Monday, January 26, 2015

රටේ නායකයා කව්ද?

රනිල් වික්‍රමසිංහ මහතා මහින්ද රාජපක්‍ෂ මහතා සමඟ ජනාධිපතිවරණයට තරඟ කලේ නම් රනිල් වික්‍රමසිංහ මහතා පරදින බවට සැකයක් තිබිය නොහැකිය. අඩු තරමින් ඒ බව රනිල් වික්‍රමසිංහ මහතාවත් දැනගෙන සිටින්නට ඇතැයි සිතිය හැක්කේ දෙවතාවක්ම ඒ මහතා තරඟයට ඉදිරිපත් නොවුනු බැවිනි. එක්සත් ජාතික පාක්‍ෂිකයෝද ඒ බව දැන ගෙන සිටියේ නැත්නම් මෛත්‍රීපාල සිරිසේන මහතාට පොදු අපේක්‍ෂකයා වීමට ඉඩ ලැබෙන්නේ නැත. නමුත් ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවුනු වික්‍රමසිංහ මහතා දැන් අගමැති ධූරයට පත්වී ඇත. එසේ පත්වුනු වික්‍රමසිංහ මහතා අද වෙනවිට තමන්ගේ පරණ ඉස්කෝලේ ආදි ශිෂ්‍යන්ගෙන් සැදි එක්සත් ජාතික පක්‍ෂයේ ආණ්ඩුවක් පිහිටුවාගෙන ඇත. එතනිනුත් ඔබ්බට ගොස් සැලකිය යුතු ජනපදනමක් නැති දේශපාලකයින් පිරිසක් ගොනු කර විධායක සභාවක්ද පිහිටුවා ඇත. නොබෝ දිනකින් ජනාධිපතිවරයාගේ බලතල කප්පාදු වුවහොත් ගෙරි හමක් එලා ගැනීම සඳහා ඉඩ ඉල්ලූ පෘතුගීසින් ගෙරි හම කීතුවලට ඉරා විශාල භූමි ප්‍රමාණයක් වට කර ගත් ආකාරය සිහියට නංවමින් රටේ නියම දේශපාලන බලය හිමි කරගන්නේ වික්‍රමසිංහ මහතාය.

ඡන්දයක් පැවතියේ ජනාධිපතිවරයා පත් කර ගැනීමටය. ඡන්දයෙන් දින්නේ මෛත්‍රීපාල සිරිසේන මහතාය. වික්‍රමසිංහ මහතා රටේ නායකයා බවට පත්වුනහොත් ඒ පත්වීීම ව්‍යවස්ථාවට අනුකූලවුවද ඊට පර්ලිමේන්තු මන්ත්‍රී වරුන්ගේ අනුමැතිය තිබුනද ඒ මහතා ඒ තැනට පත්වෙන්නේ ජනතාවගේ සෘජු දායකත්වයෙන් නොවේ. වක්‍රාකරයකින් රටේ දේශපාලන බලය ඇල්ලීම ප්‍රජාතන්ත්‍රවාදය පවාදීමක් ලෙස සැලකෙන්නේ නැත්තම් සැලකිය හැක්කේ වෙන කුමක් ලෙසද?


එක්සත් ජාතික පාක්‍ෂිකයින්ගෙන් යම් කොටසකට කුමන ආකාරයකට හෝ රටේ බලය ඇල්ලීම  ගැන සතුටුවිය හැකි වුනද රටේ බහුතරයක් ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අපේක්‍ෂාව රනිල් වික්‍රමසිංහ මහතා රටේ නායකයා කිරීම යැයි කීම තර්කානුකුල නොවෙන්නේ ඒ මහතා පසුගිය ඡන්දයට ඉදිරිපත් නොවුනු පුද්ගලයෙකු බැවිනි. ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අපේක්‍ෂාවන් පාවාදී රටේ දේශපාලන ස්ථාවරයක් ඇති කල නොහැකිය. ජනතාවගේ ස්වාධිපත්‍යයට ගරු කරමින් රටේ දේශපාලන ස්ථාවර භාවය රැක ගැනීම රටේ නායකයා වශයෙන් ජනතාවගේ ඡන්දෙන් පත්වුනු මෛත්‍රීපාල සිරිසේන මහතාගේ වගකීම සහ යුතුකමවේ.


