Wednesday, March 25, 2015

කෘතිම රැලි

වසර දෙකක් පමණ තිස්සේ අන්තර් ජාලය සහ මෙරට ජන මාධ්‍ය අරක් ගෙන සිටි මුස්ලිම් විරෝධී කථා සහ රාවණ කථා අද අසන්නට දකින්නට නැත. විදුලි බලය විසන්ඳි කෙරුවාක් මෙන් මහින්දගේ පරාජයත් සමඟම ඒ කථා නැවතිනි.  එහි ක්‍රියාකාරීන්ද අද නිහඬ වී ඇත. පැහැදිලිවම මුස්ලිම් විරෝධී සහ රාවණ රැලි කෘතිමව නිර්මාණය කරන ලද ඒවාය (මේ අතර සිංහල විරෝධී රැල්ලක් මුස්ලිම් වරුන් අතර තිබෙන්නට ඇතැයි සිතිය හැකිය). හිටි හැටියේ පටන් ගත හැක්කේත් එලෙසම නවතා දැමිය හැක්කේත් පොදු ජනතාව තුලින් බිහිවෙන ස්වභාවිකව රැලි නොව කෘතිම රැලිය. හදිසියේම නැවතුනද ඒ රැලි මර්ධනය කිරීම සඳහා යම් බාහිර බලයක් යෙදුනු බවක්ද පෙනෙන්නට නැත. මේ හේතුව නිසාද ඒ රැලි කෘතිමව නිර්මාණය කරන ලදැයි තව දුරටත් සැක කල හැකිය.

කෙසේ නමුත් රැලි හදිසියේම නැවතුනේ මහින්දගේ පරාජයත්් සමඟම බැවින් රැලි පවතිනතාක් කල් පැවතුනේ මහින්දගේ පරාජය උදෙසා යැයි සිතිය හැකිය. තව දුූටත් යමින් රනිල්-මෛත්‍රී ජයග්‍රහණයේ වගකීම ඇමෙරිකාවේ රාජ්‍ය දෙපාර්තමේන්තුව බාර ගෙන ඇති බැවින් ඉහත රැලි නිර්මාණය කර පවත්වාගෙන යාමේ ගෞරවය ඒ ආයතනයට හිමිකර නොදීමටද හේතුවක් නැත.


මේ රැලි වලට සෘජුව හෝ වක්‍රව හෝ දැනුවත්ව හෝ නොදැනුවත්ව හෝ දායකවූවන් බටහිර ඒජන්තයින් හෝ ඔවුන්ගේ ඉත්තන් ලෙස හැඳුනාගැනීමට උත්සාහ කිරීම අවැදගත් අසාර්ථක ව්‍යායාමයකි. මෙරට බොහෝ දේශපාලන ක්‍රියාකාරීන් ඔවුන්ගේ මතවාදය කුමක් වුනද (රැලි වලට පක්‍ෂවුනද විපක්‍ෂවුනද) අඩු වැඩි වශයෙන් දායකවුනේ මේ රැලි වල පැවැත්මටමය. අපිද එහි වගකීම ගනිමු. එසේවීමට හේතුව ඒ රැලි පවත්වාගෙන ගියේ කුමක් අරභයාදැයි බහුතරයක් අවබෝධ කර නොගෙන සිටි බැවිනි. ආපසු බලන විට පෙනීම හොඳය. දැන් පෙනී යන්නේ මේ රැලි පවත්වාගෙන යන ලද්දේ වෙන කිසිම හේතුවකට නොව මහින්ද දේශපාලණයෙන් ඉවත් කර සිංහල බෞද්ධයින්ගේ දේශපාලන බලය නැති කර දැමීම සඳහා බවය.


ජලය නැති තැනක රැලි නැඟිය නොහැකිය. සිංහලුන්ට මුස්ලිම් වරුන්ගේ ආක්‍රමණ පිළිබඳව කනස්සල්ලක් තිබිනි. ඔවුන්ට තමන්ගේ ඉතිහාසය පිළිබඳවද උනන්දුවක් තිබිනි. නමුත් රැලි මැවුනේ සාමාන්‍ය සිංහලුන් විසින්වත් ඔවුන්ගේ ඒ උවමණාවල් වලටවත් නොවේ. රැලි මැවුනේත් ඒවා සම්පූර්ණයෙන්ම පාහේ පවත්වාගෙන ගියේත් අන්තර්ජාලයේ සහ ජන මාධ්‍ය තුල මිස සාමාන්‍ය ජනතාව අතර නොවේ.


