Friday, October 31, 2014

පාසල් යන්නේ කුමටද?

අප රටේ පාසල් හා විශ්ව විද්‍යාල මඟින් මූලික වශයෙන් කෙරෙන්නේ යම් විධිමත් ක්‍රමයකට අනුව සමාජය තුල දැනුම බෙදා හැරීමය. දැනුම බෙදා හැරීම තුලින් පොදුවේ සමාජයට කිසියම් සෙතක් වේයැයි අපි සිතන්නෙමු. නමුත් එසේ සෙතක් සලසන්නට නම් මේ ආයතන බෙදාහරින දැනුම් කෙබඳු විය යුතුද ඒ ඒ දැනුම් බෙදා හැරිය යුත්තේ කා අතරද ඒ ඒ දැනුම් බෙදා හරින විධික්‍රමය කුමක්ද වැනි ප්‍රශ්ණවලට පිළිතුරු අපි දැන ගෙන සිටිය යුතුය. නමුත් අපි කවදාවත් මේ ප්‍රශ්ණ අපෙන් විමසාවත් නැත. ඇත්තෙන්ම මෙරට දරුවන් පාසල් හා විශ්ව විද්‍යාලවල අධ්‍යාපනය ලැබිය යුත්තේ කුමක් අරභයාද?

සමහර දැනුම් පොදුවේ ගත්විට පතවතින්නේම දැනුම සඳහාය. සමහර දැනුම් ලෞකික ජීවිතය සුඛිත මුදිත කිරීමෙහි යොදා ගත හැකි දැනුම්ය. සමහර දැනුම් වැදගත් වන්නේ සමාජයක් යම් සදාචාරයක බැඳ තබා ගැනීමටය. අධ්‍යාපන ක්‍රමයකින් බලාපොරොත්තුව විය යුත්තේ මේ විවිධ වර්ගයේ දැනුම් සමාජයට උපරිම ලෙස වැඩදායක වන පරිදි ඒ ඒ දැනුමට සරිලන ක්‍රමයකට අනුව සුදුසු පුද්ගලයින් අතර බෙදා හැරීමය.


නමුත් අද අප රටේ පවතින අධ්‍යාපන ක්‍රමය ඉංග්‍රීසීන් විසින් ඇති කලේ මේ කිසිවක් සලකා බලා නොවේ. ඉංග්‍රීසීන්ට අවශ්‍ය වූයේ පාසල් හා විශ්ව විද්‍යාල හරහා ඉංග්‍රීසි සමාජයට ගැලපෙන උගතුන් පිරිසක් මෙරට ඇති කිරීමටය. නිදහසින් පසුද අප කලේ ඒ අධ්‍යාපන ක්‍රමයම කිසිදු වෙනසක් නැතිව තව දුරටත් රට පුරා ව්‍යාප්ත කිරීම පමණි. මේතාක් කල් එහි වෙනසක් සිදු කෙරුනේ නම් ඒ විශයමාලාවේ සහ විභාග ක්‍රමයේ යම් වෙනස් කිරීම් පමණි. නමුත් මේ කිසි වෙනසක් මෙරට සමාජයේ යහපත උදෙසා දැනුම බෙදා හැරිය යුත්තේ කෙසේද යන්න සලකා බලා කල වෙනස්කම් බව නොපෙනේ. අධ්‍යාපන ක්‍රමයේ වෙනස්කම්ද මෙරට අනිකුත් ක්‍ෂේත්‍රවල සිදුකෙරෙන වෙනස්කම් මෙන් සුද්දා දැක්කොත් මොනව හිතාවිදැයි හීන මානයෙන් බටහිරුන්ගේ ඇගයීමට ලක්වෙනු පිණිස සිදුකෙරෙන ඒවාය.


