Wednesday, February 18, 2015

ජාතිකත්වයේ මුලසුන ජනතාවට

රනිල් මෛත්‍රී ආණ්ඩුවේ දින සීයේ වැඩපිළිවෙල පොරොන්දුවූ අයුරින් ඉටු නොවෙන බව පැහැදිලිය. නමුත් ඒ ගැන කාගේවත් තැකීමක් නැත. අඩුතරමින් මෛත්‍රීපාල සිරිසේන දිනවීමට ඡන්දය දුන් අයවලුන්වත් දින සීයේ වැඩ හරියට කෙරෙන්නේ නැතැයි මැසිවිලි නගන්නේනම් ජනතාව තුල තවමත් ඊනියා යහපාලන කතන්දරය ගැන විශ්වාසයක් ඇතැයි මේ ආණ්ඩුවට සතුටු විය හැකිය. නමුත් මෛත්‍රීපාල සිරිසේනට චන්දය දුන් නොදුන් බහුතරයක් මෙතන ඇත්තේ යහපාලන කතන්දන්දරයක් නොවන බව මේ වන විට අවබෝධ කරගෙන ඇත. අද ඒ ගැන නන් දොඩවන්නේ යහපාලන ක්‍ෂමාලාපකයින් පමණි.

කෙසේ වෙතත් මහින්ද රාජපක්‍ෂ මහතා පැරදීමෙන් හොඳ දෙකක් විය. එකක් ඔහුට මුවාවී චන්ඩිකම් පෙන්වමින් තමන්ගේ ගොඩ වඩාගත් දේශපාලකයින් හා රජයේ නිළධාරීන්, විජාතික ගැති ඊනියා උගතුන් හා දේශපාලන අවස්ථාවාදීන් (මේ සියලු තොප්පි සරිලන තනි පුද්ගලයින්ද සිටිය හැක) කව්දැයි ජනතාවට එළිදරව්වී ඇත. අනිත් හොඳ දෙය නම් ජාතිකත්වය එහි දේශපාලන නායකත්වයේ ග්‍රහණයෙන් නිදහස් වීමය. 18දා නුගේගොඩ රැලියෙන් පිළිඹිබු වන්නේ එයයි. ඊට සහභාගීවූවන් බලාපොරොත්තු වන පරිදි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය නියෝජනය කරමින් මැතිවරණයට ඉදිරිපත්වී ඒ අනුව රටේ අගමැති තනතුරට මහින්ද රාජපක්‍ෂ මහතා පත්වුනද ඒ පත්වෙන මහින්ද චන්දෙන් පැරදි ජනාධිපති මහින්ද විය නොහැකිය. එසේ නොවිය යුතුය. ඉදිරියේදී එන අගමැති මහින්ද ජනතාව විසින් මෙහෙයවනු ලබන ජාතික ව්‍යාපාරයක දේශපාලන නායකයා විය යුතුය. ජාතික ව්‍යාපාරයට පැවැත්මක් ඇත්තේ ඒ සන්දර්භය තුලය.


මෙරට බහුතරයක් සිංහලුන් තුල ජාතිකත්වයක් ඇත්තේ ගෑවී නොගෑවී යන සේය. ඒ අපේ විදිහය. විරාත් කාලයක් තිස්සේ සිංහලුන්ට පැවැත්මක් ඇත්තේද ඒ නිසාය. එවැනි ජාතිකත්වයක් බොටුවෙන් අල්ලා ගත්විට, එය ගල් වේ, එවිට ඊට සක්‍රීය පැවැත්මක් නැත. 2010 පමණ සිට මහින්ද රාජපක්‍ෂ විසින් ජාතිකව්‍යාපාරය සිය ග්‍රහණයට ලක් කරගෙන සිටියේය. එතැන් පටන් එල්ලවූ බටහිර බලවේග වලට මුහුණ දීම සඳහා එසේ කලයුතු වුණා විය හැකිය. මහින්ද රාජපක්‍ෂ වටා සිටි ජාතිකත්වයක් තබා කොන්දක් වත් නැති ශ්‍රීලනිප දේශපාලකයින් දකින විට දැන් ඒ පිළිබඳව සැකයක් තිබිය නොහැකිය. නමුත් එහි අතුරු ප්‍රතිඵලය වූයේ ජාතික ව්‍යාපාරය ගල්වීමය. ජාතික ව්‍යාපාරය යලි සක්‍රීයව පවතින්නට නම් ඊයේ නුගේගොඩට රැස්වුනු ලක්‍ෂ සංඛ්‍යාත ජාතිකවාදීන්ගේ සෙනෙහෙබර අත් මත ජාතික ව්‍යාපාරය රැඳී තිබිය යුතුය.


