Sunday, April 19, 2015

කාර් පැදීම

දැන් නගරයේ ජීවත්වන මිනිස්සු බොහොමයකට කාර් ඇත. නමුත් මිනිස්සුන්ට කාර් ගැනීමේ ආර්ථික හැකියාව පෙරට වඩා වැඩිවී ඇත්දැයි සැක සහිතය. මන්ද පුංචි කාරයක් වුවත් මිලදී ගැනීමට ලීසිං එකක් දැමුවොත් එහි මාසික වාරිකය ගෙවීමට විශ්ව විද්‍යාල ගුරුවරයෙකුගේ පඩියෙන් භාගයක් පමණ වැය වෙන බැවිනි. දශක දෙකකට පමණ ඉහතදී කොළඹ නගරයේ ජීවත්වුනු මධ්‍යම පංතියේ මිනිස්සු පඩියෙන් එතරම් ප්‍රතිශතයක් වාහනයක් ගැනීම සඳහා යෙදවීමට තරම් එඩිතර(?)වූයේ යැයි මම නොසිතමි. දැන් කාර් ගැනීම සඳහා පෙරට වඩා සාමාජයීය පෙලඹවීමකුත් ලේසියෙන් ලීසිං ගැනීමට හැකියාවකුත් ඇති බව නම් පෙනේ. නගරයට එන කාර් ගණන වැඩිවී තිබුනත් බස්වල යන මිනිසුන්ගේ අඩුවක් වී නැති බවත් කිව යුතුය.

නමුත් මගේ උනන්දුව කාර් ගැනීම ගැන නොව කාර් පැදීම ගැනය. පෙර දිනක නගර මධ්‍යයේ මම ත්‍රී වීලයක් අමුණා ගතිමි. මගේ වාහනයට වූ හානිය සුළු වුවද සාපේක්‍ෂ වශයෙන් ත්‍රී රෝද රථයට වූ හානියට වඩා වැඩිය. ත්‍රී රෝද රථ රියදුරා දැන් මොකක්ද කෙරෙන්න ඕනේ යැයි මගෙන් විමසීය. ඇත්තටම ගතහොත් කිසියම් මාර්ග නීතියක් ඒ සිදුවීමට බලපානවාදැයි හරියටම කීමට නොහැකිය. නමුත් මගේ මතයට අනුව අනිත් රියදුරා සිය වාහනය පැදවූයේ චාරයක් නැතිවය. ඔහුගේ හැදියාව ගැන වාද කිරීමට මට පදනමක් නැතිවූ නිසා මම පාඩූ විඳගෙන යන්ට ගියෙමි. ඒ අවසාන වතාවට විය හැකිය. 


මීට වසර විස්සකට පමණ පෙර කොළඹ නගරයේ වාහන තද බදයක් නොතිබිනි. නමුත් දැන් නිවසින් එලියට බැස්සොත් දවසෙන් වැඩි කාලයක් ගත කරන්නට සිදුවෙන්නේ මහ මගය. වාහන ප්‍රමාණය වැඩි වීම හැරුණු කොට වාහන තද බදයට දායකවන එක් වැදගත් කාරණයක් නම් රියදුරන්ගේ නො-හැදියාවය. නමුත් සියලු රියදුරන්ගේ හැදියාව එක හා සමාන නොවේ. උදාහරණයක් වශයෙන් සාමාන්‍යයෙන් උගත් යැයි සැලකෙන මිනිසුන් වැඩිපුර ගැවසෙන නැත්නම් එවැනි මිනිසුන් ජීවත්වන ප්‍රදේශ හරහා වැටී ඇති මර්ගවල රියැදුරන්ගේ හැදියාව අනිත් මාර්ගවල රියදුරන්ගේ හැදියාවට වඩා හොඳ බව පෙනේ. වාහන තදබදය වැඩියෙන්ම ඇත්තේ පාසල් සහ කාර්යාල ඇරෙන වැහෙන වේලාවලටය. වාහන තදබදය වැඩි වුවද උදේ හය හමාරට පමණ වාහනය පැදවීම එම මහා මාර්ගයේම දහවල් දොලහට පමණ පැදවීමට වඩා පහසු බවද මම අත්දැක ඇත්තෙමි. සමහරවිට උදේ හය හමාරට පදින රියදුරන්ගේ හැදියාව එම පාරේම දහවල් දොලහට පදින රියදුරන්ගේ හැදියාවට වඩා හොඳ නිසා විය හැකිය. හය හමාරේ රියදුරන් බහුතරයක් කාර්යාලවල සේවය කරන උගත් අය වීමත් දහවල් දොලහේ රියදුරන් බහුතරයක් රියදුරු කම රස්සාවට කරන සාපේක්‍ෂ වශයෙන් අඩු උගත් කමක් ඇති අයවීමත් ඊට හේතුවක් විය හැකිද?