විද්‍යා උපාධිය සමත්වීමට නම් අවකලණ සමීකරණ විසඳීමට දැන ගෙන සිටිය යුතුය. නමුත් මා හොඳින් දන්නා පරිදි විද්‍යා උපාධිදාරීන් අති බහුතරයකට මේ දැනුමෙන් ඇති එකම ප්‍රයෝජනය උපාධිය ලබා ගැනීම පමණි. ඒ දැනුමින් ප්‍රයෝජනයක් ඇත්නම් ඒ ඇත්තේ ආචාර්ය උපාධිය හදාරන අතලොස්සකට පමණි. උපාධිය සඳහා අවකලණ සමීකරණ විසඳීමට නම් උසස් පෙළට අවකලණය හදාරා තිබිය යුතුය. නමුත් උසස් පෙළට අවකලණය හැදෑරූ අයෙක් උසස් පෙළින් පසුව අධ්‍යාපනය නවතන්නේ නම් ඔහුටවත් ඔහුගෙන් සමාජයටවත් ඔහු දන්නා අවකලණය පිළිබඳ දැනුමෙන් සෙතක් වන්නේ නැත. සිදු වන්නේ ඉතා සුළු පිරිසකට පමණක් ප්‍රයෝජනයට ගත හැකි දැනුමක් බහුතරයක් විසින් විවිධ මට්ටම් වල විභාග සමත්වීමට පමණක් යොදා ගැනීමය. මෙය ප්‍රශ්ණයක් නොවේද? අවශ්‍ය කෙනෙකුට අචාර්ය උපාධියක් දක්වා ඕනෑම දැනුමක් ලබා ගැනීම සඳහා අයිතියක් මෙන්ම පහසුකමක්ද තිබිය යුතු බව අවිවාදයෙන් පිලිගනිමි. නමුත් සුළු පිරිසකට පමණක් ප්‍රයෝජනයට ගත හැකි දැනුමක් විශාල පිරිසක් අතර බෙදා හැරීමටත් ඔවුන් විසින් එය ලබා ගැනීමටත් කාලය ශ්‍රමය සහ ධනය යෙදවීම රටේ යහපත සඳහා කෙරන කාර්යක්‍ෂම ආයෝජනයක් විය නොහැකිය.


දළ වශයෙන් සැලකූ විට දැනුම සඳහාම පවතින බොහෝ දැනුම් පද්ධති (විශේෂයෙන්ම කලා හා විද්‍යා විශයන්) සම්බන්ධයෙන් මේ කථාව සත්‍යය යැයි මම සිතමි. බොහෝ කලා හා විද්‍යා උපාධිදාරීන් ලබන අධ්‍යාපනයත් ඔවුන් කරන රැකියාත් අතර පැහැදිලි ගැලපීමක් නැති බව රහසක් නොවේ. ඒ නිසා දැනුම සඳහාම පවතින දැනුම් බෙදා හැරිය යුත්තේ කෙසේද කා අතරද මොන ක්‍රමයටද යන්න ගැන අපි විසින් විමසා බැලිය යුතුය. එවැනි ප්‍රතිපත්තිමය විමසුමක් මෙරට අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ කෙරී නැත.


දැනුම සඳහාම පවතින දැනුම් වලට සාපේක්‍ෂව ලෞකික සුඛවිහරණය සඳහාවූ දැනුම් (උදාඃ තාක්‍ෂණය, වෙදකම, ගොවිකම) වඩාත් පළුුල් ලෙස සමාජය තුල බෙදා හැරිය යුතුයැයි සිතිය හැකිය. නමුත් අපේ අධ්‍යාපන ක්‍රමය තුල එවැනි ප්‍රවණාතාවක් නැත. එය ප්‍රශ්ණයකි. බොහෝවිට ඉන්ජීනේරු විද්‍යාව හෝ වෛද්‍ය විද්‍යාව හදාරන්නට ලැබෙන්නේ තෝරා ගත් සුලු පිරිසකට පමණි. එසේ සීමා කිරීම එහි උගතුන්ගේ උන්නතියට හේතු විය හැකි වුවද පොදු සමාජයට ඉන් යහපතක් වේ යැයි සිතිය නොහැකිය. 


