Friday, November 14, 2014

පේටන්ට් බලපත්‍ර, සායනික පරීක්‍ෂණ සහ සිංහල වෙදකම

සමාජයක් වශයෙන් අද අපි උත්සාහ කරන්නේ බටහිර ජීවන ක්‍රමයට සරිලන පරිදි සිංහල වෙදකම සකස් කර ගැනීමටය. බෙහෙත් ගුලි රූපාන්තරණය වී පෙති බවට පත් වෙන්නේ ඒ උවමණාව මතය. සිංහල වෙදකමේ ඖෂධ සම්බන්ධයෙන් බුද්ධිමය දේපල සහ සායනික පරීක්‍ෂණ වැනිදෑ ගැන සාකච්ඡා වෙන්නේද ඒ උවමණාව මතය. සිංහල වෙදකම කාලයට ඔබින පරිදි වෙනස් කර ගත යුතුය. නමුත් අපි බටහිර සංස්කෘතිය අනුකරනය කිරීම එසේම කරගෙන යමින් සිංහල වෙදකම වෙනස් කිරීමට උත්සාහ කලහොත් සිංහල වෙදකමින් සිංහලකම ලොප්වනු ඇත.

පේටන්ට් බලපත්‍ර සහ සායනික පරීක්‍ෂණ මඟින් යම් කාර්යභාරයක් බටහිර වෛද්‍ය විද්‍යාවට ඉටුවේ. ඊට සමාන්තර කාර්යභාරයක් සිංහල වෙදකමටද ඉටුවිය යුතුය. අපි කල්පණා කල යුත්තේ සිංහල වෙදකමින් සිංහලකම ලොප් වීමට ඉඩ නොදී ඒ කාර්යභාරය ඉටු කරගන්නා අන්දම මිස පේටන්ට් බලපත්‍ර සහ සායනික පරීක්‍ෂණ තුල සිංහල වෙදකම බහාලීම නොවේ.


ව්‍යාපාරික ආයතන ඔවුන් නිර්මාණය කරන දැනුම් වලට පේටන්ට් බලපත්‍ර ලබා ගන්නේ තම තරඟකරුවන් ඒ දැනුම පාවිච්චි කර මුදල් ඉපයීම වැලකීම සඳහාය. සාමාන්‍යයෙන් ඖෂධයකට ලබාදෙන පේටන්ට් බලපත්‍රයක් වලංගු වන්නේ යම් නියත කාලයකට පමණි. ඒ කාලය තුල ඒ දැනුම පදනම් කරගෙන වෙන ආයතනයකට ඖෂධ නිශ්පාදනය කල නොහැකිය. ඒ අනුව පේටන්ට් බලපත්‍රය වලංගු කාලය තුල තරඟයකින් තොරව උපරිම ලාභයක් ඉපයීමට ඖෂධ සමාගම් වලට ඉඩ සැලසේ.


පේටන්ට් බලපත්‍ර හරහා යම් දැනුමක් සුරැකේ යැයි සාමාන්‍යයෙන් ආකල්පයක් තිබුනද ප්‍රායෝගික වශයෙන් සිදුවෙන්නේත් එහි මූලික අරමුණත් එය නොවේ. පේටන්ට් බලපත්‍රයෙන් කෙරෙන්නේ දැනුමක් වෙළඳ භාණ්ඩයක් බවට පත් කිරීමය. පේටන්ට් බලපත්‍ර හරහා යම් පුද්ගලයෙකුට හෝ යම් ආයතනයකට මුදල් ඉපයීමට අවස්ථාවක් ලැබේ. පේටන්ට් බලපත්‍ර ක්‍රමයක් නොතිබුනේ නම් හා ඒ දැනුම නොමසුරුව බෙදා හැරීයේ නම් බොහෝ ආයතන වලට ඒ ඖෂධය නිශ්පාදනය කිරීමට ඉඩ සැලසෙන අතර ඒ හරහා අඩු මිලකට ඒ ඖෂධය ලබා ගැනීමට මහජනතාවට හැකි වෙනු ඇත. එසේ නම් පේටන්ට් බලපත්‍ර මඟින් පොදුවේ සමාජයට ඉටු වෙන සේවය කුමක්ද යන්න සාධාරන ප්‍රශ්ණයකි. බටහිර සංස්කෘතිය ඊට දෙන පිළිතුර නම්  සමාගම් වලට ලාභ ඉපයීමට අවස්ථාවක් ලබා දුන්විට සමාජයට සේවයක් සලසමින් ඔවුන් නව ඖෂධ නිර්මාණය කිරීමට ප්‍රාග්ධනය යොදවන බවය. ලාභ ලැබිය නොහැකි නම් සමාගම් නව ඖෂධ සොයා ගැනීමට උනන්දුවන්නේ කුමටදැයි තව දුරටත් අපෙන් ඇසෙයි. පේටන්ට් බලපත්‍ර සාධාරනය කෙරෙන්නේ මේ සංදර්භය තුලය.


