Friday, February 27, 2015

ජාතිකවාදය සහ ජාතිවාදය

පසුගිය සියවස් දෙක පමණ කාලය තුල ලොව පුරා ඇතිවුනු ගැටුම් බහුතරයක් බටහිර නූතනත්වයට එරෙහිව ඇතිවුනු ජාතිකවාදී අරගල ලෙස හැඳින්විය හැකිය. ඉන් සමහරක් සෘජුවම ඒ ඒ රටවල ෙසේවරීය භාවය සඳහාවූ නිදහස් සටන්විය. තව සමහරක් සමාජවාදී අරගල ලෙස හැඳින්විනි. සමාජවාදී අරගලද පණ පෙවුනේ ජාතිකත්ව හැඟීමක් තිබුණු සාමාන්‍ය ජනතාව විසින් නමුත් ඒ සටන් ඇඟෙන් ජාතිකත්වයක් නොතිබුනු බටහිර සංස්කෘතිය අනුකරනය කල සමාජවාදී මත දැරූ උගතුන් විසින් හයිජැක් කෙරුනු බැවින් ඊට සමාජවාදී මුහුණුවරක් ලැබිනි. කොණ්ඩෙ බැඳි ගැමි චීනුන් උරදුන් මා ඕ සේතුං නායකත්වය දුන් චීීන විප්ලවය ඊට නිදසුනකි. මෙරට වාමාංශික පක්‍ෂ වලට සහය දෙන්නේද ජාතිකත්ව හැඟීමක් ඇති ගැමි තරුණ තරුණියන් වුවද උගතුන් විසින් ඔවුන්ගේ ජාතිකත්ව හැඟීම් යටපත් කර ඇතැයි සිතිය හැක්කේ නායකයින්ට අවශ්‍යවූවිට මේ තරුණ තරුණියන්ට ජාතිකත්වය වෙනුවෙන් පෙනී සිටීම ප්‍රශ්ණයක් නොවන බැවිනි. 

නිදහස් සටන් වුවද සමාජවාදී සටන් වුවද ඊට උරදුන් සාමාන්‍ය මිනිසුන්ගේ හැඟීම් සලකනවිට ඒ අරගල පොදුවේ යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියට එසේත් නැත්නම් බටහිර නූතනත්වයට එරෙහිව කෙරුනු සටන් විය. සෘජුව හෝ වක්‍රව හෝ මේ අරගලවල විශය වුයේ බටහිර නූතනත්වය විසින් සාමුූහිකත්වය පහතට දමා පුද්ගලිකත්වය ඉහලට ගැනීම නිසා ඇතිවුනු සමාජ ආර්ථික ප්‍රශ්ණය. පුද්ගලිකත්වය මත රැඳුනු ධනවාදී ආර්ථිකය සහ සමගාමී සාමාජයික ප්‍රශ්න ඊට නිදසුනකි. පුද්ගලිකත්වය ඉහලට එසවීමට විරුද්ධව ඒ ඒ සංස්කෘතිවල ජනයා තම තමන්ගේ සංස්කෘතියට (ජාතියට හෝ ආගමට හෝ වෙයම් නිර්ණායකයකට) අනුව සාමූහිකත්වයක් ගොඩනැඟුහ. බටහිර නුතන්තචයට එරෙහිවූ සටන් ජාතිකත්ව සටන් ලෙස හැඳින්විය හැක්කේ එම අර්ථයෙනි.


කෙසේ නමුත් බටහිර නුතනත්වයට එරෙහිවූ සටන් ජාතිකත්ව සටන් ලෙස දකින්නේ සිංහල බෞද්ධ චින්තනයක පදනම්වීය. එසේ නම් ඒ සටන් බටහිර නූතනත්වය විසින් දකින්නේ කෙලෙසද?

