Monday, January 26, 2015

රටේ නායකයා කව්ද?

රනිල් වික්‍රමසිංහ මහතා මහින්ද රාජපක්‍ෂ මහතා සමඟ ජනාධිපතිවරණයට තරඟ කලේ නම් රනිල් වික්‍රමසිංහ මහතා පරදින බවට සැකයක් තිබිය නොහැකිය. අඩු තරමින් ඒ බව රනිල් වික්‍රමසිංහ මහතාවත් දැනගෙන සිටින්නට ඇතැයි සිතිය හැක්කේ දෙවතාවක්ම ඒ මහතා තරඟයට ඉදිරිපත් නොවුනු බැවිනි. එක්සත් ජාතික පාක්‍ෂිකයෝද ඒ බව දැන ගෙන සිටියේ නැත්නම් මෛත්‍රීපාල සිරිසේන මහතාට පොදු අපේක්‍ෂකයා වීමට ඉඩ ලැබෙන්නේ නැත. නමුත් ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවුනු වික්‍රමසිංහ මහතා දැන් අගමැති ධූරයට පත්වී ඇත. එසේ පත්වුනු වික්‍රමසිංහ මහතා අද වෙනවිට තමන්ගේ පරණ ඉස්කෝලේ ආදි ශිෂ්‍යන්ගෙන් සැදි එක්සත් ජාතික පක්‍ෂයේ ආණ්ඩුවක් පිහිටුවාගෙන ඇත. එතනිනුත් ඔබ්බට ගොස් සැලකිය යුතු ජනපදනමක් නැති දේශපාලකයින් පිරිසක් ගොනු කර විධායක සභාවක්ද පිහිටුවා ඇත. නොබෝ දිනකින් ජනාධිපතිවරයාගේ බලතල කප්පාදු වුවහොත් ගෙරි හමක් එලා ගැනීම සඳහා ඉඩ ඉල්ලූ පෘතුගීසින් ගෙරි හම කීතුවලට ඉරා විශාල භූමි ප්‍රමාණයක් වට කර ගත් ආකාරය සිහියට නංවමින් රටේ නියම දේශපාලන බලය හිමි කරගන්නේ වික්‍රමසිංහ මහතාය.

ඡන්දයක් පැවතියේ ජනාධිපතිවරයා පත් කර ගැනීමටය. ඡන්දයෙන් දින්නේ මෛත්‍රීපාල සිරිසේන මහතාය. වික්‍රමසිංහ මහතා රටේ නායකයා බවට පත්වුනහොත් ඒ පත්වීීම ව්‍යවස්ථාවට අනුකූලවුවද ඊට පර්ලිමේන්තු මන්ත්‍රී වරුන්ගේ අනුමැතිය තිබුනද ඒ මහතා ඒ තැනට පත්වෙන්නේ ජනතාවගේ සෘජු දායකත්වයෙන් නොවේ. වක්‍රාකරයකින් රටේ දේශපාලන බලය ඇල්ලීම ප්‍රජාතන්ත්‍රවාදය පවාදීමක් ලෙස සැලකෙන්නේ නැත්තම් සැලකිය හැක්කේ වෙන කුමක් ලෙසද?


එක්සත් ජාතික පාක්‍ෂිකයින්ගෙන් යම් කොටසකට කුමන ආකාරයකට හෝ රටේ බලය ඇල්ලීම  ගැන සතුටුවිය හැකි වුනද රටේ බහුතරයක් ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අපේක්‍ෂාව රනිල් වික්‍රමසිංහ මහතා රටේ නායකයා කිරීම යැයි කීම තර්කානුකුල නොවෙන්නේ ඒ මහතා පසුගිය ඡන්දයට ඉදිරිපත් නොවුනු පුද්ගලයෙකු බැවිනි. ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අපේක්‍ෂාවන් පාවාදී රටේ දේශපාලන ස්ථාවරයක් ඇති කල නොහැකිය. ජනතාවගේ ස්වාධිපත්‍යයට ගරු කරමින් රටේ දේශපාලන ස්ථාවර භාවය රැක ගැනීම රටේ නායකයා වශයෙන් ජනතාවගේ ඡන්දෙන් පත්වුනු මෛත්‍රීපාල සිරිසේන මහතාගේ වගකීම සහ යුතුකමවේ.