ඒ සංදර්භය තුල වෙනත් දෑද සාධාරනය කල හැකිය. උදාහරණයක් වශයෙන් වැඩි දෙනෙකුට නොවැලඳෙන ඉතා දුර්ලභ ඝනයේ රෝග වලට ඖෂධ සෙවීම එතරම් ලාභදායි නොවෙන බැවින් සමාගම් ඊට උනන්දුවක් නොදැක්වීම සාධාරනය. විශාල ජනගහණයකට යම් රෝගයක් වැලඳුනද ඔවුන්ට ඖෂධ මිලදී ගැනීමට වත්කමක් නැත්නම් ඒ රෝගයට ඖෂධ සෙවීමට සමාගම් උනන්දුවක් නොදැක්වීමද මේ සංදර්භය තුල සාධාරනය. එසේ නමුත් මේ කරුණු පොදුවේ සමාජය අළලා සාධාරන නොවන බව කිව යුතු නැත.


පැහැදිලිවම සිංහල වෙදකමේ සාර ධර්මත් ඖෂධ වලට පේටන්ට් බලපත්‍ර ලබාදීමේ පසුබිමෙහි ඇති සාර ධර්මත් අහස පොළොව මෙන් දුරස්ය. දරුණු ආර්ථික හා සංස්කෘතික පීඩා මැද වුවද තවමත් බහුතරයක් සිංහල වෙදුන් මුදල් පසුපස හඹා නොයති අඩු තරමින් එසේ නොවිය යුතුය යන මතය දරති. එපමණක් නොවේ බටහිර වෛද්‍ය විද්‍යාවේ පේටන්ට් බලපත්‍රයක් ලැබෙන්නේ යම් රෝගයක් සඳහා යම් ඖෂධයකටය (එනම් යම් රසායණික අණුවකටය). නමුත් සිංහල වෙදකමේ එකම රෝගයට වුවද විවිධ වෛද්‍යවරු බෙහෙත් නියම කරන්නේ ඒ ඒ පළාතට අනුව සුළු වෙනසකම් ඇතිවය. මෙවැනි වතාවරණයක යම් ඖෂධයකට පේටන්ට් බලපත්‍රයක් දීම තේරුමක් නැති දෙයකි. ඇත්තෙන්ම සිංහල වෙදකමේ බුද්ධිමය දේපල ඇත්නම් ඒ වෙදවරුන් මිස ඖෂධ නොවේ. මේ ආකාරයට ආකල්පීය වශයෙන්ද සංකල්පීය වශයෙන්ද පේටන්ට් බලපත්‍ර ලබාදීම සිංහල වෙදකමට ගැලපෙන්නේ නැත.


අපට අවශ්‍ය කුමක්ද? අපට අවශ්‍ය සිංහල වෛද්‍ය විද්‍යාවේ දැනුමත් එහි වෛද්‍යවරුනුත් රැක ගනිමින් පොදු සමාජයේ සුව පිණිස ඒ දැනුම යොදවා ගැනීමටය. දැනුම ආරක්‍ෂා කල යුතු ආකාර දෙකකි. එකක් එය විකෘති නොකෙරීමට වග බලා ගත යුතුය.  අනික ඒ දැණුම පොදු දේපලක් ලෙස ආරක්‍ෂා කල යුතුය.


