Wednesday, April 15, 2015

“මම” තුනී කර හැරීම

කාලයක් බටහිර රටක ජීවත්වන විට බටහිර සංස්කෘතික අභාෂයෙන් මිදීමට නොහැකිිය. මම ඉන් මිදී සිටීමට සිතා මතා උත්සාහයක්ද නොගත්තෙමි. එහි ගැලීමටද උත්සාහයක් නොගත්තෙමි. කෙසේ වෙතත් කාලයාගේ ඇවෑමෙන් පැහැදිලිවම මා තුල යම් සංස්කෘතික වෙනස්කම් සිදුවී ඇත. මට ඒ වෙනස්කම් යම් පමණකට අවබෝධ කරගැනීමට හැකිවූයේ යලි ලංකාවට පැමිණ මෙහි මාස හතරක් පහක් ජීවත්වීම තුලිනි. මා කථා කරන්නේ එහෙන් මෙහෙන් ඇහිඳගත් සංස්කෘතික කෑලි ගැන නොවේ. වැඩිකල් නොගොස් ඒ කෑලි ඉබේටම හැලෙනු ඇත. නමුත් ස්වීයත්වයේ පිට කට්ට විනිවිද ගිය ඇතැම් ආකල්ප හා පුරුදු හැලීමට කල් ගත වනු ඇත. ඒවා නොහලන තාක් කල් මට ලංකාවේ ජීවත්වීමද දුෂ්කර වනු ඇත.

කඩයකට ගියත් වෙන වැඩකට කාර්යාලයකට ගියත් පෝලිමේ ඉන්ඩ සිදුවේ. ඇමෙරිකාවේද එසේමය. නමුත් එහි මිනිසුන් පෝලිමේ සිටින විට එකිනෙකා අතර පරතරයක් තබා ගැනීමට වග බලා ගනිති. ලංකාවේ එසේ නැත. පෝලිමේ සිටින ගැහුණු මිනිස්සු සියල්ලෝම පාහේ සිටගන්නේ එකිනෙකාගේ ඇඟේ ගෑවෙන නොගෑවෙන ගානටය. ඔවුන්ට තවකෙක් ඇඟේ ගෑවුනද ගානක් නැත. විටෙක ඔවුන් මගේ කර උඩින් අත යවා කවුළුවේ සිටින තැනැත්තෙකුට යමක් දෙයි. තවත් විටෙක මගේ අතේ ඇති යම් ලිය කියවිල්ලක් දෙස ඇස් යොමාගෙන සිටියි. වරක් මා ඉදිරියේ සිටින තැනැත්තාට පියවරක් පමණ පසු පසින් මා සිට ගෙන සිටියේ පෙර පුරුද්දටය. එසේ සිට ගැනීමට එහි ඕනෑතරම් ඉඩ තිබිනි. හදිසියේම පසු පසින් පැමිණි කාන්තාවක් මොහොතක් කල්පණා කරමින් සිට පෝලිමෙහි මා ඉදිරියෙන් සිට ගත්තාය. එසේත් නැත්තම් පෝලිම පැන්නාය. නිසැකවම මාත් මා ඉදිරියේ සිටි පුද්ගලයාත් අතර ඉඩ ඈට සාපේක්‍ෂව වැඩිවූ නිසා මා පෝලිමේ නොසිටි අයෙකැයි ඈ සිතන්නට ඇත. 

මේ කිසි දෙයක් තවමත් මට රුස්සන්නේ නැති බව මා කියන්නේ ආඩම්බරයෙන් නොවේ. වැඩි කල් නොගොස් මා මෙහි සංස්කෘතියට හැඩ ගැසෙනු ඇත. එහි ප්‍රශ්ණයක් නැත. නමුත් අද මා  දවටා ඇති මෙවැනි බටහිර සංස්කෘතික ආකල්ප වැඩි කල් නොගොස් අප සමාජයටද පුරුදු වෙන බව දකින විට නම් මට දැනෙන්නේ දුකකි. ඒ අකල්ප ඊනියා මිනිස් පරිණාමයක් හෝ දියුණුවේ අංගයක් ලෙස හෝ ගතානුගතිකත්වයෙන් මිදීමක් හෝ ඊනියා වැඩවසම් ක්‍රමයෙන් මිදීමක් ලෙස හුවා දක්වන බටහිර ගැති පඬියන් ගැන නම් මට ඇති වන්නේ තරහකි.

