Monday, December 21, 2015

පුද්ගලික අනන්‍යතාව ඉස්මතු නොකර සාමූහිකත්වයක් ගොඩනඟමු

සිංහ ලේ කියන්නේ ලේබලයක්. ඒක වටා දේශපාලනයක් ගොඩනැඟෙනවා නම් ඒ දේශපාලනය රඳා පවතින්නේ ඊට එකතුවෙන අයගේ මතවාද මතයි, එ් දේශපාලනය ලේබලයෙන් එහාට යන එකක් වෙන්ඩ පුළුවන්. එහෙම වෙනවා නම් අපි මේ ස්ටිකර් එකක් අල්ලගෙන කියන කථාවලින් තේරුමක් නැහැ.

නමුත් හුදෙක් ලේබලයකත් දේශපාලනයක් තියෙනවා. ලේබලයකින් කරන්නේ පුද්ගලික අනන්‍යතාවක් ප්‍රකාශ කිරීම. මගේ මතයට අනුව හුදෙක් පුද්ගලික අනන්‍යතාවක් ප්‍රකාශ කරන දේශපාලනයක් සිංහල ජාතිකත්ව දේශපාලනයකට ගැලපෙන්නේ නැහැ කියලයි. ලේබලයකින් කරන්නේ මම කව්ද කියල උලුප්පවන එක. ක්‍රිකට් මැච් චල මුණෙ සිංහ කොඩිය අඳිනකොටත් තියෙන්නෙ ඒක. මම ඉලිප්පීම අපේ සංස්කෘතියට ගැලපෙන්නේ නැහැ. ඒ නිසා මම ඉලිප්පීම මත තවමත් මේ රටේ ප්‍රබල ජාතිකත්ව දේශපාලනයක් ගොඩනඟන්න බැහැ කියල මම හිතනවා.

ජාතිකත්වය කියන්නෙ ජාතික අනන්‍යතාව මත ගොඩනඟන සාමූහිකත්වයක් බව ඇත්ත. ඒ වගේම සාමූහිකත්වයක් ගොඩනඟන්න අපිට ලාංඡන අවශ්‍යයි, හැබැයි ඒ ලාංඡන මගේ පුද්ගලික අනන්‍යතාවයේ ලාංඡනයක් කරගන්නෙ නැතිව. උදාහරණයක් වශයෙන් අපි වෙසක් එකට වෙසක් කුඩූ එල්ලනව. බුදු දහමට කිසිම සම්බන්ධයක් නැතිවුනත් ඒක වැදගත් වැඩක් මොකද ඒ ක්‍රියාව තුල අපි සිංහල බෞද්ධයෝ වශයෙන් සාමූහිකත්වයක් ඇති කරගන්නවා. වෙසක් සැරසිලි සිංහල බෞද්ධකමේ ලාංඡනයක්. අපි ඒව පවත්වාගෙන යන්ඩ ඕනෙ. නමුත් සිංහල බෞද්ධයෝ බකට් බෙල්ලෙ එල්ලං යන්ඩ එතරම් උනන්දුවක් දක්වන්නේ නැහැ. ඒ කියන්නෙ අපිට බෞද්ධයෝ වශයෙන් සාමූහිකත්වයක් වැදගත් වුනත් මම බෞද්ධයෙක්මි කියන ලේබලය ඒ තරමටම වැදගත් නැහැ. මේක තමයි අපේ සංස්කෘතිය. 

යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතිය තුල සාමූහිකත්වය ගොඩනැඟෙන්නේ එහෙම නෙවෙයි. ඔවුන්ට පුද්ගලික අනන්‍යතාව වැදගත්. සමස්ථ සමාජය කියන්නේ පුද්ගල එකතුවක් ලෙස දකිනවා. ඔවුන්ගේ සාමූහිකත්වය ගොඩනැඟෙන්නේ සමජාතීයවූ පුද්ගල අනන්‍යතාවන් පදනම් කරගෙන. එතන සාමූහිකත්වය සඳහා සමජාතීයවීම අත්‍යාවශයි. අපි එහෙම නෙවෙයි සමාජය සමස්ථයක් ලෙසම දකිනවා. එතන පුද්ගලයින්ගේ එකතුව අවශ්‍ය නැහැ. ඒ නිසා පුද්ගල අනන්‍යතා වැදගත් නැහැ. අපි සාමූහිකත්වය ගොඩනැඟිය යුත්තේ සමාජය සමස්ථයක් ලෙස දකින ගමන්. 

එහෙම නොවී අපි පුද්ගල අනන්‍යතා ඉස්මතු කරගන්න ගියොත් බටහිර අධිරාජ්‍යවාදයට යටත්වෙලා ඉන්න අපට ඔවුන් මෙහෙම කියයිඃ හරි සිංහල මිනිස්සුන්ට තමන් සිංහලයෝ කියල ප්‍රකාශ කරන්න අයිතියක් තියෙනවා. ඒක ඔවුන්ගේ පුද්ගලික අයිතියක්. නමුත් ඒ පුද්ගලික අයිතිය වෙනත් අයෙකුගේ පුද්ගලික අයිතිය උල්ලංඝනය කරන්න බැහැ. ඒ කියන්නේ අන්‍ය ජාතිකයන්ටත් ඒ අයිතිය තියෙන්න ඕනෙ. ඒ විතරක් නෙවෙයි වෙනත් ජාතියකට තියන අයිතියත් සිංහලයාට තියෙන අයිතියත් එක සමානයි. දැන් බටහිර උගත්තු මෙහෙම කිව්වහම ඒ සංදර්භය තුල ඊට විරුද්ධ තර්කයක් තියෙනවද? නැහැ. අන්තිමේට මොකද වෙන්නෙ? අපි බටහිර සංස්කෘතියට අවශෝෂණය වෙලා ඔවුන්ගේ දේශපාලනයට යටත් වෙනවා. අපිට ඉතුරු වෙන්නේ සිංහයාගේ ස්ටිකර් එක විතරයි.

අපි සිංහලයන් වශයෙන් හෝ අවශ්‍යනම් ශ්‍රී ලාංකිකයින් වශයෙන් හෝ සාමූහිකත්වයක් ගොඩනැඟිය යුතුයි. ඒ සාමූහිකත්වය පුද්ගලික අනන්‍යතා මත නොවෙයි සමාජය සමස්ථයක් ලෙස දකිමින් ගොඩනැඟිය යුතුයි. එවැනි සාමූහිකත්වයක් සිංහල බෞද්ධ සංස්කෘතිය පදනම් කරගෙන ගොඩනැඟිය හැකියි.

Friday, December 18, 2015

අපි සිංහල ඩෝ.....(ද?)

අද වෙනවිට වයස හැත්තෑව පමණ ඉක්මවා ගොස් සිටින මගේ වැඩිහිටි පරම්පරාවේ සිංහලයින් මෙවැනි හැඟීම් ප්‍රකාශ කරනු කවදාවත් මා අත්දැක නැත. ඔවුන් තුලවූ සිංහලකම ඒ පරම්පරාවත් සමඟම ඉතා වේගයෙන් අපෙන් නික්ම යමින් පවතී. මගේ මතයට අනුව අපි පරමාදර්ශීය කොට සැලකිය යුත්තේ නැත්නම් අප විසින් හඳුනාගැනීමට උත්සාහ කල යුත්තේ මේ වයෝවෘද පරම්පරාවේ ඇති යම් සිංහලකමකි.

ඔවුන්ගේ සිංහලකම තුල මා දකින වැදගත්ම පදනම කිසියම් ජෛවීය (ලේ) තබා සංස්කෘතික අනන්‍යතාවක් වත් නොව තමන්ගේ මෙන්ම ලෝකයේද පැවැත්ම පිළිබඳව බුදු දහමේ ආභාශයෙන් අත් කරගත් ආකල්පයකි. සිංහලුන් ජාතියක් ලෙස එක්වන්නේ පැවැත්ම පිළිබඳව මේ පොදු ආකල්පය මත පදනම්වය. සිංහල වෙදකමේත් ගොවිකමේත් ඇත්තේ ඒ ආකල්පය. ඒ හරහා අනූනවූ සංස්කෘතියකින් හෙබි ජාතියක් ගොඩනඟා ගෙන ඇති බව සත්‍යය. නමුත් ඒ ජාතියේ පදනම නොසලකා මතු පිටින් ඇති යම් අනන්‍යතාවක් වැදගත් කොට සැලකීම අභාග්‍යයකි. එය දේශපාලණිකව බොළද ක්‍රියාවකි. වඩා වැදගත් ලෙසට අනන්‍යතාවක එල්බ ගැනීම සිංහල ජාතියේ සතුරන්ගේ උවමණාවන් ඉටු කිරීමක්ද ඒ හරහා සිංහල ජාතියේ අවසන ඉක්මන් කිරීමක්ද විය හැකිය. අපි වඩා වැදගත් කොට සැලකිය යුත්තේ අපි සිංහල බව නොව අපේ සිංහලකමය.

Friday, December 11, 2015

මරා නොමරා මැරීම


පත්වී මෙතරම් කෙටි කලකින්ම ජනතාවට එපා වූ ආණ්ඩුවක් මීට පෙර තිබුනේදැයි සැක සහිතය. අද මේ ආණ්ඩුවට බලයක් ඇත්තේ පාර්ලිමේන්තුව තුල පමණි. එයද පවත්වාගෙන යන්නේ බලහත්කාරයෙනි. නමුත් විශේෂයෙන් සිංහලුන් බලහත්කාරයෙන් ආණ්ඩුව කෙරෙහි බැඳ තබා ගත නොහැකිය. සිංහලුන් එක් කල හැකි ප්‍රබල විපක්‍ෂ දේශපාලන බලවේගයක් අද නැතිවුනද විවිධ වෘත්තීය සමිති හරහා ඔවුහු තමන්ගේ අප්‍රසාදය පල කරමින් සිටිති. නමුත් මේ විරෝධතාවන්වල විසිරුණු ස්වභාවයක් ඇත. මේ ආණ්ඩුවට අවශ්‍ය ඒ විසිරුණු තත්වය එලෙසම තබා ගැනීමටය. තවමත් මෙරට ඒ විසිරුණු බලවේග කේන්ද්‍රගත කල හැක්කේ මහින්ද රාජපක්‍ෂටය. මහින්ද රාජපක්‍ෂ දේශපාලනයෙන් ඉවත් කිරීම මේ රජයේ මූලෝපාය වන්නේ එබැවිනි. 

මූල්‍ය අපරාධ කොට්ඨාශය පිහිටුවා ඇත්තේ මහින්ද රාජපක්‍ෂ දඩයම් කිරීම සඳහා මිස වෙන කිසිවක් සඳහා නොවේ. මූල්‍ය අපරාධ කොට්ඨාශය මෙහෙයවන්නේ පාර්ලිමේන්තුවෙනි. නමුත් නීතිය ක්‍රියාත්මක කිරීමේ වගකීමක් ව්‍යවස්ථාවෙන් පාර්ලිමේන්තුවට ලබා දී නැත. ඒ නිසා මූල්‍ය අපරාධ කොට්ඨාශය නීති විරෝධීය. නමුත් යමපාලනයට එය අදාල නැත.

රාජපක්‍ෂ දඩයමේ අරමුණු දෙකක් ඇත. එකක් ඒ හරහා රජය යහපාලනය ක්‍රියාත්මක කරනවා යැයි ජනතාවට ඇඟවිය හැකිය. අනික ඒ හරහා රාජපක්‍ෂවරුන් දේශපාලනයෙන් ඉවත් කර හැකිය. නමුත් මේ රජයට මහින්ද රාජපක්‍ෂ ගොදුරු කර දඩයම කෙලවර කිරීමටද නොහැකිය. මන්ද ඉන් පසුව රජය කිසියම් වැඩක් කරන බව ජනතාවට ඒත්තු ගැන්වීමට ක්‍රමයක් නැතිවන බැවිනි. අනිත් අතට මහින්ද රාජපක්‍ෂ අත් අඩංගුවට ගැනුනොත් ඒ මත පදනම්ව ආණ්ඩු විරෝධී දේශපාලන බලවේගයක් ගොඩනැඟෙන බැවිනි. එබැවින් මේ රජයට සිදුව ඇත්තේ මහින්ද රාජපක්‍ෂ නොමරා මැරීමටය. මැතිවරණයෙන් පසු කලක් වල දමා සිටි තාජුඩීන් නැවතත් ගොඩ ගෙන ඇත්තේ ඒ නිසාය. ඇවන්ගාඩ් සිද්ධිය රබර් මෙන් ඇදෙන්නේද ඒ නිසාය.  

සිංහලුන්ගේ ජාතික විඤ්ඥාණය මැරී නොමැත. මේ රජය රට ආර්ථික වශයෙනුත් දේශපාලනික වශයෙනුත් පාවාදෙන බව ඇඟට දැනෙනවිට සිංහලුන් ජාතිකත්වය මත නැවත නැගිටිනු ඇත. සිංහල ජාතිකත්වය අනන්‍යතාවක් මත පදනම් වූවක් නොවේ එය මහින්ද රාජපක්‍ෂ පදනම් කරගෙන ගොඩනැඟුනක්ද නොවේ. රජයට විරුද්ධව නැඟී සිටින සාමාන්‍ය ජනතාව මහින්ද රාජපක්‍ෂ සිටියත් නොසිටියත් ඉදිරියේදී ක්‍රමයෙන් ජාතිකත්වය මත පදනම්ව විකල්ප බලවේගයක් ගොඩනඟනු ඇත. එමෙන්ම දැනටමත් රාජපක්‍ෂ දඩයම යහපාලනයේ අංගයක් යැයි සිතන්නේ සුළු පිරිසක් පමණි ක්‍රමයෙන් ඔවුන්ද යථා අවබෝධයට පත්වනු ඇත. එබැවින් ම. රා. නොමරා මැරීමේ වාසිය වැඩි කලක් නොගොස් රජයට අහිමි වනු ඇත.

Tuesday, December 1, 2015

පාදඩ මධ්‍යම පංතිය

පසුගිය දිනක නරි බෑණා නාටකය නැවතත් නැරඹීමට අවස්ථාවක් ලැබිනි. නරි බෑණාත් සිංහබාහුත් මනමේත් යන නාටක තුනම මා මුලින්ම නැරඹුවේ කුඩා කල එකම වකවානුවක. එකලද වඩාත් මගේ සිත්ගත්තේ නරි බෑණා නාටකයය. එහි එන ගීත වල කන්කළු බව ඊට හේතුවන්නට ඇති. මේ නාට්‍ය තුන අතරින් ඇඟට දැනෙන දේශීය ගතියක් වඩාත්ම ඇත්තේ නරි බෑණා තුල බව පසුව මට අවබෝධවිනි. එහි ඒ ගුණ තවමත් ඇත. 