අද රෝග කාරක හඳුනාගැනීමේ සිට රෝග ලක්‍ෂණ හඳුනාගැනීම දක්වා බොහෝ බටහිර වෛද්‍ය ගැටළු නිරාකරණය කර ගැනීම සඳහා පරිගණක භාවිතා කල හැකිය. එසේ කල හැකිව ඇත්තේ බටහිර වෛද්‍ය විද්‍යා දැනුම සම්පූර්ණයෙන්ම පාහේ සුත්‍රගත කල හැකි බැවිනි. අත් ගුණයක් වැනි යමක් එහි තිබුණිනම් මේ වනවිට බටහිර තාක්‍ෂණය මඟිනුත් ව්‍යවහාරික ගණිතය සහ භෞතික විද්‍යාව මඟිනුත් එය බොහෝ දුරට උදුරා ගැනෙමින් පවතියි. සූත්‍රගත කල හැකි නිසා බටහිර වෛද්‍ය විද්‍යා දැනුම එය භාවිතා කරන්නන් අතින් විකෘතිවීමට ඇති ඉඩ කඩ අවමය. ඒ නිසා බටහිර වෛද්‍ය විද්‍යා දැනුම විකෘතිවීමට නොදී ආරක්‍ෂා කර ගැනීමක් ගැන ප්‍රශ්ණයක් මතු නොවේ.


සිංහල වෙදකමේ දැනුම එසේ නොවේ. බටහිර විද්‍යාවට සාපේක්‍ෂව අධ්‍යාත්මිකව ප්‍රත්‍යක්‍ෂ කල යුතු යම් දැනුමක් සිංහල වෙදකමේ ඇත. එය සූත්‍රගත කල නොහැකිය. සූත්‍රගත නොවුනු ප්‍රත්‍යක්‍ෂ දැනුමක් ලබා ගත හැක්කේද යම් ආධ්‍යාත්මික පුහුණුවක් ඇති සුවිශේෂ පුද්ගලයින්ට පමණය. එසේ නොවෙන පුද්ගලයින් අත ඒ දැනුම විකෘති වීමට හැකිය. ඒ නිසා දැනුම ආරක්‍ෂා කරගැනීම පිළිබඳව බටහිර වෛද්‍ය විද්‍යාවට නැති ප්‍රශ්ණයක් සිංහල වෙදකමට ඇත. සිංහල වෙදකම පරම්පරාවෙන් පරම්පරාවට රහස් ලෙස රැක ගත්තේ එය විකෘති නොවී තබා ගැනීමට විය හැකිය. (ගුරු මුෂ්ඨි තබා ගැනීම දැනුම ආරක්‍ෂා කර ගැනීමට නොව විනාශ කර ගැනීමට හේතුවක් බව මෙහිදී සඳහන් කල යුතුය. සුදුසු අයට පමණක් දැනුම ලබා දීම මිස ගුරු මුෂ්ඨි තබා ගැනීමක් සිංහල වෙද සම්ප්‍රදායේ තිබුනැයි සිතිය නොහැකිය. ගුත්තිල පඬිතුමා ආදර්ශ කොටගෙන ජාතක පොතේ කියා දෙන්නේද අචාරීභාග නොමැතිව දැනුම බෙදා දෙන ලෙසටය.) කෙසේ වෙතත් දැනුම ආරක්‍ෂා කර ගැනීම සම්බන්ධයෙන් බටහිර විද්‍යාවට නැති ප්‍රශ්ණයක් සිංහල වෙදකමට ඇත.


දැනුම විකෘති නොවී ආරක්‍ෂා කර ගන්නා අතරම එය පොදු සමාජයේ යහපත සඳහා එනම් සිංහල වෙදුන් වැඩි කර ගැනීම සඳහා සිංහල වෛද්‍ය අධ්‍යාපනය පුළුල් කිරීමක් සිදුවිය යුතුය. එය සමාජ අවශ්‍යතාවකි. මෙහිදී සිංහල වෛද්‍ය සභාවකට වැදගත් කාර්ය භාරයක් කල හැකිය. සිංහල වෙද දැනුම ලබා දිය යුතු ආකාරය එය ලැබීමට සුදුසු පුද්ගලයින් තෝරා ගන්නා නිර්ණායක නිගමනය කල යුත්තේ සිංහල වෛද්‍ය සභාවකි. ඒ නිර්ණායකයන් බටහිර වෛද්‍ය විද්‍යාව හැදෑරීම සඳහා බලපාන නිර්ණායකයන් නොවෙතැයි සිතිය හැකිය. සිංහල වෙද දැනුම විකෘති නොවී ආරක්‍ෂා කර ගත හැක්කේ සිංහල වෛද්‍ය සභාවක අධික්‍ෂණය යටතේ අධ්‍යාපනය ලබා දීමෙනි. ඒ ප්‍රශ්ණයට විසඳුම පේටන්ට් බලපත්‍ර නිකුත් කිරීම නොවේ.