පැහැදිලිවම මෙහි කථා කරන්නේ ගමේ උපාසක මහත්තයෙකුට තිබිය හැකි හැදියාවක් ගැන නොව උගත්කම හා බැඳූනූ හැදියාවකි. කාර් පැදවීමට එතරම් උගත් කමක් අවශ්‍ය නැත. නමුත් අනුන්ට කරදරයක් නැතිව වාහන පැදවීමට ඇති හැදියාව උගත්කම හා බැඳුනු එකකි. අනුන්ට කරදරයක් නොවී වාහන පැදවීමට හැකිවුනද උගතාට අර උපාසක මහත්තයාගේ හැදියාව නැතිවෙන්නට පුළුවන. ඒ වගේම උපාසක මහත්තයාගේ හැදියාව අනුන්ට කරදරයක් නොවී වාහන පැදවීමට උදව් නොවෙන්නටද පුළුවන. 


කාර් පදවන හැදියාව අධ්‍යාපනයෙන් ලැබෙන්නේ කෙසේද?


බටහිර අධ්‍යාපනයෙන් කෙරෙන එක් වැදගත් කාර්යයක් නම් පුද්ගලයා සමාජයෙන් වෙන් කෙරීමය. එසේ වෙන් කෙරුනු පුද්ගලයාට පුද්ගල අයිතීන් ලබාදී අනිත් පුද්ගලයින්ගේ අයිතීන් උල්ලංඝනය නොවෙනසේ හැසිරීමට කියා දෙන්නේද ඒ අධ්‍යාපනයමය. භෞතිකමය වශයෙන් සැලකූවිට පුද්ගල අවකාශයද (පර්සනල් ස්පේස්) පුද්ගල අයිතියකි. කාර් පදවන හැදියාව තමන්ගේත් අනුන්ගේත් පුද්ගල අවකාශ වලට ගරු කිරීම හා සම්බන්ධය.


අපසමාජයේ කාරයක හිමි කරුවෙකු වීම මමත්වය වඩවන්නකි. කාරයේ සුක්කානම අතට ගත්විට කාරය මමත්වයේ දිගුවක් වෙයි. මිනිසුන් පංචි කාර් වලට වඩා ලොකු කාර් වලට කැමතිවීමට එයද හේතුවකි. කාරය පාරට දැමූවිට දැන් පාරේ සිටින්නේ කාර් නොව තමන්ගේ තරමට වඩා විශාල මිනිසුන් (බොහෝවිට පිරිමින්) පිරිසකි. එහිදී අවශ්‍ය වන්නේ ඒ ඒ අයගේ පුද්ගල අවකාශ ගරු කරමින් ගමන් කිරීමය. එසේ ගමන් කිරීමට බටහිර අධ්‍යාපනය හරහා පූරුදු කරවයි.


බුදු දහමින් පෝශණය වුනු අප සමාජයට අනෙක් මිනිසුන්ට පමණක් නොවේ සතා සිව්පාවන්ටත් පරිසරයටත් කරදරයක් නොවෙන සේ ජීවත්වීමට හැදියාවක් ඇත. ඒ හැදියාවට අනුව කාර් පැදීම උගතුන්ගේ පුද්ගල අවකාශයට ගරු කරමින් කාර් පැදීමට වඩා උසස් විය යුතුය. ප්‍රශ්ණය අපි කාර් පැදීම අපේ සංස්කෘතියට හරිහැටි අවශෝෂණය කරගෙන නොමැතිවීමය. එය හරිහැටි අවශෝෂණය කර ගත හැක්කේ උගතුන්ට නොව නූගතුන්ටය.


පසුගිය ලිපි කිහිපයේ මෙන්ම මේ ලිපියේද මම උත්සාහ කරන්නේ මෙරට නාගරික සමාජය පිළිබඳව විවරණයක් කිරීමටය. එහි යම් විශේෂත්වයක් ඇත්නම් ඒ මා සතු මගේ පරණ කණ්නාඩියය. කාලයක් විදේශගතව සිටි මා මෙහි පදිංචියට පැමිණියේ ලඟදීය. තවමත් මගේ සංස්කෘතිය මීට දශක දෙකකට පමණ ඉහතදී ලංකාවේ පැවති නාගරික සංස්කෘතියය. මා වත්මන් සමාජයට අනුගතවෙත්ම ඒ පරණ කණ්නාඩිය මට අහිමවන බැවින් ඒ දැක්ම මෙහි ලියා තැබීමට සිත්විනි.

Wednesday, April 15, 2015

“මම” තුනී කර හැරීම

කාලයක් බටහිර රටක ජීවත්වන විට බටහිර සංස්කෘතික අභාෂයෙන් මිදීමට නොහැකිිය. මම ඉන් මිදී සිටීමට සිතා මතා උත්සාහයක්ද නොගත්තෙමි. එහි ගැලීමටද උත්සාහයක් නොගත්තෙමි. කෙසේ වෙතත් කාලයාගේ ඇවෑමෙන් පැහැදිලිවම මා තුල යම් සංස්කෘතික වෙනස්කම් සිදුවී ඇත. මට ඒ වෙනස්කම් යම් පමණකට අවබෝධ කරගැනීමට හැකිවූයේ යලි ලංකාවට පැමිණ මෙහි මාස හතරක් පහක් ජීවත්වීම තුලිනි. මා කථා කරන්නේ එහෙන් මෙහෙන් ඇහිඳගත් සංස්කෘතික කෑලි ගැන නොවේ. වැඩිකල් නොගොස් ඒ කෑලි ඉබේටම හැලෙනු ඇත. නමුත් ස්වීයත්වයේ පිට කට්ට විනිවිද ගිය ඇතැම් ආකල්ප හා පුරුදු හැලීමට කල් ගත වනු ඇත. ඒවා නොහලන තාක් කල් මට ලංකාවේ ජීවත්වීමද දුෂ්කර වනු ඇත.