කෙසේ වෙතත් නරි බෑණා නාටකයේ කියැවෙන්නේ තරමට වඩා ඉදිමෙන්නට ගොස් පීචං වෙන නරියෙකු ගැනය. මට ඒ නරියා සිහිගන්වන්නේ මෙරට වර්තමාන මධ්‍යම පංතියය. දශකයක පමණ කාලයක සිට මෙරට මධ්‍යම පංතිය ලෙස හඳුනාගන්නා සමාජ කොටසක් සීඝ්‍ර ලෙස ව්‍යාප්තවෙමින් පවතී. කොටි ත්‍රස්තවාදය පරාජය කිරීමෙන් පසු එහි වරධන වේගය තවත් වැඩිවී ඇතැයි සිතේ. මේ පංතිය සාපේක්‍ෂ වශයෙන් ආර්ථික ශක්තියෙන් ධනාත්මක වර්ධනයක් අත් කරගෙන ඇත. නමුත් ඒ සමඟම ඔවුන්ගේ අපේක්‍ෂාවන් වලට ඊට වඩා වර්ධනයක් ලැබී ඇත. පොදුවේ ගත්විට මේ මධ්‍යම පංතියට තමන්ගේ අපේක්‍ෂා මුදුන් පත් කර ගැනීමට තරම් ආර්ථික ශක්තියක් නැත. මා එය පාදඩ මධ්‍යම පංතියක් ලෙස හඳුන්වන්නේ ඒ අර්ථයෙනි. 


බටහිර රටවල මධ්‍යම පංතියේ තත්වය මෙතරම් සෝචනීය නැත. පොදුවේ ගත් විට ඒ මධ්‍යම පංතියට තමන්ගේ අපේක්‍ෂාවන් ඉටුකර ගැනීමට හැකි අතර ඒ නිසා ඔවුන්ට ආරථික නිදහසක්ද හිමිය. මේ හේතුවෙන් බටහිර මාධ්‍යම පංතිය, අවම වශයෙන්, ඇමෙරිකානු මධ්‍යම පංතිය අපට සාපේක්‍ෂව උසස් මධ්‍යම පංතියක් ලෙස හැඳින්විය හැකිය. මීට වසරකට ඉහත ඇමෙරිකාවේ සිට ශ්‍රී ලංකාවේ ස්ථිර පදිංචිය සඳහා පැමිණෙන විට උසස් මධ්‍යම පංතියකින් පාදඩ මධ්‍යම පංතියකට මාරුවෙන බව මම නොදැන සිටියෙමි. සංක්‍රමනය වීමට ගත් තීරණය ගැන පසු නොතැවුනද මෙරට ඇතිවී ඇති සමාජ විපර්යාසය ගැන මම දුක් වෙමි.


ඒ ඒ රටවල සංස්කෘතීන්ට අනුව ඒ ඒ සමාජවල අපේක්‍ෂාවන් වෙනස්ය. ප්‍රශ්ණය අපේක්‍ෂාවන්ට සරිලන ආර්ථික හැකියාවක් ඇත්ද යන්නය. එසේ නොවේ නම් කල යුත්තේ සමාජයක් වශයෙන් හික්මීමය. අපි මේ රට සංවර්ධනය කල යුත්තේ අපේක්‍ෂාවන් සහ ආර්ථික වර්ධනය අතර සැමවිටම ගතික සමතුලිත බවක් පවත්වා ගනිමින්ය. නමුත් සිදුවී ඇත්තේ හික්මීම බල්ලට දමා අපේක්‍ෂාවන්ට සරිලන ලෙස ආර්ථිකය වර්ධනය කරගැනීමට පුද්ගලයින් වශයෙනුත් සමාජයක් වශයෙනුත් අපි උත්සාහ කිරීමය. 


බටහිර රටවල් ඊනියා සංවර්ධනයක් අත් කර ගැනීමේදී ඔවුන්ට මේ ප්‍රශ්ණය නොතිබුනි. සංවර්ධනය වෙද්දී ඔවුන්ගේ අපේක්‍ෂාවන් ක්‍රමයෙන් වෙනස් වුනි. නමුත් අපේක්‍ෂාවන් මොනවාදැයි තීරණය කලේද ඔවුන්මය. ඒ නිසා ඔවුන්ට අපේක්‍ෂාවන් සහ වර්ධනය අතර ගතික සමතුලිත බවක් පවත්වාගැනීමට හැකිවිනි. නමුත් අපේ අපේක්‍ෂාවන් ගැන නිර්ණායකයන් අපට දී ඇත්තේ බටහිර සංස්කෘතිය විසිනි. ආර්ථික සංවර්ධනය දුවන්නේ ඒ පිටුපසය. අපේ මධ්‍යම පංතිය පාදඩ වෙන්නේ ඒ නිසාය.


සිඟාල ගෝත්‍රයේ වුනද නරි බෑණාහි නරියාට නරියෙකු වීම නිසා තමන් අපේක්‍ෂාකල මනුස්ස දුව නොලැබී යයි. නරියෙක් වූවා මදිවට නාටකයේ වත්මන් සංස්කරණයේදී නරියා නිරූපනය වෙන්නේ නපුංසකයෙකු ලෙසය. ඒ නරියාට නම් කොහොමටත් නොහැකිය. මෙරට මධ්‍යම පංතියටද එසේමය. කලාව ජීවිතය අනුකරණය කරනවා යැයි කියන්නේ මෙවැනි දේට විය හැකිය

Sunday, November 29, 2015

රටේ ආර්ථික දත්ත කොල්ල කෑමට ඉඩ දිය යුතුද?

ආර්ථික දත්ත ඩිජිටල්කරණය සඳහා මිලියන 10,000ක් මෙවර අය වැයෙන් වෙන් කෙරී ඇත. රටේ දීර්ඝ කාලීන තාක්‍ෂණික සංවර්ධනය සඳහා ආයෝජනය කිරීම සුභදායකය. නමුත් ඊනියා සංවර්ධන කටයුතු හරහා රටේ ආර්ථිකයත් රාජ්‍ය බලයත් විදේශ බලවේගයන්ගේ අවශ්‍යතාවන්ට අනුව නොහැසිරවීමට වග බලා ගැනීම රජයේ යුතුකමය. 

අය වැය කථාවේ 192 සහ 193 ඡේද වල මෙසේ සඳහන් වෙයි.

192. ගරු කථානායක තුමනි, රජය, විවෘත රාජ්‍ය සහභාගීත්වය (Open Government Partnership) සඳහා කැපවී සිටිනවා.  ජාතික දත්ත තලය (national data platform) ක්‍රියාත්මක කිරීම මඟින් ශ්‍රී ලංකාවට විවෘත රාජ්‍ය සහභාගිත්වයෙහි අවශ්‍යතා සම්පූර්ණ කිරීමට තවදුරටත් සහායක් ලැබෙනු ඇත.

193. උසස් ඩිජිටල්කරණ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සඳහා රුපියල් මිලියන 10,000 ක ප්‍රතිපාදනයක් වෙන් කිරීමට මා යෝජනා කරනවා. (ඉංග්‍රීසි පිටපතෙහි උසස් ඩිජිටල්කරණය නෙුවට ඇත්තේ advanced digitization of economy කියාය. ඩිජිටල්කරණයට හසුවන්නේ ආර්ථික දත්ත බව සිංහල පිටපතෙහි සඳහන් නොවන්නේ මක් නිසාදැයි කිව හැක්කේ මුදල් අමාත්‍යවරයාටය.)

අයවැයෙන් ඒ ඒ විශයන් සඳහා වෙන් කෙරෙන මුදල් සලකා බැලූවිට රුපියල් මිලියන 10,000 ක් යනු විශාල මුදලකි. උදාහරණයක් වශයෙන් මෙගා පොලිස් ව්‍යාපෘතියටත්, පුබුදමු පොළොන්නරුව ව්‍යාපෘතියටත්, මුළු රටේම ප්‍රාථමික පාසල් නවීකරණය කිරීම සඳහාත් වෙන වෙනම යෝජනාවී ඇත්තේ ඒ හා සමාන ප්‍රතිපාදනය. නමුත් මෙහිදී වැදගත් ප්‍රශ්ණය ප්‍රතිපාදනයේ විශාලත්වය නොව රජය ඒ මුදලින් කරන්නේ කුමක්ද යන්නත් කරන්නේ කාගේ උවමණාවටද යන්නත්ය. 

විවෘත රාජ්‍ය සහභාගීත්වය (OGP) යනු රාජ්‍යය විනිවිද භාවය වෙනුවෙන් ක්‍රියාකාරී වනවා යැයි ප්‍රකාශ කර සිටින ජාත්‍යන්තර සංවිධානයකි. OGP හි සාමාජිකයෝ බහුතරයක් බටහිර රටවල් හා බටහිර ආණ්ඩුවල බලපෑමට ලක්වන රටවල්ය. OGPහි එකම දකුණු ආසියාතික සාමාජිකයා ශ්‍රී ලංකාවය. ශ්‍රී ලංකාවට එහි සාමාජිකත්වයක් ලැබුනේ විජේදාස රාජපක්‍ෂ මහතාගේ ඉල්ලීමකට අනුව මේ වසරේ ඔක්තෝබර් මාසයේය.

ප්‍රධාන වශයෙන් OGP සංවිධානයට මුල්‍යාධාර සපයන්නේ බ්‍රිතාන්‍යය සහ ඇමෙරිකානු රජයන්ය. එහි ප්‍රඥාප්තියට අනුව ඊනියා විනිවිද භාවයක් උදෙසා රජයන්ට බල කිරීමත් ඒ වෙනුවෙන් ක්‍රියාකාරි වෙන සිවිල් සංවිධාන වලට ආධාර කිරීමත් මේ සංවිධානයේ වගකීම ලෙස සැලකෙයි. OGP සමඟ අත්වැල් බැඳගෙන සිටින ලංකාවේ ක්‍රියාත්මක වන සිවිල් සංවිධානය කුප්‍රකට ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැශනල් සංවිධානයයි. එයද යැපෙන්නේ බ්‍රිතාන්‍ය සහ ඇමෙරිකාව ඇතුළු බටහිර ආණ්ඩු කිහිපයක ආධාර මතය. ඊනියා විනිවිදභාවයක් උදෙසා රජයට බාහිරින් එන බලපෑම්  වලත් අභ්‍යන්තරයෙන් එන බලපෑම් වලත් මුූලාශ්‍රය එකමය. මෙවැනි දේ මෙරට සිදුවන්නේ පළමු වතාවට නොවේ. පැහැදිලිවම රජය රුපියල් මිලියන 10,000 වැය කිරීමට බලාපොරොත්තුවන ව්‍යාපෘතිය ඒංගලන්තයේ සහ ඇමෙරිකාවේ ආර්ථික සහ දේශපාලනික අවශ්‍යතාවන් මත කෙරෙන්නෙකි.

OGP සංවිධානය දුප්පත්බව, පරිසර දූශණය, තිරසාර සංවර්ධනය වැනි විශයයන්හි උනන්දුවන බව ප්‍රකාශ කර සිටියද ඔවුන්ට ඒවා විසිරුනු අදහස් බව ඔවුන්ගේ ලේඛන පිරික්සීමේදී පෙනීයයි. ඒ ඇස් බැන්ඳුම් තුල ඔවුන් සැබැවින්ම ක්‍රියාකාරී වී ඇත්තේ රාජ්‍යයක ආර්ථික හා සමාජීය තොරතුරු ලෝකයට නිදහස් කිරීම සම්බන්ධයෙනි. රාජ්‍ය කටයුතු වල යම් පාරදෘශ්‍ය බවක් තිබිය යුතුය. රජයක පාරදෘශ්‍ය බව තිබිය යුත්තේ රටේ ජනතාවටය. නමුත් OGP සංවිධානයේ අරමුණු ඊට එහා යන බව ඔවුන්ගේ ප්‍රකාශිත මූලෝපායන් තුල පැහැදිලිවේ:


“Promote public access to timely and disaggregated information and open data on government activities related to the implementation and financing of the 2030 Agenda for Sustainable Development, in line with national legislation and international commitments . We support development of the International Open Data Charter and intend to explore its implementation in our countries.” - Joint Declaration on Open Government for the Implementation of the 2030 Agenda for Sustainable Development.
  
මෙහි සඳහන් වෙන්නේ ඩිජිටල්කරණයට ලක් කෙරුනු රාජ්‍ය තොරතුරු පොදු ප්‍රජාවට මුදා හැරිය යුතු බවය. නමුත් මෙහි වැදගත් කරුණ හුදෙක් තොරතුරු නිදහස් කිරීම පිළිබඳව නොව එම තොරතුරු කොටස් වලට වෙන් කෙරුනු දත්ත වශයෙන් (disaggregated) ලබා දිය යුතු බව වීමය. උදාහරණයක් වශයෙන් කොළඹ නගරයේ වෙසන සිංහලුන්ගේ ප්‍රතිශතය දත්ත එකතු කිරීම තුලින් ගොඩනඟා ගන්නා තොරතුරකි. නමුත් කොළඹ නගරයේ එක් එක් නිවසක වෙසෙන මිනිසුන්ගේ ජාතිය, ආගම, වයස, අධ්‍යාපනය, රැකියාව ආදී තොරතුරු එකතු නොකරන ලද, ප්‍රාථමික මට්ටමේ දත්තයන්ය. මේවා ඉලෙක්ට්‍රොණික දත්ත වන අතර රටේම තොරතුරු ගත් විට ප්‍රමාණයෙන්ද අති විශාල වේ. මේ ආකාරයේ දත්ත පරිශීලණය කිරීමට විශේෂඥ දැනුමක් අවශ්‍යය. රටේ සාමාන්‍ය ජනතාවට එවැනි හැකියාවක් නැති අතර වඩා වැදගත් ලෙසට එවැනි දත්ත පරිශීලණය කිරීමට සාමාන්‍යයෙන් ඔවුන්ට උචමණාවක්ද නැත. උචමණාවක් සහ හැකියාවක් ඇති රටේ විශ්ව විද්‍යාල පර්යේෂකයින් මහ බැංකුව වැනි රජයේ ආයතනවල සේවකයින් වැනි අයට මේ ආකාරයේ ප්‍රාථමික මට්ටමේ දත්ත ඒවා රැස් කර ගබඩා කරන රජයේ ආයතන හරහා රාජකාරි මට්ටමෙන් ලබා ගැනීමට ක්‍රමවේද දැනටමත් තිබිය හැකිය. නැතිනම් එම ක්‍රමවේද තනාගත හැකිය. ඒ සඳහා ජාත්‍යන්තර සංවිධානවල මැදිහත්වීමක් අනවශ්‍යය. නමුත් OGP සංවිධානයේ ස්ථාවරය ප්‍රාථමික මට්ටමේ මෙවැනි තොරතුරු ඉලෙක්ට්‍රොනික දත්ත බවට පරිවර්තනය කර පොදු ප්‍රජාවට නිදහස් කල යුතු බවය. එවිට අවශ්‍යනම් මේ දත්ත විදේශ රටවල ආර්ථික විශ්ලේෂකයින්ට පවා කොන්දේසි විරහිතව ලබා ගත හැකි වනු ඇත. රුපියල් මිලියන දස දහසේ ව්‍යාපෘතිය ඒ සඳහා බව පැහැදිලිය. මෙහි අරමුණ කුමක්ද?

