Wednesday, March 4, 2015

බුද්ධාගමට ව්‍යවස්ථාවෙන් ලැබෙන ආරක්‍ෂාව

ඉංග්‍රීසීන්ගේ රජු අපේ රජු ලෙස සැලකීම නැවතුනේ සිරිමාවෝ බණ්ඩාරණායක මැතිනියගේ රජය විසින් ස්ථාපිත කල කොල්වින් ආර් ද සිල්වා මහතාගේ මූලිකත්වයෙන් නිර්මාණය කර ගනු ලැබූ 1972 ව්‍යවස්ථාවෙනි. එමඟින් සොල්බරි ව්‍යවස්ථාවේ සුලු ජනයාගේ අයිතීන් සම්බන්ධව විශේෂයෙන් කියවුනු 29 වෙනි වගන්තිය වෙනුවට සියලු ජාතීන්ගේ මුලික අයිතීන් රැක දෙන බවට කියැවුනු අතර එහි හයවෙනි වගන්තියෙන් බුද්ධාගමට විශේෂ තැනක් හිමි වෙන බවත් බුද්ධ සාසනය රැකීම රජයේ වගකීම බවත් කියවිනි. 

බුද්ධාගමට මුල් තැන දිය යුතුය යන වගන්තිය ව්‍යවස්ථාවට ඇතුලත් වන්නට ඇත්තේ සිංහලුන් සතුව තිබු ඓතිහාසික මතකයක් නිසා විය යුතුය. අඩුතරමින් හැත්තෑ ගණන් විටද ඒ මතකය සිංහල නායකයින්ගෙන් ගිලිහී නොතිබෙන්නට ඇති. අදද සාමාන්‍ය ජනයා තුල ඒ මතකය ඇතැයි සිතිය හැකි නමුත් රනිල් රාජිත මංගල ආදීන්ගෙන් සමන්විත කමිටුවකින් අද රටේ ව්‍යවස්ථාව නිර්මාණය කලේ නම් එවැනි වගන්තියක් ඇතුලත් කරතැයි සිතිය හැකිද?


කොල්වින් ආර් ද සිල්වා මහතාට අනුව 1972 ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් හා නිදහස් ගැන කියවෙන 6 වෙනි පරිච්ඡේදයෙන් කිසිම ජාතියකට හෝ ආගමකට අයත් ජන කොටසකට වෙනත් ජන කොටසක් අභිබවා අයිතියක් හෝ නිදහසක් හෝ හිමි කර ගැනීමට ඉඩ නොදෙයි. නමුත් එහි දෙවෙනි පරිච්ඡේදයෙන් (හය වෙනි වගන්තියෙන්) බුද්ධාගමට මුල් තැන දිය යුතු යැයි කියවෙයි. සියලු ජාතීන්ට සහ ආගමිකයින්ට එක සමාන අයිතීන් ලැබෙන විට බෞද්ධාගමට මුල් තැන දිය යුතුය යන්නෙන් අදහස් වන්නේ කුමක්ද? මෙය නිරවුල්ව තේරුම් ගත යුතුය.


මේ වගන්තියෙන් කියවෙන්නේ යමෙකු බෞද්ධවූ නිසා ඔහුට යම් විශේෂ අයිතියක් හිමිවිය යුතු බවවත් එසේත් නැත්නම් බෞද්ධයින්ට සමූහයක් (පුද්ගල එකතුවක්) වශයෙන් විශේෂ අයිතියක් හිමිවිය යුතු බවවත් නොවෙන බව පැහැදිලි විය යුතුය. ඊනියා උගතුන්ට සිතිය හැක්කේ පුද්ගලික (හෝ පුද්ගල එකතුවකට හිමි) අයිතීන් ගැන පමණකි. රටේ ව්‍යවස්ථාව අද සිටින බටහිර උගතුන්ගේ නිර්මාණයක් වුනි නම් එහි බෞද්ධාගමට මුල් තැන දිය යුතුය යන වගන්තිය ඇතුලත් නොවීමට බොහෝවිට ඉඩ ඇත්තේ ඒ නිසාය.