කඩයකට ගියත් වෙන වැඩකට කාර්යාලයකට ගියත් පෝලිමේ ඉන්ඩ සිදුවේ. ඇමෙරිකාවේද එසේමය. නමුත් එහි මිනිසුන් පෝලිමේ සිටින විට එකිනෙකා අතර පරතරයක් තබා ගැනීමට වග බලා ගනිති. ලංකාවේ එසේ නැත. පෝලිමේ සිටින ගැහුණු මිනිස්සු සියල්ලෝම පාහේ සිටගන්නේ එකිනෙකාගේ ඇඟේ ගෑවෙන නොගෑවෙන ගානටය. ඔවුන්ට තවකෙක් ඇඟේ ගෑවුනද ගානක් නැත. විටෙක ඔවුන් මගේ කර උඩින් අත යවා කවුළුවේ සිටින තැනැත්තෙකුට යමක් දෙයි. තවත් විටෙක මගේ අතේ ඇති යම් ලිය කියවිල්ලක් දෙස ඇස් යොමාගෙන සිටියි. වරක් මා ඉදිරියේ සිටින තැනැත්තාට පියවරක් පමණ පසු පසින් මා සිට ගෙන සිටියේ පෙර පුරුද්දටය. එසේ සිට ගැනීමට එහි ඕනෑතරම් ඉඩ තිබිනි. හදිසියේම පසු පසින් පැමිණි කාන්තාවක් මොහොතක් කල්පණා කරමින් සිට පෝලිමෙහි මා ඉදිරියෙන් සිට ගත්තාය. එසේත් නැත්තම් පෝලිම පැන්නාය. නිසැකවම මාත් මා ඉදිරියේ සිටි පුද්ගලයාත් අතර ඉඩ ඈට සාපේක්‍ෂව වැඩිවූ නිසා මා පෝලිමේ නොසිටි අයෙකැයි ඈ සිතන්නට ඇත. 

මේ කිසි දෙයක් තවමත් මට රුස්සන්නේ නැති බව මා කියන්නේ ආඩම්බරයෙන් නොවේ. වැඩි කල් නොගොස් මා මෙහි සංස්කෘතියට හැඩ ගැසෙනු ඇත. එහි ප්‍රශ්ණයක් නැත. නමුත් අද මා  දවටා ඇති මෙවැනි බටහිර සංස්කෘතික ආකල්ප වැඩි කල් නොගොස් අප සමාජයටද පුරුදු වෙන බව දකින විට නම් මට දැනෙන්නේ දුකකි. ඒ අකල්ප ඊනියා මිනිස් පරිණාමයක් හෝ දියුණුවේ අංගයක් ලෙස හෝ ගතානුගතිකත්වයෙන් මිදීමක් හෝ ඊනියා වැඩවසම් ක්‍රමයෙන් මිදීමක් ලෙස හුවා දක්වන බටහිර ගැති පඬියන් ගැන නම් මට ඇති වන්නේ තරහකි.

ලංකාවේ විශ්ව විද්‍යාලවල පවා පිිරිමින් තව පිරිමින් ගේ කර මත අත යවමින් අත් අල්ලා ගනිමින් සිටිනු දැකීම (දැන් එය තරමක් අඩුය) සුලබ දසුනකි. ගැහැනුන් ද එසේය. නමුත් ඇමෙරිකාවේ එසේ ගැවසීම කැප වන්නේ සම ලිංගිකයින්ට පමණි. පර්සනල් ස්පේස් නැත්තම් පුද්ගලික අවකාශය ගැන බටහිර ළමයින්ට කියා දෙන්නේ මොන්ටිසෝරි පංතියේදීමය. පුද්ගලික අවකාශයට ගරු කිරීම ඇමෙරිකාවේ ඉතා තදින් අනුගමණය කරන සමාජ පිළිවෙතකි. එවැනි පුරුද්දක් නොතිබුනු මට එහි ගිය මුල් අවධියේදීම ඊට අනුගතවන්නට සිදුවන්නට ඇත්තේ එසේ නොවුනේනම් මට ඒ සමාජයේ සාමාජිකත්වය නොලැබෙන බැවිනි.