ජනාධිපතිවරණයට පසු මෙරට දේශපාලනය හොරු අල්ලන ධුමාරයකින් වසා දැමිනි. වක්‍රාකාරයෙන් රටේ බලය ඇල්ලීම සිදුවන්නේ සිදුවුනේ මේ ධුමාරයට සැඟෙවෙමිනි. එයද හොර කමකි. ඉදිරියේදී ජනතාව තීරණය කල යුතු වන්නේ තමන් සහය දෙන්නේ නූතන පුරුතුගීසි කාරයින් බඳු එක්සත් ජාතික පක්‍ෂය සහ ඊට සහය දෙන ජවිපෙ ඇතුළු සුළු පක්‍ෂ වලටද ඊට විරුද්ධවද යන්නය. එතැනදී එක්සත් ජාතික පක්‍ෂයත් ජනතා විමුක්ති පෙරමුණත් මෙරට දේශපාලන ඉතිහාසය පුරා කටයුතු කල ආකාරය අමතක කල නොහැක්කේ අද එහි සිටින නායකයින් ඔවුන්ගේ පක්‍ෂවල අතීත ක්‍රියාදාමයන්ට සෘජුව හෝ වක්‍රව වගකිය යුතු බැවිනි.


අවාසනාවකට ජවිපෙ සහ එක්සත් ජාතික පක්‍ෂයේ දායකත්වයෙන් (එකිනෙකට විරුද්ධව සිටින අතර) මෙරට තරුණයින් හැට දාහක් පමණ ටයර් සෑයන් මත ජීවිතය හැරගිය බව මෛත්‍රීපාල සිරිසේන මහතාට ඡන්දය දුන් අළුත් තරුණයින් නොදන්නවා විය හැකිය. අඩු තරමින් ඒ බව ඇඟට නොදැනෙනවා විය හැකිය. නමුත් එක්සත් ජාතික පක්‍ෂයත් මේවා අලින්ගේ අපේ වැඩ යැයි පවසමින් ඊට එකතුවෙන ජවිපයත් තව සුළු පක්‍ෂත් ඉදිරියේදී නැවතත් එවැනිම සංහාරයකට යෑම වැලකීමට නම් අද ඉන්නා විශේෂයෙන්ම යහපාලනයක් ගැන උනන්දුවන තරුණ තරුණියන් ඒ බව දැන ගත යුතුය. ජනතාවගේ ස්වාධිපත්‍යය දේශපාලන ධුමාරයකින් වසා දැමීමට ඉඩ නොතබමු.

Tuesday, January 13, 2015

මැද මාවත

ජනාධිපතිවරණයෙන් පසු මෙරට පිහිටී ඇත්තේ බටහිර ලිබරල්වාදී දේශපාලන වාතාවරණයකි. එනම් බටහිර ලිබරල්වාදී මත දරන දේශපාලකයින්ට, න්‍යායාචාර්යවරුන්ට හා ඔවුන්ගේ අනුගාමිකයින්ට මෙරට දේශපාලන බලය හිමිවී ඇත. ඉදිරියේදී තව බොහෝ පිරිස් මේ ලිබරල් කරත්තයට ගොඩවනු දැකීමට හැකිවෙනු ඇත. ගැමියෙකුවූ මෛත්‍රීපාල සිරිසේන මහතා බටහිර ලිබරල්වාදී අදහස් දරන්නේද යන්න මෙහිදී වැදගත් නොවන්නේ අද සැකසෙමින් පවතින දේශපාලන වාතාවරණය ඒ මහතාගේ නිර්මාණයක් නොවන බැවිනි.

ලිබරල්වාදය බටහිර සංස්කෘතියේ අනු සංස්කෘතියකි. ඔබාමා මහතා ප්‍රථම වරට ඇමෙරිකාවේ ජනාධිපතිධූරයට පත්වූයේ ඊනියා යහපාලන රැල්ලට සමානකම් දරන එරට තරුණ ලිබරල්වාදීන්ගේ රැල්ලක් මතිනි. නමුත් එය දේශපාලන බුබුළුක් පමණක් විය. අද වෙනවිට එහි කොන්ග්‍රස් සහ සෙනෙට් සභාවල බලය උසුලන්නේ ලිබරල්වාදයට ප්‍රතිපක්‍ෂ වන බටහිර සංස්කෘතියේ තවත් අනු සංස්කෘතියක් වන කොන්සවේටිව් මත දාරීන් විසිනි. ඇමෙරිකාවේ සාමාන්‍යයෙන් ලිබරල්වාදී අදහස් දරන්නේ විශ්ව විද්‍යාල ආශ්‍රීත තරුණ උගත් පිරිස් වන අතර සාමාන්‍ය වශයෙන් ගත්කල එරට සමාජය තුල ලිබරල්වාදීන්ට සැලකිය යුතු දේශපාලන බලයක් නැත. ඔබාමා බලයට පත්වීම දේශපාලන බුබුළුලක් ලෙස සැලකිය හැක්කේ ඒ නිසාය.


