Wednesday, February 25, 2015

කොලපාට ආර්ථිකය, මහින්ද ආර්ථිකය සහ දේශීය ආර්ථිකය

දහනව සියවසේදී ඉංග්‍රීසීන්ට යටත්වීමත් සමඟ එතෙක් මෙරට පැවති දේශීය ආර්ථික රටාවද ආර්ථිකයද බිඳ වැටුණි. සිංහලුන්ට තම ආර්ථික රටාව රැක ගනිමින් පෘතුගීසීන් හා ලංදේසීන් සමඟ යම් ආකාරයක ආර්ථික ගනුදෙනුවක් කිරීමට හැකිවුනද ඉංග්‍රීසීහු සිංහලුන්ගේ ආර්ථික රටාව (ආර්ථිකයම නොව) බිඳ දමා ඉංග්‍රීසීන් මත යැපෙන ආර්ථික රටාවක් මෙහි ස්ථාපිත කලහ. ඉන් වසර දෙසීයකට පසුවද සිංහලුන්ට බටහිරුන්ගෙන් ස්වාධීනවූ (ස්වාධීන යැයි කියන්නේ ඔවුන් සමඟ ගනුදෙනු නොකරනවා යැයි කීම නොවන බව කීමට සිදුවී ඇත්තේ එසේ සිතීමට කැමති උගතුන් සිටින බැවිනි) දේශීය ආර්ථික රටාවක් ගොඩනඟා ගැනීමට හැකිවී නැත. දේශීය ආර්ථිකයක් යැයි බොහෝ උගතුන් සිතන්නේ මෙරට අමු ද්‍රව්‍ය වලින් පාරිභෝගික භාණ්ඩ නිශ්පාදනය කර ජාත්‍යන්තර වෙළඳ පොලට විකිනීම වැනි දෙයකි. එය හොඳමුත් ඉන් සිදුකෙරෙන්නේ බටහිර ආර්ථික රටාවට මුක්කුවක් ගැසීම විනා මෙරටට ආවේනිකවූ ආර්ථික රටාවක් නිර්මාණය කිරීම නොවේ. 

අපට අපේමවූ ආර්ථික රටාවක් අවශ්‍ය ඇයි? බටහිර ආර්ථික රටාවක් තුල බටහිර සංස්කෘතිය ඉහලින්ම අනුකරණය කල හැකි රටේ සුළුතරයකට, එසේ කල නොහැකි බහුතරයක් යටපත් කරමින් ආර්ථික වරප්‍රසාද ලැබීමට ඉඩ ලැබෙයි. එවැනි රටාවක් තුල සිංහල බෞද්ධ සංස්කෘතිය තුල ජීවත්වනවුන්ට ආර්ථිකව ගොඩ ඒමට නම් ඔවුන්ට ඒ සංස්කෘතියෙන් මිදීමට සිදුවේ. එය අසාධාරනය. ඒ නිසා මෙරට බහුතරයක් සිංහල බෞද්ධ සංස්කෘතියට අනුගතව සිටින තාක් කල් ආර්ථික විශමතාවන් මැඩ පැවත්විය හැක්කේ සිංහල බෞද්ධ සංස්කෘතියේ මුල් බැස ගත් ආර්ථික රටාවකින් පමණි. ඒ නිසා දේශීය ආර්ථික රටාවක් ගැන කියන කථාව අත්‍යාවශ්‍යයෙන්ම සමාජ අසාධාරනයක්, විශේෂයෙන්ම සිංහල බෞද්ධ සංස්කෘතියක ජීවත්වීමට කැමති ජනතාවකට සිදුවන සමාජ අසාධාරණයක් නැති කිරීමක් ගැන කියවෙන කථාවකි.