ජනාධිපතිවරණයට පසු මෙරට දේශපාලනය හොරු අල්ලන ධුමාරයකින් වසා දැමිනි. වක්‍රාකාරයෙන් රටේ බලය ඇල්ලීම සිදුවන්නේ සිදුවුනේ මේ ධුමාරයට සැඟෙවෙමිනි. එයද හොර කමකි. ඉදිරියේදී ජනතාව තීරණය කල යුතු වන්නේ තමන් සහය දෙන්නේ නූතන පුරුතුගීසි කාරයින් බඳු එක්සත් ජාතික පක්‍ෂය සහ ඊට සහය දෙන ජවිපෙ ඇතුළු සුළු පක්‍ෂ වලටද ඊට විරුද්ධවද යන්නය. එතැනදී එක්සත් ජාතික පක්‍ෂයත් ජනතා විමුක්ති පෙරමුණත් මෙරට දේශපාලන ඉතිහාසය පුරා කටයුතු කල ආකාරය අමතක කල නොහැක්කේ අද එහි සිටින නායකයින් ඔවුන්ගේ පක්‍ෂවල අතීත ක්‍රියාදාමයන්ට සෘජුව හෝ වක්‍රව වගකිය යුතු බැවිනි.


අවාසනාවකට ජවිපෙ සහ එක්සත් ජාතික පක්‍ෂයේ දායකත්වයෙන් (එකිනෙකට විරුද්ධව සිටින අතර) මෙරට තරුණයින් හැට දාහක් පමණ ටයර් සෑයන් මත ජීවිතය හැරගිය බව මෛත්‍රීපාල සිරිසේන මහතාට ඡන්දය දුන් අළුත් තරුණයින් නොදන්නවා විය හැකිය. අඩු තරමින් ඒ බව ඇඟට නොදැනෙනවා විය හැකිය. නමුත් එක්සත් ජාතික පක්‍ෂයත් මේවා අලින්ගේ අපේ වැඩ යැයි පවසමින් ඊට එකතුවෙන ජවිපයත් තව සුළු පක්‍ෂත් ඉදිරියේදී නැවතත් එවැනිම සංහාරයකට යෑම වැලකීමට නම් අද ඉන්නා විශේෂයෙන්ම යහපාලනයක් ගැන උනන්දුවන තරුණ තරුණියන් ඒ බව දැන ගත යුතුය. ජනතාවගේ ස්වාධිපත්‍යය දේශපාලන ධුමාරයකින් වසා දැමීමට ඉඩ නොතබමු.

6 comments:

  1. A great article professor! Your observations have indeed been eye opening for those who have been blinded by the smoke-screen created by the witch-hunt going after so called thieves. In fact, as you rightly say, the only case in point in our history similar to what has been happening in front of us has been how colonist Portuguese deceived us 500 or so years back.

    In many sense it is a big farce! The ruler whom was elected has not been ruling the country. Even the very election of that leader is controversial as it was a majority of the minority and a minority of the majority who elected him depriving the will of the majority.







    ReplyDelete
  2. //වක්‍රාකරයකින් රටේ දේශපාලන බලය ඇල්ලීම ප්‍රජාතන්ත්‍රවාදය පවාදීමක් ලෙස සැලකෙන්නේ නැත්තම් සැලකිය හැක්කේ වෙන කුමක් ලෙසද? //

    පාර්ලිමේන්තුවේ බහුතර බලය හිමිකරගත් තැනැත්තා අගමැති. රනිල්ට කවුරු හරි අභියෝග කරනව නම් ඒ අයට පුළුවන් පාර්ලිමේන්තුවෙදි ඒක බේරගන්න. නියම ප්‍රජාතන්ත්‍රවාදය කියන්නෙ ඒකයි.

    //බහුතරයක් ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අපේක්‍ෂාව රනිල් වික්‍රමසිංහ මහතා රටේ නායකයා//

    රනිල් රටේ නායකයා නොවන බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැන අබ ඇටේක අවබෝධයක් තියනව නං තේරෙන්න ඕන.
    ඉදිරියේ පැවැත්වෙන මහ මැතිවරණයකදි ජනතාව තීන්දු කරයි පාර්ලිමේන්තුවෙ බලය දෙන්නෙ කාටද කියල.