මෙරට ලිබරල්වාදීහු බටහිර අනුකාරකයෝය. ජවිපෙ ඇතුළු සුළු වාමාංශික පක්‍ෂද, රනිල් මංගල රාජිත චන්ද්‍රිකා වැන්නවුන්ද මෙරට දේශපාලනයේ අඩු වැඩි වශයෙන් බටහිර ලිබරල් මතවාද දරන්නෝ වෙති. ඔවුහු පොදුවේ ජාතිය සහ සංස්කෘතිය යන සංකල්ප ප්‍රතික්‍ෂේප කරති. ඒ නිසා ඔවුහු මෙරට සිංහල බෞද්ධ සංස්කෘතියට විශේෂ තැනක් හිමිවිය යුතුය යන්න ප්‍රතික්‍ෂේප කරති. කොටි ත්‍රස්තවාදය පරාජය කිරීම පිළිබඳව මොවුන් හා මොවුන්ගේ අනුගාමිකයින් දැන් කුමක් කීවද කොටි ත්‍රස්තවාදය පරාජය කිරීමට හැකිවූයේ මොවුන්ගේ මතවාද වලට විරුද්ධව නැගී සිටීමට ජාතිකවාදීන් ප්‍රමුඛ මෙරට සාමාන්‍ය සිංහල ජනයාට හැකිවුනු බැවිනි. අප විසින් ඒ බව තරයේ මතක තබා ගත යුතුය.


නමුත් මහින්ද රාජපක්‍ෂ ආණ්ඩුව කොටි ත්‍රස්තවාදය පරාජය කලද ජාතියක් වශයෙන් අපට බටහිර සංස්කෘතිය ජය ගැනීමට නොහැකිවිනි. එහෙයින් කොටි ත්‍රස්තවාදය පරාජය කිරීමේ ප්‍රතිලාභ වැඩියෙන් බුක්ති වින්ඳේ තම දරුවන් හමුදාවට භාරදුන් සිංහල බෞද්ධ සංස්කෘතියේ ජීවත්වුනු අහිංසක ගැමි ජනතාව නොව බටහිර සංස්කෘතිය අනුකරණය කල උගත් නාගරික මධ්‍යම පංතිය විය. සංස්කෘතියෙන් බටහිර වෙන්නට තැනූ ඔවුන්ට වැදගත්වූයේ පෞද්ගලිකත්වයය. සිංහල බෞද්ධකම ඔවුන්ගේ පුද්ගලික අයිතියක් විය. මමත්වය වඩවන්නක් විය. ඒ නිසා කුට දේශපාලකයින්ටද වෙළෙන්දන්ටද මාධ්‍ය කරුවන්ටද සිංහල බෞද්ධකම ඔවුන්ට මාකට් කල හැකිවිනි. මුස්ලිම් බියක් තිබුනේ මේ උගත් නාගරික මධ්‍යම පංතියටය. ලිබරල්වාදය එක් අන්තයක් විනි නම් මොවුන් නියෝජනය කලේ බටහිර සංස්කෘතියේ ඊට ප්‍රති විරුද්ධ කොන්සවේටිව් අන්තයය. වෙනසකට වූයේ යුදෙව් ක්‍රිස්තියානිකම වෙනුවට සිංහල බෞද්ධකම ආදේශවී තිබීමය. යුද්ධය නිමාවත් සමඟ ඇරඹි ධනවාදී ආර්ථික සංවර්ධනයේ උපරිම ඵල නෙලාගත් මේ උගත් නාගරික මධ්‍යම පංතිය උද්දච්ඡ ලෙස ඊනියා සිංහල බෞද්ධකමක් ආරූඪ කරගනිමින් දේශපාලන බුබුලක් මෙරට නිර්මාණය කලහ. කොටි ත්‍රස්තවාදය පරාජය කිරීමට හැකිවූයේ මොවුන් නිසා නොවන බව අප විසින් තරයේ මතක තබා ගත යුතු අනිත් කරුණය.