සාමූහිකත්වය ඉහලට එසවීම යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතිය තුල පෙනෙන්නේ පෞද්ගලික නිදහසට පහර ගැසීමක් ලෙසටය. මොනයම් නිර්ණයකයක් මත හෝ සාමූහිකත්වයක් ගොඩ නැඟීමට දරන උත්සාහයක් සාමාන්‍ය බටහිර රටවල මිනිසුන් දකින්නේ වපර ඇසිනි. ඉන් තමන්ගේ පුද්ගලික නිදහස අහිමිවේ යැයි ඔවුහු සැක කරති. යම් හෙයකින් ඒ නිර්ණායකය ජාතිය වුවහොත් බටහිරුන්ට හැඟෙන්නේ ජාතිය පදනම් කරගෙන සාමූහිකත්වයක් ගොඩ නඟනවුන් තමන් කෙරෙහි ජාතිවාදී වන බවය. මේ අනුව සිංහල බෞද්ධකම මත පදනම්ව ජාතිකත්වයක් ගොඩනඟන ජාතිකවාදීන් ඔවුන් කෙරෙහි ජාතිවාදී වෙතැයි බටහිරයෝ සිතති. පැහැදිලිවම එය බටහිර නූතනත්වයට දැනෙන  ප්‍රශ්ණයක් බව අපට සිතා ගත හැකිය. බටහිර නූතනත්වය විසින් ලොව පුරා ජාතිකත්ව සටන් ජාතිවාදී ලෙස දකින්නේ මේ සන්දර්භය තුලය.


අද රනිල් වික්‍රමසිංහත් රාජිත සේනාරත්නත් ජාතිකවාදීන් ජාතිවාදීන් ලෙස හංවඩු ගසන්නේ ඔවුන් නියෝජනය කරන බටහිර නූතනත්වයට ජාතිකවාදීන් ගෙන් ඇති මේ බලපෑම නිසාය. ඒ මිස සිංහල බෞද්ධයින් විසින් මෙරට දෙමළ හෝ මුස්ලිම් ජනයා වෙත එල්ල කරනවා යැයි ඔවුන් පවසන බලපෑම ඇත්තටම ඔවුන්ටවත් ඔවුන්ගේ හාම්පුතුන්ටවත් වැදගත් නැත.


සාමූහිකත්ව ගොඩනඟන ජාතිකවාදීන් වෙතින් බටහිරුන්ට එල්ල වෙන තර්ජනය ගැන තේරුම් ගත හැකි වුනද ජාතිකවාදීන්ට ඊට කල හැකි දෙයක් නැත. එය බටහිරුන් විසින් විසඳාගත යුතු ප්‍රශ්ණයකි. නමුත් ජාතිකවාදීන්ගේ ප්‍රශ්ණය එතැනින් නිම නොවේ. විශේෂයෙන්ම මෙරට සිංහල බෞද්ධයින් ඔවුන්ගේ වින්තනය මත පදනම්ව ජාතිකත්වයක් ගොඩනඟනවිට ඉන් සුළු ජාතීන්ට අනිසි බලපෑමක් ඇති වන බව නොසලකා හැරිය නොහැකිය. මේ කියන බලපෑම රනිල් වික්‍රමසිංහලා කියන ආකාරයට ජාතිකවාදීන් ජාතිවාදී වන නිසා ඇති වන්නක් නොවේ. එක් ජාතියක් තම අනන්‍යතාව දැඩිව තහවුරු කරන විට ඒ ජාතිය හා ගනුදෙනු කරන සෙසු ජාතීන්ට ඒ මඟින් ස්වාභාවිකවම (ධ්‍රැවීකරණ) බලපෑමක් ඇති වෙතැයි සිතිය හැකිය. සිංහල බෞද්ධයින් ඒ පිළිබඳව සංවේදී විය යුතුය. ජාතික ව්‍යාපාරය සුළු ජාතීන්ට එරෙහිව සිදු කෙරෙන්නක් නොවන බව ඔවුන්ට ඒත්තු ගැන්වීම සිංහල බෞද්ධ නායකයින්ගේ වගකීමය. 