මිනිසුන්ගේ අනන්‍යතාවන් පිළිබඳ, ඔවුන්ගේ ගනුදෙනු පිළිබඳව, නිශ්පාදන සහ වෙළඳාම් පිලිබඳව ආදී වශයෙන් ප්‍රාථමික මට්ටමේ තොරුතුරු රජයේ මෙන්ම පෞද්ගලික ආයතන වල දිනපතා නිපදවෙයි. ආයතන හරහා තිරස් අතටත් කාලයේ සිරස් අතටත් ගත්කල විශාල දත්ත ප්‍රමාණයකි. එහි විවිධවත්වයද විශාලය, එම දත්ත සිඝ්‍රයෙන් වෙනස් වන්නේද වේ. මෙවැනි දත්ත විශ්ලේශණය කිරීම සඳහා අවශ්‍ය විශේෂඥ තාක්‍ෂණික දැනුම පොදුවේ හැඳින්වෙන්නේ මහා පරිමාණ දත්ත (Big Data) තාක්‍ෂණය යනුවෙනි. මහා පරිමාණ දත්ත විශ්ලේශණයේ මූලික අරමුණ දත්තවල අඩංගු දෑ පිළිබඳව යම් යම් නිගමණ වලට එළඹීම නොවේ. එසේ වුනි නම් රුපියල් මිලියන දස දහසේ ව්‍යාපෘතිය පිළිබඳව එතරම් කනස්සලක් ඇතිවන්නේ නැත.

මහාපරිමාණ දත්ත විශ්ලේශණයේ මූලික අරමුණ අනාගතය පිළිබඳ අනාවැකි පල කිරීමය. ඒ අනුව රටක ඩිජිටල්කරණයට ලක්වෙන ආර්ථික සහ සාමාජීය දත්ත හරහා ඒ රටේ නිශ්පාදනය, පරිභෝජනය, භෞතික සම්පත්, දේශගුණය, කෘෂිකර්මාන්තය ආදිය වෙනස් වෙන ආකාරය අධ්‍යනය කර රටේ අනාගත ආරථික සහ සාමාජීය තත්වයන් පිළිබඳව පුරෝකතනයක් කිරීමට හැකිවනු ඇත. විවෘත සමාජ වල සමාජ-ආර්ථික රටාවන් අන් රටවල් හා බැඳි පවතී. එබැවින් වඩා නිවැරදි ලෙස එම පුරෝකථනය කිරීමට හැකියාවක් ලැබෙන්නේ රටවල් විශාල සංඛ්‍යාවක මහා පරිමාණ ප්‍රාථමික දත්ත වලට හිමිකම් කියන විශ්ලේශකයෙකුටය. අපි අපේ දත්ත ඩිජිටල්කරණය කර මුදා හැරියද මුළු ලෝකයේම දත්ත ලබා ගැනීමට හැකියාවක් අපට නැත. OGP සංවිධානය හරහා ඒ හැකියාව ලබා දෙන්නේ ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල් වලටය.

සමාජයක් මෙහෙයවිය හැක්කේ අනාගතය ගැන නිවැරදි දැකීමක් ඇති බලවේගයකටය. එබැවින් කිසියම් සමාජයක (රටක හෝ ලෝකයේම හෝ) අනාගතය පිළිබඳව නිවැරදිව අනාවැකි පල කිරීමට හැකිවීම මත දේශපාලන බලයක් ගොඩනැඟේ. මහාපරිමාණ දත්ත පිටුපස ඇත්තේ ඒ දේශපාලන බලය ගොඩනැඟීමේ අරමුණය. දැනට මහාපරිමාණ දත්ත විශ්ලේශණයට අවශ්‍යය තාක්‍ෂණික දැනුමත් ඊට පහසුකමුත් ඇත්තේ ඇමෙරිකාව ඇතුළු බටහිර රටවලය. ඊනියා රාජ්‍ය විනිවිදභාවයක් වෙනුවෙන් යැයි කියමින් රටේ ආර්ථික දත්ත කොල්ල කන ව්‍යාපෘතිය පිටුපස ඇත්තේ නව අධිරාජ්‍යවාදී ක්‍රමයයි. OGP සංවිධානයට හවුල් නොවීම නිසා අඩු තරමින් අපේ අසල්වැසි ඉංදියාව හෝ ඒ බව හඳුනාගෙන ඇති බව පෙනේ. තමන්ට එරෙහිවූ යෝජනාවකට අත්සන් තැබීමට තරම් දීනවූ මේ රජයට රටේ ආර්ථික දත්ත පාවාදීම එතරම් කජ්ජක්ද?


මූලාශ්‍ර
OGP 4 year strategy
OPG 2030 Agenda 
 Joint Declaration
Funding: Transparency International - Sri Lanka 

Thursday, November 26, 2015

කොටි නිදහස් කිරීම

දෙමළ ත්‍රස්තවාදයට පදනම දෙමළ ජාතිවාදී බෙදුම්වාදී දේශපාලනය වන බැවින් අවශ්‍යනම් කොටි ත්‍රස්තවාදීන් දේශපාලන සිරකරුවන් ලෙස හඳුන්වාගැනීම අතාර්කික නොවේ. නමුත් මොවුන් සම්බන්ධයෙන් කරුණු දෙකක් සැලකිය යුතුය. 

1. ඔවුන් සෘජුව හෝ වක්‍රව හෝ මිනිස් ඝාතනවලට සම්බන්ධවී ඇත
2. ඔවුන් පෙනී සිටින බෙදුම්වාදී දේශපාලනය රටේ ව්‍යවස්ථාවට අනුව නීති විරෝධීය. 

පොදුවේ ඕනෑම දේශපාලන සිරකරුවෙකු සඳහා මේ කරුනු දෙකම සත්‍ය වන්නේ නැත. (උදාහරනයක් වශයෙන් හුදෙක් ආණ්ඩුවක් පෙරලීමට පදනම්වන දේශපාලනය නීතිවිරෝධී ලෙස සැලකිය නොහැකිය) නමුත් කොටි ත්‍රස්තවාදීන් සම්බන්ධයෙන් මේ දෙකම සත්‍යය. එම නිසා අත්අඩංගුවේ සිටින කොටි ත්‍රස්තවාදීන් සම්බන්ධයෙන් නම්‍යශීලී විය යුත්තේ සිරකරුවාත් පවතින දේශපාලන වාතාවරනයත් යන දෙකම සැලකිල්ලට ගැනීමෙනි. එසේ කිරීම රජයේ වගකීම වේ. පසුගිය රජය යටතේ යටත්වූ කොටින් (සමහරු පුනුරුප්ථාපනය කිරීමෙන් අනතුරුව) නිදහස් කර හරිනු ලැබුයේ ඉහත කරුනු දෙකම සැලකිල්ලට ගෙන ඔවුන්ගෙන් රාජ්‍යයට හෝ සිවිල් සමාජයට අනතුරක් නැතැයි තීරණය කරනු ලැබූ නිසා විය හැකිය. එසේ සිතිය හැක්කේ එම රජය යටතේ ඇතැම් සිරකරුවන් නිදහස් කෙරුනේ දේශපාලන බලපෑම් මත නොවන නිසාය.

නමුත් වත්මන් රජය කොටි සිරකරුවන් නිදහස් කිරීමට තීරණය කරන්නේ හුදෙක්ම දෙමළ බෙදුම්වාදී දේශපාලන බලවේග සහ තානාපතිවරුන් හරහා ඊට උදව්කරන බටහිර ආණ්ඩුවලින් කෙරෙන බලපෑම නිසාය. මේ බලපෑම් උඩ කොටි සිරකරුවන් නිදහස් කිරීම තුලින් රජය නීති විරෝධී දේශපාලනයකට වක්‍රාකාරයෙන් පිළිගැනීමක් අත් කර දෙයි. 

කොටි සිරකරුවන් නිදහස් කිරීමට ඉල්ලීම තුලින් දෙමළ ජාතිවාදීන් බලාපොරොත්තු වන්නේද බෙදුම්වාදයට දැන් පිලිගැනීමක්ද පසුව නීතිමය බවක්ද අත් කර දීමටය. කොටි ත්‍රස්තවාදීන් නිදහස් කිරීමට කෙරෙන උද්ඝෝශණය හුදෙක් මානුශීය ඉල්ලීමක් නොව බෙදුම්වාදී දේශපාලනයකි.

Saturday, November 21, 2015

වැස්සේ මෝටර් සයිකලෙන් ආ තරුණ ජෝඩුව මුල පිරූ වෙනස

වෙනසකට මුල පුරා වසරක් ගත වී ඇති බව අගමැතිතුමා සහ ජනාධිපතිතුමා විසින් මතක් කර දීම හොඳ දෙයකි. එදා රට තිබුණ තැන සහ අද ඇති තැනත් දැන් මේ වෙනස්කම් කරන්නේ රට කොතැනට ගෙනයාමටද බවත් ඒ මතකය ඔස්සේ අපට අවබෝධ කරගත හැකිය. එදා වැස්සේ තෙමීගෙන මෝටර් සයිකලයක් පැදගෙන ආ තරුණ ජෝඩුවක් පැතුවේ තමන්ගේ ආණ්ඩුවක් තුල අඩු මිළට වාහනයක් මිළදී ගැනීමටය. අද ත්‍රී වීලර් රථයේ සිට සියළු වාහන වල මිළ ලක්‍ෂ ගණනින් වැඩිවී ඇත. සමහර වාහන දශ ලක්‍ෂ ගණනින් වැඩි වී ඇත. වාහන වලට අය කෙරෙන ආදායම් බදු වැඩි වී ඇත. ලබාගත හැකි වාහන ණය ප්‍රතිශතය සීමාවී ඇත. මෝටර් සයිකලයෙන් රථ වාහනයකට මාරුවීමට සිතා සිටි පහල මධ්‍යම පංතියේ දහස් ගණන් තරුණ ජෝඩු වල අපේක්‍ෂා භංග වී ඇත. 

එසේ වුවත් මේ අවුල් ආණ්ඩුව ජනතාව ඇන්ඳීම තවමත් නවත්වා නැත. වැස්සේ මෝටර් සයිකලෙන් ආ තරුණ ජෝඩුව ගණයේ සුප්‍රබුද්ධ රූපවාහිනී ප්‍රචාරක දැන්වීම් තවමත් ප්‍රචාරය වේ. එයින් අපට කියා දෙන්නේ ඕපන් ක්ලෝස් (විවෘත/සංවෘත) ගැන නොසිතා රට හැදිය යුතු යැයි කියාය. රවි කරණානායකගේ අය වැය මෙන්මම මේ කියන දේද සාමාන්‍ය මිනිස්සුන්ට තේරුම් ගැනීමට අපහසු සුප්‍රබුද්ධ ගණයේ එකක් වුවද ගොනා හැරෙන්නේ කුමකටදැයි මෙරට මිනිස්සුන්ට සිතා ගත හැකිය. ඉදිරියේදී මේ අවුල් ආණ්ඩුව විසින් රටේ භෞතික සහ මිනිස් සම්පත් පමණක් නොවේ ජනතා ස්වාධිපත්‍යයද විදේශිකයින්ට සූරා කෑමට ඉඩදෙනු ඇත. එසේ නැතිව මේ ආණ්ඩුවට පැවැත්මක් නැත. 


අය වැයෙන් නොකීවද මේ අවුල් ආණ්ඩුව විසින් විදේශ කළු සල්ලි මෙරටට ගෙන ඒමට ඉඩදී ඇත. ඒ මුදල් වලට පොළියක්ද ගෙවන බව සඳහන්ය. පොළිය ගෙවන්නේ කෙසේදැයි නෙකියවුණද රටේ ජනතාවගේ විශාම වැටුප්ද කොටස් වෙළද පොලේ ආයෝජනය වීමට නියමිත බව සඳහන්ය. දැන් විදේශිකයින්ට මෙරට ඉඩම් අයිති කරගැනීමට බද්දක් අය කරන්නේ නැත. තහනම්වූ කොටි හිතවාදී සංවිධාන රැසක තහනම ඉවත් කෙරී ඇත. විදේශගතව සිටි දෙමළ ජාතිවාදීන්ට දැන් නීතියානුකුලව මෙරටට පැමිණිය හැකිය. ඔවුන්ට ලඟදී නිදහස්වුනු කොටි ත්‍රස්තවාදීන් සමඟ රිසි සේ ගණුදෙනු කල හැකිය. ඒ අතර විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම ගැන කථා කෙරෙයි. ව්‍යවස්ථාවට අනුව පළාත් සභා මධ්‍යයට බැඳ තබාගැනීමට හැක්කේ විධායක ජනධිපති බලතල වලට පමණි. මේ සියල්ලෙන් පෙනී යන්නේ රට ආර්ථිකව සහ දේශපාලණිකව පාවා දෙමින් පවතින බව නොවේද?


ඊනියා වෙනසට මුල පිරුවේ දූශණය සහ භීශණය මුල් කරගෙනය. මීට වසරකට ඉහතදී යහපාලනවාදීන් ආර්ථිකය ගැන හෝ බලය බෙදීම පිළිබඳව කථා නොකිරීමට වග බලා ගත්හ. කොටින්ම ඡන්ද ප්‍රචාරක රැළි වලදී රාජපක්‍ෂ සමයේ ආර්ථික සංවර්ධනය එලෙසම කරගෙන යන බවට ජනතාවට පොරොන්දු වන්නට යහපාලනවාදීන්ට සිදුවිනි. මන්ද සාමාන්‍ය මිනිසුන්ට කෙසේ වෙතත් සාමාන්‍යයෙන් යූඑන්පියට ඡන්දය දෙනවුන්ට රාජපක්‍ෂ සමයේදී ආර්ථික අතින් අඩු පාඩුවක් නොතිබුනු බැවිනි. ඉදිරියේදී මෙරට ආර්ථික අතින් අඩු පාඩුවක් නැති පංතිය ගණනින් තව තවත් සංකෝචනය වනු ඇත. රණ විරුවන් පාවා නොදෙන බවට පමණක් නොවේ ඔවුන්ගේ ගෞරවයද ආරක්‍ෂා කෙරෙන බවට පොරොන්දු විනි. මන්ද මෙරට සාමාන්‍ය මිනිසුන් පමණක් නොවේ සාමාන්‍යයෙන් යූඑන්පියට ඡන්දය දෙනවුන් පවා රටේ ඒකීය භාවය ආරක්‍ෂාවිය යුතුය යන ස්ථාවරයේ සිටින බැවිනි. 


අද සිදුකෙරෙන ආර්ථික සහ දේශපාලනික වෙනස්කම් රටේ ඇති කිසියම් ප්‍රශ්ණ රැසකට විසඳුම් ලෙස ඉදිරිපත් වුනද එවැනි ප්‍රශ්ණ රටේ ඇතැයි ජනවාරි 8 දාට කලින් යහපාලනවාදීන් විසින්වත් ජනතාවට හෙලිදරව් නොකලහ. ඒ වෙන කිසි හේතුවක් නිසා නොව මේවා ඊනියා ප්‍රශ්ණ වලට විසඳුම් නොව මහින්ද රාජපක්‍ෂ රජය ගෙදර යැවූ විදේශ බලවේග වලට මෙරට කරගන්නට අවශ්‍යවූ වෙනස්කම් නිසාය.