රැලි වලින් කෙරුනු එක් කාර්යයක් නම් ඔවුන්ගේ දේශපාලන බලය සොරා ගැනෙනතාක් කල සිංහල බෞද්ධයින්ගේ අවධානය වෙනතක තබා ගැනීමය. නමුත් රැලි වල මූලික අරමුණ මහින්ද රාජපක්‍ෂට ඡන්ද අහිමි කිරීමය. මුස්ලිම් විරෝධයට පක්‍ෂවූවන්ද විපක්‍ෂවුවන්ද අවසානයේ මහින්දට ඡන්දය දීමෙන් වැලකිනි. එමෙන්ම රාවණ කථා විශ්වාස කල වුන්ද ඊට විරුද්ධවුවන්ද අවසානයේ මහින්දට විරුද්ධ වුනහ. එක අතකින් මුස්ලිම් විරෝධය සහ රාවණා විශ්වාසය සිංහල බෞද්ධයින්ගේ ස්වොත්තමවාදයක් ලෙස හංවඩුගසා මහින්ද නම් සිංහල බෞද්ධ නායකයාට විරුද්ධව ඡන්දය මෙහෙයවීමට මේ රැලි පාවිච්චි විනි. අනිත් අතින් මුස්ලිම් අන්තවාදයට සහය දෙන්නේ යැයිද රටේ පුරා වස්තු මංකොල්ල කන්නේ යැයිද පවසමින් මහින්දට එරෙහිව ඡන්දය මෙහෙයවීමට මේ රැලි පාවිච්චි විනි. මේ කිසි රැලියකින් මහින්දට ඡන්දය නැතිවුණා මිස ඇතිවුණේ නැත.


නමුත් රැලි හරහා මහින්දට නැතිවුනේ සම්ප්‍රදායික ශ්‍රීලනිප ඡන්දවත් සම්ප්‍රදායික එජාප ඡන්දවත් නොවේ. නැතිවුනේ වයස අවුරුදු විස්ස තිස්පහ පමණ අතරවූ, දේශපාලණය පිළිබඳ වැඩි උනන්දුවක් නැති, තමන්ගේම සුභ සිද්ධිය සඳහා පමණක් වැඩ කරන, උගත් තරුණ පිරිස ගේ ඡන්දයය. ජාතිවාදී ලෙස මුස්ලිම් වරුන්ට විරුද්ධ වෙමින් රාවණා කථා විශ්වාස කරමින් ගොස් රනිල්-මෛත්‍රීට ඡන්දය දුන්නේ මා දන්නා එක් අයෙකු පමණක් නොවන බව මට විශ්වාසය. මොවුන් මේ රැලි හරහා එක්කෝ සිංහල බෞද්ධකම තමන්ගේ පෞද්ගලික හිමි කමක් කරගත්හ එක්කෝ ඊට ඉඳුරාම විරුද්ධ වෙමින් සිංහල බෞද්ධකම පෞද්ගලික දෙයක් ලෙස සලකමින් එය ප්‍රතික්‍ෂේප කලහ. දෙතැනදීම වරද පැටවුනේ මහින්ද රාජපක්‍ෂටය. 


මෙවැනි රැලි නැවත නැගිය හැකිය. ඒ රැලි අන්තර් ජාලයේ හෝ මාධ්‍ය තුල උපත ලබා එහිම ජීවත් වනු ඇත. ඒ රැලි හඳුනාගෙන එහි නොගැලී ඒවා හෙලිදරව් කිරීම ජාතික ව්‍යාපාරයේ වගකීම වේ.

4 comments:

  1. මේ මුස්ලිම් විරෝධී රැල්ල පටන් ගත්ත මුල් දවසවලම මම දැනගත්තා මේකෙ අස්වාභාවිකකම.දළදා මාළිගාවට ශ්‍රී මහ බෝධියට ගහල සිංහල ගම් පෙති ගහල , බස් පුපුරවල , ආර්ථික මර්මස්ථාන වනසල අවුරුදු තිහකටවත් බැරිවුනා දෙමළ විරෝධයක් හදන්න. හැබැ‍යි මේ මොකුත් නොකර එක රැයින් මුස්ලිම් විරෝධයක්. මෙච්චරකල් එක පතේ ලුණු කකා හිටපු සයිබු නානව මරන්න එළවනව.