Wednesday, February 25, 2015

කොලපාට ආර්ථිකය, මහින්ද ආර්ථිකය සහ දේශීය ආර්ථිකය

දහනව සියවසේදී ඉංග්‍රීසීන්ට යටත්වීමත් සමඟ එතෙක් මෙරට පැවති දේශීය ආර්ථික රටාවද ආර්ථිකයද බිඳ වැටුණි. සිංහලුන්ට තම ආර්ථික රටාව රැක ගනිමින් පෘතුගීසීන් හා ලංදේසීන් සමඟ යම් ආකාරයක ආර්ථික ගනුදෙනුවක් කිරීමට හැකිවුනද ඉංග්‍රීසීහු සිංහලුන්ගේ ආර්ථික රටාව (ආර්ථිකයම නොව) බිඳ දමා ඉංග්‍රීසීන් මත යැපෙන ආර්ථික රටාවක් මෙහි ස්ථාපිත කලහ. ඉන් වසර දෙසීයකට පසුවද සිංහලුන්ට බටහිරුන්ගෙන් ස්වාධීනවූ (ස්වාධීන යැයි කියන්නේ ඔවුන් සමඟ ගනුදෙනු නොකරනවා යැයි කීම නොවන බව කීමට සිදුවී ඇත්තේ එසේ සිතීමට කැමති උගතුන් සිටින බැවිනි) දේශීය ආර්ථික රටාවක් ගොඩනඟා ගැනීමට හැකිවී නැත. දේශීය ආර්ථිකයක් යැයි බොහෝ උගතුන් සිතන්නේ මෙරට අමු ද්‍රව්‍ය වලින් පාරිභෝගික භාණ්ඩ නිශ්පාදනය කර ජාත්‍යන්තර වෙළඳ පොලට විකිනීම වැනි දෙයකි. එය හොඳමුත් ඉන් සිදුකෙරෙන්නේ බටහිර ආර්ථික රටාවට මුක්කුවක් ගැසීම විනා මෙරටට ආවේනිකවූ ආර්ථික රටාවක් නිර්මාණය කිරීම නොවේ. 

අපට අපේමවූ ආර්ථික රටාවක් අවශ්‍ය ඇයි? බටහිර ආර්ථික රටාවක් තුල බටහිර සංස්කෘතිය ඉහලින්ම අනුකරණය කල හැකි රටේ සුළුතරයකට, එසේ කල නොහැකි බහුතරයක් යටපත් කරමින් ආර්ථික වරප්‍රසාද ලැබීමට ඉඩ ලැබෙයි. එවැනි රටාවක් තුල සිංහල බෞද්ධ සංස්කෘතිය තුල ජීවත්වනවුන්ට ආර්ථිකව ගොඩ ඒමට නම් ඔවුන්ට ඒ සංස්කෘතියෙන් මිදීමට සිදුවේ. එය අසාධාරනය. ඒ නිසා මෙරට බහුතරයක් සිංහල බෞද්ධ සංස්කෘතියට අනුගතව සිටින තාක් කල් ආර්ථික විශමතාවන් මැඩ පැවත්විය හැක්කේ සිංහල බෞද්ධ සංස්කෘතියේ මුල් බැස ගත් ආර්ථික රටාවකින් පමණි. ඒ නිසා දේශීය ආර්ථික රටාවක් ගැන කියන කථාව අත්‍යාවශ්‍යයෙන්ම සමාජ අසාධාරනයක්, විශේෂයෙන්ම සිංහල බෞද්ධ සංස්කෘතියක ජීවත්වීමට කැමති ජනතාවකට සිදුවන සමාජ අසාධාරණයක් නැති කිරීමක් ගැන කියවෙන කථාවකි.