යහපාලනවදීන් තවමත් කථා කරන්නේ දූශණය සහ භීශණය ගැනය. ඔවුන් සමහරක්ට අනුව රටේ ප්‍රධානම ප්‍රශ්ණය හිටුපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග සිල් රෙදි බෙදූ හැටි සොයා ගැනීමය. ඒ අතර මහ බැංකු බැඳුම්කර වංචා සහ කළු සල්ලි ඔස්සේ මෙරට ආර්ථිකයත් ජෙනීවා අධිකරණ හරහා මෙරට ෙසේවරීභාවයත් පාවා දෙමින් පවතී. මේ කරුණු මෙලෙස සිදුවන්නේ අහම්බයෙන් වත් නොසිතු විරූ පරිදිවත් නොවේ. මේ දෑ මෙසේ සිදුවන බව ජාතිකවාදීන් විසින් ජනවාරි 8 දාට පෙර පෙන්වා දුනි. මෙරට ආර්ථිකව සහ දේශපාලණිකව යටත් කර ගැනීම ඉංදියාව සහ බටහිර රටවල අවශ්‍යතාවය වේ. වැස්සේ මෝටර් සයිකලෙන් ආ තරුණ ජෝඩුව මෙන් යහපාලනවාදීන් ඒ බව අපට නොකියා අප එතැනට ගෙනයමින් සිටියි. වසරක් තිස්සේ මේ ජෝඩුව සමඟ ගමණක් ගිය මෙරට ජනතාවට යන්නේ කොහේදැයි දැන්වත් අවබෝධ විය යුතුය.

Thursday, November 19, 2015

රුපියල් සත වලින් මැනිය නොහැකි ආර්ථිකය


 A+Saudi+Court+orders+a+Sri+Lankan+woman+be+stoned+to+death

 A Saudi Court orders a Sri Lankan woman be stoned to death

බටහිර ආර්ථික විද්‍යාවට රටක ආර්ථිකය මැනීම සඳහා නොයෙකුත් දර්ශක ඇත. සාමාන්‍යයෙන් ඒ දර්ශක ගණනය කෙරෙන්නේ මිනිස් ශ්‍රමයට හා භෞතික සම්පත් වලට මිළක් නියම කිරීම තුලිනි. එය පිළිගත හැකි ක්‍රමයකට කල හැකි යැයි සිතමු. නමුත් රටක ආර්ථික ක්‍රියාවලිය හුදෙක් මිනිස් ශ්‍රමය සහ භෞතික සම්පත් අතර කෙරෙන ගණුදෙනුවකට ඌණනය කල නොහැකි සංකීර්ණ ක්‍රියාවලියකි. උදාහරණයක් වශයෙන් ආර්ථික ක්‍රියාවලිය නිසා මිනිසුන් අතර ගැටුම් ඇතිවේ, මිනිසුන් සහ පරිසරය අතරද ගැටුම් ඇතිවේ. මේ ගැටුම් තුලින් රටක ආර්ථිකයට කෙරෙන බලපෑම නොගිනිය හැකි නොවේ. රටක ආර්ථිකය පිළිබඳ නිවැරදි මිනුමක් ලබා ගැනීමට නම් එවැනි වක්‍ර බලපෑම්ද අර්ථික සමීකරණයට ඈඳා ගත යුතුය.

යමකට අගයක් ලබාදීමට නම් ඊට අදාල සියළු විචල්‍යයන් එකම මිනුමෙන් මැනගත හැකි විය යුතුය. එසේ නැතිව ඒ සියළු විචල්‍යයන් එකම සමීකරණයකට ඇඳාගත නොහැකිය. ආර්ථිකය මැනීමේදී රුපියල් සත භාවිතා වන්නේ ඒ හේතුව නිසාය. ඒ අනුච ආර්ථිකය මැනීමේදී බටහිර ආර්ථික විද්‍යාව කරන්නට උත්සාහ දරන්නේ ආර්ථික ක්‍රියාවලිය විශ්ලේශණය කර එහි සංඝටක වෙන් වෙන්ව හඳුනා ගෙන ඒවාට යම් මුල්‍යමය වටිනාකමක් නියම කිරීමටය. මෙහිදී ගැටළු කීපයක් මතුවේ. එක, ආර්ථික ක්‍රියාවලියක සියළු සංඝටක දැනගත හැකිද යන්නය. දෙක, ඒ සියළු සංඝටකවලට වාස්ථවික අර්ථයෙන් මිළක් ලබා දිය හැකිද යන්නය. තුන, සංඝටක වලට නියම කෙරෙන මිළෙහි එකතුව සමස්ථ ක්‍රියාවලියට නියම කල හැකිද යන්නය. 


උදාහරණයක් වශයෙන් පරිසර දූශණය නිසා සිදුවන හානිය රුපියල් සත වලින් මැණිය හැකිද? ඒ සඳහා බටහිර විද්‍යාව උත්සාහයක් නොගන්නවා නොවේ. අවශ්‍යනම් යම් කරමාන්ත ශාලාවකින් වායුගෝලයට නිකුත්වන කාබන් ප්‍රමාණය මැනිය හැකිය (ඒ මිනුම එම කර්මාන්තශාලවට කෙතරම් අනූනද යන්න ප්‍රශ්ණයක් මුත් එය අමතක කරමු). ඊලඟට ගෝලීය උණුසුම්කරණයට එම කාබන් ප්‍රමාණය (කාබන් පා සලකුන) කෙතරම් දායකවෙයිදැයි යම් ආකෘතියක් භාවිතා කරමින් තක්සේරු කල හැකිය. ඊ ලඟට කෙයොතෝ සම්මුතිය වැනි ජාත්‍යාන්තර සම්මුතීන් පදනම් කරගෙන යම් කර්මාන්ත ශාලාවක් සම්බන්ධයෙන් මැණ ගන්නාවූ කාබන් පා සලකුනට යම් මුල්‍යමය අගයක් ලබා දිය හැකිය. මේ නීති රාමුවට ගෝලීය උණුසුම්කරන ආකෘතිය සමඟ ඇත්තේ ලිහිල් සම්බන්ධයක් පමණි. කෙසේ වෙතත් ඒ ලැබෙන මුල්‍යමය අගයද වාස්ථවිකවූ මිළක් නොවේ. උදාහරණයක් වශයෙන් යම් කර්මාන්ත ශාලාවක් තම සීමාවෙන් ඇතුලත කාබන් නිකුත් කරන්නේ නම් ඊට නීතියෙන් හිමි අතිරික්තය තවත් කර්මාන්ත ශාලාවකට විකිනිය හැකිය. ඒ සංදර්භය තුල කාබන් පා සලකුන වෙළද භාන්ඩයක් බවට පත්වේ. එවිට ඊට ලැබෙන්නේ ඒ සදහා නිර්මිත වෙලඳ පොළක මිළකි (එවැනි වෙළද පොල දැනටමත් නිර්මාණය වෙමින් පවතී) මේ ආකාරයට ගත්විට කාබන් වායුගෝලයට නිකුත්වීම නිසා සිදුවිය හැකි ආර්ථික අලාභය මැණ ගැනෙන්නේ ඒ සදහා වූ විද්‍යාත්මක ක්‍රමය එනම් ගෝලීය උණුසුම්කරණ ආකෘතියට සෘජු සම්බන්ධයක් නැති අවශේෂ ක්‍රියාවලියක් තුලිනි. මේ නිසා කාබන් පා සලකුනට ලැබෙන මුල්‍යමය වටිනාකම නිවැරදි යැයි බටහිර ආර්ථික විද්‍යාත්මක ක්‍රමය තුලවත් සාධාරණය කල නොහැකිය. 


ප්‍රශ්ණය එතැනින් නිම වන්නේ නැත. පරිසර විනාශ වන්නේ කාබන් වායුගෝලයට මුදා හැරීමෙන් පමණක් නොවේ නොදිරන අපද්‍රව්‍ය මුදා හැරීම, ජලය අපවිත්‍ර කිරීම, ගස් කැපීම ආදී නොයකුත් ක්‍රම හරහා පරිසරය විනාශ වේ. මේ සියලු ආකාර අපට දැනගත හැකිද? එසේ දැනගත්තත් මේ සියලු ආකාර වෙන වෙනම සලකා ඒවාට නියම කෙරෙන මිළෙහි එකතුව ඒ සියළු ක්‍රම හරහා සිදුවන පරිසර දූශණයට දිය හැකි මුල්‍යමය අගය ලෙස ගැනීම නිවැරදිද?


අපි ශ්‍රී ලාංකිකයින් වඩා සංවේදීවන ආර්ථික ක්‍රියාවලියක් සලකමු. මැද පෙරදිග යන ගෘහ සේවිකාවන්ගේ ශ්‍රමය රටේ ප්‍රධාන විදේශ විනිමය උපයන මාර්ගයක් ලෙස සැලකෙයි. ඔවුන් මෙරටට එවන මුදලට නිශ්චිත මුල්‍යමය වටිනාකමක් ගණනය කල හැකිය. නමුත් මේ ක්‍රියාවලිය නිසා ඇතිවන සමාජීය ප්‍රශ්ණ වලට නිවැරදි මුල්‍යමය අගයක් ලබා දිය හැකිද? වඩා වැදගත් ලෙසට සමාජීය ප්‍රශ්ණයට එසේ මුල්‍යමය අගයක් දිය නොහැකි නම් මැද පෙරදිගින් එන විදේශ විනිමය සම්බන්ධ සමස්ථ ආර්ථික ක්‍රියාවලිය නිවැරදි ලෙස ඇගයිය හැකිද?


පසුගිය දා ශ්‍රී ලාංකීය කාන්තාවක් විවාහයෙන් පිට සම්බන්ධකමක් පැවැත්වීමේ වරදට සවුදි අධිකරණය මඟින් ගල් ගසා මරා දැමීමට නියම කෙරී ඇත. දැන් මේ කාන්තාවගේත් සිද්ධියට සම්බන්ධ පිරිමියාගේත් පවුල්වල ඥාතීන්ට සහ දරුවන් සිටීනම් ඔවුන් මුහුණ පාන සමාජ ආර්ථික ප්‍රශ්ණවලට මුල්‍යමය අගයක් නියම කල හැකිද? එය කල නොහැකිය (අවශ්‍යනම් මේ පවුල් වලට රජයෙන් ලබා දෙන යම් සහණාධාර, මානසික වෛද්‍ය ප්‍රතිකාර සඳහා යන වියදම ආදී වශයෙන් සමාජීය ප්‍රශ්ණයට මුල්‍යමය අගයක් ගණනය කල හැකි වුවද එය ප්‍රමාණවත් යැයි සිතිය නොහැකිය). පොදුවේ මැදපෙරදිග යන ගෘහ සේවිකාවන්ගේ සමාජ ආර්ථික ප්‍රශ්ණවලට මුල්‍යමය අගයක් නියම කිරීමට නොහැකි නම් ඒ ශ්‍රමිකයින් සම්බන්ධ සමස්ථ ආර්ථික ක්‍රියාවලියේ වටිනාකම නිවැරදිව ගණනය කල නොහැකි යැයි පිළිගත යුතුය. 

බටහිර විද්‍යාවේ ක්‍රමවේදය විශ්ලේශණයය. අන් සියළු බටහිර විද්‍යාවන් සේම බටහිර ආර්ථික විද්‍යාවේත් අසමත් කම ඊට සමස්ථ ක්‍රියාවලියක් දැක ගත නොහැකිවීමය. නමුත් බටහිර භෞතික විද්‍යාවට නැති ගැටළුවක් ආර්ථික විද්‍යාව මුහුණ දෙයි. එනම් ආර්ථික ක්‍රියාවලියක සියළු සංඝටක සැහීමකට පත්විය හැකි අයුරින් එකම මිණුම් දණ්ඩකින් (මෙහිදී රුපියල් සත මඟින්) මැනීමට නොහැකි වීමය. ආර්ථික විද්‍යාවකට ආර්ථික ක්‍රියාවලියක සියළු විචල්‍යයයන් නිවැරදිව මැණගත නොහැකි නම් එම විද්‍යාවෙන් ආර්ථිකය පිළිබඳව විශ්වාසවන්ත ලෙස පුරෝකථනයන් කල නොහැකිය. ඇමෙරිකානු ආර්ථික විශේෂඥයෙකුවූ ඇලන් ග්‍රීන්ස්පෑන් පසුගිය දශකයේ මැද භාගයේදී පමණ ඇමෙරිකාව ඇතුළු බටහිර ලෝකයේ ආර්ථිකය කඩා වැවෙන බව තමන්ට කලින් දැනගත නොහැකිවූ බව පිළිගැනීමෙන් ඒ බව සනාථවේ. 


මීට විකල්ප විසඳුම සමස්ථ ක්‍රියාවලියම මැණ ගත හැකි විද්‍යාවක් ගොඩනඟා ගැනීමය. අපට එවැනි විධිමත් ක්‍රමයක් නැතිවුනද වසර දහස් ගණනක පුහුණවක් සහ ප්‍රායෝගික දැනුමක් අප සතුය. අපි අපේ ආර්ථික ක්‍රියාවලිය තුල පරිසරය මෙන්ම සතා සිව්පාවුන්ද විනාශ නොකිරීමට වග බලාගත්තේ අපට සමස්ථය මැණ ගත හැකිවූ බැවිනි. අපේ කාන්තාවන් මැද පෙරදිග රැකියාවන්ට නොයැවිය යුතුයැයි සිතෙන්නේද රටින් එන සල්ලි සේම සමාජයේ ඇති වන ප්‍රශ්ණද සමස්ථයක් ලෙස දැක ගත හැකි නිසාය. කඳුකරයේ කෙරෙන තේ වගාව වෙනුවට එහි දේශීය ක්‍රමයකට දේශීය භෝග වගා කෙරෙන්නේ නම් සමස්ථයක් වශයෙන් රටට ඵලදායී විය හැකියැයි සිතෙන්නේද එවැනි පදනමකිනි. නමුත් අවාසනාවකට මෙවැනි දැනුම් සහ ආකල්ප ඉවත දැමෙන්නේ බටහිර ආර්ථික විද්‍යාවේ යම් උසස් බවක් නිසා නොව ඊට ඇති දේශපාලන හයිය නිසාය. මේ පාරම්පරික දැනුම් ප්‍රශ්ණ කරන්නේද බටහිර විද්‍යාවේ නොහැකියාව පිළිබඳ හරි අවබෝධයක් නැති නමුත් ඒ දැනුමට වහල්වූ නූගතුන්වීම ඊටත් වඩා අවාසනාවකි.

Wednesday, November 18, 2015

සුදු ජාතීන්ගේ සාමුූහිකබව සහ අපේ ගෝත්‍රික බව

මුස්ලිම් ත්‍රස්ත ප්‍රහාරය හෙලා දකිමින් ප්‍රංශයට තම සහෝදරත්වය ප්‍රකාශ කිරීමට ඉංග්‍රීසීහු ඊයේ වෙම්බ්ලි ක්‍රීඩාංගනයේ එංගලන්තය සහ ප්‍රංශය අතර පැවති පාපන්දු තරගය යොදා ගත්හ. ඊට එංගලන්ත ප්‍රභූ වරුන් රැසක් සහභාගීවී ඇති අතර එහිදී ඉංග්‍රීසි ජාතිකයෝ ප්‍රංශ ජාතික ගීය (ප්‍රංශ බසින්) ගැයූහ. ප්‍රංශ ජාතික කොඩිය ලංඩනයේ උත්කර්ශවත් ලෙස ප්‍රදර්ශණය කෙරිනි. 