මෙරට සාමාන්‍ය ජනයා ගොඩනැගූ ජාතික ව්‍යාපාරය දේශපාලණීකරනයට ලක්කලේ මේ බටහිර ගැති උගත් නාගරික මධ්‍යම පංතිය සහ ඔවුන් නියෝජනය කල අවස්ථාවාදී දේශපාකලයින් විසිනි. මහින්ද රාජපක්‍ෂ මහතාගේ පරාජයත් සමඟම පුපුරා ගියේ ඔවුන් විසින් නිර්මාණය කරගෙන තිබුනු මේ සිංහල බෞද්ධ (කොන්සවේටිව්) දේශපාලන බුබුලය. එහි අළු මතින් දැන් නැගිටමින් සිටිනු පෙනෙන්නේ එහි ප්‍රතිපක්‍ෂය වන ලිබරල් දේශපාලනයය. සුපුරුදු පරිදි බටහිර ගැති තරුණ පිරිස් ඊට ආකර්ශණය වනු ඇත. නමුත් කාලයාගේ ඇවෑමෙන් එය තවද එක් දේශපාලන බුබුලක් වන නොඅනුමානය. එහි පුපුරා යෑම තුල නැවතත් සිංහල බෞද්ධ (කොන්සවේටිව්) දේශපාලන බුබුලක් නිර්මාණය කිරීමට බටහිර ගැති අවස්ථාවාදී දේශපාලකයෝ කැස කවනු ඇත. ජාතික වාදීන් ඔවුන්ගෙන් පරිස්සම් විය යුතුය.


ලිබරල් සහ කොන්සවේටිව් යන අන්ත දෙකම පුද්ගලිකත්වය මත රඳන බටහිර දේශපාලන මතවාදයය. මෙරට සාමාන්‍ය ජනයා මේ අන්ත දෙකෙහිම නොවෙති. කොටි ත්‍රස්තවාදය පරාජය කිරීමට හැකිවූයේ පුද්ගලිකත්වය මෙන්ම සාමූහිකත්වයද එකසේ වැදගත් කොට සලකන සිංහල බෞද්ධ සංස්කෘතියට මිස ලිබරල් හෝ කොන්සවේටිව් අන්ත අතර දෝලනය වෙන බටහිර සංස්කෘතියකට නොවේ. මෙරට සාමාන්‍ය ජනයා නියෝජනය කරන සංස්කෘතිය නිවැරදිව අවබෝධ කර ගතහොත් ඇද වැටී ඇති ජාතික ව්‍යාපාරය නැවත ගොඩනැඟිය හැකිය.

Saturday, January 10, 2015

පැරදුනේ කවුද?

රටේ ජනගහණයෙන් සියයට හැත්තෑවක් සිංහල බෞද්ධයෝය. සියයට අසූවක් හෝ ඊට වැඩියෙන් සිංහල බෞද්ධයින් වෙසෙන දිස්ත්‍රික්ක එකොලහකි. ජනාධිපතිවරණයේදී මේ දිස්ත්‍රික්ක එකොලහෙන් පොලොන්නරු දිස්ත්‍රික්කයේ හැර අන් සියලු දිස්ත්‍රික්කවලින් වැඩි ඡන්දයක් හිමිවූයේ මහින්ද රාජපක්‍ෂ මහතාටය (> 52%). (ඒ දිස්ත්‍රික්ක එකොලහෙන් මහින්ද රාජපක්‍ෂ මහතා ලබා ගත් වැඩි ඡන්ද සංඛ්‍යාව (592,836) මෛත්‍රීපාල සිරිසේන මහතා මුළු රටෙන්ම ලබා ගත් වැඩි ඡන්ද සංඛාවට (449,072) වඩා වැඩිය). රටේ සිංහල බෞද්ධ ඡන්ද බහුතරයක් (majority) වැටෙන්නට ඇත්තේ මහින්ද රාජක්‍ෂ මහතාට යැයි මේ අනුව අපට අනුමාණ කල හැකිය. එය එසේනම් බහුතරයක් සිංහල බෞද්ධයින් ඡන්දය දුන් ඡන්ද අපේක්‍ෂකයාට ජනාධිපති ධූරය අහිමි වී ඇත. පැහැදිලිවම ප්‍රජාතන්ත්‍රවාදය විසින් මේ ඡන්දයෙන් පරදවා ඇත්තේ සිංහල බෞද්ධයින්ය. සිංහල බෞද්ධයින් නියෝජනය කල නායකයෝය, දේශපාලන ක්‍රියාකාරීහුය. අවසාන වශයෙන් ගත්කල සිංහල බෞද්ධ සංස්කෘතියය.