අද මෙරට පිහිටවිය යුත්තේවත් පිහිටුවිය හැක්කේවත් වසර දෙසීයකට ඉහත මෙරට තිබි ආර්ථික රටාව නොවන බව කිව යුතු නැතත් උගතුන්ගේ දැන ගැනීම සඳහා එසේ ලියා තැබීමට සිදුවේ. නමුත් දේශීය ආර්ථික රටාවක් තුල තිබිය හැකි මූලික ලක්‍ෂණ අපට හදුනාගත හැකිය. මගේ අදහසට අනුව දේශීය ආර්ථික රටාවක් එකවර විමධ්‍යගතත් කේන්ද්‍රීයගතත් විය යුතුය. එනම් එය විමධ්‍යගත වන අතරම කේන්ද්‍රීයගතද විය යුතුය. බටහිර ආර්ථික රටාවේ ඇත්තේ කේන්ද්‍රීිය බවක් පමණි (උදාඃ මහා පරිමාණ නිශ්පාදනය, කේන්ද්‍රගත අලෙවිකරණය) ඒ නිසා පවතින ආර්ථික ක්‍රමය අපට ගැලපෙන පරිදි හැකිතාක් විමධ්‍යගත කරගත යුතුය. නමුත් ආර්ථික රටාව එකවිට විමධ්‍යගත හා කේන්ද්‍රගත කල හැක්කේ ඊට සමාන්තර කේන්ද්‍රගත-විමධ්‍යගත දේශපාලන ව්‍යුහයක් තුලය. විමධ්‍යගත දේශපාලන ව්‍යුහයක පදනම්වූ එකීය රාජ්‍යයක් එවැන්නක් යැයි සිතිය හැකිය. එතුල ආර්ථිකයේත් විමධ්‍යගත බවත් කේන්ද්‍රීය බවත් එක විට රැකෙනු ඇතැයි උපකල්පනය කල හැකිය. අද අපි සිටින තැන සිට එවන් තැනකට පැමිණිය හැක්කේ සංස්කෘතික ආර්ථික හා දේශපාලන වෙනස්කම් කල හැකි ශක්තිමත් ස්වාධීන දේශපාලන නායකත්වයක් තුලිනි.

මහින්ද රාජපක්‍ෂ මහතා බලයට පත්වෙන තුරු මෙරට ආර්ථිකයේ කප්පිත්තන් ලෙස සැලකුනේ එක්සත් ජාතික පක්‍ෂයේ නායකවරුය. නමුත් පසුගිය ජනාධිපතිවරනයේදී මහින්ද රාජපක්‍ෂ විසින් කරගෙන ආ ආර්ථික සංවර්ධන කටයුතු එලෙසම (හෝ ඊට වඩා හොඳින්) කරගෙන යන බවට ප්‍රකාශයක් රනිල් සිරිසේන හවුලට නිකුත් කිරීමට සිදුවූයේ අඩුතරමින් එක්සත් ජාතික පාක්‍ෂිකයින්වත් මහින්ද රාජපක්‍ෂ මහතාගේ  රජය මඟින් සිදුකෙරුනු ආර්ථික සංවර්ධන කටයුතු ගැන පැහැදී සිටි බව රනිල් වික්‍රමසිංහ දැන ගෙන සිටි නිසා විය යුතුය. පැහැදිලිවම ජේ ආර් සමයේ සිට එජාපය බලාපොරොත්තුවුනු නමුත් ඔවුන්ට කරගත නොහැකිවූ ධනවාදී ආර්ථික වෙනසක් මෙරට ඇති කිරීමට මහින්ද රාජපක්‍ෂ රජයට හැකිවුනු බව පිලිගත යුතුය. 

මහින්දගේ ආර්ථිකය දේශීය ආර්ථිකයක්වත් සමාජ සාධාරනයක් ඉටු කල ආර්ථිකයක් වත් නොවේ (දිනපතා උදේ වරුවට කොළඹට ඇදෙන පුංචි කාර් ප්‍රමාණයෙන් දිස්වෙන්නේ රටේ ඊනියා මධ්‍යම පංතිය පුළුල්වී ඇති බව නොව බටහිර සංස්කෘතිය අනුකරනය කිරීමට මෙරට සමාජයට හිමි කර දී ඇති ඉඩ ප්‍රස්තාව පුළුල්වී ඇති බව පමණි) නමුත් මහින්ද රාජපක්‍ෂ රජයට එජාපයට නොතිබුනු සමත් කමක් තිබිනි. ඒ සමත් කමට පාදකවුනේ සාපේක්‍ෂ වශයෙන් මහින්ද රාජපක්‍ෂ අත්කරගෙන සිටි දේශපාලනික ස්වාධීනත්වයය. ඊට සාපේක්‍ෂව එජාපය අදත් එදත්, බලය ලැබුනොත්, හෙටත් බටහිරට ගැතිය. ඒ නිසා එජාපයට ඇතිකරගත හැකිවනුයේ බටහිරුන් පනවන සීමාවන් තුල ඔවුන්ගේ උපදෙස් හා ණය මත යැපෙන තට්ටු දමමින් පැරදෙන්ට තරඟ කරන ධනවාදී ආර්ථිකයක් මිස හයේ පහරවල් ගසමින් දිනන ධනවාදී ආර්ථිකයක් නොවේ. පැහැදිලිවම මහින්ද රාජපක්‍ෂ රජයට ස්වාධීනව රටේ ආර්ථිකය මෙහෙයවීමට තරම් දේශපාලන බලයක් සහ හැකියාවක් තිබිනි. අනාගතයේදී සංස්කෘතික දේශපාලන හා ආර්ථික යන සියලු අංශවල වෙනස් කම් සිදුකරමින් දේශීය ආර්ථික රටාවක් බිහි කර ගැනීමට එවැනි දේශපාලනිකව ස්වාධීන නායකත්වයක් අවශ්‍යයය. එක්සත් ජාතික පක්‍ෂ රජයකට නැත්තේද එයමය.