පේටන්ට් බලපත්‍ර මඟින් මවාපාන නමුත් ඇත්තෙන්ම ඉන් සිදුනොවෙන අනිත් කාර්ය නම් දැනුම පොදු දේපලක් ලෙස ආරක්‍ෂාවීමය. කලින්ද සඳහන් කල පරිදි පේටන්ට් බලපත්‍රයෙන් කෙරෙන්නේ දැනුමක් වෙළඳ භාණ්ඩයක් බවට පත් කිරීමය. එහිදී ආරක්‍ෂාවක් ලැබෙන්නේ පුද්ගලික දේපලකටය. අපි කවුරුත් පාහේ පාවිච්චි කරන වෙනිවැල් ගැට සම්බන්ධයෙන් අප අතර ඇති දැනුම පොදු දැනුමකි. නමුත් අවශ්‍යනම් යම් සමාගමකට එහි ඇති සාරයක් පෙරා ඖෂධයක් තනා එයට පේටන්ට් බලපත්‍රයක් ලබා ගැනීමට නීතියෙන් අවසරයක් ඇත. නමුත් වෙනිවැල් ගැට උණ සෙම්ප්‍රතික්‍ෂාවට සුදුසු බව සොයා ගත්තේ ඒ සමාගම නොවේ. එය සාම්ප්‍රදායික පොදු දැනුමකි. සමාගම කලේ එය හොරා කෑමකිි. දැන් ඒ දැනුම පුද්ගලික දේපලක් කිරීමට ඉඩ දීම සාධාරනද?


පේටන්ට් බලපත්‍ර මඟින් කෙරෙන්නේ පොදු දේපල පාවා දීමය. මා දන්නා පරිදි පොදු දේපල ආරක්‍ෂා කිරීමට රටේ තබා ලෝකයේද නීති නැත. එය එසේ වී ඇත්තේ විශේෂයෙන්ම බටහිරුන්ට එවැනි නීති අවශ්‍ය නැති නිසාය. එය වෙනස් කර ගත යුතුය. අපි සිංහල වෙදකමේ මෙන්ම ගොවිකමේද ඇති දැනුම් පොදු දැනුම් ලෙස ආරක්‍ෂා කර ගැනීමට නීති රීති නිර්මාණය කර ගත යුතුය. දකුණු ඇමෙරිකාවේ, අප්‍රිකාවේ සහ අනිකුත් ආසියාතික රටවල තවමත් ඉතිරීවී ඇති දේශීය දැනුම් පුද්ගලික දේපලවීමට ඉඩ නොදී රැක ගැනීම සඳහා එවැනි නීතිවල අවශ්‍යතාව පිලිබඳව ජාත්‍යන්තර තලයේද අවබෝධයක් ඇති කල යුතුය.


පේටන්ට් බලපත්‍ර මෙන්ම සායනික පරීක්‍ෂණද සිංහල වෙදකමෙහි යොදා ගැනීමේදී අපි විමසිලිමත් විය යුතු වෙමු.


රෝගයකට සම්බන්ධ යම් ජීව රසායනික ක්‍රියාවලියක් වෙනස් කිරීමට යම් රසායනික අණුවකට හැකිද යන්න උරගා බැලෙන්නේ බටහිර ජීව විද්‍යාවේ කෙරෙන මූල ධර්ම පරීක්‍ෂණ වලදීය. මේ පරීක්‍ෂණ කෙරෙන්නේ පරීක්‍ෂණාගාර වල බොහෝවිට සතුන්ද යොදවාගෙනය. සායනික පරීක්‍ෂණ මඟින් කෙරෙන්නේ කලින් හඳුනාගත් රසායනික අණුව මිනිස් භාවිතයේදී බලාපොරොත්තුවෙන ප්‍රතිථලය ලැබේද යන්නය. සායනික පරීක්‍ෂණ මුළු මනින්ම පාහේ කෙරෙන්නේ ඖෂධ වලට පේටන්ට් බලපත්‍ර ලබා ගැනීමේ සංදර්භය තුලය.