ඉංග්‍රීසි ජාතිකයින් ප්‍රංශ ජාතිකයින් සමඟ මේ අත්වැල් බැඳගන්නේ වෙන කිසිවක් නිසා නොව තමන්ට පොදු සතුරෙක් සිටින බව ඔවුන් හඳුනාගන්නා නිසාය. ඔවුන් දකින පොදු සතුරා  මුස්ලිම් සංස්කෘතියය.

ඉංග්‍රීසි ජාතිකයින් වෙම්බ්ලි ක්‍රීඩාංගනයේ ප්‍රදර්ශණය කල සාමූහිකත්වය සාමාන්‍යයෙන් අපේ සිරි ලංකාවේ හීබයියන් (හීනමානිත බයියන්) සිංහලුන් සම්බන්ධයෙන් හඳුනාගන්නේ ගෝත්‍රික ලක්‍ෂණයක් ලෙසටය නමුත් අපේ දුප්පත් හීබයියන්ට මේ සුදු ජාතිකයින් ගෝත්‍රිකයින් ලෙස හඳුන්වන්ට තරම් ගටක් නැත.



Sunday, November 15, 2015

ප්‍රංශයට අයිසිස් ලංකාවට කොටි මෙන් නොවේ

පෙරේදා පැරිසියට එල්ලවූ ප්‍රහාරයෙන් සිය ගණනක් මිය ගියද ප්‍රංශයට අයිසිස් ත්‍රස්තයන් සම්බන්ධයෙන් ඇත්තේ මිනිස් හා දේපල විනාශවීම පිළිබඳ ප්‍රශ්ණයක් පමණි. අයිසිස් ත්‍රස්ත ක්‍රියා නිසා ප්‍රංශ රාජ්‍යය බිඳ වැටීමේ හෝ දෙකඩවීමේ හෝ අවධානමක් නැත. යම් විදේශ බලවේගයක් විසින් අයිසිස් සංවිධානය යොදා ගනිමින් ප්‍රංශ රජය පෙරලීමට දේශපාලන බලපෑමක් කෙරන්නේ නැත. අයිසිස් ත්‍රස්තයන් සමඟ ගනුදෙනු කරන ඔවුන්ට ව්‍යංගයෙන් හෝ අනුබල දෙන යම් දේශපාලන ප්‍රවාහයක් එරට තුල ක්‍රියාත්මක වන්නේ නැත. එම නිසා අයිසිස් සංවිධානය නිසා ප්‍රංශ රාජ්‍යය තබා ෆ්රන්සුවා ඔලොන් ගේ සමාජවාදී පක්‍ෂ රජයවත් බිඳවැටීමේ අවධානමක් නැත. මේ ප්‍රහාරයෙන් පසුව වැඩිම වුනොත් ප්‍රංශ රජය සිරියානු යුධයට පෙරටත් වඩා උද්ද්‍යෝගයකින් හවුල් වෙනු ඇත. ඒ සඳහා ප්‍රංශ සමාජය තුල යුධ මානසිකවත්වයක් ඇති කිරීමට පෙරේදා ප්‍රහාරය දායකවනු ඇත. නමුත් සිරියාව තුල කෙරෙන යුද්ධයේදී වඩා වැදගත් වනුයේ අසාද් මිස අයිසිස් නොවේ. එහිදී තීරණාත්මක වනුයේ අසාද් බලයේ තබාගැනීම හෝ බලයෙන් පහ කිරීමය. ප්‍රංශය එතැනදී සිටිනු ඇත්තේ අයිසිස් සංවිධානයට පහර දෙන රුසියාවට විරුද්ධව ඇමෙරිකාව ඇතුළු බටහිර ආණ්ඩු සමඟය. පෙර සැලසුමකට අනුව හෝ එසේ නැතුව හෝ අයිසිස් ත්‍රස්තයන්ගේ ප්‍රංශ මෙහෙයුම සිරියාවෙන් අසාද් පහ කිරීම සඳහා දායකවීමට බොහෝ ඉඩ කඩ ඇත.

කොටි ත්‍රස්තවාදීන් සම්බන්ධයෙන් ලංකාවට තිබුණු ප්‍රශ්ණය අයිසිස් සම්බන්ධයෙන් ප්‍රංශයට ඇති (ඇත්නම්) ප්‍රශ්ණයට වඩා බරපතලය. කොටි මිනිස් ජීවිත සහ දේපල විනාශ කල අතරම රාජ්‍යය දෙකඩ කෙරීමටද උත්සාහ කලහ. විදේශ බලවේග විසින් කොටි සංවිධානය යොදා ගනිමින් ශ්‍රී ලංකා රජයට බලපෑම් කෙරිනි. කොටි ත්‍රස්තයන් සමඟ ගනුදෙනු කල ඔවුන්ට අනුබල දුන් දේශපාලන ප්‍රවාහයක් ලංකාව තුල ක්‍රියාත්මක විනි. එම නිසා කොටි සංවිධානය නිසා ශ්‍රී ලංකා රාජ්‍යයට පමණක් නොව ආණ්ඩුවටද බලපෑමක් කෙරෙනි. රාජ්‍යය දෙකඩ නොවීමට වග බලා ගැනීම රජයේ වගකීමය. ජනතාව විසින් පත් කල ආණ්ඩුව බාහිර බලපෑම් මත කඩා වැටීමට නොදී ආරක්‍ෂා කරගැනීමද රජයේ වගකීමය. රටක ජනතාව ආණ්ඩු පත් කරන්නේ මේ දේ කරන්ට නොවේ නම් වෙන අහවල් දෙයකටද?


මහින්ද රාජපක්‍ෂ රජය කොටි මුදා ගැනීමට මෙරටට පැමිණි ප්‍රංශ විදේශ ඇමති හිස් අතින් ආපසු හරවා යවා ප්‍රභාකරන් ඇතළු කොටි නායකයින් සමූල ඝාතනය කර තව පිරිසක් අත් අඩංගුවට ගෙන තවත් පිරිසක් මෙල්ල කර රජයේ ඔත්තු කරුවන් ලෙස යොදා ගැනුනේ ජනතාව වෙනුවෙන් රජයේ වගකීම ඉටු කිරීමටය. එහිදී අයිසිස්් සම්බන්ධයෙන් ප්‍රංශයට ඇති වගකීමට වඩා බරපතල වගකීමක් කොටි සම්බන්ධයෙන් මෙරට රජයට තිබුනි. වත්මන් රජයටද  ඒ වගකීම ඇත. 


කොටි ත්‍රස්තවාදයේ පදනම බෙදුම්වාදී දේශපා
නයය. කොටි ත්‍රස්තවාදය පරාජය කෙරුනද බෙදුම්වාදී දේශපාලනය තවමත් ක්‍රියාත්මක වේ. බෙදුම්වාදය රාජ්‍ය බිඳ දැමීම පිණිසය. විය යුතු පරිදිම බෙදුම්වාදය රටේ ව්‍යවස්ථාවට අනුව නීති විරෝධීය. ඒ අනුව බෙදුම්වාදී දේශපාලනය නීති විරෝධී රාජ්‍ය විරෝධී දේශපලනයකි. රාජ්‍ය විරෝධී දේශපාලනයට ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ලබා දිය යුතු නොවේ. ජනතා ස්වාධිපත්‍යයේ නාමයෙන් රාජ්‍ය විරෝධී දේශපාලනය මර්ධනය කිරීම රජයේ වගකීමය. 

අත්අඩංගුවේ සිටින කොටි නිදහස් කිරීම සඳහා කෙරෙන හර්තාල් පිළිබඳව සලකා බැලිය යුත්තේ මේ සංදර්භය තුලය.


මානුශීය මුහුණවරක් දීමට උත්සාහ ගැනුනද කොටි නිදහස් කිරීම පසුපස ඇත්තේ දේශපාලන අරමුණකි. කොටි ත්‍රස්තවාදීන් නිදහස් කිරීමට රජයට බල කිරීම තුලින් රාජ්‍ය විරෝධී බෙදුම්වාදී දේශපාලනයට යම් සාධාරන බවක් අත් කරදීමට උත්සාහ ගැනේ. මෙවැනි ක්‍රියාදාම එකතුවක් අනාගතයේදී දෙමළ ජාතිවාදීන් විසින් යොදා ගනු ඇත්තේ බෙදුම්වාදය නීතිමය වලංගු බවක් ලබාදීම සඳහාය.
නීති විරෝධී දේශපාලනයක් පදනම්වූ කොටි නිදහස් කිරීමට ඉල්ලන උද්ඝෝශණයට ප්‍රජතන්ත්‍රවාදී අයිතීන් ලබා දිය යුතු නොවේ. උක්ත කොටි සිරකරුවන් සම්බන්ධයෙන් ආරක්‍ෂක අමාත්‍යාංශය මෙතෙක් කල් කොටි ත්‍රස්තවාදීන් පිළිබඳව අනුගමණය කල ප්‍රතිපත්ති සහ ක්‍රමවේදයට පිටින් කිසිවක් නොකල යුතුය. නමුත් රජය කරන්නේ කොටි නිදහස් කිරීම පසුපස ඇති නීති විරෝධී දේශපාලනයට පොහොර දැමීමය. ඒ හරහා ජෙනීවා සිට එල්ලවෙන අධිරාජ්‍යවාදී තොණ්ඩුවට යාවජීව වෙන  දේශපාලන වාතාවරනයක් මෙරට සකස් කිරීමය.

Wednesday, November 11, 2015

සුළු ජාතීන් හා සෝභිත හාමුදුරුවෝ

මීට මාස කිහිපයකට උඩදී මෙරට බෞද්ධයින්ටත් භික්‍ෂූන් වහන්සේලාටත් පොදුවේ සිංහල බෞද්ධ සංස්කෘතියටත් නින්දා අපහාස කිරීමට ඉදිරිපත්වූ දේශපාලන ක්‍රියාකාරීන්ට සෝභිත හිමියන්ගේ අපවත් වීමත් සමඟම මෙරට බෞද්ධ සංස්කෘතියක් ගැන අමුතු සද්ධාවක් ඇතිවී තිබීමෙන් පිළිබිඹු වන්නේ ඔවුන්ගේ කුහකත්වය පමණය. එසේවුවද   සමහර සුළු ජාතීන්ගෙන්, විශේෂයෙන්ම සාමාන්‍ය මුස්ලිම් ජනතාවගෙන් ලැබෙන ගරු සරු නම් හුදෙක් දේශපාලන ආටෝපයන් ලෙස ඉවත දැමිය  නොහැකියි. එය ඔවුන්ගේ හදවතින් එන අවංක ප්‍රතිචාරයක් යැයි මම සිතන්නට කැමැත්තෙමි.

අතීතයේ සෝභිත හාමුදූරුවෝ 13 සංශෝධනයටත් පොදුවේ බෙදුම්වාදයටත් විරුද්ධ වෙමින් ඒකීය රාජ්‍යයක් සඳහා පෙනී සිටි අයෙකි. ඒ පිළිබඳව උන්වහන්සේ තමන්ගේ ස්ථාවරය යහපාලනය සමඟ දීග කෑ සමයේ වෙනස් කරගත්තේ යැයි නිශ්චිතව කිව නොහැකි නමුත් පැහැදිලිවම ඒ සමයේදී සෝභිත හාමුදුරුවෝ සුළු ජාතීන් කෙරෙහි ප්‍රසිද්ධියේ උපේක්‍ෂාවෙන් කටයුතු කලහ. බොහෝවිට ඒ ගතිය උන්වහන්සේගේ සහජ ලක්‍ෂණයක් වන්නට ඇති. එබැවින් සුළු ජාතීන් උන්වහන්සේට මේ අවස්ථාවේ දක්වන ලෙන්ගතුකම දේශපාලනයෙන් ඔබ්බට ගිය මූල ධර්මවූ අන්‍යෝන්‍ය මිනිස්කමක් ප්‍රදර්ශනය කිරීමක් ලෙස සැලකිය හැකිය. විශේෂයෙන්ම මෙහිදී උන්වහන්සේ සිංහලුන් නියෝජනය කරන බෞද්ධ භික්‍ෂුවක් වීම සුළු ජාතීන් කෙරෙහි ධනාත්මකව බලපානවා විය හැකියි.

මේ කරුනු සාධාරණීකරණය කල හැකි නම් ඇතමුන් පෙන්වා දෙන්නට උත්සාහ කරන පරිදි ඒකීය රාජ්‍ය සංකල්පය මෙරට සුළු ජාතීන්ට එතරන්ම අරහන් නැත. මෙරට සංස්කෘතියට අනුව යමින් අන්‍යෝන්‍ය සම්බන්ධකම් පදනම් කරගෙන ජාතිය සහ ජාතික රාජ්‍යය ගොඩනැඟිය හැකිය. අවශ්‍යවන්නේ එවැනි සම්බන්ධකම් ගොඩනැඟිය හැකි නායකයින්ය.

ත්‍රස්තවාදය පරාජය කිරීමෙන් පසුව ඒකීය රාජ්‍ය සංකල්පය වටා සුළු ජාතීන් දේශපාලනිකව සංවිධානය කිරීමට සෝභිත හිමියන්ගේ සහය ලබා ගැනීමට තිබිනි යැයි දැන් ආපසු බලන විට සිතේ. එවැනි දේශපාලන මෙහෙයුමක් මහින්ද රාජපක්‍ෂ රජයෙන් ක්‍රියාත්මක නොවුනු බව මෙහිදී කිව යුතුයි. එවැන්නක් තිබුනි නම් සෝභිත හිමියෝ එහි ප්‍රකාශකයා වීමට සුදුසුම පුද්ගලයාය. රාජපක්‍ෂ රජය යටතේ එවැනි දේශපාලන ව්‍යාපාරයක් සෝභිත හිමි මුල් කරගෙන ක්‍රියාත්මක වුයේ නම් ඒ රජය පෙරලීමට ගෙන ආ මුස්ලිම් බියටද සාර්ථකව මුහුණ දීමට හැකි වන්නට තිබිනි. සමහර විට එවැනි බියක් ඇති කිරීමට පවා ඉඩක් නොලැබෙන්නට ඉඩ තිබිනි. උපක්‍රමශීලීව කටයුතු කලේ නම් ඊටත් වඩා වැදගත් ලෙසට සෝභිත හිමියන් පෙරදැරි කරගෙන එවැනි ව්‍යාපාරයක් ඔස්සේ බෙදුම්වාදී දේශපාලනය පරාජය කිරීම සඳහා සෑහෙන දුරක් ජාතික ව්‍යාපාරයට යන්නට තිබුනා දැයි සිතේ.

