිනවනව. මේක තමයි නලින්ගේ සාමාන්ය කියවීම. බටහිර ලේබලය අලවල උගත හෙලා දකිනව. රටේ කරන තරමක් දරුණු අපරාධ කරන නූගත් ගැමිය උඩ දානව. මං කියන්නෙ ඔය කෑගහන කට්ටිය උගත්තු නැතුව, සාමාන්ය සිංහල ගැමියො එක්ක එකතුවෙලා රට කරන හැටි කියන්න. හැබැයි ඔබතුමාටවත් නලින්ටවත් ඒවට නායකත්වය දෙන්න බෑ, මොකද ඔය දෙන්නත් උගත්තුනේ. අපේ නැති ඔය උගතුන්ට විතරක් තියෙන අමුතු ජාතික චින්තන මෙව්ව එකක් නෑ කියල පිළිගන්න, අවංක වෙන්න. රටේ වත් නොහිටපු කට්ටිය රටට ඇවිල්ල අපිට සිංහල බෞද්ධකම කියල දෙන්න බෑ කියල තේරුම් ගන්න. ඔය මුකුත් බැරිනං ගුණවතුන්ට, සිල්වතුන්ට ගරහල, මිත්යා දෘශ්ටිය වපුරල නලින් එක්ක අපායට යන්න තමයි වෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. උගතා කියල තමන්ම කියා ගත්තට උගත් කමක් නම් පේන්න නැහැ.

      Delete
  2. "වාහන තදබදය වැඩි වුවද උදේ හය හමාරට පමණ වාහනය පැදවීම එම මහා මාර්ගයේම දහවල් දොලහට පමණ පැදවීමට වඩා පහසු බවද මම අත්දැක ඇත්තෙමි."
    මෙයට හේතුව වාහන එක දෙසට (නගරය දෙසට) ධාවනය වීම හා පොලිසිය විසින් ඒ වාහන වලට වැඩි ප්‍රමුඛතාවයක් ලබා දීම වේ. මේ වෙලාවේ වාහන බොහෝ දුරට ඒකාකාරිව චලිතයේ යෙදේ. දහවල වන විට එක දෙසට දැක්වෙන ප්‍රමුඛතාව අඩපන වී වාහන ඔබමොබ චලිතයක යෙදේ. තදබදය වැඩි වීමට හේතුව කෙටිදුර - නවත්ව නවත්වා ධාවනය කෙරෙන හන්දි වලින් අතුරු මාර්ග වලට හැරවෙන වාහන ප්‍රමාණය වැඩි වීමයි.

    ReplyDelete