බටහිර වෛද්‍ය විද්‍යාවට රෝගියාත් රෝගයත් රෝග කාරකත් ඒ නිසා ඖෂධයත් වියුක්ත සංකල්පය. ඖෂධය ගැලපෙන්නේ යම් රෝගයක් ඇති ඕනෑම මිනිසෙකුට මිස වෛද්‍යවරයා ඉදිරියේ සිටින මිනිසාට නොවේ. මේ සංදර්භය තුල රෝගියා ඖෂධයෙන් වෙන් කෙරෙයි. ඖෂධ නිර්මාණය වන්නේද වෛද්‍යවරයාගෙන් ස්වාධීනවය ඒනිසා වෛද්‍යවරයාද ඖෂධයෙන් වෙන් කෙරෙයි. ඖෂධය නීතිගත කිරීමෙන් අනතුරුව ඖෂධ සමාගමද ඒ ඖෂධය පිළිබඳ දරන වගකීමෙන් නිදහස් වේ. මෙහි ප්‍රතිඵලයක් වශයෙන් රෝගීයාත්, ඖෂධයත්, වෛද්‍යවරයාත් අතර අන්‍යෝන්‍ය සම්බන්ධයක් නැතිවෙයි. අවසානයේ සායනික පරීක්‍ෂණ වලින් ලැබෙන සංඛ්‍යානමය දත්ත රැසක් මැද රෝගියා අතරමං වෙයි.


උදාහරණයක් වශයෙන් බොහෝවිට අපි මිලදී ගන්නා ඖෂධ සමඟ පත්‍රිකාවක් ලැබෙයි. එහි සායනික පරික්‍ෂණ මඟින් සොයා ගන්නා ලද ඖෂධයේ ධනාත්මක හා සෘණාත්මක ගුණ ලැයිස්තුවක් ඇත. ඒ ලැයිස්තුව එහි ඇත්තේ එසේ තිබිය යුතුයැයි නීතියෙන් කියන නිසාය. වෛද්‍යවරයාද දන්නේ ඒ ලැයිස්තුවමය. නමුත් මේ ලැයිස්තුව කිරා මැන ගෙන මට අදාල වන්නේ කෙසේද යන්න කියා දීම ඖෂධ සමාගම් වල වගකීම නොවේ. එය කල නොහැකි දෙයකි. සමහර විට සායනික පරීක්‍ෂණ වලින් සමත් වන ඖෂධ පවා කාලයකට පසු දරුණු අතුරු ආබාධ ගෙනදෙන බව හෝ රෝගයට ප්‍රතිකර්මයක් නොවෙන බව හෝ සොයා ගැනෙයි. එවැනි අවස්ථා වලදී රෝගීන්ට කල හැක්කේ ඖෂධ සමාගමට නඩු පැවරීමය. එවිට රෝගීන්ට යම් වන්දියක් ගෙවෙයි. ඒ වන්දියද අවසානයේ ගෙවන්නේ රක්‍ෂණ සමාගමකි. එහිදීද රෝගීන් ගැන ඇත්තටම වග කියන කෙනෙක් නැත.