අද මෙරට පිහිටවිය යුත්තේවත් පිහිටුවිය හැක්කේවත් වසර දෙසීයකට ඉහත මෙරට තිබි ආර්ථික රටාව නොවන බව කිව යුතු නැතත් උගතුන්ගේ දැන ගැනීම සඳහා එසේ ලියා තැබීමට සිදුවේ. නමුත් දේශීය ආර්ථික රටාවක් තුල තිබිය හැකි මූලික ලක්‍ෂණ අපට හදුනාගත හැකිය. මගේ අදහසට අනුව දේශීය ආර්ථික රටාවක් එකවර විමධ්‍යගතත් කේන්ද්‍රීයගතත් විය යුතුය. එනම් එය විමධ්‍යගත වන අතරම කේන්ද්‍රීයගතද විය යුතුය. බටහිර ආර්ථික රටාවේ ඇත්තේ කේන්ද්‍රීිය බවක් පමණි (උදාඃ මහා පරිමාණ නිශ්පාදනය, කේන්ද්‍රගත අලෙවිකරණය) ඒ නිසා පවතින ආර්ථික ක්‍රමය අපට ගැලපෙන පරිදි හැකිතාක් විමධ්‍යගත කරගත යුතුය. නමුත් ආර්ථික රටාව එකවිට විමධ්‍යගත හා කේන්ද්‍රගත කල හැක්කේ ඊට සමාන්තර කේන්ද්‍රගත-විමධ්‍යගත දේශපාලන ව්‍යුහයක් තුලය. විමධ්‍යගත දේශපාලන ව්‍යුහයක පදනම්වූ එකීය රාජ්‍යයක් එවැන්නක් යැයි සිතිය හැකිය. එතුල ආර්ථිකයේත් විමධ්‍යගත බවත් කේන්ද්‍රීය බවත් එක විට රැකෙනු ඇතැයි උපකල්පනය කල හැකිය. අද අපි සිටින තැන සිට එවන් තැනකට පැමිණිය හැක්කේ සංස්කෘතික ආර්ථික හා දේශපාලන වෙනස්කම් කල හැකි ශක්තිමත් ස්වාධීන දේශපාලන නායකත්වයක් තුලිනි.

මහින්ද රාජපක්‍ෂ මහතා බලයට පත්වෙන තුරු මෙරට ආර්ථිකයේ කප්පිත්තන් ලෙස සැලකුනේ එක්සත් ජාතික පක්‍ෂයේ නායකවරුය. නමුත් පසුගිය ජනාධිපතිවරනයේදී මහින්ද රාජපක්‍ෂ විසින් කරගෙන ආ ආර්ථික සංවර්ධන කටයුතු එලෙසම (හෝ ඊට වඩා හොඳින්) කරගෙන යන බවට ප්‍රකාශයක් රනිල් සිරිසේන හවුලට නිකුත් කිරීමට සිදුවූයේ අඩුතරමින් එක්සත් ජාතික පාක්‍ෂිකයින්වත් මහින්ද රාජපක්‍ෂ මහතාගේ  රජය මඟින් සිදුකෙරුනු ආර්ථික සංවර්ධන කටයුතු ගැන පැහැදී සිටි බව රනිල් වික්‍රමසිංහ දැන ගෙන සිටි නිසා විය යුතුය. පැහැදිලිවම ජේ ආර් සමයේ සිට එජාපය බලාපොරොත්තුවුනු නමුත් ඔවුන්ට කරගත නොහැකිවූ ධනවාදී ආර්ථික වෙනසක් මෙරට ඇති කිරීමට මහින්ද රාජපක්‍ෂ රජයට හැකිවුනු බව පිලිගත යුතුය. 

මහින්දගේ ආර්ථිකය දේශීය ආර්ථිකයක්වත් සමාජ සාධාරනයක් ඉටු කල ආර්ථිකයක් වත් නොවේ (දිනපතා උදේ වරුවට කොළඹට ඇදෙන පුංචි කාර් ප්‍රමාණයෙන් දිස්වෙන්නේ රටේ ඊනියා මධ්‍යම පංතිය පුළුල්වී ඇති බව නොව බටහිර සංස්කෘතිය අනුකරනය කිරීමට මෙරට සමාජයට හිමි කර දී ඇති ඉඩ ප්‍රස්තාව පුළුල්වී ඇති බව පමණි) නමුත් මහින්ද රාජපක්‍ෂ රජයට එජාපයට නොතිබුනු සමත් කමක් තිබිනි. ඒ සමත් කමට පාදකවුනේ සාපේක්‍ෂ වශයෙන් මහින්ද රාජපක්‍ෂ අත්කරගෙන සිටි දේශපාලනික ස්වාධීනත්වයය. ඊට සාපේක්‍ෂව එජාපය අදත් එදත්, බලය ලැබුනොත්, හෙටත් බටහිරට ගැතිය. ඒ නිසා එජාපයට ඇතිකරගත හැකිවනුයේ බටහිරුන් පනවන සීමාවන් තුල ඔවුන්ගේ උපදෙස් හා ණය මත යැපෙන තට්ටු දමමින් පැරදෙන්ට තරඟ කරන ධනවාදී ආර්ථිකයක් මිස හයේ පහරවල් ගසමින් දිනන ධනවාදී ආර්ථිකයක් නොවේ. පැහැදිලිවම මහින්ද රාජපක්‍ෂ රජයට ස්වාධීනව රටේ ආර්ථිකය මෙහෙයවීමට තරම් දේශපාලන බලයක් සහ හැකියාවක් තිබිනි. අනාගතයේදී සංස්කෘතික දේශපාලන හා ආර්ථික යන සියලු අංශවල වෙනස් කම් සිදුකරමින් දේශීය ආර්ථික රටාවක් බිහි කර ගැනීමට එවැනි දේශපාලනිකව ස්වාධීන නායකත්වයක් අවශ්‍යයය. එක්සත් ජාතික පක්‍ෂ රජයකට නැත්තේද එයමය.