Wednesday, February 18, 2015

ජාතිකත්වයේ මුලසුන ජනතාවට

රනිල් මෛත්‍රී ආණ්ඩුවේ දින සීයේ වැඩපිළිවෙල පොරොන්දුවූ අයුරින් ඉටු නොවෙන බව පැහැදිලිය. නමුත් ඒ ගැන කාගේවත් තැකීමක් නැත. අඩුතරමින් මෛත්‍රීපාල සිරිසේන දිනවීමට ඡන්දය දුන් අයවලුන්වත් දින සීයේ වැඩ හරියට කෙරෙන්නේ නැතැයි මැසිවිලි නගන්නේනම් ජනතාව තුල තවමත් ඊනියා යහපාලන කතන්දරය ගැන විශ්වාසයක් ඇතැයි මේ ආණ්ඩුවට සතුටු විය හැකිය. නමුත් මෛත්‍රීපාල සිරිසේනට චන්දය දුන් නොදුන් බහුතරයක් මෙතන ඇත්තේ යහපාලන කතන්දන්දරයක් නොවන බව මේ වන විට අවබෝධ කරගෙන ඇත. අද ඒ ගැන නන් දොඩවන්නේ යහපාලන ක්‍ෂමාලාපකයින් පමණි.

කෙසේ වෙතත් මහින්ද රාජපක්‍ෂ මහතා පැරදීමෙන් හොඳ දෙකක් විය. එකක් ඔහුට මුවාවී චන්ඩිකම් පෙන්වමින් තමන්ගේ ගොඩ වඩාගත් දේශපාලකයින් හා රජයේ නිළධාරීන්, විජාතික ගැති ඊනියා උගතුන් හා දේශපාලන අවස්ථාවාදීන් (මේ සියලු තොප්පි සරිලන තනි පුද්ගලයින්ද සිටිය හැක) කව්දැයි ජනතාවට එළිදරව්වී ඇත. අනිත් හොඳ දෙය නම් ජාතිකත්වය එහි දේශපාලන නායකත්වයේ ග්‍රහණයෙන් නිදහස් වීමය. 18දා නුගේගොඩ රැලියෙන් පිළිඹිබු වන්නේ එයයි. ඊට සහභාගීවූවන් බලාපොරොත්තු වන පරිදි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය නියෝජනය කරමින් මැතිවරණයට ඉදිරිපත්වී ඒ අනුව රටේ අගමැති තනතුරට මහින්ද රාජපක්‍ෂ මහතා පත්වුනද ඒ පත්වෙන මහින්ද චන්දෙන් පැරදි ජනාධිපති මහින්ද විය නොහැකිය. එසේ නොවිය යුතුය. ඉදිරියේදී එන අගමැති මහින්ද ජනතාව විසින් මෙහෙයවනු ලබන ජාතික ව්‍යාපාරයක දේශපාලන නායකයා විය යුතුය. ජාතික ව්‍යාපාරයට පැවැත්මක් ඇත්තේ ඒ සන්දර්භය තුලය.