පුද්ගලික අවකාශය ඉබේ පහලවුවක් නොව පුද්ගලිකත්වය සාමූහිකත්වයට ඉහලින් තැබීම හා සම්බන්ධ ආකල්පයකි. "මම" ගොනු කර මහත් කිරීමේ ප්‍රතිඵලයකි. අපට අවශ්‍ය "මම" තුනී කර විහිදා දැමීමටය. අපිදු වැඩිකල් නොගොස් පුද්ගලික අවකාශය මොන්ටිසෝරි පංතියේ කියා දෙන තරමට පුද්ගලිකත්වය උතුම් කොට සලකන තැනකට (දැනටමත් එතැනදැයි මට සැකය) පැමිණෙනු ඇත. පුද්ගලිකත්වය උතුම් නොවී සමාජයක් දියුණුවිය හැකි බව කෙසේ හෝ අපි අවබෝධ කරගත යුතුවෙමු.

ඇමෙරිකාවේ ජීවත්වූ කාලය තුල අපි අවුරුද්ද සැමරුවේ නැත. මුලදී අවුරුදු චාරිත්‍ර කිරීමට යම් උත්සාහයක් ගත්තද පසුව එය අල්ලා දැමුවේ බොරු කල හැකි වුනද පෙනි පෙනී තමන්ට බොරු කර ගන්නේ මොකටදැයි සිතුනු බැවිනි. මොන එහෙකටද? කවදා හෝ ලංකාවට පදිංචියට යමි යැයි සිතා ගෙන සිටි බැවින් අවුරුදු නොකර සිටීම අපහසු නොවිනි. මෙවර අවුරුද්ද මට වැදගත්වූයේ මේ වටපිටාව තුලය. 

පැහැදිලිවම ලංකාවේ අවුරුදු සංස්කෘතිය වෙනස්වී ඇත. මා දකින ආකාරයට එය පිරිහීමකි. එසේ වුවද නැති අවුරුද්දකට වඩා ඇති අවුරුද්ද හොඳය. ඇමෙරිකාවේ බොහෝ දෑ මෙන් අවුරුද්දද තමන්ට සහ තමන්ගේ පවුලට සීමාවුනු එකකි. එහි වැදගත් වන්නේ මමය "මම" සහ මගේ පවුලය. නමුත් අඩු පාඩු ඇතිවද තවමත් සිංහළුන්ගේ අවුරුද්ද අඩු තරමින් පවුලෙන් එපිට ගොස් ලඟම නෑදෑයන් තරමට හෝ විහිදුනු සංස්කෘතික අංගයකි. ඇමෙරිකාවේ සිංහලුන්ගේ අවුරුද්දට සාපේක්‍ෂව ලංකාවේ අවුරුද්දේ "මම" තරමක් දුරට තුනී වී විහිදී ඇත. නමුත් මීට දශක දෙකකට ඉහතදී තත්වය ඊට වෙනස් විය. එදා අවුරුද්ද යාළු මිත්‍රාදීන් ඇතුළු ගමේ අනිත් අයවලුන් තරමටම විහිදී තිබිනි. එදා නගරබද ප්‍රදේශවල පවා තිබුනු අවුරුදු උත්සව අද වෙනවිට දකින්නට නැත. එදාට සාපේක්‍ෂව අද "මම" මහත්වී හැකිලී ඇත. 

සංස්කෘතිකව අප අද ඉන්නා තැන පැහැදිලිය. අප යන අතද පැහැදිලිය. 

බලු වෙන සමාජය

තනි මිනිස්සු

රංචු ගැසීම: අලි සහ අපි

Tuesday, April 7, 2015

පරණ කණ්නාඩියෙන් අළුත් ලෝකය බැලීම

වර්ෂ එක් දහස් නවසිය අනූතුනේ සැප්තැම්බර මස දිනක මම විදේශගත වුනෙමි. දශක දෙකක් පමණ කාලයක් එහි ගත කර පසුගිය නොවැම්බරයේ මා නැවත ශ්‍රී ලංකාවට පැමිණියේ මෙහි ස්ථිරව පදිංචිවීමට ඉටා ගෙනය. ගෙවී ගිය කාලය තුල නිතර ලංකාවට ආ ගිය බැවින් ඒ දශක දෙක තුල මෙරට සිදුවුනු සමාජ සංස්කෘතික විපර්යාසය පිළිබඳව මට යම් අවබෝධයක් නැතුවා නොවේ. නමුත් මට එය ප්‍රත්‍යක්‍ෂයෙන් දැනගත නොහැකිය. කෙසේ වෙතත් අද මම ලංකාවේ ජීවත් වෙමින් එහි ජීවිතය අත්දකිමි. නමුත් පසුගිය මාස තුන හතර තුල මා ලද අත්දැකීම ඉදිරි ජීවිත කාලය තුලම (මෙහි ඉන්නට ලැබුනොත්) ලබන අත්දැකීමට වඩා වෙනස් සුවිශේෂ එකක් වනු ඇත. ඊට හේතුව වර්තමානයේ මා සතුව ඇති මා ලොව දකින පරණ කණ්නාඩියය.

