Wednesday, April 1, 2015

නොවටින අපේකම™

කොටි ත්‍රස්තවාදය පැරදවිය හැකිය යන හැඟීම සිංහල සමාජය තුල මුල් බැස ගන්නවාත් සමඟම සිංහලකමට, සිංහල බෞද්ධකමට  නැත්නම් අපේකමට යම් ඉල්ලුමක්ද සමාජය තුල නිර්මාණය වෙන්නට පටන් ගැනිණි. ඒ ඇසුරින් කෙමෙන් අපේකම වෙළඳ නාමයක් (අපේකම™) බවට පත්විනි. පසුගිය දශකය පුරාම අපේකම™ ට ඇති ඉල්ලුම වර්ධනයවිය. ලාභ ඉපයීම අරභයා වෙළෙන්දන් අතින් එය වර්ධනය කෙරිනි. භෝජනාගාරවලත් සුපර් මාර්කට්ටුවලත් බැංකු වලත් අපේකම™ විකිණිනි. අපිට අපේකම™ මුදලට ගත හැකි විනි. නමුත් මට එහි ඇති වැදගත් ප්‍රශ්ණය මුදල් සම්බන්ධයෙන් නොව අපේකම පුද්ගලිකව අත් කරගැනීමට හැකි දෙයක් බවට පත්වීමය. එනම් අපේකම පුද්ගලිකකරණය වීමය. පුද්ගලිකකරණය හරහා අපි අත් කර ගන්නේ සංස්කෘතික අපේකම නොව එල්ලා ගත හැකි කෑල්ලක් වූ අපේකම™ ය. ප්‍රශ්ණය එයයි.

නමුත් අපේකම™ ට වටිනාකමක් නැත. ඉදිරියේදී මෙරට දේශපාලන සංස්කෘතිය තව තවත් බටහිර ගැතිවී ගොස් බෙදුම්වාදය ප්‍රජාතන්ත්‍රවාදී අවශ්‍යතාවක් ලෙසත් ප්‍රබුද්ධ දේශපාලන මතවාදයක් ලෙසත් මෙරට සමාජය තුල මුල් බැස ගතහොත් අපේකම™ ට ඉල්ලුමක් නැතිවෙනු ඇත. එවිට එක්කෝ අපේකම™ නැතිවෙනු ඇත නැත්තම් එය රූපාන්තරණයකට ලක් වෙනු ඇත. ඒ මොන එකක් වුවද අපට සංස්කෘතික අපේකම නැතිවෙනු ඇත.


මෙරට ජාතික ව්‍යාපාරයට කොටි ත්‍රස්තවාදය පරාජය කල හැකිවුනද ඊට පිටුපසින් සිටි බටහිර සංස්කෘතිය ජය ගැනීමට ඊට හැකි නොවිනි. නමුත් බටහිර සංස්කෘතිය ජය නොගෙන ඊට එරෙහිව ලබා ගන්නා දේශපාලන ජයග්‍රහණ වලට කල් පැවැත්මක් නැත. 1956දීත් 2005දීත් ලද දේශපාලන ජයග්‍රහණ වැඩි කල් පවත්වා ගැනීමට නොහැකිවුනේ ඒ හේතුව නිසාය.


අද වනවිට බටහිර සංස්කෘතියේ බලපෑම තදින්ම ක්‍රියාත්මක වෙමින් පවතියි. බටහිර සංස්කෘතියේ විශාලතම සහ වැදගත්ම බලපෑම යෙදෙන්නේ පුද්ගලයා සමාජයෙන් වෙන් කිරීම සඳහාය. වෙන් කෙරුනු පුද්ගලයා සිය පැවැත්ම උදෙසා භෞතික දේ එක් රැස් කරන්නා සේම අභෞව්‍යදේද රැස් කරයි. අපේකම™ එවැන්නකි. බටහිර සංස්කෘතියේ අභාශය ලත්, සමාජයෙන් ඈත්වුනු, නාගරික උගත් තරුණ පිරිස අතර පසුගිය දශකය පමණ කාලය තුල අපේකම™ ට ඉල්ලුමක් තිබුනේ එබැවිනි. ඒ ඉල්ලුම බටහිර සංස්කෘතිය සමඟ පොරබදමින් සිටි සිංහල බෞද්ධ සංස්කෘතියට මරු පහරක් එල්ල කලේය.


කොටි ත්‍රස්තවාදය සමඟ සටන් කර ජය ගත්තේ අපේකම™ නොවේ. අපේකම™ ඇතිවුන්ට තමන් මිස පොදු සමාජය වැදගත් නැත. ඔවුන් යුධ කරන්නේ තමන් වෙනුවෙනි.  ඊනියා මානව හිමිකම් කඩන්නේත් උන්මය. මුලදී ජාතික ව්‍යාපාරයට අපේකම™ ක් තිබුනේ නැත. නමුත් ක්‍රමයෙන් අවස්ථාවාදී දේශපාලකයින් ඊට අපේකම™ ක් එල්ලූහ. බටහිරුන් සිංහල බෞද්ධයෝ ම්ලේච්ඡයින් යැයි පෙන්වන්නට යොදා ගත්තේ ඒ එල්ලූ අපේකම™ ය. අවාසනාවකට අපේකම™ මෙරට සංස්කෘතියේ අපේකම නොවන බව තේරුම් ගැනීමට එහි ආභාශය ලත් මෙරට උගත්තු පවා අපොහසත්වූහ. ගැමුණු රජ ඔවුන් සිතු පරිදි සිංහල ස්වෝත්මවාදියෙක් නොවන බව සිනමාවෙන් දැනගත් සමහරු අපේක්‍ෂාභංගත්වයට පත්වූයේ ඒ නිසා විය යුතුය.


බටහිර අධිරාජ්‍යවාදයට කල් පවතින දේශපාලන විසඳුමක් දිය හැක්කේ බටහිර සංස්කෘතියෙන් කෙරෙන පුද්ගලයා සමාජයෙන් වෙන් කිරීම අඩාල කර ගැනීමට හැකිවුනොත් පමණි. නමුත් එය කල හැක්කේ පුද්ගලිකත්වය නැති කර පුද්ගලයා සමාජයට බැඳ තැබීම මඟින් නොවේ. මාක්ස්වාදය බටහිර අධිරාජ්‍යවාදයට සාර්ථක විසඳුමක් නොවන්නේ එබැවිනි. මාක්ස්වාදය ලිබරල් මාකස්වාදයක් බවට පත්වීම බටහිර සංස්කෘතිය හමුවේ පසුබෑමක් මිස අධිරාජ්‍යවාදයට එරෙහිවීමක් නොවේ.


පුද්ගලයා සමාජයෙන් වෙන් කිරීම අඩාල කර ගත හැක්කේ පුද්ගලිකත්වයත් සාමූහිකත්වයත් එක ලෙස වැදගත් කොට සැලකීමෙනි. සිංහල බෞද්ධයාගේ පැවැත්ම පිළිබඳ විශ්වාසය පදනම් කරගෙන සිංහල බෞද්ධ සංස්කෘතිය තුල එය කර ගත හැකිය.

No comments:

Post a Comment