මෙරට බහුතරයක් සිංහලුන් තුල ජාතිකත්වයක් ඇත්තේ ගෑවී නොගෑවී යන සේය. ඒ අපේ විදිහය. විරාත් කාලයක් තිස්සේ සිංහලුන්ට පැවැත්මක් ඇත්තේද ඒ නිසාය. එවැනි ජාතිකත්වයක් බොටුවෙන් අල්ලා ගත්විට, එය ගල් වේ, එවිට ඊට සක්‍රීය පැවැත්මක් නැත. 2010 පමණ සිට මහින්ද රාජපක්‍ෂ විසින් ජාතිකව්‍යාපාරය සිය ග්‍රහණයට ලක් කරගෙන සිටියේය. එතැන් පටන් එල්ලවූ බටහිර බලවේග වලට මුහුණ දීම සඳහා එසේ කලයුතු වුණා විය හැකිය. මහින්ද රාජපක්‍ෂ වටා සිටි ජාතිකත්වයක් තබා කොන්දක් වත් නැති ශ්‍රීලනිප දේශපාලකයින් දකින විට දැන් ඒ පිළිබඳව සැකයක් තිබිය නොහැකිය. නමුත් එහි අතුරු ප්‍රතිඵලය වූයේ ජාතික ව්‍යාපාරය ගල්වීමය. ජාතික ව්‍යාපාරය යලි සක්‍රීයව පවතින්නට නම් ඊයේ නුගේගොඩට රැස්වුනු ලක්‍ෂ සංඛ්‍යාත ජාතිකවාදීන්ගේ සෙනෙහෙබර අත් මත ජාතික ව්‍යාපාරය රැඳී තිබිය යුතුය.


නුගේගොඩ පැවතියේ රැලියක් වුවද එය රැල්ලක් නොවේ. නමුත් යහපාලනය රැල්ලකි. ඊටත් වඩා එය කෘතිමව නිර්මාණය කරන ලද රැල්ලකි. විශේෂයෙන්ම අන්තර් ජාලය හරහා තරුණ පිරිස් මතින් ඇති කෙරුනු රැල්ලකි. මහින්ද පැරදවීමෙන් පසුව ඒ රැල්ලට පදනමක් නැත ඒ නිසා දැන් ඊට පැවැත්මක් නැත. ඒ රැල්ලේ සිටිවුන් දැන දින සීය පිළිබඳව දරන උදාසීන බවින් පිළිබිඹුවෙන්නේ එයයි. යහපාලන ක්‍ෂමාලාපකයින් විසින් මහින්ද ගෝණිබිල්ලා පෙන්වා ඒ රැල්ල නැවත නිර්මාණය කිරීමට උත්සාහ කලත් එය සාර්ථක නොවනු ඇත.


නුගේගොඩ රැලිය රැල්ලක් නොවන්නේ රැලි කාරයින් දැන් ජාතික ව්‍යාපාරයෙන් හැලී ඇති බැවිනි. ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්‍ෂ පැරදීම නිසා ජාතික ව්‍යාපාරයට වුනු හොඳම දෙය රැලි කාරයින් එළිදරව්වීම විය හැකිය. තවත් රැලි කාරයින් එහි සිටී නම් ඔවුන්ද පලවා හැරිය යුතුය. නුගේගොඩ රැලියේ උන් සාමාන්‍ය ජනතාව රැලි නොව නිරන්තරයෙන් රැලි නඟන කලා වැව වැනිය. ඔහොම යං

Monday, February 2, 2015

පණස් අට ලක්‍ෂයේ දේශපාලන ස්ථාවරය

මෙවර ජනාධිපතිවරණයෙන් පැරදුනු පනස් අට ලක්‍ෂයේ දේශපාලන ස්ථාවරය කුමක්ද? අද ආණ්ඩුවට සහය දෙනවුන් සිතන්නට කැමති මේ පනස් අට ලක්‍ෂය සමූහයක් වශයෙන් දූශණයට හා වංචාවට කැමති වුනු අය බවය. එය හරිද? මේ අය ඡන්දයට පෙර අන්තර්ජාලය හරහා සංවිධානාත්මක ලෙස මූදා හැරි රාජපක්‍ෂ පවුලේ ඊනියා විශමාචාර (පූර්ව මැතිවරණ බොරු) අනුමත කල අයද? මේ පනස් අට ලක්‍ෂය කුඩු කැසිනෝ ආදී මෙකී නොකී සදාචාරාත්මක නොවෙන දෑ අනුමත කල අයද?