මා ලංකාවෙන් නික්මවෙන විට ප්‍රත්‍යක්‍ෂයෙන් දැන සිටියේ එක් දහස් නවසිය අනූතුනේ ලාංකික සමාජය සහ එහි සංස්කෘතියය. විදේශගතවීමත් සමඟම මගේ ඒ දැනුම ගල් විය. එනම් මගේ මනසට සාපේක්‍ෂවූ ලාංකික සමාජය කාලයත් සමඟ වෙනස් නොවිනි. මන්ද මා එතැන් සිට ජීවත්වූයේ එය වෙනස් කරලීමට අවශ්‍යය (සමත්) ලංකාවේ සංස්කෘතිය තුල නොවුනු බැවිනි. ඒ නිසා දෙදහස් පහලොවේත් මා මේ සමාජය දෙස බලන්නේ සුළු වෙනස්කම් සහිතව වුවද අනූ තුනේ කණ්නාඩිය පැලඳගෙනය. මේ කණ්නාඩිය කෙටි කලක් මා සතුව පවතිනු ඇත. කාලයාගේ ඇවෑමෙන් වැඩිකල් නොගොස් අනූ තුනේ කණ්නාඩි පසෙකලා නව කණ්නාඩි යුවලක් පලඳිනු ඇත. පසුගිය මාස කිහිපය තුල මා ලද අත්දැකීම විශේෂ වන්නේ අනූ තුනේ කණ්නාඩියකින් දෙදහස් පහලොවේ ශ්‍රී ලාංකික සමාජය දෙස බැලුනු නිසාය. එය ඕනෑම අයෙකුට කල හැකියැයි මම නොසිතමි.


පරණ කණ්නාඩියෙන් අළුත් ලංකාව දිහා බලද්දී මට පෙනෙන්නේ මේ කාලය තුල අපි කෙතරම් පුද්ගලිකත්වය උතුම් කොට සලකන සමාජයක් බවට පත්වී ඇත්ද යන්නය. පසුගිය දශක දෙක තුල ලාංකික සමාජයේ ඇතිවී ඇති මා දකින වැදගත්ම වෙනස එයයි. මේ බව නොයෙක් දෙනා පවසා ඇති බව මම දනිමි. මා ද මේ ගැන යම් පමණින් දැන ගෙන සිටි අතර මීට පෙර ඒ පිළිබඳව ලිපි ලියා ඇත. එසේ තිබියදීත් මෙරට සමාජයේ ඇතිවී තිබෙන වෙනස ප්‍රායෝගිකව අත්දකිද්දී ඒ වෙනස මා මවිතයටත් දුකටත් පත් කරවයි.


පසුගිය දිනක මා නගරයේ ප්‍රසිද්ධ සුපිරි වෙලඳ සැලකට ගියේ උදේ පාන්දරින්මය. ඒ වනවිට තවමත් වෙලඳ සැල විවෘත කර නොතිබිනි. මා ඇතුළු එහි පැමිණි දහ දොලොස් දෙනෙකු එතැන විය. වෙලාවට දොර හැරිනි ආරක්‍ෂක නිලධාරියා ගුඩ් මෝනින් කියා පිලිගන්නවාත් සමඟම අපි එහි ගොඩ වැදුනෙමු. සුළු මොහොතකින් එහි ඇති ශබ්ද විකාශන යන්ත්‍රවලින් ජාතික ගීය වාදනය වන්නට විය. එවැන්නක් බලාපොරොත්තු නොවූ නිසා මා ඊට එසැනින්ම සංවේදී නොවුනෙමි. මම දිගටම පියවර තැබීමි. වැයෙන්නේ ජාතික ගීය යැයි අවබෝධවූ විට මා සිත පහලවූයේ මේ මොන මඟුලක්ද යන හැඟීමය. ජාතික ගීය එහිදී බලාපොරොත්තු නොවූවා පමණක් නොවේ එය එහි වාදනය කිරීම වංචාවක් යැයිද මට සිතිනි. මම තරහින් නොනැවතී ඉදිරියට ගියෙමි. වෙලඳ සැල තුල මද දුරක් එසේ යනවිට මට කලින් එහි පිවිසි ඈයෝ සීරුවෙන් සිටිනු දැක්කෙමි. ඉන් එකෙක් දෙන්නෙක් තවමත් ඇවිදින මා දෙස ඔරවමින් බලනු පෙනිනි.  ඔවුන්ගේ ඔරොප්පුවට පාත්‍රවීමට අකැමැති වූ බැවින් මම නැවතිනිමි. ගීය නිම විය. ඊලඟට හිංදි සිංදුවක් වාදනයවිය. ඊලඟට සිංහල සිංදුවකි. සාමාන්‍යයෙන් එහි වැයෙන්නේ ඉංග්‍රීසි සිංදු පමණි. වෙනස ලඟ එන සිංහල අවුරුද්දය. වෙලඳ සේවිකාවෝ අවුරුද්දට රෙද්දයි හැට්ටයයි (ඒ වගේ යමක්) හැඳ සිටියහ. වෙලඳසැල තුල යම් තැනක කටුමැටි ගෙයක් යැයි පෙනෙන යමක් අටවා තිබිනි. මා අවශ්‍ය දේ රැගෙන කවුන්ටරයට ගියෙමි. රෙද්දයි හැට්ටය වැනි යමකුයි හැඳි සේවිකාව ගුඩ් මෝනින් සර් කියා ආවාර කලාය.