ලංකාවේ විශ්ව විද්‍යාලවල පවා පිිරිමින් තව පිරිමින් ගේ කර මත අත යවමින් අත් අල්ලා ගනිමින් සිටිනු දැකීම (දැන් එය තරමක් අඩුය) සුලබ දසුනකි. ගැහැනුන් ද එසේය. නමුත් ඇමෙරිකාවේ එසේ ගැවසීම කැප වන්නේ සම ලිංගිකයින්ට පමණි. පර්සනල් ස්පේස් නැත්තම් පුද්ගලික අවකාශය ගැන බටහිර ළමයින්ට කියා දෙන්නේ මොන්ටිසෝරි පංතියේදීමය. පුද්ගලික අවකාශයට ගරු කිරීම ඇමෙරිකාවේ ඉතා තදින් අනුගමණය කරන සමාජ පිළිවෙතකි. එවැනි පුරුද්දක් නොතිබුනු මට එහි ගිය මුල් අවධියේදීම ඊට අනුගතවන්නට සිදුවන්නට ඇත්තේ එසේ නොවුනේනම් මට ඒ සමාජයේ සාමාජිකත්වය නොලැබෙන බැවිනි.

පුද්ගලික අවකාශය ඉබේ පහලවුවක් නොව පුද්ගලිකත්වය සාමූහිකත්වයට ඉහලින් තැබීම හා සම්බන්ධ ආකල්පයකි. "මම" ගොනු කර මහත් කිරීමේ ප්‍රතිඵලයකි. අපට අවශ්‍ය "මම" තුනී කර විහිදා දැමීමටය. අපිදු වැඩිකල් නොගොස් පුද්ගලික අවකාශය මොන්ටිසෝරි පංතියේ කියා දෙන තරමට පුද්ගලිකත්වය උතුම් කොට සලකන තැනකට (දැනටමත් එතැනදැයි මට සැකය) පැමිණෙනු ඇත. පුද්ගලිකත්වය උතුම් නොවී සමාජයක් දියුණුවිය හැකි බව කෙසේ හෝ අපි අවබෝධ කරගත යුතුවෙමු.

ඇමෙරිකාවේ ජීවත්වූ කාලය තුල අපි අවුරුද්ද සැමරුවේ නැත. මුලදී අවුරුදු චාරිත්‍ර කිරීමට යම් උත්සාහයක් ගත්තද පසුව එය අල්ලා දැමුවේ බොරු කල හැකි වුනද පෙනි පෙනී තමන්ට බොරු කර ගන්නේ මොකටදැයි සිතුනු බැවිනි. මොන එහෙකටද? කවදා හෝ ලංකාවට පදිංචියට යමි යැයි සිතා ගෙන සිටි බැවින් අවුරුදු නොකර සිටීම අපහසු නොවිනි. මෙවර අවුරුද්ද මට වැදගත්වූයේ මේ වටපිටාව තුලය. 

පැහැදිලිවම ලංකාවේ අවුරුදු සංස්කෘතිය වෙනස්වී ඇත. මා දකින ආකාරයට එය පිරිහීමකි. එසේ වුවද නැති අවුරුද්දකට වඩා ඇති අවුරුද්ද හොඳය. ඇමෙරිකාවේ බොහෝ දෑ මෙන් අවුරුද්දද තමන්ට සහ තමන්ගේ පවුලට සීමාවුනු එකකි. එහි වැදගත් වන්නේ මමය "මම" සහ මගේ පවුලය. නමුත් අඩු පාඩු ඇතිවද තවමත් සිංහළුන්ගේ අවුරුද්ද අඩු තරමින් පවුලෙන් එපිට ගොස් ලඟම නෑදෑයන් තරමට හෝ විහිදුනු සංස්කෘතික අංගයකි. ඇමෙරිකාවේ සිංහලුන්ගේ අවුරුද්දට සාපේක්‍ෂව ලංකාවේ අවුරුද්දේ "මම" තරමක් දුරට තුනී වී විහිදී ඇත. නමුත් මීට දශක දෙකකට ඉහතදී තත්වය ඊට වෙනස් විය. එදා අවුරුද්ද යාළු මිත්‍රාදීන් ඇතුළු ගමේ අනිත් අයවලුන් තරමටම විහිදී තිබිනි. එදා නගරබද ප්‍රදේශවල පවා තිබුනු අවුරුදු උත්සව අද වෙනවිට දකින්නට නැත. එදාට සාපේක්‍ෂව අද "මම" මහත්වී හැකිලී ඇත. 