ඒ පනස් අට ලක්‍ෂයේ පොදු දේශපාලන ස්ථාවරය හඳුනාගැනීමට නම් ඔවුන් කවුදැයි හඳුනාගත යුතුය. ඡන්ද ප්‍රකාශ කෙරෙන්නේ නිර්ණාමිකව බැවින් මහින්ද රාජපක්‍ෂ මහතාට ඡන්දය දුන් අය පොදුවේ යම් ජන වර්ගයකට අයිති යැයි හෝ ඒ ජන වර්ගයට අයත් නොවේ යැයි හෝ යන්න සෘජුවම කිව නොහැකිය. එය අනුමාණ කල හැක්කේ උද්ගමණයෙන් පමණි. මෙරට දිස්ත්‍රික්ක එකොලහක සිංහල බෞද්ධ ප්‍රතිශතය සියයට හැත්තෑවක් හෝ ඊට වැඩිය. ඒ දිස්ත්‍රික්ක එකොලහෙන් දහයකම වැඩි ඡන්ද ප්‍රමාණයක් ලබා ගත්තේ මහින්ද රාජපක්‍ෂ මහතාය. එපමණක් නොවේ මහින්ද රාජපක්‍ෂ මහතා වැඩි ඡන්ද ලබා ගත්තේ ඒ දිස්ත්‍රික්ක දහයෙන් පමණි. ඒ අනුව මෙරට බහුතරයක් සිංහල බෞද්ධ ජනයා ඡන්දය දුන්නේ මහින්ද රාජපක්‍ෂ මහතාට යැයි නිගමණය කල හැකිය. සිංහල බෞද්ධයින් වැඩියෙන් ජීවත්වන ප්‍රදේශ වලින් පමණක් යම් අපේක්‍ෂකයෙකුට වැඩිපුර ඡන්ද ලැබුනේ නම් සිංහල බෞද්ධයින් බහුතරයක් ඡන්දය දුන්නේ ඔහුට යැයි කීමද වඩා නිවැරදි නැත්නම් සිංහල බෞද්ධයින් බහුතරයක් ඡන්දය දුන්නේ ඔහුට විරුද්ධව යැයි කීමද වඩා නිවැරදි?  පැහැදිලිවම සිංහල බෞද්ධ බහුතරයක් ඡන්දය දී ඇත්තේ මෛත්‍රීපාල සිරිසේන මහතාට නොව මහින්ද රාජපක්‍ෂ මහතාටය. මහින්ද රාජපක්‍ෂ මහතා විසින් ඒ දිස්ත්‍රික්කවලින් පසුගිය ජනාධිපතිවරණයට වඩා අඩු ඡන්ද ප්‍රමාණයක් ලබාගත් නිසා ඉහත නිගමණය අසත්‍ය වෙන්නේ නැත. 


අද ආණ්ඩුවේ ඇතැම් අය විසින් මේ පැහැදිලි ජනවාර්ගික බෙදීම යට ගැසීමට (පශ්චාත් මැතිවරණ බොරු) බලවත් උත්සාහයක් දරන බව පෙනේ. එය කරන්නේ වාර්ගික සහජීවනය පතා පමණක් නම් එය සාධාරනය කල හැකිය. නමුත් ඉන් පනස් අට ලක්‍ෂයක පොදු දේශපාලන ස්ථාවරය යට ගැසීමට උත්සාහ දරන්නේ නම් එය සාධාරන නොවේ. පනස් අට ලක්‍ෂයේ පොදු දේශපාලන ස්ථාවරය සිංහල බෞද්ධයින්ගේ දේශපාලන ස්ථාවරයය. ඒ වෙන කිසිවක් නොව රට බෙදීමට ඉඩ නොදෙන බවය. එය ජනාධිපතිවරණයට සතියකට උඩදී බිහිවූවක් නොව අඩු තරමින් වසර විසිපපහක පමණ සිට මෙරට වර්ධනයවූ මතවාදයකි. එහි පදනම මෙරට සිංහල බෞද්ධ සංස්කෘතියට ප්‍රමුඛත්වයක් තිබිය යුතුය යැයි  සිංහලුන් තුල ඇති හැඟීමය. වසර දෙදහසකට වැඩි කලක් තිස්සේ සිංහලුන්ට ඒ හැඟීම තිබිනි. 1815දී ඉංගී්‍රසීන් සමඟ ගිවිසුම් ගසද්දීත් ඔවුන්ට ඒ හැඟීම තිබිනි. අද අපි විසින් පිලිපදින ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ බුද්ධාගමට මුල් තැනක් දිය යුතු යැයි කියැවෙන්නේද ඒ ඓතිහාසික හැඟීම නිසා මිස මෙරට දේශපාලකයින්ට හදිසියේ පහලවුනු ප්‍රඥ්ඥාවක් නිසා නොවේ.  