මා දකින විදිහට සේවිකාවන්ගේ ඇඳුමත්, කටු මැටි ගෙයත්, අමුම අමු වංචාවකි. ජාතික ගීය වැයීමද වංචාවක් වන්නේ ඒ සන්දර්භය තුලය. මේ සියළු දෙයින් කෙරෙන්නේ ඊනියා සිංහල සංස්කෘතියක් ආරූඪ කරගැනීමට අවස්ථාවක් සලසා දීමය. නමුත් එහි ජාතික ගීය වැයෙද්දී සීරුවෙන් සිටිමින් මා දෙස ඔරවා බැලූ මහත්වරුන්ට එය වංචාවක් නොවිනි. එසේ සිතුවත් අඩුතරමින් ඔවුන් මේ වනවිට එවැනි වංචා කරගැනීම් වලට හොඳින් පුරුදු වී සිටිනවා විය හැකිය. (මෙය කියවන යමෙකුට ජාතික ගීය වැයීමත් එය වැයෙන විට සීරුවෙන් සිටීමත් වංචාවක් වන්නේ කෙසේදැයි යන්න ප්‍රෙහේලිකාවක් නම් මම පුදුම නොවෙමි) ඒ කුමක් වුවත් ඔවුන්ට එය වංචාවක් ලෙස පෙනෙන්නේ නැත නමුත් මගේ පරණ කණ්නාඩියට එසේ පෙනේ. ඉන් පිලිඹිබු වන්නේ එක්දහස් නවසිය අනූතුනේ ලංකාවේ සමාජයත් දෙදහස් පහලොවේ ලංකාවේ සමාජයත් අතර වෙනසය.


යමෙකුට ඊනියා සිංහල සංස්කෘතියක් ආරූඪ කරගැනීමට අවශ්‍ය වන්නේ ඇයි? ඊට ඇති මූලික අවශ්‍යතාව විය හැක්කේ තමන් ඒ සංස්කෘතියට, නැත්තම් ඒ සමූහයට, අයත් යැයි කීමටය නැත්නම් තමන්ටම එය කියා ගැනීමටය. යමෙක් ඒ සමූහයට අයත් නම් තවත් එහි කියාපාන්නට දෙයක් නැත. නමුත් අද නගරබදව වාසය කරන බහුතරයක් ඉන්නේ සමාජයෙන් වෙන්වය. තමන්ගේ පුද්ගලිකත්වයට ගොනුවීය. ඔවුන් සමාජයට සම්බන්ධ වන්නේ පුද්ගලිකත්වය මත එල්ලා ගත් (නැත්නම් ආරූඪ කරගත්) සංස්කෘතික කෑලි තුලිනි. ඔවුන් කෙතරම් පුද්ගලිකත්වයට ගොනුවී ඇත්දැයි කිවතොත් තමන් විසින්ම තමන්ට වංචා කරගන්නේ යැයි නොසිතති. ඔවුන් දෙස පරණ කණ්නාඩියෙන් බලන මට ඔවුන් කරන වංචාව පෙනේ. පසුගිය දශක දෙක තුල අප සමාජයට වී ඇති වින්නැහිය පුද්ගලයා සමාජයෙන් වෙන්වීමය. එය ඊනියා මානව වර්ධනයක් ලෙස දැකීම තරම් බුද්ධිමය වංචාවක් තවත් තිබිය නොහැකිය.

Thursday, April 2, 2015

කෝච්චි නැත්නම් වයිෆයි එකේ පලයං

අන්තර්ජාල පහසුකම් මූලික අයිතිවාසි කමක් වශයෙන් හැඳින්වීමට බටහිරට අවශ්‍යතාවක් ඇත. ඒ සඳහා ඇමෙරිකානු ආණ්ඩුව විසින් දැනටමත් අන්තර්ජාල නිදහස යන මැයින් පණත් කෙටුම්පත් පණවාගෙන ඇත. නමුත් එතැන කථා කෙරෙන්නේ තමන්ගේ රටේ අන්තර්ජාල නිදහසකට වඩා ලෝකයේ අන් රටවල මිනිසුන්ට අන්තර්ජාල පහසුකම් ලබා ගැනීමට ඇති අයිතියක් පිළිබඳවය. එතැනිනුත් එහා ගොස් ඒ ඒ රටවල ආණ්ඩුද අභිබවා ගොස් එහි වෙසෙන මිනිසුන්ට අන්තර්ජාලයට පිවිසීමට ඇති අයිතියක් පිළිබඳවය. බටහිර ආණ්ඩු කථා කරන ඊනියා මානව නිදහස ගැන අපි හොඳින් දනිමු. මේ කියන අනතර්ජාල නිදහස ඊනියා මානව නිදහස සහ එය බටහිරුන් විසින් පාවිච්චි කරන ආකාරයෙන් වෙනස් වන්නේ නැති බව දැන ගැනීමට දිවැස් ඕනෑ නැත.