මහින්ද රාජපක්‍ෂ මහතාගේ පරාජයට නොයෙකුත් සිල්ලර හේතු ඉදිරිපත් කල හැකිය. රාජපක්‍ෂවරුන් නීතිය හරිහැටි ක්‍රියාත්මක කලේ නම් පැරදෙන්නේ නැතැයි සමහරු කියති. ඔවුහු රජයේ මුදල් ගසා කෑ බවද එසේ නොකලේ නම් පැරදෙන්නේ නැතැයි තව අය කියති. ඔවුහු බොදු බල සේනාවට සහය දුන් බවද එසේ නොකලේ නම් මුස්ලිම් ඡන්ද රැක ගැනීමට තිබුණියැයි සමහරු කියති. රජය මුස්ලිම් ආක්‍රමණය නොතකා හැරිය බවද එසේ නොකර එය මර්ධනය කලේ නම් පැරදෙන්නේ නැතැයිද තව සමහරු කියති. මේ සියළු කථා අඩු වැඩි වශයෙන් ඇත්ත හෝ බොරු විය හැකිය. පැරදුනේ මහින්ද රාජක්‍ෂ මහතා පමණක් නම් මේ කථා විශ්ලේශණය කිරීම වැදගත් කොට සැලකිය හැකිය. නමුත් සමස්ථයක් වශයෙන් පැරදුනේ සිංහල බෞද්ධ සංස්කෘතියය. සංස්කෘතියක් පැරදවිය හැක්කේ තව සංස්කෘතියකටය. සිංහල බෞද්ධ සංස්කෘතිය පැරදුනේ වෙන කිසිවකට නොව බටහිර සංස්කෘතියටය.


මෙරට සිංහල ජනයා යහපාලන ප්‍රෝඩාවක් ඔස්සේත් දෙමළ සහ මුස්ලිම් ජනයා බෙදුම්වාදී මතවාද ඔස්සේත් සිංහල බෞද්ධ සංස්කෘතියට එරෙහිව මෙහෙයවන්නට බටහිර සංස්කෘතියට හැකිවිනි. අද නැගෙනහිර සහ උතුරු පලාත්වල සුළු ජාතීන් යුද්ධයක් දින්නාසේ මහින්ද රාජපක්‍ෂ මහතාගේ පරාජය සමරන්නේ දකුනේ සිංහලුන් දිනාගත්තා යැයි කියන යහපාලනය නිසා නොවෙන බව තේරුම් ගැනීමට අපහසු නැත. මහින්ද විරෝධය ස්වාභාවිකව පැන නැඟුනක් නම් ඊට අසම්බන්ධ විවිධ පදනම් තිබිය නොහැකිය. මහින්ද විරෝධය සහමුලින්ම බටහිර බලවේග වල නිර්මාණයකි. අරමුණ එකම වුවද බටහිර බලවේග විසින් ඒ ඒ ජන වර්ගවලට ලබාදී ඇත්තේ ඒ ඒ කැවුම්ය. සිංහලුන් මෙන්ම මෙරට මුස්ලිම් සහ දෙමළ ජනයාද බටහිරුන්ගේ කැවුම් කන්නට තරම් මෝඩ වී ඇත. අනේ අනිච්චං.


බටහිරුන් මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ගන්නට තිබූ දේ අරගෙන ඇත. නොබෝ දිනකින් ඔහු අවලංගු කාසියක් බවට පත්වනු ඇත. ඉදිරියේදී සිංහල බෞද්ධයින්ට මුහුණ දෙන්නට සිදුවෙන්නේ මෛත්‍රීපාල සිරිසේන මහතා නොව රනිල් චන්ද්‍රිකා නියෝජනය කරන සංස්කෘතිය හරහා ක්‍රියාත්මක වන බටහිර අධිරාජ්‍යවාදයටය. නමුත් අද වෙනවිට සිංහල බෞද්ධ සංස්කෘතියට ඊට පිළිතුරු නැත.