මෙහි බෞද්ධාගම යනුවෙන් ගැනෙන්නේ සිංහල බෞද්ධ සංස්කෘතිය මිස වෙනකක් නොවේ. ඓතිහාසිකව සිංහල බෞද්ධයින් ඉල්ලා සිටින්නේ තමන්ගේ සංස්කෘතියට මුල්තැන දෙන ලෙසටය. සමහර විට ඔවුන් එසේ ඉල්ලීමට ඇත්තේ සිංහලුන් නිරන්තරයෙන් සංස්කෘතික බලපෑම් වලට ලක්වූ නිසාත් වඩා වැදගත් ලෙසට එවැනි බලපෑම් වලට ඔවුන් විවෘතව හිඳි නිසාත් විය හැකියි. කෙසේ වෙතත් මෙරට සිංහල බෞද්ධ සංස්කෘතියට විශේෂ තැනක් විමිවිය යුත්තේ සිංහල බෞද්ධ සංස්කෘතිය ජාතියේ පැවැත්මට පදනම් වුනු නිසාවෙනි. ඒ මිස සිංහල බෞද්ධයින් රටේ බහුතරයක් වන නිසා නොවේ. බහුතරය සිංහල බෞද්ධ නිසා ඔවුන්ගේ සංස්කෘතියට විශේෂ තැනක් හිමිවිය යුතු නම් අන්‍ය ආගමික සංස්කෘති වල ජනයාටද ජන අනුපාතයට සරිලන පරිදි සංස්කෘතික මට්ටම් හිමි විය යුතුයැයි තර්ක කල හැකිය. ඒ ඒ සංස්කෘතිවල ජනයාට ජන අනුපාතයට අනුව පහත් මට්ටම් හිමිවීම සාධාරනද?


අප තේරුම් ගත යුත්තේ මෙතන ඇත්තේ ඊනියා ප්‍රජාතන්ත්‍රික (පුද්ගලික) අයිතියක් ලබාදීමක් නොවන බවය. එනම් බෞද්ධාගමට මුල් තැන දීම යන්න පුද්ගලික අයිතියක් ලබා දීමක් ලෙස තේරුම් ගත නොහැකිය. එය සංස්කෘතියට ලැබෙන දෙයකි. ඉංදියාවේ හිංදු සංස්කෘතියටත් ඇමෙරිකාවේ ක්‍රිස්තියානි සංස්කෘතියටත් විශේෂ තැනක් ලැබෙන්නේ මේ ආකාරයටම මිස වෙන ආකාරයකට නොවේ. ඒ ඒ රටවල ඒ ඒ සංස්කෘති වලට විශේෂත්වයක් ලැබෙන්නේ ඓතිහාසිකව ඔවුන්ගේ ජාතීන් පවත්වාගෙන යනු ලබන්නේ ඒ ඒ සංස්කෘතිවල පදනම් වී බැවිනි. විශේෂත්වය නම් ඇමෙරිකානු ව්‍යවස්ථාවේ ක්‍රිස්තියානි සංස්කෘතියට විශේෂ තැනක් හිමිවිය යුතු බව සඳහන් නොවීමය.


යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියට (එහි ඇන්ග්ලෝ සැක්සන් අනු සංස්කෘතියට) ඇමෙරිකාවේ ව්‍යවස්ථාවෙන් ආරක්‍ෂාවක් ලබා දිය යුතු නැත. ඊට බලපෑම් කිරීමට සමත් වෙන සංස්කෘතියක් එතුලත් ඉන් පිටත් අද වෙනතුරු නැත.  ඊට හේතුව යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතිය සෙසු සංස්කෘතීන් කෙරෙහි සිය ආධිපත්‍යය පතුරුවා හැර සිටින බැවිනි. එය යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියේ ස්වභාවයකි. නමුත් ස්වභාවයෙන්ම සිංහල බෞද්ධ සංස්කෘතිය අන් සංසකෘතීන් මත සිය ආධිපත්‍යය පතුරුවන්නේ නැත. එසේ කල බවට ඉතිහාසය සාක්‍ෂි දරන්නේ නැත. නමුත් සිංහල බෞද්ධ සංස්කෘතියටද අධිපතිවාදී නොවී හෝ පැවැත්මක් තිබිය යුතුය. මෙරට රජ කල රජවරුන් සිංහල බෞද්ධ කරවා දළදා වහන්සේ රැක ගැනීම රජුට භාර කිරීම සිංහල බෞද්ධ සංස්කෘතිය රැක ගැනීම සඳහා එදා සිට සිංහලුන් ගත් ක්‍රියා මාර්ගයක් ලෙස සැලකිය හැකිය. එවිට එය රැකෙන්නේ එහි භාරකාරත්වය නිසා මිස එහි ඇති ආධිපත්‍යයක් නිසා නොවේ. 


සිංහල බෞද්ධ සංස්කෘතියට ආධිපත්‍යයක් නැත. එලෙස එය රැක ගත නොහැකිය. අදද ව්‍යවස්ථාවෙන් සපයා දෙන්නේ රාජත්වයෙන් සිංහල බෞද්ධ සංස්කෘතියට ලැබුනු ආරක්‍ෂාවමය. ඒ ආරක්‍ෂාව සිංහල බෞද්ධයින් පතන ආකාරයටම ලැබෙනවාද යන්න ප්‍රශ්නයක් වියහැකි මුත් එසේ ලැබිය යුතුයැයි කියන ව්‍යවස්ථාව සිංහල බෞද්ධයින් විසින් ගරුකොට සැලකීම නුවණට හුරුය.

No comments:

Post a Comment