අගමැතිතුමාගේ වයිෆයි ව්‍යාපෘතිය ඇමෙරිකාවේ නිදහස් අන්තර්ජාල ව්‍යාපෘතිය හා සමගාමී වන්නේදැයි කිව නොහැකිය. නමුත් පවතින ආණ්ඩු පෙරලීමට අන්තර් ජාලය පවිව්චි කරන්නා සේම ආණ්ඩු පවත්වාගෙන යාමටද අන්තර් ජාලය පාව්ච්චි කල හැකි බව සිතා ගත හැකිය. එහිදී වැඩිපුරම බලයක් ලැබෙන්නේ අන්තර්ජාල පහසුකම් සපයන්නාටය. ඉහත ව්‍යාපෘතියේ සපයන්නා රජය වේ. එවිට රජයට අවශ්‍ය නම් යම් වෙබ් අඩවි වලට මග අහුරා දැමිය හැකිය නැත්නම් ඊට ලඟාවිය හැකි වේගය අඩාල කල හැකිය අවශ්‍යනම් තමන් කැමති වෙබ් අඩවි වලට අන්තර්ජාලයේ සැරිසරන්නන් ඔවුන්ට නොදැනීම යොමුකරවිය හැකිය. එපමණක් නොවේ අවශ්‍යනම් තමන්ගේ වයිෆයි පහසුකම හරහා අන්තර් ජාලයට පිවිසෙන්නන්ගේ පෞද්ගලික තොරතුරුද එක් රැස් කර ගත හැකිය. මේ සියළු ක්‍රියා ජන මතය වෙනස් කිරීමටත් ඒ හරහා ප්‍රජාතන්ත්‍ර විරෝධීව රජයක් පවත්වාගෙන යාමටත් පාවිච්චි කල හැකි බව කිව යුතු නැත.

මේ සියලු ක්‍රියා මඟින් ඊනියා අන්තර්ජාල නිදහස ඇහිරෙන බව බටහිරුන් දැන සිටියත් එවැනි නිදහසක් ආරක්‍ෂා කර ගැනීමට අවශ්‍ය මෙවලම්, නීති රීති සහ දැනුවත් බව මෙරටුන් තවමත් නිර්මාණය කරගෙන නැත. අපට බල කල හැක්කේ අඩුතරමින් බටහිර රටවල් තම රටවල මිනිසුන්ගේ අන්තර්ජාල නිදහස ආරක්‍ෂා කර ගැනීම සඳහා යොදා ගෙන ඇති නීති රීතිවත් අගමැතිතුමාගේ වයිෆයි ව්‍යාපෘතියත් පොදුවේ මෙරටින් අන්තර් ජාලයට පිවිසෙන්නන් සම්බන්ධයෙනුත් පිලි පැදිය යුතු බවය. එහිදී වඩාත් වැදගත් වනුයේ මිනිසුන්ගේ පුද්ගල අයිතියට වඩා සමූහයක් වශයෙන් රටේ ස්වාධිපත්‍ය රැකීමය.

Wednesday, April 1, 2015

නොවටින අපේකම™

කොටි ත්‍රස්තවාදය පැරදවිය හැකිය යන හැඟීම සිංහල සමාජය තුල මුල් බැස ගන්නවාත් සමඟම සිංහලකමට, සිංහල බෞද්ධකමට  නැත්නම් අපේකමට යම් ඉල්ලුමක්ද සමාජය තුල නිර්මාණය වෙන්නට පටන් ගැනිණි. ඒ ඇසුරින් කෙමෙන් අපේකම වෙළඳ නාමයක් (අපේකම™) බවට පත්විනි. පසුගිය දශකය පුරාම අපේකම™ ට ඇති ඉල්ලුම වර්ධනයවිය. ලාභ ඉපයීම අරභයා වෙළෙන්දන් අතින් එය වර්ධනය කෙරිනි. භෝජනාගාරවලත් සුපර් මාර්කට්ටුවලත් බැංකු වලත් අපේකම™ විකිණිනි. අපිට අපේකම™ මුදලට ගත හැකි විනි. නමුත් මට එහි ඇති වැදගත් ප්‍රශ්ණය මුදල් සම්බන්ධයෙන් නොව අපේකම පුද්ගලිකව අත් කරගැනීමට හැකි දෙයක් බවට පත්වීමය. එනම් අපේකම පුද්ගලිකකරණය වීමය. පුද්ගලිකකරණය හරහා අපි අත් කර ගන්නේ සංස්කෘතික අපේකම නොව එල්ලා ගත හැකි කෑල්ලක් වූ අපේකම™ ය. ප්‍රශ්ණය එයයි.

නමුත් අපේකම™ ට වටිනාකමක් නැත. ඉදිරියේදී මෙරට දේශපාලන සංස්කෘතිය තව තවත් බටහිර ගැතිවී ගොස් බෙදුම්වාදය ප්‍රජාතන්ත්‍රවාදී අවශ්‍යතාවක් ලෙසත් ප්‍රබුද්ධ දේශපාලන මතවාදයක් ලෙසත් මෙරට සමාජය තුල මුල් බැස ගතහොත් අපේකම™ ට ඉල්ලුමක් නැතිවෙනු ඇත. එවිට එක්කෝ අපේකම™ නැතිවෙනු ඇත නැත්තම් එය රූපාන්තරණයකට ලක් වෙනු ඇත. ඒ මොන එකක් වුවද අපට සංස්කෘතික අපේකම නැතිවෙනු ඇත.