රටක සදාචාරය යනු දැනුම් පද්ධතියකි. සමාජයක් එක්ව ජීවත්වීමට නම් ඒ දැනුම පොදුවේ සැමට තිබිය යුතු අතර එය ක්‍රියාවේ යෙදවීමට පුරුද්දක් එහි මිනිසුන්ට තිබිය යුතුය. මේ දැනුම් පද්ධතිය බෙදා හැරීම පාසල් හා විශ්ව විද්‍යාලවල වගකීම විය යුතුය. නමුත් අපේ අධ්‍යාපන ක්‍රමය තුල අපේ සදාචාරාත්මක දැනුම් පද්ධතිය කියා නොදෙයි. එය ප්‍රශ්ණයකි.


දැනුම බෙදා හැරීම තුලින් උපරිම වශයෙන් සමාජයට සෙතක් සලසා ගන්නට නම් විවිධ දැනුම් ඒ ඒ දැනුමට සරිලන ක්‍රමයකට අනුව සුදුසු පුද්ගලයින් අතර බෙදා හරින්නේ කෙසේද යන්න විමසිය යුතුය. දැනුමට බය පක්‍ෂපාත විය යුතු නැත. දැනුමට දේවත්වයෙන් සැලකිය යුතු නොවේ. මිනිසුන් දැනුම් නිර්මාණය කරන්නේ අවිද්‍යාව නිසාය.  

5 comments:

  1. වැදගත් ලිපියක් ජනක.

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් වැදගත් ලිපියක් ජනක. එහෙම කිව්වම හරි.

      Delete
  2. විශ්වවිද්‍යාලයෙ මම ගත කරන ජීවිත්යෙ මටත් තියෙන ලොකු ගැටලුවක් මේක,
    ඉතා හොද ලිපියක්

    ReplyDelete
  3. පාසල් අධ්‍යාපනයට වියදම් කරන මුදලින් ලංකාවෙ ජීවත්වෙන සෑම කෙනෙකුටම කොම්පුටරයකට සම්බන්ධ වීමට අවස්තාව සැලසිය යුතුය. ඉන්පසු ඔන්ලයින් ටියුටර්ස් මගින් ඕනෑම කෙනෙකුට තමන්ට අවශ්‍ය දනුම ලබා ගැනීමට අවස්තාව සැලසිය යුතුය. අවුරුදු දසයේදී සපුරන ඕනෑම කෙනෙකුට තමන් කැමති අංශයකින් වැඩිදුර අධ්‍යාපනය සඳහා තෝරන ජාතික විභාගයකට ඕනෑම අවස්තා ගනනකට මුහුන දීමට අවස්තාව සලසා දිය යුතුය. මෙයින් සමත් වෙන සියලුම දෙනාට පහසුකම් සහිත රජයේ හෝ පුද්ගලික ආයතන වලට සම්බන්ධවීමට අවස්තාව සැලසිය යුතුය.
    මේ අතර පාසල් වල සාහිත්‍ය, ඉතිහාසය, භාෂාව, ගුණ ධර්ම, වෙදකම, ගොවිකම, බුද්ධ ධර්මය සහ අනෙකුත් ආගම්, තාක්ෂනය ආදිය විභාග සමත් කිරීමේ අරමුනෙන් තොරව ඉගැන්විය යුතුය.

    ReplyDelete
  4. මෙතනදී සිදුවන තව වරදක් ලෙස මම දකින්නේ ඉංග්‍රීසි මාධ්‍ය අත්‍යවශළ්‍ය කරගෙන තිබීමයි
    එමඟින් ඉංජිනේරුවා සහ බාස් අතර , ගොවියා හා කෘෂි විද්‍යාඥයාත් අතර තාප්පයක් බැඳීමක් සිදුවී දේශීය තාක්ෂනය නිපදවීම වලකිනවා

    ReplyDelete