අද අපි ජාතියක් වශයෙන් සංස්කෘතිකව පරිහානියට පත්වෙමින් සිටියි. සාමූහිකත්වය ඉවත ලමින් පුද්ගලත්වය දේවත්වයට සමාන කිරීම පරිහානියේ ලක්‍ෂණයයි. සමාජයෙන් වෙන් කෙරුනු පුද්ගලයින්ට අනුන් සමඟ ඇති කරගත හැක්කේ පුහු අටෝප සම්බන්ධකම් පමණය. ඒ සම්බන්ධකම් උඩ විවිධ ජාතීන් එක් කල නොහැකිය. මෙරට ජාතීන් එක් කර ඒකීය රාජ්‍යයක් ගොඩනඟන්නට නම් එකිනෙකා අතර අවංක මිනිස් සම්බන්ධතා ගොඩනඟා ගත යුතුය. එවැනි සම්බන්ධකම් අපට ගොඩනැඟිය හැක්කේ පුද්ගලිකත්වයත් සාමූහිකත්වයත් එකලෙස සලකන අපේ සංස්කෘතියේ අපි පිහිටියොත් පමණි. අවාසනාවකට ඒ සංස්කෘතිය ඇඟේ පිහිටි සෝභිත හිමියෝ මෙන්ම ඒ පරම්පරාවම කෙමින් අපෙන් වියෝවෙමින් සිටියි.

Monday, November 9, 2015

තාත්තලාගේ සංස්කෘතික වඳබව

පුතාලාගේ පරම්පරාව, තාත්තලාගේ පරම්පරාව සහ සීයලාගේ පරම්පරාව ආදී වශයෙන් මෙරට අද ජීවත්වන ජනතාව වයස අනුව පරම්පරා තුනකට බෙදිය හැකිය (අවශ්‍යනම් දුවලා, අම්මලා සහ ආච්චිලාගේ පරම්පරා ලෙසද නම් කල හැකිය). මෙහි තාත්තලාගේ පරම්පරාව ලෙස හැඳින්වෙන්නේ මෙකල මැදි වයස ඉක්මවමින් සිටින දෙමව්පියන්ය. අනිත් පරම්පරා ඊට අනුකුලව වයසින් බාලත් වැඩිමහලුත් වේ. යම් පොදු බවක් තිබියද මේ පරම්පරා තුනේ සංස්කෘති සාපේක්‍ෂ වශයෙන් එකිනෙකට වෙනස්ය. සැම කල්හිම එය එසේ වන්නට ඇත නමුත් පෙරට වඩා අද ඒ ඒ පරම්පරා අතර ඇති පරතරය වැඩි යැයි මට සිතේ. අප ජාතියක් වශයෙන් මුලුමනින්ම යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියේ ගිලෙන්නට යෙදුන හොත් මතු දිනක මේ පරම්පරා තුන අතර පරතරය යලිත් අඩු වීමටද ඉඩ ඇත. ඒ අර්ථයෙන් අද අප ගෙවමින් සිටින්නේ ඉහත පරම්පරා තුන අතර සංස්කෘතික පරතරය උපරිමවූ අවස්ථාවක් විය හැකිය. 

පරම්පරා අතර සංස්කෘතික පරතරයක් ඇතිවන්නේ සංස්කෘතියක් එක පරම්පරාවකින් තව පරම්පරාවකට දායාද කිරීමේදී ඇතිවන බිඳ වැටීම් නිසා යැයි සිතිය හැකිය. නැත්නම් සංස්කෘතික ගලා යෑම අවහිර වීම හේතුකොට ගෙනය. එවැනි බිඳ වැටීමක් අද ජීවත්වන සීයලා, තාත්තලා සහ පුතාලා අතර ඇත. මෙහිදී ගලායන සංස්කෘතිය (එහි අනන්‍යතාව) කුමක්ද යන්න ප්‍රශ්ණයක් නොවේ. ප්‍රශ්ණය කිනම් හෝ සංස්කෘතියක් පරම්පරාවෙන් පරම්පරාවට ගලා යන්නේද යන්නය.


මා සිතන ආකාරයට, සීයලාට තමන්ගේ වූ සංස්කෘතියක් ඇඟේ තිබිනි. ඒ නිසා සීයලා සංස්කෘතිකව සරු පරම්පරාවක් ලෙස හැඳින්විය හැකිය. එනම් සීයලාගේ සංස්කෘතිය ඔවුන් ගේ මතු පරම්පරාවට එනම් අද ජීවත්වන තාත්තලාගේ පරම්පරාවට, සම්ප්‍රේශණය කිරීමට හැකිවිනි. නමුත් තාත්තලාට තමන්ගේම වූ සංස්කෘතියක් ඇඟේ නැත. ඒ නිසා තාත්තලා සංස්කෘතිකව වඳය. ඔවුන්ට තමන්ගේම වූ සංස්කෘතියක් (එය කුමක් වුවත්) තමන්ගේ මතු පරම්පරාවට, එනම් අද ජීවත්වන පුතාලාගේ පරම්පරාවට, සම්ප්‍රේශණය කිරීමට නොහැකි වී ඇත. නමුත් පුතාලා එසේ නොවේ ඔවුන් තමන්ගේම වූ සංස්කෘතියක් ගොඩනඟමින් සිටිති. ඔවුන් තාත්තලා මෙන් නොව සංස්කෘතිකව සරු වනු ඇත.


මේ අනුව මගේ මතයට අනුව සංස්කෘතික ගලායෑම බිඳ වැටී ඇත්තේ අද ජීවත්වන තාත්තලාගේ පරම්පරාවේ සංස්කෘතික වඳබව නිසාය. ඔවුන්ට ඔවුන්ගේමවූ සංස්කෘතියක් ඇඟේ නැත. මමද අයත් වන්නේ මේ පරම්පරාවට බැවින් ඒ පිළිබඳ යම් අත්දැකීමක් මටද ඇත. අපේ දෙමව්පියන්ගෙන් අපට සිංහල බෞද්ධ සංස්කෘතියක් දායාද කෙරිනි. එය අපට නිරායාසයෙන් ලැබුනකි මන්ද ඒ සංස්කෘතිය අපේ දෙම්පියන්ගේ ඇඟේ තිබුනු බැවිනි. නමුත් අපි වැඩුනේ බටහිර සංස්කෘතිය විසින් සිංහල බෞද්ධ සංස්කෘතිය පරාජය කර ඇති පරිසරයකය. ඒ පරාජය නිසා අපි අපේ දෙමව්පියන්ගෙන් දායාද ලත් සංස්කෘතිය පිළිබඳ අප තුල ඇත්තේ හීනමානයකි. සමහරුන්ට සංකල්පීය වශයෙන් මේ හීනමානය තුනී කරගැනීමට හැකිවුනද
හීනමානය තාත්තලාගේ පරම්පරාවට පොදු ලක්‍ෂණයක් යැයි මම සිතමි. මේ හීනමානය නිසාම තාත්තලාගේ පරම්පරාවට බටහිර සංස්කෘතිය අවශෝෂණය කරගැනීමටද ශක්තියක් නැත. ඒ හේතුව නිසා ඔවුන්ගේම වූ සංස්කෘතියක් තාත්තලාගේ ඇඟේ නැත. ඇඟේ නැති නිසා ඔවුන් සංස්කෘතිකව වඳය. එනම් ඔවුන්ගේ මතු පරම්පරාවට දායාද කීරීමට සංස්කෘතියක් ඔවුන් ලඟ නැත.

මේ ප්‍රශ්ණය සීයලාට තිබුනේ නැත. පුතාලාටද ඒ ප්‍රශ්ණය නැතිවනු ඇත මන්ද ඔවුන්ද අධිපති බටහිර සංස්කෘතියට යම් ප්‍රමාණයකට අවශෝෂණයවී එය තමන්ගේ කර ගැනීමට ඔවුන්ට හැකිවන නිසාය. ඔවුන්ද ඔවුන්ගේම සංස්කෘතියක් ඇඟට ගනු ඇතැයි සිතිය හැකිය.


තාත්තලාගේ පරම්පරාවේ සංස්කෘතික වඳබව බලපාන්නේ හුදෙක් පරම්පරා අතර පරතරයට පමණක් නොවේ. නොබෝ කලකින් සීයලාගේ පරම්පරාව චිශ්‍රාම ගොස් (හෝ මිය ගොස්) තාත්තලාගේ පරම්පරාව මෙරටේ දේශපාලන නායකත්වය අරක් ගනු ඇත. ඔවුන්ට තමන්ගේමවූ සංස්කෘතියක් ඇඟේ නැතිවීම දේශපාලනිකව මෙරට රාජ්‍යය දුබල කරවීමට හේතු විය හැකිය. තාත්තලා අඩු තරමින් සංකල්පීය වශයෙන් හෝ තමන්ගේ හීනමානය දුරු කර ගත යුතුය.

ගිලෙන නැවෙන් පනින මීයෝ

මූඩිය හැරි සෝඩා බෝතලයක සැර මෙන් වියැකී යන යහපාලන ආණ්ඩුවේ ජනප්‍රිය බව අපවත්වී වදාල සෝභිත හිමියන්ගේ නාමයෙන්වත් ගොඩගනු නොහැකිය. ආණ්ඩුව ස්ථාවර කරගැනීමේ අරමුණින් අටවාගත් ඊනියා ජාතික ආණ්ඩු සංකල්පයම අද එහි අස්ථාවර බවට හේතුව වී ඇත. ජනතාවට බලාපොරොත්තු දිය හැකි ජන නායකයෙකුද එහි නැත. එක්සත් ජාතික පාක්‍ෂිකයින් රනිල් වික්‍රමසිංහ සතු යැයි සිතන විදේශ සම්බන්ධතා හා ආර්ථිකය පිළිබඳ විශේෂඥ දැනුමින්වත් රනිල් වික්‍රමසිංහට හපන්කම් පෙන්වන්නට හැකිවී නැත. ඊට හේතුවක් ඇත. රනිල් වික්‍රමසිංහගේ සමත්කම් ඔහුගේ ස්වාමීන්වන බටහිර රාජ්‍යයන්ගේ සමත්කමට සාපේක්‍ෂය. අද රනිල් කරන්නේ ඇමෙරිකාවේ වහල් සමයේ ගෙවහලුන් කල කාරයයමය. ගෙයි වැඩකල වහලා ස්වාමියාට හිතවත්ව සිටමින් කොයි වෙලේ හෝ නිදහස් වෙන්නට බලාසිටි වත්තේ වැඩකල වහලාට හයිකාරකම් දැක්වීය. අගමැතිතුමා පමණක් නොව මුලු ආණ්ඩුවම අද අධිරාජ්‍යවාදීන්ගේ උවමණාව පිට මෙරට වැසියන්ගේ උවමණාවන් සහ සිතැඟිවලට විරුද්ධව ක්‍රියාකරමින් සිටියි.

නමුත් රනිල් වික්‍රමසිංහගේ ස්වාමීන් අද එතරම් බලවත් නැත. දැන් දැන් බටහිරුන්ගේ ආර්ථික ශක්තිය ක්‍රමයෙන් බිඳ වැටෙමින් පවතියි. පොදුවේ යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතික හා දේශපාලන ශක්තියද ඉදිරි වසර පණහ තුල ක්‍රමයෙන් බිඳ වැටෙනු ඇත. ස්වාමීන්ට බැරිකොට  රනිල් වික්‍රමසිංහට හපන්කම් දැක්විය නොහැකිය. රනිල් වික්‍රමසිංහලා අනතුරු හැඟවූ ආර්ථික සම්බාධක අද නිල නොවන ලෙස මෙරටට පනවා ඇත්තේ බටහිරුන් නොව චීනයය. බටහිර රාජ්‍යයන් පවා මිතුරුකම් පැවැත්වීමට වලිකන චීනය මිතුරුව තබා ගැනීමට මේ රජය අසමත්වී ඇත්තේ ස්වාමීන්ගෙන් වැරදි ලෙස ආරෝපණය කරගත් උද්ච්ඡකමක් නිසා විය යුතුය. 


ඒ අතර ජනාධිපතිවරයාද ආණ්ඩුව තුල තමන්ගේ බල කේන්ද්‍රයක් තනා ගැනීමට සටනක් කරමින් සිටින බව පෙනෙයි. විධායක ජනපතිවුවද මෛත්‍රීපාල සිරිසේනට මේ ආණ්ඩුව තුල කල හැක්කේ සීමිත දේචල්ය. ඒ යහපාලන ක්‍රමවේදයේ යම් ගුණයක් නිසා නොව ආණ්ඩුව තුල බල තුලණයක් වී නොමැතිකම නිසාය. මේ ආකාර විවිධ හේතු නිසා ආණ්ඩුව ස්ථාවර නැත. අස්ථාවර ආණ්ඩුවකට ජනතාවගේ ස්වාධිපත්‍යය පිළිබඳ වගකීමක් ගත නොහැකිය. මෙවැනි දේශපාලන සංදර්භයක්තුල විපක්‍ෂයේ කාරය භාරය විය යුත්තේ ජනතාවගේ ස්වාධිපත්‍යය සුරැකීමය. එය ඉටු කල හැකි විපක්‍ෂයක් අද අපට නැත. එය ගොඩනැඟිය යුතුය. 


නමුත් ජනතා ස්වාධිපත්‍යය වෙනුවෙන් පෙනී සිටින විපක්‍ෂයක් ගොඩනැඟීමට සුදුසුකම් ඇත්තේ කාටද?

නැවක් ගිලෙනවිට මුලින්ම දොට්ට පනින්නේ එහි සිටි මීයන් බව කියැවෙයි. යහපාලනයට එක්වූ විවිධාකාර මීයන් අද ඉන් පනින්නට යත්ත දරන බව පෙනේ. ඒ අතර පර්ලිමේන්තුව තුල මැති ඇමතිවරුද ඉන් පිටත එන්ජීඕ ගැත්තන් සහ ඊනියා විදුවතුන්ද සිටිති. පනින්නට නොහැකිව ආණ්ඩුව තුල සිරවී සිටින්නේ යහපාලනයෙන් තමන්ට යමක් කමක් කරගත් සාමාන්‍යය දේශපාලණ ක්‍රියාකාරීන්ය.  


මහින්ද රාජපක්‍ෂ දේශපාලනයෙන් ඉවත් කිරීම සඳහාවූ ව්‍යාපාරයේ විවිධ පාරශව සිටියහ. සමහරක් මෛත්‍රීවාදීන්වූ අතර තව සමහරක් රනිල්වාදීන්වූහ. දෙගොල්ලන්ම මහින්ද විරෝධීවූහ. ඔවුහු සෘජුව හෝ වක්‍රව සිංහල බෞද්ධ විරෝධීවූහ. යහපාලන නැවෙන් පනින මීයෝ මේ කාණ්ඩ දෙකෙහිම සිටිති. මේ මීයෝ නොබෝ දිනකින්ම තමන්ට දේශපාලන බලයක් ගොඩනඟාගනිමින් ඊනියා විපක්‍ෂයක් ලෙස ජනතාව ඇන්ඳීමට සූදානම්වනු ඇත.
මීයන්ගේ දේශපාලනය අළුයම ලූ කෙළ පිඩක් සේ ඉවත දැමිය යුතුය. මීට මාස කිහිපයකට පෙර මොවුන් කවුදැයි ජනතාව විසින් ඉතා පැහැදිලිව හඳුනාගෙන සිටියේය. ඒ මතකය ගිලිහී යාමට ඉඩ නොදිය යුතුය.