බටහිර වෛද්‍ය විද්‍යාවේ සායනික පරීක්‍ෂණ තුලින් බටහිර වෙදකමට යම් කාර්යක් ඉටුවේ. එය නම් යම් රෝගයක් ඇති ඕනෑම කෙනෙකුට යම් ඖෂධයක් ප්‍රතිකර්මයක් වේද යන්න අනුමාන කිරීමට අවශ්‍ය දත්ත සැපයීමය. ප්‍රායෝගිකව, ඖෂධ සමාගම් මේ දත්ත තම ඖෂධයට පේටන්ට් පත්‍ර ලබා ගැනීම සඳහා භාවිතා කරයි. මේ ක්‍රියාවලිය තුලින් රෝගීන්ගේ සුව සෙත අරභයා යම් ආරක්‍ෂක දැලක් නිර්මාණය වේ යැයි උපකල්පනය කෙරුනද ඇත්තෙන්ම වෛද්‍යවරයාවත් ඖෂධ සමාගමවත් ඒ වගකීම දරන්නේ නැත. ඊට හේතුව වෛද්‍යවරයාත් ඖෂධයත් රෝගියාත් අතර අන්‍යෝන්‍ය සම්බන්ධ කමක් නැතිවීමය. බටහිර වෛද්‍ය විද්‍යාවේ සායනික පරික්‍ෂණ නිර්මාණයවී ඇත්තේ එසේ අන්‍යෝන්‍ය සම්බන්ධයක් ඇතැයි හෝ තිබිය යුතුයැයි සලකා නොවේ.


රෝගියෙකුට වැදගත් යම් ඖෂධයකින් තමන්ට ඇති රෝගය සුව වෙන බව පමණක් නොවේ වෛද්‍යවරයා ඒ පිළිබඳව වගකියනවාද යන්නද ඔහුට වැදගත්ය. ඒ සඳහා වෛද්‍යවරයාත් ඖෂධයත් රෝගියාත් අතර අන්‍යෝන්‍ය සම්බන්ධ කමක් තිබිය යුතුය. සාපේක්‍ෂ වශයෙන් සිංහල වෙදකම තුල ඒ සම්බන්ධකම ඇත. එක් පසකින් ඖෂධ නිශ්පාදනය කරන්නේද වෛද්‍යවරයාය අනිත් පසින් එම වෛද්‍යවරයාට ඒ ඖෂධය ගැන පරම්පරාවෙන් ලැබෙන අත්දැකීම් ඉතිහාසයක් ඇත. ඒ නිසා ඔහු තමන් නියම කරන ඖෂධයෙන් බැහැරවූවෙක් නොවේ ඒ නිසා ඔහුට ඒ ගැන බටහිර වෛද්‍යවරයෙකුට වඩා වගකීමක් ගත හැකිය.


මේ සංදර්භය තුල සිංහල වෙදකමේ සායනික පරීක්‍ෂණ වලින් ඇසෙන ප්‍රශ්ණය බටහිර වෛද්‍ය විද්‍යාවේ සායනික පරීක්‍ෂණ වලින් ඇසෙන ප්‍රශ්ණයට වඩා වෙනස් විය යුතුය. බටහිර වෛද්‍ය විද්‍යාවේ සායනික පරීක්‍ෂණ වලින් ඇසෙන්නේ යම් ඖෂධයක් පිළිබඳවය. සිංහල වෙදකමේ සායනික පරීක්‍ෂණ වලින් ඇසිය යුත්තේ ඖෂධය සහ එය නියම කරන වෛද්‍යවරයා යන දෙදෙනාම පිළිබඳය. එසේත් නැත්නම් අහවල් වෙද මහතාට අහවල් රෝගය සුව කල හැකිද යන්නය. එකම රෝගයට වුවද විවිධ වෛද්‍යවරු ලබා දෙන ප්‍රතිකාර අතර විවිධත්වයක් තිබිය හැකි බැවින් (උදාහරණයක් වශයෙන් වකුගඩු රෝගයට ප්‍රතිකාර කරන විවිධ වෙද මහත්වරු සිටිති) ඖෂධ වලට පමණක් පරීක්‍ෂණ ලඝු කිරීමෙහි අරුතක් නැත. ඒ අනුව සිංහල වෙදකමේ සායනික පරීක්‍ෂණ නිර්මාණය කල යුත්තේ වෛද්‍යවරයාත් ඖෂධයත් රෝගියාත් අතර අන්‍යෝන්‍ය සම්බන්ධයක් ඇතැයි හා එසේ තිබිය යුතුයැයි සලකා ගෙනය.