සංස්කෘතිකව අප අද ඉන්නා තැන පැහැදිලිය. අප යන අතද පැහැදිලිය. 

බලු වෙන සමාජය

තනි මිනිස්සු

රංචු ගැසීම: අලි සහ අපි

6 comments:

  1. භෞතිකව එකට ගෑවි ගෑවි ගමන් බිමන් යෑම සහ ඉන් පසුව ඔවුන් ගනුදෙනු කරන ආකාරය කියන්ෙන දෙකක්...නිතර කෝච්චියෙ යන මට බොහෝවිට එකලග එකතු වෙන්නෙ එකම ඉස්ටේෂන් එකෙන් නගින සහ යාපද ඉස්ටේෂන් වලින් නගින අය..ඉතාම කලාතුරකින් දවසක හැර එකිනෙකා නොගැවි යන්නට හැකියාවක් අපේ දුම්රිය සේවයට නැහැ....ඉතිං එය විශාල ගැටලුවකුත් නෙමෙයි...අනික එහෙම ඇගේ ගෑවි ගෑව ිගියා කියලා ලෙඩක් තිබුනොත් බෝ වුනොත් මිසක අපි අතර එච්චර ලොකු ඇයි හොදය්යකුත් නැහැ....අවුුරුදු හතර පහක් එකදිගට එකම කෝච්චියෙ ගියත් හැමදාම ඇතිල්ලෙන ඇන්ටි හෝ ගෑනුලමයා කොහේ වැඩ කරනවද කියලාවත් නොදන්නා අවස්ථා එමටයි..

    ReplyDelete
    Replies
    1. මිනිසුන් අතර භෞතික පරතරය පිළිබඳ මම දක්වා ඇති උදාහරණය තියරියක් හැටියට අරගෙන හැමැතැනම යොදා ගන්න බැහැ. මෙතන කියන්නෙ පුද්ගලික අවකාශයක් කියල යමකට බටහිර සංස්කෘතිය වැදගත් තැනක් දෙන බවත් අපේ සංස්කෘතිය තවමත් ඊට වැදගත් කමක් දෙන තැනට ඇවිත් නැති බවත්. කෝච්චි බස් වල මිනිස්සු හිර වෙලා යන්නෙ වෙන විකල්පයක් නැති නිසා කියල කියන්න දෙයක් නෙවෙයි.

      Delete
  2. //අපිදු වැඩිකල් නොගොස් පුද්ගලික අවකාශය මොන්ටිසෝරි පංතියේ කියා දෙන තරමට පුද්ගලිකත්වය උතුම් කොට සලකන තැනකට (දැනටමත් එතැනදැයි මට සැකය) පැමිණෙනු ඇත.// මගේ අත්දැකීම් අනුව සිතෙන්නේ ඔබ අනුමාන කරන තැනට ඉතාම කිට්ටුවෙන් දැන් අප සිටින බවකි.

    ReplyDelete
  3. ඔබ කියන කරුණට මගේ එක් කිරීම මෙයයි.