    //අවාසනාවකට ජවිපෙ සහ එක්සත් ජාතික පක්‍ෂයේ දායකත්වයෙන් (එකිනෙකට විරුද්ධව සිටින අතර) මෙරට තරුණයින් හැට දාහක් පමණ ටයර් සෑයන් මත ජීවිතය හැරගිය බව මෛත්‍රීපාල සිරිසේන මහතාට ඡන්දය දුන් අළුත් තරුණයින් නොදන්නවා විය හැකිය. අඩු තරමින් ඒ බව ඇඟට නොදැනෙනවා විය හැකිය. නමුත් එක්සත් ජාතික පක්‍ෂයත් මේවා අලින්ගේ අපේ වැඩ යැයි පවසමින් ඊට එකතුවෙන ජවිපයත් තව සුළු පක්‍ෂත් ඉදිරියේදී නැවතත් එවැනිම සංහාරයකට යෑම වැලකීමට නම් අද ඉන්නා විශේෂයෙන්ම යහපාලනයක් ගැන උනන්දුවන තරුණ තරුණියන් ඒ බව දැන ගත යුතුය. //

    මේව නොදන්නා තරුණයින් අද ඉන්නව කියල හිතනව නං එයාල තමයි නියම සූකිරි බබ්බු. කෙලින්ම කිව්ව නං ඉවරයි නෙව "අපි කැමති මහින්දට අපිට මහින්ද හැර වෙන මොකකෙක්වත් ඕන නෑ" කියල.

    ReplyDelete
    Replies
    1. වෙන දේවල් ගැන විවේචන තිබුනද මෙ කොමෙන්ටුවටනම් 100% අනුගතයි

      Delete
    2. රාජ්,
      අගවිනිසුරු ඉවට් කිරීමේ ගැටලුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් උන දින අගමැතිතුමා හෙලවුන බව ඔබටත් පෙනෙන්න ඇති.එහි ප්‍රතිඵලයක් ලෙස තව වසර දෙකකට ඉදිරි ආයු කාලයක් තියෙන පාර්ලිමේන්තුව අප්‍රේල් 23 දිනෙන් පසු විසුරුවන බව ඊයේ එතුමා ප්‍රකාශ කළානෙ. දැන් යහ පාලනය හෝ දින 100 ගැන කතාවක් නැහැ.බලය ගන්නේ කොහොමද කියන එකයි මුල් තැනට ඇවිත් තියෙන්නෙ.තව වසර දෙකක් ඉදිරයට ආයු කාලය තිබු ජනාධිපතිවරණය කලින් තැබීමයි මේ තීරණයයි අතර වෙනස් කමක් එහෙම තියෙනවාද?

      සමරසේකර

      Delete
  3. මේ තරම් අාණ්ඩුවේ වැරදි දකින ඔබට හිටපු අාණ්ඩුවේ වැරදි කන්දෙන් කිසිවක් නොපෙනෙන හැටි.............

    ReplyDelete
    Replies
    1. ඔබ තුමන්ලාට අනුව පැවති ආණ්ඩුව දෙව්දත් තෙර වැනිය - ජුදාස් වැනිය. ඒ නිසා ඒ ගැන කතාවක් නැත. ඒ ආණ්ඩුවේ වැරදි ඇල්ලීම උදෙසා ඔබලා විසින් මේ ආණ්ඩුව පත් කරගෙන තිබේ... නැද්ද ? ඒ චෝදනා ඇත්තනම් ඔප්පු කිරීමට ඔබලාට බලය ඇත. බලයක් නැති එසේම ඔය චෝදනා පිළිබඳ සාධක අත නැති අප ඒ ගැන කතා කළොත් ඒවා කටකතා පමණි.

      මේ ආණ්ඩුවේ වැරදි කීමට තැනක් නැත. විධායකය ඔබලාගේ චන්දයෙන් පවරා දුණි. ව්‍යවස්ථාදායකය හයි-ජැක් කරන ලදී. අධිකරණය සුදු වෑන් ක්‍රමයට කළු කෝට් කාරයින් ලවා පැහැරගෙන යන ලදී. සියලුම ජනමාධ්‍ය මිලදීගෙන අවසන්.

      ඒ නිසා මේ ජුන්ටාවේ වැරදි කියන්න ඇති එකම තැන බ්ලොග් අවකාශය පමණි. ඔබට අවශ්‍ය ඒ ඉඩත් අහුරා එහි කුරුටු ගී ලියන්නද ? අගෙයි යහපාලනය !

      Delete