නුගේගොඩ පැවතියේ රැලියක් වුවද එය රැල්ලක් නොවේ. නමුත් යහපාලනය රැල්ලකි. ඊටත් වඩා එය කෘතිමව නිර්මාණය කරන ලද රැල්ලකි. විශේෂයෙන්ම අන්තර් ජාලය හරහා තරුණ පිරිස් මතින් ඇති කෙරුනු රැල්ලකි. මහින්ද පැරදවීමෙන් පසුව ඒ රැල්ලට පදනමක් නැත ඒ නිසා දැන් ඊට පැවැත්මක් නැත. ඒ රැල්ලේ සිටිවුන් දැන දින සීය පිළිබඳව දරන උදාසීන බවින් පිළිබිඹුවෙන්නේ එයයි. යහපාලන ක්‍ෂමාලාපකයින් විසින් මහින්ද ගෝණිබිල්ලා පෙන්වා ඒ රැල්ල නැවත නිර්මාණය කිරීමට උත්සාහ කලත් එය සාර්ථක නොවනු ඇත.


නුගේගොඩ රැලිය රැල්ලක් නොවන්නේ රැලි කාරයින් දැන් ජාතික ව්‍යාපාරයෙන් හැලී ඇති බැවිනි. ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්‍ෂ පැරදීම නිසා ජාතික ව්‍යාපාරයට වුනු හොඳම දෙය රැලි කාරයින් එළිදරව්වීම විය හැකිය. තවත් රැලි කාරයින් එහි සිටී නම් ඔවුන්ද පලවා හැරිය යුතුය. නුගේගොඩ රැලියේ උන් සාමාන්‍ය ජනතාව රැලි නොව නිරන්තරයෙන් රැලි නඟන කලා වැව වැනිය. ඔහොම යං

5 comments:

  1. A good post and a good analysis too!

    What happened on 08th January 2015 was a culmination of a sustained regime change project orchestrated by the Western Imperialists and the Indian expansionists aimed at dislodging Sinhalese Buddhists from their due place in the country. Social Media was an effective platform for that. But as you rightly say it's not sustainable and is fragile. The so called "Arab Spring" proved it in style.

    ReplyDelete
  2. තම දේශපාලනික පැවැත්ම සඳහා රැලි අල්ලා ගන්නා (සවිඥානිකව හෝ අවිඥානිකව ) ශ්රීල.ල.නි.ප. ඇතැම් දේශපාලකයින්ද මෙම සුවිශාල ජන රැලිය, රැල්ලක් සේ අල්ලාගෙන Political ජාතිකවාදී වීමක් පෙන්නුම් කරයි. නමුත් Fundamental ජාතිකාදීවාදීන්ට තම දේශපාලනික නායකත්වයක් යළි කෙළින් සිටුවීම සඳහා මෙම Political ජාතිකවාදී දේශපාලන චරිත නොසළකාහැරිය නොහැකිව ඇත. කෙසේ වෙතත් ජානාධිපතිවරණයෙන් හඳුනාගත් අවස්ථාවාදී සහ දරුණු විනාශකාරී ලෙස බලකාමී සවිඥානිකව Political ජාතිකවාදීන්ට සිදුකළ හානිය තරම් හානියක් මෙම ජාතිකවාදීන්ගෙන් සිදුනොවන බව හැගීයයි. මන්ද ඊයේ රැලිය සමග අවදිවූ ශ්රීන.ල.නි. පෙ Political ජාතිකාදීවාදීන් බහුතරයකට අවශ්යදය කේන්ද්ර යේ වූ ජාතික බලයටකට වඩා කේන්ද්රයේ වරප්රසාද, අනුහස් හා රැකවරණය ලබමින් ඒ වටාම සිටිමින් ලබන පරිධියේ බලයක් බව අපේෂාකළ හැක. එමෙන්ම ජනාධිපතිවරයෙන් හෙළිදරවු වූ ජාතිකවාදීන්ට වඩා මොවුන්ව සහුරවාගැනීමට, Fundamental ජාතිකවාදීන්ට පහසුවනු ද ඇත. කෙසේ හෝ ඉදිරි මැතිවරණ ජයග්රමහනක් සඳහා සැබෑ ජාතිකවාදීන් මෙම තත්වයන් ඉතා සූක්ෂ්මව කළමණාකරනය කරගත යුතුය.

    ReplyDelete
  3. උක්ත රැලිය මා දකින්නේ විලි ලැජ්ජා නැති බලකාමයේ අඳුරු සෙවනැල්ලක් ලෙසයි.

    ReplyDelete
  4. පඤ්චතන්ත්‍රයවත් කියෙව්වොත් අපට මොකද සගයන් නිසා සිදුවන්නේ යන්න පාලකයන්ට වටහා ගතහැකිවේවි නේද වංශපුර

    ReplyDelete
  5. මේ රටේ ජාතික ව්‍යාපාරය මහින්ද නම් පුද්ගලයා මතම රැදිය යුතු නැත. එහෙත් අද වෙන විකල්පයක් නැත.

    ReplyDelete