3 comments:

  1. අපි බටහිරට ගැතිවීම හෝ නොවීම තීරණය වන්නේ, අපි කුමක් නිෂ්පාදනය කර කොහෙට අපනයනය කරනවද යන්න මතයි. පසුගිය කාලයේ බටහිරට නැතුව අඩුගානේ ඉන්දියාවට හෝ චීනයට අපි කුමක් අපනයනය කලද ?
    චීනය සමග කල ගනුදෙනුව ඉතා සරල එකකි, මෙහි මුලික වාසිය චීනය ලබා ගනිද්දී ඇති විසාල අල්ලස් අපරටේ දේශීය පාලකයා ලබගන්නලදී.
    මෙය තේරුම්ගැනීම සදහා චීනයට ලබදෙනලද කොන්ත්‍රාත් කොපමණ ටෙන්ඩර් පටිපාටියට අනුකුල ලෙස සිදුකලාද බලන්න.
    කෙසේ වෙතත් මහින්ද රජය අනුගමනය කරන ලද්දේ රනිල් අනුගමනය කල විදියම වන අතර දෙසිය ආර්ථිකය දිවුනුවට වැඩ කරනවා වෙනුවට
    උපරිම දුෂණ සිදු කරමින් ඇති කරන ලද්දේ මායාවක් පමණයි. මෙය සිදුවීමට රටේ ජනතාව වගකිවයුත්තේ මහින්දට අනවශ්‍ය බලයක් ලබාදීමයි.

    මෙරටේ දේශීය ආර්ථිකය දියුණු කරනවානම් http://www.dailynews.lk/?q=business/vein-quartz-sri-lankas-silicon-valley
    කිසිදු කර්මාන්තයක නිමවුමක් නොකර අමුද්‍රව්‍ය ලෙස අපනයනය කරන්නේ ඇයි ?

    අප තේරුම් ගත යුත්තේ අප ජිවත් වන කාලය ඉතා තරගකාරී ලොවක බවයි, අප දක්ෂ උනොත් රටවල් අතර වාසි දායක කොන්දේසි මත රට දියුණු
    කළහැකි වන අතර (අපරට නිෂ්පාදන අංශයේ දියුණු වනවාට බටහිර පමණක් නොව චීනයද කැමති නොවේ) මන්ද ඔවුන් ලොවපුරා තම නිෂ්පාදනයට තරග කරුවන් ඇතිකර නොගන්නා නිසා

    අප දක්ෂනම් කල යුත්තේ කෘෂිකර්මයෙන්, කාර්මික අංශයෙන් මෙන්ම දියුණු කාර්මික නිපැයුම් කිරීම මුලින් රජය දායක වීම සහ පසුව නිදහස් වෙළදාම මගින් ප්‍රචලිත කිරීමයි.

    ReplyDelete
  2. මහින්දට තිබුනේ ස්වාධීන එසේම, ඒකාධිපති ආර්ථික ක්‍රමයක්ය. හිතු මතේට ආරම්භ කරන වැඩි පිළිවෙලවල් තුලින් කොමිස් මුදල් බලාපොරෙත්තුවක් තිබින. වැඩපිළිවෙල අවසානේ ඉන් ජනතාව වෙනුවෙන් කරන්නේ කුමක්ද කියා සිතනවා මිසක, කලින් සැලැස්මක් නොතිබුණේය.

    ස්වාධීන වීමෙන් සියළු කටයුතු සාර්ථක වේ යැයි සිතිය නොහැක. මන්ද අන් අදහස් සොයා බලා විමර්ශනය කිරීමක් සිදු නොවන නිසාය.

    //අප දක්ෂනම් කල යුත්තේ කෘෂිකර්මයෙන්, කාර්මික අංශයෙන් මෙන්ම දියුණු කාර්මික නිපැයුම් කිරීම මුලින් රජය දායක වීම සහ පසුව නිදහස් වෙළදාම මගින් ප්‍රචලිත කිරීමයි. //

    රනිල් එදා කළ නිදහස් වෙළද කලාප රට තුල සාධාරන සේවයක් කළ බව කිව යුතුය.

    ReplyDelete