මෙරට ජාතික ව්‍යාපාරයට කොටි ත්‍රස්තවාදය පරාජය කල හැකිවුනද ඊට පිටුපසින් සිටි බටහිර සංස්කෘතිය ජය ගැනීමට ඊට හැකි නොවිනි. නමුත් බටහිර සංස්කෘතිය ජය නොගෙන ඊට එරෙහිව ලබා ගන්නා දේශපාලන ජයග්‍රහණ වලට කල් පැවැත්මක් නැත. 1956දීත් 2005දීත් ලද දේශපාලන ජයග්‍රහණ වැඩි කල් පවත්වා ගැනීමට නොහැකිවුනේ ඒ හේතුව නිසාය.


අද වනවිට බටහිර සංස්කෘතියේ බලපෑම තදින්ම ක්‍රියාත්මක වෙමින් පවතියි. බටහිර සංස්කෘතියේ විශාලතම සහ වැදගත්ම බලපෑම යෙදෙන්නේ පුද්ගලයා සමාජයෙන් වෙන් කිරීම සඳහාය. වෙන් කෙරුනු පුද්ගලයා සිය පැවැත්ම උදෙසා භෞතික දේ එක් රැස් කරන්නා සේම අභෞව්‍යදේද රැස් කරයි. අපේකම™ එවැන්නකි. බටහිර සංස්කෘතියේ අභාශය ලත්, සමාජයෙන් ඈත්වුනු, නාගරික උගත් තරුණ පිරිස අතර පසුගිය දශකය පමණ කාලය තුල අපේකම™ ට ඉල්ලුමක් තිබුනේ එබැවිනි. ඒ ඉල්ලුම බටහිර සංස්කෘතිය සමඟ පොරබදමින් සිටි සිංහල බෞද්ධ සංස්කෘතියට මරු පහරක් එල්ල කලේය.


කොටි ත්‍රස්තවාදය සමඟ සටන් කර ජය ගත්තේ අපේකම™ නොවේ. අපේකම™ ඇතිවුන්ට තමන් මිස පොදු සමාජය වැදගත් නැත. ඔවුන් යුධ කරන්නේ තමන් වෙනුවෙනි.  ඊනියා මානව හිමිකම් කඩන්නේත් උන්මය. මුලදී ජාතික ව්‍යාපාරයට අපේකම™ ක් තිබුනේ නැත. නමුත් ක්‍රමයෙන් අවස්ථාවාදී දේශපාලකයින් ඊට අපේකම™ ක් එල්ලූහ. බටහිරුන් සිංහල බෞද්ධයෝ ම්ලේච්ඡයින් යැයි පෙන්වන්නට යොදා ගත්තේ ඒ එල්ලූ අපේකම™ ය. අවාසනාවකට අපේකම™ මෙරට සංස්කෘතියේ අපේකම නොවන බව තේරුම් ගැනීමට එහි ආභාශය ලත් මෙරට උගත්තු පවා අපොහසත්වූහ. ගැමුණු රජ ඔවුන් සිතු පරිදි සිංහල ස්වෝත්මවාදියෙක් නොවන බව සිනමාවෙන් දැනගත් සමහරු අපේක්‍ෂාභංගත්වයට පත්වූයේ ඒ නිසා විය යුතුය.


බටහිර අධිරාජ්‍යවාදයට කල් පවතින දේශපාලන විසඳුමක් දිය හැක්කේ බටහිර සංස්කෘතියෙන් කෙරෙන පුද්ගලයා සමාජයෙන් වෙන් කිරීම අඩාල කර ගැනීමට හැකිවුනොත් පමණි. නමුත් එය කල හැක්කේ පුද්ගලිකත්වය නැති කර පුද්ගලයා සමාජයට බැඳ තැබීම මඟින් නොවේ. මාක්ස්වාදය බටහිර අධිරාජ්‍යවාදයට සාර්ථක විසඳුමක් නොවන්නේ එබැවිනි. මාක්ස්වාදය ලිබරල් මාකස්වාදයක් බවට පත්වීම බටහිර සංස්කෘතිය හමුවේ පසුබෑමක් මිස අධිරාජ්‍යවාදයට එරෙහිවීමක් නොවේ.


පුද්ගලයා සමාජයෙන් වෙන් කිරීම අඩාල කර ගත හැක්කේ පුද්ගලිකත්වයත් සාමූහිකත්වයත් එක ලෙස වැදගත් කොට සැලකීමෙනි. සිංහල බෞද්ධයාගේ පැවැත්ම පිළිබඳ විශ්වාසය පදනම් කරගෙන සිංහල බෞද්ධ සංස්කෘතිය තුල එය කර ගත හැකිය.