    මමද බ්‍රිතාන්‍යයේ කලක් සිටි සහ දැනුත් කෙටි කාල සඳහා යන එන අයෙක්මි.එබැවින් එහි තත්ත්වය ද පෝලිම් අරභයා ඔබ කියන්න හා සැසඳෙයි.
    පෝලිම් පැනීම සහ ඒ ගැන කිසිම වරදකාරී ආකල්පයක් වත් නැති අමුතුම ජන කොටසකට මට මුහුණ දීමට සිදු වූයේ කුලියාපිටිය නගරයේදීය.අනිත් නගරවලදී මෙම ප්‍රශ්නයට මුහුණ දීමට මට සිදුවී ඇත්තේ මුලු ජීවිත කාලය තුලදීම යම් පමණකටද, ඊට වඩා එවැනි දෙයට මාස ගනනක් ඇතුලත මුහුන පෑමට කුලියාපිටියේදී සිදු විය.ෆුඩ් සිටිය, බැංකුව,තැපැල් හල ආදී ඕනෑම තැනකට ගොස් අද වුවද බලන්න. කිසිම හිරිකිතයක් නැතිව,මුහුනේ එක මස් පිඩුවක් වත් නොසොල්වා,ඉතාම නිවැරදි හැසිරීමක නිරත වන සේ ඔවුන් පෝලිම් පනින ලස්සන බලා ගත හැක.පෝලිමේ ඉන්නේද ඇඟේ හැපෙමිනි. ඇඟේ හැපෙන්නේද සාරියෙන් නොවැහුණු පිටක් වැනි තැනක වීම හරිම අහම්බයකි.
    කොරිඩෝවක හෝ පාරක රන්චු ගැසී සිටින ගැහැනු මිනිස්සු එතැනින් යාමට පැමිනෙණ කිසිවෙකුට යාමට ඉඩ නොදෙන අයුරුද ඉතාම සුලබ දසුනකි.කිහිල්ල පල්ලෙන් රිංගා, බිත්තියට හිරවී යන විටත් ඔහේ ඉඳිති.මෙය බලා ගැනීමට හොඳම තැන රෝහලයි. වෛද්‍යවරයෙකුට වත් යන්න නොදී ඔහේ කොරිඩෝ බ්ලොක් කරගෙන සිටිති. යන්න නොදෙන්නේ මන්දැයි මුහුණ බැලූ විට, මුහුණ බලන්නේ මන්දැයි අසන බැල්මකින් බලා සිටිති.මා හිතන්නේ මෙය නම් මේ ප්‍රදේශයට ආවේනික ගති ලක්ශනයක් යනුයි.වෙනත් ප්‍රදේශ වල මා දැක නැත.

    ReplyDelete
    Replies
    1. අවාසනාවකට ඔබ මා මෙහි කියන මුළු කථාව අවබෝධ නොකටගෙන එහි එන උදාහරණයකට පමණක් සංවේදී වෙයි.

      ඔබ පවසන දේ මට තේරුම් ගන්න පුළුවන්. නමුත් ඔබේ ආකල්ප සහ පුරුදු මේ රටේ බහුතරයක් මිනිසුන්ට නැතිවීමෙන් පෙනී යා යුත්තේ හොඳ නරක වෙනසකට වඩා මේ රටේ සාමාන්‍ය මිනිස්සුන්ගේ සංස්කෘතිය ඔබ අත්දැක ඇති බටහිර සංස්කෘතියකින් වෙනස් වන බවය. ඒ වෙනසට පදනම කුමක්ද? අපි කල්පණා කල යුත්තේ එයයි.

      Delete
  4. ලංකාවේ එසේ නැත. පෝලිමේ සිටින ගැහුණු මිනිස්සු සියල්ලෝම පාහේ සිටගන්නේ එකිනෙකාගේ ඇඟේ ගෑවෙන නොගෑවෙන ගානටය. ඔවුන්ට තවකෙක් ඇඟේ ගෑවුනද ගානක් නැත. විටෙක ඔවුන් මගේ කර උඩින් අත යවා කවුළුවේ සිටින තැනැත්තෙකුට යමක් දෙයි. තවත් විටෙක මගේ අතේ ඇති යම් ලිය කියවිල්ලක් දෙස ඇස් යොමාගෙන සිටියි. වරක් මා ඉදිරියේ සිටින තැනැත්තාට පියවරක් පමණ පසු පසින් මා සිට ගෙන සිටියේ පෙර පුරුද්දටය. - personal space is vital

    ReplyDelete