මීයන්ට මෙරට ජනතාවගේ ස්වාධිපත්‍යය වෙනුවෙන් පෙනී සිටීමට උවමණාවක් හෝ සුදුසු කමක් නැත. 


වත්මන් රජය බලයට ගෙන ආවේත් පවත්වාගෙන යන්නේත් ඉංදියානු-බටහිර දේශපාලන බල මඟිනි. එහි අරමුණු ඉටු කරගැනීම සඳහා මෙරට ස්ථාවර රජයක් පැවතිය යුතුය. මේ විදෙස් බලවේගයට මෛත්‍රීපාල සිරිසේන සමඟවත් රනිල් වික්‍රමසිංහ සමඟවත් විශේෂ ඇයි හොඳැයියක් නැත. ඔවුන්
රනිල් සහ මෛත්‍රී යනු තමන් විසින් අධ්‍යක්‍ෂණය කරන දේශපාලන රංගනයක නළුවන් දෙදෙනක් පමණි. තමන්ට අවැසි දේශපාලන ඉලක්කවලට මේ ආණ්ඩුව සමඟ යා නොහැකි යැයි වැටහෙන විට ඉංදියානු-බටහිර දේශපාලන බලවේග රනිල් සහ මෛත්‍රී ලොප් කිරීමට දෙවරක් නොසිතනු ඇත. නමුත් ඔවුන්ට විකල්පයක් අවශ්‍යයය. 

යහපාලන නැවෙන් පනින මීයන් උත්සාහ කරනු ඇත්තේ රනිල් හෝ මෛත්‍රී වෙනුවට හෝ ඒ දෙදෙනාම වෙනුවට හෝ තමන් සුදුසු යැයි විදෙස් බලවේග වලට ඒත්තු ගැන්වීමටය. ඒ හරහා ඉංදියාවේ සහ ඇමෙරිකාවේ හිත දිනා ගැනීමටය. හිත දිනාගෙන බලයට ඒමටය. එපමණින්ම මීයන්ට බලය ලබා ගත හැකිද යන්න ප්‍රශ්ණයක් වන්නේ ගෝලීය දේශපාලන වාතාවරණය වෙනස් වෙමින් පවතින බැවිනි. කෙසේ නමුත් මීයන්ට කල හැක්කේ ඉංදියාවේ සහ ඇමෙරිකාවේ පිහිට පැතීම පමණි. නමුත් ඊට කලින් මීයෝ ජනතාව දිනාගත යුතුය. (නැත්නම් විදෙස් බලවේග ඔවුන් සැලකිල්ලට ගන්නේ නැත). ඒ සඳහා ඔවුන් සැබෑ විපක්‍ෂය ලෙස පෙනී සිටිමින් ජනතාව ඇන්ඳීමට උත්සාහ කරනු ඇත. මීයන්ගේ දේශපාලනය හඳුනාගනිමු.

Thursday, October 29, 2015

නොකෙරෙන සිසු සටන් සහ ඊනියා රාජ්‍ය මර්ධනය

පසුගියදා ශිෂ්‍ය පෙළපාලියකට පොලිසිය මඟින් බැටන් සහ ජල ප්‍රහාර දීල විසුරුවා හැරපු හැටි මාධ්‍ය හරහා අපි හැමෝටම හොඳින් විඳගන්ඩ ලැබුන. ගුටි කාපු දරුවන්ට කෙසේ වෙතත් මාධ්‍ය සංදර්ශණය බලං හිටපු අයට ඒක තවත් ත්‍රාසජනක රියැලිටි ෂෝ එකක් බව කී දෙනෙක් තේරුම් ගත්තද මන්ද. මේ ෂෝ එකෙන් එහා යමක් මෙතන තියෙනවද?

මේ ළමයි සටන් කරන්නෙ උසස් අධ්‍යාපන ඩිප්ලෝමා පාඨමාලාවක් උපාධියක් බවට පරිවර්තනය කරන්ඩ කියල. මේක සාධාරනද? මේකෙන් මේ පාඨමාලාව හදාරන ළමයින්ගේ පුද්ගලික උවමණාවක් සැපිරුනත් ඩිප්ලෝමා උපාධි දක්වා උසස් කිරීම ජාතික වශයෙන් අධ්‍යාපන අර්බුදයට දිය හැකි එක් පොදු විසඳුමක්ද යන්න සලකා බැලිය යුතුයි. 

ඒ කෙසේ වෙතත් මෙතන සමහරු පෙන්නන්ඩ හදන ආකාරයේ රාජ්‍ය මර්ධනයක් නැහැ. සරසවි ශිෂ්‍යයෝ හැටියට 80 දශකයේ ජේ ආර් රජීව් ගිවිසුමට විරුද්ධව පිටකොටුවෙ තිබ්බ උද්ඝෝශණයකට ගිහින් දුවල පන බේරා ගත්ත හැටි සමහරුන්ට මතක ඇති. එදා සිය ගාණක් පොලිසියෙන් වෙඩි කාල මළා. මම කියන්නේ නැහැ මැරුවෙ නැත්තම් එතන මර්ධණයක් නැහැ කියල. නමුත් මර්ධනයත් සාපේක්‍ෂයි.

හැබැයි මෙතන ඊටත් වඩා වැදගත් දෙයක් තියෙනවා.

එදා සරසවි ශිෂ්‍යයෝ පාරට බැස්සෙ ජාතික ප්‍රශ්ණයක් වෙනුවෙන්. අද ඊටත් වඩා දරුණු ජාතික ප්‍රශ්ණයක් තියෙනවා. ඒ තමයි ජිනීවා හරහා කෙරෙන රට පාවාදීම. එක ජේආර් රජීව් ගිවිසුමට වඩා සිය වාරයකින් රටේ ෙසේවරීය භාවය පාවා දෙනවා. නමුත් ඊට විරෝධය දක්වලා පෙළපාලි තියා පෝස්ටර් එකක්වත් සරසවි වල වදින්නේ නැහැ. ඒ ඇයි? සරසවි සිසුන්ට තමන්ගේ පුද්ගලික අනාගතයෙන් එහා රට ගැන දැක්මක් නැත්ද?

Tuesday, October 27, 2015

බොලිවුඩ් හරහා හොලිවුඩ් යන අපේ ප්‍රසාංගික කලාව

දැන් කාලේ ජනප්‍රිය පිරිමි ගායකයින්ගෙ සිංදු බොහොමයක් සිහින් හඬින් (හයි පිච්) ගයන අඳෝනා කිව්වොත් අතිශෝක්තියක් නෙවෙයි. මේ ලක්‍ෂණ ලැබිල තියෙන්නෙ බොලිවුඩ් අණුකරණයෙන් වෙන්ඩ ඇති. සංගීතය පමණක් නොවෙයි පොදුවේ අපේ ප්‍රසාංගික කලා ක්‍ෂේත්‍රයම ඉංදියාව පසු පසින් යනවා කිව්වොත් නිවැරදියි. පසු පසින් යනවා කියන්නෙ ඉංදියානු කලාව උසස් යැයි සලකා ඒ මට්ටමට අපේ කලාවන් ගෙන ඒමට උත්සාහ කිරීමයි.

නමුත් මේ අතර ඉංදියාවේ ප්‍රසාංගික කලා ක්‍ෂේත්‍රය බටහිර කලාවන් පසු පසින් යනවා. ඊනියා සම්මිශ්‍රණ (ෆියුශන්) සංගීතය ලෙස හැඳින්වෙන සංගීත ශෛලිය පොදුවේ බටහිර සංස්කෘතියේ කලා රුචිකත්වයට ගැලපෙන පරිදි වෙනස් කරගත් බටහිර නොවන සංගීත සම්ප්‍රදා කියල හඳුන්වන්න පුළුවන්. ඉංදියානු ශිල්පීන් සම්මිශ්‍රණ සංගීතයේ ඉහලින්ම ඉන්නවා. ඒ කියන්නෙ ඉංදියානු ශෛල්‍ය බටහිරුන්ගේ රුචිකත්වයට ගැලපෙන පරිදි සකස් කිරීමට ඉංදියානු ශිල්පීන්ට හැකිවෙලා තියෙනවා. ඒ ආර් රහ්මාන් වැනි ශිල්පීන් ඉංදියාවේ මෙන්ම බටහිරුනගේත් ගෞරවයට පාත්‍ර වෙන්නේ ඒ නිසයි. මේ සම්මිශ්‍රණ සංගීතයේ මෙන්ම නර්තනයේත් දැක ගන්න පුළුවන්.

හතලිස් ගණන් වලත් අපි දේශීය කලාවන් ඉංදියානුකරණය කරගන්න වලිකෑවා. චිත්‍රසේන අමරදේව වගේ ශිල්පීන්ට ඒ උවමණාව තිබ්බා. එදිරීවීර සරචන්ද්‍ර වගේ උගතුන් ඒ සඳහා මතවාද නිර්මාණය කලා. නමුත් 70 දශකය වෙනකොට ඉංදීය අභාශය ඇති නමුත් ඒ මිම්මෙන් ස්වාධීනවූ දේශීය සංගීතයක් බිහි කරගන්ඩ අපට හැකිවුනා. ඉංදීය පුහුණුව තිබුනු ප්‍රතිභාපූර්ණ කලා කාරයෙක්වූ අමරදේවම ඒ සඳහා විශාල කාර්යයක් ඉටු කලා. (ඒ අතරේ සුනිල් ශාන්තගේ දේශීය සංගීත ආර යටයෑම වෙනම කථාවක්). නමුත් මේ කාලයේ ඉංදියාවේ මට්ටමකින් අපේ කලා මැනීමේ අවශ්‍යතාවක් පොදුවේ කලා ක්‍ෂේත්‍රය තුල තිබුනේ නැහැ (ගුවන් විදුලි සංස්ථාවේ ශිල්පීන් ශ්‍රේණිගත කිරීමේදී හැර). ඒ නිසා අපට අපේ අනන්‍යතාවක් ගොඩනඟා ගැනීමට හැකිවුනා. මේ තත්වය 90 දශකය වෙනකම්ම තිබුන බවයි මගේ හැඟීම. නමුත් අද අපි බොලිවුඩ් මට්ටමිනුත් බොලිවුඩ් හොලිවුඩ් මට්ටමිනුත් මැණෙනවා.

පොදුවේ අපි කරන්නේ බොලිවුඩ් හරහා බටහිර අනුකරණය කිරීමයි. ඒ නිසා මේ කලා දූරාවළියේ අපි ඉන්නෙ බොහෝ පිටු පසින්. එහි ඉහලට එන්න කරන අරගලය නිසා අපි අපේ අනන්‍යතාව නැති කරගන්නවා පමණක් නෙවෙයි කලා කාරයින්ටත් පොදුවේ දේශීය ප්‍රසාංගික කලා ක්‍ෂේත්‍රයටත් යම් හීනමානයක් අත් කර දෙනවා. මේක අභාග්‍යයක්.

අපේ කාලාකරුවො අපේ කලාවන් ජාත්‍යන්තරයට ගෙනියනවා කියල කියන්නේ බොලිවුඩ්-හොලිවුඩ් පාරේ බඩ ගාගෙන යන්ඩ දරන උත්සාහයටයි. දැන් මේක බටහිර රටක කරන්ඩ යනවා නම් තව කමක් නැහැ. මොකද ඒ මිනිස්සුන්ගේ රුචිකත්වය තියෙන්නෙ හොලිවුඩ් මට්ටමේනෙ. නමුත් පොදුවේ ලංකාවේ මිනිස්සුන්ගේ රුචිකත්වය තියෙන්නෙ හොලිවුඩ් තැනම නෙවෙයි ඉතිං අපේ කලාවන් ජාත්‍යාන්තරයට ගෙනියන වැඩේ ලංකාවේ රසිකයොත් එක්ක කරන්ඩ අමාරුයි. ඒක එහෙම වෙන්ඩ එපැයි?

මීට වඩා නරකද තමන්ගෙ මට්ටම් තම්මැට්ටම් කියල හිටං අපේ ප්‍රසාංගික කලාවට අපේ මට්ටමක් නිර්මාණය කරගෙන හිටය නං?

Sunday, October 25, 2015

ආණ්ඩුව ස්වෛරිභාවය පාවා දෙයි

-ආචාර්ය නලින් ද සිල්වා


(ඉරිදා රිවිර පත්‍රයේ පළවූ ලිපියකි)


අද සිදුවෙමින් පවතින්නේ කුමක් දැයි තේරුම් ගත හැක්කේ මේ ආණ්ඩුව බලයට පත්කිරීමට කටයුතු කෙළේ කවුදැයි දැනගැනීමෙනි. මහජනයා මැතිවරණයේ දී ඡන්දය දී ආණ්ඩු පිහිටුවන බව සැබෑ ය. එහෙත් මැතිවරණයට ඉදිරිපත්වන අපේක්‍ෂකයන් තෝරනු ලබන්නේ මහජනයා විසින් නො වේ. අඩුම තරමෙන් ඒ ඒ පක්‍ෂවල සම්මේලන මගින්වත් නො වේ. ආණ්ඩුව බලයට පත්වූයේ මෛත්‍රිපාල සිරිසේන මහතාගේ කරණම උඩිනි. සිරිසේන මහතා ඒ තැනට පොළඹවා ගනු ලැබුයේ කවුරුන් විසින් ද? ඒ ව්‍යායාමය පසුපස සිටියේ ඉන්දියාව ය. ඉන්දියාවට එංගලන්තය හා ඇමරිකාව සහාය දුන්නේ ය. මේ රටවල් තුනට ම එකම හේතුව නිසා නොවුණත් මහින්ද රාජපක්‍ෂ මහතා හා ඔහු වටා සිටිමින් ආණ්ඩුවට සැබවින් ම උපදෙස් දුන්නවුන් (රනිල් වික්‍රමසිංහ මහතා ඇමරිකවෙන් ණයට ගත් වහරට අනුව රාජපක්‍ෂ රෙජිමය) ඉවත්කිරීමට අවශ්‍ය විය. එමෙන්ම ඒ රටවල් තුනට ම දෙමළ ජාතිවාදයට යමක් දීමේ අවශ්‍යතාව විය. තුන්වැනුව අවුරුදු දහස් ගණනකට පසුව වර්ධනය වූ චීන ලංකා සබඳතා විය. මේ ආණ්ඩුව බලයට පත්කිරීමට ඒ රටවල් තුනට අවශ්‍ය වූයේ ප්‍රධාන වශයෙන් ම එකම ප්‍රමාණයට නොවුණ ද මේ කරුණු තුන නිසා ය.