රෝගීන් සුව කිරීම ඔවුන්ට සත්කාර කිරීම පොදු සමාජයේ වගකීමකි නමුත් බටහිර සංස්කෘතිය තුල එය පුද්ගලික එනම් රෝගියාගේම වගකීමක් ලෙසට ලඝුවෙයි. බටහිර වෛද්‍ය විද්‍යාවේ අංගෝපාංග සකස් වෙමින් පවතින්නේ රෝගීන් බලා කියා ගැනීමේ පොදු වගකීමෙන් මිදෙන ආකාරයටය. අපි සිංහල වෙදකමද ඒ ආකාරයට සකස් කලොත් සිංහල වෙදකමින් සිංහලකම හැලෙනු ඇත.

6 comments:

  1. හැකි තරම් අඩු වගවීමකින් හැකිතරම් වැඩි රෝගීන් ප්‍රමාණයක් කළමනාකරණය කිරීම බටහිර වෛද්‍ය කර්මයේ විලාසිතාව වී ඇත..

    ReplyDelete
  2. ජාතික චින්ත්න මතවාදෙ ඉන්න පිරිස් දැනුම් නිර්මාණයේදි මේ වගේ නව ඉම් කරා පිවිසීම අතිශයින්ම වැදගත්.

    ReplyDelete
  3. මට මෙතන ගැටලුවක් තියෙනවා ගැලීලියෝ වගේ අය චින්තනයක් ගැන හිත හිත හිටියෙ නෑනෙ. එයාලා දැනුම නිර්මාණය කලා විතරයි මෙතනදී චින්තනයක් මුලින් හදාගෙන එයට අනුව දැනුම නිර්මාණය කිරීම අවුල් නේද?

    ReplyDelete
    Replies
    1. දැනුම නිර්මාණය කිරීමේදී චින්තනයක් දාගන්නවා කියල දෙයක් කෙරෙන්නේ නැහැ.

      Delete
  4. සිංහල වෙදකම සදහා සායනික පරීක්ෂා තිබීමේ වරදක් තිබිය නොහැක. සිදුවිය යුත්තේ එම පරීක්ෂාද අපට ගැලපෙන ලෙස සිංහල කරණය කිරීමය. ඔබ පවසන ලෙසම එය වෙදමහතා හා බැදුණු එකක් විය යුතුමය.

    ReplyDelete
  5. බටහිර වෛද්‍ය විද්‍යාව ඉදිරියේ සිංහල පාරම්පරික වෙද මහතාට ඇති ප්‍රධාන අභියෝගයක් නම් සන්කල්ප සහ තාර්කික භාවිතාවයි. අපේ පැරණි වෙද මාමා ගමට බොහෝ සමීප කෙනෙක්. එමෙන්ම ඔබ සඳහන් කරන පරිදි අත්ගුණය ඇත්තෙක්. බටහිර වෛද්‍ය වරු අතරද "ඒ ඩොක්ටගෙන් පැනඩෝල් පෙත්තක් බිව්වත් ලෙඩේ හොඳයි" (රෝගියාගේ තේරීම ) යන සන්කල්පයට හිමිකම් කියන අය සිටි. මේ නිසා දැනට සිංහල වෙදකම රැක ගැනීමට තබා එය කරගෙන යාමටවත් වෛද්‍ය කර්මය වැනි සංකීර්ණ උගැන්මක් ඉගැන්වීමට අපේ රටේ ප්‍රතිපාදන වෙන් නොකිරීමත් , දර්ශක හා මාන යොදා තෝරාගන්නා පිරිස් නැවත නැවතත් බටහිර අධ්‍යාපන ධාරව තුලම හිර කිරීමත් මහාම ඛේදවාචකය ලෙස හැඟෙයි. ගුරු මුෂ්ඨිය සුදුසුම ශිෂ්ශ්‍යයාට ඉගැන්වීම හා එසේ ගුරු වෙද මහතාට සෑහීමකට පත් විය හැකි මට්ටමේ අයෙකු නොමැතිනම් එවන් ශිල්පයක් නොසුදුස්සෙකු අතට පත්වීම අවදානමක් බවත් එලෙස පරම්පරානුගතව නොලැබුන දැනුම පර්යේෂණාත්මකව සොයා ගැනීම නව්‍ය පරම්පරාවෙහි කාර්ය්‍යභාරයක් ලෙසද දකිමි.

    ReplyDelete