    මුස්ලිම්වරුන්ට එරෙහිව අසාධාරණ බොරු චෝදනා සයිබරයෙ පිරෙද්දි මට හැකිලෙස ඊට එරෙහිව සටන් කළා. කොටින්ට එරෙහි යුද්දෙදි මුස්ලිම්වරු හිටියෙ ආණ්ඩුව එක්ක. සිංහල මුස්ලිම් සමගිය බිදදාල ආණ්ඩුව පෙරලන සෙල්ලම තේරුම්ගන්න දේශපාලනය හැඳෑරූ කෙනෙකුට මිස වෙනත් කෙනෙකුට අපහසු ලෙස ඉතාම පැටලිලි සහිත ගතියක් තිබුනෙ. මේ අන්තවාදීන් පාලනය කරන්න ගියාම මහින්දට මුස්ලිම් තොප්පිය දාල පෝස්ට් බුකියට දානව.
    මහින්දත් අපි හිතපු තරම් බුද්ධිමත් කෙනෙක් නොවෙයි.නැත්නම් කවුරුහරි ලස්සනට ඇන්දුව.
    ලෝක දේශපාලනයේ ක්‍රිස්තියානි මුස්ලිම් ගැටුම තමයි පෙරිල අප වෙතට එන්නෙ. ක්‍රිස්තියානි ලෝකය ඉන්නෙ දෙමළ ජාතිවාදය එක්කයි. ඔවුන් කොහොමත් මහින්ද ( ශ්‍රීලනිප , ම එ පෙ ) විරෝධියි. මුස්ලිම්වරුයි සිංහලයනුයි බේද කරල මුස්ලිම් ඡන්ද ගෙඩිය පිටින්ම අයින් කළා. මට මතකයි මුස්ලිම් විරෝධීව බොදුබලසේනාව එක්ක හිටපු එජාප අය ජනවාරි 8 වෙනකොට මුස්ලිම්වරු එක්ක එකතුවුනා මහින්ද කියන පොදු සතුරට එරෙහිව
    කවුරුහරි ලොකු ලණුවක් දුන්නද දන්නෙ නෑ එජාප සිංහලයන් මුස්ලිම් විරෝධය නිසා පක්ෂෙ අත ඇරල මහින්දවාදී වෙයි කියල.මහින්දට වුනේ අල්ලපු අත්තත් නෑ පය ගහපු අත්තත් නැතිවුන එක.

    මුස්ලිම්වරුන්ගෙ සහාය නැත්නම් උතුරෙ යුද්දෙ දිනන්න බෑ කියල මම වගකීමෙන් කියනව. මහින්දත් මුස්ලිම්වරු එක්ක හොදින් හිටිය පලස්තීන ප්‍රශ්නෙදි එහෙම ලෝක මට්ටමිනුත්ග් ඒ වගෙ තත්වයක් තිබුන. එක පාරටම මොනව වුනාද මන්ද .

    අධිරාජ්‍යවාදීන් ඔයිට වැඩිය දේවල් කරල තියනව. චිලියෙ සැලවදෝර් ඇලන්ඩේට ( ප්‍රථම සමාජවාදී ජනපති ) ට සංවිධානාත්මකව හොරා හොරා හොරා කියල මැතිරුව. පිනෝෂෙව දැම්මෙ ඒ විදියට ජනසහාය දුර්වල කරල.

    මහින්ද යුද්දෙ දිනල ජාතික ව්‍යාපාරයක් හැදුවෙ නෑ. ඒවෙනුවට එයාගෙ පවුල කේන්ද්‍ර කරගත්ත රජපවුලක් හැදුව. 2005 දි පෝලිම් ගැහිල ඡන්දෙ දුන්නෙ කොළඹ හතේ ආධිපත්‍යට එරෙහිව ගැමි ජනතාව. නමුත් ඔවුන්ට ලැබුන දෙයක් නෑ. ඒ වෙනුවට යූඇන්පියෙන් ආපු එවුන්ට සැළකුව. අවුල ආරම්භ වුනේ එතනින්.

    දැන් නම් ගිය නුවන ඇතුන් ලවාවත් අද්දගන්න බෑ.

    ReplyDelete
  2. සම්සුදීන් නානා
    http://transyl2014.blogspot.ca/2015/03/blog-post_16.html

    ReplyDelete
  3. ඒ කියන්නේ සිංහලයන්ට එරෙහි මුස්ලිමුන්ගේ කිසිම ක්‍රියාත්මක වීමක් නැහැ කියලද? එහෙම කියනවා නම් ඒක තරම් විහිළුවක් කොහේවත් නැහැ. පසුගිය කාලේ තිබුණු රැළි ගැන නම් මට කියන්න දෙයක් නැහැ. නමුත් සිංහලනට එරෙහිව මුස්ලිම් ක්‍රියාකාරීත්වයක් තියෙන බව නම් ඔප්පු කරන්න ඕන තරම් සාධක තියෙනවා. කුරගල ආක්‍රමණය, දෙවනගල විනාශය, දීපවාපිය ඩෝසර් කිරීම ආදිය කළේ කවුද?

    ReplyDelete
    Replies
    1. //කුරගල ආක්‍රමණය, දෙවනගල විනාශය, දීපවාපිය ඩෝසර් කිරීම //

      මෛත්‍රී දිනුවාට පස්සේ ඒවා නැතිවීමට හේතුව මොකක්ද?

      Delete