මහින්ද රාජපක්‍ෂ මහතාගේ නායකත්වයෙන් පරාජය කරනු ලැබුයේ දෙමළ ත්‍රස්තවාදය ය. එහෙත් දෙමළ ජතිවාදය හා දෙමළ බෙදුම්වාදය එංගලන්තයේ හා ඉන්දියාවේ පිහිටෙන් නො නැසි පැවතුණි. දෙමළ ත්‍රස්තවාදය යනු දෙමළ ජාතිවාදයෙන් හා ඒ විසින් බිහි කෙරුණු දෙමළ බෙදුම්වාදයේ ඵලයක් පමණකි. ඉන්දියාවට එංගලන්තයට මෙන් නොව දෙමළ ත්‍රස්තවාදය පරාජය කිරීමේ අවශ්‍යතාව වුවත් ඔවුන්ට ද දෙමළ ජාතිවාදය හා යම් පමණකට දෙමළ බෙදුම්වාදය අවශ්‍ය වෙයි. මේ රටවල් තුන මෙන් ම බටහිරයන් විසින් බිහි කෙරී පෝෂණය කෙරෙන රාජ්‍ය නොවන සංවිධාන හා ඊනියා සිවිල ් සමාජය ද කිසිම ජාතිකත්වයක් නැති මාක්ස්වාදියෝ ද දෙමළ ජාතිවාදයට ආවඩති. ජෙනීවා යෝජනාවලට සහයෝගය දෙන්නෛ් ඒ පිරිස්, බටහිර ගැති එ ජා ප හා සිරිසේනවදී ශ්‍රී ල නි පක්‍ෂය ය.

ඉහත සඳහන් අයගෙන් එ ජා ප හා සිරිසේනවාදී ශ්‍රී ල නි ප හැරෙන්නට අනෙක් අය පිළිගත් පොදු මතයක් වූයේ දෙමළ ජනයාට යම් අසාධාරණයක් සිදු වී ඇති (මේ අසාධාරණය කුමක් දැයි ඔවුන්ට නිශ්චිත ව කිව නො හැකි ය) බවත් පසුගිය දශක කිහිපයක ඒ අසාධාරණයට යම් පිළියමක් සෙවීමට ආණ්ඩු පක්‍ෂය සූදානම් වන විට විරුද්ධ පක්‍ෂය එයට විරුද්ධ වන බවත් ය. ඒ හේතුව නිසා ඒ පක්‍ෂ දෙකෙන් ම සමන්විත ආණ්ඩුවක් පිහිටුවීමට එංගලන්තයට හා විශේෂයෙන් ම ඉන්දියාවට අවශ්‍ය විය. එමෙන් ම එංගලන්තයට හා ඇමරිකාවට ඊනියා සිවිල් සමාජයට වඩාත් නිදහසේ බටහිර ප්‍රතිපත්ති මෙරට ගෙන යෑමට අවකාශය ලබා දීමට අවශ්‍ය විය. පක්‍ෂ දෙකේ ම ආණ්ඩුවක් ඊනියා ජාතික ආණ්ඩුවක් ලෙස හඳුන්වමින් විරුද්ධ පක්‍ෂයක් නැතිව කටයුතු කරන බවට රනිල් වික්‍රමසිංහ මහතා කලක සිට කීවේ එවැනි ඊනියා ජාතික ආණ්ඩුවක අවශ්‍යතාව බටහිරයන්ට හා ඉනදියාවට තිබූ නිසා ය. ඊනියා ජාතික ආණ්ඩු සංකල්පය ම දෙමළ ජාතිවාදයේ මනදොළ පිනවීම සඳහා විය.

එහෙත් ශ්‍රී ල නි ප හා එ ජා ප එකතු කරන්නේ කෙසේ ද යන ප්‍රශ්නය බටහිරයන්ට හා ඉන්දියාවට විය. එහි දී ඔවුන්ගේ ආධාරයට පැමිණියේ මහින්ද විරෝධී ශ්‍රී ල නි පාක්‍ෂිකයන් ය. චන්ද්‍රිකා කුමාරතුංග කවදත් දෙමළ ජාතිවාදී මතයක සිටි මහින්ද විරෝධියකු විය. ඇයට යම් ප්‍රමාණයකට මහින්ද විරෝධී ශ්‍රී ල නි පාක්‍ෂිකයන් එකතු කිරීමට හැකිවිය. එවැන්නන් අතර නිමල් සිරිපාල හා මෛත්‍රිපාල සිරිසේන වූහ. අගමැතිකම බලාපොරොත්තුවෙන් සිටි දෙදෙනාම තම අභිමතර්ථ ඉටු කර ගැනීම සඳ පක්‍ෂය පාවාදීමට වුව ද සූදානමින් සිටියහ. ඉන්දියාව අවසානයේ දී මෛත්‍රිපාල තෝරාගත්තේ ය. එහෙත් එයට පළමුව මහින්ද රාජපක්‍ෂ මහතාගේ ජනප්‍රියතාව අඩුකිරීමට බටහිරයන්ට අවශ්‍ය විය. දෙමළ ජාතිවාදයට තැන දීම ඔවුන්ගේ අවශ්‍යතාවක් වූ නමුත් එය කරළියට නෙගැනීමට ඔවුහු වග බලාගත්හ. ඒ වෙනුවට දූෂණය, භීෂණය ඉදිරියට ගැනිණි. මහින්ද රාජපක්‍ෂ මහතා හා ඔහුට හිතවත් අය දූෂිතයන් බවත්, අධිකරණයට දේශපාලනය රිංගා ඇති බවත් සුදු වෑන් සංස්කෘතියක් මෙරට බිහි වී ඇති බවත් එ ජා පක්‍ෂය හා ඊනියා සිවිල් සමාජය මහජනතාාවට කීවේ ය. එයත් මදිවී සෝභිත හිමියන් ලවා ඊනියා සාධාරණ සමාජයක් පිහිටුවීම සඳහා සංවිධානයක් ද ඇටවූහ.

මෛත්‍රිපාල සිරිසේන මහතා ඊනියා සාධාරණ සමාජය බිහිකිරීම සඳහා ශ්‍රී ල නි පක්‍ෂයෙන් කැඩී වෙන්විය. ඔහුට තිබුණේ රාජපක්‍ෂලාගෙන් පළිගැනීම යන සිතුවිල්ල පමණ ය. රනිල් වික්‍රමසිංහ මහතාට බටහිරයන් මගින් රාජපක්‍ෂ රෙජිමයෙන් පළිගැනීමේ අවශ්‍යතාව වෙයි. ඔවුන්ට රට සංවර්ධනය කිරීමේ අවශ්‍යතාවක් නැත. මේ ආණ්ඩුව හා එහි පූර්වගාමියා පිහිටුවා මාස නවයකට වැඩි වුවත් පළිගැනීම හැර වෙනත් දෙයක් කර ඇත්නම් එ වැරදි මූල්‍ය ප්‍රතිපත්ති හේතුකොට ගෙන රුපියලඅවපාත කිරීම පමණ ය. එදා දූෂිතයන ලෙස හංවඩු ගැසුණු ඇතැම්හු අද ආණ්ඩුවේ ය. ඔවුහු දැන් නිදොස් පුද්ගලයෝ වෙති. එයින් ම පැහැදිළි වනුයේ දූෂිතයන් ගැන බොරු උද්ඝෝෂණයක් කෙරී ඇති බව ය. මේ උද්ඝෝෂණය තවම අවසන් වී නැත.

ඊනියා මූල්‍ය අපරාධ කොට්ඨාසය හරහා රාජපක්‍ෂ රෙජිමයේ ඇත්තන්ගෙන් පළිගැනීම දිගින් දිගට ම කෙරී ගෙන යයි. මේ ආණ්ඩුව බටහිරයන් හා ඉන්දියාව විසින් බලයට පත්රෙැණා පමණක් නොවේ. ඉන්දියාව හා බටහිරයෝ ආණ්ඩුව ආරක්‍ෂා කරති. ආණ්ඩුව ඔවුන් කියන ඕනෑම දෙයකට හිස නමයි. ජෙනීවා යෝජනාව ගෙනෙනු ලැබුයේ එවැනි වාතාවරණයක ය. එම යෝජනා බටහිරයන්ට හා ඉන්දියාවට අවශ්‍ය අන්දමට රට පාලනය කිරීමට ය. රටේ ස්වෛරිභාවය යෝජනා මගින් නැති කර වෙනත් පාර්ලිමේන්තුවෙන් පිට පාලන තන්ත්‍රයක් ඇති කර තිබේ. මේ යෝජනා තවමත් මෙරට පර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරී නැත. පාර්ලිමේන්තුවේ බලය නැතිකළ යෝජනා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නේ අහවල් දෙයකට දැයි ආණ්ඩුව සිතන්නේ දැයි නො දනිමි.

පහත පළවන්නේ යේජනා ගැන කෙටි විවරණයකි. මා පදනම් වන්නේ විදේශ කටයුතු අමාත්‍යංශයේ වෙබ් අඩවියේ සඳහන් යෝනාවල කෙටුම්පතක් මත ය. ආණ්ඩුව යෝජනා සම්බන්ධයෙන් කියන කතා සියල්ල පට්ටපල් බොරු ය. අපි එහි වගන්ති කිහිපයක් පමණක සලකමු.

යෝජනාවල දෙවැනි වගන්තියෙන් ම ඊනියා සත්‍යය හා යුක්තිය සඳහා ජාත්‍යන්තරයේ සහයෝගය හා මැදිහත්වීම පිළිගැනෙයි. මෙහි වැදගත් වචනය මැදිහත්විම යන්න ය. තුන්වැනි වගන්තියෙන් එහිදී ඊනියා සිවිල් සමාජය හ රාජ්‍ය නොවන සංවිධාන ඇතුළත් කිරීම ගැන සඳහන් වෙයි. හයවැනි වගන්තිය ඉතා භයානක ය. එමගින් ජාත්‍යන්තර විනිශ්චයකරුවන් නීතිඥයන් හා වෙනත් අය සහභාගි වන අධිකරණමය යාන්ත්‍රණයක් පිහිටුවීම තරයේ සහතික කරයි. මෙය කොමි සමක් නොව අධිකරණයකි. ඊනියා යුද අපාර්ධ ගැන විනිශ්වයක් දීමට අද අධිකරණයක් පිහිටුවීම ප්‍රත්‍යාවලෝකන වරදට හසුවන්නකි. වරදක් සිදුවී ඇත්නම් එය විභාග කළ යුත්තේ එවකට පවත්නා නීතිය යොදාගනිමිනි. ඒ සඳහා අළුතෙන් නීති සැකසීම වරදකි. ඒ අධිකරණය ක්‍රියා කළ යුතතේ ලංකාවේ නීතිය යටතේ බව හයවැනි යෝජනාවෙන් කියැවෙයි. එහෙත් ඒ යෝජනා මගින්ම ලංකාවේ නීතිය කඩා ඇත.

මෙරට ව්‍යවස්ථාවේ 4 (සී) වගන්තිය අනුව විනිශ්චය සභා පාර්ලිමේන්තුව විසින් පිහිටුවනු ලැබිය යුතු ය. එ විනිශ්චය සභා කවරේ දැයි ව්‍යවස්ථාවේ 105(1) වගන්තියෙන් දැක්වෙයි. මේ නව විනිශ්චය සභාව එහි ඇතුළත් නොවන අතර එය පිහිටුවා ඇත්තේ ජෙනීවාහි දී ය. පාර්ලිමේන්තුවට තුනෙන් දෙකක ඡන්දයකින්වත් 4 වැනි වගන්තිය වෙනස් කළ නො හැකි ය. එය රටේ ස්වෛරිභාවය ආරක්‍ෂා කිරීමට ඇති වගන්තියකි. ඒ උල්ලංඝනය කිරීමෙන් ආණ්ඩුව රටේ ස්වෛරීභාවය නැතිකර ඇත.

ජෙනීවා හත්වැනි වගන්තියෙන් පසුව ඇත්තේ දෙමළ ජාතිවාදය හා ඊනියා සිවිල් සමාජය පෝෂණය කරන වගන්තිය. අටවැනි වගන්තියෙන් රණවිරුවන් නීති විරෝධී අධිකරණයට ගෙන යෑමට අවසර ලැබෙයි. නවවැනි වගන්තියෙන් සාක්‍ෂිකරුවන් ආරක්‍ෂා කිරීම සිදුවෙයි. ඕනෑම අයකුට බොරු සාක්‍ෂි දීමට මෙයින් අවසර ලැබෙයි. චැනල් ෆෝ වීඩියෝ දරුස්මාන් වාර්තව පිළියෙළ කළ අයුරෙන් මේ නීති විරෝධී විනිශ්චය සභාව බොරු සාක්‍ෂි මත පදනම් වී රාජපක්‍ෂවරුන්, ඔවුන් සමීපයේ සිටි අය හා රණවිරුවන් වෑරදිකරුවන් කරනු ඇත. දහවැනි වගන්තියෙන් කඳවුරු වසා ඉඩම් ආපසු ලබා දීම යුක්තියුක්ත කෙරෙයි. දෙමළ ජාතිවාදයට දොළ පිදේනි දීමේදී රාජ්‍ය නොවන සංවිධාන අදිය යොදාගත යුතු යැයි ද කියැවෙයි. දොළොස්වැනි වගන්තියෙන් මහජන ආරක්‍ෂක පණත සංශෝධනය කිරීමත් ත්‍රස්තවාදය වැළැක්වීමේ පණත මුළුමනින් ම ඉවත්කිරීමත් සිදු වෙයි. දහසයවැනි වගන්තියෙන් ඊනියා දේශපාලන විසඳුමක් ගැන කියමින් දහතුන්වැනි ව්‍යවස්ථාා සංශෝධනය ක්‍රියාත්මක කළ යුතු බව හා පළාත්සභා සියළු බලතල සහිත ව ක්‍රියාත්මක විය යුතු බව පවසයි. ඉඩම් හා පොලිස් බලතල එමගින් පළාත්සභාවලට පැවරෙයි. දහහත්වැනි යෝනාවෙන් රණවිරුවන් නීති විරේධී අධිකරණයට ඉදිරිපත් කළ යුතු බවත් වරද කරුන්ට දඬුවම් දිය යුතු බවත් කියැවෙයි. මේ නැවතත් ප්‍රතා්‍යාවලෝකණය කිරීමකි. දහඅටවැනි හා විසිවැනි යෝජනාවලින් එක්සත් ජාතීනගේ මානව අයිතිවාසිකම් කොමිසම දිගින් දිගටම ලංකාව සම්බන්ධයෙන් මැදිහත් විය යුතු බව කියැවෙයි.

ඉතා පැහැදිලිව මින් මතු අපේ නීති සම්පාදනය කෙරෙන්නේ පාර්ලිමේන්තුවෙන් නොව එකිසත් ජාතීන්ගෙ මානව හිමිකම් කොමිසම මගිනි. රනිල් මෛත්‍රිපාල ආණ්ඩුව අපේ ස්වෛරීභාවය නැතිකර ඇත. මේ ආණ්ඩුව දෙමළ ජාතිවාදයට දොළ පිදේනි දිමට, ඊනියා රාජපක්‍ෂ රෙජිමයට හා රණවිරුවන්ට දඬුවම් දීමටත් බටහිරයන්ට හා ඉන්දියාවට රට පාවාදීම සඳහාත් ය.