මෙරට සිංහල බෞද්ධ සංස්කෘතියට ප්‍රමුඛත්වයක් තිබිය යුතුය. ව්‍යවස්ථාවේ බුද්ධාගමට මුල් තැනක් දිය යුතු යැයි කිය තිබුනද ඉන් අදහස් වන්නේ බෞද්ධයින්ට තනි පුද්ගලියන් වශයෙන් හෝ පුද්ගල එකතුවක් වශයෙන් හෝ විශේෂ තැනක් හිමිවිය යුතු බව නොවේ. ඒ බව සියලු ආගම් හා ජාතීන්ට සමාන අයිතිවාසිකම් ලබා දෙන ව්‍යවස්ථාවේ ඇති අනිත් වගන්තිවලින් තහවුරු වේ. එසේනම් බුද්ධාගමට මුල් තැන දීම යන්නෙන් අදහස් වන්නේ සිංහල බෞද්ධ සංස්කෘතියට මුල් තැන දීම විය යුතුය. ජන වාර්ගික පදනමක් මත මෙරට රාජ්‍ය බලය බෙදා දෙනවිට නැතිවෙන්නේ සිංහල බෞද්ධයින්ට පුද්ගලිකව හෝ ඔවුන්ගේ එකතුවකට ඇති දෙයක් නොව සිංහල බෞද්ධ සංස්කෘතියට තිබිය යුතු මුල් තැනය. මහින්ද රාජපක්‍ෂ මහතාට ඡන්දය දුන් පනස් අට ලක්‍ෂයක් වන මෙරට ජනයා රට බෙදන්නට ඉඩ දිය නොහැකිය යන දේශපාලන ස්ථාවරයේ සිටින්නේ මේ පදනම උඩය.


මහින්ද රාජපක්‍ෂ මහතාට ඡන්දය දුන් බහුතරයක් ඔහුට ඡන්දය දුන්නේ බෙදුම්වාදයට විරුද්ධ නිසාය. නමුත් ඔවුන් රාජ්‍ය දුශණයට හෝ වංචාව අනුමත කරන අය නොවේ. එමෙන්ම මෛත්‍රීපාල සිරිසේන මහතාට ඡන්දය දුන් බහුතරයක් ඔහුට ඡන්දය දුන්නේ රාජ්‍ය දුශණය හා වංචා වලට විරුද්ධ නිසාය. නමුත් ඔවුන් බහුතරයක් අඩු තරමින් ඔහුට ඡන්දය දුන් සිංහලුන්වත් බෙදුම්වාදය අනුමත කරතැයි කීමට සාධාරන හේතුවක් නැත (මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මැතිවරණ ප්‍රකාශයේ රට බෙදෙන බවට පොරොන්දුවක් දී නැති බැවින්). නමුත් අද ආණ්ඩුවට සහය දෙන සුළු පිරිසක් ඉතා සූක්‍ෂම ආකාරයට බෙදුම්වාදයට පෙළ ගැසෙන බව පෙනේ. ඔවුන් ඉඟි කරන්නේ මෛත්‍රීපාල සිරිසේන මහතා දිනුවේ රට බෙදීම සඳහාවූ ජන රැල්ලක් මතින් කියාය. නමුත් එයට බහුතරයේ අනුමැතියක් ලැබී නැත. රජය එවැනි ස්ථාවරයක් ගන්නේ නම් එය ප්‍රජාතන්ත්‍ර විරෝධීය.